සංගීතය

සමාජයේ කරදර හිරිහැර මැද මිහිර පතුලෙ ගිලුනා

Off

1930 ජූනි 16 දා කොළඹ දී උපත ලද සාලි මාස්ටර් දරුවන් හය දෙනෙකුගෙන් යුතු පවුලක පස් වැන්නාය.සාලිගේ පවුලේ කිසිවෙකු සංගීතයට සම්බන්ධ වී සිටියේ නැති වූවත් ඔහුගේ හිත සංගීතය සඳහා ඇදී ගියේ කුඩා කල ගවුස් මාස්ටර්ගේ සර්පිනා වාදනය දැකීමෙනි .ගවුස් මාස්ටර් අනුකරණය කරමින් පුරුදු පුහුණු වුන සාලි අවුරුදු 15දී පමණ වනවිට හොඳ සර්පිනා වාදකයෙකු වුයේය .1948 දී ඔහු වෘත්තීය සර්පිනා වාදකයෙකු බවට පත් වී ක්ෂේත්‍රයට පිවිසි අතර “සාලි මාස්ටර්” නමින්  එවකට ප්‍රභූ නිවෙස්වල පැවැති  බජව් ,පැදුරු සාජ්ජ වල සහ එළිමහන් ප්‍රසංගවල සර්පිනා වාදනය කිරීම  සිය රැකියාව කර ගත්තේය.

ජනප්‍රිය වාදකයෙකු බවට පත් වුවද සංගීතය හදාරා නොතිබූ බැවින් ඒ පිළිබඳව දැනුමක් ඔහු සතු නොවිනි. මේ අතර ශාස්ත්‍රීය සංගීතය ඉගෙන ගැනීම සඳහා සාලිට මහඟු අවස්ථාවක් උදාවිය .ඉතිහාසයේ පළමූ වරට මූස්ලිම් සංගීත ශිල්පීන් සඳහා සංගීත පන්තියක් ඇරඹෙන්නේ 1960 දශකය ආරම්භයේය. ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ එවකට ලංකා කලා මණ්ඩලයේ මූස්ලිම් කටයූතු භාරව සිටි එම්. බී. එම්. ගවූස් මහතාය.

“රජයේ ලලිත කලායතනයේ චිත්‍ර අංශයේ ආචාර්යවරයකු වූ ගවූස් (සංගීතවේදියා නොවේ) මේ සංගීත පන්තිය මෙහෙයවීම සඳහා යොදවා ගත්තේ එම ආයතනයේ ම සංගීත අංශයේ ආචාර්යවරයකු වූ සංගීත විශාරද එස්. ද එස්. ජයසේකර මහතාය. (ගායිකා චම්පා කල්හාරිගේ පියා) යි. 1963 දෙසැම්බර් 21 වනදා සිට සතියේ දින තුනක් පස්වරු 5 සිට 8 දක්වා රජයේ සංගීත විද්‍යාලය තුළදී පන්ති පවත්වන ලදී. මොහොමඩ් සාලි, ජේ. ඇම්. ඇම්. සාදික්, හරූන් ලන්ත්‍රා, සූබයර් කරීම්, ඇම්. බී. හසන් අලියාර්, ඒ. එච්. ඒ. සහර්දීන්, මොහිදින් බෙග්, ඇම්. එල්. අයිදුරූස්, ඕ. ෂරීෆ්, ඇම්. සූබයිර් කරීම්, එස්. එම්. එම්. බූහාරි, ඒ. එම්. එම්. මොහිදීන්, එම්. අයි. එම්. අමීන්, ටී. එම්ි. තාජූදීන්, එන්. එම්. මහරුෆ් ආදී මූස්ලිම් සංගීත ශිල්පීහූ 40 දෙනෙක් පමණ ජයසේකර මහතාගෙන් සංගීතය උගත්හ. පූරා තෙවසරක් පමණ මේ පන්ති පැවැත්වූණූ අතර සෑම වර්ෂයක් අවසානයේම පරීක්ෂණයක් පවත්වන ලදී. මේ ශිෂ්‍ය කණ්ඩායම අතර මොහොමඩ් සාලි කැපී පෙනිණි.”
(සූනිල් ආරියරත්න, ගාන්ධර්ව ආපදාන)

ප්‍රභූ නිවෙස්වල පැවැති සාදවල සර්පිනා වාදනය කිරීමෙන් එවකට ජනප්‍රියත්වයට පත් ව සිටි සාලි මාස්ටර් ගේ සිහිනයක් සැබෑ වූයේ 1958 දීය.  චිත්‍රපට වාද්‍ය වෘන්දයක සර්පිනා වාදනය කිරීම ඒ සිහිනයයි.  සංගීතවේදී ආර්.ඒ. චනද්‍රසේනයන්ගේ මග පෙන්වීම ඔස්සේ ඔහු “වනලිය” චිත්‍රපටය සඳහා සර්පිනාව වයමින් චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසියේය.1963 දී ඔහූ පළමූවරට චිත්‍රපට සංගීත අධ්‍යකෂණයට යොමූ වූයේ “මංගලිකා” චිත්‍රපටයෙනි. එතැන් සිට චිත්‍රපට 18 ක පමණ සංගීතය මෙහෙය වූ ඔහූ ඇතැම් චිත්‍රපටවලදී ප්‍රේමසිරි කේමදාස, ඇල්ප්‍රඩ් කොරෙයා, ෂෙල්ටන් ප්‍රේමරත්න, ෂෙල්ටන් පෙරේරා, මොහිදින් බෙග් සහ සරත් දසනායක වැනි සංගීතවේදීන්ද හවූල් කර ගනිමින් සම සංගීත අධ්‍යක්ෂණයේ යෙදුණේය.

සාලි මාස්ටර් සංගීතය මෙහෙයවීමේ කටයූතුවල වෘත්තීමය වශයෙන් යෙදුණූ නිසා චිත්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යකෂකවරුන් සහ ගායන ශිල්පීන්ගේ වූවමනාව මත හින්දි සහ දෙමළ අනූකාරක ගී රැසක් නිර්මාණය කළේය. ඒවා බෙහෙවින් ජනප්‍රිය විය.ඒ නිසාම ගුව්න්විදුලි සංගීත ක්ෂේත්‍රයේදී ද බොහෝ දෙනා ඔහු ලවා හින්දි හෝ දෙමළ තනු ඇසුරෙන් ගීත නිර්මාණය කර ගත්හ.. “සැලෙන ලෙළෙන දළුව විලස නිතඹ නළෝලා” (එච්. ආර්. ජෝතිපාල) “ඔබේ ප්‍රේම නගරේ” (ජේ. ඒ. මිල්ටන් පෙරේරා) ,”සුවඳට මල මෙන්” (රූපා ඉන්දුමතී / ලක්ෂ්මන් රොද්‍රිගෝ) වැනි ගීත ඊට නිදසුන් ය.

එසේ වුවද මොහොමඩ් සාලි ස්වතන්ත්‍ර මධූර තනූ රැසක් හෙළ ගීත කලාව වෙනූවෙන් දායක කර ඇත. ඒ අතර,ජේ. ඒ. මිල්ටන් පෙරේරා ගැයූ “සඳුන් ගසක එති සමන් ලතාවක”, “ඔබ තරමට මා නැළවූ”, “රුවන් මැදුර ඔබම ඉදිකෙරූ”, “වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ”, “ඇස රැඳුණූ රැඳුණූ තැන්වල”, “අහන්න මගෙ හොඳ පූංචි පූතේ” වැනි ගීතද එච්. ආර්. ජෝතිපාල ගැයූ “ඇස් දෙක වාගෙ හිටිය”, “මූලදී බැන්ද ආදරයක මිහිර දැන්”, “රන් ඇට පොට රිදී හවඩි” වැනි ගීතද, මිල්ටන් මල්ලවාරච්චි ගැයූ “ඔරුවක පාවෙන”, “පායා ආ සඳ”, “ඈත එපිට දුර ආකාසේ” වැනි ගීතද කැපී පෙනේ.

සාලිගේ ගී තනු ජනප්‍රිය වීමත් සමගම ඔහු සොයා එන සංගීත ශිල්පීන්ගෙන් ද අඩුවක් නොවිය .සමහර ශිල්පීන්ගෙන් ඔහුට තනු නිර්මාණයට ලැබුනේ බ්‍රිස්ටල් පැකට් එකක් පමණි .බ්‍රිස්ටල් පැකට් එකක් දී තනු නිර්මාණය කරගත් සමහර ශිල්පින් කැසට් පට වලට ඒ ගීත ගයා මුදල් උපයා ගත්තත් අඩුම තරමින් “තනු නිර්මාණය ” සාලි මාස්ටර්ගේ කියා නම වත් සඳහන් කිරීමට තරම් වත් උත්සහ ගෙන නැත. .මුදල් ලැබුණත් නොලැබුණත් සැහැල්ලුවෙන් විනෝදයෙන් ජිවත් වූ සාලි මාස්ටර් 1987 සැප්තැම්බර් 17 වැනි දින නොසිතු ලෙස ලෙඩ ඇඳට වැටුණු අතර පවුලේ හම්බ කළ එකම තැනැත්තා එක්තැන් වීම නිසා සාලි පවුලම අන්ත අසරණ විය .විදුලියත් ,ජලයත් විසන්දි කෙරිණ. .ඉතාමත් අසරණව මාස කීපයක් දුක් වින්ද සාලි මාස්ටර් 1988 අප්‍රේල් 13 වන දින අවසන් හුස්ම හෙළිය .”මොහොමඩ් සාලි ” යනු සිංහල සංගීතය ගැන කතා කරන විට කිසි විටෙක අමතක කළ නොහැකි චරිතයකි .
——————————————————————————————–
විමන් ඉඩ ඇතේ
පැල්පත්වල ද ඉඩ ඇතේ
එයින් පල නැතේ
සැතපෙමි ඔබගෙ හදවතේ

මනෝමය රුවන්
දොරටුවෙ පියන් යුග ඇරෙයි
මගේ සිත කලින් නොපිරූ
මිහිරකින් පිරෙයි

අහිංසක අපේ
හිත් මල් දෙකකි පිරිසිඳු
ළඟින් පසුවුණත්
කිලුටක් නොවෙයි බිඳකුදු

සහස් වර මුවින් පිටවෙන
මියුරු සිතුවිලී
රහස් ලෙස තබාගමි
නෙත් පියෙන තුරු යළී

ගී පද – කරුණාරත්න අබේසේකර
සංගීතය  – මොහොමඩ් සාලි
ගායනය  – මිල්ටන් පෙරේරා
——————————————————————————————–
මා අවදි කළා ඔබ දිනිඳා සේ
අරුණෝදේ..
වැටහෙන්නෙ ම නෑ දන්නෙ ම නෑ
මේ සිදු වූ දේ…

මගෙ දෙතොල පෙඟේ දෑස තෙමේ
හද හිනැහෙනවා
වෙනදා නොමැතී අරුම හැඟුම්
මල් පිබිදෙනවා…

මධුරිය ආව ද මා ආව ද
නෑ වැටහෙන්නේ
සත්සර නැඟිලා හද වීණා
හඬ පැතිරෙන්නේ…

සිතුවිලි බඹරුන් ආයෙත්
වෙන අතක නොයේවා
අපෙ සබඳ රුවන් විමානයට
එළිය වැටේවා…

ගායනය -ජේ. ඒ. මිල්ටන් පෙරේරා
ගී පද – ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය – මොහොමඩ් සාලි
——————————————————————————————–
දිස්නෙ දෙන සඳ
රැස් දියේ අතුරා තියා
මාගෙ දෙනෙතේ රන්
නෙළුම් මල් පාවුණා…

පෙම් විලේ මා
සිහින උල්පත දෝ ඔයා
මාගෙ දෙනෙතේ රන්
නෙළුම් මල් පාවුණා…

සිහින ලෝකේ මා
ඇතේ ආ ආදරේ පෑදූ සදා…
දෑස පියවා ලා තබාලා
ළංවෙලා ඉඳලා ගියා

දන්නෙ නෑ මං
ආව දෝ ඔබ මා සොයා…
මාගෙ දෙනෙතේ
රන් නෙළුම් මල් පාවුණා

දිනෙක දෑසෙන් ආදරේ දුන්
මිහිර ආවාදෝ සොයා…
ඒ ලෙසේ මා එන්න ආවා
කෝ උන්නතැන් මා දන්නේ නෑ
මිහිරියේ මා රන් වලාවේ සැංගුණා…

මාගෙ දෙනෙතේ
රන් නෙළුම් මල් පාවුණා
දිස්නෙ දෙන සඳ
රැස් දියේ අතුරා තියා…

ගී පද  : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : මොහොමඩ් සාලි
ගායනය : ජී. එස්. බී. රානි පෙරේරා සහ මොහිදීන් බෙග්
——————————————————————————————–
ඉගිල්ලී වහා යන්නට ඇගේ පැල සොයන්
කුරුල්ලෝ ඔබේ පියපත් යුවළ මට දියන්
අනන්තෙට පවා පියඹන ලොවේ සිව් කොනේ
සුළං කුමරියේ ඇගෙ හඬ අරන් එනු මැනේ

ඇගෙ දෙනෙත් ලෙසින් නිල් බර දසුන දැනේවා
තරු දෙකක් මගේ දෑසට හැම රැයේ පෙනේවා

ඇගේ සොමි වතේ පිළිරුව නිති සිහිවෙද්දෙන්
නිශා කලේ හැමදාකම හඳ පායද්දෙන්

කල්පනා බරින් නොපිරී නොගොස් දස අතේ
ඉන්න මා ළඟින් ඇය සිහි කර දිදී සිතේ

අනන්තෙට පවා පියඹන ලොවේ සිව් කොනේ
සුළං කුමරියේ ඇගෙ හඬ අරන් එනු මැනේ

ගී පද : කරුණාරත්න අබේසේකර
සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: මිල්ටන් පෙරේරා
——————————————————————————————–
ඔබේ ප්‍රේම නගරේ
තැනූ ප්‍රේම මැදුරේ
නවාතැන් සොයා පැමිණි මා
ගියේ ඇයි ද හැරදා දමා…

අමා ගීතයක් වී ඔබේ ගී පොතේ
පෙරා මිහිර පිර වූ හදේ මී විතේ
ඔබෙන් හමු නොවේ දැන්
එසේ වුව ඔබෙයි මම්
එදා මෙන් සදා මිහිරියේ…

සඳේ සීත කැල්මයි ඉරේ රාෂ්ඨයයි
සමානයි ද නැහැ නේද රසවන්තියේ
සිතා කල්පනාවෙන්
සිනාවෙන් දයාවෙන්
රැඳේවා මගේ හදවතේ…

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: මිල්ටන් පෙරේරා
——————————————————————————————–
ඈත එ පිට දුර ආකාසේ
වලාකුළුවලින් රිදී
බලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ

මගෙ දෑසේ ආලෝකේ දීලා
උතුරාවි ඒ රශ්මි මාලා
පුරවන්න මේ පාළු ජීවේ
පායන්න රන් තාරකාවේ

රෑ මෙන් ම දහවල් මුළුල්ලේ
ඒ තරුව හිනැහී නිදැල්ලේ
මගෙ ජීවිතේ මල් කැදැල්ලේ
දිලිසේවි නො නිවී තුරුල්ලේ

ගායනය – මිල්ටන් මල්ලවආරච්චි
ගී පද – කරුණාරත්න අබේසේකර
සංගීතය – මොහොමඩ් සාලී
——————————————————————————————–
ටිකිරි මැණිකෙ ඇඹුල ගෙනැල්ලා
ගොවිරාළ ගොඩට ඇවිල්ලා…

ගලන දොළෙන් ඇඟ සෝදාලා
කිරල ගහේ හෙවනට වීලා
නෙළුම් කොළේ එතන තියාලා
ටිකිරි මැණිකෙ ඇඹුල බෙදනවා…

නියර දිගේ ගොවියෝ එනවා
බෙදන ඇඹුල රස කර කනවා
ඔමරි හිනා හඬ පැතිරෙනවා
මුළු ගමට ම කිරි ඉතිරෙනවා…

ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: මොහිදීන් බෙග්
——————————————————————————————–
කඳුළු පිරුණු දෑසේ ඇඟිළි තුඩු තබා
පිසදා සිනා සී පිපි ලා මලක් සේ
සිනහසෙන්න මැණිකේ

රෑ සීත ඈතින් ගලා ලා
වෑහේවි සඳකැන් නුරා
මා හා රැඳී ලා අත්වැල් බැඳී ලා
ඉන්න මහද සෙවණේ

පාවේව ඒ දුක් අතීතේ
ආලෝකෙ අලුතින් ලබා
මා හා දයාවේ මුතු මල් තලාවේ
එන්න යන්න රහසේ

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: ලක්‍ෂ්මන් රුද්‍රිගු

——————————————————————————————–
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහළම සතුටයි මෙලොවේ
සඳ කිඳුරියේ ඔබෙ පිය සෙවනේ
ලොව සොඳුරුය පින්බර ළඳුනේ
ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
ඇති ඉහළම සතුටයි මෙලොවේ….
මිහිරියෙ ඔබ අහසෙහි සඳු වේ
මගෙ සිතිවිලි එහි ඇති කඳු වේ
ඒ තරමට සෙනෙහස මතු වේ
නිහඬව නිදියයි සිත නතු වේ….
සපු මලේ පිපුණු තනි ඉත්තේ
මගෙ සුවඳ ද ඔබ අරගත්තේ
මතු දින මා පරවිය යුත්තේ
ඔබෙ මොළකැටි අත් යුග මත්තේ….
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: එච්. ආර්. ජෝතිපාල

——————————————————————————————–
මුළු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඇත්තද තාත්තේ . . .

කිව්වට ගුණ කඳ නැත නිම්මා
නෙත් දෙක වාගෙයි ඔබෙ අම්මා
වාසනාවන් . . .

වරදක් වී දඬුවම් දෙනදා
හොර බොරු නොකරනු දුව කිසිදා
නෑ කරන්නේ . . .

වරදට ආයුෂ අඩුයි ලොවේ
හොඳ පවතියි හැමදාම ලොවේ
හැබැයි හැබැයි . . .

මුළු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඇත්තද තාත්තේ

නැති බැරි අය හට පිහිට වෙනූ
ඇති තැන හැකි දෙය පිණට දෙනූ
ඒක එහෙමයි . . .

සැප මෙන් දුක ඉවසා ඉන්න
හිනැහී සිත සනසා ගන්න
හ හා හොඳයි . . .

මුළු ලොව ලැබුනත් වෙනස් නොවේ
මගෙ එක වස්තුව ඔබයි දුවේ
ඇත්තද තාත්තේ . . .

ගී පද – කරුණාරත්න අබේසේකර
සංගීතය – මොහොමඩ් සාලි
ගායනය  – මිල්ටන් පෙරේරා සමඟ දමයන්ති ඒකනායක
——————————————————————————————–
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
තොටියෙකි මා මේ සිතල වතුරේ
ඔරුවක පාවෙන රෑ ඝණ අඳුරේ
පායා එන්න සඳේ මට දී ආලෝකේ
පාළු වෙලා මගෙ ලෝකේ
ඕ ඇයි පාළු වෙලා මගෙ ලෝකේ

තෝරා දෙන්න වහා නැගෙනා මේ සෝකේ
පාළු වෙලා මගෙ ලෝකේ
ඕ ඇයි පාළු වෙලා මගෙ ලෝකේ
ඇගෙ තනිය මකා දී
ඇගෙ ඇසුර ලබා දී
සනසන්න හිතේ දුක පහ කරලා

මාගේ වෙහෙස නිවා සතපා හිනැහෙන්නේ
කවුද කියා නැත දන්නේ
ඕ කොයි කවුද කියා නැත දන්නේ
ජීවේ අඩුව මකා පුරවා සනසන්නේ
කවුද කියා නැත දන්නේ
ඕ කොයි කවුද කියා නැත දන්නේ
බත රසට උයාලා කොළ පතට බෙදාලා
ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා

ගායනය – මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය – කරුණාරත්න අබේසේකර
සංගීතය  – මොහොමඩ් සාලි
——————————————————————————————–
අම්මාගේ උකුලේ නැළවී
තාත්තාට සුරතල් වෙවී
පාසල් ගොසින් උදය කාලේ
පසුවීලා යයි මාගේ බාලේ

දෙගුරුන්ගේ අවවාද අසලා
අවුරුද්ද අවුරුද්ද ගෙවලා
ලොකු පොත් සොයාලා කියෝලා
ඉගෙනීම අවසාන කරලා

ලංකාව රට මා උපන්න
මගේ ජාතියේ නාමේ ගන්න
පුළුවන් තරම් වෙහෙසවන්න
පතමී හොදින් මා හැදෙන්න

ගී පද – කරුණාරත්න අබේසේකර
සංගීතය – මොහොමඩ් සාලි
ගයනය – දමයන්තී ඒකනායක
——————————————————————————————–
විදුලි දුම්රියේ චංචල නාදය
සවනත වැකෙන සඳේ…
කඳුළු පිරි දෙනෙතින් අතරින් මිහිරක්
මතුවිය සැලෙන හදේ…

සීත කඳුකරේ මීදුම අධිකයි
පමා වුණෙමි සොඳුරේ…
රූපවාහිනී අංජන රේඛා
නළඟන ඔබද ළදේ…

ආදර සුවඳින් දසතම මත්වෙන
වසන්ත සුළඟෙ හැපී…
සාගර ජල මත පාවෙන උයනේ
මී විත පුරමු අපි…

මිනිසා පළමුව සඳ තරණය කළ
විසිතුරු කතන්දරේ
දුර සඳ මඬලේ සිනමා මැදුරක
නරඹමු නිසංසලේ…

පාවෙන සඳකැන් සිසිලෙන් නෑවෙන
ආදර සඳුන් වනේ…
නරඹමු සුරඹුන් රඟදෙන රැගුමන්
පියඹන අවන් හලේ…

මිනිසුන් හෙට දින සොයමින් වෙහෙසෙන
පරසතු කුසුම් විලේ …
ජයපැන් තොලගා අමරණීය වන
කුමරුන් මමය ඔබේ….

ගී පද : දයානන්ද කුමාරසිරි
සංගීතය: මොහොමඩ් සාලි
ගායනය: රූපා ඉන්දුමතී සමග ලක්ෂ්මන් රුද්‍රිගු
——————————————————————————————–
වසන්ත දූතය වසන්ත දූතය
අරුමැසි හඬනගනා
ගයන්න ගීතය ගයන්න ගීතය
දෙසවන රස කරනා දෙසවන රස කරනා
පබාකුමාරියෙ පබාකුමාරියෙ
නොබා කැලුම් හෙලනා

අවන්පතින් මට පවන් සලනු මැන
ගිනිදන ගිම් නිවනා ගිනිදන ගිම් නිවනා
රසසිලිලාරය මදුරය මිහිරිය
හදවත මත තැවරූ
නගන්න මදහස පුදන්න සනහස
පෙරදින මට නුහුරූ
පබාකුමාරියෙ ……….

ඔබටම සීමිත සුමදුර ගීතෙකි
මෙය නැත පෙර ගයලා
එය සිතතුල මිස නොලියනු මියුලැස
පොත් ඉරුවක පෙරලා
වසන්ත දූතය……

ගායනය :රූපා ඉන්දුමතී/ලක්ෂ්මන් රුද්‍රිගෝ
සංගීතය :මොහොමඩ් සාලි
ගී පද  :කරුණාරත්න අබේසේකර
——————————————————————————————–
සඳකිරණින් පැළට ඔබේ එළිය වැටෙනවා
තුරු සෙවනින් මිදුල වටේ සුවය දැනෙනවා

කවුළුවකින් කුමරි ඔබේ මුහුණ පෙනෙනවා
මැදුර තුලින් සොඳුරි මගේ සැපත ගෙනෙනවා

මහ නිලයක බලතල ගැන මගෙ සිත හිඳුනා
නව රසයක සිත පිරිසිඳු පෙමකට හැරුනා

සිටු පවුලක කුමරියෙ ඔබ ගැන බිය තිබුනා
අඩු කුළයක ඉපදුනු මට ඔබෙ අත ලැබුනා

සිටුවරු රජවරු කුළවතු අප දෙස බලලා
හිනැහෙයි අද අපහට උන් කුළ-මළ ඇදලා

එක හිත වගෙ දුක සැප දෙක එක ලෙස සලකා
අත් වැල් බැඳ මහ මග බැස යමු අපි දෙදෙනා..

ගී පද – විමලදාස පෙරේරා
ගායනය – ලතා දිසානායක සහ මිල්ටන් පෙරේරා
සංගීතය -මොහොමඩ් සාලි
——————————————————————————————–
එක ගගක ඉවුරු දෙක කවදා
කොතැන මුණගැසේදෝ
එහි ගලන ජලය හෙට වියළී
මගදි නතරවේදෝ…….

අඩනින්දෙ දුටුව මල් සිහිනේ
දිනෙක සැබෑවේදෝ
සැඩ සුළගෙ දැල් වූ රං පහනේ
එළිය යළි නිවේදෝ

අද දකින දෙතරු නිල් අහසේ
හෙටද මට පෙනේදෝ
ඔබෙ සමරු පොතෙහි කොළ පෙගිලා
සිතුවම් බොදවේදෝ…..

ගී පද :කරුණාරත්න අබෙිසේකර
සංගීතය:මොහොමඩ් සාලි
ගායනය:‍රූපා ඉන්දුමතී
——————————————————————————————–
මදුමල ලෙස මුදු මගේ ප්‍රියාදර
මිහිරාවිය වෙතටයි
ඔබ සිහි කරකර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි

අපමණ සිතුවිළි බිහිවී තෙරපී
එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන්ගෙන මොනව ලියන්නද
නැතමට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ
පරවි රැජිනියේ එදාවගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි….

හිතගොළුවෙනවා අත වෙව්ලනවා
හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොළයට මුහුණ යොමනවිට
නෙත්දෙක පියවෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ
පරවි රැජිණියේ එදාවගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි….

ගායනය :මිල්ටන් මල්ලවාරච්චි
ගී පද  :කරුනාරත්න අබේසේකර .
සංගීතය :මොහොමඩ් සාලි .
——————————————————————————————–
ඔබ කොහෙදෝ අද කෝ කොතැනේ
කා සොයා කොයිබ දෝ පිය මැන්නේ
දිව රෑ නොබලා සොඳුරේ
දිව රෑ නොබලා සොඳුරේ…

ඔබ කොතැනේ මගෙ ලොව එතැනේ
ආදරේ සිත පුරා උතුරන්නේ
ඔබගේ සෙවණේ මිහිරේ
ඔබගේ හෙවණේ මිහිරේ…

කූඩුව දාලා…
ළා දළු අතරේ කූඩු වූ කුරුල්ලන්…
වන අරණේ ගඟ බඩ ඉවුරේ
රස ගීත ගයා මුළු ලොවම අසා වී
ඈ මාගේ සහකාරී
සතුටේ කඳුළේ යා වූ
සතුටේ කඳුළේ යා වූ…

ජීවිත කාලේ…
හදවත යා වූ ආදරෙන් පැතූ අත
හිමි සඳුවේ ඔබ හිමි සඳු වේ
බවකතර දරා මා ආවෙමි මිහිරේ
ජීවිතේ මධු දැහැනේ
ආදරයේ සුව යහනේ…

ඔබ කොහෙදෝ අද කෝ කොතැනේ
කා සොයා කොයිබදෝ පිය මැන්නේ
අද කෝ කොතැනේ සොඳුරේ…
ඔබගේ හෙවනේ මිහිරේ…

ගායනය : වී වර්ධරාජා සහ සුජාතා අත්තනායක
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : මොහොමඩ් සාලි
——————————————————————————————–
පෙරපර දෙදිගම මුළු මහ දෙරණෙ
එකමෙක විශ්මිත රුවනාරයි
උදාගිරෙන් හිරු උදාව එනතුරු
හෙළදිව ඔබහට මට බාරයි

වට ඇති සමුදුර බැම්මෙන් එපිටට
අඟළක් අප හට හිමි නැත්තේ
පැතුම් පතාගෙන බිහිකළ මව මෙන්
දිනු බිම ඔබ රැක ගත යුත්තේ

දෙදහස් පන්සිය වසරක ඉතිහස
කලු මැද මැද සිට පලක් නැතේ
මිලාන මවුබිම සුවපත් කළහොත්
මුතු උපදී ඔබෙ සොහොන් කොතේ

ගායනය් – ලක්ෂ්මන් රොද්‍රිගෝ /රූපා ඉන්දුමතී
ගී පද – කරුණාරත්න අබේසේකර
සංගීතය – මොහොමඩ් සාලි
——————————————————————————————–
රන් ඇට පොට රිදී හවඩි කොහෙන් ගෙනෙන්නේ
මල් වැල් ඉහිරුණු චීත්ත කොහෙන් සොයන්නේ
රෑන් රෑන් දිගට හවරි කොහෙන් ලබන්නේ
ආදරයක් පොදී බැඳගෙන මොටද උපන්නේ …

ඈත එපිට ලන්දෙ ඉඳන් මුකුළු කරනවා
ඇගේ රුවට දෙවට දිගේ කැකුළු පිපෙනවා
මා තනිවම ඈ තනිවම දෙතැන තැවෙනවා
ඇගේ මුව හසරැලි බලන්න යන්න හිතෙනවා ….

නියර දිගේ නිතඹ සැලෙන රුවක් පෙනෙනවා
ගොයම් කරල් ලජ්ජාවෙන් බිමට හැරෙනවා
දියට ගොසින් දිය නාගෙන මදෙස බලනවා
ආදයරක් ඉවසන හැටි පුදුම හිතෙනවා …

ඕවිට ළඟ කෙකටිය මල් පියර හලනවා
ඇගේ පලට සමීරයෙන් සුවඳ ගෙනෙනවා
තනිකඩ ජීවිතය මගේ සිහින මවනවා
අත්වැල් නැති ආදරයක් මට හිමිවෙනවා …

ගායනය – එච් ආර් ජෝතිපාල
ගී පද – ජෝජ් ලෙස්ලි රණසිංහ
සංගීතය – මොහොමඩ් සාලි
——————————————————————————————–
හෙළ ජාතික පියුම් විලේ සුවඳ කැකුලු මල් වැනී
අතමිට මොලවා සුරකින දෙය මොනවද දරුවනේ
සව්සිරියෙන් සපුරන්නට උදාවන අනාගතේ
රන් මිණි මුතු වැනි අදහස් ඇත මිට මොළවා අතේ

රට අදිරදවාදෙන් මුදා නිදහස් සුව වලඳවා
ලංකා මව හිනැහේ තොල් පෙති මදහස රැළි මවා
දෑ අභිමානය අනුරාගය බිහිකල හදතුලේ
අනගාරික ධර්මපාල හිමි සමරමු සින්හලේ

පුරන් අප්පු කැප්පෙටිපොල ගුණානන්ද හිමි එදා
පෑ විකුමන් ලියැවී ඇත ලක් ඉතිහාසයෙ මෙදා
ගංගාවක් යයිසිතා ල සත්සයුරක් වූව පුතේ
රට ජාතිය සුඛිත කරමු නොඉඳින්නට හාමතේ

ගායනය -අයිරින් ද අල්විස් / ලක්ෂ්මන් රුද්‍රිගෝ
ගී පද – හේම ශ්‍රී ද අල්විස්
සංගීතය -මොහොමඩ් සාලි
——————————————————————————————–
පෙමවත තරහා වෙලා
නිහඩව ඉන්නේ ඇයි
ඔබගේ නපුරු කමට
මා සිත තනි කම රන්දා ….

පෙමවත තරහා වෙලා
පෙරදා බැඳුනු සෙනේ
අඩුවක් නැ මෙතෙක් වුනේ
පෙම්බර හිමියනි මාගේ
මා සිත රිදවන්න එපා
නෙතු කඳුලැලි පුරවන්න එපා …

කඳුලක දුක රඳවා
ඔබ අද යහනයට වැදී
මියුරස ශිනයෙන් මගේ
මා සිත රිදවන්න එපා
ගොළුවත රකිමින් ඉන්න එපා …

ගායනය – සුජාතා අත්තනායක
ගී පද – සුනිල් ආර් ගමගේ
සංගීතය – මොහොමඩ් සාලි
——————————————————————————————–
ආලෙහි බැඳී ජිවිත අඳුරෙහි ගැලේවි
සැමදාම ලොවේ නැහැ සැප
ශෝකයම සදාවී ආලෙහි බැඳී….

ලැබූ ජිවිතේ සුළු දේකි ඔබේ ඇයි රස වින්දේ
වැනසී යන මායාවකි එය නොලැබෙයි දුන් දේ
පුදුමේකි රජුන් කිවිඳුන් පඩිඳුන් හා සමගා
දන නමැති ලොවේ මේ බිහිසුණු ආලය හින්දා …
මේ ආලය හින්දා …

ඉරි තැලුණු හැදින් වැගිරුණු ලේ බිඳුවැල් මත හා
කෝ සොඳුරු බවක් මේ ප්‍රේමය මුසුවුන තැන හා
මේ ආලයමයි කෙනෙකුගේ සුර සැප ගෙන දෙන්නේ
මේ දේම තමා ජිවිත ගණනක් වනසන්නේ ..
ජිවිත වනසන්නේ …

ගායනය – මිල්ටන් පෙරේරා
සංගීතය -මොහොමඩ් සාලි
ගී පද – ඇලෝයි ගුණවර්ධන
——————————————————————————————–
සඳුන් ගසක එති සමන්ලතාවක මල් පරවී යනවා
ඔබේ නමට පිදු මගෙ හදවත්මල තවමත් පිබිදෙනවා
මගේ හද තවමත් බැබලෙනවා
ආදර නදියක පැදගිය ඔරුවක් කුනාටුවක වැදුනා
සමාජයේ කරදර හිරිහැර මැද මිහිර පතුලෙ ගිලුනා
ඔබේ නම නොමැකෙන ලෙස ඇඳුනා

සිතුදේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි
කියන දහම විලසේ
මිණිමුතු පැතුමට ලැබුනද ගල්කැට
නොලැබී මා සිතුසේ
මමයී ඔබේ හිත ඔබ මාගේ අත
කියා එදා කීවා
හිරුට පියුම ලෙස මුහුදට සඳ ලෙස
කියමින් රැවටෙව්වා අනේ සුදු ඔබ මා රැවටෙව්වා

ආලය පිලබද නොමැකෙන සටහන්
ඇත මගෙ සොඳුරු ළයේ
මා ළය ඔබ වෙත තිබු සෙනෙහස ගැන
අටුවා මොටද ප්‍රියේ
නොලැබෙන දෙයකට හඩා පලක් නැත
මම මෙහි සැනසෙන්නම්
සුදු ඔබෙ නාමෙන් හොදනම රැකගෙන
මම හැමදා ඉන්නම්
මෙසේ මා ගී ගයමින් ඉන්නම්

ගායනය – මිල්ටන් පෙරේරා
සංගීතය -මොහොමඩ් සාලි
ගී පද – ලලිත් එස්‌ මෛත්‍රිපාල

——————————————————————————————–
ඇස රැඳුන රැඳුන තැන්වල
මුව මඬල හිනැහුණා
ඔබ මතක නැති කරන්නට
මට මතක නැති වුණා

දුක් පැදුර දිගැර අලසව ඇත
හද ගිමන් හලේ
නින්දකට නොවැටි තැවි තැවි
මුළු රැය පහන් කළේ

රෑ කවුද හෙමින් එළැඹී මගෙ
කනට මුව තියා
මින්දදගේ දුන්නෙ මල් හී
පහකැයි කියා ගියා

වැසු විමන් පියන් පියවා
රඳවන්න මට හිතයි
උඩු හිතට වැඩිය ඔබ ගැන
විමසන්නේ යටි හිතයි

ගී පද – කරුණාරත්න අබේසේකර
සංගීතය – මොහොමඩ් සාලි
ගායනය – මිල්ටන් පෙර්රා
——————————————————————————————–
නිසසල හදවත සසලව කැළඹෙයි ගත සිත අවිවේකයි
සසිකාමිණියේ මටම නොතේරෙන එකම රහස මේකයි

දහසක්‌ දෙන මැද රසතැන් මුසුවෙන ගීතනු ලියැවෙනවා
මියුලැස්‌ පරදන ඔබේ ඇස්‌ අභියස මගෙ දිව ගොත වෙනවා
තෙරපෙන සිතුවිලි පටලැවි බිඳි බිඳි මුනිවත ගිලිහෙන්නේ
එහි නැත අරුතක්‌ වදන් වැලක්‌ මිස ඇයි මා ගොළුවෙන්නෙ

සැතපෙන යාමෙදි යටිහිත අවදිව ඔබ සිහිගංවනවා
කුටියෙහි සරතැස රැවැති විමන් ලෙස හසරැලි නංවනවා
දෙසවන් සනහන ඒ ලෙංගතු හඞ දෙසවන් වෙත එද්දෙන්
දෙනයන කළ පින් දෙනයන පිනවන ඔවු මට පලදෙද්දෙන්

ගී පද – කරුණාරත්න අබේසේකර
සංගීතය – මොහොමඩ් සාලි
ගායනය – එච්.ආර් ජෝතිපාල

——————————————————————————————–
ප.ලි
අපේ රටේ හිටිය තවත් වටිනා කලාරුවෙක් ගැන කෙටි සටහනක් .මෙහි අඩංගු විස්තර ගොඩක් ගත්තේ සුනිල් ආරියරත්නගේ “ගාන්ධර්ව අපදාන “පොතෙන් .අපි නිතරම රස විඳින ගීත බොහොමයක තනු රචකයා සාලි මාස්ටර් වෙන්න පුළුවන් .මෙතැන සාලි මාස්ටර්ගේ ස්වතන්ත්‍ර ගීත වගේම අනුකාරක ගීතද පල කරලා තියනවා .

සියළු හිමිකම් බ්ලොග්කරු සතුය.

https://sinduano.blogspot.co.uk/

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල