සාහිත්‍ය කළා විචාර

අපේ වගතුග සමග පී.බී. අල්විස් පෙරේරා හමුවීම.

Off

ඇල්.ඩී. මැන්දිස් සුරින් ගත්කරුවකු පමණක් නොව ඉතා දක්ෂ කවියෙකුද වෙයි. ඔහුගේ කවිකම ගද්‍ය රචනයද ඉක්මවා යන බව කිවහොත් එය නිවැරදි යැයි මට සිතේ. දිවයිනේ නමගිය කවීන්ගේ සමකාලීනයෙකු වූ මැන්දිස් සුරීහු ඒ තැනට පත්වුයේ සිය පාසල් සමයේදීමය. ලිවිසැරිය මතු නොව හිටිවන කවියෙහි ද ඔවුහු දස්කම් දැක්වුවෝ වෙති. කවි ලිවීම හේතුවෙන්ම එකිනෙකා හොඳින් දැන හඳුනා ගෙන සිටියත් පුද්ගලයා වශයෙන් කවුද කියා නොදැන සිටි හේතුවෙන් දිවයිනේ මහා කවීන් සිතා සිටියේ මැන්දිස් සුරින්ද සිය සම වයස් කෙනෙකිය යනුවෙනි. හික්කඩුවේ බී.එච්.අමරසේන,පී.බී.අල්විස් පෙරේරා යන මහා කවීන්සමග හරි හරියට කවි සංවාදයෙහි යෙදුනු මැන්දිස් සුරීන් මේ සම්බන්ධයෙන් ලියා ඇති රසබර කතාවක් ඔහු ලියු “අපේ වගතුග” පොතේ එයි. ඇල්. ඩී. මැන්දිස් සුරීන් විසින් ලියා 1961 දී පළකළ මේ පොතෙන් පරිච්ඡේදයක් ඔබගේ රස වින්දනය සඳහා අද මම ඉදිරිපත් කරමි.

“හික්කඩුවේ අමරසේන මතක් වෙතොත් කොල්ලුපිටියේ අල්විස් පෙරේරාද මට නිතැතින්ම මතක් වෙයි. අල්විස් පෙරේරාද රටේ නම ගිය ඉහළ පෙළේ කවියෙකි. අමරසේන හඳුනා ගත්තාක් මෙන් අල්විස් පෙරේරාද මට හඳුනා ගන්නට ලැබුණේ මා පාසැල් ශිෂ්‍යයෙකුව සිටි කාලයේ දීය. ඒ කාලේ “ලංකා සමය” නමැති සතිපතා පත්‍රය පළ වුයේ ඩබ්ලිව්.ඒ.සිල්වා මහතාගේ සංස්කාරකත්වයෙනි.සතිපතා පත්‍රයක් වූ ලංකා සමය පාසැල් සිසුන් අතර ඉතා ප්‍රිය බවට පැමිණියේය.

මොකක් හෝ මාතෘකාවක් උඩ ආරම්භ කෙරෙන කවි වාදයක් නිසා ලංකා සමය තරුණ කවියන් අතර ආන්දෝලනයක් ඇති කළ බව කිව යුතුය. කවි ලිවීමට ආශා කළ තරුණ පරපුර හුදුවිනෝදය සලකාගෙනම දෙපිළට බෙදී කවියෙන් වාද කළහ.වාදය උදෙසා දෙපිළෙන්ම ලියවුණු කවිවල තිබුණේ වැදගත් විෂය කරුණු නොවේ. ඇණුම් බැණුම් ය. හික්කඩුවේ අමරසේනත් ලංකා සමයේ වාදවලට කවි ලියා ඕනෑ තරම් බැණුම් ඇසු කෙනෙකි. විරුද්ධ පක්ෂය ගෙන අමරසේනට බැන වැදුණේ පරණගම නමැති කෙනෙකු බව මට මතක තිබේ. හාපුරා කියා මගේ කවියක් පළවුයේද ඔය කියන විදියේ වාදයක් සම්බන්ධයෙනි. ඒ කවිවල වැදගත්කමක් තිබුණේ නැත.

ලිහිල් මාතෘකා අනුව කවි ලියන්නට යැයි ඩබ්ලිව්.ඒ . සිල්වා මහතා මට අනතුරුව අවවාදයක් කළේය. මම එය පිළිගතිමි. “වෙසක් මාසය,ගාලු වරාය,පියුම් පොකුණ” යනාදී මාතෘකා අනුව මා ලියු කවි පංති සතියක් පාසාම වාගේ ලංකා සමයෙහි පළ විණි. මට සිංහල ලේඛන කලාව සඳහා දැඩි ආශාවක් උපන්නේ එතැන් සිටය.

ඩබ්ලිව්.ඒ.සිල්වා මහතාගේ “ලංකා සමයත්” හේමපාල මුනිදාස මහතාගේ”ජාතික බලයත්” නිසා ලේඛනකලාවට ආශා කළ බොහෝ තරුණයන්ට විශේෂ රුකුළක් ලැබිණි. ඔය යුගයේදී කලඑළි බැසගත් තරුණ කවීන් බොහෝ දෙනෙකු අද හොඳ කවියන් වී සිටිතියි කිවයුතුය. ඒ පිලිබඳ හැම ගෞරවයක්ම හිමිවන්නේ තරුණ පරපුරට අතදුන් නිහතමාන පුද්ගලයන් දෙදෙනා නිසාය.

ලේඛන කලාව ප්‍රියකරන පාසැල් ශිෂ්‍යයෝ අද කෙළවරක් නැතිව සිටිති. එහෙත් ඔවුන්ට උපකාර කළ යුතු යයි කල්පනා කරන පත්‍රකාරයෝ අද රටේ නැත. ඔවුන් වඩ වඩා තැන දෙන්නේ නම ගිය අයටම පමණි.ලංකා සමය මගින් ඇතිවූ කවි ආන්දෝලනය පැවති අවදියේය මට අල්විස් පෙරේරා හඳුනා ගන්නට ලැබුණේ.දිනක් මට අල්විස් පෙරේරාගෙන් ලියමනක් ලැබිණි. මෙන්න මේ කවි කීපයද එහි තිබිණැයි මට මතකය.

“පින් පළ තිබී ඉපදී කිවියර පවුළේ
නන්ලෙද වයන නිතොරම රස කවි දවුළේ
සුන්දර සැප විඳින සරසවි සහ හවුළේ
මැන්දිස් වැවදෙනියෙ හිතවත් කවි කොවුළේ

මිණි පවුරකට රිවි දෙවි සියකිරණ හොවයි
මිනිමුතු වැලක් ලිහෙමින් මග දිගට දුවයි
පෙනිපෙනි එයින් මනහර පද බුබුළු මවයි
අනිකක් නොවෙයි සොහොයුර, ඒ ඔබගෙ මුවයි

සුරතල් කිවියරා හැම දවසෙම පොදුවේ
මරකත මිණකි බබළන සියබස් මුදුවේ
වරතරකම ඇතත් එපමණටම හුදුවේ
පරබසකින් කිමද? ඔබෙ නම ගම යෙදුවේ

පියකරු බව ඇතත් ඉන් වන දේ නේකයි
සියබස් පිනිදියෙන් අද අපි අබි සේකයි
එය ඔබ නොම තැකුව එක ගැන හද සෝකයි
මෙය දන්වන්නෙ මෙපමණ බර කර ඒකයි ”

මට මේ ලියමන අල්විස් පෙරේරාගෙන් ලැබුණේ 1937 පෙබරවාරි මාසයේ දී යැයි කිව හැක. මමද ඔහුට කවි කීපයක් ලියා යැව්වෙමි. ඔයින් මෙයින් අල්විස් පෙරේරාත් මාත් අතර දැඩි සම්බන්ධකමක් ඇති වූයේය. එහෙත් මා අල්විස් පෙරේරා දැකලාත් නැත; අල්විස් පෙරේරා මා දැකලාත් නැත. අල්විස් පෙරේරා බලන්නට කොල්ලුපිටියට යායුතු යයි මට කල්පනා විය. එහෙත් එයට කලින් මා කොළඹ අවුත් තිබුණේ එක වතාවක් නැතිනම් දෙකක් පමණය. ඒ ආවේද බාල මාමා සමගයි. “පාරවල් හුඟක් ඇති කොළඹට අවුත් අතරමං වෙන්නේ මොකටද?” කියා මම ගමන කල් තැබුවෙමි.

නොයෙකුත් රසවත් සිද්ධීන් පිළිබඳව අල්විස් පෙරේරා මට දිගින් දිගටම ලියුම් ලීවේය. මමද ඔහුට ලියුම් ලීවෙමි. ඔහු විසින් ඒ කාලයේ මට එවන ලද ලියුම් බොහෝ ගණනක් මෑතක් වනතුරුම අපේ ගෙදර මහා පෙට්ටියේ තැන්පත් කොට තිබිණි. ජ්‍යෙෂ්ඨ විභාගය සඳහා පතපොත බැලීමෙන්ද,එහෙත් ඉඩ ඇති හැම වෙලාවකම පත්‍රයකට කවි පෙළක් දෙකක් ලියමින්ද මම කාලය ගත කෙළෙමි.

අපට සිංහල අවුරුද්ද සඳහා පාසැල් නිවාඩුව ලැබුණේය. වෙන අවුරුදු වලදී මෙන්ම ඒ අවුරුද්දේත් මහගෙදර වත්ත කජු පුහුළන් වල සුවඳින් පිරී යන්නට වන. ගස්වල ඇති කජු නාඹර ගණන් කරමින්ද, පුහුළන්වල ඇති සුවඳ නැහැයට ඇද ගනිමින්ද, මම උදය සිට සවස් වනතුරු කජු ගස් පල්ලේ ඇවිද්දෙමි.

සිංහල අවුරුදු නොනගතේ ලබන්නේ දහතුන් වෙනිදාය. වල්ලඹ ගොඩේ ගැහැණුන් ලවා කැවිලිපෙවිලි සාදවමින්ද නංගිලා මල්ලිලාට අළුත් රෙදිපිළි සුදානම් කරමින්ද, අම්මා අමුතු ප්‍රීතියකින් සිටියාය. තාත්තාද නැකත් හෝරා ගැන බලමින් සනීප පුටුවේ දිග ඇදී සිටියා වෙන්නට ඇත.

නොනගතේ ලබන වේලාවේ ගෙයින් පිටතට යෑම මට ඒ කාලේ තහනම් වුවකි. එහෙත් කජු ගස් පල්ලේ ඇවිද්දේ නැති නම් සිංහල අවුරුද්දෙන් මට ඇති වැඩක් නැත. මම වත්ත පහළට ගියෙමි.

පොරෝලිස් මාමාගේ බෙහෙත් තුවක්කුව පත්තු වුයේ නොනගතේ ලබන මොහොතේය. මට මතක ඇති කාලයේ සිටම නොනගතේ ලබන වෙලාවටත්,ගෙවෙන වෙලාවටත්,අවුරුදු කන නැකතටත්,උන්දෑ බෙහෙත් තුවක්කුව පත්තු කරයි.

පන්දාස් පන්සීය වර්ගයේ මඳක් කහ පාටට හුරු පියුජි සිල්ක් රෙද්දක් හැඳ,සුදු කෝට් එකක් දමාගත් කවුදෝ තරබාරු මිනිහෙක්,බතල ගෙඩියක් මෙන් පෙරළෙමින් රත්මලාන වත්ත ඉස්මත්තෙන් මතුවිය. කෙස් නැතිකම නිසා පෑතැටියක් මෙන් පෑදුනු තට්ටයක් ඇති අනෙක් මිනිහෙකු ද ඔහු පසුපස යනු මා බලාගෙනය. මේ යන අමුත්තන් දෙස බලමින් මා සිටියේ කජු අත්තක් උඩයි.

“තමුසෙලා කොහේ යනවද ඕයි?” කියා අසන්නටත් මට සිත් විය. එහෙත් නොහඳුනන මිනිසුන්ගෙන් ඕනෑ නැති ප්‍රශ්න අසා බැණුම් අහන්නට බැරි නිසා මම කජු අත්ත උඩටවී කකුල් දෙක සලසලා සිටියෙමි. පියුජි සිල්ක් රෙදිකාරයා බතල ගෙඩිය මෙන් පෙරළෙන්නේ අපේ ගේ පැත්තටයි. ඔවුන් තාත්තා මුණගැහෙන්නට එන බාස් උන්නැහේලා වෙන්නට ඇතැයි මම කල්පනා කළෙමි.

“කොයි එක උනත් ගෙදර ගිහින් බලන්න ඕනෑ!” කියා මට සිතිණි.එහෙත් තාත්තා හම්බ වෙන්නට එන බාස් උන්නැහේලා සමග මට ඇති වැඩක් නැත. කජු අත්ත උඩ වාඩිවී මම තව තවත් හයියෙන් කකුල් දෙක වැනුවෙමි.

“අන්න බෑණා හම්බ වෙන්න කව්ද කොළඹ මිනිස්සු වගයක් ඇවිල්ලා! කව්ද දන්නෙ නෑ!” මේ පණිවුඩය ද මට දීගෙන බාල මාමා ගියේ රත්මලාන වත්තේ කඩේට විය යුතුයි.

මම ගසෙන් බැස ගෙදර ගියෙමි. ඒ කාලේ මා හමුවන්නට ඈත පළාත්වල මිනිස්සු නො ආහ. එතොත් එන්නේ පාසැල් ශිෂ්‍යයෙකු පමණකි.

“කව්ද දන්නෙ නෑ!” යනුවෙන් මම මටම කියා ගතිමි.

“කොයි එක වෙතත්,කුස්සිය පැත්තට ගොහින් අම්මගෙන් අහල බලන්න ඕනෑ!” කියා මම ආලින්දයට ගොඩ නොවී පස්සා දොරෙන් කුස්සියට ඇතුළු වීමි.

“කව්ද අම්මෙ ඇවිල්ල ඉන්නෙ?”

“කව්රු දන්නවද දරුවො? මේ නොනගතේ වෙලාවෙ මිනිස්සු ඔහොමත් ගෙවල්වලට එනවයැ!” තෙල් හට්ටියෙන් බාන කැවුම් වගයක් අම්මා බටපොතු පෙට්ටියක තැන්පත් කරන්නට වන්නීය.

“ඉතින් කව්ද ඒ ?”

“මම දන්නෙ කොහොමද? ගිහින් අහගනින්!”

මම සාලයට එබිකම් කළෙමි.අමුත්තෝ එහි නැත. ඔවුන්ගේ කසුකුසුව මට ඇසෙන්නේ මගේ කාමරයෙනි.

“ඕනෑ එකක් උනාවේ!” කියා මම කාමරයට ඇතුළු උණෙමි. ඒ අවුරුද්දේ තාත්තා මට ගෙනැවිත් තිබුණේ තනි කොළපාට පියුජි සිල්ක් සරමකි. කලින් දවසේ මූට්ටු කරවන ලද ඒ සරම තැන්පත් කොට තිබුණේ මගේ මේසය ළඟ වූ පුටු ඇන්දේය. මගේ අවුරුද්දේ සරමත් ඇඳගෙන,මගේ ඇඳේ දිග ඇදී,බඩද එළියට දමා ඉන්නේ බතල ගෙඩිය වැනි මිනිසාය. වඩාත් ළංවූ විට මට ඔහු පෙනුණේ පීප්පයක් මෙනි. මගෙන් කිසිම අවසරයක් නැතුව, මගේ කාමරයේ ඇති බඩු මුට්ටු පරිහරණය කරන්නට වරම් ලද මේ පුද්ගලයා කව්ද? මම විමතියෙන් බලා සිටියෙමි.

හැම දෙයකටම වඩා මගේ සිත් ගත් අති විශේෂ කරුණක් විය. එනම් අමුත්තාගේ මුහුණේ පැවති අමුතු කළු පාටයි. එය එසේ මෙසේ කළු පාටක් නොවේ. කළුවේ තදකම වැඩි නිසාම දිළිසෙන මිණිරන් පාටකි. “මුගලන් හාමුදුරුවන්ගේ පාට වගෙයි!’ කියා මට නිකමට සිතිණි.

“තමුසෙද වැවදෙණියෙ ඇල්.ඩී. මැන්දිස්?” මේ ඇසුවේ ඇඳේ දිග ඇදී සිටි අමුත්තාය.

“ඔව්” කියා මම අනෙක් මිනිසාගේ තට්ටය දෙස බැලීමි.

“තමුසෙ ඔයාගෙ තට්ටෙ දිහා බලන්න ඕනෑ කමක් නෑ! ඔයා ඉඳුරුවෙ මගේ යාලුවෙක්………. මම අල්විස් පෙරේරා…..”

අවුරුදු ගණනක් තිස්සේ ලියුම් හුවමාරු කර ගත් නමුත් ඔහුගේ රූපය කෙබඳු එකක් දැ යි මගේ සිතේ යන්තමින් වුවද ඇඳී නොතිබිණ.

නොනගතේ වෙලාවේදී අපේ ගෙදරින් වතුර පොදක් වත් අමුත්තෙකුට නොලැබේ. යටත් පිරිසෙයින් කුස්සියේ ඉවතලන පොල් කුඩු ටික වත් එදාට කාක්කන්ට වත් ලැබෙන්නේ නැත. එය අම්මාගේ නීතියකි. එහෙත් එදා…….?

කාලාන්තරයක් තිස්සේ අපේ ගෙදර තිබුණු නීතිය එදා අල්විස් පෙරේරා විසින් බිඳ දමන ලදී. නොනගතේම ඔහු අපේ ගෙදර බත් කෑවේය; අවුරුදු නැකතටත් බත් කෑවේය; රෑ දෙකකුත් එහි නතර වුයේය. අල්විස් පෙරේරා විප්ලවවාදියෙකැයි මට අදහස් වුයේ එදාය. අල්විස් පෙරේරා වැවදෙණියේ නතරවී සිටි දවස් දෙක තුන අමුතු ජීවයකින් යුක්ත වුයේ ඔහුගේ කවිය නිසාය. ඔහු ගෙදර කාටත් හිටිවන කවි කීවේය. මමත් කවි කීවෙමි.

කවියට ඇබ්බැහි වූ තරුණ පෙළට ඒ කාලේ වැළඳී තිබුණු භයානක පිස්සුවක් නම් හිටිවන කවි කීමයි. කවි සමාජයේ රැස්වීම් වලින් පටන් ගත් හිටිවන කවිය මුදේ දැල් පොළ දක්වාම විහිදිණි. කෙනෙකු හිටිවන කවියක් කියතොත් මට මගේ යහළු අප්පු පිස්සා මතක් වන්නේ ඒ නිසා විය යුතුයි. අප්පු පිස්සාටද හිටිවන කවි කියන්නට පුළුවන්කම තිබිණි. අගනුවර තරුණ කවි සමාජයද මේ වකවානුවේ ඇරඹුණු බව දන්වා අල්විස් පෙරේරා මට ලියමනක්ද එවා තිබුණේය෴

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්

http://sithgathsahithyakalakruthi.blogspot.com/2016/07/blog-post.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල