සාහිත්‍ය කළා විචාර

බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් බ්ලොගින් ප්‍රවර්ධනය නොකිරීම හෙවත් අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද?

Off

ඊයේ කාර්යාලයේ දී මගේ ඩී-කන්ස්ට්‍රක්ටඩ් ටූනා ඇන්ස් සැලඩ් සැන්ඩ්විචය හපන අතරේ ජංගම දුරකථනයෙන් ෆේස්බුක් දෙස බැල්මක් හෙළුෑ විට මා දුටුවේ තමන් ලංකාවේ වේලාවෙන් උදෑසන 830ට ස්වාධීන රූපවාහිනීයේ නිල්මිණි දිසානායක මෙහෙයවන පොත් පිළිබඳ වැඩසටහනට සහභාගීවෙන බව, නොකී කතා බ්ලොග්කරු, මා මිත්‍ර, හෙන්රි වර්ණකුලසූරිය විසින් සටහනක් තබා තිබෙන ආකාරයයි.

ලංකාවේ වේලාවෙන් උදෑසන 8:30 යනු සිනුවර මගේ වේලාවෙන් දහවල් 1:00 ය. ඒ මා නිතිපතා කරන්නා වූ දිවාකල ඇවිදීමේ වේලාවයි.

වහා සැන්ඩ්විචය ගිල දැමූ මම, මගේ අහවල් ජංගම දුරකථනයට හිස කුඩුච්චිය නොහොත් හෙඩ් සෙට් එක ද සවි කරගෙන කාර්යාල ගොඩනැගිල්ලෙන් නික්මී අපේ පා ගමන් මාර්ගයට වැටුණෙමි.

මුලින් මහපාරේ පදික මං තීරුවේ ද, ඉන්පසුව පැරමටා ගඟ අසබඩ ඇති පා ගමන් මගේ ද, වේගයෙන් ගමන් කරමින්, වෙනදා මෙන් අවට සිරිය නොවිඳ, මගේ ගමන් සගයා සමග ද වැඩි කතා බහක නොයෙදී, විනාඩි විසි අටක පමණ කාලයක් තිස්සේ විකාශය වුණු ඒ සල්මල් යාය නම් සඟරාමය වැඩ සටහනෙන්, වෙළඳ දැන්වීම් අතහැර ඉතිරි විනාඩි විස්සක පමණ කාලයේ සිදු කෙරුණු සම්මුඛ සාකච්ඡාව නැරඹුවෙමි.

පසුගිය සති කිහිපය තුළ, පුවත්පත් සමග ද, රූපවාහිනී නාලිකා සමග ද සම්මුඛ සාකච්ඡා පවත්වමින් හෙන්රි වර්ණකුලසූරිය මේ සැරසෙන්නේ ඔහු ගේ නවතම කෙටිකතා සංග්‍රහය ජනගත කරන්නයි. ඒ උත්සවය හෙට, එනම් 2016 අගෝස්තු හතර (4) වෙනිදා සවස 3:30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේ දී දී පැවැත්වීමට නියමිත ය.

ස්වාධීන රූපවාහිනීයේ සිත්මල් යාය වඩසටහන වෙනුවෙන් ඉඳුනිල් දිසානායක විසින් හෙන්රි වර්ණකුලසූරිය සමග කරන්නට දෙයුණු ඒ සාකච්ඡාවේ අන්තර්ගත වූ කරුණුවලින් මා සිත් ගත් කාරණා තුනක් මෙහි සඳහන් කිරීම මගේ මේ ලිපියේ මුල් අරමුණයි.

කලකට පෙර මා මුලින් ම ඔහු හඳුනා ගත්තේ තරුණ කවියෙකු ලෙසින් වුවද, මා ද පසුව වටහා ගත් පරිදි හෙන්රි වර්ණකුලසූරිය යනු තව දුරටත් කවියෙකු නොවේ. ඇත්තටම මා අවසාන වරට ඔහු ලියු කවියක් මුද්‍රිත මාධ්‍යයක දුටුවේ 1990 වසරේ දී පමණ ය. ඒ තරුණි පුවත් සඟරාවේ පළ වූ පැන්ෂොන් යන යුද සෙබළෙකු පිළිබඳව ලියවුණු එකකි.

මේ සාකච්ඡාවේ දී හෙන්රි වර්ණකුලසූරිය තමා තව දුරටත් කවියෙකු නොවන බව ඉඳුරාම ප්‍රකාශ කළේ ය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මට වඩා වසර දෙකකින් ජ්‍යෙෂ්ඨයෙකු වූ හෙන්රි වර්ණකුලසූරිය යනු එනිසා ම මගේ පරම්පරාවේ සමකාලීනකයෙකු ලෙස මා මෙතෙක් සිතා සිටියද එය එසේ නොවන බව මට මේ සාකච්ඡාවේ දී වැටහිණි. ඔහු පැරණි පරම්පරාවේ අයෙකි.

එසේ තීරණය කිරීමට හේතුව වන්නේ, අනෙකක් නොව, හෙන්රි වර්ණකුලසූරිය යනු කෙළින් ම තමන් ලියන දෑ යතුරු පුවරුව හරහා පරිගණකයට එක් නොකරන, ඒ වෙනුවට තවමත් පැරණි ක්‍රමයට පෑනෙන් කඩදාසි කොළවල ලියා, ඉන් පසු ඒවා අතින් සංස්කරණය කරන, අපට කලින් පරම්පරාවේ පුඟුලෙකු බවට ඔහු මේ වැඩ සටහනේ දී ප්‍රකාශ කිරීමයි!
ඊළඟ වැදගත් කරුණ වනුයේ තමා විසින් ලියන ලද නවතම කෙටිකතා ඇතුළත් නිරුවත් ජීවිත කෙටිකතා සංග්‍රහය එළිදැක්වෙන දිනයේ, විද්වතුන් විසින් පැවැත්වෙන දේශන ඒ අදාළ ග්‍රන්ථය පිළිබඳව ගොනු නොකර, ඒ වෙනුවට තමා විසින් මීට පෙර ලියන ලද නවකතා ද්වය ගැන කතිකාවක් ගෙන ඒමට හෙන්රි වර්ණකුලසූරිය විසින් ගෙන ඇති තීරණයයි.

මා ද විශ්වාස කරන ආකාරයට, එදින එළි දැක්වෙන පොතක් පිළිබඳව කෙරෙන විශ්ලේෂණයක් ඒවන විට ඒ පොත කියවා නැති අයට එතරම් ප්‍රයෝජනයක් නැති දෙයකි. අප කළ යුත්තේ පොත එළි දක්වා එය පාඨකයින් විසින් කියවූ පසු, ඒ ගැන කතිකාවක් කිරීමයි.

මා සාමාජිකයෙකු වන ඕස්ටේ‍ර්ලියාවේ නිව් සවුත්වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදය මගින් පවත්වුණ ලබන පොත් එළිදැක්වීමේ උත්සවවලට අමතරව, පසුගිය ඔක්තෝබරයේ දී අප රස විඳුම නමින් සාහිත්‍ය වැඩසටහනක් ඇරඹුවේ ද මේ කාරණය (තවත් අරමුණු) නිසා ය.
දැන් මේ ලිපිය ලිවීමේ දෙවන අරමුණ වෙත යොමුවෙමු.

හෙන්රි වර්ණකුලසූරියගේ ස්වාධීන රූපවාහිනී සිත්මල් යාය සාකච්ඡාවේ අන්තර්ගත විය යුතු වූ නමුත් අවාසනාවට මෙන් එසේ නොවූ කරුණුවලින් මෙහි සඳහන් කළ යුතු ම වන එක් වැදගත් කාරණාවක් වේ.

ඉඳුනිල් දිසානායක හෙන්රි වර්ණකුලසූරියගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඔහුට අප සියලු දෙනා සම්බන්ධ සිංහල බ්ලොග් පිළිබඳව සඳහන් කළ හැකි වූ අවස්ථා අඩු වශයෙන් දෙකක් තිබුණි. නමුත් අපේ අවාසනාවට මෙන් ඒ අවස්ථා දෙකම ඔහුගෙන් ගිලිහී ගියේ ය.

ඉන් මුල් අවස්ථාව වූයේ හෙන්රි වර්ණකුලසූරිය විසින් මීට පෙර රචනා කළ “නොකී කතා” නම් ග්‍රන්ථය පිළිබඳව සාකච්ඡා වුණු මොහොත ය. ඒ ග්‍රන්ථයේ අන්තර්ගතය වූ ලිපි පෙළ පුවත්පත් දෙකක තීරු ලිපි ලෙස ලියවුණු ආකාරය හෙන්රි වර්ණකුලසූරිය විස්තර කළ නමුත්, තමන් තව දුරටත් “නොකී කතා” මාලාව බ්ලොගයක් ලෙස දිගටම ලියන බව පැවසීම ඔහුට අතපසු විය.

දෙවෙනි අතපසු වීම ඊට වඩා කනගාටුදායක එකකි.

සාකච්ඡාවේ අවසාන භාගයේ දී ඉඳුනිල් දිසානායක, ප්‍රවීන ලේඛකයෙකු ලෙස අලුත් පරම්පරාවේ ලේඛන කටයුතු ඔහු දකින්නේ කෙලෙසදැයි හෙන්රි වර්ණකුලසූරියගෙන් විමසුවා ය.

අවාසනාවට මෙන් ඒ මොහොතේ දී ද, අලුත්ම ලේඛන මාධ්‍යය වූ බ්ලොග් ගැනත්, එයින් බිහි වෙමින් පවතින අලුත් ලේඛක පරපුර ගැනත්, බ්ලුක් ගැනත් කියනු වෙනුවට මෙහිදී හෙන්රි වර්ණකුලසූරිය ගේ කටට ආවේ ඊ-බුක් නමැති සිංහල ලේඛනය ගැන සලකන විට ලොවෙත් නැති තවමත් මනස්කල්පිතයක් පමණක් වන ලේඛන ප්‍රවර්ගයක් ගැන පමණි.

අඩු වශයෙන්, හෙට අගෝස්තු හතරවෙනි දා සවස 3:30ට කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවේදී පැවැත්වෙන හෙන්රි වර්ණකුලසූරිය ගේ පස්වෙනි කෙටිකතා සංග්‍රහය වන “නිරුවත් ජීවිත” ග්‍රන්ථය ජනගත කිරීමේ උත්සවයේ දී වත්, විශේෂයෙන් තමන් ගේ “නොකී කතා” බ්ලොගය පිළිබඳවත්, පොදුවේ සිංහල ලේඛන කලාවේ නවතම මාධ්‍යය වන බ්ලොග්කරනය පිළිබඳවත් මා මිත්‍ර ලේඛකයා විසින් සඳහන් කරනු ඇතැයි මම උදක් ම බලාපොරොත්තු වෙමි.

බ්ලොගර්ස්ලා සහ බ්ලොග් කියවන්නන් විසින් බ්ලොගින් ප්‍රවර්ධනය නොකරන්නේ නම් එය කවුරුන් විසින් කරාවි ද? අපි වෙනුවෙන් අපි නැතුව අපි වෙනුවෙන් තොපි ද?

-රසිකොලොජිස්ට්

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල