කෙටි කථා

අළුත් බල්ලෙක් – A New Dog

Off

සාම්ප්‍රදායික කෙටි කතාවක් නොවේ. මාතලන්ගේ කෙටි කතාවකි. –

ඇත්තටම මම ඒ බල්ලා දැක්ක දවසේ ගොඩාක් බය උනා මෙයා. ඌ මාව දැක්ක මුල් දවසේ බුරාගෙන ආපු විදියට මම හිතුවේ, මම ඉවරයි කියලා. හොඳ වෙලාවට ඌ මගේ කිට්ටුවටම එන කොටම, මිස්ටර් ගෝතම ගුණවර්ධන, “හේයි……, ඩෙන්වර්, නෝ…..” කියලා කෑ ගහපු ගමන්, එක පාරටම ඌ රොබෝ කෙනෙක් වගේ නැවතුනා. ඊට පස්සේ ඔළුව දෙපැත්තට වන වනා, දිව එලියට දාල, කන් දෙක හාවෙක්ගේ වගේ කරගෙන, නගුට වන වනා මාත් එක්ක හිනා උනා. හැබයි ඒකට නගුටක් කියන්නත් බෑ. හාවෙක්ගේ වගේම පොඩි නැටි කෑල්ලක්. නැට්ට නැති හූනෙක් මතක් වෙලා මටත් ඉබේටම හිනා ගියා.

කොච්චර වැදගත් බල්ලෙක්ද? ඒකට අපේ කඩියා. “ඒයි… බල්ලා…. මෙහෙ වර.” කිව්වාම තමයි ඌ තව තවත් බුරාගෙන යන්නේ. වත්තේ තියෙන ගස් වල ඵලදාව පොලුවල ආධාරයෙන් නෙලා ගෙන යන වසවර්ති මාරයෝ කියලා, ආච්චි අම්මා නම්බු නාම දුන්න කොල්ලෝ දෙන්නෙක් තුන් දෙනෙක්ම හපලා, අපේ අප්පච්චිට පන්සලේ සමථ මන්ඩලේටත් යන්න සිද්ද උනා. පොලීසියෙන් තමයි කිව්වේ බල්ලා කූඩූ කරලා හදන්න කියල්ල. අප්පච්චි මේ බල්ලට කැමති නැති උනත්, ආච්චි අම්මා නිසා කඩියට අභය දානෙ ලැබුනා. අප්පච්චි මාර චරිතයක්. එයා කිව්වේ බල්ලෝ තියා කෙල්ලොවත් කූඩූ කරලා හදන්න නරකයි කියලා. ඔය කතා වලට ආච්චි කිව්වේ බලු කතා කියලා.

කඩියා නිසා ඇතිවෙන ප්‍රශ්න වලට අන්තීමටම දොස් ආවේ මට. මම තමයි ඌ පන්සලේ ඉඳලා උස්සගෙන ආවේ කියලා. ගෙනාපු දවසේ ඉඳලම ඌ මහා වසවර්තියා. පන්සලකින් ගෙනාපු නිසා වෙන්න ඇති. ඌ රැලේ වැටෙන කාලෙට, උන්ගේ සමිතියත් එක්ක යන එක, දම්වැල් දාලාවත් නවත්තන්න පුළුවන් උනේ නෑ. ඒ කාළෙට දම් වැල් දාන එක නවත්තලා දැම්මේ, බැල්ලියන්ට මිසක් මිනිස්සුන්ට ඌගෙන් කරදරයක් උනේ නැති නිසා.

අනේ හැමදාම රැලේ යන වැඩේ තියෙනවා නම්, මිනිස්සුන්ට වගේ. ඒත් අපි එහෙම හිතුවට සමහර උන්ට බල්ලෝ වගේ රැලේ වැටෙන කාලෙකුත් නැතිව ඇති. ඒක නේ ගම් වල ග්‍රීස් යක්කු වැහි වැහලා ඉන්නේ. මොන එහෙකට අනුන්ගේ ඒවා බලනවද කියලා මට නම් තේරෙන්නේ නෑ. ඕන තරම් දනට පිනට ලැදි උපාසක උපාසිකාවෝ ගමේ ඉන්දැද්දි.

හැඟීම් දැනීම් කියන එවා, එහෙම දම්වැල් දාලා නවත්තන්න බෑ නංගියේ.. කියලා, කියා දුන්නේ, අපේ අක්කා. අක්කා මං තරම් හැඩ නෑ. ඉගෙන ගන්න දස්සත් නෑ. එයා ආසම සින්දුව තමයි, “පවුරු වලල්ලක් බැඳලා… සතර අතේ අවි ගත් මුර සෙබලුන් යොදලා…. පවුරු වලල්ලම බිඳලා…. මන් එනවා මුරකාවල් අතරින් මිදිලා…” කියන සින්දුව. ඒ උනාට එයාට පවුරු වළලු බිඳගෙන යන්නත් බැරි උනා. කවුරුවත් පවුරු වළලු බිඳගෙන ආවෙත් නෑ. ඒක වෙනම කතාවක්. ඒක පැත්තකින් තියලා මගේ කතාවට එමුකෝ.

මට නම් එහෙමටෙයි කියලා අවුලක් තිබුනේ නෑ… ඒ මම අම්මා වගේ පාට නිසා.. අක්කා තාත්තා වගේ. හොස්ස ළඟින් මැස්සෙක් යන්න බෑ. මල පනිනවා ඕසෙට. කොල්ලෙක් කවට කමක් කලොත් හෙම ඌට දෙන්නේ අහු උන එකෙන්. මම හරි ආසයි කවුරු හරි උසුළු විසුළු කරනවට. පර බල්ලෝ කියලා තාත්තා කියපු, වලව්වේ බේබී උනත් මාත් එක්ක හිතවත් උනේ, මගේ තියෙන මනුස්සකමට.

ඒ බේබී හරි හොඳයි. මට කොයි තරම් දේවල් දීලා තියෙනවද? එහෙම දෙන මනුස්සයට මම මොනවත් නොදී ඉන්නෙ කොහොමෙයි. හප්පේ එයාට තියෙන විසේ. බොහෝම අමාරුවෙන් මූණේ දැලි ගාගන්නේ නැතුව ඉතාමත් අර පරෙස්සමෙන් ඒ ඇයි හොඳයිය අරගෙන ගියේ. හානේ…. තව පොඩ්ඩෙන් මට කියන්න අමතක වෙනවා. වලව්වෙත් උන්නා තඩි බල්ලෙක්. උගේ ජාතිය ඇල්ෂේසන්. අපේ එකාට හපන්. හැබයි වලව්වේ පත ගේට්ටුවෙන් මෙහාට ආවේ නෑ, ගේට්ටුව කට වගේ ඇරලා තිබුනත්. ආච්චි අම්මා කිව්වේ වැදගත් බල්ලෝ එහෙම තමයි කියලා. අප්පච්චි නම් කිව්වේ, ඌ මොන ඇල්සේෂන්ද, හාමු මහත්තයා වගේම වල්සේෂන් කියලා.

හාමුගේ දරුවෝ කීප දෙනෙක්ම අපේ ඉස්කෝළේ උන්නා. ඒත් එයාලා ආවේ වලව්වේ ඉඳලා නෙමෙයි. වලව්වට අයිති වතු වල ඉඳලා. සමහර උන් නම් හාමු මහත්තයා වගේම රතුම රතුයි, ජම්බෝල ගෙඩි වගේ. ඒ බල්ලා අපේ කඩියා වගේ “බැව්.. බැව්…” ගෑවේ නෑ. මාර බේස් වොයිස් එකක් තිබුනේ. පන්සලේ පීකරෙන් නායක හාමුදුරුවෝ බන කියන ගමන්, උගුර පාදන සද්දේ වගේ. එයා සමහර වෙලාවට ඒකෙන් ගමේ ජස්ටින්ටත් කතා කලා.. ජස්ටින්, වන් ටූ ත්‍රී කියලා. එහෙම ජස්ටින්ට කතා කරන්නේ, උපාසක අම්මලට අත්‍යාවශ්‍ය සේවා සපයන්න පන්සලට එන්න පනිවිඩ අරින්නෙයි කියලා ඉස්කෝළේ කොල්ලො නම් කිව්වේ. කොහොම හරි, අපේ නම්, ආච්චි අම්මාවත් තනියෙන් නම් පනසල් පැත්තේ ගියේ නෑ කවදාවත්. අපිට යන්න දුන්නෙත් නෑ.

බේබී හාමු තමයි ඒ ලෙවල් ඉකෝන් වලට සෙයිලමේ උදිත් සර්ගේ පන්තියට යමු කියලා කිව්වේ. හම්මේ එයාගේ ලස්සන. පෝස්ටර් එකේ ඉන්නවට වඩා කොච්චර ලස්සනද, O/L රිසාල්ස් අවුට් උන කාළෙට, ටී වී එකෙත් පෙන්නනවා. පත්තරෙත් ඉන්නවා. එයා ගාවට ගියාම A එකක් ෂුවර්ලු. ඔය කැම්පස් ගියපු ඔක්කෝම එයාගේ පන්තියට ආපු අය කියලා නේ කියන්නේ. හරියට චිත්තරපටි නළුවෙක් වගේ. උසම උසයි, තලෙලුයි. (සුදුම සුදු අයටත මම ආස නෑ අනේ… නිකං ඇඟේ ලේ නෑ වගේ..) අත් දිගට දාලා. සපත්තු දෙක කන්නාඩිය වගේ. අම්මපා ඒකෙන් මූන බලන්න උනත් පුළුවන්. සුවඳ.. මම හිතන්නේ රට සැන්ට් ජාතියක් වෙන්න ඇති.

ටික දවසක් යන කොට, සර් මට විහිළු කරන්න ගත්තා. මම ඉතින් ආසම දේ නේ. බේබී හාමු වගේ බෝල ගෙඩියකුත් නෙමෙයිනේ. මම දවසක් බොරුවට ගිහින්,

“සර් මේන් මේ හරිය මට තෙරුනේ නෑ…” කිව්වම.

“ඇයි අනේ ඔයා කොයි ළෝකෙද හිටියේ කියලා…” අහපි.

ඉතින් මම කියන්නය එයයි මායි හින්දි සින්දුවකය උන්නේ කියලා. ඉතින් එයා ආයෙත් මොනාද කියවන්න ගත්තා. ඕන් බොරු නම් නෙමේ හොඳේ… ඒත්… මම මගේ සින්දුවේ හිටියා. අර කියාපු මෙළෝ මලදානයක් මට නම් ඇහුනේ නෑ.

බොරු නෙමෙයි හොඳේ, එදා පන්ති ඉවර වෙලා ගෙදර යන ගමන් බේබීගෙන් බේරෙන්න බැරි උනා. ඇත්තමයි, මට සර් දැකපු දවසේ ඉඳලා පඳුරු අස්සේ රිංගිල්ලයි, බේබිලගේ වහලා දාපු කඩේ අස්සේ රිංගන එකයි එපා වෙලා තිබුනේ. එයාට මම නැති උනාට කී දෙනෙක් ඉන්නවද කඩේ යන්න.

උදිත සර් ඉකෝන් විතරක් නෙමෙයි, අපිට, දේශපාළන විද්‍යාවත් කියලා දුන්නා. එයා තමයි කිව්වේ ලාංකීය සමාජයේ පන්ති තුනක් තියෙනවය. නිර්ධන මධ්‍යම සහ ධනපතිය කියලා. එයා ධනපති පංතියේ අයට කිව්වේ බල්ලෝ කියලා. එතකොට තමයි, කීර්තියා ඇහුවේ

“සර්, ධනපති පංතියේ උන් අපිට කියන්නෙත් බල්ලෝ නේද…?” කියලා.

ඌ අමුතු එකෙක්. වැඩි කතා බහක් නෑ. අපි ඔක්කොම උගේ සහෝදර සහෝදරියෝ. ඌත් එක්කත් සෙට් එකක් උන්නා. කොහොම හරි කැම්පස් එකට රිංගන එක තමයි උගෙ ටාගට් එක. ඌ තමයි මගෙන් ඇහුවේ,

සහෝදරි…, ඔයාගේ ටාගට් එක මොකක්ද…? කියලා.

මම කොහොමද අනේ මගේ ටාගට් එක ඌත් එක්ක කියන්නේ. මට තිබුන ටාගට් එක තමයි කොහොම හරි සර් එක්ක ඇත්තටම හින්දි සින්දුවක ඉන්න. ඒ ලෙවල් ඔන්න මෙන්න තියලා තමයි සර් මගෙන් ඇහුවේ,

මම ඉන්ඩිවිජුවල් ක්ලාසස් කරනවා, ඔයා කැමති නම් එන්න.. කියලා

එන්න නම් ආසයි. ඒත් කොහේ තියෙන සල්ලියක්ද සර්. ක්ලාස් ෆීස් හොයා ගන්නෙත් හරි අමාරුවෙන්..

ඉතින් ඔයා කලින් කියන්න එපාය. ඔයා වගේ බ්‍රයිට් අයට උදව් කරන එක තමයි අපේ යුතුකම. කව්ද අනේ සල්ලි ඉල්ලුවේ.., කැමති නම් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්නකෝ..

සර්ගේ ඉන්ඩිවිජුවල් ගිය අය, A එකකුත් එක්ක පාස් වෙන්නේ, පේපර් එක ගෙඩි පිටින්ම දෙන නිසාය කියලා කතාවක් පත්තරවලත් ගියා. ගෲප් ක්ලාස් එකට දෙන්නේ හතරක් පහක්ලු.. අනේ ඉතින් මෙහෙම අයනේ, සමාජ අසාධාරනේ ගැන කතා කරන්නේ.. සාධාරන සමාජයක ගැන දොඩන්නේ… නිරධන පන්තිය නගා සිටුවීම ගැන දේශනා පවත්තන්නේ.. ඉන්ඩිවිජුවල් ක්ලාස් යන ලස්සන කෙල්ලොන්ට සර් විභාගෙන් පස්සෙත් උදව් කරනවා කියලා කට කතාවකුත් තිබුනා. දැන් මට ටාගට් දෙකක් තියෙනවා. එකක් කැම්පස් යන එක අනික… අනේ… මට සර්ත් එක්ක, හින්දි සින්දුවක් කියන්න පුළුවන් නම්..

මම සර්ගේ නම්බර් එක බොහෝම පරෙස්සමෙන් පර්ස් එකේ දාගත්තා..

– නිමි නොවේ –

http://maathalan.blogspot.co.uk/2016/06/new-dog.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල