විවිධාංග

ජීවිතය සුන්දරද මෙතරම්?

Off

ඊයේ උදයේ ලංඩන් අහස කලු රෙදි පොරවං හොරාට බුම්මගෙන සිටියද ඔයතරම් තද වැස්සක් නම් හදිසියේම කඩා වැටෙතැයි මම සිහිනයෙන් හෝ නොසිතුවෙමි. නොසිතූ ලෙස වට වරුසාව මගේ සියොළඟ තෙමා ලද්දී , වැස්සේ තද කෙතරම්ම වීද යත් මීටර කිහිපයක් ඈතින් තිබූ බිල්ඩිමට දුව යනවිටත් මා දියබත් වී හමාරය.
වැස්සත් සමඟ ඇදී ආ සීතල සුළඟ මට පහර දුන්නේ කිසිම සිත් පිත් නැති පරිදිය. එවෙලේ මට මහා අසරණබවක් දැනිණි. ඉඳගන්නට තැනක් නොතිබුණු තැන අසල තිබූ පෙට්ටියක් උඩ මට ඉබේම ඉන්ද වුණි. එවෙලෙහිම නද දුන්නේ මගේ ජංගම දුරකථනයි.
මම වැස්සට තෙමී ගිය දෑත් තෙමුණු කලිසමේම පිසදමා ෆෝනය අතට ගෙන ” හලෝ” යැයි කීවෙමි. එහා කෙළවරින් ඇදී ආවේ වයොවෘද කාන්තාවකගේ දුබල කට හඬකි. “ඔය චන්දන පුතාද?” සීතලෙන් මිරිකී වුන් මගේ සියොළඟ ” පුතේ” කියන වචනය ඇසෙනවාත් සමගම පිබිදුණි. මට එකවරම සිහිවූයේ සැතපුම් දහස් ගණනක් ඈතින් සිටින මගේම අම්මය. මට ” ඔව් අම්මේ චන්දන පුතා තමයි” යැයි කියවුණේ ඉබේටමය.
” ආ…පුතා මම මේ නාවලගේ කරුණාරත්න මහත්තයලගෙ ගෙදරින්. ඔයාලා එදා පවත්වපු කලා උළෙල හරිම අගෙයි. අපේ ගෙදරටම ඇවිත් අපේ මහත්තයට ආරාධනා කරල සම්මානයකින් පිදුම් දුන්න එක අපට හරියට වටිනවා. ඒ කරපු වටිනා කාර්‍යයට ඔයාල හැමෝටම ස්තූතිවන්ත වෙනවා. ඔයාලගෙ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියල සුබ පතනවා පුතා.” එසේ පැවසූ එතුමිය ” ආ. මේ පොඩ්ඩක් ඉන්නකො මේ මෙන්න මෙයාටත් මොනවද කියන්න තියෙනවලු” යැයි පවසා ෆෝනය තවෙකකුට දුන්නාය.
එවිට එහා කෙළවරින් ඇදී ආවේ එදා රටක් නැළවූ ” ආදරි නාවේ ඇයි” ගීතය ගැයූ නාවලගේ කරුණාරත්නන නම් ඒසුන්දර ගායකයා, අක්ෂර නිර්මාණ කරුවා සහ සොබාදහමට පෙම් බඳින චිත්‍ර ශිල්පියගේ පිබිඳුණු ස්වරයයි. මීට දින කිහිපයකට පෙර එතුමාට අපගේ රස කළා උළෙලට ආරාධනා කිරීමට ගිය අවස්ථාවේ ඇසුණු බලාපොරොත්තු සුන්වූ දුබල කට හඬ මෙවෙලේ අහලකවත් නොතිබිණි.
තම කට හඬ අවදි කළ එතුමා ,”ඔබලාගේ උත්සවය හොඳින්ම කෙරුණා. බොහොමත්ම ස්තූතියි මට සම්මානයකුත් ලබා දීලා මේ කරපු උපහාරයට? කියා පැවසීය.

chandana6
මට ඇතිවූයේ අසීමිත සතුටකි. හදවත උණුසුම් විය. වැස්සට තෙමී තිබූ ගත සිත මේ උණුසුමින් වියැලිණි. තමන් ලාභ ප්‍රයෝජනයක් නොපතා හුදෙක් කලාවට ඇති ආදරය නිසාම අප සංවිධානය කළ රස සාහිත්‍ය කලා මංගල්‍යයේදී අප සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීණ කලා කරුවකුම අපට කතා කොට දුන් මේ ඇගැයීම මට මහ මෙරක් මෙන් විය. ජීවිතය කෙතරම් නම් සුන්දරදැයි මට සිතිණි. මම එතුමන්ට සමු දුන්නේ ළඟදීම එතුමන්ව බැලීමට අප පැමිණෙන බවටද ප්‍රතිඥා දෙමිනි. මේ කෙටි සංවාදය අවසානවන විට වරුසාව තුරල් වී අහසේ හිරු යාන්තමින් නැඟ ආ අතර වැස්සට තෙමී ගිය මගේ කලිසමනම් හොඳින්ම වේලී තිබිණි.
චන්දන ගුණසේකර- එක්සත් රාජධානිය

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල