සංචාරක හා ඡායාරුප

බෝර්නියෝ සංචාරය, කිනබලු කන්ද, පැරා සේලින් සහ දිය යට ෆොටෝ

Off
ලෝකයේ තුන්වෙනි විශාලම දුපත වන බොර්නියෝව පිහිටලා තියෙන්නේ අග්නිදිග ආසියාවේ. ජාවා දුපතට උතුරිනුත්, සුමාත්‍රා දුපතට නැගෙනහිරිනුත්, සුලාවෙසි දුපතට බටහිරිනුත් තමයි මේ බෝර්නියෝ දුපත පිහිටලා තියෙන්නේ. දේශපාලනික වශයෙන් රටවල් තුනකට මේ දුපත අයත් වෙනවා. ඒ රටවල් තමයි බෘනායි රාජ්‍යයය, ඉන්දුනීසියාව සහ මැලේසියාව. ඉන්දුනීසියානු භාෂාවෙන් Kalimantan විදියට තමයි මේ දුපත හඳුන්වන්නේ. මැලේ භාෂාවෙන් සහ ජාත්‍යන්තරව දුපත හඳුන්වන්නේ Borneo නමින්. දුපතේ විශාලත්වය වර්ගකිලෝමීටර් 743,330 ක් පමණ වෙනවා. ඒවගේම උතුරු සහ වයඹ දෙසින් දකුණු චීන මුහුදත්, ඊසාන දෙසින් Sulu මුහුදත්, නැගෙනහිරින් Celebes මුහුද සහMakassar සමුද්‍ර සන්දියත්, දකුණින් ජාවා මුහුද සහ Karimata සමුද්‍ර සන්දියත් මේ දුපතට මායිම්ව තියෙනවා. ඒවගේම පිලිපීන දුපත් තියෙන්නේ මේ බෝර්නියෝ දුපතට ඊසාන දෙසින්.
          බෝර්නියෝ වැසි වනාන්තරය ලොව ඇති පැරණිතම වැසි වනාන්තර වලින් එකක්. විකිපීඩියාවට අනුව අවුරුදු මිලියන 140ක් විතර පරණයි. සපුෂ්ප ශාක විශේෂ 15000ක් පමණ සහ ශාක විශේෂ 3000ක් බෝර්නියෝ වනාන්තරය තුලදී හමුවෙනවා. ඒ වාගේම ක්ෂීරපායින් විශේෂ 221 ක් සහ කුරුළු විශේෂ 420 ක් ද මිරිදිය මසුන් විශේෂ 440ක් පමණද මේ බෝර්නියෝ වනාන්තරය තුලදී හමුවෙනවා. ඒවගේම වඳවී යන සත්ව විශේෂයක් විදියට සලකන බෝර්නියෝ ඔරන් ඔටන් ගේ නිජභුමියත් මේ බෝර්නියෝ වනාන්තරය. ඒ වගේමබෝර්නියෝ අලියා, Bornean rhinoceros, Sunda clouded leopard ,Hose’s palm civet වැනි ආවේනික සත්ත්ව විශේෂ මේ වනාන්තරය තුල හමුවෙනවා.
අග්නිදිග ආසියාවේ උසම ශිඛරය වෙච්ච Kinabalu කන්ද පිහිටලා තියෙන්නේ මේ බෝර්නියෝ දුපතේ Sabah කියන ප්‍රදේශයේ. මැලේසියාවේ පාලනයට යටත් මේ Sabah වලට තමයි ගිය සතියේ අපේ සංචාරය.
මෙහෙට ආපු දවස් වල ඉඳන් මේ Sabah වලට යන්න ආසාවක් තිබුනා. එකක් මේ බෝර්නියෝ වනාන්තරය දැක බලා ගන්න. අනිත් එක Sabah වල තියෙන සුදු වැලි සහිත  අපූරු දුපත් වල සංචාරය කරන්න. මේ වෙද්දී බටහිර මැලේසියාවේ තියෙන ඔය සංචාරකයෝ වැඩිපුර යන ගොඩක් පැති වලට අපි දෙන්න ගියා. නොගිය තැන් ගොඩක් තිබුනත් ප්‍රධාන වශයෙන් යායුතුයි කියන තැන් ගොඩක අපි ඇවිද්ද.. තව තියෙනවා මැලේසියාවේ නැගෙනහිර වෙරළ තිරයේ තියෙන දුපත් කීපයකට යන්න.. එක පස්සේ යන බලාපොරොත්තුවෙන් මේ සැරේ මේ බෝර්නියෝ සංචාරය සැලසුම් කළා.  ක්වාලා ලාම්පුර් වල ඉඳල පැය දෙක හමාරක ගුවන් ගමනකින් අපිට Kota Kinabalu නගරයට යන්න පුළුවන්. විශේෂ විසා අවශ්‍යය නෑ.  Kota Kinabalu ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මාසයක් එහි රැඳෙන්න අපිට විසා දෙනවා.
අපේ සවාරිය කෙටි එකක් ඉතින් අපි ප්ලෑන් කලේ ටවුමේ ඇවිදින්න යන දවසේ හවස් වරුව.  එක දවසක් බෝර්නියෝ වනාන්තරයේ සහ Kinabalu කන්ද බලන්න යන්නත් අනිත් දවස දුපත් සවාරියක් යන්නත් හතරවෙනි දවසේ ආපහු එන්න. අපි දෙන්න සාමාන්යෙන් මේ වගේ ගමන් යද්දී ඔය තරු 3-4 ක පහසුකම් තියෙන බජට් හොටෙල් තමයි බුක් කරන්නේ.. මේ සැරේ යන්න සති දෙක තුනකට කලින් Kota Kinabalu නගරයේ තියෙන එවැනි හෝටලයක් බුක් කළා. දවස්තුනම එකම හෝටලයේ ඉන්න සැලසුම් කලේ අපිට අපේ ගමන් නිදහසේ යන්න පුළුවන් නිසා. උදේ ගියාම හවස කීයට එන්න වෙන්නේ නැද්ද කියල ෂුවර් නැති ගමන් යද්දී එකම හොටෙල් එකේ ඉන්න එක හරි ලේසියි. දවසින් දවස හෝටල් මාරු කරන එකට කාලේ නාස්ති කරන එක අපරාදයක්.
හොටෙල් එකට ගිය ගමන් කලේ අපේ සංචාර සඳහා ඒ පහසුකම් දෙන ආයතන කීපයකට කතා කරන එක. දෙක තුනකට කතා කරලා ගාන සාපේක්ෂව අඩුවට දුන්න එකක් බුක් කර ගත්තා. ඒ කියන්නේ දවස් දෙකට සංචාරක ස්ථාන නැරඹීම , හෝටලයේ සිට ගමන් පහසුකම් සහ දවල් කෑම එක්ක. එක එක තැන්වලට ඇතුල් වීමේ ගාස්තුත් මේ පැකේජ වලට ඇතුලත්. ඔය වැඩ ටික ඉවර කරලා හවස් වරුවේ ටවුමේ අවිද්න්න ගියා..ක්වාලා ලාම්පුර් තරම් දියුණු නගරයක් නෙවෙයි. නිකන් කොළඹ වගේ හෝ ඊට වඩා පොඩ්ඩක් විතර දියුණුයි වගේ නගරයක්.
මේ තියෙන්නේ හෝටල් කාමරයට පෙනුන නගරය සහ ආපසු එන ගමනේදී මම ගත්ත ගුවන් චායාරුපයක්.
එදා හවස ඔය රස්තියාදුවක් ගහල ඇවිල්ල අපි දෙන්න එකතුවෙලා පොඩි කේක් කැල්ලක් කාල එදාට යෙදිලා තිබුණු මගේ උපන්දිනෙත් පොඩියට වගේ සමරලා දැම්ම. මේ තියෙන්නේ අපේ පුංචි සැමරුම
ඊට පස්සේ රෑට කන්න කියල තව මරු තැනකට ගියා. එතන ෆුඩ් කොට් එකක්. ඕනෙම කෑමක් තියෙනවා. එතනදී අපිට හම්බ වුණා මල්ටි ලේයර් පලතුරු බිම එකක්. ඒ කියන්නේ අපි කියන ඕනෙම වර්ගයක (කඩේ තියෙන ඒවා) වර්ග තුනක් හතරක් හෝ ඊට වැඩි ගණනක්  එකට දෙන බිම එකක්. වැඩේ කියන්නේ එකේ පලතුරු වල රස වෙන වෙනම දැනෙන විදියට පල්ප වගේ හදල තමයි දෙන්නේ.. නිකන් මික්ස් ෆෘට් සීන් එකක් නෙවෙයි.. මේ ඔත්තුව අපිට දුන්නෙත් අර ටුවර් එක සුදානම් කරපු චීන හාදය තමයි.

මේ තියෙන්නේ අපි දෙන්න ගත්ත බිම දෙක

වම් පැත්තේ තියෙන එකේ තියෙන්නේ යටම තියෙන්නේ ඩ්‍රැගන්ෆෘට්, ඊට උඩින් අඹ, උඩින් ම අලිගැටපේර, අනිත් එකේ යටම තියෙන්නේ කිවි. ඉතිරි ටික එකමයි. සීනි නොදා ඉල්ලගත්තම නියම පලතුරු රස දැනෙනවා.

මේ තියෙන්නේ කඩෙයි කඩේ ඇන්ටියි..

ඊට පස්සේ බඩ පැලෙන්න රෑට කාලා ආවා..  හෙහ් හෙහ්..

හරි ඊට පහුවදා උදෙන් ම පොරොන්දු විදියට හරි වෙලාවට වෑන් එකකින් ආව අපිව එක්කන් යන්න. අපි දෙන්නව දාගෙන ඊට පස්සේ තව හොටෙල් එකකට ගිහින් තවත් චීන පවුලක් වෑන් එකට දාගෙන කට්ටියම ගියා Kinabalu Park එක, Poring Hot Spring සහ Desa Farm කියන ස්ථාන ටික බලන්න.

චීන පවුලේ හිටියේ අවුරුදු 6ක විතර පොඩි බට්ටේකුයි එයාගේ අම්මයි තාත්තයි. සෑහෙන වෙලාවක් යනකම් කතා බහක් නැතිව ගිහින් පස්සේ අපේ වාහනේ ඩ්‍රයිවර් සහ ටුවර් ගයිඩ් වෙච්ච Mr.One ගේ ඔය එක එක ප්‍රශ්න වලින් කට්ටියම කතා බහට සෙට් වුණා.

ඒ චීන යුවලේ පිරිමි කෙනාගේ ඉංග්‍රීසි භාවිතාව දුර්වලයි. එයා එයාගේ නෝනව පරිවර්තක විදියට යොදාගෙන තමයි කතා කලේ. අපි දෙන්න ලංකාවේ කියල දැන ගත්තම එයාලට ගොඩක් සතුටුයි මොකද එයාල ලංකාවේ අයව සලකන්නේ චීන අයගේ මිතුරන් විදියට. පස්සේ දැන ගත්ත විදියට මහත්තයා HR Manager කෙනෙක්. නෝනා නම් මොනවා කරනවද කියල ෂුවර් නෑ.. හැබැයි එයා එංගලන්තේ ගිහින් Msc කරපු කතාවක් කිව්වා. අපිත් ඉතින් කැඩුණු ඉංග්‍රීසියෙන් එක එක දේවල් කතා කර කර ගමන ගියා.

එකිනෙකා අදහන ආගම් ගැන කතා කරද්දී එයාල කිව්වේ ඒ ගොල්ලෝ කොමියුනිස්ට් කියල. ඒ කියන්නේ කිසිම ආගමක් අදහන්නේ නෑ නමුත් එයාල හොඳ මිනිස්සු විදියට ජිවත් වෙනවා කියල. එතනින් එහාට වැඩිය ආගම් ගැන කතා කලේ නෑ..

ඊට පස්සේ ඒ මනුස්සය මගෙන් ඇහුවා ලංකාවේ සිංහයෝ කී දෙනෙක් ඉන්නවද කියල හෙහ් හෙහ්.. මම හොල්මන්.  මම කිව්වා සත්තු වත්තේ ඉන්න උන් ඇර වෙන නම් සිංහයෝ නෑ කියල.. හෙහ් හෙහ් මිනිහ ඒ සැරේ මගෙන් අහනවා ශ්‍රී ලංකා කොඩියේ සිංහයෙක් දාගෙන ඉන්නේ ඇයි කියල.. දීපල්ලකෝ ඉතින් ඕවට උත්තර .. මම බොහොම අමාරුවෙන් අර වැඩිහිටියන්ට පමණක් වෙච්ච සිංහයගෙයි අර කව්ද මන්ද දෙවියගෙයි හුට පටේ කියාගෙන යද්දී මිනිහ වෙලාවට කිව්වා “ආ මට තේරෙනවා චීන මිනිස්සු මකර ගැන කියනව වගේ mythical කතාවක් නේද කියල.. මම අහ්හ් ඔව් ඔව් මේ දන්නේ නැද්ද පරණ කතානේ ඕවා ” කියල ජාමේ බේර ගත්තා.. සිරාවට රෙද්දක් ඇඳන් මනුස්සයෙකුට කියන්න පුළුවන් කතාවක් ද ඔය සිංහයාගේ හුටපටේ.. අවංකම ඔය කතාව පොඩ්ඩක් වෙනස් කරලා ඉතිහාසේ පොඩ්ඩක් එඩිට් කරලා අලුත් වර්ෂන් එකක් දෙන්න බැරිද මේ යහපාලන ආණ්ඩුව යටතේ වත්..

ඊට පස්සේ ඉතිහාස ලෝලියෙක් වෙච්ච චීන මහතා පරණ චීන ශ්‍රීලංකා මිත්‍රත්ව කතා බොහොම ආමාරුවෙන් කිය කිය ගියා.. අපි දෙන්නත් ඉතින් ඔක්කොම තේරුනා වගේ හුමිටි තිය තිය ගියා..

ඔය විදියට පැයක් පැය එකහාමාරක් විතර ගියා.. අපේ ට්‍රිප් එක පටන් ගත්ත නැකත හොඳයි කියන්නේ මග දිගට අනෝරා වැස්ස.. කඳුකර පැත්තක් වෙච්ච ඒ පළාතේ පාරවල් පෙන්නේ නැති තරම් මිදුම.

කොහොම හරි ඔහොම ගිහින් ගිහින් අපේ ප්‍රධාන නැවතුම ට කලින් තියෙන තවත් නැවතුමකට මහ වැස්සේම ළඟා වුණා.

මෙතන තියෙන්නේ දේශීය අත්කම් භාණ්ඩ විකුනන කඩ,  වැසිකිලි පහසුකම් තව ඔය කෑම බිම තියෙන පොඩි කඩ පේලියක්. එතන විනාඩි 40කට විතර අපි නැවතුනා.

මේ තියෙන්නේ කඩ වල තිබ්බ විසිතුරු බඩු

මෙන්න මේ ආච්චි අම්මගේ කඩෙන් මම වෙස්මුනක් ගත්තා

මේ තියෙන්නේ ඒ වෙද්දී කඳුකරයට පාත්වෙලා තිබ්බ මීදුමෙන් වැසුනු බෝර්නියෝ වනාන්තරය. අපේ ගමන පාඩු වෙන ලකුණු මේ මන්දාරම් අඳුර සහ මිදුම අපිට කල්තියාම දැනුම් දුන්නා.

ඕනේ එකක් කියල අපි ආපහු ගමන පටන් ගත්තා. වැඩි වෙලාවක් නොගිහින් අපේ පළවෙනි නැවතුම වෙච්ච Kinabalu Park එකට ආවත් ඒ හරියේදී තද වැස්ස. පස්සේ අපේ ඩයිවර් මහත්තයා එයාගේ යාලුවෙකුට කතා කරලා පොඩ්ඩක් කාලගුණ විස්තරේ දැනගෙන අපිට යෝජනා කළා වැස්ස පායනකම් ඊට ටිකක් දුරින් තිබුණු අපේ තවත් නැරඹුම් ස්ථානයක් වෙච්ච Poring Hot Spring බලන්න යමු කියල. ඒ වෙලාවේ හැටියට කරන්න තිබ්බ හොඳම දේ එක නිසා අපි එකඟ වෙලා නොනැවතීම ඉදිරියට ගියා.

ඒ වෙද්දී දවල් 12 පහු වුණා විතරයි වගේ.  අපිට යන්න තිබුණු දුර තවත් කිලෝමීටර් 40ක් විතර. නමුත් අපි ගමන පිටත් වෙච්ච සෙනසුරාදා දිනය දීර්ඝ සති අන්තයක ආරම්භක දිනය නිසාත් යන අතරමග එක තැනක තිබුණු දුරියන් උත්සවය (Durian Festival එකේදී RM 20 පමණ ගෙවා තමන්ට රිසි පරිදි දුරියන් කෑමේ අවස්තාව තියෙනවා කියල අපි දැන ගත්තා. දුරියන් කෑමේ රුසියන් වෙච්ච මැලේ ජාතිකයින්ට ඉතින් ඊට වඩා දෙයක් නෑ..) නිසාත් අතර මග පැය දෙකක පමණ තද බදයකට අහු වෙන්න සිද්ද වුණා.  කොහොම හරි ඉතින් දවසෙන් බාගයක් ම වාහනේ ඉඳල අපේ දවල් කෑම සුදානම් කරලා තිබුණු මේ Poring Hot Spring  බලන තැනට ආවා. ඒ වෙද්දී ඒ පලාතට මහ වැස්ස අඩු වෙලා නමුත් පොද වැස්සක් තිබුනා

මේ තියෙන්නේ Kinabalu නගරයේ ඉඳල Poring Hot Spring වෙනකම් ගමන් මාර්ගය. මේ මැප් එකේ Nabalu කියන තැන තමයි අර කඩවල් ටික තිබුනේ. ඒ වගේම Ranau කියන නගරයේ තිබ්බ දුරියන් උත්සවය නිසා තමයි අපේ ගමනෙන් පැය දෙකක් විතර පාරටම ඉවර වුනේ අධික ට්‍රැෆික් නිසා.

මේ තියෙන්නේ කෑම කාපු කඩේ

කඩේ ෆොටෝ එක දාන්න හිතුනේ කඩේ ඇතුලේ එල්ලලා තිබුණු ලංකාවේ කොඩිය නිසා.. රටවල් ගොඩක කොඩි මේ කඩේ එල්ලලා තිබුනා.

මේ තියෙන්නේ කෑමෙන් පස්සේ අතුරුපසට ලැබිච්ච වල් දෙල් ගෙඩිය. වල් දෙල් කියන්නේ හරිම රස අතුරුපසක්. මම පලවෙනි වතාවට කෑවේ. තද පැණි රසක් තියෙන්නේ. වැල මදුල වගේ උනාට වැල වලට වඩා පැණි රසයි..

මම හිතන්නේ ලංකාවේ තියෙන වල් දෙල් සහ මේ වල් දෙල් දෙකම එකයි. ලංකාවට ගිය වෙලාවක කාල බලන්න ඕනේ.

කෑමෙන් පස්සේ අපි ගියා මේ උණු දිය උල්පත බලන්න. තේ එකක් හදා ගන්න පුළුවන්  තරම් උණු වතුර එන උල්පතක්. හැබැයි මේ වතුරේ සල්ෆර් මිශ්‍ර වෙලා තියෙන්නේ. සල්ෆර් ගඳ වතුරෙන් එනවා. මේ තියෙන්නේ උල්පත තියෙන තැන සහ මිනිසුන්ට නාන්න සහ විනෝද වෙන්න හදපු තැන්.

මේ තියෙන්නේ උල්පත . හොඳට බැලුවොත් පෙනෙයි දුම් දාන හැටි..

මේ තියෙන්නේ නාන තැන්

ඔතනින් තව පොඩ්ඩක් ඇතුලට ගියාම අපිට කැලේ ඇතුලට යන්න පුළුවන්. එතන තියෙනවා තව අපුරු දෙයක්.

මේ තියෙන්නේ බෝර්නියෝ වනාන්තරයට අපි පිවිසෙච්ච තැන.

මෙන්න මේ වගේ මහා රූස්ස ගස් එහෙමත් තිබුනා

ඔතනින් කැලෑව ඇතුලට ගියාම තියෙනවා මේ වගේ මහ රූස්ස ගස් වල කඳ මැද්දෙන් බැඳපු මෙන්න මේ වගේ කැනොපි මාවතක්. ගහෙන් ගහට යන්න.

බිම් මට්ටමේ ඉඳල අඩි 50-60ක් විතර උඩින් මහ ගස් වල කඳන් යා කරලා මේ වගේ එල්ලෙන පාලම් 4ක් බැඳලා තියෙනවා. අපිට ගහෙන් ගහට මාරු වෙන්න පුළුවන්.

මේ ඉන්නේ අන්න එහෙම ගහෙන් ගහට මාරු වෙන ‘මම’ නැමැති ශ්‍රී ලාංකික සංචාරකයෙක්.

මේක හරි ජොලි වැඩක්.. තැන් දෙක තුනකදී නම් බය හිතුනා. පහල බලද්දී. හැබැයි ඉතින් පැද්දී පැද්දී මේ වැල් පාලම් වලින් යන එක අපුරු අත්දැකීමක් වුණා.

ගමන පටන් ගන්න ගහේ කඳට නගින්න තියෙන්න මෙන්න මේ වගේ අට්ටාලයක්.

අට්ටාලය මැදින් එන කඹ ගහට සම්බන්ද වෙලා තිබුනේ මෙන්න මෙහෙම

මේ තියෙන්නේ බිමට බැහැල බලපුවහම වැල් පාලම් පේන හැටි

බෝර්නියෝ කැලෑවේ වැල් පාලම් ටුවර් එකෙන් පස්සේ අපි කඩිමුඩියේ ආපහු ආවා මොකද ඒ වෙනකොට හවස 3.30 වගේ වෙලා අපේ නැරඹුම්  ස්ථාන වලින් දෙකක් එහෙම් පිටින්ම ඉතිරි වෙලා තිබුන නිසා.

ඔය කඩිමුඩි ගමන නිසා අපේ ලෝකේ ලොකුම මල වෙච්ච මෙන්න මේ මල බලන්න යන වැඩේ අතෑරලා දැම්ම. පෞද්ගලික අයගේ ඉඩම් වල පිපෙන මේ මල් බලන්න වෙනම ගානක් ඒ අයට ගෙවන්න ඕනේ.  අපි කාටවත් ඒ වෙලාවේ ඔය මල් බලන්න යන්න අදහසක් තිබුනේ නෑ. මේ තියෙන්නේ මම මගදී දැක්ක එහෙම මලක් ගැන දැන්වීමක්

මල බැලිල්ල අත ඇරලා දාල ඊට පස්සේ අපි ආවේ හරියට අඹේවෙල තියෙන ෆාර්ම් එක වගේ  Kinabalu කන්ද පාමුල තියෙන මේ ෆාම් එක බලන්න.  මෙච්චර වෙලා මීදුමෙන් වැහිලා තිබුන  Kinabalu ශිඛරය යාන්තමින් දැක ගන්න පුළුවන් වුනේ අන්න ඒ වෙලාවේදී.

මේ තියෙන්නේ

මේ කන්ද නගින එක කඳු නගින්නන් අතර ජනප්‍රිය වැඩක්. කන්ද නැගල බහින්න දවස් දෙකක් යනවා කියල තමයි කියන්නේ. මාස 6කට විතර කලින් බුක් කරන්න ඕනේ ලු. මේ තියෙන්නේ කන්ද මුදුනට ගියාම පේන දර්ශනයක්. මහන්සි වෙලා නැග්ගට පාඩු නෑ නේද

මේ පින්තුරය නම් ගුගුල් ගෙන්

කවද හරි මේවගේ කන්දක් නගින්නත් හිතේ ආසාවක් තියෙනවා. හැබැයි ඊට ඉස්සෙල්ල පිදුරුතලාගලවත් නැගල ඉන්න ඕනේ කියල හිතුනා හෙහ් හෙහ්..
මේ Kinabalu කන්දේ විශේෂත්වය තමයි මේක ගිනි කන්දක් නිසා ඇති වෙච්ච කන්දක් වීම. තනිකරම ගලක් තමයි තියෙන්නේ. මේ ලින්ක් එකේ තියෙනවා ඔක්කොම විස්තරේ
ෆාම් එකේ ඉතින් අමුතු විශේෂයක් නෑ.. අඹේවෙල ෆාම් එක වගේම තමයි. පොඩ්ඩක් සීතලයි. පින්තුර ගොඩක් දාපු නිසා ෆාම් එකේ පින්තුරයක් දාන්නේ නෑ.
කොහොම හරි ඉතින් ෆාම් එකේ ඇවිදලා ආපහු එන්න පිටත් වෙද්දී හවස 5ත් පහුවෙලා. ඒ වෙද්දී හැමෝටම නිකන් ආපහු යන හැඟීමක් තමයි තිබුනේ. නමුත් ගමනේ එක ප්‍රධානම නැරඹුම් ස්ථානයක් වෙච්ච Kinabalu Park එක මිස් වෙන එක අපරාදේ නිසා අපේ ඩ්‍රයිවර් මලය අපිව එතෙන්ටත් එක්කන් ගියා. හැබැයි එතන වැඩි දෙයක් කරන්න වෙලාවක් තිබුනේ නෑ… හවස 6.30 වෙද්දී සම්පුර්ණයෙන් අඳුරු වෙන බොර්නියෝව අඳුරු වෙන්න ඒ වෙලාවේ පටන් අරන් තිබුනේ. අපි නිකන් නමට විතරක් පාක් එකට ඇතුල් වුණා. චීන පවුල නම් වාහනයෙන් බස්සෙවත් නෑ.. අපි දෙන්න ඉතින් විනාඩි 10-15ක් විතර ලෝක උරුමයක් වෙච්ච මේ පාර්ක් එකේ ඇවිදලා ආවා.
මේ තියෙන්නේ පාක් එකට ඇතුල් වෙන තැන . මේ පින්තුරයත් ගුග්ල් ගෙන්
පාක් එකේ නිදහසේ ගත කරන්න බැරි වෙච්ච එක ලොකු පාඩුවක්. මොකද Kinabalu කන්ද නගින්න ආරම්භ කරන තැන පිහිටලා තියෙන්නේ මේ පාර්ක් එකේ. ඊට අමතරව බෝර්නියෝ වනාන්තරය පිළිබඳව වැදගත් කරුණු රාශියක් මේ පාර්ක් එකෙන් දැන ගන්න තිබුනා. නමුත් ඉතින් කරන්න දෙයක් නෑ කියල අපි ආපහු ආවා.
මිට පස්සේ මේ වගේ ගමනක් යද්දී කාලගුනේට මිට වඩා සලකන්න ඕනේ කියන පාඩම නම් මම ඉගෙන ගත්තා.
ආපහු හෝටලේට ඇවිත් පහුවදා ගමන ප්ලෑන් කරන ගමන් වැස්ස වලාහක දෙයියන්ට පිං වලින් පොඩි අල්ලසක් දීලා හොඳට කාල නිදා ගත්තා.
දුපත් සංචාරය ගැන ඊලඟ පෝස්ට් එකෙන් බලමු නේද..
උපුටා ගැනීම : http://biththiya.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල