විවිධාංග

අයියෝ සිරිසේන….සිරිසේනට යන්න උනාය…!

Off

සිරිසේන ආයෙත් ඇවිත්…….!

වැරෙන්ඩා එකේ හාන්සිපුටුවෙ පයිප්පේ ඇද ඇද ඉන්නකොට ඉස්සරහා පැත්තෙන් ඇහුනේ මහත්තයෝ කියන හඬ….ඒ සිරිසේනගේ..

සිරිසේන වත්තට හඳුන්නලා දුන්නේ රිටි වලින් පොල් කඩන රංජිත්..ඒ මීට පොල් මුර දෙකකට විතර කලියෙන්…ඒ කියන්නේ මාස හතරකට එහා වෙන්න එපැයි…!

“මහත්තයෝ…

“කොහොමෙයි සිරිසේන ..දැන් සනීපය…”

“හා …දැන් සනීපයි මහත්තයො..සිංහල බෙහෙතුත් ගත්තා අර අපරැක්කේ වෙදෙක්ගෙන්..මාතර ඉස්පිරිතාලෙන් කිව්වා තව එක පාරක් බෙහෙත් බිව්වම හරිය කියලා..මට දැන් වැඩ කරන්න ඇහැකි..”

“ඔහේට මක්කැයි ඇත්තටම උනේ සිරිසේන..”

“මෙහෙමයි මහත්තයෝ…මම හැමදාම තුනහමාර වෙනකොට නානවා…( හෑ ඒ කියන්නේ මේ මනුස්සයා කිසිම වැඩක් කරන්නේ නෑ කියන කථාව ඇත්ත..තුනට නාන්නේ කොහෙමෙයි පහ වෙනකන් වැඩකරනෑයෝ…)..එදා මම නානකොට මට වෙන කවද්දවත් නොදැනිච්ච ගායක් දැනුනා වම් අතේ..මේං මෙහෙම උඩට උස්සන්න හැදුවා හ්ම්හු..බෑ…වම් කකුලත් හොල්ලගන්න බෑ බෑ වගේ උනා..මම ඔලුව අල්ලලා බැලුවා..ගානක් නෑ…දකුනතින් වතුර කරාමේ වහලා..තෙත සරම හිමීට බිමට වැටෙන්න ඇරියා…සරම ඇඳගන්න හැදුවට බැහැ වගේ…බිම වාඩිවෙලා ඔලුවෙන් දාලා සරම ඇඳගෙන අල්ලගෙන අල්ලගෙන අතගාගෙන දනගාගෙන ගියා වැට දිගේ පන්සලට…”

( මේ මනුස්සයා කියන විදියට මීටර් දෙසීයක් විතර දුරක් ගිහින් නේ…)

“කොහෙන්ද පන්සලට ගියේ..”

“ඉස්සරහින් මහත්තයෝ ..ගේට්ටුව ඇරලා නේ තියෙන්නේ..මම වැට අල්ලගෙන ගියා…ගිහින් පොඩි හාමුදුරුවන්ට කිව්වා…මට ටිකක් අමාරුයි, වීල් එකකට කතා කරන්නය කියලා..ඊට පස්සේ ඒ ආපු වීල් එකේම ආපහු වත්තට ඇවිත් හාමුදුරුවන්ට කිව්වා මගේ කොට්ටෙ යට තියෙන සල්ලි වලින් පන්සීයේ කොළයක් මගේ සාක්කුවට දාලා ඉතිරි සල්ලි තියාගන්නය, මම ආපහු ආවාම ඒවා බේරගමුය කියලා..වීල් එකේ ලමයාට කිව්වා මාව රදම්පොල ඉස්පිරිතාලෙට ගෙනියන්නය කියලා…එතන හිටිය දොස්තර මහත්තයා මාව බලලා ඇම්බූලන්ස් එකට කතාකරලා මගෙන් ඇහූවානගින්න ඇහැකිද කියලා..මම හා කිව්වා..ඒපාර මාව ගෙනිච්චා මාතරට…දවස් දෙකක්ම ඉන්න උනා මාතර…”

“ඔය සුරුට්ටු අරක්කු බොන එක නවත්තන්න කිව්වේ නැද්ද දොස්තරලා..”

“කිව්වා..ඒ ගොල්ලෝ ඒ කියන්නේ පුරුද්දටනේ මහත්තයෝ..මට උනේ මේ කසිප්පු නැති වෙච්ච එකනේ…කසිප්පු තමයි මේ ලෙඩේට බෙහෙත..මට කිව්වේ අර රත්නපුරේ දොස්තර මහත්තයා..මහත්තයා දන්නවත් ඇති අර මාරපන් වලෙව්වෙ ලොකු දොස්තර මහත්තයා..එයා තමයි කොළඹ මහ ඉස්පිරිතාලේ ලොක්කා..එයා කිව්වේ මේකට..අර මහත්තයෝ සිංහලෙන් කියනව නේද පඩ යනවය කියලා..ලොකු දොස්තර මහත්තයා මගෙන් ඇහුවා පඩ යන්නේ නෑ නේද කියලා..මම නෑකිව්වා…කසිප්පු බීපු හැටියේ හෝ ගාලා යනවානේ මහත්තයො..එතකොට ඉහෙන් බහින ලෙඩක් නෑ..මේ ලෙඩේ පටන් ගත්තේ අර මිල්ලගස් ආර පන්සල ඉස්සරහ තියෙන අක්කර පහේ මුර කරනකොටනේ..කැකුනදුරේ කසිප්පු විස වෙලා අර ගොඩාක් ඈයෝ මැරුනැයින් පස්සෙ කසිප්පු නැති උනා.ඉතින් මම අරක්කු බිව්වා..එදා ඉඳන් ලෙඩ මහත්තයෝ..”

“සිරිසේනට දැන් වයස කීයද..? ”

“72ක් නේ දැන්….”

හදිසියේම කතාව නැවැත්තූ සිරිසේන ලොකු කල්පනාවකට වැටුනා…මේ මනුස්සයා හරිම අද්භූත චරිතයක්..මම ඉස්සරවෙලාම කථා කරපු දවසේ ඒ කියන්නේ වැඩට ඇවිත් සුමානෙකට විතර පහුවෙලා ගේට්ටුව ගාවදි හම්බවෙලා මාත් එක්ක ඇවිදගෙන ආවා..අමුතුම ශාන්ත කමකුත් ඒ වගේම භයංකාර නිශ්ශබ්ද කමකුත් ඇති සිරිසේන කා සමගවත් වැඩි කතාබහක් කලේ නෑ…එකම වේගයකින් බිම බලාගෙන ඇවිදින ඔහු කිලෝමීටර් තුනක විතර දුරින් තියෙන රත්මලේ හංදියට ඇවිදිනවා අරක්කු රුපියල් සීයක බොන්න..ආපහු එනකොට ආයෙත් අරක්කු තිබහ හැදෙනවා ඉතින්…මුරකාර රස්සාව කෙසේ වෙතත් දවසේ වැඩි හරියක් සිරිසේන පාරේ…මේ ගතිගුන නිසාත්, ඈතදීම සෙරෙප්පු ගලවා මා ලඟට ඇවිදගෙන ඒමත්, කිසිමදාක කසාදයක් දරුමල්ලෙක් නොවුනු එකත් නිසා මට හිතෙන්නෙම මේ මනුස්සයා හිටපු හාමුදුරුකෙනෙක්ද කියාය. එදා ගේට්ටුව ගාව ඉඳන් ඇවිදගෙන එන ගමන් මම ඇහුවම දරුමල්ලො ඉන්නවද කියල සිරිසේන කිව්වේ, ගෑනු මට අකපැයි මහත්තයො..ඕවා හරි කරදර හිතුවිලි කියලා..මාර කථාවක් ඒක…

“මහත්තයො මට රස්සාවක් දෙනවද..?”  එක පාරටම එහෙම අහපු සිරිසේන පලමුවෙනි වතාවට මගේ මූණ බැලුවා…

“සිරිසේන ඊයේ  රෑ කොහෙද හිටියේ…”
“කඹුරුගමුවේ අපේ මලයගේ අහ…එහෙ ඉන්න බෑ මහත්තයො..මලයා මගේ උනාට ඔය ගෑනු කියනවනේ ඔය ඉතින් මැරෙන්නය අපේ ගෙදර ආවෙ කියලා…මට ඔය ගැනුන්ගේ කථා අහන්න බෑ මහත්තයො…මට රස්සාවක් දෙන්න පුලුවන්ද කියන්න මහත්තයාට..?”
“රස්සාවක් කරන්න ඉස්සර වෙලා ඔය වයසට පරිස්සම් වෙන්න ඕනි නේද සිරිසේන..තනියම මේ වතු මැද ඉන්න හොඳනෑ නේ ද…එදා හාමුදුරුවො නොහිටියනං..?”
“මට තැන් දෙක තුනකින් කථා කරලා තියෙනවා, මම එහෙනම් ඒ තැනකට යන්නං මහත්තයෝ….මට එක උදව්වක් කරන්න ඕනි මහත්තයා..”
“මොකක්ද සිරිසේන කරන්න ඕනි…?”
“මම දන්නේ නෑනේ මහත්තයෝ මෙහෙ වැඩ කොරන කට්ටියගේ නම් ගං..අර හීන්දෑරි.. මැසිමෙන් කැලෑව සුද්ධ කරන හාදයා, එයා මගෙන් එක දවසක් රුපියල් පන්සීයක් ඉල්ලගත්තා, තව දවසක් මහ හදිස්සියෙන් වගෙ ඇවිත් රුපියල් දාහක් ඉල්ලගත්තා, මහත්තයා ඒ එකදාස්පන්සීය මට දීලා ඒ හාදයගෙන් ඒ සල්ලි ඉල්ලගන්න..ඒ උදව්ව කරන මහත්තයො මට..”
“අර ට්‍රැක්ටර් එක එලවන කෙනාද..එයා අන්න එහා පැත්තේ අද පොල් කඩන තැන ඉන්නවා..සරත් මහත්තයාත් එතන ඉන්නවා..ඉස්සරවෙලා ගිහින් සරත් මහත්තයා ඉස්සරහා ඒ හාදයාගෙන් ඔය ගනුදෙනුව බේරගන්න හැටියක් කතාවෙලා එන්න එතකොට සරත් මහත්තයා සල්ලි ගෙවාවි සිරිසේනට..”
“ඒකට මහත්තයෝ එයා කියාවිනෙ සල්ලි හෙට ගෙනත් දෙන්නංය අරකය මේකය කියලා..”
“එක තමයි සිරිසේන මම කියන්නේ සරත් මහත්තයා ඉස්සරහා ඔය කතාව කතා කරගත්තම ඉවරනේ කියලා..යන්න දැන් ගිහින් ඒක් කරගෙන එන්න..”
“හොඳමයි මහත්තයෝ..”
ඈතට ඇවිදගෙන යන සිරිසේන…!
මගේ හිත තාමත් තෝන්තුවෙලා වගේ…ලංකාවට ආවාට පස්සේ අත්දැකපු දේවල් වලින් මගේ යන්තං හරි ගෑවිලා තිබුන මනුස්සකමට හෙන ගැහිලා….මම කියලා මොනාකරන්නද…මේ මනුස්සයාව මට බලාගන්න බැහැ…සල්ලි දුන්නාය කියලත් වැඩක් නැහැ..රස්සාවක් දෙන්නත් බැහැ අංශභාග රෝගියෙකුට…කාගෙද වගකීම…මට මේ වැරැද්ද හදන්න බෑ..හදන්න කියන්නත් එපා….!

ප.ලි.-මේ සිරිසේන ජීවත්වෙන්නේ දකුණුපලාතේ ඌරුගමුවෙ දන්දෙනිය ග්‍රාමයේ…පොලොන්නරුවත් එක්ක කිසිම සම්බන්ධකමක් නැත…ශිෂ්‍යත්වය පාස්දැයි නොදනිමි..!

-සියලු හිමිකම් බ්ලොග්කරු සතුය

http://chef-archiect.blogspot.co.uk/2016/10/blog-post.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල