අධ්‍යාපනික

උග්ගල් අලුත්නුවර ඇස්වෙදකම

Off

පුරාණ  උගතුන් සහ අපූරු හපනුන්   පිළිබඳ පුරාකතා  රාශියකි. මේවා බොහෝ විට  හුදු ප්‍රබන්ධම නොවන බව  පරම්පරික ශිල්ප ශාස්ත්‍රයන්හි නිපුණතා දක්වන වයෝවෘද්ධ පැරැන්නන්ගේ  දැනුම් ආකල්ප සහ ශිල්පීය හැකියා විමසීමේදී පැහැදිලි වෙයි. මේ  විස්තර ඉදිරිපත් කිරීමේ දී හැම විටම පාහේ   පැරැන්නාගේම ව්‍යවහාරය උපුටා  දැක්වීමට උත්සාහ ගෙන ඇත.

මැණික්අප්පු වෙදමහතා 

ලේකම් මහතා ප්‍රධාන කථිකයා වෙමින් අනෙක් අයගේ සහායයෙන් කතාව පවසන්නට විය[1].  අපේ ආනන්ද මෛත්‍රිය මහනායක හාමුදරුවන් ට වයස 80 විතර වෙද්දි ඇස්වල පෙනීමේ අඩුකමක් ඇති වුනා. කන්නාඩි දාලවත්; රටේ ඉන්න ලොකු ලොකු දොස්තරල පරසිද්ද වෙදමහත්තුරු බලලවත් සනීප කරන්ඩ බැරි උනා.  නොයෙක් දෙනා දුන්න උපදේසයන්ට සලකල එංගලන්තෙ වැඩල ඇස්වල ඔපරේසන් එකකුත් කරා. ඒත් ඒච්චරම  හරි ගියේ නෑ. මාස කීපෙකින්  පරණ ලෙඩේම ආයෙත්
මතුවුනා. ඊට පස්සෙ  නායක හාමුදුරුවො මොන පණ්ඩිතයවත් කියන දේ නාහ අලුත්නුවරට වැඩිය. ඒ කියන්නෙ නායකහාමුදුරුවො තමුන්ගෙ මෑණියන්ගෙ ගමට වැඩිය.  මෙහෙ පොකුණෙ  ඉන්නමැණික්අප්පු වෙදමහත්තයට පෙන්නල  බෙහෙත් ගන්න උනා.  වෙදකමට මාස තුනක් විතර කාලයක් ගතවුනා.

Snap36AGAlwis

නායක හාමුදුරුවන්ව ගමේම වැඩ ඉන්දවාගෙනයි, වෙදකම් කෙරුවෙ. ඒ කාලෙ විවේක සුව ඇතුව වැඩ ඉන්න ඕන කියල ඉන්දරතන හාමුදුරුවො වෙලේ පන්සල සූදානම් කළා.  උන්නාන්සෙ හරියට බුදුහාමුදුරුවන්ට උපස්ථාන කරපු අනඳ හාමුදුරුවො වගේ වුනා. කොච්චර ගරුසරු ඇතුව කටයුතු කළාද කියනව නං, කිසි කෙනකුට ආවට ගියාට නායකහාමුදරුවන්ට කරදර කරන්න ඉඩ තිබ්බෙනෑ. මැණික්අප්පු වෙදමහත්තය කියන විදිහට  ලෙඩේට පත්තියං වෙන දේවල් තමයි දානෙට

මැණික් අප්පු වෙදමහතා

ගෙනෙන්න ඕන කියල  ගමේ දායකයන්ට නියම කළා. ගමේ අපි හැමෝම වගේ මෙ දවස්වල පන්සලට ගියෙ බුදුන් දවසෙ ජේතවනාරාමෙට ගියා වගේ. පන්සල බොහොම කල එළිය වුනා. ඒ බෙහෙත් වලින් ලෙඩේ සනීප වුනා. වෙදා ගමේම ඉන්දද්දි මං රට රාජ්ජවල ගියා නෙව. කියල නායක හාමදුරුවො හිනා වුනා. මහානායක හාමුදුරුවො ජීවමානව වැඩ ඉන්නතාක් කල්; බළන්ගොඩ මස්සැන්න පන්සලේ වැඩ ඉන්නවනං, මාසෙකට දෙකකට වතාවක්  මැණික්අප්පු බලන්න ගමට වඩිනව. ඒක ඔය කවුරුත් දැකල ඇති.

ලේකම් මහතා මේ පවසන්නේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් සම්බන්ධවය  – 1980/82 පමණ  හිමිපාණන් වහන්සේගේ අක්ෂි ආබාධයට  ප්‍රතිකාර ගැනීම පිණිස විවේකාරාම විහාරස්ථානයේ වැඩ සිටි බවද ප්‍රතිකාර සලසන ලද්දේ මැණික්අප්පු වෙද මහතා බවද sugv මතකයේ ද පවතී.  අසනීපය සුව වීමෙන් පසුව මේ විශ්මය ජනක වෙදකමේ ප්‍රයෝජන තවත් වැඩි පිරිසකට සලසා දීම පිණිස ආනන්දමෛත්‍රෙය හිමියෝ සුදුසු පියවර ගත්හ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මැණික්අප්පු වෙදමහතා රජයේ ලියාපදිංචි අක්ෂිවෛද්‍යවරයකු බවට පත්විය. අනතුරුව නායක හිමිපාණන් ගේ නිර්දේශය හා ඉල්ලීම අනුව රත්නපුර ආයූර්වේද රෝහලේ විශේෂ අක්ෂිවෛද්‍යවරයකු ලෙස පත්කරනු ලැබිණි.

එහි දී ද වෙදමහතා දැක්වූ හපන්කම් අතර වඩා ප්‍රසිද්ධියට පත් වූයේ ගොඩ වෙදකමින් නරක්කරගත් ඇස් බේරා දීමට සමත්වීමෙන් බව පැවසේ. එවැනි  හපන්කම්  පිළිබඳ විස්තර මී ළඟ ලිපියේ  බලන්න

 

විශේෂ සටහන්

  • පොකුණ යනු උග්ගල් අලුත්නුවර දේවාල ගම්මනයේ දේවාලයට ආසන්නයේ පවතින ගමකි.
  • වෙලේ පන්සල යනු උග්ගල් අලුත්නුවර විවේකාරාම පන්සලයි. මේ උපස්ථාන කළ බව කියවෙන්නේ එවකට එහි වැඩසිටි උල්පතගම ඉන්දරතන හිමියන්ය.

පාදක සටහන

[1]විස්තර පවසන ප්‍රධාන කථිකයා වූ ලේකම් මහතා යනු  සාමවිනිසුරු, පාරම්පරික දෛවඥ ඒ.ජී. අල්විස් – ලේකම් (විවේකාරම විහාරස්ථ දායකසභාව)  සහ සෙසු පිරිස – ඇම් ඇම්. චාර්ලිස් අප්පු දේවාල කවිකාර මණ්ඩපයේ ශිල්පී-  එන්.කේ. නන්දෝරිස් ( වඩුකාර්මික, නැටුම්  හා බෙරවාදන ශිල්පී)  සහ පී.පී.ප්‍රනාන්දු (වඩුකාර්මික ශිල්පී ) ස්ථානය sugv නිවස වසර 1994

සියළු හිමිකම් බ්ලොග්කරු සතුය.

එම් පී පී ගුණසිංහ 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල