සාහිත්‍ය කළා විචාර

මහැදුරු තුමාගෙන් අනාථ වුනු ලන්ඩනයේ “රස” ගුලාව

Off

පසුගිය විසි හතර වැනි සෙනසුරු ගේ දිනයේ සංවිධායකයන්ගේ වචනයෙන් කියහොත් ලන්ඩනයේ “රස” සාහිත්‍ය මංගල්‍යයක් විය. කලක සිට බ්ලොග් ලෝකයේ මෙන්ම සමාජ ජාලා වලද රසට ලියන චන්දන ගුණසේකර සොයුරා මෙන්ම නව පරපුරේ තරුණ චිත්‍රපට අධ්‍යක්ෂක නුවන් ජේ ද සංවිධායක මඩුල්ලේ සිටින හෙයින් අළුත් යමක් දැකීමේ අදහසින්, කලාව ගැන හරවත් දේශනයක් අසන අදහසින් එහි ගියෙමි. අපේ බ්ලොග්කරුවන්ගේ පොත් කිහිපයක්ද විකිණීම සඳහා භාර දුනිමි.

වේදිකාවේ කථා පැවැත්වූ මහතුන් ගෙන් ඇසූ පරිදි මේ මෙවැනි කලා සාහිත්‍ය උළෙලක් පවත්වන ප්‍රථම වතාවයි. එහෙත් මා නැටුම් ගැයුම් සහිත සහිත උළෙලවල් කිහිපයක්ම මීට කලින් ලන්ඩනයේ නරඹා ඇත්තෙමි. අලුත් අවුරුදු උළෙලවල් ද කින්ස්බරි විදුහල් භුමියේ දැක ඇත්තෙමි. ඒවාද කලා උළෙලවල්ම වේ. එසේම හැරෝව් පෙදෙසේ අගෝරා කලා සංසදය මගින් ද මෙවැනිම උළෙලක් පැවැත්වූවා මතකය. ඒ කළා උළෙලේ ප්‍රධාන අංගය වූයේ නාට්‍යයකි. එසේම එහි චිත්‍ර ප්‍රදර්ශනයක්, කවි නිසඳැස් ආදිය සඳහා තරඟයක්ද ද පොත් ප්‍රදර්ශනයක් ද පැවැත්වුණි. මේ “රස” සාහිත උළෙලේ ප්‍රධානතම අංගය සාහිත්‍ය කලාව පිලිබඳ දේශනයක් බව දැනගන්නට ලැබුණි. මේ වෙනස අනුව (හරවත් දේශනයක් සහිතව නිසා) එය මංගල උළෙල වනවා ඇතැයි ද සිතුවෙමි.

සංවිධායකයන් ඉතා වෙහෙස මහන්සිවී උළෙල සංවිධානය කර තිබුණු බව පෙනුණි. ඒ විස්තරය මෙහි ඇත. ලන්ඩනයේ මෙවන් කලා උළෙලක් සංවිධානය කිරීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. පැරණි ගල් කණු ආකෘති සමග මනරම් වේදිකාවක් සාදා තිබුණි. මනරම් චිත්‍ර සහිත ප්‍රදර්ශනයක් ද තිබුණි. සහභාගී වූ දනන්ට අනුභව කරන්නට මයියොක්කා , කිරිබත් හා ලුණු මිරිසක් නෙළුම් කොළවල බහා පිළිගන්වා තිබුණි. මේ ලස්සන කෑම මේසයට රණවරා කෝප්පයක් හකුරු සමග එක් කර තිබුණි. කාගේ අදහසක් වුවද මේ කාර්යය තුල සෑහෙන නිර්මනශිලිත්වයක් හා මහන්සියක්ද වියදමක්ද ගැබ්ව තිබුණි.

මගේ වඩාත් සිත්ගත් අංගයක් වූයේ පැරණි කලා කරුවන් ගෙන්වා සම්මාන පිරි නැමීමයි. ඒ නම් ඉතා අගය කලයුතු දෙයකි. එසේම එම සම්මාන පිළිගැන්වීමේදී ඔවුන් කුමක් සඳහා ප්‍රසිද්ධ වුයේද යන්න කෙටි චිත්‍රපට හා ගීත මාධ්‍යයක් මගින් නිර්මාණශීලි ලෙස ඉදිරිපත් කර තිබුණි.

උඩරට නාට්‍ය කණ්ඩායමේ නර්තනයන් මනරම් විය. එම වේදිකාවේ මද ඉඩකද තුල වුව හෙළ නැටුමේ දස්කම් දක්වන්නට ඔවුන් සමත් විනි. එසේම පියකරු කර්ණ රසායන ගීත කිහිපයකින් සභාවේ උද්යෝගය පණ ගැන්වුණු අතර තබ්ලා වාදනයෙහි යෙදුනු යෞවනයා සවන පිනන ශබ්ද මාධුර්යයෙන් දස්කම් දැක්වූ බවද සඳහන් කරමි.

මේ උත්සවයේ මූලික අංගයක් වුයේ මහාචාර්ය සමන්ත හේරත් ගේ සාහිත්‍ය කලාව පිලිබඳ දේශනයයි. (key-note address ). ශ්‍රී ලංකාවේ සාහිත්‍ය කලාවේ පරිණාමය, නව සාහිත්‍ය දිශානති, මෙන්ම ලඟදි පැවැත්වුණු ස්වර්ණ හංස සම්මාන උළෙලේ සම්මාන ලැබූ කෘතීන් ගැන හරවත් දෙසුමක් ඇසීමට කන යොමා සිටියෙමි.

මහැදුරු තුමා කතා කරන්නේ ඔහු සිටින්නේ උපාසිකාවන් පිරි බණ ශාලාවක යයි සිතා ජාතක කතා ගැන විචාරයක්ද, එසේත් නැතිනම් මනමේ සිංහබාහු ගැන විචාරයක්ද යයි මට සිතා ගත නොහැකි විය.

මනමේ නාටකය මෙන්ම ඒ කතා පුවත සම්බන්ධ ගීත වලින්ද අපේ සාහිත්‍යය පිරි පවතී. ඕනෑම පැදුරු සාජ්ජයක මනමේ කතාවේ ගීයක් වරදින්නේ නැත. ලංකාවේ බොහොමයක් කලාව පිලිබඳ දේශනය වල සිංහබාහු ගැන කතාවක් ද සමහර විට සිංහ ගීතයක්ද අනිවාර්යය. එදිරිවීර සරච්චන්ද්‍රයන් සිංහල නාට්‍ය කලාවට හා සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ බව ද ඇත්තය. නමුත් මේ හෝද හෝදා අඳින, හැම වේදිකාවකම වේලෙන්නට දමන කසී සළුවේ වටිනාකම තව දුරත් රැකී තිබෙන්නට නම් නව සිංහල සාහිත්‍ය හා නාට්‍ය කලාව, නව සිංහල චිත්‍රපට හා ගීත ගැනත් කතා කළ යුතුමය.

මහාචාර්යතුමාට හොඳ සලකුණක් ළඟම තිබුණා නොව සිටියාය. ඒ සයිමන් නවගත්තේගමයන්ගේ දියණිය මායාය. ඇය මේ උළෙලේ සංවිධායකවරියක් බවද රහසක් නොවේ. නවගත්තේගම කතුවරයාණන්ගේ කෘති අපි තවමත් කියවා රස විඳින්නෙමු. ඔහු ගේ “සංසාරාරාණ්‍යයේ දඩයක්කාරයා” කෘතියට හර්මන් හෙසගේ “සිද්ධාර්ථ” නවකතාව පාදක වුනි යයි මා අසා ඇත. නවගත්තේගමගේ පොතක් ගැන හෝ සඳහනක් කලා නම් ඒ මායා සිටි නිසා බව කවුරුත් නොකියන බව මට හොඳටම විශ්වාසය. සිය බොහීමියානු ජිවිතයේ මග සලකුණු තබාගෙන ඔහු ලියු පොත් ගැන වදනක් වත් පැවසීමට අපොහොසත් වුනු මහාචාර්ය භවතා ගෙන් මංජුල වෙඩිවර්ධනගේ “මගේ ආදරණිය යක්ෂනි ” කියවා ගන්නේ කෙසේද යන්න ගැන ඇසුවොත් “වෙඩිවර්ධන – ඒ කවුද? “යයි අසනු ඇතැයි මට සිතුනි.

ඩබ්ලියු ඒ සිල්වා , මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සිට ගුණදාස අමරේකර දක්වා සිංහල නවකතාවේ විකාශය ගැන කියන්නට වත් ඔබේ මනස් අඩවියට පිවිසුනේ නැත්ද? එසේම, එකම කතුවරයාගේ “කුරුළු හදවත” ග්‍රන්ථයට ගිය වසරේත් “අහම්බකාරකයට ” මේ වසරේත් සම්මාන ලැබුනේ ඇයි කියා අසන්නට සිතුනි මට. එනමුදු පවුකළ ගොනු තෙමේ හපුතල් යන්නා එතන හිඳගෙන දෙසුම ඇසීමට වුනිය මට.

උමාරි හා අමරදේවයන්ගේ සුසංයෝගය හා උමාරි ගේ ගීත ජනප්‍රිය වන්නේ ඇයි? “ඇගේ ඇස අග ” චිත්‍රපටය ගැන “දඩයම “ගැන නැත්නම් , පතිරාජගේ සිට ප්‍රසන්න ප්‍රසන්න විතානගේ දක්වා සිංහල සිනමාව ඔබ දකින්නේ කෙලෙසද?

මේ එක් දෙයක් ගැනවත් කතා නොකොට ජාතක කථාවල ග්‍රාම්‍ය නිදසුනක් මගින් ජාගර රසය අවුළුවා සිනහවක් පාදන්නට පමණක් ඔහු සමත් විය. මනමේ ගෙන් පසු ඔහුගේ මතකය ගිය කුස-පබාවතියටයි. කුස රජු පබාවතිය අතපත ගාන අයුරු කියන්නට සෑහෙන කාලයක් ගතකල මහදුරු තුමා පන්සීය පනස් ජාතක පොතම පෙරලාවිදෝ බියෙන් මම වෙලාව දෙස නෙත යොමු කරමින් සිටියෙමි.

ගීත රචකයකු මෙන්ම කාව්‍යකරණයෙද යෙදෙන, උත්සවයේ අනුශාසක සංවිධායක කෝන්වැවේ ආරියරත්න හිමියනට ද ජාතක කතා ඇසුරෙන් හොඳ දේශනයක් කරන්නට පිළිවන් කම තිබිණි යයි සිතමි.

මහැදුරු දෙසුම අතරතුර භාග්‍යකටදෝ කිසිවකු සිටිතැන් අමතකව සාධුකාර දුන්නේ නම් නැත. එනිසා සංවිධායක පටි බේරුනේ යයි සිතමි.

ලන්ඩන් “රස” සාහිත්‍ය මංගල්‍යය ලබන වසරේත් පැවැත්වේවා යයි ඉත සිතින් පතන අතරම මහාචාර්යා සමන්ත හේරත් තුමාගේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් ගේ රැකවරණ යදිමින් මෙතනින් නවත්තමි.

“ඈ ගැඹුරු හැඟීමකින් අත දිගු කලාය. සිහින්ව වෙවුලන ඇඟිලි නයාගේ සිරුර මත තැබුවාය. මහත් ගෞරවයකින් භක්තියකින් වාගේ උගේ සිරුර පිරිමැද්දාය. ඔහු ක්‍රමයෙන් කීද්දෙනවා පෙනෙයි. ක්‍රමයෙන් හිස ඔසවයි. පෙණය දිග හැරෙයි. අන්තිමේදී විශාල පෙණය මුළුමනින්ම විවෘත කොට සිරියා වෙත හැරෙයි. සිරියා ඔහු වෙත දණ ගැසුවාය.” – පිටුව 241 “සංසාරාරණ්‍යය අසබඩ ” – සයිමන් නවගත්තේගම

https://kolambagamaya.blogspot.co.uk/2016/10/blog-post.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල