ඉතිහාසය

අපිට ගැහුවා – අපිත් ගැහුවා (දෙවැනි කොටස)

Off

මම කියන්න පටන් අරන් තිබුනේ, ඊලාම් යුද්ධය පැවති කාලයේදී, අපේ හමුදාවෙන් පවත්වාගෙන ගිය, ඉදිරි ආරක්ෂක ප්‍රදේශ වලට, LTTE ත්‍රස්තවාදී පහර දුන් ආකාරයයි. ලිපියේ පළමුවැනි කොටස මෙතනින් බලන්න. අද කොටසෙන් තවදුරටත් කතාකරන්නේ, මේ තර්ජනය ජයගැනීමට, අපි ක්‍රියාකළ ආකාරය ගැනයි. පළමුවැනි කොටසේදී, ඔබට වැටහෙන්න ඇති, අපි කොයි තරම් ආධුනික ආකාරයකටද, යුද්ධයට මුහුණ දුන්නේ කියා.

මේ යන්තම් අවුරුදු 16 – 18 ඇටිකිච්චෝ ඇවිල්ලා, අපේ කොල්ලන්ගේ බෙලි කපාගෙන යනවා නම්, එතන මොකක්හරි ලොකු වැරදීමක් තිබෙන බව පැහදිලිවම පෙනුණා. මෙතැනදී, LTTE කාරයෝ වැඩකලේ, හොඳින් පුහුණුවුණු, එක්තරා අභ්‍යාසයක් (DRILL) එකකට අනුවයි. ඒ මෙන්න මෙහෙම.

1. වැනි පියවර:- රෑ වෙනකොට බඩගාගෙන අපේ ආරක්ෂක තීරය අසලට පැමිණීම.

2. වැනි පියවර:- එකවරම මහා වෙඩි ප්‍රහාරයක් අපේ බංකර කීපයක් ඉලක්ක කරගෙන එල්ල කිරීම.

3. වැනි පියවර:- කුඩා පිරිසක් බඩගාගෙන ඇවිත් බංකර් අතරින් රිංගා පසුපසින් ප්‍රහාරයක් එල්ල කිරීම.

4. වැනි පියවර:- උපරිම හානියක් සිදුකර ආපසු යාම.

දැන් අපි මොකද කරන්න ඕනේ? ඇත්තටම අපි යුද න්‍යාය අනුව කළහැකි උපරිමය කරන්න ඕනේ. ඒ ඒ ආරක්ෂක ප්‍රදේශයේ තත්වය අනුව, වෙන වෙනම සැලසුම් හදන්න ඕනේ. (මතකයි නේද සැලැස්මක් හදලා ගහන හැටි) නමුත්, ආරක්ෂක ප්‍රදේශයක් පවත්වා ගැනීමේ මූලධර්ම, හමුදා පොතේ පැහැදිලිව පෙන්වාදී තිබෙනවා. ඒ මූලධර්ම, එදාටත්, අදටත්, ලෝකයේ ඕනෑම ආරක්ෂක ප්‍රදෙශයකටත්, එක හා සමානව ගැළපෙනවා. ඒවා අනුගමනය නොකිරීමෙන් තමයි, අනිටු විපාක ලැබෙන්නේ.

ඔන්න අපි කල්පනා කළා, බංකර් අතරින් අරුන් රිංගන්නේ, කිසිම බාධකයක් නැති නිසානේ. ඒ නිසා, බංකර් ඔක්කොම එකට යාවෙන විදිහට, සෑම බංකර් දෙකක් අතරම, පස් බැම්මක් ගහන්න ඕනේ කියලා. එතකොට, රිංගන්න එන එකා, අනිවාර්යයෙන් අර පස් බැම්මට උඩින් පනින්න ඕනේ. ‘වරකො පනින්න, දෙන්නං තොපිට කෑලි හැලෙන්න’ කියලා, අපි ලැස්ති වුණා. අපි, මේ පහල රූපයේ පෙනෙන විදිහට, බංකර් අතරට පස් බැම්මක් ගැහුවා.

ඔන්න අරුන්ට වැඩේ ටිකක් අමාරු වුණා. පනින්න එන එවුන් අපෙන් කෑවා. මේ අගලේ වාසිය තමයි, ඉදිරි භූමියට නොපෙනී, ඒක දිගේ බංකර් අතරේ ගමන් කරන්නට අපට හැකිවීම. නමුත් මේ ක්‍රමය දිගුකල් පැවතුනේ නැහැ. අරුන් අලුත් වැඩක් පටන්ගත්තා. ඒ තමයි විශාල පිරිසක් යොදවා බංකර් දෙකකට හෝ තුනකට පහර එල්ල කර, ඇතුලට කඩාපැන, පෙර පරිදිම මහා විනාශයක් කිරීම. සමහර අවස්ථා වලදී, ඔවුන් අපේ ගුවන්විදුලි පණිවිඩ හුවමාරු යන්ත්‍ර පවා රැගෙන ගියා. ඒවායින් අපිව අමතා, අපහාසාත්මක කතා කියන්නට පටන්ගත්තා.

මේ ක්‍රමය නිසා ඔන්න අපේ අය ටිකක් බයවුනා. සමහර තැන්වල රෑට බංකර් අතහැර පසුපස භූමියට වී, වෘත්තාකාර හැඩයකට භටපිරිස් යොදාගෙන ඉන්නත්, සමහරු ක්‍රියාකර තිබුණා. ප්‍රමාණවත් තරම් භටපිරිස් නොමැතිවීමත් එයට හේතුවුණා. යුද්ධය ආරම්භ වුන කාලයේ එක් බංකරයකට සෙබළුන් 5 – 6 ක් පමණ හිටියත් පසුව එය 2 – 3 ක් දක්වා පහත වැටුණු අවස්ථා තිබුණා.

සෑම බංකරයකටම භටපිරිස් යොදවන්නට නොසිටි නිසා, බංකර් පේලියේ අතරින් පතර, සමහර බංකර්, රාත්‍රී කාලයේදී අතහැර දමන්නටත්, රාත්‍රී කාලයට උපරිම භට පිරිසක් අවශ්‍ය නිසා, දිවා කාලයේදී, බංකර් තුන හතරකට එකක් පමණක්, සෙබළුන් යොදවා තබන්නටත් සිදුවුණා. දැන් ඉතිං මෙහෙම බලා ඉඳලා බැහැ. මොකද කරන්නේ. අපොයි තවත් වැඩ තියනවා. පොතේ මොනවා තිබුනත්, අපේ කට්ටිය, තැත් වරද න්‍යාය ඔස්සේ නොයෙක් දේ කළා. වවුනියාව වැනි ප්‍රදේශවල, ඉදිරි ආරක්ෂක ප්‍රදේශය ආසන්නයේම විදුලි බලය තිබුන නිසා, බංකර් පේලියට ඉදිරියෙන්, විදුලි පහන් සවිකරගන්නට අපේ අය ක්‍රියා කළා. නමුත් එය සෑමවිටම සාර්ථක වුණේ නැහැ. විදුලි පහන් වලට, සතුරු වෙඩි ප්‍රහාර එල්ලවුණා.

මේ විදිහට ලයිට් දාගෙන යුද්ධ කරන්න බැහැ. ලයිට් දාන්නේ ස්ථිරව පිහිටුවා තිබෙන හමුදා කඳවුරු වලට පමණයි. මේ නිසා, යුද න්‍යායට අනුව ක්‍රියා කිරීම හැර, වෙනත් විකල්පයක් නැති බව කාලීනව වටහාගන්නට පුලුවන් වුණා.

අපිට තේරුණා මුන් මේ උන්ගේ මහා එකාගේ ගෙදර යනවා වගේ එන්නේ, ඉදිරි භූමියේ බාධක මොකුත් නැති නිසා කියලා. එහෙනං හිටුකෝ කියලා, දැම්මා බාධක. මොනවද දැම්මේ. මුල් කාලයේදී, දුප්පත් අපිට කටු කම්බි සහ කොන්සර්ටිනා වයර් විතරයි ලැබුණේ. ඒවායින් දැම්මා බාධක. මෙන්න මේ වගේ.

ඉතිරි කොටස. 

 

පළමුවන කොටස 

https://wicharaka.blogspot.co.uk/2016/07/blog-post_7.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල