විද්‍යා හා තාක්ෂණ

නිකං ලැබෙන හුළං ටික ?

Off

ලංකාවේ සමහර අය මේ දවස්වල කියන ආකාරයට ආණ්ඩුව බදු ගහන්නේ නැත්තේ හුස්ම ගන්න හුළං ටිකට විතරය. සාමාන්‍යයෙන් කිසිම රටක හුස්ම ගන්න හුළං ටිකට කෙළින්ම මිලක් අය කරන්නේ හෝ බදු ගහන්නේ නැත. එහෙත්, වක්‍ර ලෙස අපි නිකං ලැබෙනවාක් මෙන් පෙනෙන හුස්ම ගන්න හුළං ටිකට මිලක් ගෙවනවාට අමතරව බදුද ගෙවන්නෙමු.

හුස්ම ගන්න හුළං ටිකට අපට මිලක් ගෙවන්නට සිදුවන ආකාර කිහිපයකි. එක පැත්තකින් වායු දූෂණය වැඩි වන තරමට සෞඛ්‍ය වියදම් ඉහළ යන අතර මේ වියදම් මත බදු ගෙවන්නට සිදු වේ. අනෙක් අතෙන්, අනෙක් සියළුම සාධක සමාන තත්ත්වයන් යටතේ වායු දූෂණය අඩු තැන්වල නිවාස හා දේපළ වෙනුවෙන් එසේ නැති තැනක ගෙවනවාට වඩා වැඩි මිලක් ගෙවන්නට සිදුවන අතර මේ වැඩි මිල මතද බදු අය කෙරේ.

වායු දූෂණය විශාල සෞඛ්‍යමය ප්‍රශ්නයකි. මාස කිහිපයකට පෙර නේචර් සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව, ආශ්වාස කරන වාතයේ තත්ත්වය හේතුවෙන් වසරක් තුළ සිදු වන ඇති අකල් මරණ ගණන මිලියන 3.3ක් වන අතර එයින් වැඩි ගණනක් සිදු වන්නේ ආසියානු කලාපයේය.

ලෝකයේ බොහෝ කලාප වල අපේක්ෂිත ආයු කාලය වැඩි වීමේදී මුලින්ම එය සිදුවන්නේ මාතෘ හා ළදරු මරණ අඩු වීම හේතුවෙනි. විශේෂයෙන්ම ළදරු මරණයක් වලක්වාගත් විට ජනගහණයේ සාමාන්‍ය අගයක් වන අපේක්ෂිත ආයු කාලයට සැලකිය යුතු තල්ලුවක් ලැබේ. කෙසේවුවද, ළදරු මරණ අනුපාතිකය සැලකිය යුතු ලෙස අඩු කරගැනීමෙන් පසු රටක අපේක්ෂිත ආයු කාලය කිසියම් ස්ථාවර මට්ටමකට පත්වන අතර එය තවදුරටත් ඉහළ නංවා ගැනීම වඩවඩාත් අපහසු වෙයි. මේ උගුලෙන් ගැලවිය හැකි එක් ක්‍රමයක් වන්නේ වායු ගෝලයේ තත්ත්වය දියුණු කර ගැනීමයි.

මා පසුගිය කාලයේ ජීවත්වීම සඳහා තැනක් තෝරාගන්නා අවස්ථා වලදී, වැඩිම ප්‍රමුඛතාවයක් දුන්නේ එක් එක් ප්‍රදේශයේ පාසැල් වල අධ්‍යාපන තත්ත්වය හා අපරාධ අනුපාතය වැනි කරුණු වලට වුවද වායුගෝලයේ තත්ත්වය ගැනද යම් සැලකිල්ලක් දැක්වූයෙමි. අවි ආයුධ පරිහරණය කිරීමේ නිදහස ඇති ඇමරිකාවේ ගෙවන ජීවිතය ගිණි අවි වලට බියෙන් ගෙවන දිවියක්යැයි ඇමරිකාවෙන් පිටත සිටින ඇතැම් අය සිතති. එහෙත්, සැබෑ තත්ත්වයනම් මෙවැනි සුරක්ෂිත නොවන තත්ත්වයක් පවතින්නේ රටේ ඇතැම් සීමිත භූගෝලීය කලාප වල පමණක් වීමයි. ජාතික සංඛ්‍යාලේඛණ නරක ලෙස පෙනෙන්නේ එවැනි පෙදෙස් නිසාය. මා ජීවත් වූ පෙදෙසක පසුගිය වසරේ මිනීමැරුමක් සිදු වූ අතර ඉහළ මධ්‍යම පන්තියේ වැදගත් පවුලක පාසැල් දරුවකු විසින් කවර හෝ හේතුවක් මත සිදුකළ එම මිනීමැරුම සඳහා උපයෝගී කරගෙන තිබුණේ ගිණි අවියක් නොව පෑන පිහියකි. මා පෙර ජීවත් වූ වෙනත් පෙදෙසක අවසන් වරට මිනීමැරුමක් සිදුවී තිබුණේ හැත්තෑව දශකයේදීය. ඇමරිකාවේ විවිධ පෙදෙස් වල පාසැල් වල අධ්‍යාපන තත්ත්වයේද සැලකිය යුතු වෙනස්කම් ඇති අතර එයට ප්‍රධාන හේතුව පාසැල් වල පහසුකම් වල ඇති වෙනස්කම් හෝ ගුරුවරුන්ගේ තත්ත්වයේ ඇති වෙනස්කම් නොවේ. විවිධ පෙදෙස් වල ජීවත්වන සිසුන්ගේ ඇති වෙනස්කම්ය.

අප ජීවත්වන හා ජීවත්වූ පෙදෙස්වල වායුගෝලයේ තත්ත්වය අපට නිතර අවධානයට ලක් නොවන කරුණකි. එහෙත්, එහි වටිනාකම එක වරම අවබෝධ වන්නේත්, ලංකාවේ වායුගෝලයේ තත්ත්වය පසුගිය කාලය තුළ සැලකිය යුතු ලෙස නරක අතට හැරී ඇති බව පසක් වන්නේත් කලකට පසු ලංකාවට පැමිණි විටය. ඇත්ත වශයෙන්ම කිවහොත්, බොහෝ කලක් ලංකාවේ ඇති තත්ත්වයෙන් වඩා අයහපත් වාතය ආඝ්‍රාණය කරමින් ජීවත්වී, ඒ තත්ත්වයට ආඝ්‍රානේන්ද්‍රිය සංවේදීව ඇති මට හෝ මගේ බිරිඳට මේ වෙනස්කම් එතරම් සංවේදී නොවේ. එහෙත්, වඩා හොඳ වාතය ආඝ්‍රාණය කරමින් ජීවත්වී පුරුදු වී සිටින අපේ දරුවන් හා අදාළ තත්ත්වය එසේ නොවේ.

ලංකාවේ සිටි කාලයේදී අසල්වැසි නිවසක දල්වන ගිණි ගොඩකින්, වාහන දුමින් හෝ වෙනත් එවැනි දෙයකින් අපේ දරුවන් අපහසුතාවයට පත්වූයේ වරක් දෙවරක් නොවේ. මැජස්ටික් සිටි වැනි වායු සමීකරණය කර ඇති, එහෙත් හඳුන්කූරු හෝ කට්ටකුමන්ජල් දුමින් අපිරිසිදු වුනු තැන් වලදීද ඔවුන් සිටියේ ඉතා අසීරුවෙනි. ලංකාවේ වාහන ලියාපදිංචි කිරීමේදී මේ වන විට දුම් පරීක්ෂාවද අනිවාර්යයෙන්ම කළ යුතුය. මේ ඒ ගැන අයෙකු මට කියූ දෙයකි.

“ඕවට ක්‍රම සහ විධි තියෙනවා. ටෙස්ට් එකට කලින් ගාණක් අරන් වැඩේ ගොඩ දාල දෙන තැන් තියෙනවා. වාහනේ රේස් කරගෙන ඉන්න ගමන් සයිලන්සරේට ප්‍රෙෂර් කරලා වතුර පාරක් ඇල්ලුවහම හරි. කළු පාටට ඇතුළේ බැඳිලා තියෙන ඔක්කොම කැඩිලා යනවා. ටෙස්ට් එක ගොඩ.”

ඇතැම් දේවල් නීති වලින්ම වෙනස් කරන්නට නුපුළුවන. මෙවැනි දේ නිසි ලෙස සිදුවීම සඳහා රටේ සාමාන්‍ය ජනතාවට නිසග පෙළඹවීමක්ද අවශ්‍යය. එසේ නොවූ විට එහි මිල ගෙවන්නට වෙන්නේද ඔවුන්ටමය. මේ මිල ලංකාවේ බොහෝ දෙනා දැනටම ගෙවති.

ලංකාවේ ජීවත්වන මගේ ඥාතීන්ගේ හා මිතුරන්ගේ කුඩා දරුවෝ බොහෝ දෙනෙකු කිසියම් හෝ පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයකින් පීඩා විඳිති. ඔවුන්ට මෙය ඉතා සාමාන්‍ය තත්ත්වයකි. කුඩා දරුවන් සිටින ලංකාවේ බොහෝ ගෙවල් වල ආනනක (ඉන්හේලර්) යනු සීනි තේකොළ මෙන් එදිනෙදා පාවිච්චියට ගන්නා පාරිභෝගික භාණ්ඩයකි !

පෙනහළු ආශ්‍රිත රෝග ඉදිරි කාලයේදී වකුගඩු රෝග මෙන් ලංකාවේ බරපතල සෞඛ්‍ය ප්‍රශ්නයක් බවට පත් වීමට ඉඩ ඇතැයි මට සිතේ.

http://economatta.blogspot.com/2016/08/blog-post_2.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල