විචාර

අයිත්මාතව් හැඬවූ ගම්ලතොව් ගේ ශෝකාන්තය

Off

ගුරුගීතය චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ උපාලි ගම්ලත් මහතා විසිනි. එය නිෂ්පාදනය කිරීමේදී ඉමහත් වෙහෙසක් දරා ඇති බව පැහැදිලිය. නේපාලයේ, ඉන්දියාවේ හා රුසියාවේ එය රූගත කළ බව වෙළඳ ප්‍රචාරණ වල සඳහන් විය. රොෂාන් රවීන්ද්‍රගේ (දුයිෂෙන්) හා කල්පනී ජයසිංහ (අල්තිනායි) ගේ රඟපෑම් විශිෂ්ඨය. එහෙත් කිසියම් අන්දමක මළානික බවක් (මෙලන්කොලියක්) චිත්‍රපටිය බැලීමෙන් පසු මසිතේ සටහන් විය.

චිත්‍රපටිය නරඹා එද්දී අපි ඒ ගැන අදහස් හුවමාරු කර ගත්තමු. මගේ බිරිඳගේ අදහස වූයේ එය කලාත්මක බැවින් උසස් බව මුත් එය “පළමු ගුරුතුමා – පියෙර්වී උචිතියෙල්” නමැති කෘතිය කිසියම් ආසියාතික අදහසකින් ඉදිරිපත් කර ඇති බවත්ය. ඇය එම ග්‍රන්ථය හඳුනාගෙන තිබුනේ දේශපාලනික එකක් හැටියටය. එයට හේතුව චින්ගීස් අයිත්මාතව් පොත ලියුවේද සමාජවාදී සමාජයක් ගොඩ නැගීමට සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ කර්තව්‍යයට ආධාර පිණිස බව අන්තර්ජාලයේ විචාර වල අවධාරණය කර ඇති නිසාය.


මගේ වැඩිමහල් දියණිය පැවසුවේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක පොතට මෙන්ම ඉහත සඳහන් කළ නළු නිලි දෙපල ටද සාධාරණයක් ඉටු කර නොමැති බවයි. මටද තරමක්
දුරට එයට එකඟ වන්නට හැකි විය. උක්ත නළු නිළි දෙපලගේ රංගන හැකියාවන්
තුලින් මිට වඩා ප්‍රබල ලෙස කතාව ඉදිරිපත් කළ හැකිව තිබුණු බව සිතේ. ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂකවරයෙකුට ප්‍රශ්න බොහොමයක් ඇති බවත් රටවල් තුනක් පමණ සම්බන්ධ කරමින් චිත්‍රපටියක් නිර්මාණය කිරීම පහසු කටයුත්තක් නොවන බවත් මා ඇයට පැවසීමි.

වයසින් ළාබාල මගේ දෙවෙනි දියණියට තිබුනේ වෙනත් ප්‍රශ්නයකි. “අර ගැහැණු ළමයා හැම තිස්සේම අඬන්නේ මන්ද ” යන්න ඇගේ ප්‍රශ්නය විය. අල්තිනායි පැහැර ගෙන ගොස් බලෙන් අඹු කමට ගත් දිනට පසු හඬා වැළපීම ඔවුන්ට සාධාරනීකරණය කළ හැකි වුනත් චිත්‍රපටිය පුරා ගලා යන ඇයගේ හැඩීම ශෝකාලාපයක් බවට පෙරලී ඇති බවට ඔවුන්ගේ අදහසට මට ද එකඟ නොවී සිටීමට නොහැකිය.

සම්මාන දිනූ වාර්තා චිත්‍රපටයකින් සිනමාකරණයට පිවිසෙන උපාලි ගම්ලතුන්ගේ මේ කුළුඳුල් වෑයම අප අගය කළ යුතුය. විවේචනයක් ඉදිරිපත් කිරීම යම් විටෙක පහසු දෙයක් වුවත් චිත්‍රපටියක් නිර්මාණය කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. චිත්‍රපටියේ ඉතා ප්‍රබල දර්ශන කිහිපයක්ම තිබේ. අල්තීනා ගේ අකාරුණික නැන්දනිය ලෙස රඟපාන නිළියගේ රඟපෑම සහය නිළියක වශයෙන් විශිෂ්ඨය. නමුත් ඇයගේ ස්වාමි පුරුෂයා ගේ රඟපෑම බොහෝවිට ඉතා ආධුනික විලාසයක් ගනී. මෙවන් චරිත කිහිපයක්ම තිබෙන අතර ඒ රඟපෑම් නළු නිළියන්ගේ නොහැකියාවන් ටත් වඩා අධ්‍යක්ෂක වරයාගේ නොසැලකිලිමත් වීම යයි සිතේ.

චිත්‍රපටියේ ආරම්භය ශ්‍රී ලංකාවේ දී රූප ගත කර ඇත. මුල් පොතේ දැක්වෙන පරිදි අල්තිනායි ගේ ගමට පැමිණෙන එම ගමේම උපන් ප්‍රසිද්ධ සිත්තරා වෙනුවට චිත්‍රපටියේ සිටින්නේ අසේල නමැති පියානෝ වාදකයෙකි. දර්ශනවාදය පිලිබඳ මොස්කව් විශ්ව විද්‍යාලයක මහාචාර්යවරියක වන අල්තිනා සුලෙයිමානොවා වෙනුවට චිත්‍රපටියේ සිටින්නේ සංගීත ගුරුවරියකි. මේ වෙනස්කම් ප්‍රශ්නයක් නැත. පොතේ විධිහටම
කතාව ලියන්නට අවශ්‍යද නැත. නමුත් ශ්‍රී ලංකාවේ කතාවෙන් එක්වරම පරණ රුසියාවේ දර්ශනයකට කතාව පිවිසෙයි. පසුව නැවතත් වර්තමානය ලංකාවේ ලෙස වෙනස් වේ. එහි සංගීත පාසලේ අධ්‍යක්ෂක ලැප්ටොප් පරිගණකයක් වසනු රූප රාමුවක දැක්වෙතියි මගේ දියණිය පැවසුවාය.

එසේම පරණ ගල් අඟුරු දුම්රියේ කොන්දොස්තර ඉංග්‍රීසි අධිරාජ්‍ය සමයේ ඉන්දියාවේ සිටි කොන්දොස්තර වරයෙකුගේ නිල ඇඳුමෙන් සැරසී සිටියේය. අල්තිනායි දුම්රිය පළේදී හමුවන අනිත් සිසුන් අසල නවීන වර්ගයේ ඇඳුම් ගෙනියන බෑග තිබුණි. පැරණි රුසියාවේ දුප්පත් මිනිසුන් බඩු ගෙනිච්චේ බැඳගත් පෙට්ටි වලය.

මේ කොටස් සියල්ල මදක් ව්‍යාකුල සහගතය. ලංකාවේ සිදුවන ආකාරයට ලිව්වා නම් නාමයන් සියල්ල එසේ වෙනස් කල හැකිව තිබුණි. හයිබ්‍රිඩ් වර්ගයේ ලංකාවේ නම් සහිත වර්තමානයකුත් රුසියානු නම් සහිත අතීතයකුත් කතාවේ නිර්මාණය කර තිබේ.

චිත්‍රපටියේ තැන් කිහිපයකම අල්තිනායි හඬන්නීය. මුල් කතාවේ එවන් තැන් දෙක තුනක් තිබුනද පැය එකහමාරක සිනමා නිර්මාණයකට ඒ සියල්ල අවශ්‍ය නැත. සිනමා නිර්මාණයේ හඬන අවස්ථා වැඩිය. එයින්ම මේ කතාව, ප්‍රේමයේ වියෝගය, විරහ වේදනාව, සුන්දර එහෙත් අමතක කරන ලද ආසියානු ආදර කතාවක් බවට අධ්‍යක්ෂක වරයා පරිවර්තනය කර තිබේ. ඒ අනුව සංගීත අධ්‍යක්ෂක වරයා විසින් යෙදූ ඉතා පියකරු කිර්ගිසියානු පන්නයේ ගීතය වෙනුවට වික්ටර් රත්නායක ගේ “දෛවයෝගයකින් නොවේදෝ” ගීතය පසුබිම් ගායනයට වඩාත් ගැලපේ. නෝ මෝර් මාක්ස් නමැති බ්ලොග්කරු ලාංකීය සමාජයේ පසුගාමීත්වය යනුවන් අදහස් කළේ මේ පරිවර්තන කරන ලද කතාව විය යුතුය. ලංකාවේ ඒ දිනවල පළවූ “කුමරි” පත්‍රය හා “තරුණයා ” පත්‍රය කියවන ප්‍රේමවන්තයන් ඉලක්ක කොටගත් කෙටි කතා හා නවකතා වල මේ හැඩිම්, වැළපීම් නම් සුලබය.

මාත් මෙවැනි කතා කිහිපයක්ම මගේ බ්ලොගයේ මේ දිනවල ලියන්නේ අනිවාර්යයෙන්ම ඒවා හිට් වේ යයි සිතමිනි.

මා දන්නා අයිත්මාතව් ගේ ගුරු ගීතය ලිව්වේ 1962 දීය (ලෙනින් ත්‍යාගය ලැබුණු) . ඒද ලෙනින් විප්ලවය කර බොහෝ කලකට පසුය. අයිත්මාතව් ගේ පියා, ටොර්කුල් විප්ලවයට තම දිවිය කැප කළ මුල් කොමියුනිස්ට් වාදියෙකි. ටොර්කුල් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාදේශීය ලේකම් වරයෙකු ලෙස ඉතා පසුගාමී කිර්ගිස්ථානයේ දියුණුවට වැඩ කරද්දී ස්ටාලින් ගේ දරුණු එන්කවද රහස් පොලිසියෙන් අත් අඩංගුවට ගන්නේ “සුළු ධනේෂ්වර ජාතිවාදියෙකු” ලෙස චෝදනා කරමිනි. 1937 දී “ද්‍රෝහියෙකු” ලෙස බොරුවට හංවඩු ගසා ඔහුව මරා දැමිණි.

ඔහුගේ පියාට ආදරය කළ මිනිසුන් චින්ගීස් පුතා අනාථ කලේ නැත. අයිත්මාතව්, කෘෂෙව් ගේ ප්‍රතිසංසස් කරණ කාලයේදී සියලු “ස්ටාලින්ගේ ද්‍රෝහීන් හා පවුල් ” පුනරුත්ථාපනය කිරීමෙන් පසු මොස්කව් ගෝර්කි සාහිත්‍ය විශ්ව විද්‍යාල මණ්ඩපයට ඇතුලත් වුනි.

තමන්ගේ ජිවිතයේ අඳුරු කාලය සෝවියට් ක්‍රමයේ වරදක් නොව මිනිසුන් ගේ ස්වභාවික හැසිරීමේ වරදක් ලෙස දුටු අයිත්මාතව් සෝවියට් හා කිර්ගිස් සමාජයේ දුර්වලතා, මිනිසුන්ගේ දෝෂ සහගත හැසිරීම් සෝවියට් ක්‍රමයේ ප්‍රගමනයේදී වෙනස් වනු ඇති බවට අවංකවම විශ්වාස කළේය. ගුරු ගීතය ඒ විශ්වාසය මතම ලියූ කතාවකි.

“පළමු ගුරුවරයා ” ලෙස චින්ගීස් නම් කල කතාවේ දුයිෂෙන් වැඩි උගත්තකු නොවූවත් කොමියුනිස්ට් පක්ෂයේ නියෝගය පිළිපැද ගමට අධ්‍යාපනය ගෙන දීමට පැමිණි තරුණ කොම්සොමෝල් (කොමියුනිස්ට් සංගමය) සාමාජිකයෙකි, හෙවත් චින්ගිස් ගේ පියා මෙන් “මුල් කොමියුනිස්ට් කාරයෙකි”.

අල්තිනායි ඔහුව අමතක නොකළාය. ප්‍රථම වතාවට නැවත දුයිෂෙන් බලන්නට ගමට පැමිණි ඇයට පොප්ලර් ගස් දෙක බලා සැනහෙන්නට වෙයි. දුයිෂෙන් සෝවියට් දේශය බේරා ගැනීමට යුද්ධයට ගොස්ය.

වරෙක ඇය හදිසි දම්වැල ඇද දුම්රියක් මග නවත්තා දුයිෂෙන් වැන්නකු සොයා දිව ගියාය. යුදයෙන් නැතිවූවන් සොයන්නියක ලෙස මිනිසුන් ඇයට අනුකම්පා කළහ.

කුරුකෙව් ගමේ අලුත් පාසැල විවෘත කිරීමට අර ගමේ උපන් පරසිඳු (කතාව කියන) සිත්තරා මෙන්ම මොස්කව් වලින් මහාචාර්යවරිය අල්තිනායි ද ගමේ පක්ෂ කවුන්සිලයේ ආරාධනාවට අනුව පැමිණෙයි. කවුදෝ දුයිෂෙන් ගැන උපහාසයෙන් කතා කරයි. නව සෝවියට් ගම්වැසියන් දුයිෂෙන් ගේ මුල් දිනයේ මෙන්ම ඔහුට උපහාසයෙන් සිනාසෙති. ගමේ ප්‍රාදේශීය සභා සභාපති, පක්ෂ ලේකම් සිටින රැස්වීමට පැමිණෙන “තැපැල් කරු ” දුයිෂෙන් ලියුම් බෙදයි. අවාසනාවකට මේ දුයිෂෙන් අර “දුයිෂෙන්” මය. ලේකම් වරයා ඔහුට ඇතුලට ඒමට ඇරයුම් කරතත් ඔහු වඩා වැදගත් ලියුම් බෙදීමට යයි. සෝවියට් රජයෙන් දෙන මේ අලුත් පාසැල විවෘත කිරීමට, එදා සියලු බාධක මධ්‍යයේ ගමට පැමිණි පළමු ගුරුවරයාට ආරාධනා කිරීමට කිසිවෙකුට මතක් නොවෙයි. පසු කාලින සෝවියට් නිලධාරීන් “මුල් විප්ලව කරුවන් ” අමතක කලේ එසේය.

කොටින්ම අල්තිනායි පවා තම ගුරුවරයා පිළිගන්නට එළියට ගියේ නැත. අවසානයේ මොස්කව් යන ඇය තම සිතේ ඇතිවන වරදකාරී හැඟීමෙන් බේරෙන්නට සිත්තරාට ලිපියක් ලියන්නිය. ගම්ලත්ට හසු නොවුනේ මේ සත්‍යයය. අයිත්මාතව් දිගින් දිගටම ලිව්වේද ඒ ගැනය. 1988 පෙරෙස්ට්‍රොයිකා කාලයේ කිර්ගිස් සමාජයේ මත් ද්‍රව්‍ය භාවිතය ගැන නවකතාවක් ද ඔහු ලිවිය.

උපාලි ගම්ලත් ගේ ගුරු ගීතය ආදී කාලින ඩයිනොසර් යුගයේ හිටපු ඇතැම් ජවිපෙ සාමාජිකයන් ගේ සිහිනයක් සැබෑ වීමකි. වර්තමාන (ජවිපෙ) පරපුර ඔයාකාරයේ ගුරු ගීත පසුකර බොහෝ දුර ගොස්ය.

අයිත්මාතව් මිය ගිය දින ගාඩියන් පුවත්පතේ ලිපිය:
https://www.theguardian.com/books/2008/jul/15/culture.obituaries

 

https://kolambagamaya.blogspot.co.uk/2016/06/blog-post_5.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල