විචාර

ෆැන්ටසිය ගෙට ගමුද?

Off

රටටම ගංවතුර ගලලා තියෙද්දි හඳයගෙ ඇගේ ඇස අග දෙවෙනි පාරටත් බලන්න රීගල් එකට ගියා. ඒක නරුම විදිහට පෙනුනත් පුද්ගලික මට්ටමෙන් ඒ විදිහෙ පවතින තත්වයෙන් දුරස්ත වීමක් ඕනවෙනවා. නැත්තං අපි හුස්ම ගන්න අමාරු තරමට ඒ ඉමෝෂනල් ගංවතුරෙ ගිලිලා යනවා.

ඇගේ ඇස අග කොහොමටත් නැවත නැවත නරඹන්න පුළුවන් ෆිල්ම් එකක්. ඔලූවෙ ලොකු බරක් පටවනවා වෙනුවට ජීවිතේ ගැන ගැඹුරු ආදරේකින් බැඳෙන්න පොළඹවන කෘතියක්. මට හිතෙන්නෙ එක විදිහකට මේ ෆිල්ම් එක නරඹන සුවහසක් කසාද බැම්මෙන් බැඳුනු ලාංකිකයන්ව අප‍්‍රකාශිත මානසික බරකින් නිදහස් කරනවා.

බූපති නලින් නිතර චිත‍්‍රපටි ගැන කතා කරන කොට කියන ‘වැඩබිමක්’ කතාව මෙතනට ගොඩක් ගැලපෙනවා. ඇගේ ඇස අග කියන්නෙ ගොඩක් සමාජ-සංස්කෘතික- දේශපාලන සංවාදයන්ට හොඳ වැඩබිමක්. මේකෙ කෑලි කෑලි වෙනස් වෙනස් විෂයන් ඇතුලෙ විවිධාකාර සාකච්චා බවට පත් කරන්න පුළුවන්. හඳයා අලූත් අදහස් බිමක් යෝජනා කරනවා.

මේ ෆිල්ම් එක ඉසබෙල් කෝක්සෙට් (ස්පාඤ්ඤ නිසා හ`ඩ වරදින්න පුළුවන්* කියන අධ්‍යක්‍ෂවරියගෙ ‘එලිජි’ ෆිල්ම් එකේ කොපියක් කියල සේපාල් චෝදනාවක් ගෙනාවා. මේ චිත‍්‍රපටි දෙකම බලපු කෙනෙක් දන්නවා ඒක කිසි තේරුමක් නැති කතාවක් වග. රිලේටඞ් ෆිල්ම් එකක් කියන අදහසට මාත් එක`ගයි. ඒත් ඇමරිකානු නවකතාකාරයෙක් වන ෆිලිප් රොත්ගෙ ‘ඩයින්ග් ඇනිමල්’ පොත උඩ නිර්මාණය වෙන එලිජි ෆිල්ම් එකයි ඇගේ ඇස අගයි කියන්නෙ වෙනස්ම කතා දෙකක්. තේමා දෙකක් සහ සිනමාවන් දෙකක්.

ඒත් සේපාල් මේ විදිහට කරන දමා ගැසීමක් මට නරක විදිහට පේන්නෙ නෑ. ඒක එක්තරා විදිහකට දියාරු ඕලාරිකා පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාරය ඉන්ටෙන්ස් කරනවා. ප‍්‍රතිවාදයක් නිර්මාණය කරනවා. අනෙක් අතට සංවාදය පුළුල් කරනවා. ඇගේ ඇස අග බලපු අයට එලිජිත් බලන්න පොළඹවනවා.

ෆිලිප් රොත් එයාගෙ පසුකාලීන පොත් ඔක්කොම ලියන්නෙ ඇමරිකාව මුහුණ දෙන සමාජ ගැටළුවක් පාදක කරගෙන. ඒ මහළු වයස, රෝගී වීම සහ දුර්වලවීම කියන තත්වය. රොත් එකදිගට මේ විදිහෙ ඉන්ටලෙක්චුවල් මහල්ලොත් එක්ක තරුණියන් නිදිවදින කතාම ලියලා එපා වෙලා කියලත් සමහර විචාරකයො බනිනවා.

ඒ කොහොම වුණත් එලිජි කියන්නෙ පුද්ගලික මහළු බව සහ මරණය සම්බන්ද කතාවක්. ඒ මහළුබවට ආශාව සහ තාරුණ්‍යය මුණගැසෙන තැන අභියෝගය ගැන කතාවක්. ඒක ආත්මීය ගමනක්.

ඒත් හඳයා කරන්නෙ සමාජ දේශපාලනික වැඩක්. සමානරූපී චරිත පාවිච්චි කළ පමණින් චිත‍්‍රපටියක් කොපි කළා කියන එක චිත‍්‍රපටිය පේන්නෙ නෑ කියන එකට සමාන තත්වයක්. අනෙක් අතට කවදාවත් කිසි කෙනෙකුට කිසිම දෙයක් කොපි කරන්න බෑ කියන එකයි මගේ අදහස. අපි කොපි කරන්න උත්සාහ කරන සෑම තැනකදිම අපේ දේකුත් එතනට එකතු වෙනවා. අපි දකින්නෙ අපිට පේන දේ. ඒක හැමෝටම පේන දේ නෙමෙයි. උදා විදිහට ඇගේ ඇස අග කියල මං දකින්නෙ හඳයා නිර්මාණය කරපු දේම නෙමෙයි.

හඳයා ඇගේ ඇස අග හරහා මධ්‍යම පාංතික විවාහ සංස්තාවේ පැවැත්ම ගැන කතා කරනවා. එක ඌනිත ආකාරයකට කියෙව්වොත් යතාර්ථය සහ ෆැන්ටසිය මුනගැහෙන තැනක් ලකුණු කරනවා.

යතාර්ථය බෝරිං. හිස්. ඒකෙ ගන්න කිසි දෙයක් නෑ. ඒකෙ පැවැත්මට ෆැන්ටසියක් ඉල්ලා සිටිනවා. ඒත් ෆැන්ටසියේ දිශාව වෙන්නෙ (ආශාව වෙන්නෙ) යතාර්ථයක් බවට පත්වීම. ඒත් යතාර්ථයක් බවට පත්වෙන මොහොතේම ඒක ෆැන්ටසියක් නොවී යනවා. ලංකාවෙ ගැහැණියගෙ මේ අතර ගතවෙන ජීවිතය මෙච්චර කාලයක් කළමනාකරණය කළේ පන්සල.

පන්සලේදී ආශාව කළමනාකරනය වෙන හැටි තමයි ඇගේ අස අග ෆිල්ම් එකේ තියෙන කූට ප‍්‍රාප්තිය වගේම ලස්සනම තැන. රියැලිටිය විසින් ෆැන්ටසියට ගහන්න පහන් කනුව පිටින් උස්සලා ගන්න එක ක්ලැසික්.
ඒත් තවදුරටත් ලාංකේය මධ්‍යම පංතිය මේ විදිහට එලිමහනෙ හෙළුවෙන් නටන්න ලෑස්තිද? පන්සල වෙනුවට මේ එක්වීම නැවත ගෙදරට ගේන්න හඳයා යෝජනා කරනවා. ඒ කියන්නෙ කසාදයේ ආකෘතිය මාරු කිරීමක්. වඩා නිදහස්, සවිඥාණක සම්බන්ධතාවයක් හැටියට මිසක් තවදුරටත් මේ සංස්ථාව පවත්වාගෙන යාමේ ව්‍යාජය මතු කිරීමක් ඇගේ ඇස අගින් සිද්ද වෙනවා.

හඳගමව මං දකින්නෙ ලංකාවෙ පරාරෝපණයේ සිනමාකරුවා විදිහට. ඒක එයාගෙ ටෙලිනාට්‍ය වල පටන්ම මං ආශක්ත කාරණයක්. ඇල්බෙයා කැමූට කැමති ඕන කෙනෙක් හඳයාගේ මේ පිටස්තර බව එක්ක අනුරාගයෙන් බැඳෙනවා. පවතින සිනමාවෙන් හඳයාගෙ සිනමාව කියවන්න බෑ. ඒකට හේතුව හඳයා යෝජනා කරන්නෙම වෙනත් සිනමාවක්.

ඒක සිනමාව කියන විෂය සම්බන්ධ ඊස්තටික් වලට වග කියන්නෙ නෑ. ඒ වෙනුවට හඳයා දේශපාලනික අදහසක් වෙනුවෙන් සිනමාව කියන මීඩියම් එක පාවිච්චි කරනවා. එක විදිහකට ඒක ප්‍රොපගැන්ඩා වැඩක්. හඳයා අනිත් ගොඩක් චිත‍්‍රපටකරුවො වගේ භාවමය සෞන්දර්යෙන් දියවී යන තැනක තමන්ගෙ කෘතිය අවසන් කරන්නෙ නෑ (එලිජි ෆිල්ම් එක වගේ). ඒ වෙනුවට එයා දිශානතියක් පෙන්නනවා. විසඳුමක් යෝජනා කරනවා. ඒක හින්ද හඳයාගෙ ෆිල්ම් බලලා ඉවර වෙනකොට අර මනුස්ස ආත්මය පිලිබඳ කාලකණ්ණි මුස්පේන්තු ගතිය ඉතුරු වෙන්නෙ නෑ.

සිනමාව පැත්තෙ ඉඳලා බැලූවොත් හඳයාට සමාන වෙන තවත් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට මට මතක් වෙන්නෙ කිම්-කිඩුක්. ඒත් කතා තේමාව සහ සිනමා උවමනාව පැත්තෙන් නෙමෙයි. රූප ගොඩනැංවීමේ වින්‍යාසය පැත්තෙන්. යතාර්ථයෙන් පිට රූපකමය අර්තයෙන් චරිත ගොඩනැංවීම පැත්තෙන්. ඒ වගේම හඳයාගේ සිනමාවෙ දැනෙන පරාරෝපණයත් මේ නැගෙනහිර ආසියා කලාපයට ළ`ගයි. මේ ඒකෙ අපේ මොඞ්ල් එක.

ඇගේ ඇස අග චරිත කිසිම යතාර්ථවාදී පසුතලයක් උඩ හැසිරෙනවා කියල මං හිතන්නෙ නෑ. ඒ වෙනුවට ලාංකේය සංඥාර්ථවේදයන් අඩංගු ඇබ්ස්ට‍්‍රෑක්ට් චරිත කීපයක් හඳයා නිර්මාණය කරනවා. උදා විදිහට මේ චිත‍්‍රපටියෙ අනුරාගය. නැත්තං කැම්පස් යන කෙල්ල (ෆිල්ම් එකේ කිසි චරිතයක් හඳුන්වන්න නමක් ගමක් නෑ. මේ රූපකමය බව තේරුම් ගන්න ඒකමත් හොඳ තැනක්) මේ කෙල්ල කොහේ හරි ප‍්‍රාදේශීය පළාතකින් කැම්පස් ආපු ලිහලා දාපු එකියක් වෙන අතරෙම ෆැන්ටසියේ මනුස්ස රූපයද වෙනවා. (මේ චරිතය මතු කරන්න එයා අඳින පළඳින විදිහ හොඳට ගැලපිලා තිබුණ) මේ ගති දෙක චරිතය ඇතුලෙ සියුම්ව ගොඩනගන සම්බන්දයක් කරන්න හඳයා මහන්සි වෙන්නෙ නෑ. ඒ වෙනුවට ඒ අසම්බන්ධිත වියුක්ත බවම ඒකෙ ආර්ට් එක කරනවා.

මේ වයස්ගත මිඞ්ල් ක්ලාස් පිරිමියාගෙ ෆැන්ටසිය වෙන්නෙ මේ ගමේ කෙල්ල. එහෙම නැතුව නාගරික පොෂ් තරුණිය නෙමෙයි. මේ පිරිමියා බීඞීඑස්එම් ඇඳුම් අන්දවා පවා රස විඳින්න කැමති වෙන්නෙ නැවත ගමේ ෆැන්ටසිය.

හඳයා සමහර දේවල් ඉතා හොඳට කරනවා. යතාර්ථය- ෆැන්ටසිය සහ අනාගතය විදිහට මේ චිත‍්‍රපටියෙ ප‍්‍රධාන චරිත කඩා ගත්තොත් අනාගතය විදිහට ඉන්නෙ සඳලි ඈෂ් නිරූපනය කරන ටීනේජ් දුව. කිසිම තේරුමක් නැති කේන්ති යාම් සහ තමන්ට තමන්වම නොතේරී යාම නිසා ඇතිවෙන නව යොවුන් වියවුල හඳයා මේ චරිතෙ ඇතුලෙන් ගොඩක් ලස්සනට එලියට ගන්නවා. ලංකාවෙ සිනමාවෙ ටීනේජ් කැරැක්ටර් එකක් සමාජ මානසික පදනමකින් නිර්මාණය වුණාමද කොහෙද. ඒ වගේම වයස්ගත විවාහකයන්ගේ ඇඳ. ඒ ඇඳ මේ තරම් ළ`ගට ගෙනාපු කෘතියක් මට මතක් වෙන්නෙ නෑ. නිවෙමින් යන ආශාවේ උණුසුමවත් රඳවා ගන්නට මේ ඇඳ උඩ ගැහැනිය දරන තේරුමක් නැති තැත ඇ`ගට දැනෙනවා. පිටස්තරයෙක් විදිහට දකින නිසාමත් චරිත ඇතුලෙන් ආවොත් නොදැනෙන, කල්චර් එක ඇතුලෙ ජෙනරලයිස් වෙලා යන්න ඉඩ තියෙන, මේ සියුම් තැන් හඳයට අහුවෙනවා.
ඇගේ ඇස අග ඇතුලෙ කෑම මේසෙ නියම අනියම් පේ‍්‍රමයන් සහ දියණිය එකට ඉඳගෙන කෑම ගනිද්දි නියම් බිරිඳ ජාතක පොතෙන් කතාවක් මතක් කරනවා. ඒ සද්දන්ත ජාතකය. අපේ ශාසන සංස්කෘතික අධිකාරිය විසින් අපිට නොදන්වාම බැහැර කරන බෞද්ද ජනශ‍්‍රැති උරුමයේ කොටසක් හඳයා මේසෙට ගේනවා.

(ඡ)සද්දන්ත ජාතකයෙ එන්නෙ අපේ බෝසතුන් පෙර ආත්මයක හොඳම පෙඩිග‍්‍රියකින් එන ඇත් රජෙක් වෙලා ඉපදිලා හිටපු කතාවක්. මේ ඇතා ජීවත් වෙන්නෙ බිරින්දෑවරු (ඇතින්නියො) දෙන්නෙක් එක්ක. එක දවසක් ග`ගක් ගාව සල් ගහක් යට මේ තුන් දෙනා එකට ආදරෙන් වෙළිලා ඉන්නකොට ඇතා ලව් එක වැඩිකමට සල් ගහ හොල්ලනවා. මෙතනදි එක ඇතින්නකගෙ පිටට සල් මල් ටික වැටෙද්දි අනිත් ඇතින්නගෙ පිටට කෝටුබෝටු සහ කූඹි ටික වැටෙනවා.

මේ තරහ හිතේ තියාගෙන මැරෙන මේ ඇතින්න වෙන ආත්මයක ඉපදිලා රජ බිසවක් වෙනවා. ඒත් හිතේ තියෙන තරහ ඉවර නෑ. දඩයක්කාරයන් කැඳවලා අර ඇතාව හොයාගෙන දළ දෙක ගේන්න නියෝග කරනවා. අවුරුදු හතකුත් මාස හතකුත් දවස් හතකුත් ගිය තැන දඩයක්කාරයෙක් මේ ඇතාව හොයාගෙන උගුල් අටවලා විෂ ඊතල විදලා මෙල්ල කර ගන්නවා. ඒත් ඇතාගෙ දළ කපන්න දඩයක්කාරයාගෙ හයිය මදි. ඇතා නැගිට ගන්නවා. ඒත් දඩයක්කාරයා ගැන අනුකම්පාවෙන් ඌ නොමරා දළ දෙක ඉල්ලපු කෙනා ගැන අහගන්නවා.

ඊට පස්සෙ ඇතාට දුක හිතිලා එයාම දළ දෙක කපලා දඩයක්කාරයට දෙනවා. දඩයක්කාරයා විසින් මේ දළ ගෙනැත් බිසව අතට දුන් සැණින් එයාට පරණ පේ‍්‍රමය සිහිපත් වෙනවා. ඒ ගැන විස්සෝපයෙන් පපුව පැළිලා එතනම මැරුණ කියලයි කියන්නෙ.

ඇත්තටම මේ ජාතක කතාව තුන්කොන් පේ‍්‍රමය ගැන හිතාගන්නවත් බැරි තරම් ගැඹුරු කතාවක් කියනවා. ඒ කතාවම හඳයා ඇගේ ඇස අගින් මොඩර්න් ජාතක කතාවක් විදිහට ගේනවා.

ඇගේ ඇස අග චිත‍්‍රපටියෙ කැමරාව ගැන මට සංවාද කළ යුතු කාරණා ගොඩක් තියෙනවා. උදා විදිහ ස්වර්ණා කාමරයට එනකොට නිතර පාවිච්චි වෙන ට‍්‍රැක්බැක් එක (හෑන්ඞ් හෙල්ඞ්). එතන වෙන කිසිම තැනකට වඩා වෙනස් විදිහට මේ චරිතෙ විතරක් අභ්‍යන්තරය කැමරාවෙන් දනවන්න යනවා වගේ. එකපැත්තකින් මේ වගේ සිනමාවකදි වැදගත් වෙන්නෙ කොයිතරම් සරලව සහ ඍජුව (අලංකාරවලින් තොරව) සිදුවීම කැප්චර් කරනවද කියන එක. ඒ අතරෙ බෙඞ්ෂීට් එක ඇතුලෙන් රිංගලා ඒ ඇතුලෙ හැංගුන ෆැන්ටසියෙ චමත්කාරය අල්ලන්න ගත්ත උත්සාහය වගේ තැන් ගොඩක් අලූත්.

සංගීතය චිටීට බාර දීපු එකත් හඳයාගෙ පරාරෝපිත මූඞ් එකට ලොකු සාධාරණයක් කරනවා. කිසිම ලාංකේය කියන හැඩයකට නොගිහින් හැ`ගීම විතරක් අල්ලගන්නත්, චිත‍්‍රපටයෙ රූපකමය අර්තය පවත්වාගෙන යන්නත් චිටීගෙ මියුසික් වැඩකරනවා. විශේෂයෙන්ම ‘ඇහැරෙන්න’ කියන තීම් සෝන්ග් එක චිත‍්‍රපටයෙ අවසානයත් එක්ක මයිල් කෙලින් වෙන අත්දැකීමක් ඉතිරි කරනවා.

චිටී අතින් නිර්මාණය වුණු තේමා වාදනයත් ෆිල්ම් එකට අවශ්‍ය තුන්වෙනි ලේයරය නිර්මාණය කරනවා. ඒත් සමහර තැන්වලදි චිටී අතින් සිද්ධිය විස්තර කෙරෙන විදිහෙ සංගීත ඛණ්ඩ නිර්මාණය වෙනවා කියල මට හිතෙනවා. ඒ තැන්වලදි නිර්මාණයට සම්බන්ද නමුත් එයින් වියුක්ත භාවිතාවක් විදිහට සංගීතය කරන වැඩෙන් එලියට විසිවෙනවා. සංගීතය සිදුවීමෙ කොටසක් වෙනවා.
ඒත් චිටී, හිතුවක්කාර වැඩවලට හොඳ හොයා ගැනීමක්.

ෆිල්ම් එකේ එක තැනක වයසක ප්‍රොෆෙසර් ගෙදර තනියම ඉතුරු වෙනවා. කසාද පේ‍්‍රමයත් නැති, අනියම් පේ‍්‍රමයත් නැති, වගකීම් රහිත තමන් විතරක් වුණු, විවාහකයෙකුට අන්තිම විරල අවස්ථාවක්. එතනදි එයා තමන්ගෙ උමතුව මුදාහරිනවා. තමන් වෙත සමාජය විසින් පවරා දුන් සියලූ අනන්‍යතාවයන්ගෙන් මිදී නිදහසේ පුපුරා යනවා. ඒ වෙලාවෙදි දුවගෙ හෙඞ් ෆෝන් එකෙන් රෙඞ් සර්කිට් බෑන්ඞ් එකේ ( චිටී සින්ග් කරන) සිංදුවක් ඇහෙනවා.‘කැනොනයිස් යුර් සින්ස්’ (ඔබේ පාපයන් ශුද්ධත්වයට පමණුවමු). ඒක පට්ට.

‘ජීවිතය සුරංගනා කතාවක් නොවේ
එය අමිහිරි යතාර්ථයක්ද නොවේ
ඒ ඔබට පේන හැටියයි…
පොලොව හරහා යන
ලේ වැකි අකුණු පහරක් කියන්නේ
ලෝකය මංමුලා වුණු වග නොවේ..

මට කියන්න, ඔබේ ඇතුලාන්තය පෙන්වන්න..
හැම රහසකටම එහිම වූ හේතුවක් තිබේ
පව්කාරයන් පවා පේ‍්‍රමයෙන් බැඳේ…

මේ ඒ සිංදුවෙ වැරදි සහිත සරල තේරුම සිංහලෙන්. එක විදිහකට ඒක ෆිල්ම් එක අන්තිමට ගේන තීම් සෝන්ග් එකත් එක්කත් බද්ධයි. ඇහැරෙන්න සිංදුව අහපු ෆිල්ම් එක නොබලපු සමහර මගේ යාලූවො ඇහුවා ‘ඔය කියන්නෙ ෆැන්ටසියෙන් ඇහැරෙන්න’ නේද කියල. ඒත් ඒ කියන්නෙ යතාර්ථයෙන් ඇහැරෙන්න වග කිව්වම ගොඩක් අය අන්දමන්ද වුණා.

හඳයා විප්ලවීය පියවරක් තියන්නෙ එතන. සාමාන්‍ය හුරුපුරුදු ආපහු ගමන වෙනුවට ඇගේ ඇස අගින් යෝජනා කරන්නෙ යතාර්ථය වෙනස් කළ යුතුයි කියන එක. ෆැන්ටසියට ඉඩ දිය යුතුයි කියන එක. අවුරුදු දහයකට පස්සෙ ලාංකේය ඕලාරික, ළදරු මානසික සිනමාවේ සිතියම එයා වෙනස් කරනවා.

මේක වැඩිහිටි කතාවක්. ළමයින්ට වගේම වැඩිහිටියන්ටත් ප‍්‍රකාශ වෙන්න අයිතියක් තියෙනවා. හඳයා ආයිමත් ලංකාවෙ වැඩිහිටියන්ට ඇඳ උඩට කතා කරනවා.

පන්සලට වෙනුවට ඇඳ උඩට එන්න.

https://c-u-l-t.blogspot.co.uk/2016/05/blog-post_23.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල