විචාර

හිම මල් යායක කතන්දරේ

Off

පුංචි ම කාලෙ මගේ සුන්දර ම මතකය විසල් පොල් වත්තක් මැද මැටි ගඩොල් බිත්ති බැඳල සුදු හුණු ගාපු, පොල් අතු හෙවිල්ලපු, සීතල සිමෙන්ති පොළවක් තිබුණු පුංචි ගෙයක අම්මයි, තාත්තයි, ලොකු නංගියි එක්ක ගෙවපු ජීවිතේ… අවුරුදු පහක් වෙද්දි ඒ ලස්සන වටපිටාව දාලා ගෙවල් පොකුරක් මැදට එන්න සිද්දවුණත් මං හැමදාම ආදරය කළේ ‘කණු කැලේ‘ නමින් හැඳින්වුණු ඒ කැලෑබද ගෙදරටම යි. මගේ අතීතකාමය කොතරම්ද කියනවනම් අන්තිමේ ඒ ළමා කාලෙ සුන්දර මතක කැටි වුණ බිමේ ම මගෙ ම කියල පුංචි ගේ පොඩ්ඩක් හදාගෙන සතිඅන්තයේ හරි නිස්කලංකව ඉන්න ඉඩක් ලැබුණු එක වාසනාවක් කියලයි හිතෙන්නෙ.

ගේ වටේටත්, ගුරු පාර දිගත්, අවට වතුවලත් අපමණක් පිපෙන සීනු මල් (වල් ළූණු), පොඩිසිඤ්ඤමරං මල්, ගිනිසීරියා මල්, වැට මාර මල් විරල අත්දැකීමක් නෙවෙයි. ඒත් එක දවසක ගමේ යද්දි පාර දිගටමත්, මගේ දුප්පත් මාළිගාව වටෙත් එක යායට පිපිල තිබුණු පොඩිසිඤ්ඤමරං මල් දැක්කම මගේ හිත නතර වුණේ හිම බිමක. ඒ වෙද්දි හිම වැටෙන රටවල ඉන්න මිතුරු මිතුරියන් හිම ගැන කවි ලියමින් උන්නා. හිම පින්තූර වත් පොතේ සැරිසරමින් තිබුණා. ඉතින් මමත් කවියක් ලිව්වා මටත් හිම කියල.

‘‘අපේ ගේ පිටිපස්සෙ පතහත් එක්ක පුංචි කැලෑවක් වැවෙන්න ඇරල තියෙන්නෙ.. ඒක මහා ගෝටුල්ලක්… ගිනිතිල්ල, කිරිමදුවැල් තව නොදන්නා වැල් ගාල්වලින් වැහිලා… මල් පිපෙනවා… ඒවට සමනල්ලු එනවා… චූටි කුරුල්ලො කූඩු හදන් ඉන්නවා… ඒ නිසා කපල දාන්න හිතෙන්නෙ නැහැ….

මේ සති අන්තෙ ගෙදර යද්දි ඒ පොඩි කැලෑව පිරෙන්න පොඩිසිඤ්ඤමරං පඳුරුවල මල් පිපිලා… සුදුම සුදු පාටයි… හිම වැටිල වගේ… ලස්සනයි… සමනල්ලුත් එනවා… ඒවයෙ මල් පැණි තියෙනවද අනේ මන්ද? පාර දිගට ත් එහෙමමයි… මේ මල් පිපෙන කාලෙ වෙන්න ඇති….

ඒ දිහා බලන් ඉද්දි හිතුණා අනේ මේ මල් පඳුරට වෙන ලස්සන නමක් තිබුණ නම් කියල…“

රංගි ගෙ කමෙන්ටුවකට මං උත්තර බැඳල තියෙන්නෙ ඒ විදියට. ඒ මල් යාය ට හිම මල් කියන නම යෝජනා කළේ පොඩ්ඩි. ( පොඩි කුමාරිහාමි) හිම මල් කියන්න අමාරු නිසා හිමාලි කියමුද? ‘‘යායට පිපුණම හිමාලියා කියමු” එහෙම යෝජනා කළේ අරූගෙ අඩවියේ අරූ (අරුණ).

…………………..

අන්තිමේ ‘‘මටත් හිම‘‘ කවිය මගේ ‘‘තරු ඇස් රහස්‘‘ කවි පොතටත් එකතු වුණා. පුංචි සංස්කරණයක් එක්ක.

කවි පොත එළිදක්වන පොඩි උත්සවයක් ගමේ තිබුණා මේ අවුරුද්දෙ ජනවාරි 16 වෙනි දා. එදා කබලෑ දෙවිගම ප්‍රජාශාලා වත්ත එළිපෙහෙළි කරල තිබුණත් පසුබිමින් වුණ වත්ත (තල්කට්ට) සුපුරුදු විදියට ළඳු කැලෑ සළු පිළි එක්කම උත්සවයට සහභාගි වුණා. වැටෙන් මෙහාට එබි එබී පොඩිසිඤ්ඤමරං මල් යායක් තිබුණා. හැබැයි පාට වියැකෙමින්. හිම සේල ඇතිරිල්ලක තරම් කලඑළියක් තිබුණෙ නෑ. ඒත් සමහර විට එයාලට සතුටු හිතෙන්නත් ඇති අපිත් ඔය පොතේ කවියක ඉන්නවනෙ කියල.

පොත ගැන කතා කළ නාමල් අයියගෙ ඇස්වලට ( මහින්ද නාමල් ) ඒ මල් යාය සම්මුඛ වෙලා තිබුණා. එයා තමන්ගෙ කතාවදි පැමිණ හිටි අයගෙ අවධානය ඒ මල් පැත්තට යොමු කරල විශේෂයෙන් ඒ කවිය ගැන කතා කළා.

‘‘හැම අවුරුද්දකම, හැමදාමත් ඔයාල මේ මල් දකින්න ඇති. ඒත් ඔයාලට දැනුණද ඒ මල් ගැන මේ විදියට?‘‘ එයා සභාවෙන් ඇහුව ප්‍රශ්නයක්. ඉන්පස්සෙ කවිය ගැන විග්‍රහයක් කළා. එදා ආව ගමේ බොහෝ දෙනෙකුට අදටත් මතක තියෙන මගේ කවිය ‘‘මටත් හිම.” පොඩිසිඤ්ඤමරං මල් දකින හැමවෙලාවකම එයාලට කවියත්, මාවත් මතක් වේවි.

……………….

මැයි පළමුවෙනිදා ගමේ හැමෝම පොදුවේ දානයක් දෙන දවස. ස්වාමින් වහන්සේලාට දන් පිළිගැන්වීමෙන් පසුව ගමේ හැමෝමත් සප්පායම් වෙනවා. එදා දානෙට ඇවිල්ල උන්නු නැන්ද කෙනෙක් හෙමිහිට මගෙන් මෙහෙම අහනවා.

‘‘දුවේ මං ඔයාගෙ කවි පොතක් නංගිගෙන් අරන් ගියා. එදා කිව්ව පොඩිසිඤ්ඤමරං ගැන ලියල තියෙන කවිය මට හොයාගන්න බැරිවුණානෙ.”

සතුටත්, දුකත් මුසුවුණු අමුතු හැඟීමකින් මගේ හිත බරවුණා. මං දන්නවා ඇය ස්වාමිපුරුෂයත් නැතිව, අසනීප දරුවෙකුත් එක්ක කුලීවැඩක් කරන් තනියම ජීවත් වෙන කෙනෙක් බව. විශේෂයෙන් ඇවිත් සල්ලි දීල පොතක් අරන් ගිහින් කවියක් ගැන හොයනව කියන්නෙ කොයිතරම් අපූරු දෙයක් ද? කොතරම් හිත කම්පනය කරවන මානුෂික කාරණාවක්ද?

‘‘නැන්දෙ ඒ කවියෙ මාතෘකාව ‘මටත් හිම‘ ඒ නමින් බලන්නකො“

මමත් හෙමින් කිව්වා.

…………………

පසුගිය ජූනි 05 වැනි දා මීගමුව මාරිස්ටෙලා විදුහලේ පැවති කවි පොත ගැන සංවායෙදිත් ‘‘මටත් හිම‘‘ කවිය සාකච්ඡාවට ලක්වුණා.
නාමල් අයියා ඒ ගැන කතා කළේ මේ විදියට.

‘‘මටත් හිම‘‘ මේ කවිය අතිශය සරල එකක්නෙ. මේ පුංචි දූල පුතාල එක්ක මේ ගැන කතා කරන්න ඕන නිසයි මම මේ කවිය ගැන වැඩිපුරම කතා කරන්නෙ. මේ කවිය ලියපු අක්ක හෝ නැන්දා කොළඹ ඉගෙන ගෙන හෝ රැකියාව කරල නිවාඩුවට ගමට යනකොට දකිනවා ගමේ පුංචි පුංචි සුදු පාට පොඩිසිඤ්ඤමරං මල් වටේට පිපිල තියෙනවා. එතකොට එයා ඒක තමයි හිම කියල දකින්නෙ. අන්න ඒක තමයි දැකීම. කුලියාපිටියෙ කබලෑ දෙවිගමට හිම වැටෙන්නෙ නෑනෙ මළාට. අපි දන්නවනෙ. එතකොට එයා දකිනවා හිම බිඳිති, හිම බිඳිති. හැබැයි මේ හිම බිඳිති ඉවර වෙලා අන්තිම කවිය ලිව්වෙ නැත්නම්!

කලෙකින් ගම් බිම් බලා එන මං
පිළිගන්න පේ වෙලා වාගේය දැන්
ගුරු පාර දෙවැට දිග
ලන්ද මැද බැද්ද වට
හිම සේල ඇතිරිල්ල එළාගෙන
සඳ සිනා සලා මඟ බලාගෙන

පිනි ඉහෙන හිමිදිරියෙත්
ගිනි දැවෙන මද්දහනෙත්
හිරු මියෙන හැන්දෑවෙත්
හිම බිඳිති හිමබිඳිති
සුදු මොට්ටු මල් කිනිති

දැන් කවිය මෙතිනින් නැවතුණා නම්, එහෙම වුණා නම් මේ කවියට ලැබෙන වටිනාකම හරිම අඩු එකක්. එතනින් එහාට ගිහිල්ලා ‘දැන් මේ මොන ගහේ මල් ද සුදු පාට’ කියල මේ කවිය ලියන අක්ක, නැන්ද කල්පනා කරනවා. ඒ කල්පනාව තුළින් තමයි දැකීම උපදින්නෙ. මේ කවියෙ මුල් කොටසෙ ආනන්දය තියෙනවා, ඒකෙන් ප්‍රඥාවකුත් දෙන්න ඕන. ආනන්දයේම ප්‍රඥාවකුත් තියෙනවා. ආනන්දයයි, ප්‍රඥාවයි වෙන් කරන්න ඕන නැහැ. දැන් ඔන්න බලන්න අතනින් පස්සෙ මෙන්න මෙහෙම කෑල්ලක් මේ කවියට තියෙනවා.

පොඩි සිඤ්ඤො නැසුවාද හැබෑටම
මේ හැටිම සුදු සිනා සලාගෙන
කරුමයෙන් උරුමයට ආ නමක
වග වාසගම් රිදුම් නොගෙනේද…

අන්න එතැනදි හිම බිඳිති වලින් එහාට ගිය හිතන්න දෙයක්, මහා ප්‍රඥාවක් තියෙනවා. මේ සුදු පාට මල් පිපිල තියෙන්නෙ කොහෙද? පොඩිසිඤ්ඤ මරං කියන ගස්වල. ඒ නම ඇහෙද්දි ගස් මිනිස්සු මරනවද කියල ප්‍රශ්නයක් එනවා. පොඩි සිඤ්ඤො කියන කෙනාගෙ කකුලෙ ඇනිල මේ කෝටුවක් පොඩි සිඤ්ඤො මැරෙනවා. මෙච්චර ලස්සන මල් පිපෙන ගහට ඇයි දෙයියනේ අපි එහෙම නමක් දැම්මෙ, නේද? ඕකෙ කෝටු ඇනුනු දාස් ගාණක් ඉන්නවනෙ. මටත් ඇනිල තියෙනවා. මං මේ ඉන්නෙ. මං හරියට බය වුණා පොඩි සිඤ්ඤො මරං කෝටුව ඇනුණ දවසෙ. ඇයි මැරෙනව කියලනෙ හිතන්නේ. කොහොමද මේ සිනා සලන මල් ගහ පොඩි සිඤ්ඤො මැරුවෙ. ‘කරුමයෙන් උරුමයට ආ නමක වග වාසගම් රිදුම් නොගෙනේද‘ නම්, වාසගම් කොයි තරම් මිනිසුන්ව රිදවනව ද?

රත්න ශ්‍රී විජේසිංහ කවියා ලියන්නෙ ගීතයක් ‘ලෙංචිනා මගෙ නංගියේ‘ කියල. එයා ඡන්දෙට ගියාම නම් මිනිසුන්ව රිදවන හැටි දකිනවා. ඡන්ද පළේදි නම කියවෙන කොට අඩුකුලේ කියන අය කැළඹෙන හැටි දැකල තමයි ඔහු මේ ගීතය ලියන්නෙ. නම් ගම් කොච්චර මිනිස්සුන්ව රිදවනවද? පුදුම විදියට රිදවනවා. අපි ගොඩක් නම් දාල තියෙන්නෙත් නරක විදියට. අපට කුරුල්ලෙක් ඉන්නවා කැහිබෙල්ලා. කොච්චර ලස්සන කුරුල්ලෙක්ද කියල බලන්න. ඒ නම ගැළපෙනවද? එහෙම කරන්න හොඳ නෑ. අන්තිම නරකයි. රටේ බහුතරයක් සිංහල ප්‍රදේශවල දෙමළ සහෝදරයන් සිංහල ඉගෙනගෙන සිංහල නම් දාගන්නවා. ඒ ජාතික සමඟිය වෙනුවෙන් නෙවෙයි. ඇයි ඒ නම් ගම් මිනිසුන්ව රිදවන නිසා, ප්‍රතික්ෂේප කරන නිසා. ඒ සංස්කෘතියේ සුන්දරත්වයට කැමති අපට මේක හරි වේදනාවක්. හිම බිඳිති අස්සෙ මේ අවසන් කෑල්ල එකතුවීමෙන් කවිය හුදු සෞන්දර්යාත්මක කාරණාවකින් එහාට ගිහිල්ලා අපට මාර දේවල් හිතන්න පුරුදු කරනවා. අන්න ඒක තමයි කවියේ ලක්ෂණය, කවියේ මෙහෙවර. අන්න ඒ දැකීම තමයි කවිය කවියක් බවට පත්කරන්නෙ.

……………….

විපුලි නිරෝෂණී සහෝදර කිවිඳිය ඒ ගැන අදහස් දැක්වුවෙ මේ විදියට.
‘‘ඒ වගේම මං හරිම කැමතියි ඇය ඉතාම සරල අත්දැකීම්වලට යනවා. ඇයගේ ජීවන වටපිටාවෙ තියෙන අත්දැකීම් සරලව කියනවා මෙන්න මෙහෙම. මාතෘකාව ‘මටත් හිම‘

කාලෙකින් ගම්බිම් බලා එන මං
පිළිගන්න පේ වෙලා වාගේය දැන්
ගුරු පාර දෙවැට දිග
ලන්ද මැද බැද්ද වට
හිම සේල ඇතිරිල්ල එළාගෙන
සඳ සිනා සලා මඟ බලාගෙන

පිනි ඉහෙන හිමිදිරියෙත්
ගිනි දැවෙන මද්දහනෙත්
හිරු මියෙන සැන්දෑවෙත්
හිම බිඳිති හිම බිඳිති
සුදු මොට්ටු මල් කිනිති

පොඩි සිඤ්ඤො නැසුවාද හැබෑටම
මේ හැටිම සුදු සිනා සලාගෙන
කරුමයෙන් උරුමයට ආ නමක
වග වාසගම් රිදුම් නොගෙනේද…

පොඩිසිඤ්ඤමරං ගහ ගැනයි කියන්නෙ. හැබැයි ඇය කියන්නෙ ‘මටත් හිම‘ කියල. ගෙදර එන විට දැනෙන ආස්වාදය, උණුසුම්බව, පිළිගැනීම ඇය එය අර්ථ දක්වන ආකාරය. ‘හිම බිඳිති හිම බිඳිති – සුදු මොට්ටු මල් කිනිති‘ ඇය පිළිගන්න මඟ බලාගෙන ඉන්නෙ. සරල අත්දැකීමක්. නිමිත්තක්. නමුත් එය අපූරු නිමිත්තක්. පොඩිසිඤ්ඤමරං කියල කරුමෙට ලැබුණු නමක් තමයි තියෙන්නෙ.

මේ පොඩි දරුවො පරිසරයට සංවේදී නම් දැකල ඇති පරිසරයෙ නම්වල හරි අපුරු ලස්සනක් තියෙනවා. ඔබත් නිර්මාණශීලී හැකියාවන් වර්ධනය කරගන්න කැමති නම් පරිසරයට, ගහකොලවලට සංවේදී වෙන්න. ඒ තුලින් ඔබට දකින්න පුළුවන් මේ කියන අර්ථකථන. ඒ තුළින් අපූරු රූප මැවේවි, අපුරු උපමා මැවේවි ඔබට. ඒව කොහෙන්වත් කවුරුත් ගෙනත් දෙන්නෙ නෑ. ඒව පැනනැගෙන්න අප තුළින්මයි. අපේ අත්දැකීම් ඇසුරින් තමයි. පරිසරයත් එක්ක කුඩා කාලෙදිම අපේ කවිත්වය වර්ධනය කරගන්න පුළුවන්. ඔබ පරිසරය එක්ක කරන සංවේදි ගනුදෙනුව එක්ක තමයි ඒ හැකියාව බිහිවෙන්නෙ.”

ඉතින් ඔන්න ඕකයි මගෙ හිම මල් යායෙ කතන්දරේ.

 

https://tharurasi.blogspot.co.uk/2016/06/blog-post_23.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල