ප්‍රහසන

රාජගෙ විස්තරේ…..[සයිබර් වරිගෙ උණ්ඩියා]

Off

“පොලිස් ආරක්ෂක රිය පෙරටු කරගෙන නැදුන්ගමුවේ රාජා හස්ථියා මහනුවර බලා පාගමනින් ගියේය…..අතර මගදී රාජා ඇතා එන මග සිටි දඩාවතේ යන බල්ලෙකු පොලිස් පා පහරින් කාණුවට විසිවී ගියේය…..ඌ දෙස වරක් වත් නොබැලූ නැදුන්ගමුවේ රාජා සිය ගමනේ යෙදෙනු දුටු වල් බල්ලා රිදුම් දෙන බඳ ප්‍රදේශය ලෙව කා ගනිමින් “.

…දිනුවාම උඹ උඩින් යන බව අපි දැනගෙන හිටියා රාජා…..ආයෙ වරකො “වන රාජ” තෝරන දවසට හොඬවැල් නළලට අරගෙන අපි ඉන්න තැන්වලට…..තොට සළකඤ්ඤං ඊළඟ සැරේ….අම්මපා මම මී හරකට දෙන්නෙ ඊළඟ පාර…..උඹ ඔය පල්ලමකට වැටියං යන ගමන් ” යැයි මුමුණන්නට විය……

කළින් වතාවේ මී හරකා දිනවා කරගත් හරිය දඩාවතේ යන බැල්ලියක පැමිණ උගේ කණට මුව තියා කොඳුරා ගිය පසු “ඌත් එකයි, මූත් එකයි… ඇයි අරූ?…..අර උළමා…..ඌත් එකයි…..දෙන්න එකෙක් නෑ ගෑණියේ…. ” කියමින් යළිත් තැලුම ලෙවකන්නට විය

…. කඩුගන්නාව ප්‍රදේශයට රාජා හස්ථියා පැමිණෙන විට “සර්, සර්” කියන සද්දයක් ඇසී ඌ හැරී බලද්දී පෙනුනේ පෙත්සමක් තුඩඟින් ගත් කවුඩෙකු වේගයෙන් පියාඹා පස්සෙන් එන ආකාරයයි

…..පෙත්සම රාජා හස්ථියාගේ පාමුල දැමූ කවුඩා, හස්ථියාට හිස නමා ආචාර කරමින් හොට තාර පාරේ උලා ගත්තේය….අනතුරුව පොලිස් රාළහාමිලා ඌව එතනම දොදොල් කරන්නට පෙර “සර්….පිළිමතලව්වෙ ගස් කපනවා…..අපිට ලගින්න තැනක් නෑ….බෙට්ටක් දාන්න තැනක් නෑ….මොනව හරි කරන්න සර්…” කියාගෙන යළි අහසට නැගුණේය

….අහසේ ඌ එනතුරු බලාගෙන සිටි කවුඩු රැළේ ඉදිරියෙන් සිටි නාහෙට නාහන තරුණ කවුඩෙකු “වැඩක් නෑ තාත්තේ…..තාත්තලා නිකන් චාටර් වෙනවා විතරයි…..ඕකුන්ට අපේ දුක තේරෙන්නෙ නෑ…..ඕකුන්ට වඳින්න යන තාත්තලා නිසයි මේ සමාජය ගොඩගන්න බැරි” යැයි එතන සිටි සැමට ඇසෙන සේ කෑ ගැසුවේය

…. ( මෙම සිද්ධියෙන් දින කීපයකට පසුව එම තරුණ කවුඩාගේ පොඩි පට්ටම් වී ගිය සිරුර ගසක් යට තිබී හමු වූ අතර, ඌ පියාඹන්නට ගොස් ගසක වැදී මළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කීවේය……තැන් තැන් වල කුටු කුටු ගානු හැර අනෙක් සතුන්ද මේ “අමුතු අහුඹුව” ප්‍රතික්ෂේප කරන බවක් නොපෙනිනි….. ) මග දිගට සිටි රිලව් සහ හැළි වඳුරන් රාජා ඇතාගේ හොඬවැලට සිය පැටව් දික් කිරීමේ අප්‍රසන්න උත්සාහය මෙන්ම, පැටවු රැගෙන උගේ බඩ යටින් රිංගන්නට දරන අමන වෑයම වළක්වන්නට රාළහාමිලාට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය……

“යකුනේ .. ඕකා ඔය හොඬවැල පාවිච්චි කරලම තමයි සත්තුන්ව උස්සලා පොලේ ගහන්නෙ……තොපි එහෙව් හොඬවැලට පැටව් දික් කරගෙන ඉන්නවද?” කියා ඇසූ මහළු බකමූණෙකුට හොඳවයින් කුණු හරුප ග්ලොසරියක්ම අසා ගැනීමට සිදුවිය…..

පේරාදෙණිය ප්‍රදේශයට පැමිණි රාජා හස්ථියා පෙරහැරට යමින් සිටි තවත් අලි ඇතුන් සහ අවට ප්‍රදේශයේ ලැග සිටි ගව මහීෂාදීන් අමතා කථාවක් පැවැත්වූයේය…..

“මේ පේරාදෙණියට ඒ නම වැටිලා තියෙන්නෙ පළවෙනි බුවා නෙක නෙක බාහු රජතුමාගේ කාලෙ…..ඒ කාලෙ මෙතන පේර ගෙඩියක් දෙණිය මැද්දෙ රෝල් වෙවී තිබිලා තියෙනවා…..ඒ නිසයි මෙතන පේරා + දෙණිය කියල නම වැටුනෙ…..අපි ඔස්ට්‍රේලියාවෙ පේර වවන්න සාකච්ඡා කරගෙන යනවා …” යැයි ඇතුගේ මුවෙන් පිටවන විට,

එම කථාව අසාගෙන ගසක් මත සිටි දඬු ලේන්නු දෙන්නෙක්ගෙන් එකෙක් අනෙකා දෙසට හැරී ” ඒ බං……මූ පට්ට සිරා මොළයක් කියලා නේද උඹ කිව්වෙ….?…..මොනවද බං මේ කියන කථා…..? ” යි ඇසුවේය…..ඒ කරන කථාවේ ඇති මහා ගැඹුර වටහා ගන්නට එම දඬු ලේනාගේ මොළය ප්‍රමාණවත් නොවන බව අනෙක් දඬු ලේනා විස්තර කර දෙනු ඇසිණි……

ගැටඹේ දේවාල භූමියේදි කළින් වතාවක් නසරාණි වැඩක් කර මාට්ටු වී, කුජීත වී සිටි ගස් ගෝනෙක් උක් දඬු කෑල්ලක් ගෙනත් දුන් විට, එය සොඬින් ගත් නැදුන්ගමුවේ රාජා හස්ථියා, එම ගෝනා දෙස බලා එක ඇසකින් ඉඟි මරා, හොඬවැලෙන් “තම්බ්ස් අප්” එකක් දැම්මේය…..එම ගෝනාගේ සියළු වස්දොස් සමග උපන් දා සිට කළ පව් සියල්ල එම මොහොතේම දූරිං භූත වූ අතර, ඌ කළ මජරි වැඩ හෙළිදරව් කරමින් සිටි උන්ගේ වස්ත්‍රාභරණ ජල වාෂ්ප බිඳිති බවට පත්ව උඩු සුළඟට මුසුවිය……

මේ අතර තමාට සහ තම රංචුවට අතීසාරය වැළඳී ඇති බව කියාගෙන මග දිගට බඩ එළිය හලමින් දුවගෙන ආ මීමින්නෙකුට එම ඛේදවාචකය පුවතක් වී පසුවදා පත්‍රයේ ඵලවනතුරු ඉවසා සිටින ලෙස හස්ථියාගේ උපදේශකයෙකුගෙන් උපදෙස් ලැබිණි….. ලස්සනට සරසන ලද නැදුන්ගමුවේ හස්ථියා පාවඩ පිට පෙරහැරේ වඩිද්දී ඌට සාදුකාර දුන් සහ නොදුන් අනෙක් සියළු සතුන් උගේ පස්සෙන් වැටී යන දර්ශණය බලා සිටි මහළු බකමූණා නුවර වැවට ඉහළින් ඈත අහසට පියාඹා නොපෙනී ගියේය…..

-සයිබර් වරිගෙ උණ්ඩියා”

දෙවන උපුටාගැනීම:

http://raj1st.blogspot.co.uk/2016/08/blog-post_18.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල