කෙටි කථා

තරාදිය

Off

‘දඩාස්’!!
ඉස්සරහ දොර සද්දෙන් වැසෙන හඬට බෝඩිමේ සියල්ලෝම උඩගිහින් වහලේ වැදෙද්දී, ඊට වඩා සද්දෙන් චාරුනිගේ හැඬුම් හඬ ඇසුණු මාලිකා කාමරයෙන් එලියට දුවගෙන ආවා.

“චාරුනී…. මොකද ළමයෝ…. මොකද මේ අඬන්නේ… අනේ කියන්නකෝ.. මොකද්ද කරදරේ… කවුරුවත් පස්සෙන් පැන්නුවද ? කෝ කවුරුත් නැහැනේ පේනතෙක් මානෙක.. කෝ ඉතින් කියන්නකෝ ළමයෝ ඔය ඇඩිල්ල නතර කරලා….චාරුනි… මොකද නංගෝ…?”

“ඇයි ඇයි අක්කේ. මොකද්ද ප්‍රශ්නේ?”

“නෑ මේ බලන්නකෝ රුෂිකා, එකපාරටම අඬාගෙන ආව. මම බය උනා.. කෝ ඉතින් අඬනවා මිසක් වචනයක් තාම කිව්වේ නැහැනේ. මොකද ළමයෝ… කතාකරන්නකෝ”

“ටිකක් ඉන්න දෙන්න පාඩුවේ”

“ඔව් ඔව්… කට්ටිය යන්න.. මම ඉන්නම්. රුෂිකා පාරට යනවනම් මටත් එක්ක කොත්තුවක් ගේන්න හරිද?”

“හරි හරි…. තව ටිකකින් යන්නේ”

මාලිකා ඇඳේ පෙරලි හඬන චාරුණි දෙස මදවේලාවක් බලාගෙන හිඳ , සෙමෙන් විට්ටමට ආසන්නයේ වාඩිවුනා. චරුනිගේ උරහිස් ගැස්ම මදක් අඩුවූ බව ටික වෙලාවක් ඇයට දැනෙද්දී, දුම් දමන කිරිතේ කෝප්පයක සුවඳක් එක්ක මාලිකා ඈ අසලම සිටගෙන සිටිනු චාරුනිට දැනුනා.

“තේ?”

කිසිම දෙයක් නොකී චාරුණි තේ කෝප්පය අතට ගත්තේ කඳුළු පිසලන්නට කාලයක් ගත නොකරමින්මයි.

“අක්කේ…. අපේ බොස්.. බො – ස් .. ඉහි ඉහි….”

චාරුණි වේගයෙන් ඇස්පිල්ලම් සැලුවත් කඳුළු ඒ වනවිට නිමවී තිබුනා.

“ආයෙත් මොකද ඒ පාර? මොකද්ද ආයෙමත් කලේ?”

“අනේ අක්කේ….. අද මගේ.. ඉහි ඉහි…. කකුලෙන් ඇල්ලුවා.. අනේ අක්කේ…..”

“ඉක්මනින් වෙන තැනක් හොයාගන්න චාරු. ඔය මිනිහා බයානකයි”

එතනින් එහාට සංවාදය එකිනෙකාගේ හිත් ඇතුලේ පොරබදන්නට උනත්, දෙදෙනාගේම අත්ලවල් දුම්දමන තේ කෝප්ප වලින් උණුසුම්ව පැවතුනා.

“මොකෝ දෙන්න එක්ක දේශපාලනේට එන්නද?”

“හි හි හි… රුෂිකා නම් එයි දවසක නැද්ද? ඔය ගොඩක් ලොයර්සලා වගේ”

“එව්වා කියන්ට බෑ නංගි… හි හි හි.. මොකෝ සීන් එක? මම කිව්වේ චාරුනි ?”

“අදත් බොසා……. දන්නේ නැද්ද?”

මාලිකා චාරුණි ඇත තිබුණු හිස් කෝප්පයත් රැගෙන පැන්ට්‍රි කොටසට ගමන් කරන්නට පටන් ගත්තා පමණි.

“නංගි… මේ රටේ නීතිය ඔයාල දන්නේ නැතුවට තමයි මේ ඔක්කොම! බලන්න මම එදත් කිව්වා, කෙලින්ම යන්න පොලිසියට. කිසිම ප්‍රශ්නයක් නැහැ ඔයාට කරදරයක් නැතුවම පැමිණිල්ලක් දාන්න පුළුවන් ඔය මනුස්සයට විරුද්ධව. ඔයා බය නම් මම එන්නම් ඔයත් එක්ක යන්න. ඔයාගේ මේ මනස්ගාත! .බොරු බය….. අපේ රටේ කෙල්ලොන්ට වෙලා තියෙන්නේ ඕකයි. පුදුම බයක්… කොටිම්ම බස් එකකදී මොකක් කලත් අඬාගෙන එනවා මිසක්, එක්කෝ හොම්බට දෙකක් අනින්න ඕනේ.. නැත්තම් පොලිසියට අල්ලලා දෙන්න ඕනේ… මම නම් කියන්නේ ඇන්ට්‍රි එකක් දාල තියන්න”

“ඒ උනාට අක්කේ.. ඊට පස්සේ ආයේ කොහොමද මම..?”

“ඕකනේ ඕකනේ ඉතින්. එහෙම එකක් දාල තියෙනකොට ඒ මනුස්සය අඩු තරමේ බයට ආයෙත් එහෙම දෙයක් නොකර ඉන්නවත් ඉඩ තියෙනව. ඉතින් ඒ වාසියත් තියෙනවා… ඔතරම් බය මොකද අනේ”

“මම වෙන ජොබ් එකක් හොයාගන්නවා අක්කේ. ඒක ඊට හොඳයි”

“කැමැත්තක්. මම කිව්වේ ඔයාගෙම හොඳට. එතනත් ඔහොම උනොත් මොකද කරන්නේ?”
චාරුණි උත්තරයක් දීගන්න බැරුව අසරණ විලාසයෙන් බලාසිටිනු දුටු රුශිකාට දැනුනේ අමුතු ජයග්‍රාහි හැඟීමකි.

‘නරකමත් නැහැ…. මමත් යමක් දන්නවනේ’

***********************************
“අම්මේ… චරුනිගේ හැඩ! නියමයි නේ.. කොහෙන්ද අනේ ඔය ගවුම ගත්තේ.. මටත් කියන්නකෝ අප්පා… කොහෙද ගියේ මේ ගිනි කිකිළි වගේ??”

චාරුණි සිනහවෙමින් උන්නා මිස කිසිවක් කීවේ නැති නිසා මාලිකා දෙස බැලු රුෂිකා හිස ඉහලට ගස්සා විමසුවා.

“දැන් එයා අලුත් තැනක වැඩ. ඔයා ගිය සතියේ ගෙදර ගියපු දවස්වල…. තරුණ බොසෙක් .. හි හි හි”

මාලිකා ඉඟිමරා හඬනගා සිනාසෙනවිට , කාමරයේ සිටි චාරුණි ඉක්මනින් දුවගෙන ආව.

“අනේ පව් මාලිකා අක්කේ… බොස් උනාට යාලුවෙක් වගේ. මම ඉතින් බයට කතා කලේ නැති උනාට හරි හොඳයි”

“අනේ මේ…. මම නොදන්න බොස්ල !”

“පව් රුෂිකා අක්කේ. බොස්ට ගර්ල් කෙනෙක් ඉන්නවා. අද ඔෆිස් එකටත් ආව. අපි වැඳිරියෝ වගේ. රත්තරන් රුපයක් වගේ අප්පා ඒ මිස්!”

“අපොයි අපොයි…. වැඩේ නම් ලේසි නැහැ එහෙනම්… හි හි හි”

“ගවුම් ඇන්දට කමක් නැහැ ඔන්න.. සාරි බාරි එහෙම අඳිනවා නෙවෙයි හරිද? දැක්කනේ කලින් බොසා….. හි හි හි”

“අපොයි ඒ හැට පැනපු මනමාලය වගේ නෙවෙයි රුෂික අක්කේ. ඊය !!”

“චාරුණි කොහොමත් සාරියට තමයි හැඩ.. නේද? ”

**********************************

“මාලිකා…. මාලිකා”

“හිටපන් යකෝ දොර කඩන්නේ නැතුව… මොකෝ මොකද්ද වෙලා තියෙන්නේ..?”

“මුකුත් වෙලා නැහැ අප්පා. එනවකො හලෝ මගෙත් එක්ක සාරි ටිකක් ගන්න යන්න. අපේ ඉන්ටර්න් පටන් ගන්නවා ලබන සතියේ. හෙට නිවාඩු දුන්නහම රත්නපුරේ හොඳ සාරි ගන්න තැනක් නැහැ හලෝ. යමුද නුගේගොඩ?”

“දැන්? අව්වයි … හවස යමු..”

“දැන් නෙවෙයි හලෝ, හවස තමයි. ඒ ගමන් කොත්තුවක් අරන් එමු.”

“එහෙනම් චාරුනිට කියන්න ඕනේ. ඒකිට අද ඔෆිස් පාර්ටි එකක් කිව්වා. මම මේ කම්මැලිකමේ හිටියේ මට විතරක් කෑම ගේන්න ”

“උගේ අලුත් ප්ලේස් එක නියමයි වගේ නේද? කලින් තැන පුදුම දුකක් වින්දේ නේද?”

“පව්.. ඒ බොසා හරි නැහැනේ. හොඳ කෙල්ල…. මෙතැන අල්ලලා යයි වගේ…”

“බොසා කුකුලෙක්ද දන්නේ නැහැ. මෙයාට සලකන්නේ”

“මම හිතන්නේ නැහැ. තරුණ මනුස්සයෙක් කිව්වනේ. මට ඊයෙත් කිව්වා කොහේ ගියත් තව කවුරුහරි එක්ක මිසක් තනියෙන් මෙයත් එක්ක යන්නෙත් නැහැ කියල. චාරුණි මෝඩ නැහැ”

“චාරුණි බයයි. බොසාට තේරුනොත් ඉතින් ඉවරයි තමයි. දැක්කනේ කලින් මනුස්සයා වලත්තකම් කරලත්, ඌ යසට ඉන්නේ? චාරුණි මම නම්,මම ඌට හොඳ පාඩමක් උගන්නනවා. ”

රුෂිකා දත්කුරු කන විලාසය දුටු මාලිකා සිනහ උනා පමණයි.

***********************************

‘ටොක් ටොක් ටොක්’

“අම්මේ මේ බලාපල්ලකෝ වැඩේ…. සාරියට මෙයාගේ හැඩ !”

රුෂිකා අස්බැමි උස්සා , කවුරුත් නොකියාම රවුමක් කැරකි හැඩවැඩ පෙන්නා හඬ නගා සිනාසුනා.

“කොහොමද අක්කේ වැඩ? කොච්චර කල්ද ඉන්ටර්න්ෂිප් එක?”

චාරුණි අත්බෑගයට අඩුම කුඩුම පුරවමින්ම ඇහුවේ ප්‍රමාදවී ඇති නිසයි.

“මාස හයක් කියල කිව්වේ. සර් නම් කිව්වේ වැඩ පුරුදු වෙන්න , කැමති නම් ඊටත් වඩා වැඩි කාලයක් දිගටම එන්න කියල. පුළුවන් වෙයිද මන්ද අනේ. කැම්පස් වැඩත් එක්ක තියා මට ෆුල් ටයිම් වත් කරගන්න බැරි තරම් වැඩ!”

“වැඩ වැඩ ..තමයි. ලංකාවේ මිනිස්සු වඳ වෙලා ගියත් ඉතින් නඩු නම් ඉවර වෙන එකක් නැහැනේ… නැද්ද චාරුණි.. හි හි හි හි”

“අනේ එහෙම කියන්න එපා අක්කේ… රුෂිකා අක්කිට .. බලන්නකෝ.අපිටත් ඉතින් කවදා හරි පිහිට වෙයි”

“ඔව් ඔව්… කෙල්ලනේ උඹලගේ දික්කසාද නඩු ටික ඔක්කොම ලැස්ති කරගෙන හිටපල්ලා.. මම තමයි එව්වා ඔක්කොම කරන්නේ. අනේ ඉතින් මට පිහිට වෙන්න චාරුණි… ඔයාගේ බූදල් නඩුවක් වත් දෙන්න හරිද?”

“රුෂිකා අක්කේ… ඔයත් දැන් යනවද… යමු මගෙත් එක්ක පාරට. තිස්පහේ බස් එක පිරෙන්න ගන්නවා තව ටිකකින්… කොහොමද අක්කේ ඔය සාරි ඇඳන් බස් එකේ යන්නේ? අම්මෝ මට නම් හරි වාතයි. නගින්නත් බැහැ , බහින්නත් බැහැ පැටලෙනවා.”

“ගානක් නැහැ අනේ. මට පුරුදුයි. මම ආසයි සාරි අඳින්න. සාරිය අඳින්න ඕනේ මෙතැනට , නැතුව හැඩ නැහැ හලෝ.. හි හි හි..”

“අපොයි මට නම් සාරි කිව්වත් දැන් නම් ඇඟ හිරි වැටෙනවා. අක්කේ මම මෙතැනින් හැරෙනවා , බායි”

“බායි”

*****************************************

“චාරු…. චාරු..”

චාරුණි කාමරයේ දොර අතරින් එලියට හිස දමා බැලුවේ මාලිකාගේ කටහඬ එන්නේ වෙනදා එන දිසාවෙන් නොවෙන හින්දයි.

“ඔයා ගාව පැනඩෝල් තියෙනවද?”

“ආ.. ඔව් ඉන්න මම දෙන්නම්. කාටද ඔයාටද?”

චාරුණි පැනඩෝල් රැගෙන කොරිඩෝවෙන් අනෙක් පසට ගමන් කරමින් සිටි මාලිකාගේ මුහුණ බැලුවේ අහම්බෙන් වගේ.

“.. ඔයාටද?”

“නෑ හලෝ.. රුෂිකට.. ආපු වෙලේ ඉඳන් නිදි.. නඩුවක් පටලවාගෙනද කොහෙද… හි හි හි”

“පව් අක්කේ.. කෝ ඉන්න මම බලන්න…”

චාරුණි යනවිටත් රුෂිකා ඇඳේ පසෙක ගුලිවී කල්පනා කරමින් උන්නේ වැඩට හැඳි සාරිය පිටින්මයි.

“… මෙන්න ආ… ඇයි අක්කේ.. මුණත් එක්ක වෙනස් වෙලා. අද ලෑන්ඩ් රෙජිස්ට්‍රි යනවා කියල නේද ගියේ? බස් එකේද ගියේ?”

රුෂිකා යන්තමට හිස දෙපසට වැනුවා පමණි. එවිටම මාලිකා සිද්ධාලේප කුප්පියක් අතැතිව කාමරයට පිවිසුනා.

“මේකත් ගාන්න. අඩුවෙයි…. දැන් මොකද කරන්න ඕනේ”

“මුකුත් නැහැ මාලිකා… මමත් මේ හිතාගන්න බැරුව ඉන්නේ”

“මොකද්ද අක්කේ…?”

“මේ රුශිකට…”

මාලිකා පැකිලෙමින් රුශිකාගේ මුහුණ බැලුවේ අවසරයක් බලාගෙන වගේ. රුශිකාගේ මුහුණ කළුවී , ඇස් කෝපයෙන් වෙව්ලන්නට උනා.

“බලන්න චාරු නංගි… අර මිනිහ.. බූරු නාකිය..! ටික දවසක ඉඳන්ම මනමාල කතා කිය කියා හිටියේ. මම ආරංචි කරලත් බැලුව. කලින් හිටපු ඇසිස්ටන්ට් ගෑනිත් අයින් වෙලා ගිහින් තියෙන්නේ මොකක් හරි එකකට ලු. අද රෑන්ඩ් රෙජිස්ට්‍රි ගිහින්, අර රාක්ක අස්සේ උඩ රාක්කෙ ඒවා බලනකල් ඉඳල… හුහ්.. හුහ්… මේකා මගේ බඩෙන් ඇල්ලුවනේ !!”

“හ්හ්…..”

චාරුණි තදට හුස්ම ඇද්දේ ඇදුම රෝගියෙකු වගේ.

“… ඉත්තින්….????”

“ඉතිං… මම ගල්වෙලා ගියා අනේ. මම හිතුවේ වත් නැහැනේ. *ස නාකියා…. මිනිහ බය උනා හොඳට”

“අනේ දැන් ඉතින් මොකද කරන්නේ? ඔයා ඔතන දැන් තව මාස හතරක් වත් ඉන්න එපෑ .. අය්යෝ”

“මට නම් කේන්තියි. මම එවෙලේම කෝල් එකක් අරගෙන, මගේ සීනියර් අය්යා කෙනෙක්ට කිව්වා. මිනිහ තමයි කිව්වේ නාකියාගේ කැරැට්ටුව. ශික්… ගොඩදෙනෙක් රෙකමන්ඩ් කරපු මනුස්සයෙක් නිසා මම වැඩ ඉගෙන ගන්න කියල ගියේ… මට මරන්න තරම් කේන්තියි. ඒ පාර මිනිහ ඉක්මනට මාව ඩ්‍රයිවර් එක්ක ගෙදරටම ගෙනත් දැම්මා.”

“ඉතින්…. රුශිකට තියෙන්නේ… පොලිසියට යන්න”

මාලිකා කිව්වේ ටිකක් හෙමින් උනත් ඒකට බුමිතෙල් ගෑවුණු ගැරඩියෙක් වගේ රුෂිකා ගැස්සුනා.

“පිස්සුද මාලිකා? ඊට පස්සේ මම කොහොමද එතන වැඩට යන්නේ???”

………………………………………………………………………………………………………………………………………………………………
අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලෝග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්
https://kadadasikole.blogspot.com/2016/07/blog-post_4.html#more

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල