අධ්‍යාපනික

මට ගහක් වෙන්න ඕනේ…

Off
මුහුණ වසාගෙන තනිවම හඬන කුඩා ළදැරියක් (සේයාරුව අන්තර්ජාලයෙනි)
එදා ආවේ ටොර්නෙඩෝවක්…ඒ කුණාටුව විසිත්ත කාමරයේ සෝපාවක් උඩට තල්ලු කරගෙන ආවේ අම්මා…
තාත්තාට තුරුළු වෙන එක වරදක්…මට එහෙම කිව්වෙත් අම්මා…
ටාලියාට ලං වෙන්න එපා…තාත්තට එහෙම කිව්වෙත් අම්මා…
පුංචි සුළං ඉත්තකින් පටන් ගත්තු ඒ කුණාටුවේ, තාත්ත කරකැවුනේ හරිම වේගයෙන්…අම්මා හිතුමතේ විසි කරපු වචන ගිහින් සැරින් සැරේ වැදුනේ තාත්තගේ පපුවට…ඒවා මතු වුනේ එයාගේ කළු ඉංගිරියාවෙන්…
ඒ මගේ දරුවා…එයාව..එයාව හුරතල් කරන්න මට බැරිද…
තාත්ත ඇහුවේ ඒ සේරෝම රිදුම් දරාගෙන…
ඔයා එයාට ලං වෙනවා වැඩියි…මට ඔයාව දරුවාගෙන් වෙන් කරන්න වෙනවා…මං උසාවි නියෝගයක් ගන්න පිළියෙළ කරලා ඉවරයි…
අම්මා කෑ ගැහුවේ ආවේශයෙන්…
එයා මාව විනාශ කළා…දැන් මං ළමා අපයෝජකයෙක්ගේ ගණයට වැටිලා හමාරයි…ඒ මගේ දරුවා දෙවියනේ…මිනිස්සු මං ගැන මොනවා හිතාවිද…
තාත්ත එහෙම කිව්වේ අපේ අසල්වැසිය, මිස්ටර් දේවන් එක්ක…
මිස්ටර් දේවන් ගේ නෝනා, මිස් ෂෙලී…
ටාලියා එනවා නිතරෝම අපේ දිහාවේ…පහුගිය හෝලි දවසේ, ඇනයි, එයාගේ පොඩි නංගි සිම්රන්, ටාලියා, දේවන් හෝලි වල පාට තැවරුව මුහුණු වල…ටාලියාට දැන් අවුරුදු නවයක් පිරෙන්න කිට්ටුයි…ඒ නිසා මං තමයි ඇනාවයි, ටාලියාවයි සේදුවේ…ඇඳුමක් නැතුව නාන කාමරයෙන් එන්න හදනකොට බොහොම අමාරුවෙනුයි නවතා ගත්තේ…දේවන්ගේ ළඟ දැවටෙනවත් වැඩියි…
මිස් ෂෙලී එහෙමයි, අපේ අම්මගේ කතන්දරේට වැවෙන්න අවශ්‍ය පරිසර උෂ්ණත්වය හදල දුන්නේ…එයාගේ පරීක්ෂණාගාරය ඇතුලේ…
ඒත් ටාලියා නරක දරුවෙක් නෙවේ…එයා තනිවුන දරුවෙක්…මිස් ෂෙලී එහෙමත් කිව්වා, එයාගේ විද්‍යාගාර සහායකයා එක්ක…
මගේ අම්මා…එයාට ඉන්නවා ඔටිසම් යම් තරමකින් තියන අවුරුදු දහතුනක පුතෙක්…ඒ මගේ ලොකු අය්යා…විලී…
විලීට උදේ ආහාරය දෙන්න ඕනේ හරියටම උදේ පහට…ඒ වගේම තමයි දවස පුරාම…එයාගේ හැම තත්පරයම කාල සටහනක්…එක තත්පරයක් එහා මෙහා වුනොත් එයා ගේ දෙවනත් කරනවා…
ඉතින්…ඉතින්…මං දන්නවා…මගේ අම්ම මුතු හදන මුතු බෙල්ලියක්…මට දැනෙනවා එයාගේ වේදනාව…වෙහෙස…
ඒ මදිවට මගේ අක්ක…සැලී..එයත් හරිම අමුතුයි…
අම්මගේ දවස ඒ දෙන්න බෙදා ගත්තයින් පස්සේ මට ඉතිරි වෙන්නේ පුළුන් පුරවපු බෝනික්ක විතරයි…
එයා ළඟ කොහෙන්ද අම්ම ළඟ වගේ උණුහුමක්…අම්මට ඒ දේවල් හිතන්න වෙලාවක් නැහැ…
මගේ තාත්ත…එයාට දැන් වයස අවුරුදු හැටකට කිට්ටුයි…එයාට මාව දුවෙකුට වඩා මිණිබිරියක් වගේ…මං හිතන්නේ නෑ එයාටත් මං වෙනුවෙන් කැප වෙන්න තරම් වුවමනාවක් ඇතියි කියල…
ඒත් එයා මාව තුරුළු කරන් ඉන්නවා…පුළුන් බෝනික්කාගේ වගේ නෙවේ…තාත්තගේ හුස්ම වැටෙන සද්දේ මට ඇහෙනවා…ඒ සද්දේ අහගෙන මං ඔහේ තාත්ත ලඟට වෙලා ඉන්නවා…
අම්ම දන්නේ නැහැනේ ඒක…
එදා ආව ටොර්නෙඩෝව නැවතුනේ උසාවියෙන්…
ඒත් අම්ම මාව නම් එක්ක ගියේ නැහැ…මං තාම ඉන්නේ තාත්ත එක්ක…
අම්ම දැන් ඉන්නේ අක්කයි, අය්යයි එක්ක…
තාත්ත උදෙන්ම යන්න ඕනේ එයාගේ රැකියාවට…ඉතින් එයා මාව මිස් ලින්ඩාගේ ගෙදරට ඇරලනවා උදෙන්ම…ඒ අපේ අනෙක් අසල්වැසියා…
මිස් ලින්ඩා උදව් කරනවා මට පාසැල් යන්න සූදානම් වෙන්න…එයාම තමයි මාව පාසැල් එක්ක යන්නෙත්…
ඉන් පස්සේ තාත්ත හවසට මාව පාසැලෙන් ගෙනැත් මිස් ලින්ඩාගේ ගෙදරට ඇරලවනවා…
ඉන් පස්සේ මගේ නවාතැන මිස් ෂෙලීගේ ගෙදර…
හවසට මිස් ෂෙලී ගෙදර එනකල් බලාගෙන මං ඉන්නේ…එයා හරිම කරුණාවන්තයි…ඒ වුනාට වෙලාවකට මාව කරදරයක් වගේ…
මං කොහොම හරි බලන්නේ ගොඩාක් රෑ වෙනකල් මිස් ෂෙලී ගේ ගෙදර ඉන්න…එයාල එක්ක මං පාසැලෙන් දෙන වැඩ කරනවා…
ඇනා මට ගොඩක් ආදරෙයි…එයයි සිම්රනුයි මට පෙන්නේ සුරංගනාවියෝ වගේ…මිස්ටර් දේවනුයි, මිස් ෂෙලීයි, ඒ දෙන්නට හරිම ආදරෙයි…
ඒ හැමෝම එකතු වෙලා හිනා වෙවී කතා කරද්දී, මමත් කොහොම හරි එයාල මැද්දට යනවා…එයාල ගන්න ෆොටෝ හැම එකකම වගේ මාත් හිනාවීගෙන ඉන්නවා දැක්කම මට හරිම ආසයි…
මිස් ෂෙලීගේ රාත්‍රී ආහාර වේල කන්න තමයි මං කැමතිම…අපේ ගෙදර තාත්ත දැනුත් කෑම හදන්නේ අම්ම ඉස්සර හදපු කාල සටහනට…පාස්ටා, සැන්ඩ්විච්…ඒවා කාලම මට එපා වෙලා…
මිස් ෂෙලී කෑම හදනකොට මං ගිහින් ඒවායේ සුවඳ බලනවා…හැමෝම එක්ක එකතු වෙලා කෑම කාල, මිස් ෂෙලී මට ගෙදර යන්න කියද්දී මට හරිම දුකයි…
මට ඇත්තටම ඉරිසියයි ඇනා ගැන…එයා කොයි තරම් වාසනාවන්තයිද…
මගේ පොත් රාක්කය අස්සෙන් රෑට හොල්මන් මතු වෙනවා…මං කරන්නේ පොරෝනේ අස්සට ගුලි වෙලා, තදින් ඇස් පියාගන්නෙක…ඒ ඊළඟ දවසේ මිස් ලින්ඩව දකින බලාපොරොත්තුවෙන්…
තාත්ත මිස් ෂෙලීගෙන් ඇහුවලු සතියේ දවස් දෙකක් මාව පාසැලෙන් ගෙදර එක්ක එන්න පුලුවනිද කියල…
තාත්තටත් දැන් මාව කරදරයක් වෙලා වගේ…
මං ඉස්සර ආසාවෙන් උන්නේ සමනළයෙක් වෙන්න…දැන් මට ඕනේ ගහක් වෙන්න…
තැනින් තැන ඇවිදලා මට දැන් හරිම මහන්සියි…
…………………………………………………………………………………………………………………………………..
ටාලියා යනු ඇමෙරිකානු මධ්‍යම පාන්තික පවුලක බාලම දියණියයි. මගේ යෙහෙළියට අනුව ටාලියා යනු ආදරය, රැකවරණය සොයා කවුරුන් හෝ ළඟ දැවටෙන නව අවුරුදු දැරිවියකි. උන් හිටි ගමන් ටාලියාගේ මව ඇයගේ පියාට ගොනු කල චෝදනාව අවසන් වුයේ උසාවියෙනි. ටාලියාගේ පියා ඇයව අපහරණය කිරීමේ චෝදනාව සඳහා පිළිගත හැකි සාක්කි නොමැත.
ඇයගේ මව දුර්වලතා සහිත වැඩිමහල් දරුවන් දෙදෙනක් සමඟ ගත කල පීඩාකාරී ජීවිතය හේතුවෙන්, ටාලියාව ඇයගේ අවධානයෙන් ගිලිහුනා විය හැක. ටාලියාගේ මව සහ පියා බොහෝ ප්‍රමාද වී දරුවන් ලැබූවහුය. එහෙයින් තරුණ මව්පිය යුවලකට සාපේක්ෂව කායික වෙහෙසත්, දරුවන්ගේ මනස අවබෝධ කරගැනීමේ ගැටලුත් ඔවුන්ට තුබුණා විය හැකිය.
අවසානයේ ටාලියා තනිවී ඇත. ළමා අපහරණය වෙනුවෙන් තම සැමියාට චෝදනා කල ටාලියාගේ මව, මේ දියණියව ඔහුගේ භාරයේ තැබුවේ මන්දැයි මට නොවැටහේ.
අද ඇය රැකවරණයක් සොයා ගෙන් ගෙට යන්නීය. අසල්වැසියන්ගේ නිවාස වල ඇති වෙනස් සමාජ පසුබිම් වල දවස ගෙවන්නාවූ මේ දියණියගේ මනසෙහි ඇති පටලැවිල්ල බොහෝ සෙයින් සංකීර්ණ විය හැක. නීත්‍යානුකුල අයිතියකින් තොරව ඇයව රැක බලා ගන්නා අසල්වැසියන් මත පැටවී ඇත්තේ ඉතා අවධානම් සහිත වගකීමකි. එහෙත් ඔවුනට නොමිනිසුන් විය නොහැක.
ටාලියා ඇයගේ ජීවිතයේ කැබලි අහුලා එක්කාසු කොට ගත යුතුය. ඇය ඒවා එක්කාසු කර තනන ජීවිත රාමුව ඇගේ අනාගතය තීරණය කරනු ඇත.
…………………………………………………………………………………………………………………………………….
අප වැඩිහිටි වූ පසුව තවදුරත් ඒ ජීවිතය අපට අයිති නැත. එය අයිති අපේ දරු පැටවුන්ටය.
දරුවන්ට වීදිය හෝ සිර ගෙදර උරුම කර දෙන්නට මං පාදන්නේ වැඩිහිටියන් වන අපම මිසක අන් කිසිවෙකු නොවේ.
සියලු හිමිකම් බ්ලොග්කරු සතුය.

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල