කාලීන සංවාද

නාම් තෙරියාදු කෝකිලා

Off

කපිල එම්. ගමගේ විසින් ලියන ලද තෙරියුම් කෝකිලා සුවිශේෂ කවියක් වන්නේ මෑත අවධියේදී ඉතාම ප්‍ර‍බල ලෙස සමාජයට අලෙවි කරන ලද කවි පොත වන ඔහුගේ නවතම කාව්‍ය එකතුවේ නම එය වීම නිසා ය.

තෙරියුම් කෝකිලා කවිය පෞද්ගලික අත්දැකීමක් පොදු එකක් බවට පත් කරන්නට ගත් උත්සාහයකි. එහි ඇති අතිශය පෞද්ගලික කල්පනා බොහොමයක් පාඨකයාට දුරවබෝධ ය. එය කවියෙහි ධාරණාවට ද බලපායි.

එහෙත්, එය සිංහල දෙමළ ප්‍ර‍ශ්නය ප්‍ර‍ස්තුත කර ගත් කවියක් ලෙස සාකච්ඡා කළ හැකි ය.

එවැනි කවිවලට දෙමළ වචන, නල්ලූර් වැනි ස්ථාන නාම, උරහිස වැසූ සාරි පොට වැනි ඇඳුම්, පිච්ච මල්, මරතෝඩි වැනි සංස්කෘතිකාංග එක් කිරීම ඉතා සුලබ ප්‍රයෝගයකි. තෙරියුම් කෝකිලා කවිය පුරා ම එවැනි ලක්ෂණ තිබේ.

එහෙත් මෙම කවියෙහි වැදගත් සංකල්පනා කීපයක් ගැන සාකච්ඡා කළ හැකි ය. ඇතැම් ඒවා ගැන සංවාද දැනට ම මතු වී තිබේ. පොතේ කවරයේ කෝකිලා කළුවට ඇඳ ඇත්තේ ඇයි ද යන්න එවැනි එක් සංවාද වස්තු බීජයකි.

කෝකිලා නුඹ කළු තමයි
ඒත් සිනහව හරි සුදුයි

පශ්චාත් යටත් විජිත ලංකාවේ සුන්දරත්වය පිළිබඳ අර්ථකථනය සමග සුදු හම සම්බන්ධ වී තිබේ. දෙමළ ජනයා සිංහලයන්ට වඩා කළු ය යන අදහස මිථ්‍යාවකි. මෙම ජාතීන් දෙකෙහි ම මිනිසුන්ගේ හමේ පැහැය පුළුල් පරාසයක් තුළ විහිදේ. දෙජාතියේ ම මහන්සි වී වැඩ කරන, අව්වේ වේලෙන කම්කරු ගැහැනු පිරිමි කළු සමින් යුක්ත ය. පිරිසිදුකම හා සම්බන්ධ වන අධ්‍යාපනය, පෝෂණය, දිළිඳුකම හා සමේ වර්ණය අතර ද සම්බන්ධයක් ඇත.

එහෙත්, දෙමළුන්ට වඩා තමන් ‘සුදු’ යයි සිංහලයෝ සිතති. දකුණේ සිංහල ගැමියාගේ මනසේ සිටින දෙමළ ජාතිකයා වනාහි දිළිඳු, පරාධීන වතු කම්කරුවා ය. උතුරේ දෙමළා යනු සිංහලයාට අභියෝග කරන සතුරෙකි. ඒ නිසා ඔහු කැත විය යුතු ය. අසුන්දර විය යුතු ය. කළු විය යුතු ය. නිදසුනක් ලෙස, ප්‍ර‍භාකරන් රූමත් මිනිහෙකු බව තේරුම් ගන්නට සිංහලයන්ට බැරි ය. සිංහල වුවත්, කළු, බියකරු පෙනුමක් ඇති මිනිසුන් පවා ප්‍ර‍භාකරන් වගේ යයි ඔවුහු කියති.

සිංහල මනස තුළ කෝකිලා කළු වන්නේ හේතු කීපයක් මත ය. එක පැත්තකින් තමන් උසස් ය. ඒ නිසා සුදු විය යුතු ය. තමන් සුදු වන්නට නම් අනෙකා කළු විය යුතු ය. කෝකිලා දෙමළ ය. ඒ කියන්නේ සිංහලයාට අභියෝගාත්මක ජාතියකට අයිති කෙනෙකි. එවැනි අය ලස්සන වුණත්, ඔවුන් කළු විය යුතු ය. මන්ද, ඒ ලස්සන අහම්බයකි. ඒ ලස්සන මතු වන්නේ පහත් තැනකිනි.

අනෙක් පැත්තෙන්, සිංහලෙන් ලියැවෙන ජාතික සමගි සාහිත්‍ය නිබන්ධනවල බොහෝ විට දක්නට ලැබෙන්නේ සිංහල පිරිමි පෙම්වතෙකි. දෙමළ පෙම්වතියකි. දෙමළ වීම නිසා ගැහැනිය තවත් දුබල ය. ආධිපත්‍යවාදීහු දුබලයන්ට ආදරය කරන්නට කැමති ය. ඒ ආදරය අනුකම්පාවේ ම තවත් ස්වරූපයකි.

සුළුතර දෙමළ ජනයා යනු බහුතර සිංහලයාගේ අනුකම්පාව මත ජීවත් විය යුතු දුබල ප්‍රාණියකු විය යුතු ය. තෙරියුම් කෝකිලා නිරූපණය කරන්නේ මෙම යථාර්ථයයි.

පිච්ච මල් ගවසා තිබුණු හිස
නර කෙසක් තැන තැන මතුව ඇත
නළල ඉහළින් තැබූ තිලකය
ඉකුත් වූ මහ බරැති සිහිනය

කෝකිලා කථකට අහම්බෙන් හමු වූ පැරණි පෙම්වතියයි. ඇය දැන් විවාපත් ය. බිඳ දමන ලද කෝකිලා නම් දෙමළ ගැහැනිය හිමි කර ගැනීමේ කථකගේ සිහිනය බිඳ වැටී ඇත.

එහෙත්, කෝකිලා නගන සිනහවේ සුද තවත් වැඩි වී ඇත. ඒ කථකගේ ඉහළ ගොස් ඇති ලාලසාව මිස වෙන කුමක් ද? දෙවන වරටත් යෙදෙන සිනාවේ සුද යනු කෝකිලාගේ යමක් නොව කථකගේ ආසාවයි.

අපේ අම්මට දෙමළ පුළුවන්
වතුර වාගෙයි කෝකිලා
මට දෙමළ කොන්ජම් තෙරියුම්
ලැජ්ජ හිතෙනව කෝකිලා

මගේ දරුවට දෙමළ අරහං
නරක ඒකයි කෝකිලා

සිංහල දෙමළ ජාතීන් අතර ඇති ප්‍ර‍ශ්නය සිංහලයාට දෙමළ භාෂාව නො වැටහීමේ ගැටලුවක් ලෙස කථකයා දකියි. මේ දුරස්ථර බව පරම්පරාවෙන් පරම්පරාවට වැඩි වෙමින් ඇති බව ද එය ඉතා නරක බව ද කවිය කියයි.

අවසානයේදී කථක පවසන්නේ මෙසේ ය:

මරාතෝඩි ඇඳි නුඹේ පාදය
අහිමි වුණේ ඇයි දන්නවා මම කෝකිලා

කෝකිලාලාගේ ජීවිත අස්ථාවර වී ඇත්තේ ඇයි? ඒ බව කථක ඇත්තට ම දන්නවා ද? දන්නවා යයි කීමෙන් ම තවත් විමසා දැන ගන්නට දෙයක් නැති බව කියැවේ.

කවියා මෙම කවියෙන් නිරූපණය කරන්නේ සිංහල ජාතියේ ඒ නො දැනුම ම ය. එසේම, දැනුවත් වීමට ඇති නො උවමනාව ම ය.

සිය වසකට කිට්ටු කාලයක් තිස්සේ කරන ලද උද්ඝෝෂණවලින් හා තිස් අවුරුදු යුද්ධයකින් පසුව පවා අපි තවම දෙමළාට දෙමළ වීම නිසා ඇති සිංහලයාට සිංහල වීම නිසා නැති ප්‍ර‍ශ්නය කුමක්දැයි කිසිදු ලජ්ජාවකින් තොරව අසමු.

ඒ ප්‍ර‍ශ්නය අසන අයට මට නම් දෙන්නට තිබෙන එක ම පිළිතුර දෙමළාට දෙමළ වීම නිසා තිබෙන ප්‍ර‍ශ්නය වන්නේ කොච්චර උත්තර දුන්නත් නැවත නැවත ඔය ප්‍ර‍ශ්නය අහන එක ම බව ය.

කපිල එම්. ගමගේගේ තෙරියුම් කෝකිලා කවිය ඒ මනෝභාවයේ ප්‍ර‍කාශනයකි.

http://www.w3lanka.com/2016/06/blog-post_65.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල