දේශපාලන

යුධ වීරයන්ට අනදර කරන යහපාලන දේශද්‍රෝහීන්

Off

ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නැඟුණු අල්ලස් චෝදනාවකට නඩු පැවරී පලමු දිනයේදීම ඇප ලැබිණි. ඔහුගේ නඩු දිනයේ නීතීඥයන් විශාල පිරිසක් අධිකරණ ශාලාවට පැමිණ සිටියහ. සමහරුන් ෆේස්බුක් සහ අනිකුත් සමාජ මාධ්‍යවල සටහන් තැබුවේ යුද්ධය ජයග්‍රහණයට උරදුන් වීරයා අල්ලස් චෝදනාවකට ලක් කිරීම යහපාලන රජයේ පළිගැණීමක් බවත් කවදාවත් දමිල ජනතාව ප්‍රභාකරන්ව මෙවන් පලිගැනීමකට ලක් නොකරන බවත්ය.

මෙසේ තර්ක කරන අයට අනුව යහපාලනයට ඡන්දය දුන් අය, එම රජයට සහයෝගය දක්වන මෙවන් යුධ වීරයන්ට ‘කරදර’ කිරීමෙට පංගුකාරයන් බවත් එම නිසාම ඔවුන් දේශ ද්‍රොහීන් බවත්ය. පළමුවෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ ඔහුගේ සොයුරු හිටපු ජනාධිපති මහින්ඳ රාජපක්ෂ මහතාගෙන් යුද්ධය අවසන් කිරීමට  ලැබුණු දායකත්වය සුළුපටු නොවන බව හැමෝම පිළිගනිති.  මගේ විශ්ලේශණය අනුව ලෝකයේ ඇති ඉතා කුඩා රටක් වන ලංකාව ගැන ලෝක ජනමතයෙහි වැදගත් බව සහ වටිනාකම නොතේරුණු ජනාධිපතිවරයෙකු බලයේ සිටීම යුද්ධය අවසන් කිරීමට විශාල පිටිවහලක් වූ බව පිළිගත යුතුය. එමෙන්ම ආරක්ෂක ලේකම් ලෙස සිටි අය එම ජනාධිපතිගේ සොහොයුරෙකු  වීමත් ඔහුත් කලින් සිටි හමුදා නිලධාරියෙක් වීමත් මෙම ජයග්‍රහණයට හේතු විය. එවකට හමුදාපති තනතුරේ නොසිටි කොටින් සමඟ යුද්ධය ජයග්‍රහණය කිරීමට දක්ෂ  සරත් ෆොන්සේකා මහතා හමුදාපති කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතා  කල දෙයක් බවත් රහසක් නොවේ.

මෙහිදී අන්ධ අනුගාමිකයන් සහ බලය වෙනුවෙන් ව්‍යාජ දේශමාමකත්වය විකුණන පිරිසට නොපෙනෙන කරුණු කිහිපයක් තිබේ. යුද්ධය අවසන් කිරීමට මීට කලින් සිටි ජනාධිපතිවරුන් වන ජේ ආර් ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, සහ චන්ද්‍රිකා බණ්ඩාරණායක වැනි අයටත් විශාල ඕනෑකමක් තිබිණි. එසේ නොවීමට බලපෑ හේතු විශාල සංඛ්‍යාවක් වෙනස් වූයේ රාජපක්ෂවරුන්ගේ විශේෂ දක්ෂතාවයක් නිසා නොව රටේ වාසනාවකටය. යුද්ධයක් දිනීම පසෙකලා යුද්ධ කිරීමටවත් ඕනෑකමක් නොතිබූ ජනාධිපති කෙනෙකුගේ කාලයේ එය සිදුවූයේ එකිනෙකට සම්බන්ධ වෙනත් හේතු රාශියක් රටේ වාසනාවට එක පෙලට හරි යාම නිසාය.

ජේ ආර් ජයවර්ධන මහතාට 1987 දී යුද්ධය ඉවර කිරීමට බොහෝ ඉඩ තිබිණි. වඩමරච්චි සටන තව මාසයක් ඉදිරියට යාමට හැකියාවක් තිබුණා නම් මෙම යුද්ධය අවසන් වෙන්නේ 1987 දීය. ඉන්දියාවේ දරුණු බලපෑම නිසා එක කල නොහැකි විය. එයට හේතුව ඉන්දියාවේ සමාජවාදී අර්ථික ක්‍රමය ප්‍රතිවිරුද්ධ එවකට රටවල් කිහිපහයක අති සාර්ථක වූ වෙලඳ පොල ආර්ථික ක්‍රමය ලංකාවේ හඳුන්වා දීම නිසා සහ ඔවුන්ගේ මිත්‍ර සිරිමා බණ්ඩාරණායකට විරුද්ධව ක්‍රියා කල රජය මට්ටු කිරීමට ඔවුන්ම කිරිපොවා අයුධ දී , පුහුණුව දී ගොඩ නැංවූ ත්‍රස්තවාදී  සංවිධාන පහ (EPRLF, TELO, EROS, PLOTE & LTTE ) විනාශ වීම වැලැක්වීමටය.එම අවස්ථාවේ රාජපක්ෂ වැනි රාජ්‍ය තාන්ත්‍රිකයෙක් නොවුන ජනාධිපති කෙනෙක් සිටියා නම් එදා රට දෙක කැඩී යාමට ඉඩ තිබිණි. එම කාලයට ආසන්නම දෙකට කැඩුණු රට වූයේ සයිප්‍රසයයි. එය හැදුණේ ග්‍රීසිය විසින් තුර්කිය ආක්‍රමණය කොට ග්‍රීක් සම්භවයක් ඇති තුර්කියේ කොටසක් කඩා නව රටක් බිහි කිරීමයි. දෙමල බෙදුම්වාදීන්ද ඉන්දියාවෙන් බලාපොරොත්තු වූයේද එයයි. එවන් අවස්ථාවකට රට පත්කිරීමට ඇතිවූ අකමැත්ත මත ඉන්දියාව සමඟ සාම ගිවිසුමකට එලඹීමටත් යුද්ධය කිරීම ඉන්දීය හමුදා වලට පවරන්නටත්  ජේ ආර් ජයවර්ධන පෙලඹුනේ රාජපක්ෂ වාදීන් කියන්නාක් මෙන් කොන්ඳ පණ නැති කමක් නොව විය හැකි වූ ඉන්දීය ආක්‍රමණයක් වලක්වා ගැනීමටය.

ජේ ආර් ගේ සාම ගිවිසුමෙන් ලංකාවට ආ ඉන්දියානු හමුදා කොටි සංවිධානය සමඟ යුද්ධයකට ඇවිලීම නිසා ඔවුන් කල විශාලතම මෝඩකම කරමින් රජීව් ගාන්ධි ඝාතනය නොකරන්නට එල්ටීටීයී සංවිධානය නැති කරන්නට ඉන්දියාවේ සහ රෝ ඔත්තු සේවයේ සහයෝගය කිසිදාකවත් නොලැබෙන්නට ඉඩ තිබිණි. ඉන්දියාවේ සහයෝගය නොවන්නට මෙම යුද්ධය කිසිදිනක අවසන් නොවේ. ඉන්දියාවම එලිපිට පිළිගන්නවාට වඩා සහයෝගයක් ඉන්දියාවෙන් ලැබුණි. එය ප්‍රසිද්ධියේ කලා නම් ඉන්දියාවේ ජනගහනයෙන් 20% ට වඩා ජීවත්වන තමිල්නාඩුවේ විරුද්ධවාදීකම් වලට ඔවුන්ට මුහුණ දිය යුතු වේ. ජාත්‍යන්තර තල වලදී ලංකාවට එරෙහි යෝජනා පරාජය කිරීමට තිරය යට විශාල වැඩ කොටසක් කිරීමට අමතරව වෙනත් බටහිර රටවලට සිදුවුණාට වඩා බලපෑමක් කිරීමට ඇති හැකියාව ඉන්දියාව විසින් අහුරණ ලදී. එමෙන්ම යුධ ජයග්‍රහණයට විශාල හේතුවක් වූ කොටින්ට ආයුධ හිඟ වීමට ඉන්දියාව දුන් සහයෝගය මිල කල නොහැකිය. විශාල ආයුධ ගබඩා ලෙස හැඳින්වුණ කොටින්ගේ නැව් හතක් ආයුධ සමඟ විනාශ කිරීමට එම නැව් පැමිණෙන බව සහ ඒවා ඇති ස්ථාන පිළිබඳව සියළු විස්තර සපයන ලද්දේ ඉන්දියාව විසිනි. ඔවුන් ලබා දුන් දත්ත මත එල්ටීටීයී යේ පළමු ආයුධ නැව විනාශ කලේ රාජපක්ෂ බලයට පත්වන්නටත් පෙරය. ඒ හැරුණ කොට ඇමෙරිකා එක්සත් ජනපදයේ US Marines විසින් සරණාගතයන් නාවික මෙහෙයුමකින් මුදා ගැනීමට ගත් උත්සාහය වැලැක්වූයේ රාජපක්ෂ වරුන් නොව ඉන්දියාවයි. ජේ ආර් ගේ සාම ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙස රජීව් ගාන්ධි ඝාතනය නොවන්නට මෙය වෙනස්වන්නට තිබිණි.

යුධ ජයග්‍රහණයට හේතුවූ අනෙක් ප්‍රධානතම කරුණ නම් ඇමෙරිකාවේ ලෝක වෙලඳ මධ්‍යස්ථානයට 2001 දී එල්ලවූ ප්‍රහාරයයි. ඊට කලින් විදේශ වල ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී සංවිධාන ඇමෙරිකාව ඇතුළු බටහිරට පෙනුනේ විමුක්තිකාමීන් ලෙසය. ත්‍රස්තවාදය ඔවුන්ගේ දොරකඩට ගෙන ගිය ඔසාමා බිල් ලාඩන්ගේ අල් ඛයීඩා සංවිධානයේ ක්‍රියාකාරකම් ලංකාවේ යුද්ධය අවසන් කිරීමට බලපෑ විශාලතම සාධකයකි.

යුධ ජයග්‍රහණයට හේතුවූ අනෙක් සාධකය නම් 2003 සාම ගිවිසුමයි. මෙය නොවන්නට යුද්ධය අවසන් වීම සිහිනයක් පමණි. මේ කාලයේදී කරුණා වැනි බොහෝ එල් ටී ටී යී නායකයින්ට මෙන්ම උතුරේ මහජනතාවටත් යුද්ධයෙන් පිට ඇති ලෝකය පිළිබඳව වැටහීමක් ලැබිණි. බොහෝ ජේශ්ඨ යුධ හමුදා නිලධාරීන් දන්නා පරිදි විශාල ත්‍රස්තවාදී ජයග්‍රහණ බොහොමයකට අණ දුන්නේ කරුණා විසිනි. සාම සාකච්චා අතරතුර රජය විසින් කාම අන්තුවෙකු ලෙස ඔවුන් දැන සිටි කරුණාට තායිලන්තයේ ඇති සැප ගැන අත්දැකීම ගන්නට සලස්වන ලදී.

එම සාම ගිවිසුමට පෙර ජාත්‍යන්තර දමිල ප්‍රචාරක ව්‍යාපාර සහ 1983 වැනි සිද්ධීන් නිසා ලෝකය දැන සිටියේ සිංහල නායකයින් දමිල ජනයා වෙනුවෙන් පෙනී සිටින විමුක්තිකාමීන් රවටන  සහ දමිලයන් මර්ධනය කරන අය හැටියටය. එවකට රජය මහත් ඕනෑකමින් සාම සාකච්චා වලට සහභාගී වනවිට ඒවා කඩාකප්පල් කරමින් ප්‍රභාකරන් ප්‍රදර්ශණය කල ඔවුන්ගේ නියම පාට ප්‍රධාන රටවල් වලට හොඳින් පෙනිනි. එයින් පසුව කොටි සංවිධානයේ බළල් අත් තහනම් කිරීමට සහ ඔවුන්ගේ මුදල් එකතුකරන පෙරමුණ සංවිධාන ආදිය තහනම් කරගැනීමට එය මහත් පිටිවහලක් විය. 2004 දී චන්ද්‍රිකා රජයේ විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ගේ දක්ෂතාවය සහ බටහිර රාජ්‍යය එල්ටීටීයී සංවිධානය ගැන සාම සාකච්චා අවස්ථාවේදී හෙළිකල ඔවුන්ගේ පුල්ලි මෙන්ම ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල ඇතිවූ ත්‍රස්ත විරෝධය යන කරුණු සංයෝජනය එල්ටීටීයී සංවිධානය අතිශයින් දුර්වල කරන්නට බලපෑවේය.

මේ සමඟම රටේ වාසනවාට තවත් සිද්ධීන් කිහිපයක්ම සිදුවිය. එනම් කොටින් විසින් කරන ලද සාපේෂව කුඩා එහෙත් තීරණාත්මක මෝඩ කමක් වූයේ මාවිල්ආරුව සොරොව්ව වසා දැමීමය.  මාවිල්ආරුව වැසූ අවස්ථාවේදී ටෙලිෆෝනයෙන් රාජපක්ෂගේ කුණු බැණුම් අසමින් යුද්ධය අරඹන ලෙස ඉල්ලා සිටි රතන හාමුදුරුවන් සහ චම්පික රණවක ඇතුළු හෙළ උරුමයද ඉටුකල කර්තව්‍ය / දායකත්වය අමතක කළ නොහැක. යුද්ධය අවසන් වීමට බලපෑ ලංකාවේ තවත් වාසනාවක් නම් හමුදාපති වරයාට තැබූ බෝම්බයෙන් ඔහු බේරීමයි. ඒ වනවිටත් යුද්ධයක් කර මෙම පිළිලය අවසන් කිරීමට උනන්දුවෙන් සිටි එතුමා එයින් බේරීම එල්ටීටීයී සංවිධානය නයාට ගසා පොල්ල වරද්දා ගැනීමක් විය. මාවිල්ආරුව වැසූ අවස්ථාවේදී සම්පූර්ණයෙන් සුව නොවී සිටි ඔහු වෛද්‍ය උපදෙස් නොතකා නැවත පැමිණියේ  වෙඩි කෑ ඌරෙකු මෙනි.

තම ප්‍රතිමල්ලවයාට කොටින් සමඟ ඩීල් ඇති බවට චෝදනා එල්ල කරමින් ඡන්දය හොරට දිනීමට ඩීල් දමා බලයට ආවේ රාජපක්ෂවරුන්ය. ඡන්ද ප්‍රතිඵලය හොරාකෑමට පමණක් සීමා නොවුණු එම ඩීල් එක රාඩා ආයතනය හරහා හා එමිල් කාන්තන් හරහා දිගටම එල්ටීටීයී සංවිධානයට රටේ මුදල් පොම්ප කරමින් 2005/2006 කාලයේ කොටින් නඩත්තු කලේ රාජපක්ෂවරුය. එය සිදුවුණේ පැති බෝම්බ සහ මරාගෙන මැරෙන බෝම්බ හරහා රටේ මහජනතාව මියැදෙද්දීමය. එලෙස රටේ සල්ලි වලින් කුලිය ගෙව්වේ රටේ මිනිසුන් ආරක්ෂා කරගැනීමට නොව ඔහු සහ ඔහුගේ පවුල ආරක්ෂා කිරීමේ ඩීල් එකකටය. වෙන කල හැක්කක් නොමැතිකල මාවිල්ආරුව සොරොව්ව නිදහස් කරගැනීමට හමුදාවට අවසර දීම හැර රාජපක්ෂවරුන්ට වෙන විසඳුමක් නොවිනි. එම අවසරයෙන් ඉදිරියට ගිය සරත් ෆොන්සේකා ප්‍රමුඛ ශ්‍රී ලංකා හමුදා සහ එතුමාගේ යුධ ඥාණය සහ උපාය මාර්ග නොවන්නට යුද්ධය අවසන් වන්නේ නැත.

යුධ ජයග්‍රහණය පෙනෙන්නට ගත්කල තමන්ගේ වල ඉහ ගැනීමට අවස්ථාව දුටුවන් ඉන්පසුව රට පෙන්නුවේ ඔවුන්ගේ දක්ෂකම සහ දේශ මාමකත්වය නිසාම දිනන යුද්ධයක් බවයි. යුධ අවසානය ආසන්නයේ සරත් ෆොන්සේකා ඉවත්කර ගැනීමට ගත් උත්සාහය මෙයට කදිම නිදසුනකි. යුද්ධය අවසන් වීමෙන් පසුව ඒ අවස්ථාවේ තිබූ තත්ත්වයෙන් ප්‍රයෝජනය ගෙන රටේ නැවත යුද්ධයක් ඇතිවීමට වැලැක්වීමට සහ සුළුජාතීන් ගේ දේශපාලනීකරණය කල හැකි ප්‍රශ්ණ නැවත මතු නොවීමට අවශ්‍ය කිසිම දෙයක් මොවුන් විසින් නොකරන ලදී. යුධ ජයග්‍රහණය විකුණමින් ඡන්ද පැවැත්වීම, මහා පරිමාණයෙන් ගසාකෑම, ප්‍රති විරුද්ධ අය මරා දැමීම සහ සිරගත කිරීම වැනි දේ පමණක් කිරීමට එම අවස්ථාව යොදා ගන්නා ලදී. එම කාලයේ මා ඒගැන ලියූ ලිපියක් මෙතන,

අවසන් වශයෙන් කීමට ඇත්තේ එල්ටීටීයී සංවිධානයේ ක්‍රියා වලින් බැටකෑවේ අහිංසක සිංහල දෙමල සහ මුස්ලිම් වැසියන්ය. මායිම් ගම්මාන ආරක්ෂා කිරීමට සහ නැගෙනහිර මුදාගැනීමට පොලිස් විශේෂ කාර්‍යය බලකාය නිර්මාණය කර රට කරවීමේ වෙනත් අංශ වලට අත නොපෙවූ ජේ ආර් ගේ එකම දරුවා වූ රවී ජයවර්ධන හා සසදන කල නාමල් යෝශිත වැනි වුන් පාදඩයන්ය. යුධ ඥානය සහ රටට තිබූ ආදරය පිටරට සැප සොයා නොගොස් යුධ භූමියේ සටන් කිරීම ගැන සිතන විට ජානක පෙරේරා, කොබ්බෑකඩුව, සරත් ෆොන්සේකා වැන්නවුන් ගෝඨාභය රාජපක්ෂට  වඩා ගව් ගණනක් ඉදිරියෙන්ය. මහින්ද රාජපක්ෂ සමඟ සසඳන කල රටට ඇති ආදරය, කොටි සංවිධානයට විරුද්ධව දේශපාලනික සහ යුධමය සටන් මෙහෙයවූ යන දේවලින් ගව් ගණනක් ඉදිරියෙන් සිටි ගාමිණී දිසානායක, රන්ජන් විජෙරත්න, ලලිත් ඇතුලත්මුදලි හා රණසිංහ ප්‍රේමදාස වැනි නායකයන් නැතිවූයේ එජාපයට සහ සමස්ත රටටමය.  පරීක්ෂණ කෙරෙන්නේ යුද්ධය කිරීම ගැන නොව එය විකුණාගෙන කල සොරකම් සහ මිනී මැරීම් ගැනය. ස්වාධීන කොමිසම් අහෝසිකරමින් උසාවි පද්ධතිය, නීතිපති දෙපාර්තමේන්තුව තම යටතට ගණිමින් කැකිල්ලේ නඩු අසා අගවිනිසුරු ගෙදර යවමින් තමන්ගේ බත්බැලයන් උපරිමාධිකරණයට පත් කරන විට ඒගැන කැක්කුමක් නොතිබූ නීතීඥයන් මුදල් වංචා කලවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ සිය ගණනිනි.

ත්‍රස්තවාදයට එරෙහිව කෙරෙන ක්‍රියාමාර්ග වලට මූලිකත්වය දෙන්නේ සහ දුන්නේ කවුද යන්න ගැන රටේ අනෙක් අයට වඩා ප්‍රභාකරන්ට හොඳ අවබෝධයක් තිබිණි. රණසිංහ ප්‍රේමදාස, ගාමිණී දිසානායක, රන්ජන් විජේරත්න, ලලිත් ඇතුලත්මුදලි, ජානක පෙරේරා, කොබ්බෑකඩුව, ෆොන්සේකා, වැනි අයට බෝම්බ ප්‍රහාර එල්ල වුණේ ඒ අනුවය. රජීව් ගාන්ධි ඝාතනයෙන් වූ හානිය දැන සිටීම සහ බටහිර ජාතීන් අවංක නායකයෙක් බව දැන සිටි රනිල් මරා දැමීමට ඔහු ඉදිරිපත් නොවුනේ එවකට පැවති සාම ගිවිසුම නිසාය. එසේ වුවත් ඔහුගේ සාම ව්‍යාපෘතියෙන් ඔවුන්ට වුණ හානිය හොඳින්ම තේරුම් ගත් නිසා ඔහු නැවත බලයට පත්වීම අහුරන ලදී. එම කාලයේ කෙරුණු ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය යුරෝපයේ කොටි තහනම ඉක්මන් කෙරිනි. මේඅතින් ගෝඨාභය රාජපක්ෂට එල්ල වූ ප්‍රහාරය ඔහු මරා දැමීමට නොව අනතුරු ඇඟවීමේ සඥාවක් පමණි. එයට පැහැදිලිම සාක්ෂිය නම් ඔවුන්ගේ ප්‍රහාර වලින් සීරීමක් වත් නොමැතිව ‘බේරුනු’ එකම කෙනා ඔහු වීමයි.

රාජපක්ෂ වැන්නකු ජනාධිපති තනතුරේ සිටීම සහ ඔහුගේ සොයුරු ගෝඨාභය රාජපක්ෂ යුද්ධය මෙලෙස අවසන් වීමට ප්‍රධාන හේතුවක් විය. එහෙත් එය සිදුවූයේ රටේ, කලාපයේ සහ ලෝකයේම ඇතිවූ රාජපක්ෂ වරුන් හා සම්බන්ධ නොවන දීර්ඝ ක්‍රියාදාමයන් මාලාවක අවසන් ප්‍රතිඵලය ලෙසිනි.  බටහිර රටවල් වල ඇතිවූ ත්‍රස්ත විරෝධය, සාම සාකච්චා නිසා එල්ටීටීය දුර්වල වීම, 2003 සාම සාකච්චා වලදී ඔවුන් විමුක්තිකාමීන් නොව තමන් නියෝජනය කරන්නේ යැයි කියා පෑ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා නොව නායකයාගේ ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් පමණක් සිතන ත්‍රස්තවාදී සංවිධානයක් පමණක්ම යන්න බටහිර රටවල් හැඳිනගැනීම, ඉන්දියාවේ එල්ටීටීයී විරෝධතාවය, රාජපක්ෂවරුන්ට නොව පොදුවේ ලංකාවට විශාල ක්ශේත්‍ර කිහිපයකින් ලැබුණු ඉන්දියාවේ නොමසුරු සහයෝගය, තෙවරක් බෝම්බ කෑවත් රට හැර නොගිය යුද්ධයේ මහ මොළය වූ ෆොන්සේකාගේ දායකත්වය සහ විවිධ පක්ෂ වල විවිධ ආගම්වල සෙබළුන් දස දහස් ගණනකගේ ජීවිත, අතපය, පෙනීම ආදිය  පරිත්‍යාගයෙන් අවසන් වූ යුද්ධය එක පවුලක ජයග්‍රහණයක් බවට පත්කරන ලදී. සමහරුන්  ඔවුන් රජවරුන් කොට ප්‍රශස්ථි ගීත ගැයූහ.  ඔවුන්ට විරුද්ධ වන්නන් සිරගතකරමින්, මරාදමමින් රටේ ණය ප්‍රමාණය වසර පහකදී දෙගුණයක් කරමින් එම ත්‍රාඩ පවුල ගෙන ගිය උන්මාදය රටම දනියි. එසේ හොරකම් සහ මිනිමැරීම් ගැන පරීක්ෂණ පැවැත්වීම සහ නීතිය ක්‍රියාත්මක වීම ‘රට බේරාගත් වීරයන්ට’ කරන අවමානයක් ලෙස අර්ථ දැක්වීම මිනිසුන්ගේ ඥාණයට කරන නිගාවකි. යහපාලන රජයක් නොවන්නට ඔවුනට අත්වන්නේ සරත් ෆොන්සේකාට හිමිවූ වර්ගයේ නඩු ඇසීම් සහ වරදකරු කිරීම් බව ඔවුන්ට අමතකය. රටේ මිනිසුන් ඔවුන් වෙනුවෙන් දිනාගත් යහපාලන ප්‍රතිපත්ති වලින් වාසිය ගන්නේ ඔවුන්මය. නමුත් චෝදනා කරන්නේ එම යහපාලනය ගෙන ඒමට ජීවිත අවධානමෙන් ඉදිරියට පැමිණි වුන්ටය.

සියළු හිමිකම් බ්ලොග්කරු සතුය .

http://lankanian.blogspot.co.uk/2016/10/blog-post.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල