කෙටි කථා

සුදු අරලිය මල් පොකුරක්

Off

‘ඉහළකෝට්ටේ’ නැවතුම්පොලේදී දුම් රිය නතර කරන විට සවස 6 ට ආසන්න වී තිබුණි. වැහි පොදක් දෙකක් බිම වැටුණද තවමත් සිරුරට දැනෙණුයේ උණුහුමකි. දුම් රියෙන් බැස ගත් මම වේදිකාවේ ආසනයක් මත වාඩි වීමි. පිටේ වූ බෑගය ගෙන ඉන් විදුලි පන්දමත් වතුර බෝතලයත් ගත්තෙමි. බෝතලයේ අඩකටත් අඩු වූ ජලය උගුරට දෙකට හිස් කෙරුවත් ඉන් පිපාසය පහව නොගියේය. ජංගම දුරකථනයෙන් යළිත් වරක් මානසීට ඇමතූ නමුත් සතියකට ආසන්න කාලයක් පුරාවට මෙන්ම අදත් ඇසුණේ ඇගේ දුරකථනයෙන් ප්‍රතිචාරයක් නොමැති බවයි.

අවට දැඩි අදුරකින් වැසී ඇත. යකඩයකා නැවතත් තිත්ත කලුවර දෙබෑකරෙගෙන තම ගමනාන්තය වූ මහනුවර බලා ගමනාරම්භයේ යෙදුණි. අනතුරුව මම රේල් පීල්ල මත මගේ ගමන අරම්භ කෙරුවෙමි. වැහිබර කාලගුණය නිසාම හද එළියක් නැත. කදු පල්ලම්, රූස්ස ගහ කොළ අතර හුදෙකලා වූ රේල් පාරේ ආළෝකයකට කියා ඇත්තේ විදුලි පන්දමේ ආළෝකය පමණකි. ඇද වැටෙන මල් වැස්ස, මහ වැස්සක් වීමට කලින් නවාතැනට යායුතු බැවින් මම පය ඉක්මන් කෙරුවෙමි.

හෙට අනිවාර්යෙන්ම මානසීව මුණගැසිය යුතුයි. අප දෙදෙනාගේ සම්බන්ධයට ඇගේ දෙමව්පියන්ගෙන් කැමැත්ත ලබා ගැනීමට මම එහි පැමිනෙණ බව ආරංචි වූ විට ඈට කොතරම් සතුටක් දැනෙනු ඇත්ද ? ඉතින් හෙට වනතුරු මට ඉවසා සිටීමට සිදුවේ. මේ මොහොතේ මල් වැස්ස මහ වැස්සක් බවට පත්වී ඇත. වැස්සේ තෙමීගෙන ඉදිරියට යනවා හැරෙන්න වෙන කිරීමට දෙයක් නැත. කෙසේ හෝ කෙටි බිම් ගෙවල් දෙකකුත් පහුකරමින් ඉක්මනින්ම නවාතැනට මම පැමිණියෙමි.

මසකට ආසන්න කාලයක් වසා දමා තිබූ බැවින් බෝඩිම් නිවස තුළ අතරින් පතර මකුලුදැල් වලින් පිරී තිබුණි. තෙත බරිත වූ බෑගය පුටුවට වීසි කෙරූ මම කමිසයද ගලවා දමා ඉක්මනින්ම ගේ අතුගා දැමුවෙමි. ඇදුම් සෝදා නාගෙන එන විට තවත් පැය භාගයක කාලයක් ගතවිය. අම්මා උයා දුන් බත් පාර්සලය දිග හරිද්දී නැගුන කෙහෙල් කොලේ සුවද මගේ කුසගින්න දෙගුණ තෙගුණ කරන්නට සමත්විය.

‘ මාත් ආසයි ඔයාගේ අම්මා උයන බත් කන්න ‘

‘බත් කන්න විතරද….ම්..ම්…’

මානසී, ඈ යළිත් මගේ මතකයේ දග කළාය. ඒ හුරුබුහුටිය මගේ මතකයෙන් මගහරින්නේ කෙසේද ? ඒ මතකයන් සමගින්ම කෑම ගෙන අවසන්වූ මම ජනේලය අසලට විත් පාර දෙස බලා සිටියෙමි. වැස්ස අඩු වීමේ සේයාවක්වත් පෙනෙන්නට නැත. ඒ මොහොතේදී දොරට ගසන ශබ්දයක් ඇසුණු බැවින් මම ඒ දෙසට ගියෙමි.

‘කව්ද?’

එහෙත් ප්‍රතිචාරයක් නැත. මගේ කෑම අරන් එන දාස මාමාවත්ද ? ඒත් මම අද මෙහි පැමිණෙන බව ඔහු දන්නේ නැත. මේ කවුරුන් විය හැකිද ? මම දොර විවර කෙරුවෙමි. පුදුමයකි. මා දකින්නට බලා සිටි ඒ රුව මා ඉදිරියේය.

‘මානසී’

‘ඔයාට’
ඈ දෑතේ සිරකර ගෙන සිටි සුදු අරලිය මල් පොකුරක් මා වෙත දිගු කළාය. මම එය ගන්නවාත් සමගම ඈ මා වෙතට පැන මාව වැළදගත්තාය.

‘කොහේ යන ගමන්ද ? එතකොට මේ මල් ?’

‘අම්මයි තාත්තයි පන්සල් ගියා. මාත් මේ පන්සල් යන ගමන්’

‘ඒත් මානසී…’

ඈ මගේ දෙතොලට දබරගිල්ල තබා මගේ කතාව නතර කළාය. මම හිස සලා ඈ සමගින් පුටුවේ වාඩි වූවේ දොර වසා දමමිනි.

‘අරලිය මල්. සුවදයි නේ?’

‘හ්ම්’

‘ලස්සනයි’

‘ඔයා වගේමයි සුදු….’

මම මල් පොකුර මේසය මත තැබුවෙමි. ඈ මගේ දකුණු උරහිසට හිස තබනවාත් සමගම මම මගේ දකුණත ඇගේ ගෙල වටා දමා ගත්තෙමි. ඒ පිරුණු ලැමේ උණුහුම ඇගේ දුහුල් ගවුමෙන් පෙරි විත් මගේ නිරුවත් පපුව පුරාවටත් පසුව සිරුර පුරාවටත් ගලා ගියේ ක්ෂණිකවයි. ඒ උණුහුම් මිහිර අත්හරින්නට මටද උවමනාවක් නැත. මම තවතවත් ඇයව තුරුලුකර ගත්තෙමි.

‘ජීවන’

‘ම්….’

‘කවද්ද එන්නේ අපේ ගෙදර’

‘හෙට එනවා සුදු…’

මම ඇගේ හිස සෙමින් සෙමින් පිරිමැද්දේ නළලත සිඹින අතරේය.

‘මම එනවා මගේ මැණික ඉල්ලගන්න’

‘මේ ළග ඉන්නේ’

‘හැමදාටම ළගට ගන්නයි ඉල්ලගන්නේ’

‘ඔය ඇත්තමද ජීවන….’

‘හ්…ම්….’

‘ජී…ව…..න….’

මගේ අතැගිලි ඇගේ සිරුර පුරා එහා මෙහා දිවයමින් තව තවත් උණුහුමක් සෙව්වෝය. ඇගේ දුහුල් ගවුම ඊට බධාවක් නොවුණු අතර ඈ මට තව තවත් තුරුලු වූවාය. ඒ ලස්සන දෙතොල් පෙතිවල පහස මගේ දෙතොල්වලට ඇතිකළේ තවත් උනුහුමකි. මම දෑස් පියාගෙනම එම සුවය සිත් සේ වින්දෙමි. කාලය පියාඹන වේගය පිලිබදව මට හැගීමක් නැත.

දොරට ගසන ශබ්දයක් ඇසීමෙන් මම දෙනෙත් විවර කෙරුවෙමි. ඒ වන විට පහුවදා උදෑසන ආරම්භ වී තිබුණි. එහෙත් මානසි මා ළග නොසිටියාය. තවමත් වසා නැති ජනේලයෙන් ඈ යන්නට ඇතිද ? කවුරුන් හෝ ඈව දකින්නට ඇතිද ? ප්‍රශ්න වැලකි.

‘ඉස්කෝලේ මහත්තයා, ඉස්කෝලේ මහත්තයා…….’

ඒ පැමිණ ඇත්තේ දාස මාමාය.

‘මේ එනවා මාමේ’

දෙනෙත් පිසදා දෑතින් කොණ්ඩය සකසාගෙන මම දොර හැරියෙමි.

‘ඇතුළට එන්න මාමේ’

‘ඇතුළට එන්න වෙලාවක් නෑ මහත්තයෝ. මම මේ පන්සලට හීල් දානේ දීලා එන ගමන්. පන්සල් යද්දී මම දැක්කා ජනේලය ඇරලා තියෙනවා. මං හිතුවා මහත්තයා ගමේ ගිහින් ඇවිත් ඇති කියළා. ඒකයි නිකමට වගේ ආවේ.’

‘ඊයේ රෑ ආවේ දාස මාමේ. අර ඈතින් යන්නේ මානසීගේ අම්මයි තාත්තයි නේද?’

‘හ්ම්. උන්දැලත් එක්ක තමයි මම පන්සලට ගියේ. හීල් දානෙත් උන්දැලාගේ. ඊයේ රෑ බණ’

‘ඊයේ රෑ බණ! ඒ ඇයි මාමේ?’

‘මහත්තයා ගමේ ගිහින් හිටිය හින්දා ආරංචි වෙන්න නැතුව ඇති. පහු ගිය ටිකේ මේ පැත්තට හොදටම වැස්සා. වෙද උන්දැගේ ගේ පිටිපස්සේ තිබ්බ අර පස් කන්ද ගේත් යටකරගෙන කඩා වැටිලා මහත්තයෝ.’

දාස මාමා සුසුමක් හෙලුවේ දෑසේ කදුලු පිස දමමින්.

‘උන්දැයි හාමිනෙයි ඒ වෙලාවේ පන්සලේ ඉදලා තියෙන්නේ. මානසී කෙල්ල මල් කඩන් එන්නම් කියළා ගෙදර නතරවෙලා. අනේ ඒ අහිංසක කෙල්ල අර……’

ඔහුගේ දෙනෙත් යළිත් කදුලින් පිරී ගියේය.

‘මොනවා !. එතකොට මා….න…සී……’

‘ඔව් ඉස්කෝලේ මහත්තයෝ. පස් අයින් කරද්දී ඒ අහිංසකීගේ මිනිය හම්බවුණා. කෙලීගේ අතේ හිරවෙලා තිබ්බේ පන්සලට ගෙනියන්න කඩාපු සුදු අරලිය මල් පොකුරක්.’

—-නිමි—-

http://dumimda.blogspot.co.uk/2016/06/blog-post_28.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල