විචාර

අසමජ්ජාතියෙකු දෙබරයකට ගල් ගැසීම

Off

හඳගම සුපුරුදු ලෙස සිංහල සිනමා දෙබරයට ගල් ගසා ඇත. ඒ ගල් පහර දරාගත නොහී විචාරකයන්ද, විචාරකයින් කියා ගන්නා අයද, බුද්ධිමතුන්ද, ප්‍රාමාණිකයන්ද නන් දොඩවන්නට පටන්ගෙන ඇත.

අයෙකුට අනුව මේ චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපටයක කොපියකි. ඒ නම් අමුම අමු කෙප්පයකි. ඇස්, කන් විවර කොට නරඹන කිසිවෙකුටත් “Elegy” හොලිවුඩ් චිත්‍රපටය හා “ඇගේ ඇස අග” අතර කිසිදු සමානකමක් නොපෙනෙනු ඇත.

තවත් අයෙකු පවසන්නේ චිත්‍රපටය නරඹද්දී තමන් නිරුවත් වූවා සේ දැනුණු බවය. නැතහොත් පපුවට වැදුණු පිහිපහරකින් තවමත් සිහිසුන්ව සිටින බවය. හඳගම ඔලුවටයි, පපුවටයි තඩිබෑමෙන් බෙහෙත් කොට සුව කළ නොහැකි තුවාලකාරයෙක් වූ බවය. තවත් කෙනෙකුට දැනී තිබුණේ තමන්ව උස්සා පොළොවේ ගැසූ සෙයකි.. නැතහොත් කන්නාඩිය ඉදිරිපිට සිටගෙන සිටින තමන්වම පෙනුණ බවය. සමහරු චිත්‍රපටයේ ෆැන්ටසිය තුළ ජීවත්වෙන අතර තවම ඇහැරී නැත.

අපේ රටේ විචාරක මෙන්ම වෙනත් අදහස් දැක්වීම්ද එසේය.

“මේ මගේ සඳයි”, ” තනි තටුවෙන් පියාඹන්න”, “අක්ෂරය” පමණක් නොව “ඉනි අවන්” මගින්ද සිනමා බස හැසිරවීමේ කලාව ප්‍රගුණ කළ හඳගම “ඇගේ ඇස අග” චිත්‍රපටයේදී ද එකී ගුණාංග රඳවා තබා ගැනීමට සමත්වීම සතුටට කරුණකි.

මම අශෝක හඳගමගේ චිත්‍රපට වලට බෙහෙවින් ඇලුම් කරන්නෙක් බව පැවසීමට මැලි නොවෙමි. “මේ මගේ සඳයි” චිත්‍රපටය නිර්මාණය කිරීමත් සමඟ සිංහල සිනමාවේ තුන්වැනි විප්ලවකාරයා ලෙස සම්භාවනාවට පාත්‍ර වූ හඳගම “අක්ෂරය” චිත්‍රපටය මගින් සිංහල සිනමාවේ කඩයිමක් සනිටුහන් කළේය.

“අක්ෂරයේ”ම දිගුවක් ලෙස නිර්මාණය වී ඇති, නැතහොත් “අක්ෂරය” මතු කළ කතිකාව වෙනත් මානයකින් කරළියට ගෙන එන්නට වෙර දරන “ඇගේ ඇස අග” එකී නිර්මාණය මත තබා කියවන්නට උත්සහ දරමු.


අප ජීවත් වන්නේ වීදුරු ගෙවල් තුළ හෙළුවෙන් වෙසෙමින් ඒ බව පෙන්වන්නවුනට ඇතුළේ සිට ගල් ගසන සමාජයකය.

ප්‍රසිද්ධ මා‍ර්ගයක් අද්දර තම කාරය තුළ අඩ නිරුවත් ලිංගික චර්‍යාවක යෙදුණ ලංකාවේ අගවිනිසුරුවරයා, “අක්ෂරය” චිත්‍රපටයේ කෞතුකාගාර මුරකරු, විනිශ්චයකාරියක කටුගේ තුළදීම බිම පෙරළා ගෙන සංසර්ගයේ යෙදෙනු දැකීමෙන් වියරු වැටෙන්නේ එබැවිනි.

“අක්ෂරය” ආරම්භක ජවනිකාවලදී මවක් සිය පුත්‍රයා සමග නිරුවතින් නාන බේසමක සංවාදයේ යෙදී සිටින අයුරු පෙන්වීමෙන් සිංහල සිනමා දෙබරයට පත කළු ගලකින් පහර දුන් හඳගම, “ඇගේ ඇස අග” ආරම්භයේදීද වියපත් විශ්වවිද්‍යාල මහාචාර්‍යවරයෙකුට විදහා දක්වන ශිෂ්‍යාවකගේ නග්න සිරුර ප්‍රේක්ෂකයාට පෙන්වීමෙන් ලංකික සිනමා දෙබරයට ගල් කැටයකින් දමා ගසයි.

ඒ සමග තුෂ්නිම්භූත වන පිරිස නන්දොඩවන්නට පටන් ගන්නේය යනු මගේ විශ්වාසයයි.

චිත්‍රපට ආරම්භක ජවනිකාවේ මෙන්ම අවසන් ජවනිකාවේද වැසිබර මොහොතක රථයක වින්ඩ්ස්ක්‍රීනය හරහා ව‍යිපර් බ්ලේඩ් අතරින් ලෝකය දකින්නට සලස්වන හඳගම, ඒ අතරතුර සමස්ත ධාවන කාලය පුරාම අපව සිනමා ශාලාවේ අසුන්මත ගල් කොට තබන්නට සමත් වෙයි.

මේ ලක්ෂණය හඳගමගේ වෙනත් චිත්‍රපට වලදීට වඩා ප්‍රේක්ෂකයා ඇඳබැඳ තබාගන්නා ලක්ෂණයකි. කාලය හා අවකාශය පිළිබඳ සම්මත ව්‍යාකරණ පසෙක තබා සංස්කරණයේදී පිනුම් ඡේදන (Jump cut) භාවිතා කළ හඳගම ඉතා සුමට සංස්කරණ ලක්ෂ්‍යයන් තෝරා ගැනීමෙන් “ඇගේ ඇස අග” චිත්‍රපටයට ලබා දෙන්නේ වෙනස් සත්කාරයකි.

චිත්‍රපට ශාලාවට පැමිණ අසුන් ගන්නා ප්‍රේක්ෂකයාට දර්ශනය අවසාන වන තුරු විඩාවක් නොදැනෙන්නට, ෆැන්ටසියෙන් මිදෙන්නට ඉඩ නොදෙන තරම් හඳගමගේ සිනමාව ප්‍රබලය.

ඇඳේ පොරවන රෙද්දක සිදුරක් හරහා කැමරාව ගමන් කරවමින් පිටත ලෝකයට නිරාවරණය නොවූ රහස් ක්‍රියාවන් ගෙන හැර පෑම වැනි අවස්ථාවලදී හඳගමගේ නිර්මාණශීලීත්වය මොනවට කැපී පෙනේ.

කවදත් තිර පිටපතට මනා ලෙස සත්කාර කරන (visual treatment), මා දනා පරිදි ස්ටෝරි බෝඩ්(story board) මගින් රූපරාමු නිශ්චය කරන අශෝක හඳගම සිද්ධි පුරුද්දන්නේ මුතු මාලයකට මුතුඇට අමුණනවා සේය.

එහෙත් අතරින් පතර හමු වන මෙන්ම චිත්‍රපටය පුරා වැටෙන දුර්වල හෙවනැලි කිහිපයක් නිසා මහාර්ඝ කෘතියක් (masterpiee) ලෙස නිමවෙන්නට පිඹුරුපත් සැකසූ චිත්‍රපටයට හානි සිදු වී ඇත.

මා දකින සුවිශේෂතා මෙන්ම නොගැලපීම් පෙන්වා දීමේ අරමුණ වන්නේ අප බෙහෙවින් ආදරය කරන සිනමාකරුවෙකුගෙන් හෙට දවසේ මහාර්ඝ කෘතියක් නිමවනු දැකීමේ අපේක්ෂාවය. මගේ පෞද්ගලික විශ්වාසය වන්නේ ලාංකික සිනමාව තුළ අද දවසේ ඒ සඳහා ශක්‍යතාව ඇති එක් අයෙකු වන්නේ හඳගම බවය. අනෙකා ප්‍රසන්න විතානගේය.

වයසින් මුහුකුරා ගිය, මහලු වයසේ යැයි පෙනුමින් අනුමාන කළ හැකි (මා එසේ පවසන්නේ මේ චරිතය රඟන නළුවාගෙන් ප්‍රකාශිත වයස අවුරුදු හැත්තෑපහක් වත් වන්නට ඇතැයි උපකල්පනය කරමිනි) විශ්වවිද්‍යාල මහාචාරයවරයෙකු හා ප්‍රේමයෙන් බැඳෙන සරසවි ශිෂ්‍යාවකත්, ඒ හේතුවෙන් වික්ටෝරියානු සදාචාරයෙන් හික්මුණ පවුල් සංස්ථාව තුළ නීතිමය බලය හිමි කසාද ගැහැනිය මුහුණ දෙන ව්‍යාකූලත්වයත් ඉතා සූක්ෂමව විදාරණය කරන්නට සමත් වන හඳගම, තමාගේම දියණිය මහාචාර්‍යවරයාගේ දියණිය බවට පත්කොට ගනිමින් නව යොවුන් තරුණියගේ භූමිකාව මැනැවින් නිරූපනය කරයි.

මෙහිදී කිසියම් අවිශ්වසනීය බවක් පැන නගින්නේ ලංකාවේ විශ්වවිද්‍යාල කථිකාචාර්‍යවරයෙකු ලෙස සේවය කිරීමේ උපරිම වයස් සීමාව අවුරුදු හැටපහක් වීමේ තාක්ෂණික ගැටළුව නිසයි. සේවා දිගුවක් ලැබූවද තවත් වසරක් දෙකක් රැඳී සිටින්නට ඉඩ ලැබෙන නමුදු මේ චරිතය සඳහා තෝරාගත් නළුවාගේ පෙනුම අනුව මේ අවුල සාධාරණීකරණය වන්නේ නැත. ඉතා මැනැවින් සාත්වික අභිනයේ යෙදෙන “ප්‍රතිද්වන්ද්”, “ජනශාතෲ”, “15 පාර්ක් අවෙන්‍යු” වැනි බෙංගාල චිත්‍රපට වල විශිෂ්ට රංගනයක යෙදුණු ද්‍රිතිමන් චැටර්ජිගේ රංගනය පිළිබඳ සිහිපත් කරමින් වුව සිද්ධි දාමයේ මූලික හරයට මේ වයස්ගත පෙනුම නිසා ඇතිවන සෘණාත්මක බලපෑම ගැන සඳහන් කිරීමට සිදු වේ.
කෙසේ වුවද ලාංකික සිනමාව තුළ මේ චරිතය රඟන්නට රංගනශිල්පියෙකු නොමැති වීමේ ඛේදවාචකය හමුවේ හඳගම මේ විකල්පය කරා යොමුවෙන්නට ඇතැයි තේරුම් ගනිමින් මේ නොගැලපිල්ලේ එල්ලී සිටින්නට නොකැමැත්තෙමි.

“ඇගේ ඇස අග” චිත්‍රපටයේ මා වඩාත්ම ඇලුම් කරන රංගනයක යෙදෙන්නී සඳලීය. එවන් කුටුම්බයක් තුළ හුදෙකලා වන නව යොවුන් තරුණියගේ භූමිකාව සඳලී වටහා ගන්නා ආකාරයත්, එය ප්‍රතිනිර්මාණය කිරීමේ සූක්ෂමතාවත් අගය කළ යුතු වන්නේ වඩාත්ම මේ ඇයගේ ප්‍රථම සිනමා රංගනය වන බැවිනි.

ඇයට කැමරාව වගේ වගක් නැත. බොහෝ සෙයින් ඇයට රඟන්නට නියමිත වන්නේ බොහෝ කලක් ජීවත් වූ තමන් වෙසෙන නිවස තුළම වීම ඇගේ සැහැල්ලුව (relaxation) වර්ධනය වීමට හේතුවක් වන්නටද ඇත.

සිය මවගේ ලෝකයෙන් දුරස්ව, තමන් සකසා ගත් නැතහොත් තෝරා ගත් ගර්භාෂයක් තුළ දවස ගෙවන මේ නව යොවුන් තරුණිය කතා කරන්නේ වචන කිහිපයක් වුවද, ඇගේ නිහඬතාව මුමුණන්නේ ඉහළ මධ්‍යම පාංතික පවුල් සංස්ථාවේ හරස්කඩක නිරන්තරයෙන් දෝංකාර දෙන ඛේදවාචකයයි.

තරුණ වියේ ආකර්ශනය සිහිපත් කොට දීම යන අරුතින් මෙන්ම සිය රංගන ජීවිතයේදී දැක්වූ අර්ථාන්විත ප්‍රතිභාව ගැන සළකා බැලීමේදී හෙළ සිනමාවේ මා අතිශයින් අගය කරන නිළිය වන ස්වර්ණාමල්ලවාරච්චි තෝරාගැනීම පිළිබඳ පුදුම නොවන නමුදු “ඇගේ ඇස අග” චිත්‍රපටයේ භූමිකාවට අවතීර්ණ වීමේදී මේ මහා රංගනවේදිනිය කිසියම් පසුබෑමකට ලක් වී ඇති සෙයක් පෙනේ.

මේ පිළිබඳ ෆේස්බුක් හි මා කළ කෙටි සඳහනකට ප්‍රති අදහසක් වූයේ ස්වර්ණා චරිතයට අවශ්‍ය පරිදි අවරංගනයක (underplay) යෙදුණු බවය.

මෙහිදී මගේ තෙරුම් ගැනීම වන්නේ ඉතා සංකීර්ණ මනෝභාවයක් ප්‍රකට විය යුතු මහචාර්‍යවරයාගේ නීත්‍යනුකූල බිරිඳගේ චරිතයට ප්‍රවිශ්ට වීමේදී ස්වර්ණා කිසියම් පසුබෑමකට ලක් වී ඇති බවය. තමන්ගෙන් ගිලිහී යන, තමන්ගේ චුම්භක ක්ෂේත්‍රයෙන් විකර්ෂණය වන ස්වාමිපුරුෂයා තවදුරටත් සිය කුටුම්බය තුළ රඳවා ගැනීමේ අභියෝගාත්මක, දුෂ්කර අවස්ථාව ජය ගැනීමේ චිත්‍යාභ්‍යන්තර සටනක යෙදෙන වයස් ගත කාන්තාවගේ චරිතය ස්වර්ණා වෙතින් විදාරණය නොවන බව කිව යුතුය.

සැමියා සමඟ ප්‍රේමයෙන් වෙළී සිටින තරුණිය සිය පවුල රැකගැනීම සඳහා නිවසටම කැඳවා ගෙන එන්නට තරම් නිර්භීත වී ඇය සමග යහන්ගත වන්නැයි ඔහුට ආරාධන කරන, පුරුද්දට මෙන් බුදුන් වඳින එහෙත් තරුණ කාලේ එච්චර පන්සල් යන්න උනන්දු නොවන ලෙස සිය දියණියට අවවාද කරන, ප්‍රශ්නයට තමන්ම විසඳුම් සොයනවා සේ පෙනෙන ගැහැනියකගේ චරිත ස්වභාවය ඇය වටහා නොගැනීමේ වගකීමෙන් කොටසක් අධ්‍යක්ෂවරයාද බාර ගත යුතු බව මගේ විශ්වාසයයි.

වයස්ගත මහාචාර්‍යවරයා හා තරුණ සිසුවිය අතර පවතින සම්බන්ධයට හේතු ප්‍රත්‍ය කවරේදැයි අපට නොකියන හඳගම එය ප්‍රේක්ෂකයාගේ නැණ පමණින් වටහා ගන්නට ඉඩ හරී. එය අපූර්ව උපක්‍රමයක් වන්නේ මෙවැන් සබැඳියාවන් ඇති වීමට බලපාන නිශ්චිත හේතු කිසිවෙකුට තේරුම් ගැනීමට නොහැකි, තේරුම් ගැනීමට අවශ්‍යද නොවන, ඒ ඒ පුද්ගලයාට හා ඔවුන්ගේ ජීවන රිද්මය සමඟ අත්‍යන්තයෙන් බැඳී පවත්නා බැවිනි.

සරසවි ශිෂ්‍යාවගේ චරිත නිරූපණයට තෝරාගෙන ඇති රිතිකා කොඩිතුවක්කු හැඟීම් ප්‍රකාශනයේදීත්, සැහැල්ලු එහෙත් අධිෂ්ඨානශීලී චරිත ස්වභාවයට අවතීර්ණ වීමේදීත් ප්‍රකට කරන්නේ මනා සංයමයකි.

මහාචාර්‍යවරයාගේ විශ්වවිද්‍යාල නිළකාමරයට පැමිණෙන අවස්ථාව, බිරිඳ ඇගේ අනාගත සිරුරට අපහාස කරන අවස්ථාව, පවුලේ දියණිය සමග රණඩු සරුවල් කරන ආස්ථාව ආදී බොහෝ දර්ශන වලදී ඇය සිනමාව සිය ග්‍රහණයට ගන්නී, ඉතා පළපුරුදු රංගන ශිල්පිනියක සේය.

එහෙත් ගැමි සරසවි ශිෂ්‍යාවකට අනුරූප වන රංගනයක් මෙන්ම වචන උච්ඡාරණයක්ද රිතිකා වෙතින් පිළිබිඹු නොවන්නේ සහජයෙන් හෝ භාවිතයෙන් හුරු පුරුදු වී ඇති රිද්මයෙන් වියුක්ත වීමේ දුෂ්කරබව නිසාම යැයි හඟිමි.

රිතිකා මේ චරිතයට මනාව ගැලපෙන්නියක හෙයින් මා යෝජනා කරන්නේ මේ සරසවි ශිෂ්‍යාව අන්ත ග්‍රාමීය පසුබිමකට ඇද නොදමන්නට තිබුණ බවය. ගමේදී සිය ගණනකට දානය උයා ඇති බව වැනි දෙබස් පැවසීමෙන් අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වූයේ මේ සරසවි තරුණියගේ සමාජ ස්ථරය ගැන කියා පෑමට නම් එයම පරාවළල්ලක් බවට පත් වී ඇති බවය.

මහාචාර්‍යවරයා නිරන්තරයෙන් ඉංග්‍රීසි බස උසුරුවීම අප ප්‍රශ්න කරන්නේ නැත. මීට ප්‍රධාන හේතුව ප්‍රධාන නළුවාට සිංහල උච්ඡාරණය නොහැකි වීම බව අප දන්නා නමුත් හඳගම එකී චරිතය ස්ථානගත කොට ඇත්තේ ඊට ගැලපෙන සමාජ පරිසරයකය. මහාචාර්‍ය බිරිඳ සිංහල-ඉංග්‍රීසි දෙබසින්ම කතා කිරීම සිය සැමියා හා එක පෙළට සිට ගැනීමට නොහැකි වීමෙන් ඈ පෙළන මානසික ව්‍යාධියක් විය හැකිය. ඇරත් මේ සමාජ ස්ථරයේ භාෂා විලාශය එසේය.

එවන් තතු යටතේ ජාත්‍යන්තර පාසලක ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබන දියණිය සිය පියා ඉංග්‍රීසියෙන් කතා කරන අවස්ථාවලදී පවා සිංහලෙන් පිළිතුරු දීම අප තේරුම් ගත යුත්තේ කෙසේද…?

අමෙරිකාවේ උසස් අධ්‍යාපනය හැදෑරූ සඳලීගේ ඉංග්‍රීසි උච්ඡාරණය ඉතා ඉහළ මට්ටමක ඇති බවට සැකයක් නැත. ඉන්දීය නළුවාට සිංහල උච්ඡාරණය අපහසු වන්නා සේ ලංකාවේ වෙනත් බොහෝ නිළියන්ට මෙන් සඳලීට ඉංග්‍රීසි බස හැසිරවීමේ අවුලක් නොමැති තත්ත්වයක් යටතේ මේ චරිතය ඉඳහිට හෝ ඉංග්‍රීසියෙන් කතා කළා නම් වඩාත් සුදුසුය.
මා එසේ කියන්නේ අශෝක හඳගම සිංහල භාෂිත සිනමාවෙන් මිදී සිටින බැවිනි. ලාංකික සිනමාව ලෙස ලේබල් ගසන බොහෝ චිත්‍රපට සිංහල භාෂිත වෙද්දී “ඇගේ ඇස අග” සිංහල උප සිරැසි හෝ නොමැතිව තිරගත වන්නේ එහෙයිනි.

“ඇගේ ඇස අග” චිත්‍රපටයේ ජවනිකා දෙකක් හිංදි සිනමාවේ ලක්ෂණ ප්‍රකට කරන්නේ යැයි පවසන විට බොහෝ දෙනෙකු මා හා උරණ වන බව මම දනිමි. එහෙත් මේ පිළිබඳ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා නැවත සිතා බලන්නේ නම් මට ඒ ප්‍රමාණවත්ය.

දියණිය කාරය තුළදී බහින් බස් වී සිය පියාගෙන් කම්මුල් පහරක් වැදීමෙන් කෝපයට පත්ව වාහනයෙන් බැස දිව යන දර්ශනය සංස්කරණය වී ඇත්තේ හිංදි සිනමාවේ සුලබ දර්ශනයක ආකාරයෙනි.

මූලිකවම මේ ජවනිකාව දිගු වැඩිය. වාහන අතරින් දිව ගොස් රේල්පාරට සමාන්තරව මහ මග දිගේ තරුණියන් දෙදෙනා දිව යන දර්ශනය තවත් කෙටි වූවා නම් යැයිද, රේල්පාර තිබුණේ මීට වඩා ආසන්නයේ වූවා නම් වඩාත් සුදුසු බවද කියන්නට සිදුවන්නේ බැරි බැරි ගාතේ ඔවුන් පසුපස ලුහු බඳින මහාචාර්‍යවරයා, තරුණිය විසින් දියණිය දුම්රිය අනතුරෙන් මුදවා ගනු ලබද්දීම එතැනට සැපත් වන්නේ හිංදි චිත්‍රපට වල ආකාරයට බැවිනි. එසේ නොමැතිව කාලය හා අවකාශය මෙන්ම තරුණියන් දෙදෙනාගේ දිවීමේ වේගය ගැන සළකා බැලීමේදී ඔහු ඒ ආසන්නයට ඒමට වත් ඉඩක් නැත.

එහෙත් එකී දිව යාමේ දර්ශන රූ ගත කොට ඇති ප්‍රශස්ත ආකාරය පිළිබඳ කැමරා ශිල්පී චන්න දේශප්‍රිය ඇගයීමට ලක් කළ යුතුය. සමස්තයක් ලෙස චිත්‍රපටය පුරාම
චන්නගේ නිපුනතාව මොනවට පැහැදිලි වන බව කිව යුතුය.

මහාචාර්‍යවරයාගේ පවුල් කුටුම්බයේ දෙදරා යාම මෙන්ම බිරිඳ හැරපියා ළාබාල තරුණියකට ආකර්ෂණය වීම කෙළවර මේ චරිත හතරම පන්සල් බිමට ගෙන ගොස් ආගමික සංස්ථාවේ පවුරු පදනම් පුපුරුවා හරින්නට හඳගම ගන්නා දැනුම්වත් උත්සහය ලාංකික සිනමාවේ රැඩිකල් ප්‍රවේශයකි.

එවන් ‘අසමජ්ජාති’ ප්‍රවේශයකට එළැඹීමට අවශ්‍ය ශක්තිය මෙන්ම පන්නරය ඇත්තේද හඳගමටමය.

එහිදී ඔවුන් එකිනෙකාට සම්මුඛ වන්නාසේම, ඔවුන්ගේ පවුලට සම්මුඛ වන දේශපාලකයාගේ විවාහක බිරිඳගේ ක්‍රියාකලාපය නිසා ඇතිවන්නා වූ ජංජාලය දනවන්නේ ඉමහත් උත්ප්‍රාසයකි. සිය ස්වාමිපුරුෂයා හා ඇසුරක් පවත්වාගෙන යන ගැහැනියක සුදුවතින් සැරසී පන්සල් භූමියේ සිටිනු දකින දේශපාලකයාගේ බිරිඳ යකඩ පහන් වැටක් ඔසවාගෙන පහර දීමට දිව යන දර්ශනය එහි කූටප්‍රාප්තියයි.

එහෙත් ඉන් අනතුරුව සෙනඟ පොදි කෑමද, ‘මහාචාර්‍ය වීරයා’ ඒ අතරින් ඇවිද ගොස් වෙනත් පැත්තක වැටී සිටි තම ප්‍රේමවන්තිය නිරුපද්‍රිතව කැඳවාගෙන ඒමද, දේශපාලක ඇම්බැට්ටයින් අහසට වෙඩි තැබීමද ඇතුළත් ජවනිකාවද මට යළි සිහිපත් කරන්නේ හිංදි චිත්‍රපටයක අවසානයමයි.

“ඇගේ ඇස අග” වැනි විවාදාත්මක තේමාවක චිත්‍රපටයක් නිපදවමින් ලාංකික සිනමා දෙබරයට ගල් ගසන, ඒ ගල් කැබලි වැදී ප්‍රේක්ෂකයා මෙන්ම විචාරකයාද තුවාල කරන්නට සමත් අශෝක හඳගම වැනි රැඩිකල් මෙන්ම දේශපාලනික සවිඥානික අධ්‍යක්ෂවරයෙකු චිත්‍රපටයේ අවසානය ගැන මෙන්ම සුළුවෙන් තැකිය හැකි යැයි කෙනෙකු පවසන්නට ඉඩ ඇති අඩුලුහුඬුකම් ගැනද මීට වඩා සැළකිලිමත් විය යුතුමය.


ඒ මීට ඉහතින්ද අප දක්වා ඇති පරිදි ලාංකික සිනමාවට මහාර්ඝ කෘතියක් එක් කිරීමේ ඉහළම හැකියාව ඇත්තේ හඳගමට බැවිනි.

-හෙන්රි වර්ණකුලසුරිය

http://nokieekatha.blogspot.co.uk/2016/06/blog-post_2.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල