කාලීන සංවාද

වෙළඳ සම්බාධක වලට එරෙහිව ලංකාව යුද්ධයකට…

Off

පරාක්‍රමබාහු යුගයේදී, ඒ කාලයට සාපේක්ෂව, ලංකාව ආර්ථික, දේශපාලනික හා යුදමය ලෙස බලවත්ව හා ස්ථාවරව පැවති රටකි. මේ යුගය ගැන සැලකිය යුතු විස්තරයක් මහාවංශයෙහි ලියවී තිබේ.

රට එක්සේසත් කර සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීම සඳහා වූ පැරකුම්බාවන්ගේ අධිෂ්ඨානය මෙන්ම සිය රටට අමතරව බුදුසසුන හා රටින් පිටත ලෝකය ගැන ඔහුගේ පැවති අපේක්ෂාවන්ද මහා වංශයේ හැටනවවන පරිච්ඡේදය ආරම්භයේ මෙසේ ලියැවී තිබේ.

“එකල්හි පැරකුම්බා රජතෙම මෙසේ සිය රජය නිරවුල් කොට තබා කටයුතු මෙසේ සිතී.”

“මෙකල්හි මම වහාම ලංකාව එක්සේසත් කොට සස්නද ලොවද සෘජු කොට තබන්නෙම්නම් යෙහෙකි.”

මේ දේශපාලනික අරමුණ වියදම් අධික කටයුත්තකි. පැරකුම්බාවෝ ඒ වියදම් අධික කටයුත්තට අත ගසති.

“මෙසේ සිතා සාමන්තයන් හා මාණඩලීකයන්ට සේනාවද, යුද පිණිස උපකරණද සපයනු පිණිස උපදෙස් දෙමින් ක්ෂත්‍රිය තෙමේ පළමු කොට රත්කුරවක නම් රට දෙමළ සෙනඟට අධිපති වූ මලය රට නැමැත්තා කැඳවා නොයෙක් බලද හසුන්ද ඔවුන්ට සන්නාහයන් හා අවිද සපයා එහි වසන පිණිස යැවී. තඹ රටද, ගිරිබා පටද, මොණර වැවද, මීපල් නම් රටද, බුත්ගමු නම් රටද අළ වන නම් රටද, බෝගම්බරනම් රටද, කටුපේකට නම් රටද පසල් දනව් රක්නා ඇමතියන් වෙන් වෙන් වශයෙන් කැඳවා නොයෙක් දහස් ගණන් යෝධයින් හා කොටුද, සන්නාහයන් ද, කඩු තෝමර හෙල්ල ආදී නොයෙක් ඇවිද සපයා ඒ ඒ තන්හිම වසන පිණිස යැවී.”

යුද උපකරණ වලට මෙන්ම දේශීය හා විදේශීය සෙබළුන් බඳවා ගනිමින් හමුදා ශක්තිය තර කිරීමටද පැරකුම්බා රජය මුදල් වැය කරයි.

“මහත් සිරුරු හා මහ බලැතියන් නොයෙක් දහස් ගණන් මුගුරු ගන්නා යෝධයන් කොට යුද්ධෝපකරණ ද දින. අන්‍ය දේශවාසී වූ කේරළාදී කෘතහස්ත යෝධයන් සම්බන්ධී වූ බොහෝ දහස් ගණන් ද සෑදී.”

මෙසේ යුද වියදම් වැඩි වෙද්දී, පරිපාලනයද පුළුල් වී පැරකුම්බාවන්ගේ රජය ප්‍රසාරණය වෙයි. සිය පරිපාලන නිලධාරීන්ගේ විදෙස් භාෂා දැනුම ඇතුළු මානව ප්‍රාග්ධනය එකතු කිරීම ගැනද ගැනද පැරකුම්බාවෝ සැලකිලිමත් වෙති.

“ඇත් අස් කඩු ශිල්පයෙහිද අන්‍ය දේශ භාෂායෙහිද නැටීම් ගීයෙහිද දක්ෂව රාජ කාර්යයෙහි නුවණැතිව වැඩෙත්වයි නොයෙක් කුලවතුන්ගේ පුත් සොහොවුරු මුණුබුරන් එකල අධිපති තෙමේ සිය මැදුරෙහි වැඩුවේය.” මෙසේ සිය පරිපාලන නිලධාරීන් පුහුණු කරන අතරම ඔවුන් යටතේ සේවය කිරීම සඳහා තවත් දහස් ගණනක් රාජ්‍ය සේවකයෝ බඳවා ගැනෙති.

මෙසේ රජයේ යුද හා පරිපාලන වියදම් පුළුල් වෙද්දී පැරකුම්බා රජයේ අයවැය හිඟය ඉහළ ගොස් රාජ්‍ය භාණ්ඩාගාරය හිස්වන්නට පටන් ගනී. කෙසේවුවද, පැරකුම්බා රජය අයවැය හිඟය පියවා ගැනීම සඳහා පහසුම ක්‍රමය වන බදු වැඩි කිරීම වෙනුවට වෙනත් විකල්පයක් ගැන සිතයි.

“පිය රජහුගේ භාණ්ඩාගාරාධිකාරින්ගෙන් ධන ප්‍රමාණ දැන මා විසින් මෙපමණ ධනයෙන් ලංකා තොමෝ එක්සත් කරන්ට නොහැක්කීයයි නිශ්චය කොට ජන සමූහයා නොපෙළ මෙසේ ධනය රැස් කළේයි.”
සිය පරිපාලනය විධිමත් කරමින් පැරකුම්බාවෝ පළමුව මුදල් හා ආරක්ෂක ඇමති වරුන්ද ඉන්පසුව වෙනත් ඇමති වරුන්ද පත් කරති. මේ අතර සිය ආර්ථික උපාය මාර්ගය අනුව විදෙස් වෙළඳාම පුළුල් කර රජයේ ආදායම වැඩි කර ගැනීමේ අරමුණෙන් “අන්තරංග” නම් ධුරයක් ඇති කර එම ධුරයට ඇමති වරයෙකු පත් කරයි. රටේ ආර්ථික වැදගත් කමක් ඇති ප්‍රදේශ මේ ඇමතිවරයාගේ සෘජු පාලනයට යටත් කෙරේ.

“මුහුදු තෙර රටින්ද, රුවන් ආකාර රටින්ද, මහ මලය රටින් ද, ඉන් අවශේෂ රටින්දැයි ඒ මිහිපල් තෙමේ සියල් සාර තැන් වෙන් කොට අන්තරංග ධුරයයැයි නම් කොට ඇමතියෙක් කෙරෙහි තැබී. හේ තෙමේ බොහෝ රුවන් නැව් වලින් යවා වෙළඳාම් කරවා ධන රාශියද වැඩී.”

පැරකුම්බාවන්ගේ මේ ආර්ථික උපාය මාර්ගය සාර්ථක වෙයි. ලංකාව පෙර අපරදිග වෙළඳාම සිදුවන වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත් වේ. නොයෙක් රටවලින් ආනයනය කෙරෙන වෙළඳ භාණ්ඩ වෙනත් රටවලට ප්‍රති අපනයනය කෙරේ.

ලංකාවේ අලි ඇතුන් වෙළඳාම මේ වන විට සියවස් ගණනක් පැරණි වෙළඳාමකි. රට තුළ අලි ඇතුන්ගේ හිඟයක් නැත. එහෙත්, වල් අලියෙකු අල්ලා හීලෑ කර වෙළඳ භාණ්ඩයක් ලෙස සකස් කිරීමට කාලයක් ගත වෙයි. එහි ආවස්ථික පිරිවැයද සැලකිය යුතු මට්ටමක පවතී. අරමණ දේශයේ (මියන්මාරයේ) හීලෑ අලි අඩු මිලකට විකිණේ. ඒ නිසා, අරමණ රටින් අලි ඇතුන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීම හොඳ ව්‍යාපාරික අවස්ථාවකි. අරමණ දේශය සමඟ ඇති දිගුකාලීන රාජ්‍ය තාන්ත්‍රික හා සංස්කෘතික සම්බන්ධතා නිසා මේ කටයුත්ත වඩාත් පහසුය. කෙසේවුවද, ප්‍රවාහන වියදම් වෙන් කිරීමෙන් පසු ලාභයක් ලැබීමටනම් මියන්මාරයෙන් මේ අලි ඇතුන් අඩු මිලකට ලබා ගැනීමට හැකි විය යුතුය.

ලංකාව විසින් මියන්මාරයෙන් අලි ඇතුන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීම කලක් සාර්ථක ලෙස සිදුවේ. එහෙත්, කල් ගතවෙද්දී ලංකාවේ ස්ථානගත කර සිටි සිය චර පුරුෂයකු ලබාදෙන තොරතුරු අනුව සිය අලි ඇතුන් කුණු කොල්ලයට විකිණෙන බවත්, ඔවුන් ප්‍රති අපනයනය කිරීමෙන් ලංකාව විශාල ලාභයක් ලබන බවත් මියන්මාර රජ තුමා දැනගනී. ඒ අනුව, ඔහු ලංකාවට වෙළඳ සම්බාධක පනවයි. ඉන් පසුව සිදු වූ දේ මහාවංශයේ හැත්තෑ හය වන පරිච්ඡේදයේ විස්තර වේ.
“…ඒ රජ තෙමේ මේ ලක්දිවින් ගිය කණෙහි කොඳුරන්නා වූ කිසි දූත කෙනෙකුන්ගේ බස් අසමින් තමන් වෙත ගිය ලංකේශ්වරයානන්ගේ දූතයන්ට පුරාණ සිරිත් වූ දෙනු ලබන්නා වූ වැටුප් පිරිහෙලී. බැහැර නොයෙක් තැන නොයෙක් දෙනා විසින් විකුණනු ලබන්නා වූ “ඇත්තු නොවිකිණිය යුත්තාහ ය” සම්මතයකුදු කරවී. යම් ඇත් කෙනෙකු වනාහී පූර්වයෙහි රිදී සියයට හෝ වැලි දහසට හෝ එහි පූර්වයෙහි විකුණනු ලබන්නෝ “සහශ්‍රද්වයට හෝ සහශ්‍රත්‍රයට හෝ වික්ක යුත්තාහ” යි මෙසේ දුෂ්ට අදහස් ඇත්තා වූ හේ තෙමේ ගණන් සීමා තැබ්බ වී.”

අරමණ රජු විසින් ක්ෂණිකව මෙවැනි විශාල මිල වැඩි කිරීමක් සිදු කළ විට නිදහස් වෙළඳාමෙහි වාසිය ලබමින් සිටි ලංකාව ලොකු අමාරුවක වැටෙන බව කිව යුතු නැත. ආර්ථික ශක්තිය ඇති රජයක එම ආර්ථික ශක්තිය දුර්වල කෙරෙන බාහිර ක්‍රියාවක් සිදු වූ විට එවැනි රජයක් යුදමය ක්‍රියාමාර්ග වෙත එළැඹීම අද මෙන්ම එදාත් සිදු වූ දෙයකි. ඒ අනුව, මහ පැරකුම්බාවෝද අරමණ දේශය ආක්‍රමණය කිරීමට තීරණය කරති.

ලංකා ඉතිහාසයේ, ලංකාව විසින් දකුණු ඉන්දියාවෙන් පිටත රටක් ආක්‍රමණය කළ එකම අවස්ථාව ලෙස සැලකිය හැකි පැරකුම්බාවන්ගේ මේ අරමණ ආක්‍රමණය ගැන ඊළඟ කොටසින් කතා කරමු.
උපුටා ගැනීම් සියල්ල හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් හා බටුවන්තුඩාවේ පඬිතුමන් විසින් සකස් කරන ලද, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් ප්‍රකාශිත මහාවංශ සිංහල පිටපතෙනි.

 

http://economatta.blogspot.co.uk/2016/07/blog-post_7.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල