කෙටි කථා

මුණුබුරාගෙ කොලම – 02

Off

‘වැඩක් නැති ඌරො මහ දවලුත් හාරයි’ – ‘පන්තියෙ ලියා ගුටි කෑ හැටි තවමත් මතකයි’

සීයාගේ සහ මගේ කවි මතකය
පහත කවිය මම ගංතිරියාව විදුහලේ පස්වන ශ්‍රේනියේ දී පංතියේ කලු ලෑල්ලේ රෑ හොරෙන් ගොස් ලියා එන ලද්දකි. පසුව එම කවිය මම විසින් ලියූ බව අසුවී පංතිභාර ගුරුවරයා වූ අප්පුහාමි මහතා ගේ උදහසට හසුව ගුටි කෑමට පවා සිදුවිය. සීයානම් කියන්නේ ගුටිවලට වේවැල් කසාය කියාය.

පස්වන ශ්‍රේනියේ ළමයින් දඟකාරයි.
ඉගනීමට නොවෙයි අඬ දබරෙට සූරයි
වැඩක් නැති ඌරො මහ දවලුත් හාරයි
මුන්ගේ මතු දිවිය දෙවියන්ටම බාරයි.

එම කවිය මා පාසැලේ ජනප්‍රිය චරිතයක් කල බව මාහට එකල වැට හීමක් නොතිබිනි.

සමහර ගම් වැසියන් ඉදහිට මා ගමට ගිය කල මේ කවිය ගැන කියා මාගේ පාසැල් දිවියේ අතීත මතකයන් අවදි කරයි.

දිනක් මා පාසැල් යාමට සැරසෙන විට සීයා කීවේ ‘ජයෝ අද ඉස්කෝලෙ යන්න එපා අජූතයක් තියනවා. කෙලිකාරයෝ ඔක්කොම එනවා. උඹටත් ඉස්කෝලෙට වඩා ඉගෙන ගන්න දේවල් මේකේ තියෙයි’ කීවේය. දෛවය එය නොවේ. පෙරදිනක කවි ලියා මට ගුටි දුන් පංතිභාර ගුරුමහතාද නිවාඩු දමා අජූතයට පැමින සිටි අතර තවත් ගුරුවරයෙකුගේ නිවයේ එම අජූතය සූදානම් කර තිබුනි. එම අජූතය පුරා දින දෙකක් කෙලෙව්වේය. ඇත්නේම මම එයින් ඉගෙන ගත් දෑ අපමනය. එදින අජූතයේ සීයා කුජීතවී අන්ත පරාජ විය. ආසියා, හේරා සමග තුරුම්පු පහෙන් වාසි පහක් ගත හැක්කේ හුරු අතේ පමනකි. නැතිනම් තුරුම්පු ආසියා කැපී පරාද විය හැකි බව සියා මට කලින් කියා දී තිබුනා. සීයාට එදින එය සිදුවිය. මම සීයාගෙන් පරාද වීමට හේතුව විමසූවිට කීවේ එය මට ඉස්කෝලේ පසුකලෙක උනන්වනු ඇති බවයි. ඒකේ නම සම්භාවිතාවයි. සම්භාවිතාව අනුව එසේ පරාද වන්නේ ඉතාම කලාතුරකින් බව සීයා සිනා සෙමින් කීවේය. ඒක වෙලාව හරි, කරුමෙ හරි නෙමෙයි. දැනට ඒක මතක තියා ගනින් කීවේය. පාසැලේ සම්භාවිතාව පසුකලෙක උගන්වන කල සීයා අජූතයෙන් කුජීත වූ හැටි මට මතක් වුනි.

එම වකවානුවේ මාගේ පංතියේ මිතුරකු වෙනත් පාසැලකට අස්වී ගියේය. ඔහු පෑනේ මිතුරකු ලෙස ඇසුරු කලහැකි බව කියූ සීයා, පලමු ලිපිය ලියා දුන්නේ කවි වලින්මය. ලියුම් කවරයේ පිට පැත්තේ ලියු කවි මතකයේ ඇත.

බිහිසුනු සුළි සුලඟ රජ රට දෙසට හමා
ඇති කල විපත් පිලියම් දැක සිරස නමා
මේ පණිවිඩය සුවසෙන මග පිණිස ලමා
මහ නානේරියට යව මගෙ මිතුරු තුමා

මිතුරා ගියේ මහනාන්නේරිය පාසලටය. ලිපියේ ඇතුලත ලියූ එක් කවියක්ද මතකය.

දුර බැහැරක වන්නිකරේ අහසේ තරු වලා අතර
ආර් ඇම් සිරිසේන මගේ හදවත ගල කෙටූ අකුර
මතකය අප දුර ලන්නේ කෙලෙසද මට කියනු මිතුර
කොහෙ හිටියත් සුරැකේවා අපගේ මේ සදා ඇසුර

නමුත් තවත් වසරක පමන කලක් අපි ලිපි ලියූවද එදා මෙදා කිසි දිනෙක අප නැවත හමුවී නැත.

සීයා මල්ලී ගෑන මට කියාදුන් කවියකි මල්ලිගේ නම නිශාන්තය. මල්ලී කළුපාටය.

නිශාන්තගේ ටිකිරි සිනා
පුළුන් වලාවක රැදුනා
හිමින් හිමින් බිම වැටුනා
එතන කරඹ මල් පිපුනා

සීයා මෙම කවිය සුනිල් ශාන්තයන්ගෙන් හොරමකම් කලාදැයි කියා පසු කලෙක මට සිතුනි. සීයා කීවේ මල්ලී කලු වුනාට දත් සුදු බවය. වලාකුළු හා කරඹ මල් සුදු බවය.

1979 වන විට සීයාගේ ගෙදර මගේම ගෙදර විය. මිසදිටුවෙකු සමග රැඳීසිටීම මාගේ හතර වරිගයම හා අහල ගම් හතම රිස්සුවේ නැත. මගේ නෑදෑ පිරිවර, ගමේ ප්‍රභූන්, පාසැලේ ගුරුවරු හා පංසලේ හාමුදුරුවරු සීයා හා මගේ ඇසුර රිස්සුවේම නැත. අන්තිමට ඔවුන් ඒජන්තගේ ගල් කොල්ලා යන නම මා හට පට බැන්දේය. එහෙත් සීයා මා කිසි දිනක ලිංගික කටයුත්තකට පොලඹවා ගත්තේ නැත.

මම අක්කාට අසීමිතව ආදරය කලෙමි. අක්කාට මා ලිපි ලීවේ කවි වලිනිත නමුත් කවි සීයාගේය. සීයා ලියූ කවි වල අතීත මතකයන්.

තිස්තුන් කොටියක් දෙවි රැකවරණ යෙදූ
පිහිටයි ඔබ සැමට තෙරුවන් සරණ බුදු

රංබණ්ඩයිය සමගින් රාණී අක්කා
සෙල්ලං කරන හැටි සුරතල් පුතු එක්කා
නින්දෙදි ඊයෙ රෑ මම හීනෙන් දැක්කා
චූටි දුවද ලඟ සිටි අර බෝ නික්කා

අම්මා පියාගේ මරණයෙන් පසු වෙනත් විවාහයකට ඇතුළු විය. ඉන්පසු ඇය අල්ලපු ගමට පදිංචියට ගියාය.මේ ඒගැන මා අම්මා විවාහට විරුද්ධ කමත්නොතිපුනද අම්මා මා ගෙදර නෙඒම ගැන සිටියේ මාහා අමනාපයෙනි. එදාමෙදා.ුර මා කිසිම දිනත මාගේ නිවසේ නිත්‍ය පදිංචියකට ගියේම නැත.

එකල අක්කාට ලියූ ලිපියක කවියක්
අම්මා දීල්ලට වී තවමත් ඉන්නා
මා ගැන වැඩිය නෑ හොද හිත පෙන්නා
රානි අක්කා එව් ලිපියක් කර පින්නා
පොඩි සිංඤේඤෝ මාම අරගෙන ගොස් දුන්නා

දැලි අයියා වගේ හැඩ රැව සිනා කට
දවසක් රැවටි පාරේ ගිය මිනිහෙකුට
දැලි අයියේ ගියේ කොහෙදැයි අහනකොට
අමු කුණු හරුප කියලා බැණ වැදුනි මට

දැලි අයියා යනු අක්කාකේ සැමියාගේ අයියාය. ඔහු අධික කලුපාටින් යුතු සමක් තිබු අයෙකි. අප ඔහුට කතා කලේ දැලි අයියා කියාය.

පුවක් ගෙඩිය ශත පනහට හඬලනවා
එක රුපියලට ලොකු පොල් ගෙඩි විකිනෙනවා
දවසින් දවස තව තව අතු ලියලනවා
හොඳ හොඳ නැටුම් එලිවෙන ජාමෙට එනවා

කණා මැදිරියො නටති නිල් එලි විහිදාන
කිසිවෙක් නොමැත මේ මහ රෑ ලෙඩ දාන
මා ඉදිරියේ මැවි ඇති අක්කගෙ මූණ
පිසගෙන කදුලු දැන් නවතින් නට ඕන

අක්කාට ලියු එක් ලිපියක් එසේ අවසන් කලා මතකය.

මම නිර්මාණය කල කවියක් පාසැලේ ගේට්ටුවේ ඇලෙව්වෙමි. එම කවියට ප්‍රතිචාර ලෙස පලමුවර මෙන් එවර වේවැල් කසාය නොලැබුනි. එහි ප්‍රතිඵලයක් ලෙස පාසැලට ඕනෑම වෙලාවක පැමිණීමේ වරම මට හිමිවිය. ඒ දිනක් පාසැලට ප්‍රමාදව මා පැමිණි විට විදුහල්පති ගේට්ටුව වසා අසල බලා සිටියේය. අප පාසැලට ගේට්ටුවක් අතීයේ නොතිබුනි. පසුකලෙක එය ඉදිකල අතර මේසන් වැඩේ සිදුකලේ විදුහල්පති දිනරත්න මහතාය. බදාම ඇනුවේ මා විසිනි. මාද දායකව ඉදිකළ ගේට්ටුව විදුහල් පතිවරයා වැසූ පසු මාතුල කම්පනක් ඇතිවූ අතර එය මා හට ඉවසනු නොහැකිවූ බව මම අද සිතමි. එදා විදුහල්පතිවරයා පැවසුවේ අදින් පසු ප්‍රමාද වී පැමිණෙන ලමුන් ගෙදර යවන බවයි. විදුහල්පති වරයාගේ ක්‍රියාවට පසුදින මම මෙය ලියා ඇලෙව්වෙමි.

සැතපුම් දෙක තුනක් මග තොට ගෙවාගෙන
පාසැල වෙතට ආමුත් හති දමාගෙන
ගේට්ටු පියන් දෙක දවසන් වසාගෙන
විදුහල්පති තුමා සිටියා රවාගෙන

මා සීයා වෙනුවෙන් මගේ ජීවිතයේ හොඳම කවිය ලියන බව සිතුවේ මා දේශපාලන රහස් ගත ජීවිතයේ සිටින සමයකය. ඒ සීයා සියදිවි නසාගත් බව දැනගත් දිනයේය. මට පසු කලක එදා මෙදා තුර ලියූ එකම කවියෙන් මෙය අවසන් කරමි. ඒත් මට සීයාට තරම් ලස්සනට කවි ලියන්න බැරිය . ඒත් සීයා වෙනුවෙන් ලිවීමට කව් සිතුවිලි ඉදහිට මතක්වේ. නමුත් එයට වඩා ලස්සන කවියක් සීයා වෙනුවෙන් ලිවිය යුතුයැයි සිතා එය අමතක කරර දැමූ වාර අපමනය. සීයා කවියක් කරන්නේ කොහොමද ? අද දක්වාම මට නොවිසුදුනු ප්‍රශ්නයද එයයි.

දිවිය යනු අරගලය මයි බොල
ලපටි මා හද කෙටුවෙ කොහොමද?
මිහිරි අමිහිරි මතක කැටි තුල
මගේ කුළුදුල් වීරයා නුඹ

ජයම්පති බුලත්සිංහල

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල