අතීතකාමය

සමු නොගන්නෙම් , මතක දෙවසර. 01

Off

මගේ ගම හැරුණු විට මා ආදරය කරන පෙදෙසක් වේ නම් ඒ මන්නාරමයි. එහි ගෙවූ වසර දෙක ජීවිතයේ කිසිම දිනෙක නොලැබූ අත්දැකීම් සමුදායක් සහ මතක ගොන්නක් මා හට තිලිණ  කළේය.

ඒ කාලය පිළිබඳව ලිවීමට ඇති වූ සිතිවිල්ල එයින් පිට වන තුරුම මම ප්‍රමාද කළෙමි. ඒ සමුගැනීමෙන් ඇති වූ විරහව හොඳින් විඳිය යුතු නිසාය. සැබැවින්ම දැන් මම එකී විරහව ඕනෑවටත් වඩා අත් විඳිමින් සිටිමි. මන්නාරම සහ  එහි සිටියවුන් සියල්ලන්ගෙන් වියෝ වීමෙන් , “ප්‍රියයන්ගෙන් වෙන් වීමේ දුක” පිළිබඳව අසිමිතවම මා හට අවබෝධ කරවීය.

“කොහොමද ලිවීමේ කටයුතු? මන්නාරම ගැන, අපේ සෙට් එක ගැන ලියන්නේ නැද්ද? අපි ගැන නොලියන බ්ලොග් මොනවටද? “ චානක ගේ වයිබර් පණිවිඩය මේ ලිවිම ඉක්මන් කිරීමට තවත් එක් හේතුවක් විය.

ඉතින් මම ලියමි. ඒ මගේ ආත්ම තෘප්තිය උදෙසාය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

  1. මන්නාරම් පාළම උඩ

ඉතා තුනිවට දිය සායම් තැවරූ නිහඬ සිතුවමක් බඳු වූ කලපුව අනන්තය දක්වා පැතිරී ගොස් අනන්තයේ කෙළවරදී අහස සිප ගනියි. ඉඳ හිට වතුර දිගේ දිව ගිය දිය කාවකුගේ පියසැැරියෙන් කළඹුනා මිස ගලන නොගලන  තරම් නිශ්චල වූ දිය දැවැන්ත තැම්පත් බවක් පල කළේය.

සැන්දෑ අහසට ගිනි තබමින් අවරගිරින් හිරු බැස යමින් තිබිණි. සිතුවමේ ඊට පහලින් ,ඉදි වෙමින් පැවති දුම්රිය මාර්ගයේ පාලම කලු  පැහැති යකඩ කම්බි වලින් සැදුවක් සේ ඇතට දිස් විය.

පෙරදිගින් සඳ පායා එමින් තිබිණි. සඳ නැගීමත් හිරු බැසීමත් එක වර සිදු වීම ඒ වනතුරුත් කිසිම දිනෙක දැක නොතිබූ මම සොබා දර්මයේ ඒ සොඳුරු නාට්‍යයේ ජවනිකාවන් මුසපත් වී ගියෙමි.

සඳ පසුබිමින් මන්නාරම් කොටුව දිස් වේ.ඒ කරා යනු සිතුණේ නිරායාසයෙනි. එහෙත් තරු එකින් එක දෑස් විවර කරයි. ඒ නිසා ඒ ගමන මම කල් දැමීමට තීරණය කළෙමි.

හබල් ගසමින් පැද ආ ඔරුවකින් බැස ගත් මිනිසෙකු ඔරුවෙන් දියට බසිනු දිස් විය. ඔහු පිනන්නට යනවාද? නැත. ඔහු කලපුවේ ඇවිදීමට පටන් ගත්තේය. කලපුව එතරම් ගැඹුරු නොවන සේ විය. ජල මට්ටම ඔහුගේ දණහිසට මදක් ඉහළිනි.

“කලපුවේ වතුර මට්ටම වඩදිය බාදිය එක්ක වෙනස් වෙනවා” කිසිවකු පැවසුවක් සිහියට නැගිණි.

පවනට බඳු වේගයෙන් ඇදී යන වාහන නිසා නිහඬතාවය ඉඳ හිට බිඳී ගියේය.  එහෙත් නැවතත් අර අසීමිත නිශ්චලත්වයට එළඹීමට පරිසරයට ගත වූයේ නිමේශයකි.

අප සිටියේ නිවසින් කිලෝමීටර දෙසිය ගණනකටත් වැඩ දුරකිනි. කුමක්දෝ විස්තර කළ නොහැකි පාලු හැඟීමකින් සිතට ඉඳි කටු අනිනවා ලෙස දැනුනේ වරක් දෙවරක් නොවේ.  එහෙත් එවන් වූ අපුර්ව ලෝකයක තනි වීමේ, කිසිවෙකුට ලෙහෙසියෙන් නොලැබෙන ආහ්ලාදයෙන් ද මම අසිමිතවම පරිපුර්ණ වී සිටියෙමි.

සීමා වට කඩුලු නොතැකූ සඳ දිය, සිය  කිරණින් තැනූ සළුව එලමින් අහස මුදුනට පිය මනිමින් සිටියේය.

කටු කම්බි පවුරු පදනම් නොපෙනී සඳ  හට, එක යායක් වේ මුළු ලෝකය සඳ එළියට” ශෂිකා නිසංසලා ගේ ගීතය ඇසෙනවා බඳු විය.

, “හිරු ‍රැසින් අඩක් වියැලුණ ඉලුක් වනයට සඳ ‍රැස් වැටී සිතේ ගැස්මක් ඇති කරවන තරම් වූ මායාකාරී සෞන්දර්යයක් නිර්මාණය කර තිබිණි. කිසියම් උදාසීන, බන්ධන හීන, නිදහස් හැඟීමක් ඇති වී මගේ හදවත සැලෙන්නට විය.  ඒ නිහඬ රාත්‍රියේ සඳ ‍රැසින් ආලෝකමත් වූ අහස් තලය යට හිඳ  අවට බැලූ මට සුර ලොවකට ඇතුළු වූවාක් බඳු හැඟීමක් ඇති විය. මධ්‍යම රාත්‍රියේ ජන ශුන්‍ය පෙදෙසකට පතිත වූ සඳ එළිය නිසා එය සුරඟනන් සැරිසරන තැනක් බවට පත් විය….” අරණකට පෙම් බැඳ හි විභුතිභුෂණ බන්දොපද්‍යාය ගේ වචන නැවත නැවතත් ඇසෙන්නට විය.

ඒ වන විට ගෙවී ගොස් තිබුණේ මන්නාරම් පුරයේ දින කිහිපයක් පමණි.  එහෙත් ඒ සොඳුරු බවට මම ඒ වන විටත් අසීමිතව පෙම් බඳිමින් සිටියෙමි.

“යමු නේද?” භාතියගේ හඬට එක වර කීකරු වන්නට සිත උත්සුක නොවීය. සඳ එළියේ ඔහු සමග අනන්තයකට ඇවිදීමට මට උවමනා විය. තව තවත් කලපු තෙර සිසිලසින් සැනසීමට මා හට උවමනා විය. විභුතිභූෂණ පැවසු ලෙසට, සඳ එළියේ සැරිසරණ සුරඟනන් දකින්නට මට උවමනා විය.

 

එහෙත්, මඩනා ලද එම සියලු ආශාවන්ගෙන් යුක්තව මම ආපසු යාමට නැගී සිටියෙමි.

https://lokayekonaka.blogspot.co.uk/2016/09/01.html

 

දෙවන කොටස: https://lokayekonaka.blogspot.co.uk/2016/09/blog-post_25.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල