අතීතකාමය

හැදිච්ච බීට්ල් එකක් නැහැදිච්ච ගෙදරක් ළඟ පාක් කළෙමි!

Off

බීට්ල් එක නවත්තලා බහිද්දී ඉස්සරලාම ඇහුණේ වේලිච්චි කොළ සරසර ගාලා කකුලට පොඩිවෙන සද්දේ. ඒ කියන්නේ කවුරුවත් දැන් මේ ගෙදර මිදුල අතුගන්න කරදර වෙන්නේ නෑ කියන එකයි.

මේ අපේ ලොකු තාත්තලාගේ මහගෙදර. ඒ ගෙදර දශක ගාණකින් අලුත්වැඩියා කරලා නැහැ. ආයේ කවදාවත් අලුත්වැඩියා කරන එකකුත් නැහැ.

අපේ තාත්තලා මම ඉතාම පුංචි කාලේ කොළඹ දිස්ත්‍රික්කය ඇතුළේ පදිංචියට ආපු නිසා මමත් අක්කර දරුවෙක් නොවී පර්චස් දරුවෙක් වුණා. ඒ කියන්නේ අපි ඉඩම් වල ප්‍රමාණය කියන්නේ අක්කර වලින් නෙමෙයි, පර්චස් වලින්.

කොහොම හරි ජීවිතේ ලට්ට පට්ට පෙට්ටි පෙට්ටගම් වලට අඩිය තියලා අමාරුවෙන් මැද පන්තියේ අයිනකට නැගගත්තු තාත්තට ඒ දවස්වල ගන්න පුළුවන් වුණේ පර්චස් දහයයි. ඒ පර්චස් දහය ගත්තු දවසේ තමයි දයාරත්න අංකල් අපිව එයාගේ මොරිස් මයිනරෙන් අලුත් ගෙදරට ගෙනත් බැස්සුවේ.

මේ පර්චස් දහය ඇතුළේ හිරවෙලා හිටපු මගේ පුංචි හිතට තිබුණු ලොකුම සතුට තමයි ඉඳහිට ලොකු අම්මලාගේ ගෙදර යන එක. ඒක ඇත්තටම අපේ ලොකු තාත්තලාගේ මහ ගෙදර. සෑහෙන විසාල ගෙයක්. අක්කර දෙකකට වැඩි වත්තක්.

ලොකු අම්මගේ පුත්තු දෙන්නා මට වැඩිය අවුරුදු හතරක් සහ හයක් වැඩිමල්. ඕක මහා ලොකු පරතරයක් නෙමෙයි නිසා මේ ඩබල එක්ක තමයි මම ඒ දවස්වල ගමේ ගියාම සෙල්ලම් කළේ. මගේ ඉස්කෝලෙත් ග්‍රවුන්ඩ් එකක් කියලා දෙයක් නොතිබ්බ නිසා (එතකොට මම ගියේ පානදුර ශාන්ත ජෝන් එකට. ඒ දවස්වලත් ඒකෙ සෙල්ලම් කරන්න කියලා මහා ඉඩක් තිබ්බේ නැහැ. දැන් නම් ඒ තිබිච්චි ඉඩෙත් බිල්ඩින් දහයක් විස්තර ගහලා. දැන් මට ඒක දැක්කාම බංගලිදේසේ වගේ රටක අඩු ආදායම් නිවාස ව්‍යාපෘතියක් මතක් වෙනවා) අත දිගඇරලා හයේ එකක් ගහන්න තිබුණේ ලොකු අම්මලාගේ ගෙදර වත්ත විතරයි. ඒ දවස් වල IPL නොතිබ්බ නිසා ක්‍රිකට් ෂොට්ස් ලස්සනයි. ලස්සන පුල් එකක් එහෙම ගැහුවම හිතට මාර ආතල් එකක් තිබ්බේ. දැන් වගේ ක්‍රීස් එකට එන්නත් කලින් ඉඳන් රිවස් ස්වීප් සහ ඩිල් ස්කූප් ගහන ඇම්මක් ඒ දවස්වල තිබ්බේ නැහැ.

අපි ගමේ ගියේ පාන්දරින් කෝච්චියේ නැගලා. වේයන්ගොඩ කියන්නේ මහා දුරක් නොවන බව ඇත්ත. නමුත් එහෙම ගියාම කාර් වල යනවා වගේ ගිය දවසෙම එන්න බැහැ. ඉතින් දවසක් දෙකක් ලැගලා තමයි එන්නේ. ටිකෙන් ටික තාත්තටත් රාජකාරි වැඩි වුණු නිසා නිතර ගමේ යන එක අඩු වුණා. නමුත් ඉඳලා හිටලා හරි ගියේ නම් ඉතින් එහෙ තමයි.

පස්සේ කාලෙක ලොකු අම්මලා ඉඩමෙන් කොටසක් විකුණලා වෑන් එකක් ගත්තා. ඔන්න එතකොට තමයි සංචාර සිස්ටම් එකක් පටන් ගත්තේ. අපි කවුරුවත් සල්ලිකාරයෝ නෙවේ නිසා නෑදෑ පරපුරට එහෙම වෑන් එකක් ලැබුණු එක ඒ දවස්වල මහා ලොකු දෙයක් වුණා. ඉතිං ඔන්න අපි හිටු කියලා ට්‍රිප් යන්න පටන් ගත්තා.

ඔහොම ට්‍රිප් එකක් ගිහින් එනගමන් අපි දවසක් කොහේ හරි ගෙදරකට ගියා. මට මතක නැහැ කාගේ කවුද කියලා. එහෙ ගියාට පස්සේ ටික වෙලාවකින් අයියලා ඩබල මට එළියට එන්න කිවුවා. මමත් ගියා. එතකොට මට අවුරුදු දාසයක් විතර ඇති මගේ හිතේ.

මුන් දෙන්නා මට කිවුවා වෑන් එකේ ඩ්‍රයිවින් සීට් එකට නගින්න කියලා.

මට මතක හැටියට මම ගිහිං කොහේ හරි හැංගුණා… ඒ දවස් වලත් මම අනුන්ගේ ලබුගෙඩිවලට අතගහන්න බයයි.

ඒත් උන් දෙන්නගෙන් ගැලවෙන්න හම්බුණේ නැහැ. මම පන ගැහිගැහී වාහනේ ස්ටාට් කළා.

එතනින් එහාට මට මතක අයියලා සැරින් සැරේ ‘මල්ලි පාරට ගන්ඩෝ’ කියලා කෑ ගහන එක විතරයි. ඒ කියන්නේ වාහනේ සැරින් සැරේ පාරෙන් පිටපනින්න ගියා කියන එකයි. හැබැයි එක සීන් එකක් මට හොඳට මතකයි.

ඒ දවස් වල මට ක්ලැසික් කාර් පිස්සුව තිබ්බේ නැහැ. හැබැයි ඉඳහිට ක්ලැසික් කාර් එකක් දකිද්දී නිකං සංසාරගත මෙව්වා එකක් මෙව්වා වෙනවා වගේ මෙව්වා එකක් මට තිබ්බා.

මම නිකං හාවාව මාරි පෙට්ටියේ දාලා අරන් යනවා වගේ වෑන් එක අරගෙන යද්දී ඒ පාර හදන්න ගල් ගෙනත් දාලා තිබුණා. ඒ කියන්නේ ඉතින් යන එවුන්ට ඕන මගුලක් කියලා පාරෙන් තුන්කාලක් වැහෙන්න ගල් බානවා කියන එක නේ. ඉතින් මම වාහනේ ගෙනිච්චේ ඉස්සරලාම වීල් එකක් අතට ගත්ත දවසෙම ගෙනිහින් කටුකුරුන්ද ට්‍රැක් එකට දැම්මා වගේ හැඟීමකින්.

ඔහොම ටිකක් දුර යනකොට ඉස්සරහින් මිට්සුබිෂි ජීප් එකක් ආවා (ඒ දවස් වල දන්නේ නැහැ ඒක මිට්සුබිෂි කියලා. හැබැයි මේ ලියන වෙලාවේ මට ඒ වාහනේ නිකං මගේ මේසේ උඩ තියනවා වගේ පේනවා. ඒ තරමට ඒ රූපේ මගේ හිතේ කා වැදිලා). අච්චර පන බයේ යමින් හිටපු මට මොකක්ද උනා. ගල් ගොඩක් ගාවට ළං කරලා මම සිග්නල් දාලා, දෙපැත්තේ කන්නාඩි දෙකෙන් බලලා, රියර් වීව් මිරර් එකෙනුත් බලලා, ගානකට අයින් කරලා ෂේප් එකේ වෑන් එක ස්ලෝ කළා. ඊට පස්සේ ඉතාමත් සන්සුන්ව, ගැස්සෙන්නේ නැතිවෙන්න වෑන් එක නැවැත්තුවා. ඉස්සරහින් ආපු ජීප් එකට යන්න දීලා, ඒ ජීප් එක හොඳට බලාගෙන, සිග්නල් එහෙමත් දාලා, ආපහු පාරට ගත්තා.

අයියලා දෙන්නා ලාවට මූණෙන් මූණ බලාගන්නවා මට මතකයි.

එතනින් එහාට දෙමළ චිත්‍රපටියක වගේ මට හොඳට වාහන එළවන්න පුළුවන් වුණේ නම් නැහැ. හැබැයි එදා ඉඳන් මම 4DR5 එකක් දැක්කම වෙනදට වඩා උනන්දුවෙන් බැලුවා.

මට මේ සේරම ආපහු මතක් වුණේ ඊයේ පෙරේදා ආයේ ලොකු අම්මලාගේ ගෙදර ගිහින් එන්න තීරණය කරපු නිසා. මට හරියට ඩ්‍රයිවින් පුළුවන් වුණේ අර ‘මල්ලි පාරට ගන්ඩෝ’ සීන් එකට කල්ප ගාණකට පස්සේ. ලයිසන් එහෙම අරන් මම ලාන්සරේ දෙතුන් පාරක් වේයන්ගොඩ ගිහින් එන්න ඇති. ලාන්සරේ කියන්නේ, මම හැමදාමත් කියනවා වගේ, අම්මෙක් අප්පෙක් වගේ විශ්වාස කාර් එකක්. හැබැයි ලාන්සරේ කියන්නේ ගමනක් යන්න එළියට බැස්සාම හැතැම්මෙන් හැතැම්මට හදවතට එයා ෆිල්ටරෙන් ඇන ඇන ජීවන කතන්දර කොඳුරන කාර් එකක් නෙමෙයි. මාලදිවයිනේ යන්න ඕනේ කිව්වොත් ලාන්සරේ මූදෙත් යයි. හැබැයි ගිහින් ඇවිල්ලා කියන්න කතාවක් ඉතුරු වෙන්නේ නැහැ.

හැබැයි මේ පාර යන්න ඕනේ කියලා හිතද්දී මා ගාව තිබුණේ 9 ශ්‍රී 5333.  ඒ කියන්නේ මගේ දෙවෙනි බීට්ල් එක (පළවෙනි බීට්ල් එකේ මට වේයන්ගොඩ යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ).

පහුගිය අවුරුද්දේ මම වේයන්ගොඩ ගිහින් ආවේ ත්‍රීවීල් එකක. ඒ ලොකු තාත්තාගෙ මරණෙට. ලොකු තාත්තා මගේ ළමා කාලේ නොමැකෙන චරිතයක් වුණත් අන්තිම කාලේ එයත් එක්ක සමීප සම්බන්ධතා තියාගන්න මට බැරි වුණා. ලොකු තාත්තා බීපු ඇල්කොහොල් පාන වර්ග නොබී එකතු කළා නං අපට රටේ සිඳී යන වාරි මාර්ග නැවත ප්‍රකෘතිමත් කරන්න තිබ්බා. මම ඇල්කොහොල් එක්ක ‘ආ කොහොමද?, ගිහින් එන්නම්’ වර්ගයේ සම්බන්ධයක් විතරක් පවත්වන කෙනෙක් හින්දා ලොකු තාත්තාගේ ජීවිතේට සමීප වෙන්න මට බැරිවුණා.

තව ටිකක් වයසට ගිහින් මමත් ඇල්කොහොල් වලට ජැක් එකක් ගහන්න කලින් ලොකු තාත්තා යන්න ගියා.

ඔය අතරේ මෑතක ඉඳන් අපි අතර කතාබහක් ඇතිවුණා, කොයි වෙලේ හරි මහ ගෙදර කඩලා දාන්න වේවි කියලා. ඒක දැන් ඒ තරමට අබලන්. මම ඒ කතාව මතුවෙන හැම වෙලාවකම ඒක හිත ඇතුළට යන්නේ නැතිවෙන්න හිත මැද්දෙන් මොකක් හරි බැරියර් එකක් එබුවා. ඒත් ගිය සතියේ මට ඒක වළක්වගන්න බැරුව ගියා.

ගෙදර දැන්ම කඩලා දාන එකක් නැති එක ඇත්ත. නමුත් අපට අනාගතය ගැන කියන්න බැහැ. අයියලා දෙන්නගෙන් එක්කෙනෙක්ගේ මොකක් රිවස් ස්වීප් එකක් හරිගියොත් ඒ හරිගිය එකා ඕකට ගේම දෙනවා සත්තයි කියලා මම දන්නවා.

අනික් අතට හදිසියේ ගමේ යන්න ඕන වුණු අනික් හේතුව තමයි දැන් එගොඩඋයනේ ඉඳන් ගාලු පාරට දාලා පානදුරට ගිහින් රත්නපුර පාරේ බණ්ඩාරගම පහුකරගෙන ගැලනිගම පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට දාලා කොළඹ පැත්තට කොට්ටාව පහුකරගෙන පිටත වටරවුම් මාර්ගයට පිවිසිලා කඩවත පිටවුමෙන් එළියට ඇවිත් නුවර පාරට දාලා කලගෙඩිහේන පාරෙන් හරවලා වේයන්ගොඩ ටවුම හරහා ගිහින් වෙල පාරකින් ගොඩවෙලා දෙවැටක් මැද්දෙන් ගිහින් මහ ගෙදරට යන්න පුළුවන් කම තිබීම… ඕන නං අර පන්සල ගාවින් ෂෝට් කට් එකකුත් තියනවා…

දවසක් ඉරිදාවක නිකමට බීට්ල් එක හයිවේ එකට දැම්මට පස්සේ මම හයිවේ එකට ඇබ්බැහි වුණා. දැන් හයිවේ දාන්න ඕන නිසා මම කිලෝමීටර් විස්ස තිහ වැඩිපුර ඩ්‍රයිව් කරන වෙලාවල් තියනවා. ක්ලැසික් එකක් හයිවේ දැමීමේ ආතල් එක ගැන මම වෙන ලිපියකින් කතා කරන්නම්.

 

 

ගමේ යන්න කලින්ම මම කට්ටියට කිව්වා මට පරණ ගෙදර මිදුලට දාලා කාර් එක නවත්තන්න ඕනේ කියලා. අයියලා දැන් ඒ ඉඩමේම වෙන තැනක ගෙයක් හදලා. ඒ නිසා වාහන තියා මිනිස්සු වත් පරණ ගෙදර මිදුලට ඇදෙන්නේ කලාතුරකින්.

මගේ මඤ්ඤං වැඩ ගැන දශක තුනක අත්දැකීම් තියන නිසා ඒ මිනිස්සු ඒ ඇයි කියලා ඇහුවේ නැහැ. පාර වැහෙන්න දාලා තිබුණු දර කෑලි ටිකක් එහෙම එහා මෙහා කරලා 9 ශ්‍රී 5333 ට යන්න එයාලා පාර පාදලා දීලා තිබ්බා. මමත් පෑදුණු පාර දිගේ ටේල් පයිප්ප දෙකෙන් විසිල් ගගහා ඇදී ගියා…

වාහනේ වත්තට දාලා පරණ ගෙදර පැත්තට අරගෙන යද්දී මගේ හිත ටයර් පොලිෂ් ගෑවුණා වගේ කළුවෙලා ගියා. මම වාහනේ ගෙනිහින් නැවැත්තුවේ අයියලා දෙන්නා මට ඩ්‍රයිවින් පුරුදු කරන්න හදපු දෙවෙනි දවසේ මම අමාරුවෙන් වෑන් එක ගෙනල්ලා නතර කරපු, එලොවටත් නැති මෙලොවටත් නැති තැනමයි. මට එතන හොඳට මතකයි.

මං වාහනෙන් බැස්සා…

ඊට පස්සේ කෞශිත් අම්මත් වාහෙනන් බැස්සා…

එදා ඒ දුර ඈත අතීතයේ වෑන් එකෙන් අමාරුවෙන් බැහැලා මේ ආදරණීය ගේ ඇතුළට ගිය දවසේ ඉඳන් දැන් අවුරුදු 15 ක් විතර ගිහිල්ලා ඉවරයි.

තාත්තා නැතිවෙලා අවුරුදු දෙකයි. ලොකු තාත්තා නැතිවෙලා අවුරුද්දයි. ලොකු අයියට දැන් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. වෑන් එක අහක යන කේස් එකකට අහුවෙලා නැතිවෙලා ගියා. අක්කර ගාණක් තිබුණු ඉඩම කෑලි වෙලා. පර්චස් ගණන්වල ඉඩම් කෑලි ගොඩක් හැදිලා. නිකං සිමෙන්ති ගල් ගෙවල් වගේම ලොවෙත් නැති ප්ලෑන් වලට හදන ගෙවල් එකින් එක, ගලින් ගල, කම්බියෙන් කම්බිය, ටයිල් එකෙන් ටයිල් එක මතුවේගෙන එනවා. හැම තැනම තාප්ප සහ කටුකම්බි. මහගෙදර මිදුල පුරාම නිස්සාර තණකොළ වැවිලා. ගෙදර බිත්ති පුපුරලා ගිහින්. ජනෙල් අතර පැලුම් අස්සෙන් වැහි වතුර දූවිලිත් එක්ක ගලාගෙන ගිය පාරවල් මතුවෙලා තියෙන්නේ හරියට වේලෙන්නේ නැති කඳුළු වගේ. ලොකු තාත්තාගේ තරුණ කාලේ ෆොටෝ එකක් ගේ ඇතුලේ ඔහේ තියනවා. පවුලේ කට්ටිය ඔක්කොම ඉන්නේ දැන් අලුත් ගෙයි. නිකං සදාචාරය තකා වගේ දවසකට පාරක් කවුරුහරි පරණ ගෙට ඇවිත් යනවා. ලොකු අයියගේ ලොකු පුතා මහ ගෙදරට කියන්නේ බූත බංගලාව කියලා.

 

 

සල්ලි තිබ්බා නම් මම මේ වත්ත ලොකු අම්මලාගෙන් සල්ලිවලට අරන් මේ ගෙදර මුල ඉඳන් හදාවිද? මම දන්නේ නැහැ. අද මං හම්බ කරන ගොඩක් දේවල් යටවෙන්නේ කාර් වලට. ඒ නිසා ගෙවල් හැදීම හෝ ගෙවල් අලුත්වැඩියා කිරීම ගැන නිකං බලු රැවුලක අදහසක් වත් මට නැහැ.

පරණ ගේ ඉස්සරහා තියලා ෆොටෝ ගන්නකොට බීට්ල් එක කැමරාවට හිනාවෙන ලස්සන දැක්කම මට කාර් වලට සල්ලි වියදම් කරන එක ගැන දුකක් හිතෙන්නේ නැහැ. හයිවේ එක දිගේ විසිල් එකක් ගහගෙන එක හුස්මට බීට්ල් එක එහෙ මෙහෙ දුවද්දී මගේ හිතට තව තව ආසාව මිසක් පසුතැවිල්ලක් එන්නේ නැහැ.

එදා වාහනේට නගින්න කිව්වම බයේ හැංගිච්චි පොඩි එකාමද මේ කියලා මහගෙදරට සමහර විට හිතෙනවා ඇති.

මහගෙදර සමහර විට අපට නොපෙනෙන්න අඬනවා ඇති. අර ජනෙල් වලින් ගලලා තියෙන්නේ ඇත්තටම කඳුළු වෙන්නැති.

ඒත් ඇඬුවා කියලා කාලය ආපස්සට හරවන්න බැහැ….

ආපහු අවුටර් සර්කියුලර් එකට දාලා හයිවේ එකේ එනකොට තියන ආතල් එක මතක් කරගත්තු නිසා මට මහ ගෙදරින් සමුඅරන් ආපහු එන්න වෙන එකේ දුක ටිකක් දුරකට අමතක කරන්න පුළුවන් වුණා.

ක්ලැසික් කාර් එකක් තියන එකේ එක වාසියක් තමයි මේක. කොරොල්ලා එකක් අරගෙන ඔහේ මොකාද වගේ ගිහින් ආවා නම් මට ලියන්න කතාවකුත් නෑ. තුරුල් කරගන්න මතකයකුත් නෑ…. එහෙනම් හිතේ ඉතුරුවෙන්නේ මහගෙදර ගැන වේදනාව විතරයි…

ගියර් එකක් මාරු කරද්දී සහ ටික ටික වේගේ වැඩිකරද්දී බීට්ල් එක මුමුණන එක එක රාග තාල වල සතුට මල්ටිෆන්ෂන් ස්ටියරින් වීල් වල ප්ලාස්ටික් බොත්තං ඔබලා ගන්න බෑ…

කාගෙ හරි හිත රිදුණා නම් සමාවෙන්න. මගෙත් හිත රිදිලා තියෙන්නේ..

සියළු හිමිකම් බ්ලොග්කරු සතුය.

http://carpissuwa.blogspot.co.uk/2016/09/blog-post_12.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල