බ්ලොග් නවකතා

අමුතු කතාවක් 4.: පනිවිඩකාරයෙක් නැති පනිවිඩ

Off

උදුලා කුමාරිහාමි වැලඳී තිබුණ ලියුකේමියා රෝග තත්වයෙන් ම මිය ගියා. ඒ නිසා මොන තත්වයක් තිබුනත් ටිකිරිබණ්ඩාරට උනේ මළ ගෙදර කටයුතු අවසන් වෙනකල් අලුත් වලව්වේ රැඳෙන්නයි. ටිකිරිබණ්ඩාරත්, රූපත් හැම මොහොතක්ම ගත කළේ භියෙන්. සැකෙන්. තනියෙන් ඉන්න එක ඒ දෙන්නට මරණ භය ඇති කළා කියුවොත් නිවැරදි.
පරණ වලව්වේ තත්ත්වය එන්න එන්නම දරුණු වෙලයි තිබුනේ. ගෙදරින් එලියට බහින්න විදිහක් නෑ. එක්කෝ ඇඳුම් පැලදුම් නෑ. නැත්නම් සල්ලි නෑ. මේ නිසා වලව්වේ ඈයන්ට ගොඩක් ප්‍රශ්න වලට මූණ පාන්න සිද්ධ උනා. මේ නිසාසඳමිණීගේත් දෙව්මිණීගේත් ඉස්කෝලේ ගමන සතියකට දවසකට දෙකකට සීමා වෙන්න පටන්ගත්තා. සඳලතාටත් මූණ දෙන්න සිද්ධ උනේ ඒ සංසිද්ධියටමයි. අතුරුදහන් වීම් විතරක් නෙවෙයි. කිසි අඩුවක් නැතුව සූදානම් වෙලා එලියට බහිනකොටම නිල් වතුරෙන් හරි මඩ වතුරෙන් හරි නාන්න වෙනවා. ඉතින් යන්න වෙන්නේ නෑ. මේ නිසා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වාගෙම පංසල් දේවාල ගානේ යන්න පටන්ගත්තා. ඒත් ඒ ගමනුත් ගොඩක් මේ නිසා යන්න උනේ නෑ. ඊට අමතරව තව සිද්ධියක් වෙමිනුයි තිබුනේ.

“උඹලට ඔය ගමන යන්ට වෙන්නෙ නැ. ගියොත් බලාගෙනයි.”

මේ වගේ ලියැවුණු දේවල් හැම උදේකම කියවන්න ලැබුනා. මුලින් හිතුවේ කවුරුන් හෝ කරන ඔච්චමක් විදිහට. ඒත් ලියපු කෙනෙක් නෑ. නිවසේ කිසිවෙකුගේ අත් අකුරු නො වන නිසා මේක මහ ප්‍රෙහේලිකාවක් උනා. ඔය අතරේ එක සෙනසුරාදා දවසක වලව්වේ මළගිය සියලු ඥාතීන්ට පින් පිනිස ගමේ පංසලට දානයක් පිළිගැන්වුවා. එදා දවල් සඳලතත් නිලමෙත් උන්නේ කතා කරමින් මැද සාලේ. ශර්ලක්හෝම්ස්ගේ පොත් දෙකක් කියවමින් දියණියන් උන්නේ මිදුලේ. නිවසේ තියන ප්‍රශ්න වලට රහස් පරික්ෂක කතාවල, අත්භූත කතාවලවත් විසදුම් ඇද්දැයි සොයන්නට දෙදෙනා උත්සහ ගත්තා. මේ අතරේ සාලේ තිබුන ටීපෝව මත අමුතු දෙයක් සිද්ධ වෙන්න පටන්ගත්තා. ටීපෝව මත තිබුණ කඩදාසියක් මත පෑනක් අතක් නැතිව යමක් ලියන්න පටන්ගෙනයි තිබුනේ. නිලමෙත් සඳලතාත් මේ සිද්ධිය දුටුවා. ඔව්න්ට කතා කර ගැනිමට හෝ නො හැකි බවක් දැනෙන්න උනා.

“අද මට ගොඩක් පින් ලැබුනා. උඹලටත් පින්. ඔය යන්තර මන්තර පස්සේ යන්නැතුව මට පින් දීපල්ලා.”

ලියවී තිබුනේ එහෙමයි. මොහොතක් යන තුරු ම වන්නේ කුමක් දැයි අදහාගන්න බැරි උනා. මීට පෙර හැම උදේකම ලැබුන ලියැවිලිවලත්, මේ ලියැවිල්ලේත් අකුරු සමාන බව කාටත් වැටහුනා.
දවසක් රාත්‍රී 8 ට පමණ නිලමේ ලියකියවිල්ලක් පිළියෙල කරමින් උන්නේ. ඒ අතරේ අර විදිහට කඩදාසියක් මත පෑනක් යමක් ලියන්න පටන්ගත්තා.

“අද රෑට වලව්වට හොරු පනින්ට ලෑස්ති. උන් 8 30 වෙනකොට වලව්ව කිට්ටුවට එනවා. 11 වෙනකල් බලලා යනවා කියුවා. සුදු පාට වෑන් එකක්. උඹ කුමාරිහාමියි, දරුවො දෙන්නයි එක්ක හොඳට දොරවල් ජනෙල් වහගෙන ගෙට වෙලා හිටපන්. මොන හේතුවකටවත් එලියට බහින්ට බෑ. ඉතුරු ටික මං බලාගන්නම්.”

නිලමේ මේ ලියමන සෙස්සන්ටත් පෙන්නුවා. ඒත් සඳමිණීත් දෙව්මිණීත් මේක විශ්වාස කළේ නෑ. රාත්‍රී 9 ට විතර නිලමේ පිස්තෝලයකුත් රැඟෙන සාලයට වෙලා උන්නා.

“අනේ අප්පච්චි ඕක බොරුවක් වෙන්ට ඇති.”

“අනේ ඔව් අප්පච්චි අපි ජනේලයක් ඇරලා බලමුකෝ ඇත්තද කියලා?”

“ලොකූ, පොඩී මගෙ යකා අව්ස ගන්ට එපා. ඔය තුන්දෙනා බලාගන්ට ඕනෙ මං.”

ඒත් එක්කම කඩදාසි කොළ ගුලියක පහරක් දෙව්මිණීට වැදුනා. දෙව්මිණී ඒක දිග ඇරලා බැලුවා.

“දකුණු පැත්තේ ජනලෙන් බලපන්. ඇත්ත බොරු පෙනෙයි තොපිට.”

ජනේලයෙන් බැලුවාම කාරනේ සත්‍ය අසත්‍යතාව දකින්න ලැබුනා. සුදු පාට වෑන් රථයක් පාරේ කොනක නවත්තලයි තිබුනේ. කාරණේ ඇත්තක් නිසා පෙරටත් වඩා කාටත් භියක් දැනුනා.

“අප්පච්චි අපි පොලිසියට කියමුකෝ ඉතින්.”

“කොහොම කියන්ටද දරුවෝ. ටැලිපෝන් එකත් කපලා. එලියට ගිහින් කාටවත් කතා කරන්ට විදිහකුත් නෑ.”

තමන් පත් වී ඇති අසරණ බව සඳමිණීට වැටහෙන්න පටන්ගත්තා. හරියටම රාත්‍රී 11 5 වෙනකොට වෑන් එක පිටත් උනා. හැමෝගෙම හිතට සහනයක් ලැබුනේ එවිටයි.

“තව ඇහැරලා ඉන්නේ මොකටද? ඔය ලයිට් ඕෆ් කරළා නිදාගනිල්ලා.”

විධානයක් නිකුත් උනා.මේ වෙන දේවල් එකින් එක අවුල් සහගත වෙනවා මිස කිසිම සහනයක් පේන්න නැති බවක් සඳලතාට දැනුනා.

“උඹලා අද ඉස්කෝලේ යන්ට එපා. පොඩීව මරන්ට මග රැකන් ඉන්නවා.”
දවසක් උදේ මෙහෙම පනිවිඩයක් ලැබුනා. පෙර වූ හැම සිද්ධියක්ම හරිගිය නිසා කවුරුත් මේ පනිවිඩේට අවනත බවක් දැක්වුවා. ඒත් සඳමිණීට ඕනෙ උනේ ඉස්කෝලේ යන්නයි.

“අනේ මල විකාර. මට ඉස්කෝලේ යන්ට ඕනේ.”

“ලොකූ විකාර නොකර ඉන්නවා. මොනවහරි උනොත් යන්ට වෙයි ඉස්කෝලේ.”
“බෑ බෑ. මට යන්ට ඕනේ. නංගිටනේ එපා කියන්නේ.”
එත් සමගම සඳමිණීට පනිවිඩේ ලැබුනා.

“හරි උඹ පලයන්. තොට දැන් මගුල් විසේ ගහලනේ තියෙන්නේ. තෝ යන්නේ අර ප්‍රදීප් කියන එකා බලන්ටනේ. හිටපන් ලඟදිම මං අම්මටයි අප්පච්චිටයි උඹේ වැඩ අල්ලලා දෙන්නම්.”
මේ කියවපු සඳමිණීට තරු පෙනුනා. ප්‍රදීප්, සඳමිණී හැර මේ ගැන දන්නේ යහලු යෙහෙලියන් දෙතුන්දෙනෙක් පමණයි.
“හොඳ වෙලාවට මම මේක බැලුවේ. වෙන කෙනෙක් බැලුවනම් ඉවරයි.”
සඳමිණීට හිතුනේ එහෙමයි. එදයින් පස්සේ මේ පනිවිඩ ගැන සඳමිණී දැක්වුවේ භිය මුසු සැලකිල්ලක්. ඉන් පසුවත් කීප වතාවක්ම සඳමිණීට ප්‍රදීප් සමග තිබුණු සම්බන්ධය නවත්තන්නයැයි කියමින් තර්ජනය කරන පනිවිඪ ලැබුනා.
“ප්‍රදීප් කියන්නේ අපිට ගැලපෙන එකෙක් නෙවෙයි. මං හොයලා බැලුවා. ඒහන්දා ඕක නවත්තපන්.”
කියමින් ප්‍රදීප්ගේ සියලු විස්තර කියලා තිබුනා. ඒ හැම එකක්ම ඇත්ත. ඒ විස්තරේ ලියවුනේ සඳමිණී ඉදිරියේමයි. සඳමිණීට වෙච්ච දෙයත් ලියා ඇති සියල්ලත් සත්‍ය නිසා ගල් ගැසී බලා ඉන්නවා හැර කරන්න දෙයක් හිතා ගන්න බැරි උනා.
මේ වගේ සිද්ධි බහුල වෙන්න පටන්ගත්තා. ඒත් මොනම වෙලාවකවත් අලුත් වලව්වේ වගේ සෙවනැල්ලක් විදිහටවත් පේන්න ආවෙත් නෑ. කට හඬින් මොකුත් කියුවෙත් නෑ. තව දවසක

“හෙට උදේ උඹ දරුවෝ දෙන්න එක්ක ගොඩවෙල වත්ත කන්ඳේ ඔය පටන්ගන්න තැනට වරෙන්. අපේ පරම්පරාවට අයිති නිධානයක් එතන තියනවා. උඹලට හෙට ඒක ගන්න පුලුවන්.”

පහුවදා උදේම තුන්දෙනා පිටත් උනා. ඒ ගමනට සඳලතාවත්, දියණියන්වත් කැමති උනේ නෑ. ඒත් නිලමේගේ කැමැත්තට යන්න උනා. උදේ ඉදලා හවස් වෙනකල් හිටියත් ලැබුන දෙයක් නෑ. එතන මහා ඝන කැළයක්. අන්තිමට රෑ වෙන්න කලින් වලව්වට එන්න නිලමේ තීරණේ කළා. වලව්වට ගිය නිලමේට ලැබුනේ හරි අපූරු පනිවිඩයක්.

“මං අද උඹලා ගෙන්න ගත්තේ බිළි ගන්ට. ඒත් මං අන්තිමට තීරනේ වෙනස් කළා. ඒ නිසා උඹල තුන්දෙනා බේරුනා කියලා හිතාගනින්. ඒත් මං අතහරින්නෙ නෑ. අන්න ඒක මතක තියාගනිල්ලා.”

පස්වන කොටසෙන් හමු වෙමු.

 

http://ahasenenna.blogspot.co.uk/2016/06/4.html

තුන්වන කොටස 

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල