ඉතිහාසය

තල් කොලය හා පන්හිඳ

Off

(මේ ලියාගන යන්නෙ උග්ගල් අලුත්නුවර දේවාල ගම්මානයේ ඇත්තන් අධ්‍යාපනය ලැබුව විදිහ පිළිබඳ ඇහිඳ ගත්ත දේවල් අතරින් ගත්තු “අසම්පූර්ණ විස්තර” කිව්වට වරදක් නෑ. ඒව අසම්පූර්ණ විස්තර කියල කිව්වෙ මූලාශ්‍රමය දත්තවල හිඟකම නිසයි. සමාව අවසර සමහර විස්තර ජනප්‍රවාදය පමණක් ඇසුරු කර ගත්තුවා වේවි)

අදක ඊයෙක නෙවෙයි, වසර දහස් ගණනක ඉඳන්ම ලංකාවෙ ඇත්තන්ට යම් යම් දෑ පහසුවෙන් ලියා තියන්ඩ කඩදාසි තිබුණෙ නෑ. ඒ වෙනුවට තල් ගහේ කොලය නියම විදිහට පදම් කරල කල්පවතින විදිහට තියාගන්ඩ දැනගෙන හිටිය. තල මල වරුණාව කවි වලින් කිව්ව වාගෙම තල අත්තේ ප්‍රයෝජන ගැන විස්තර කළේත් කවි වලින්.

අත්ත හොඳයි තද වැස්සට

ඉහලන්ඩ

පිත්ත හොඳයි වරමදු පොට

අඹරන්ඩ

ගොබේ හොඳයි සද්ධර්මය

ලියවන්ඩ

එමල හොඳයි බුදු මඟුලට

ගෙනියන්ඩ

ඒත් 1660 දී ලංකාවට පැමිණි රොබට් නෝක්ස්ට තල් ගහේ තියන ඒ වගෙ ප්‍රයෝජන ගැන අහන්ඩවත් ලැබී නැති බව බව පෙනෙනවා. එයා දැකල තියෙන්නෙ තද වස්සට ඉහළන බවයි තල් බඩේ කෑමට ගන්න බවයි විතරයි වගේ. ඒ විස්තර සිංහලට පෙරලා තියෙන්නෙ මෙන්න මෙහෙමයි.

තල් අත්ත ඉහලන උඩරට වැසියා රොබ්ට් නොක්ස්ගේ නිර්මාණයකි
රෙබට් නොක්ස් දුටු උඩරට වැසියා එදා හෙල දිව කෘතියෙනි
“…….මේ ගස් අතරින් පළමුවැනි වර්ගය නම් තල්ගසයි. නෞකාවක කුඹ ගසක් තරම් උසට සෘජුව වැඩෙන මේ ගසෙහි කොල කීප ආකාරයකින් ප්‍රයෝජනවත් වන්නේය. මෙම කොල කෙතරම් පළල් දැයි කිවහොත්බවර්ෂා සමයෙහි කීප දෙනෙකුට වුවත් මෙයින් එක් අත්තක් යටට වී නොතෙමී සිටිය හැකිය. මේ අතු වියලාගත් කල්හි සවිමත්ය. වනිතාවකගේ අවානක් මෙන් අකුලා ගන්නට පුළුවන. විදහා පතුරාගත් කල්හි අත් දණ්ඩකට වඩා මහත් නොවේ. ඉතා සැහැල්ලුය. වැස්සෙන් අවුවෙන් බේරීමට ඉසලනු ලබන මෙය විහිදුවා ලූ කල අර්ධ කාවාකාරය. මේ රටේ සියලුම සුළු නිලධාරීහු තල් අතු දරති. අව්ව වැස්ස යන දෙකින් සෙවන ගැනීමට පමණක් නොව රාත්‍රී කාලයෙහි කුඩාරම් ගසා ගැනීමටත් මේ තල්පත උපකාරී වන්නේය……ගස ඇතුලත තිබෙන බඩය ගස පූදින්නට පෙර කඳ පලා ඉවත් කරගතහොත් ආහාරයට ගතහැකිය. මෙම තලබඩය වනෙහි ලා කොටා ගෙන පිටියෙන් සුදු පාන් වැනි රසවත් රොටියක් සාදා ගනිති.”[i]

ලියන පෑන- පන්හිඳ

Panhinda

Panhinda
අන්තර්ජාලයෙනි
වසර දහස් ගණනක් දුර අතීතයේ සිට තල්පත් වල ලිවීම ආරම්භ කළ අපේ ඇත්තන් ඒ සඳහා භාවිත කළේ පන් හිඳ නැමැති උපකරණයක්. එය අගට තියුණු වානේ තුඩක් සහිතව පිත්තලෙන් හැඩ වැඩ දමා සකස් කළ පෑනක් වැනි උපකරණයකි. එය ගෙදර පවතින මහඟු වස්තුවක් විදිහට සුරක්ෂිත කර තැන්පත් කර තැබීම ද පෙරසිරිතකි.

යුරෝපීය ආගමනය සමග කඩදාසි හා පෑන් පැන්සල් භාවිතය ඇරඹුනත් ලංකාවේ ඇත්තන්; විසේසයෙන්ම පුරාණ ගම්මාන වල දැනමුත්තන් පන්හිඳයි තල්කොලෙයි අමතක කළේ නැහැ. උග්ගල් අලුත්නුවර වගේ පුරාණ සම්ප්‍රදාය රැකී තිබුණ තැන්වල මෑතක් වන තුරුම වැදගත් ලේඛන සඳහා භාවිත කළේ පන්හිඳ හා තල් පත බව පෙනෙනව. පන්හිඳ හදාගන්නට නවන්කරන පංගුවේ ඇත්තන් ලවා පුළුවන් උනත් තල්පත හැදීම එහෙම ලේසියෙන් කරන්න බැරි බව එදා සාකච්ඡාවෙදි පැහිදිලි වුනා.

2012 දිවිය නිමා කළ සාමවිනිසුරු පාරම්පරික දෛවඥ ඒ.ජී. අල්විස් මහතා උග්ගල්

අලුත්නුවර විසූ ඇසූ පිරූ තැන් ඇති දැනමුත්තකු වුනා. කාගෙත් ගෞරවය ලැබූවා .[ii] ඔහු දේවාලයේ ගණිත පංගුව පරම්පරාවේ සිටි වැදගත්ම දැනමුත්තක් ලෙස එම පරම්පරාවේ අය විතරක් නෙවෙයි අනෙක් අයත් පිළිගත්තා. ඒ හින්ද ගමේ තිබුණ සියලුම සමිති සමාගම්වල ලේකම් තනතුර පිරි නමා තිබුණා. එයාට කවුරුත් කිව්වෙ ලේකම් මහතා කියලයි.

එයා තමන්ට වැදගත්ම යයි සැලකූ ලේඛන ; විශේෂයෙන් නැකත් පත්‍ර, කේන්ද්‍ර සටහන් වැනි කටයතු සඳහා පන්හිඳ හා තල්පත භාවිත කරනු දක්නට හැකි වුනා.පන්හිඳ සැකසීම වර්තමානයේ වුවද ආභරණ තනන තැනක දී අදාල ආකෘතිය දුන් විට සකස් කිරීම අපහසුවක් නොවේ.

තල් පත හදන විදිහ එදා ලේකම් මහතා පැවසුවත් ඒ විස්තර සහිත විඩයෝව මැකීයාම බලවත් පාඩුවක් වුනා. මතකයේත් නැති නිසා ප්‍රායෝගික දැනම පවතින වෙනත් කවුරුන් හෝ පාරම්පරික වියතකු සොයමින් සිටියා මේ අතර දි එැවනි කෙනකු කරන විස්තරයක් හමු වුනා. මී ළඟ ලිපියෙදි. ඒ විස්තර තියනවා. පහත පන්හිඳෙන් තල්පතේ ලියන විදිහ පෙන්වා දෙන ලේකම් මහතා

(තල්පත් සකස් කරන විදිහ විස්තර කළත් ඒ කොටස මැකී ගිහින් ඉතිරිව තියෙන්නෙ විනාඩි දෙකකටත් අඩු විඩියෝවක් විතරයි.)

https://sugv.wordpress.com

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල