සාහිත්‍ය කළා විචාර

සෝමවංශ අමරසිංහ; නොකළ යුත්තේ කුමක්ද?

Off

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ (දැනුවත්ව සහෝදරයා යන වචනය නොයොදමි) ජීවිතයෙන් සමුගත්තේ ය.
1989 වර්ෂයේ දී අවසන් වූ අසාර්ථක සමාජ විප්ලවයෙන් පසු 90 දශකය මුල ජවිපෙ යළි සංවිධානගත වූයේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රමුඛ කරගෙනය. මෙම පශ්චාත් අසූව දශකයේ ජවිපෙ දේශපාලනය ගැන මූලික වාමාංශික විග‍්‍රහ 2ක් ඇත.

1. ජාතිකත්වය සහ මාක්ස්වාදය දෙමුහුම් කිරීමට යාම නිසා හටගත් විකාරසහගත තත්ත්වය. (හොඳ)

2. පාර්ලිමේන්තුවාදයට පක්ෂය පුහුණු කිරීම නිසා ඒ තුළ ප‍්‍රවණතා දෙකක් නිර්මාණය වීම සහ ඉන් පාර්ලිමේන්තුවාදයේ සංදර්ශනාත්මක නළුවන් පක්ෂයේ සමාජ මතය හැසිරවීම. (නරක)

ලෝකයේ සමහර රටවල මාක්ස්වාදය සහ ජාතික විමුක්තිය අන්තර් ග‍්‍රහණය කර ජයග‍්‍රහණය කර ඇත. කියුබාව සහ නිකරගුවාව ඉන් ජනප‍්‍රිය උදාහරණ දෙකකි. ට්‍රොට්ස්කිවාදය පැත්තේ සිට නරඹන විට වෙනස් කිරීමේ ඒජන්තයා ‘කම්කරු පන්තිය’ පමණි. බොහෝ දෙනා නොදනිතත් ලෙනින් පවා ඔක්තෝබර් විප්ලවය ආරම්භ කරන ලද්දේ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය හරහා ය. මේ කරුණ සමහර ලෙනින්වාදීන්ට පවා අමතක වී ඇත. ආසියාවේත් අප‍්‍රිකාවේත් බොහෝ ලතින් ඇමරිකානු රටවලත් ආර්ථිකය (අධෝ ව්‍යුහය) සහ උපරි – ව්‍යුහය එනම් සංස්කෘතිය තුළ ඇත්තේ ප‍්‍රතිවිරෝධාත්මක විශ්වයකි.

ආසියානු කලාපයේ ජලය මැදි කරගත් ශිෂ්ටාචාර තුළට ධනවාදය සම`ග බැඳී ගිය නූතනත්වය මුල් බසින විට ආර්ථිකය සහ මතවාදය පෑස්සිය නොහැකි පරතරයක් දක්වා වර්ධනය වෙයි. ලංකාවේ අප සමාජයක් ලෙස කුමක් නිපදවිය යුතුද යන්න පිළිබඳව එනම් ‘ප‍්‍රාග්ධනය’ සහ ‘ශ‍්‍රමය’ අතර කිසිදු එක`ගතාවක් නැත. ලංකාවේ සංස්කෘතිය තුළ ප‍්‍රකාශ වන්නේ ආර්ථිකය තුළ ඇති ඉහත පරස්පරතාවයි. මේ නිසා අපගේ රට තුළ ‘ආර්ථික ප‍්‍රශ්න’ දේශපාලන ප‍්‍රශ්නයක් ලෙස වටහා දීම ඉතාම දුෂ්කරය.

ඉහත ඵෙතිහාසික පසුබිම තුළ සෝමවංශ ජනතා විමුක්ති පෙරමුණට හඳුන්වා දුන්නේ අලූත් ලූබ්ධි ආර්ථිකයකි. ඉන් අදහස් වන්නේ සංස්කෘතික ක්ෂේත‍්‍රය තුළ අවිඥානික ආශා ලෙස හට ගන්නා මර්දිත ආශා තෘප්තිමත් කරගත හැකි ‘සමාජ-අවකාශයක්’ ලෙස දේශපාලනය යොදා ගැනීමයි. සෝමවංශ මුල සිටම උතුරේ පවතින ජාතික විමුක්ති අරගලය විසඳිය යුතු දේශපාලන ගැටලූවක් ලෙස නොසලකා, එය බෙදුම්වාදී ව්‍යාපාරයක් ලෙස සලකා, ඊට එරෙහි වීමට සිංහල සුළු ධනේශ්වර මතවාදී ස්තරය උසි ගැන්වූයේය. එබැවින් ඔහු ජවිපෙ පන්ති මූලයන් තුළ පැවැති ජාතිවාදී ‘අන්තර්ගතය’ ආකෘතියක් බවට පත් කළේය. සාරාංශගත කර කිවහොත් සෝමවංශ ‘ජනතා විමුක්ති පෙරමුණ’ තවත් ජාතියකට (පීඩිත) එරෙහි ජාතිවාදයක් ලෙසින් පෝෂණය කළේය. ඉතිහාසය ඔහුට සමාව නොදෙනු ඇත්තේ ඔහුගේ සංශෝධනවාදී හෝ පාර්ලිමේන්තුවාදී දේශපාලනයට නොව මෙම අතීතකාමී ජාතිවාදී දේශපාලනයටය. විමල් වීරවංශ ඉතා නිවැරැදිව යුද්ධයේ න්‍යායාචාර්ය ලෙස සෝමවංශව හැඳින්වීම ගැන ටීකා ටිප්පනි තවදුරටත් අවශ්‍ය නැත.

සෝමවංශ අමරසිංහට ඊළ`ගට සමාව දිය නොහැක්කේ ඔහුගේ බුද්ධි විරෝධයට ය. සාමාන්‍යයෙන් ලංකාවේ නූතන වම පුරුද්දක් ලෙස බුද්ධි විරෝධීය. එය න්‍යායට අකැමැතිය. සෝමවංශ අමරසිංහ දීර්ඝ කාලයක් පැරිස් නගරයේ ජීවත් වී යුරෝපයෙන් කිසිදු බුද්ධිමය සම්ප‍්‍රදායක් ලංකාවට රැගෙන නොආවේය. ලංකාවට සැපත් වූ පළමු මොහොතේදී ම ඔහු කළේ පොළොව සිප ගැනීමයි. යුද්ධය දේශපාලනයේම දිගුවක් බව වටහා නොගත් ඔහු යුද්ධයේ කාර්යක්ෂමභාවය වෙනුවෙන් රට තුළ පාරිශුද්ධ මිලිටරිවාදයක් දේශනා කළේය. අවසාන විග‍්‍රහයේ දී ‘ජාතික ගැටලූවට’ මිලිටරි විසඳුමක් දීම ගැන ඔහු මරණය දක්වා කම්පා නොවූයේය.

ඕනෑම දෙයක හරය තුළ එහි පරස්පරය ඇති සේම සෝමවංශගේ දේශපාලනය නිසා ජවිපෙ පහළ මැද පාන්තික සමාජ ස්තරය දේශපාලනය අතහැර ව්‍යාපාරික වැඩ සහ විනෝදාත්මක අංශය කෙරෙහි යොමු වූයේය. අමරසේකර කියන සිංහල – ගැමි – උගත් පරපුර ජවිපෙ සංස්කෘතිය සමතික‍්‍රමණය කරන තැනට වැඩ සැලැස්වූයේ ද සෝමවංශය. ඔහුගේ විප්ලවවාදී හරය පැවතුණේ එතැනය. පාර්ලිමේන්තුව හරහා විමල් වීරවංශලාව ඊඵඋ දක්වා දක්කා, ඔවුන්ගේ දේශපාලන ආශාව හිස් කරනු ලැබුවේ ද සෝමවංශය. හීනමානය, ජනප‍්‍රිය වීමේ උණ, විශ්වවිද්‍යාල දේශපාලනය, ස්ත‍්‍රී විරෝධය, දෙබිඩිබව ආදී ලංකාවේ පහළ මැද පාන්තික දේශපාලනය තමන්ගේ හැව අරින ලද්දේ පසුගිය දශක දෙකක ජවිපෙ දේශපාලනය හරහාය. ජාතික විමුක්ති අරගලයක් ධනවාදයට එරෙහිව කළ හැකිව තිබූ පරිසරයක් දෙමළ විරෝධයේ ගිල්වා දැමුවේ ද සෝමවංශගේ නායකත්වයයි. කොටින්ම සෝමවංශ මාක්ස්වාදය පිළිකුල් කරන සමාජ ස්තරයක් දේශපාලනයෙන් ඉවත් කළේය.

සෝමවංශ අමරසිංහ නොකළ යුතුව තිබුණේ කුමක් ද? 89 අරගලයෙන් ඔහු උගෙන ගතව තිබූ පාඩම වූයේ රාජ්‍යය සහ සංස්කෘතිය (ප‍්‍රතිවිරෝධතා) අතර පැවති දයලෙක්තික සම්බන්ධයයි. ඔහු සිතුවේ දෙමළ විරෝධය විසින් තම පක්ෂය රාජ්‍ය බලය කරා රැගෙන යනු ඇත කියාය. නමුත් ඔහුගේ උපක‍්‍රම තේරීම හමුවේ පක්ෂය ගමන් කරනු ලැබුවේ සොහොන් බිමකට ය. ධනවාදයට එරෙහිව කළ 89 අරගලය අවසන් වූයේ ද සොහොන් බිමෙනි. දශක පහක් පමණ අරගල කළ පක්ෂයකට රටේ මර්දනකාරී ප‍්‍රතිනිෂ්පාදන චක‍්‍රය බීඳීමට නොහැකි වී ඇත. සෝමවංශගේ ජීවිතයේ සලකුණ අතීත කාමයයි. නූතනත්වය යනු ධනවාදය නොවන බව සැබෑය. නමුත් ජාතිය, ආගම, අතීතය යනු වර්තමාන ලෝක ධනවාදී වෙළෙඳපොළ ඉදිරිපිට තවදුරටත් විකල්ප නොවේ. ඔහුගේ දීර්ඝ අරගලකාරී දේශපාලන ජීවිතයෙන් අප උගත යුතු පාඩම එයයි.

 

උපුටා ගැනීම –  සත්හඬ  

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල