බ්ලොග් නවකතා

විමලෙගෙ වාං පතුල් කතා – 40 – පිළිස්සූ කුකුළකු නිසා අහිමිවූ මගේ ආදරය

Off

හුටා එහෙමත් එකක්ද?අයියත් දන්නවද සීන් එක? දෙයියෝ සාක්කි ඉතිං මොකේදැයි දං වළඳන්නේ?..කියල ඇහුවලු ලොකු හාංදුරුවො…

“හරි හරි මල්ලි ඔව්ව ඔහොම තමයි….මේ ජීවිතේදි අපිට ඔහොම දේවල් වලට මූණ දෙන්ට වෙනව” අයිය මගෙ උරහිසට අතක් තියල මිරිකුවා.

“අපි බලන්ට ඕන එව්වට මූණ දෙන විදිහක්. කිසිම දේකින් අකම්පාල වෙන්ට නරකයි…හරි මට වැඩි විස්තර දැනගන්ට ඕන නෑ. නිමල් මට කිව්ව ටික ඇති.මල්ලි අකමැති නැත්නම් මම පොඩ්ඩක් ඒ ගැන කතා කරන්නං.”

“අනේ නෑ අයියෙ අර අහවල් දේකටද මම අකමැති වෙන්නෙ? නිමලයත් අජිතය වගෙම මගෙ එක්කුසේ උපං සහෝදරයො වගෙ යාලුවො වෙච්චි. එතකොට ඒ නිමලයගෙ අයිය මගේම අයිය වගේ තමයි. අනික මම මේ පැටලිල ඉන්න පඹගාලෙ හැටියට අයිය වගෙ දැනුම් තේරුම් තියන විශේෂයෙන්ම මේ වගෙ ප්‍රශ්ණයක් තේරුම් ගන්ට පුලුවන් කෙනෙකුගෙ උපදෙස් මේ වෙලාවෙ බොහොම වටිනව.”

මම එහෙම කියල ආයම පොඩ්ඩක් වක්කර ගත්ත.

ආය ඉතිං හංගන්නෙ මොන කෙහෙල්මලක්ද? මම මට මතක විදිහට වෙච්චි දේවල් සේරම නිමලෙගෙ අයිය එක්ක කිව්ව.මතක හැටියට කිව්වෙ ඔය වගෙ වැඩි උනහම සමහර දේවල් මතකයෙ ඇත්තෙම නෑ. හරියට හාඩ් ඩිස්ක් එකෙම්ම ඩේටා ඩිලීට් කලා වගෙ මැකිලම යනව. ඒත් මේ ලඟදි මගෙ යාලුවෙක් වන කොම්පියුටර් ඔස්තාර් කෙනෙක් කිව්ව කොහොම ඩිලීට් කලත් ඒ ඩේටා ආයම රිකවර් කරගන්න ඕනනම් පුලුවන්ය කියල. එහෙම බලනකොට ඩේටා ඉස්තිරවම මකලම දාන්න එකම ක්‍රමේ හාඩ් එක කළුගලක් මත්තෙ තියල රාත්තල් විස්සෙ කුළුගෙඩියකිං දෑත බදල දේයි දේයි ගාල හත අටක් පත බාල තලලම දාන එක….හෙහ්,හෙහ්

ඔය හාඩ් ඩිස්ක් වල ඩේටා ඩිලීට් කලාට ආයම රිකවර් කරගන්ට පුලුවන්ය කියන කතාව ඇත්ත වෙන්න ඇති. මොකද දැං අපේ ඔලු ගෙඩිය ඇතුලෙ තියන හාඩ් එකෙන් මැකිල ගිය දත්තත් රිකවර් කරගන්ට පුලුවන් ක්‍රම තියනවනෙ. එක එක වර්ගවල බෙහෙත් දීල…. එතකොට මොළේට උත්තේජනයක් සපයල ….ආය තව වශීකරල අන්න ඒ වගෙ.

“වැඩේ ටිකක් ..ම්ම්ම්..ටිකක් නෙවෙයි මල්ලි ඇත්තම කිව්වොත් හොඳටම බරපතලයි අවංකවම කතා කලොත්. දැං ඔය අසෝකා නංගිව මල්ලි දන්නෙ කොච්චර කල් ඉඳලද? ”

“අවුරුද්දක් වගෙ ඇති අයියෙ…ඒ කියන්නෙ අවුරුද්දකට වගෙ ඉස්සර තමයි අපි හම්බ වුනේ. ඊට පස්සෙ ඉතිං වචනෙන් ඉස්තිරව යමක් නොකිව්වට එහෙම පොඩි මෙව්ව එකක් අපි දෙන්න අතරෙ තිබුන. මේ පාර සුජිතා අක්කගෙ මඟුල් ගෙදර ඇවිල්ල තමයි ඔන්න කතාබහ කරගෙන වැඩේ සීරියස් කරන්ට කියල හිතාගෙන හිටියෙ.”

මම එහෙම කියල සාලෙන් එහා පැත්තෙ හුඩ් එක යට තිබ්බ ලයිට් එක වටේ මෙරු හත් අට දෙනෙක් කැරකෙනව බලා හිටිය. මෙරු කියන්නෙ වේයො. කාලෙකදි වේයන්ට තටු ඇවිල්ල පියාඹල යනව. ඒ කාලෙදි එවුං ලයිට් එලියට ආකර්ෂණය වෙනව. අර මිසයිල් ජාතියක් තියනව එව්ව ආකර්ෂණය වෙන්නෙ තාපයට. හීට් සීකිං මිසයිල්ස් කියල එව්වට කියන්නෙ. ප්ලේන් එකක එන්ජින් එකෙන් පිටවන තාපයට ඒ මිසයිල් ආකර්ෂණය වෙනව.ඒකට ප්‍රතිකර්මය විදිහට කරන්නෙ එහෙම මිසයිලයක් එනව රාඩාර් එකේ සටහන් උනහම දැඩි තාපයක් නිකුත් කරන අහස්කූරු වගෙ දෙයක් පත්තු කරල එලියට දානව. ෆ්ලෙයාර්ස් කියල එව්වට කියන්නෙ. එතකොට වෙන්නෙ ප්ලේන් එකෙන් පිටවෙන තාපයට වඩා ඒ ෆ්ලෙයාර් එකෙන් පිටවන තාපය වැඩි හින්ද මිසයිලේ ඒ දිහාට ඇදිල ගිහිල්ල විනාශ වෙනව.

මගෙ එයා ෆෝස් එකේ හිටපු යාලුවෙක් කිව්ව අර පහුගිය කාලයක තිබ්බනෙ අපේ රටට බටහිර රටවල් යුද අවි එහෙම නොදුන්න කාලයක්. ඒ කාලෙ කොටි එවන හීට් සීකිං මිසයිල් වලින් බේරෙන්ට කරල තියෙන්නෙ මිසයිල් එකක් එන කොටම ප්ලේන් එක ඇතුලෙ ගෑස් ලිපක කට්ලට් වගෙ එව්ව බැදල ගිනි රස්නෙ පිටිම්ම ජනේලෙං එලියට දානව. එතකොට මිසයිල් එක ගිහිල්ල පුපුරන්නෙ අර කට්ලට් එකේ වැදිල. ප්ලේන් එකට කිසි ම ආබාධයක් නෑ.

විල්බර් ස්මිත් කියන්නෙ මම බොහොම කැමති තවත් ලේඛකයෙක්. එයා බොහොම ප්‍රසිද්ධයි ඓතිහාසික නවකථා වලට. පාරාවෝ කාලෙ ගැන එතකොට දකුණු අප්‍රිකාවෙ බුවර් යුගය ගැන මනුස්සය බොහොම අපූරු පොත් මාලාවක්ම ලියල තියනව. ඊශ්‍රායල් ගුවන් හමුදාවෙ ප්‍රහාරක යානා නියමුවෙක් ගැන විල්බර් ස්මිත් ගොයිය එක පාරක් කතාවක් ලිව්ව. ඒකෙ නම ඊගල් ඉන් ද ස්කයි.

ඒකෙ තිබ්බ ඔය හීට් සීකිං මිසයිල් වලින් බේරෙන ක්‍රමයක්. ඒකෙ කියල තිබ්බ විදිහට එහෙම මිසයිලයක් පස්සෙං පන්නං එනකොට කරන්ට තියෙන්නෙ අහසෙ ඉර තියෙනවනෙ. ඉර කිව්වෙ මේ සූර්යයා…සූර්යයා..රයිට්…. ඉර ඉලක්ක කරගෙන කෙලිම්ම ඒ දිහාට ප්‍රහාරක යානය පදවන්ට ඕන. ඉතිං ඔහොම යනකොට ප්‍රහාරක යානෙ පිටිපස්සෙ එක්ස්හෝස්ට් එකෙන් පිටවෙන තාපයට ආකර්ෂණය වෙලා මිසයිලය ඒ පස්සෙ පන්නන්ට ගන්නව. ටිකක් වෙලා ඔහොම එන්ට දීල කරන්ට තියෙන්නෙ එකපාරටම කරණමක් ගහල ආපහු ආපු පැත්තටම යන්ට ගන්නව. ඒ කිව්වෙ වන් එයිටි ඩිග්රීස් ටර්න් අරවුන්ඩ් එකක්

ඒකට පොතේ කියල තිබ්බෙ ලූපිං මැනූවර් කියල. ඉතිං ඔහොම ප්‍රහාරක යානය ආපහු අනික් අතට එන්ට ගත්තම මිසයිලේ අන්ද මන්ද වෙලා තුස්නිම්බූත වෙනව. ඒකෙ හීට් සීකිං ඩිවයිස් එක නොහොත් තාප අන්වේෂණ උපකරණය අප්සෙට් යනව. ඇයි ඒ උපකරණෙ මෙච්චර වෙලා සටහන් වුනේ ප්‍රහාරක යානයෙන් පිටවන තාපයනෙ. මෙන්න එක පාරට ඒක අතුරුදන් වෙලා ඊට වඩා බොහොම සැර තාපයක් සටහන් වෙන්ට ගන්නව. ඒ තමයි ඉරෙන් පිටවන තාපය. ඊටපස්සෙ මිසයිලේ කරන්නෙ ඉර දිහාට ඇදිල ගිහිල්ල විනාස වෙලා යනව.

“සීරියස් කරන්ට කියල හිතුව විතරයි වැඩේ හබක්…..” එහෙම කියල අයිය හිනා වුනාට ඒ බොහොම අහිංසක ශෝකී හිනාවක්.

“හ්ම්ම්ම්..එහෙම තමයි මටත් හිතෙන්නෙ..අයිය මොකද ඒ ගැන හිතන්නෙ? මට වැඩේ ෂේප් කරගන්ට ඒ කිව්වෙ මේ සතුටුදායක අවසානයක් කරා එලඹෙන්ට බැරි වෙයිද? ”

“ඔතන වැඩේ මෙහෙමයි මල්ලි. ඔය අසෝක නංගිලගෙ අප්පච්චි අම්ම එහෙම හරි හොඳ මිනිස්සු. ඒත් එයාල තමන්ගෙ තත්වය, ගෞරවය කියන එව්ව හරියට සළකනව. අනික මේ ගමේ ප්‍රභූවරු වගෙ ඉන්න උදවියනෙ. ඒ හින්ද මට නම් හිතෙන්නෙ මල්ලී ඊ..ඊ…ඊ…” අයිය එහෙම කියල ආයම බෝතලේ අතට ගත්ත.

අයියගෙ මූණ ඒ වෙලාවෙ ඇඹුල් වෙලා තිබ්බෙ අරක්කු හින්දද නැත්තං මගෙ වැඩේ හරියයි කියල කිසිම බලාපොරොත්තුවක් තියාගන්ට බැහැයි කියල අඟවන්ටද මන්දා..බොහෝවිට සමෝසමේ ඒ දෙකම හින්ද වෙන්ටැ…

වක්කරගත්තු ෂොට් එක පුටුවෙ බාපත උඩ තියල දකුණතේ මහපටැඟිල්ලෙනුයි මැද ඇඟිල්ලෙනුයි හෙමිහිට කරකවන ගමන් මම කල්පනා කරන්ට ගත්ත.මොකදෑ ඉතිං කොරන්නෙ? වෙච්ච දේට එන්න සෙයියරදු? හිතට අමාරුයි නම් තමයි ඇත්තම කිව්වොත්.

“අනික මල්ලි මේ වගෙ දෙයක් උනාය කියන්නෙ ඒ ගොල්ලන්ට ලොකු මදිකමක්, අනික දෙනෝ දාහක් ඉස්සරහමනෙ වැඩේ සිද්ද වුනෙත්.ඒ සිද්ධිය ලේසියෙන් අමතක කරල දාන්ට පුලුවන් එකක් එහෙම නෙවෙයි…”

මම මොනව කියන්ටද? ඔලුව පාත්කරගෙන අහගෙන හිටිය…”Hung my head in shame” කියල කියන්නෙ…. හරියටම අන්න ඒ ආකාරයට.

පස්සෙ ඉතිං මම බොහොම දිග දුරට කල්පනා කරල බලල එතකොට සියලු කරුණු කාරණා කිරල මැනල එක තීරණයකට එළ ඹුනා. ඒ තමයි කොයිමක් කරල හරි ඩීඩී බෝතලේ (දුහුණන් දැනුම් උදෙසා නොහොත් For the benefit of uninitiated = DD = ඩබල් ඩිස්ටිල්ඩ් නොහොත් දෙවරක් පෙරුම උන්නැහේ) ගසල ඉවරයක් කරනව කියන එක. ඒ කරල දවල් වෙනකල් හතර ගාතෙ දාල නිදාගෙන ඉඳල එහෙම අයියත් එක්කල ගමේ පොඩ්ඩක් ඇවිදල කාරිය හීල් ඔයේ ගිලිල වරුවක් විතර නාල කරල කිතුල් රා ඩිංගකුත් සප්පායං වෙලා (මයියොකු තම්බල කොච්චි සම්බලක් තලා ගත්තම ගහේ බඩු වලට තකට තක..එහෙ ඔය හුන්නස්ගිරිය පැත්තට වෙන්ට රා තියනව ඕසෙට) දවල්ටත් බඩ පුරා කාල…. අයියා ඇවිල්ල නොම්මර එකේ කෝකියා….

“කැලේ කොලේ වාඩි වල අවුරුදු ගාණක් හිටියයි කියන්නෙ මල්ලි කටට රහට උයන්ට පිහන්ට නිකම්ම වගෙ හුරු වෙනව” අයිය මා දැක්ක කිව්වෙ එහෙමයි. “අනික ඔය මොනවහරි කොල ජාතියක් හදාගෙන බත් ඩිංගක් කන්ටත් ඒ එක්කම පුරුදු වෙනව.”

“ඉතිං මල්ලිට මම නම් කියන්නෙ මේ වැඩේ අතෑරල ……..”

අයිය තවම මට අවවාද දෙනව. මම අත උස්සල අයියගෙ දේසනාවට බාදා කලා. ඒ කරල බොහොම සෝක ජනක මූඩ් එකක් පිළිබිඹුවෙන ආකාරයට මූනත් තහඩුව එහෙම හදාගෙන කතා කලා.

“අයියෙ මම එක දෙයක් අහන්ට තරහ නැතුව මට ඇත්තම කියනවද? ”

“ඔව්..මල්ලි කියන්න..මොකක්ද දැනගන්ට ඕන?” අයිය බොහොම උනන්දුවෙන් මා දිහාට හැරිල හරි බරි ගැහුන.

“අයියෙ මේ…..මේ..මේ.. හෙට උදේට රා බෝතල් තුන හතරක් හොයාගන්ට බැරිවෙයිද?” මම හොඳ හුස්මක් එහෙම පිටකරල හෙමිහිට ඇහුව.

“මොකක්?” අයියගෙ ඇස් දෙක ලොකු වුනා.

“හෙහ්..හෙහ්..හේ..” මම මහ හයියෙං හිනාවුනා. ටිකක් වෙලා ඇස් දොම්බං කරගෙන බලා ඉඳල අයියත් ඒ හිනාවට එකතුවුනා. ඒ කාලෙ ඔය හයි ෆයිවිං නොහොත් පහක් දාන සීන් තිබ්බෙ නෑ. තිබ්බනං එහෙම නාත දෙයියම්ප අයියයි මායි පහක් දානව.

“හෙහ්..හෙහ්..හෙහ්..ඒකත් නරකම නෑ..රා නං උදේ එකොළහ වෙනකොට වගෙ බානව. හරි හරි ඒකෙ ප්‍රශ්නයක් නෑ…හරි..උදේට කාල ගිහිල්ල හොඳට නාල කරල රා ටිකකුත් ගහල නින්දකුත් ගහල මල්ලිට යන්ටම ඕන නං හවස් අතේ ගිහෑකිනෙ. නැත්තං ඔන්න ඔහෙ හෙට ඉඳල අනිද්දම යන්ට බැරිය.”

“ඔව් ඒකත් හරි තමයි. මම කොහොමත් ගෙදරට කියල ආවෙත් දවස් තුන හතරකට එන්නෙ නෑ කියල තමයි. හෙට සුජිත අක්කගෙ හෝම් කමිං එකටත් ගිහිල්ලනෙ මම ආපහු ගෙදර යන්ට හිටියෙ. දැං ඉතිං එව්වයෙ යන්ට වෙන්නෙ නෑ…මක් කොරන්ටද?” මම නැඟිටල සරම බඩ මැදිං ඇඳ ගත්ත.

ඉතිං අපි දෙන්නත් එක්ක ඩී.ඩී. බෝතලේට වගකියාගෙන කියා කිසි ගින්නක් නැතුව… එකොලහ වගෙ වෙනකොට දෙන්නටම හොඳ ගණං….අන්තිමට අජිතයයි නිමලෙයි රෑට කෑමත් අරං එනකොට අයියයි මායි සාලෙ පුරා බෝට්ටු ඩාන්ස් දානව පැරණි රසාංගෙකුත් බෙරිහන් දිදී..

“රාජ සඟබෝ හිස අදී දුගියාටා…දා..න..පා..ර..මී…” අයිය ඇවිල්ල පරණි රසාංග කප්පිත්ත……”සුත සෝමා රාජ ලීලා..ශ්‍රීනී සම්පත් විඳීවී..පෝරිසාදයා වනේහී ජනයා මරාල දාවී..ජනයා ම..රා..ලා…දාවී..සිරි ගණ සෑසී..සිරි ගණ සෑසී..ලෝකේ පතා පාරමී පූරණා කාලයේ…… සිරි ගණ සෑසි ලෝකෙ පතා….ආ..හා..හා..අහා..අහා….”

“මෙන්න යකෝ මූ ආයම බීලා……” අජිතය ගෙදරට ගොඩ වුනේම එහෙම කියාගෙන..

“වෙන මොකක් කරන්නද බං? හෙහ්..හෙහ්…” මම සරම පාත දාල පුටුවකට පත බෑවුන.

“මෙන්න බං උඹෙ ඇඳුං බෑග් එක…” අජිතය මගෙ ට්‍රැවලිං බෑග් එක පුටුවක් උඩ තිබ්බ.

“ආ..ඒක ගෙනාපු එක හොඳයි….මම මේ අයියගෙ සරමක් ඇඳගෙන ඉන්නෙ….”

“අජිත් මල්ලි පොඩි එකක් ගන්නවද?” අයිය අජිතයට බෝතලේ දික්කලා.

“බෑ අයියෙ..හෙට උදේම යන්ට එපාය හෝම් කමිං එකට….ඒ හින්ද ඕන නෑ..අනික ඕකෙ ඔය තියන ටික ඔය දෙන්නටත් මදිවෙයි වගෙ….හෙහ්,හෙහ්,”

“උඹ දැං හෙට ගෙදර යනවනෙ…. නේද?” අජිතය මා දිහාට හැරිල ඇහුව.

“නෑ බං..මම ගෙදරට කියලත් ආවෙත් දවස් තුන හතරකට එන්නෙ නෑ කියල. ඒ හින්ද හෙට අර ඔයෙං වතුර ටිකක් නාල රා පොළොත්තකුත් බීල දවල්ටත් කාල ඊට පස්සෙ සළකල බලන්ට ඕන යම්දෝ නොයම්දෝ කියල. බොහෝවිට අනිද්ද වගෙ තමයි යැවෙන්නෙ මට හිතෙන විදිහට…හෙහ්,හෙහ්,”

පොළොත්ත කියන්නෙ පොල් කට්ට කියන එක. දණ පොළොත්ත කියන්නෙ දනිස් කටුවට…

“හරි බං එහෙනං මම යන්නං….මම ආපහු වැඩට එන්නෙ දවස් හතර පහක් වගෙ ගිහිල්ල…එතකොට කතා කරමුකො…” අජිතය මා ගාවට ඇවිල්ල මාව වැළඳ ගත්ත. “වෙන්ට තියන දෙයක් වළක්වන්ට බෑනෙ බං. ඒ හින්ද ඒ ඔක්කොම අතෑරලා දාපං…” උගෙ ඇස් දෙකේ කඳුලු මට කලුවරේ පෙනුනෙ නැති වුනාට කටහඬින් මට තේරුනා ඌ අඬන්ඩ ඔන්න මෙන්න කියල. අජිතය එහෙමට සෙන්ටිමෙන්ටල් පොරක් නෙවෙයි. ඒ හින්දම මගෙ ඇස් වලටත් කඳුළු ආවෙ මටත් නොදැනීම.

“හරි හරි බං ඔව්ව ගණං ගන්ට එපා…..” මම ඇහි පිය තදිං පියාගෙන උගෙ පිටට තට්ටු කලා.

අජිතයයි නිමලයයි කෑලි තුනේ ටෝච් එළියෙං යන්ට ගියාට පස්සෙ පුටුවෙ එහෙමම ඉඳගෙන හිටපු හැටියටම ඈත කලුවර දිහාවෙ බලාගෙන මම ගොඩක් වෙලා හිටිය.

අයිය මා දිහා එක පාරක් බලල “මම කෑම ටික බෙදල එන්නං” කියල ගේ ඇතුලට ගියා. ටිකකිං පස්සෙ අයිය ආපහු එනකොටත් මම එහෙම්මම ඒ ඉරියව්වෙන්ම.

“මල්ලි….” අයිය කතා කලාම මම ඔලුව උස්සල බැලුව.” දැං ඇතිනම් අපි කාල නිදාගමු.”

“නෑ අයියෙ… ඒක හරි…අජිතය හින්ද මගෙ හිත ටිකක් එහෙ මෙහෙ වුනා. දැං හරි…ඔය චුට්ට ඉතුරු කරන්නෙ ආය නස්න කරන්ටය? මෙන්න මෙහාට ගන්ට..හෙහ්,හෙහ්,”

දෙකක් ලඟ ලඟ නමන කොට සෝ තාපා දුක් සංකා දුරීම්බූත වෙලා පහ වෙලා ගියේ හිරුදුටු පිණිබිඳු වගේ….

“මගේ සරාගී සෝ තාපා නුඹ රන් බඳ මා හා සයනත රෑ යාමේ..බිසරු ලියන් මැද…….”

ඩී.ඩී. එකත් ඉවර වුනා. අයියයි මායි කාල නිදාගත්ත. පහුවදා අර විදිහට නාන්ටත් ගියා. රාත් බිව්ව. එදා රෑත් අයියලගෙ ගෙදර ඉඳල පහුවදා උදේ මම දණගහල වැඳල අයියගෙන් සමුගත්ත. එදා ගෙදර ඇවිල්ල දවස් දෙකකට පස්සෙ ආපහු වැඩට ගියා. අජිතය ආවෙ තවත් දවස් තුන හතරකට වගෙ පස්සෙ.

අජිතය ඇවිල්ල අනික් පහුවෙනිද අපි කට්ටිය ඔක්කොම රැස්වෙලා මගේ ප්‍රේම වෘත්තාන්තය ගැන සාකච්ඡා කලා. (හෙහ්. ඒකට ප්‍රේම වෘත්තාන්තයක් කියල කියන්ට පුලුවන් නම් …) අජිතය කිව්වෙ ඒ වැඩේ ගැන බලාපොරොත්තු තියාගන්න එකේ තේරුමක් නෑ කියල. මොකද මේ සීන් එක උනේ මම අර කලිනුත් කිව්ව වගෙ දෙනෝ දාහක් ඉස්සරහනෙ. ආය මොනවද සියළුම රූපවාහිනී නාලිකාවල සිමල්ටේනියස්ලි විකාශය කරා වගෙ තමයි. නෝ හෝප් ඇට් ඕල්.

“අසෝක මොකද බං කිව්වෙ?” ඊටත් පහුවදා ක්ලබ් එකේ ටී.ටී. අතක් ගහල දාඩිය නිවෙනකල් එළියෙ ඇහැල ගහ යට හදල තිබ්බ බංකුවෙ ඉඳගෙන හැන්දෑයාමෙ රුහුණුකෙත වැව දිහායිං හමාගෙන එන සීතල හුළඟෙ පහස විඳිමින් ඉන්න අතරෙ මම අජිතයගෙන් ඇහුව.

“ඒ කෙල්ලටත් හරිම අප්සෙට් බං.ඒත් එයත් දන්නව මේ වැඩේ ගොඩදාගන්න එක ලේසි නෑ කියන එක. මම දන්නවනෙ අපෙ නෑදෑ සනුහරේ හැටි. මාමයි නැන්දම්මයි නම් කොහොමහරි ෂේප්මන්ට් එකක් දාගත්තෑකි.අනික් වටේ ඉන්න එවුං තමයි වැඩේ වණ කරන්නෙ.”

“මොනව කරන්ටද බං? වෙන්ට තියෙන දේනෙ ඔය උනේ….එච්චරයි. මහෙ හිතටත් හරිම දුකයි ඒත් ඉතිං මොනවයි කියල කරන්නද? ඒ හින්ද අපි ඔය ගැන ආය කතා නොකර ඉමු. වරෙං යන්ට අයිස් දාපු වෙරි කූල් ඔරේන්ජ් ජූස් එකක් ගහමු.” මම එහෙම කියල බංකුවෙං නැඟිට්ට.

“මොකක්?ඔරේන්ජ් ජූස්? ඔරේන්ජ් ජූස් කොහෙද බං ක්ලබ් එකේ? ”

“හෙහ්..හෙහ්…ස්ටැන්ලිය පොලෙන් දොඩං ගෙනල්ල ජූස් හදල දානව ක්ලබ් එකට. හොඳ ලාබයිලු වැඩේ.” ස්ටැන්ලි කියන්නෙ අපේ වොචර් කෙනෙක්.

ඔය කොහෙත් ඉන්නවනෙ ව්‍යවසායකයො නොහොත් ඔන්ටර්ප්‍රෙනර්ල. ඔන්න බලන්ට වැඩේ හැටි කියන්නෙ මම මේ ඊයෙ පෙරෙයිද වෙනකල්ම හිතා උන්නෙ ආයෝජකයා සහ ව්‍යවසායකයා කියන්නෙ එක්කෙනෙක්මයි කියල. ඉකෝන්ගෙ අපූරු සටහනකින් තමයි ඒ දෙන්නගෙ වෙනස දැනගත්තෙ.

“ෂික් ඔය ස්ටැන්ලිය නානවදත් මන්ද බං…” අජිතය පස්ස ගැහුව. ඒ කාලෙ ඔය දොඩං, දෙහි වලින් ජූස් අරක මේක මිරිකන්ට එක එක වයිවාරන ගැජට් බැජට් තිබ්බ එකක්ය. අතිම්ම තමයි මිරිකන්ට ඕන.

“ඌ නානව..ඌ නානව…ඕකගෙ අත් දෙකේම අර කුෂ්ඨයක් දාල තියෙන හින්ද ඌස්නෙ මැකෙන්ට කියල ඕක කොහොමත් දිනපතා නානව..ඒ ගැන සැකයක් තියාගන්ට එපා”මම එහෙම කිව්වෙ හොරැහින් අජිතය දිහා බලල ආයෙම අහක බලාගෙන.

අජිතය එහෙමම නැවතුනා ගල ගැහුව වගෙ. “අනේ මට ඕන නෑ බං ඕකගෙ ඔරේන්ජ් ජූස්..මම යනව චමරියට..”

උගෙ මූණ දැක්කම මට මැරෙන්ට හිනා. දෙහි ලෙල්ලක් හැපුන වගෙ. “බොරු බං මෙන්න මෙහෙ වරෙං ඒකට ඇති කුෂ්ඨයක් නෑ….හෙහ්,හෙහ්,”

ඊට මාසෙකට වගෙ පස්සෙ අජිතය ගෙදර ගිහිල්ල ආපු ගමං කඩාගෙන මගෙ කාමරේට ආව..”මෙන්න අසෝක නංගි උඹට ලියුමක් දුන්න….” එහෙම කියල මට ලියුම් කවරයක් දීල ඌ ආපහු යන්ට ගියා. ඒ ලියුමෙ තිබ්බෙ මොනවද කියල පදානුගතව (Verbatim) නම් මට මතක නෑ. ඒත් සාමාන්‍ය ජෙනරල් අදහස මේවගේ. එදා වෙච්චි දේ ගැන එයාට බොහොම දුකයි සහ කණගාටුයි. ඒත් ඉතිං දැං වෙච්ච දේ වෙලා ඉවරනෙ…මෙහෙම තමයි වෙන්න තිබිල තියෙන්න ඇත්තෙ…අන්න එහෙම. මමත් ඉතිං ලියුමක් ලියල තැපැල්කලා. මට සමාවෙන්න කියල. වෙන මොකක් කියල කියන්නද?

ඉතිං ඔන්න ඔච්චරයි පිළිස්සූ සැවුළකු කරණ කොටගෙන අහිමිවූ මගේ ආදරය කතාව…

අසෝකව මට ඊට පස්සෙ එකම දවසක් හම්බවුනා. ඔය කේස් එක වෙලා වැඩි දවසක් යන්ට වුනේ නෑ මට ස්ථාන මාරුවක් ලැබිල යන්ට වුනා. ඒ හින්ද අජිතයලත් එක්කත් ආශ්‍රය ටිකක් විතර දුරස් වුනා. ඊට අවුරුදු පහකට හයකට වගෙ පස්සෙ අජිතයගෙ මඟුල් ගෙදර තිබ්බ. අසෝකව මට ඊට පස්සෙ හම්බවුන එකම දවස එදා. ඒ වෙනකොට අසෝකා බැඳල. මහත්තයවත් මට අඳුන්වල දුන්න. ඒ මඟුල් ගෙදර තිබ්බෙ නුවර දළඳා මාළිගාව උඩහ බෞද්ධ සම්මේලන ශාලාවෙ. එදානම් මඟුල් මේසෙ මැද බැබලි බැබලි පිළිස්සූ සැවුලෙක් වැඩ සිටියෙ නෑ.

“ෂික් අදනං කුකුළෙක්වත් නෑ මඟුල් මේසෙ නේද?”අසෝකා මට විතරක් ඇහෙන්ට තොල මැතුරුව.

“ඒකනෙ අපරාදෙ ..” මම කිව්ව. “මගෙ කරුමෙට තමයි එදා සුජිතක්කගෙ මඟුල් ගෙදර කුකුළෙක් හිටියෙ.” මට කියවුණා.

අසෝකගෙ මූණ අඳුරු වුනා. එයා මා දිහාවෙ ටික වෙලාවක් බලා ඉඳල ආපහු හැරිල හෝල් එක ඇතුලට යන්ට ගියා.දෑස් තදින් පියාගෙන ටික වෙලාවක් එහෙමම හිටපු මම දිග සුසුමක් හෙලල ඇස් ඇරල වට පිට බැලුව. අජිතය යන්ට ලෑස්ති වෙනවද කොහෙද..නේද? “කෝ මේ රවී?….” අජිතය එහෙම අහනව මට ඇහුනා.

හමාර කීම –

මේ කුකුළගෙ කතන්දරේ බොහොම ඇදුන වැඩියි. අන්න ඒකට නමෝ විත්තියෙන් සමාධිය ඉල්ලා සිටිමි. ඇත්තම කිව්වොත් අසෝකගෙ කතාව කියන්ට ගත්තෙ 2014 ජූනි 26 වෙනිද. මෙන්න මෙහෙම කියලයි මම කතාව පටං ගත්තෙ…

උපුටනය / එක පාරක් ඔය විමලෙගෙ වාංපතුල් කතාවක් කියද්දි පිළිස්සු කුකුළකු නිසා අහිමිවූ මගේ ආදරය කියල කතාවක් තියනව ඒත් අද වෙලාව නෑ ඒක පස්සෙදි කියන්නම්ය කියල මම කිව්ව. පස්සෙ දවසක හැලප කමෙන්ට් එකකින් අහලත් තිබ්බ කෝ අර කුකුළගෙ කතාව කියන්නෙ නැද්ද? කියල. අපි ඇවිල්ල පොරොන්දු ඉටුකරන සංවර්ධන ලොතරැයිය වගෙ තමයි.හරිද?…අද ඔන්න ඒ පොරොන්දුව ඉස්ට කරන්නයි ලෑස්තිය….හෙහ්,හෙහ්, / උපුටනය අවසන්

කතන්දරේට අවුරුදු දෙකක් වෙන්ට තව තියෙන්නෙ හරියටම දවස් නමයයි. කොහොමද? නරකම නෑ නේද වැඩේ? හෙහ්…හෙහ්… මොකක් කරන්නද? ජීවිතේ වෙන්ට තියනවනම් දෙයක් වෙන්ටම එපාය නැද්ද? අසෝකගෙයි මගෙයි ඉරණම දෙවිදිහකට ලියවිලා තියනව වගේම කුකුළගෙ කතන්දරේ අවුරුදු දෙකක් තිස්සෙ කියන්ට තමයි ඉරණම ලියවිලා තිබ්බෙ.

ඉතිං අපෙ මව්තුමියට පස් පඩංගුවේ බැණ අඬගසමින් හෝ මෙතෙක් මේ කතාව කියවූ ඔබ තමුන්නාන්සේලා හැමටම මගේ භක්ත්‍යාදර ගෞරවනීය අනූපමේය සංකූලතාවය! ඒ එක්කම මේ කතාව ලියපංය කියල ඉස්සෙල්ලම කිව්ව හැලප සහ හැමදාම කෝ යකෝ කතාව? කියල අහල බලන ප්‍රසන්න යන මහතුංට මගේ බවලත් ස්තූතිය!! සිද්ධි රස්තු!!!

 

http://ranrandil.blogspot.co.uk/2016/06/421-40.html

 

266. විමලෙගෙ වාංපතුල් කතා 13……කට කන්ට තැනීම සහ ගස්වල උස මැනීම.

267. විමලෙගෙ වාංපතුල් කතා 14 – ස්පිල් කුම් කෝස්වේ, තන්තෝසෙ සහ කාන්තිගේ කතාව.

269. විමලෙගෙ වාංපතුල් කතා 15 – වගා සංග්‍රාමය, පේසාලේ තෙල්,සැවුල් එනෝ සහ ආසියාවේ ආශ්චර්යය.

270. විමලෙගෙ වාංපතුල් කතා 16 – කැළෑහඳ, ශ්‍රද්ධාව ඉතිරෙන බණ කතාවක් සහ පිස්සං කොටුවට බෝම්බ දැමීම.

273. විමලෙගෙ වාංපතුල් කතා 17 – නවයුගය, අද එතැන්සිට,රොමියෝ-ජුලියට් සහ පානීය ජලය යොදා කොන්ක්‍රීට් ඇනීම.

274. විමලෙගෙ වාංපතුල් කතා 18 – අප්පමාදෝ අමරපදං, වට පෝරියල් සහ සුවඳ සබං ඇඟ ගාලා හායි, හායි,

275. විමලෙගෙ වාංපතුල් කතා 19 – ලක් හඬ, දියකැටපහණ, ජම්බෝ ජෙට් සහ කුකුල් හම.

277. විමලෙගෙ වාංපතුල් කතා 20 – Multi Tasking, Blake’s 7, ආතල් නොකඩා අත් අඩංගුවට ගැනීම සහ කඳු පාමුල සිට දැහැනට සම වැද…..

278. විමලෙගෙ වාංපතුල් කතා – 21 – වියුණුවෙහි නව මුහුණුවර, ආගිය කතා, වන් සැප සහ කොස් කැපීම.

280. විමලෙගෙ වාංපතුල් කතා 22 – දූ දරුවෝ, මන්දාරම් නුවර, නස්රුද්දීන් සහ Murder House Stories…

290. විමලෙගෙ වාංපතුල් කතා 23 – දෙපා කොටි, ඔළු කන අලි, කිතුල් හකුරු සමඟ අලි ගැට පේර, තරුණ ගොවි සමාජ සහ රජයේ චිත්‍රපට අංශය, …The Memoirs Of the Seventies

293. විමලෙගෙ වාංපතුල් කතා 24 – මහා අලිසන්දිරි, ජෙන්ගිස් ඛාන්, ආතර් සී. ක්ලාර්ක් සමඟ අලින්ගේ අපේ කතා…….

302. විමලෙගෙ වාංපතුල් කතා – 25 – ජොන්සන් සහ වෙජ්වුඩ් පිඟන්, Fragrance of Jasmine සහ පසඟ පිහිටුවා නැන්දම්මාට වැඳීම

306. විමලෙගෙ වාංපතුල් කතා – 26 – ළමා අවදියෙහිදී අලිපිට යෑමේ ආදීනව, මාළිගාවේ මුර දානය සහ දාහතේ වාට්ටුවේ සරෝජිනී.

307. විමලෙගෙ වාංපතුල් කතා – 27 – බහිරවකන්ද බුදු පිළිමය, දුම්බොන්නාගේ කතාව සහ Nothing About Anything But Something About Everything

308. විමලෙගෙ වාංපතුල් කතා – 28 – සරෝජිනී………..

309. විමලෙගෙ වාංපතුල් කතා – 29 – සරෝජිනීට නවාතැනක් සමඟ නීතිඥ ගාස්තු ගැන කතාවක්

325. විමලෙගෙ වාංපතුල් කතා – 30 – ජගන්නාථ රථ,හිට්ලර්, විෂ්ණුගේ දස අවතාර, වඩේකාර් සහ මඟ දිගට ආදරපළවල්

328. විමලෙගෙ වාංපතුල් කතා – 31 – Operation Thunderbolt, Hiroo Onoda, ලොකු අම්මා සහ සරෝජිනී

331. විමලෙගෙ වාංපතුල් කතා – 32 – What’s common to Celltel, JCB, Bata & Hilti? සහ අයිය දන්නවද සරෝජිනී අයියට අකමැති වුනේ මොකද කියල?

332. විමලෙගෙ වාංපතුල් කතා – 33 – ජන්තුවා, ඉරේෂා, නිමන්ති, අකඩවාරිය,ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝම් සමඟ අවසානයේ කොස් කපන ළමයා වෙතට හෙවත් At Last Back To That Jak Cutting Girl

335. විමලෙගෙ වාංපතුල් කතා – 34 – කම්බිලි කන්දේ මිනිරන් හෑරීම, දිරාගිය කිතුලේ කතාව, සරෝජිනීගේ ඉරණම සහ දෑවැද්දට පෙට්ටගමක්.

344. විමලෙගෙ වාංපතුල් කතා – 35 – පිවිතුරු සිතින් එනු මැන ළඳේ……

358. විමලෙගෙ වාංපතුල් කතා – 36 – පවුරු බැඳගෙන සිතක වැජඹුනු රසවතී නෑ කොයි ගියා……….

364. විමලෙගෙ වාංපතුල් කතා – 37 – නෙතට නුහුරු කඳුළු බිංදු පැදුරට මුහුවෙලා හොරෙන්….

371. විමලෙගෙ වාංපතුල් කතා – 38 – ඇහැළ මල් පිපෙනා දෙවට සහ සැවැන්දරා සුගන්ධය….

405. විමලෙගෙ වාංපතුල් කතා – 39 – සෙත් තෝමස් ඔරලෝසු සහ සිතුවිලි සිරවී හදවත පතුලේ…

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල