සාහිත්‍ය කළා විචාර

සිරිල් සී. පෙරේරා : පරිවර්තන සාහිත්‍ය වංශයේ ස්වර්ණමය පරිච්ඡේදයක නිමාව

Off

 

‘සිරිල් වරුන්’ තිදෙනෙක් ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රය ගැන කතා කිරීමේදී මගේ සිහියට එයි. සිරිල් ඒ. (සීලවිමල) පළමුවැන්නාය. ඔහු පුවත්පත්කලාව හා ගීත රචනා ක්ෂේත්‍රයෙහි සිය නිර්මාණශීලී භූමිකාව නිරූපණය කළේය. දෙවැන්නා සිරිල් බී. (පෙරේරා)ය. ඔහු පුවත්පත් කලා ක්ෂේත්‍රයේ හා සිනමා විචාර කලාවේ සිය නිර්මාණශීලී භූමිකාව නිරූපණය කළේය. මේ ‘සිරිල් වරුන්’ දෙදෙනාම ජීවිතයෙන් නික්ම ගොස් කලක් ගත වී තිබේ. තෙවැන්නා වූයේ සිරිල් සී. (පෙරේරා)ය. ඔහු පරිවර්තන සාහිත්‍යය තුළ සිය නිර්මාණශීලී භූමිකාව නිරූපණය කරමින් සිටියේය. ඔහුද පසුගියදා ජීවිතයෙන් නික්මිණ.
අපේ රටේ පරිවර්තන සාහිත්‍යකරුවන් අතර පුරෝගාමී භූමිකාවක් ඉටු කළ පුද්ගලයකු ලෙස සිරිල් සී. පෙරේරා මහතා සඳහන් කළ යුතුය. අප බොහෝ දෙනෙකුට පරිවර්තන සාහිත්‍යය ‘රහ වැටීමට’ වග කිය යුතු ප්‍රමුඛයකු වූයේ ඔහුය. පරිවර්තන කලාව පිළිබඳව ඔහුගේ දැක්ම, ගුස්ටාව් ප්ලෝබෙයාර්ගේ ‘එමා බෝවාරි’ සිංහල පරිවර්තනයේ පෙරවදනෙහි ඔහු මෙසේ සඳහන් කරයි.

”විදේශික නවකතාවක සිංහල පරිවර්තනය, විදේශික කතාවක් වස්තු කොට සිංහල බසින් රචිත නවකතාවක ස්වරූපය ගත යුතු යැයි සිතමි. පැරණි සිංහල ගද්‍ය සාහිත්‍යයෙහි අැතැම් පරිවර්තන කෘති මීට හොඳ නිදසුනකි. එවන් පරිවර්තනයක් කිරීමට පරිවර්තකයා තුළ නිර්මාණ ශක්තිය පමණක් නාෙව උසස් පරිකල්පන ශක්තියක් සමග ස්වාධීනත්වයක්ද තිබිය යුතුය. මුල් කෘතියට වහල් වී එය වචනයෙන් වචනය, පදයෙන් පදය, වැකියෙන් වැකිය පරිවර්තනය කිරීමෙන් සාර්ථක පරිවර්තනයක් කළ නොහැකිය. පරිවර්තනය තම බසින් කරන ලද නව නිර්මාණයක් විය යුතුය. තම මවු බස තරම් තම හදවතට ළං වන, කනට මිහිරි, රස වඩවන, හැඟීම් පුබුදු කරවන වෙනත් බසක් නැත. පරිවර්තනය වනාහි, අන් බසකින් කියන කතාවක් තම මවු බසින් තම පාඨකයින්ට කීමය.එහෙයින් දක්ෂ පරිවර්තකයකු විසින් කරන ලද පරිවර්තනය අැතැම් විට මුල් කෘතියට වඩා රසවත් විය හැකිය.”

සිරිල් සී. පෙරේරා පරිවර්තනයක අැති වගකීම් සහගතභාවය මනාව අවබෝධ කරගෙන සිටියේය. ඔහු ලියෝ තෝල්ස්තෝයිගේ ‘යුද්ධය හා සාමය’ පරිවර්තනය කිරීමට පෙර, රුසියානු සමාජය පිළිබඳව අවබෝධයක් ලැබීම සඳහා තෝල්ස්තෝයිගේ ගම්මානය වූ යස්නායා පොල්යානාවේ සංචාරයක නිරත වූ බව ප්‍රකට කාරණයකි.

අර්නස්ට් හෙමිංවේගේ ‘ The Old man and the Sea’ කෘතිය ‘මහල්ලා සහ මුහුද’ යනුවෙන් සිංහලට පරිවර්තනය කළේද ඔහුය. මෙහිදී මෙම කෘතිය සඳහා සුදුසු භාෂා රටාව සොයා බැලීමට ඔහු කටයුතු කළ අාකාරය එහි පෙරවදනෙහි තැනක ඔහු මෙසේ සඳහන් කරයි.

”මෙම නවකතාව සිංහල බසට නැඟීමේදී මම හැකි තරම් දුරට ධීවරයින් මුහුදේ පාවිච්චි කරන බස යොදා ගැනීමට වෑයම් කෙළෙමි. එහෙත් ලංකාවේ මුහුදුබඩ පෙදෙස්වල වෙසෙන ධීවරයෝ එකිනෙකට වෙනස් වචන පාවිච්චි කරති. බලපිටිය පෙදෙස් ධීවරයින් පිළිබඳ තොරතුරු සමග අවශ්‍ය වචන මට සපයා දුන්නේ මගේ මිත්‍රයකු වන බලපිටියේ ඩබ්ලිව්.ජේ. සිල්වා මහතා විසිනි. මා සමග එකම කාර්යාලයෙහි සේවය කරන සිල්වා මහතා අවශ්‍ය අත්දැකීම් ලබාගැනීම පිණිස මුහුදු යාමටද මට අාරාධනා කළේය.එකල දිවයිනේ පැවති දේශපාලන නොසන්සුන්කම නිසා අපට ඒ ගමන යා නොහැකි විය. මෙයි සිදු වූයේ මීට විසි වසරකට පමණ පෙරය. අපි පැය ගණන් ධීවරයින් සමග මුහුදු වෙරළේ ගත කළ සැටි මතක් වෙන විට දැන් මා තුළ මහත් සතුටක් අැති වෙයි.” (1993)

ඒ සතුට තමන් අවංකව පරිවර්තන කාර්යයෙහි නිරත වීම පිළිබඳ සතුටක් බව පැහැදිලිය. තමන් කරන කාර්යය අවංකව සිදු කරන පරිවර්තකයින් අදටත් ‍අැත්තේ අතලොස්සකි.

ඔහු පරිවර්තනය කළ කෘති අතරින් මා හදවත වඩාත්ම කම්පනයට පත් කළ කෘතිය ‘වෘකයින් අතර නග්නව’ ය. එය බෘෘනෝ අාපිට්ස්ගේ ‘ Naked Among Wolves’ කෘතියෙහි පරිවර්තනයයි. එම නවකතාවට පසුබිම් වී අැත්තේ සැබෑ සිදුවීමකි. දෙවන ලෝක යුද්ධය අවසාන කාලයේ පෝලන්ත ජාතික සිරකරුවකු විසින් රහසින් බූකන්වල්ඩ් කඳවුරට ගෙනෙන ලද කුඩා දරුවකු සිරකරුවන් විසින් අාත්ම පරිත්‍යාගයෙන් අාරක්ෂා කරගත් සැටිත් අවසානයේ බූකන්වල්ඩ් සිර කඳවුර බිඳ නිදහස ලබාගත් සැටිත් මෙම නවකතාවෙන් කියැවෙයි. මෙම නවකතාව කියැවීමේදී අපද ඒ අත්දැකීමට මුහුණු දී සිටින අාකාරයේ මානසිකත්වයකට පත්වෙයි. අැතැම් චරිත සමග ඒකාත්මික වෙයි. දරුවා රැක ගැනීම වෙනුවෙන් පාඨකයාද මානසිකව ඒ කාර්යයට උරදෙන්නට පටන් ගනී. ඒ මානසිකත්වය කතාවේ අවසානය දක්වාම රැඳී පවතී. අවසානයේ සිරකරුවන් කඳවුර බිඳ නිදහස් වී යාම අපගේද නිදහස්වීමක් පරිදි හදවතට දැනේ.

”සහෝදරවරුනි, අන්තිමේදී අපි ජයග්‍රහණය කළා. සියලුම ෆැසිස්ට්වාදීන් දැන් පැනල ගිහින්. දැන් අපි නිදහස්! මා කියන දෙය අැහෙනවාද? දැන් අපි නිදහස්! අපි නිදහස්!’
දරාගත නොහැකි ප්‍රීතියෙන් අඬන්නට පටන්ගත් බොකෝ මයික්‍රොෆෝනයට හිස තද කර ගත්තේය. ප්‍රීතියෙන් ගලන කඳුළු ඔහුට මැඩ ගත නොහැකි විය.
මෙතෙක් වේලා බැරැක්කවල කොටු වී සිටි සිරකරුවෝ උඩ පනිමින් හා කෑ ගාමින් නටන්නට වූහ. දහස් ගණන් සිරකරුවන්ගේ කෑ ගෑම ලැව් ගින්නක් මෙන් කඳවුර පුරා පැතිර ගියේය. එහි අවසානයක් නැත. කෑගෑමේ වේගයෙන්ම යළි ප්‍රාණවත් වූ කෑගෑම තව තවත් පැතිර ගියේය.
‘අපි නිදහස්! අපි නිදහස්!’
සමහරු සිනාසුනහ. සමහරු අැඬූහ. සමහරු නැටූහ. මේස උඩ නැඟ අත් පා වනමින් නැටූහ. පිස්සන් මෙන් කෑගැසූහ. දැන් ඔවුන් නතර කළ නොහැකිය. බැරැක්කවලින් එළියට පැනගත්, නිදහසින් මත් වූ සිරකරුවෝ මුහුද ගොඩ ගලන්නාක් මෙන් පෙරෙට්ටු භූමිය දෙසට ගියෝය. අනතුරුව එක පයින්, එක හඬින් ගලා බසින ගංවතුරක් මෙන් ගේට්ටුව බලා ගියෝය.
එහෙත් එය අර්ථයක් නැති උමතු ගමනක් නොවෙයි. එය නිදහසින් මත් වූ ගමනකි. ඔවුහු මෙතෙක් කල් වෙෙර කළ ගේට්ටුව තුළින්, අාදරයෙන් හද පිරුණු නිදහස් මාතාවගේ උණුසුම් තුරුල්ලට ප්‍රීතිඝෝෂා නඟමින් පෙරළි පෙරළී ගියෝය… ”

මෙබඳු මහඟු පරිවර්තන කෘති අප අත තබා ඔහු අප වෙතින් නික්ම ගොස්ය. සාහිත්‍යය පිළිබඳ අටෝ රාශියක් සංවාද, කලිකළහයන් සුපුරුදු ලෙස අැවිලී අැති මේ සැප්තැම්බරයේ නිහඬවම, ‘තෙවැනි සිරිල්වරයා’ වූ ‘සිරිල් සී. පෙරේරා නික්ම ගොස්ය. ‘පරිවර්තන පොතක මහිම’ අපට කියා දුන් සොඳුරු පරිවර්තකයා නික්ම ගොස්ය. එහෙත් මේ සැප්තැම්බරයේත් අප මිලදී ගන්නා ඔහුගේ පරිවර්තන කෘතියකදී නිසැකවම ඔහු අපට හමු වනු අැත.
අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්
http://patayakagepituwa.blogspot.com/2016/09/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල