ඉතිහාසය

යමුද කොළොම්පුරේ කිඹුල් දොරටුව පැත්තට

Off

යමුද කොළොම්පුරේ කිඹුල් දොරටුව පැත්තට? කිඹුල්ලූ? කොළඹ කොහේද කිඹුල්ලූ? ඔන්න ඇහැව්වා ප‍්‍රශ්නයක්. අහලා තියෙනවාද කයිමන් දොරකඩ ගැන? එ්කට තමයි කිඹුල් දොරටුව කියන්නේ. එන්න යමු, ගිහිල්ලා කිඹුල් දොරටුව බලාගෙන අතීතයේ සැඟවුනු කතන්දරේ දැනගෙන එන්න.

කිඹුල් දොරටුව කොහේද? කොතැනද තියෙන්නේ?
එහෙනම් ඉස්සෙල්ලාම තියෙන ඉසව්ව හොයාගෙන යමු. කොළඹ රජ වීදිය (Konings street / Kings street) නමින් එදා හැඳින්වු පිටකොටුවේ කෙලින් වීදියේ (Main Street) එහා කෙළවරේ පැරණි නගර සභා ගොඩනැගිල්ල පෙනෙන මානේ කාටත් නොපෙන ලෙස හුදුකලාවු ඝාන්ඨාර කුළුණක් තියෙනවා. අතීතයේ කයිමන් දොරකඩ ඝාන්ඨාර කුළුණ (Belfry at Kayman’s Gate) නමින් හැඳින්වුනු මේ කුළුණ කාගෙවත් අවධානයට ලක්නොවි තියෙනවා. ආරුක්කු හැඩයෙන් යුක්ත මිටර් හතරක් පමණ උස මේ කුළුණ තියෙන තැන තමයි මේ අපි කතා කරන කිඹුල් දොරටුව පිහිටලා තිබුනේ. මෙතැන සන්නද්ධ මුරභටයෙක් රදවලා තිබ්බ මුරගෙයක් එහෙමත් තිබුනා. පස්සේ කාලෙක මේ මුරගෙය කැඩිබිදි නටබුන් වෙලා ගිහිල්ලා කොටුව පිටකොටුව ජනාකීර්ණ වෙළඳ පොලක් බවට පත්වූනා.

පෘතුග‍්‍රීසින් සිංහලයන් හමුදාවන්ගේ ප‍්‍රහාරයන් වලින් බේරෙන්න හැදුව ආරක්ෂක උපක‍්‍රමයක්වුනේ බේරේ වැව කොළඹ කොටුව වටා ඉදිකරපු එක. ලන්දේසින් කොළඔ නගරය පෘතුග‍්‍රීසින්ගෙන් අල්ලගන්නා විට බලකොටුව තනා තිබ්බේ කබොක් ගලෙන් කියලයි සඳහන් වෙන්නේ. ඉතිං මේ බලකොටුවට ඇතුල්වෙන්න තිබුනේ දොරටුවලින් පමණයි. අපි මේ කියන කිඹුල් දොරටුව තිබ්බේ උතුරු පැත්තේ. ශාන්ත ජෝන් ඇල මතින් පාළමකින් එතෙරවෙලා තමයි බලකොටුවට ඇතුල්වෙන්න ලැබුනේ. මේ ශාන්ත ජෝන් ඇල බේරේවැවට සම්බන්ධවුනු නිසා මේ ඇලේ කිඹුලන් විශාල විදිහට හිටියා. කිඹුලන්ගෙන් බලකොටුවට ආරක්ෂාවක්ද ලැබුණා. පස්සේ කාලෙක මේ ඇලමාර්ගයත් අවට පහත් බිම් ටිකත් අපේ කොළොම්පුරේ පාලනය අතට ගත්තු ඉංග‍්‍රීසින් විසින් පුරවලා ගොඩකරලා දැම්මා. කාලෙකට ඉස්සර ඔය අපි මාළු ගන්න ගිය ශාන්ත ජෝන් මාළු මාකට් එක ( දැන් එතැන තියෙන්නේ ගොල්ඞ් සෙන්ටර් එක ) පිහිටලා තිබුනේ එක කෙලවරක තමයි.

කොළඹ බලකොටුවට ඇතුල්වන දොරටුවට කිඹුල් දොරටුව නම තිබ්බේ ලන්දේසින්. Kaimaan’s Poort නමින් ලන්දේසින් හැදින්වුවා. ඇමරිකානු ඉන්දියානු වචනයක් වන “ගෙයිමන්” දැවැන්ත කිඹුලා තේරුමය ගෙන දෙන එකක්. කෙයීමන් ලෙසින් ඉංග‍්‍රීසියටත් (Kayman’s Gate) කයිමන් දොරටුව කයිමන් දොරකඩ විදිහටත් සිංහලයට පෙරලූනා.

 

මොකටද දොරටුවට ඝාන්ඨාරයක්?
මේ කුළුනේ තියෙන ඝාන්ඨාරය බොහෝම පැරණි ඝාන්ඨාරයක්. පෘතුග‍්‍රීසින් විසින් ශ‍්‍රී ජයවර්ධන පුර කොට්ටේ පිහිටුවන ලැබු ශාන්ත ෆ‍්‍රෑන්සිස් මුනිතුමන්ට කැපකරන ලද දේවස්ථානයේ එකක් බවයි ඓතිහාසික තොරතුරුවලින් කියවෙන්නේ. පස්සේ කාලෙක ලන්දේසින් ගේ අතින් දේවස්ථානය විනාසවුනා. දේවස්ථානයේ ඝාන්ඨාරය අරන් ආපු ලන්දේසින් එක කොළඹ බලකොටුවේ උතුරු පැත්තේ දොරටුව අසළ පිහිටෙව්වා. මේ ඝාන්ඨාරයෙන් ආදිරිප්පු වීදියේ පල්ලියේ (Wolvendaal Church) ඉරිඳා දේව මෙහෙයන් දැනුම් දිමත් රාති‍්‍ර කාලයට දොරටුව වසන වේලාව සියල්ලන්ටම දැනුම් දෙන්නටත් (Curfew Bell) යොදාගත්තා කියනවා. දේව මෙහෙයන් දැනුම් දෙන්නට උදේ සවස දේව මෙහෙයට පැය බාගයක විරාමයන් සහිතව තුන්වරක් නාදවුනා කියනවා. එත් සමහරුන් නම් කියන්නේ පල්ලියේ ඉදලා ඝාන්ඨාරයට තියෙන දුරත් එක්ක මේ වැඬේට මේක යොදාගත්තා කියලා හිතන්න අමාරු බවයි.

වෙනත් ඝාන්ඨාර වල කොටලා තියෙන්නේ එක නිෂ්පාදිත වර්ෂයයි කරවන තැනැත්තාගේ නම වුනත් මේ ඝාන්ඨාරයේ තියෙන්නේ “ආවේ මරියා ග‍්‍රාන්සියා ප්ලේනා දෝමිනුස් තේ කුමි බෙනදික් තා තු මුලියේරිබුස් ” යන ලතින් භාෂාවෙන් ලියැවුනු ආගමික පාඨයක් තමයි. එ් නිසා මේක ගොඩාක් සුවිශේෂි එකක් බවයි කියවෙන්නේ.

මේ ඝාන්ඨාරය අවසන් වරට නිලවශයෙන් නාද කෙරුවා කියලා සටහන්වෙන්නේ 1926 ජනවාරි 21 සහ 28 වෙනිදායි. එ් පස්වෙනි ජෝර්ජ් රජතුමා අභාවප‍්‍රාප්ත වුනු බව දැනුම් දෙන්නයි, රජතුමා වෙනුවෙන් ආදුරුප්පු පල්ලියේ පැවැත්වුනු අනුස්මරණ දේව මෙහෙය දැනුම් දෙන්නයි විතරයි. එ් හැරුනාම දෙවන ලෝක යුද්ධ කාලේ 1945 අගෝස්තු 14 දින අනෙක් පල්ලිවල ඝාන්ඨාර සමගින් නාද කලා කියලා කියනවා. අවසන් වරට මේ කුළුණ පිලිසකර කර ඇත්තේ 1926 මාර්තු මාසයේදි කොළඹ නාගරික ඉංජිනේරුතුමා විසින් බවයි දැනගන්නට ඇත්තේ. එ් පුජක සභාවේ ඉල්ලීමක් මතයි. මේ ඝාන්ඨාර කුළුණ වගේම ඝාන්ඨාර කුළුණක් බම්බලපිටියේ ඕලන්ද රෙපරමාදු දේවස්ථානයේ (Duch Reformed Church) පිහිටවලා තියෙනවා. ගාලූපාරේ යන ඕනෙම කෙනෙකුට එ් ඝාන්ඨාර කුළුණත් බලාගන්න පුළුවනි.
මාත් එක්ක ඝෝෂාවෙන් පිරුනු කෙලින් වීදියේ කෙලවරට ගිහිල්ලා කයිමන් දොරකඩ ගැන කියන්න තියෙන එකම ස්මාරකය වන ඝාන්ඨාර කුළුණත් බලාගත්තානේ. එහෙනම් සුනිල් එදිරිසිංහ මහත්තයා ගයන මේ සිංදුවත් පොඞ්ඩක් මුමුන මුමුන කොටුව පැත්තට ඇවිදගෙන යමු.

පාරු පාලමෙන් කොළඹට ගැල් පේලිය සැපත්වුනා
ගෑස් පහට ලංවෙනකොට අපි හොඳටම හවස්වුනා
සෙක්කු විදියෙ කම්බා දැක නුඹ මට මතක්වුනා
කයිමන් දොරකඩ හිටපං මන් එනතුරු සෙලෙස්තිනා

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල