කෙටි කථා

සර්පයාගේ කොලම 20

Off

සර්පයා ඒකීය හුඹහට පක්ෂ වෙයි
සර්පයාගේ ඉතිරිව තිබූ දෙකෙනුත් එකක් හැලිණි. මේ දෙකම මෙච්චර කාලයක් නිකං ඔහේ වැනි වැනි තිබුණේ මෙලෝ වැඩක් නැතිව ඉට්ටයිල් එකට නේදැයි සර්පයාට තේරෙන්නේ දැන්ය. සර්පයාට දැන් ඇත්තේ එකය . එකක් තියන කොට කෙතරම් පහසුදැයි සර්පයාට දැන් තේරේ.

දැන් මාගේ මනස ඒකාත්මිකය. මාගේ සිතුවිලි ඒකීයය. මාගේ පෞරෂයද ඒකාබද්ධය. සර්පයා භාවනා කරන්නට ගත්තේය. සර්පයාගේ අතිජාත මිත‍්‍රයෙක් සර්පයාට කියා තිබූ පරිදි භාවනා පංතියකුත් පටන් ගන්නට සර්පයාට භාවනාව අතරේම හිතුණි.

සර්පයා හිත එකඟකරගෙන බවුන් වඩන්නට විණි . මාගේ මනස ඒකාත්මිකය. මාගේ ශරීරය ඒකීයය. මාගේ සියල්ල ඒකීයය. මා වසන මේ විශ්වය ඒකීයය. මේ චක‍්‍රාවාටයද ඒකීයය. මේ මන්දාකිණියද ඒකීයය. මේ සෞර ග‍්‍රහ මණ්ඩලයද ඒකීයය. මේ පෘථුවියද ඒකීයය. මේ මහාද්වීපයද ඒකීයය. මාගේ මේ රටද ඒකීයය. භාවනා කරගෙන කරගෙන ආ සර්පයාට නිකං ඇඟේ භුමිතෙල් ගෑවුනා ගෑවුනා වාගේ විය. ඒත් සර්පයා මනස ඒකාග‍්‍ර කර සර්ප පෞරෂය ඒකාත්මික කොට ගෙන දිගටම භාවනා කරන්නට වූයේය.

මාගේ පේ‍්‍රමය ඒකීයය. මා ඒක සැපිනි වෘතය පුරන්නෙම්වා. ඒක සපු වෘතය නොරකිනුයේ කවර නම් සැපිනියක්ද ඇයට මරණය ඒකාන්තය. මෙසේ බවුන් වඩාගෙන වඩාගෙන වඩාගෙන යද්දී සර්පයාගේ සර්ප සන්තානය පුරාවට නානා ප‍්‍රකාරවූ සැපින්නියෝ නා නා වෙසින් බඩ ගාන්නට වන්නේය. සර්පයාගේ ඒකාග‍්‍ර වු මනසට භූමිතෙල් බිංදුවක් සේ වන් මේ සැපිනි සංකල්පයත් සමග සර්පයාගේ මනස ඒකාග‍්‍ර වූයේ එකම එක ඒකීයවූ ධාරණාවක් වටාය.
ඒ වනාහී තුඹසක් විය. ඒ තුඹස හැර වෙනත් තුඹස් තිබේදැයි විචිකිච්ඡාවක් එසැණින්ම සර්ප වේගයෙන් සර්ප සන්තානයේ පැන නැංගේය. වෙනත් තුඹස් තිබේයැයි සිතුණු සැණින්ම සර්ප සන්තානයට නැගුණු ඊළඟ සර්ප සිතිවිල්ල වූයේ මේ තුඹසත් ඒ තුඹසුත් හැර වෙනත් තුඹසුත් තිබේද යන්නයි. තිබෙන බව පසක් කර ගත් සර්ප සන්තානය ඒ තුඹසුත් ඒ වෙනත් තුඹසුත් හැර වෙනත් තුඹස් තිබේදැයි උකටලී විණි. ඇයි සර්පයෝ මේ තුඹසැයි සර්ප සන්තානය සර්පයාට කීවේය. එබැවින් මෙලොව ඇත්තේ මේ තුඹස පමණි. මේ තුඹස හැර වෙනත් තුඹස් නැත්තේය. තිබුණද ඒවා තුඹස් නොවන්නේමය. එබැවින් ඒ සියලූ තුඹස් කඩා බිඳ දැමිය යුත්තේමය. කඩා බිඳ දමා සියලූ පොත් පත් ගෙන තුඹස් යන වචනය කපා දැමිය යුත්තේය. මින් පසු තුඹස් කියා වචනයක් සර්ප බසේ නැත. ඇත්තේ තුඹස පමණි. වෙනත් තුඹස් නැත. තුඹස් නමැති බහු වචනය සර්ප බසින් ඉවත් කිරීමට සර්පයා භාවනාව අතරේම ඒකීය තීරණයක් ගත්තේය. ඒක වචන මිස බහු වචන කිසිවක් මින්පසු මේ ඒකීය සර්ප රාජ්‍යය යටතේ නොතිබිය යුතැයි සර්පයා භාවනාව අතරේම සර්ප ව්‍යවස්ථාවට එක් කරන්ට එක සිතින් සිතා ගත්තේය. සර්ප භාෂා දෙපාර්තමේන්තුවට මෙන්ම සර්ප අධ්‍යාපන කටයුතු අමාත්‍යාංශයටද සර්ප බසින් බහු වචන ඉවත් කිරීමේ මේ නියෝගය දැනුම් දෙන්නට සර්පයා සිතුවේය.

මෙසේ ඒකීය හුඹහක් ගැනම සර්ප සන්තානය ඒකාත්මික වන්නට වන්නට සර්පයාගේ සන්තානය අරා සැපින්නියෝ බඩ ගාන්නට වන්නෝය. වන්නෝය වන්නේ කෙසේදැයි ඒකාපත්තියට සර්ප සිත සම වැදෙද්දී බහු වචන ඉවත් කළ බව සිහිවී සර්පයා වන්නේය කියා නිවැරදි කර ගත්තේය. ඒක සැපිනි වෘතය නම් එසේ මෙසේ කාරියක් නොවන බව බහු සැපිනි වෘතය කිසිදා මෙතුවක් නොපිරූ සර්පයාට හැඟිණි. ඒ සමගම මෙතුවක් ඒ පිරීම ගැන සර්පයාට මාර ආඩම්බරයක් දැනුනේය. මෙතුවක් දුන් බහු සැපිනි, බහු වාර්ගික, බහුත්වවාදී ටෝක් සියල්ල එසැණින් වාෂ්ප වී ගියේය.

මෙතුවක් මේ සංසාරය පුරාවට සර්පයා සමගද සර්පයාට ඉදිරියෙන්ද සර්පයා පස්සෙන්ද බඩ ගෑ සියලූ සර්පයන් ගැන සිතාගෙන සිතාගෙන සිතාගෙන සර්ප සන්තානය අන්තෝජටා බහිජටා වූයේ ගැඩවිලෙක් පොළව හාරාගෙන හාරාගෙන යන්නා මෙන් තුඹසේ අනන්ත පත්ල සොයා බඩගාගෙන බඩගාගෙන යන කල්හිය. තුඹස කෙළවරේ ඇත්තේ කුමක්දැයි සිතා මෙතෙක් කල් සියලූ සර්පයෝ මෙසේ බඩගාගෙන ගොස් ඇති වග සර්පයාට පසක් විණි. එහෙත් නයි නලා හඬක් කන වැකුණු සර්පයාගේ දැහැන බි`දී ගියේය. සර්පයා බිඳුණු දැහැන පාස්සාගෙන මේ විශ්වයේ ඇත්තාවූ මේ එකම තුඹස ගැන ආරම්මණයෙන් යුතුව යළි බඩ ගාන්නට ගත්තේය.

එවිට එළියෙන් යම් මිනිස් සර්ප හඬක් තුඹස ඇතුළට වන්නේ ඒ මෙසේ වන්නේය. දහසක් තුඹස්වලට ඉඩ දෙන්න. දහසක් විෂ පිඹින්නට ඉඩ දෙන්නැයි යන ඒ හඬ සර්ප කර්ණ චර්ම පටහයේ නින්නාද වූ සැණින් සංසාර පුරුද්දෙන් ඒ සේතුං නමැති මනුස්ප ගොබිලෙක් බව සර්ප සිත වන්නේය. සර්පයාට මල පැන්නේය.
සර්පයා තුඹස ඇතුලේ සර්ප වෙයින් යූ ටර්න් එකක් ගෙන ගාල කඩාගෙන පොලා පැන්නේය . තුඹසින් පොළඟකු සේ ඳගර ගැහී තොට දෂ්ඨ කරන්නෙමැයිද, මං තෝ මරාගෙන කන්නෙම්යැයිද, තොගේ අතුනු බහන් බලූ කපුටන්ට දන් දෙන්නෙම්යැයිද සිතා එසේ පිනු සර්ප තෙම මදක් හති ඇර සේතුං ගොබිලාගේ හඬ ආ දෙසට දෙකට බෙදුනු නමුදු ඒකීය වූ දිව දික්කර ඉව ඇල්ලූවේය. එවිට පෙරදිගින් එන්නාවූ සුල`ගින් ඒ එන බව පසක් කොට ගත් සර්ප තෙමේ එදෙසට ගාල කඩාගෙන බඩගා ගොස් හති අරින්නේ සේතුං නම් ගොබිලාගේ පාමුලය. සේතුං ගොබිලා ගම්වල සර්පයන් මරන්නාවූ සර්ප ඝාතනවාදයට අනුව පොල් පිත්තක් නොපිට හරවාගෙන පොළවට මානා සිටින්නාහුය. එවිට සර්ප තෙම විචාරන්නේ.

සේතුං නමැති මානවකතුමාණනි දහසක් තුඹස් තැන කතා කුමකට නම් වන්නේද ? දහසක් තුඹසින් කවර නම් පලක් මෙලොවට වන්නේද ? තිබිය යුත්තේ එකම තුඹසක් පමණි. වහා තොප එසේ කියමින් මේ ප‍්‍රාචීනදිග මාරුතය දූෂ්‍ය කිරීම නොනවත්වන්නෙහි නම් මා මෙතැන්හිම තොපට දෂ්ඨ කරන්නෙම්හයි කීවාහුය. එකල්හි සේතුං ගොබිලා දෙකට නැමී සර්පයාට වදාරන්නේ බොල සර්ප තෙම කලබල නොවච්. සිහි එලවා ගනිව්. මා මේ දහසක් තුඹස් ගැන කියනුයේ සර්පයන් ගුල්වලින් එළියට ගන්නටය. ඒකීය හුඹහට පක්ෂ වන්නාවූ තොප වැනි සර්පයන්ට අපගෙන් කිසිත් ආන්තරායක් නම් නොවන්නේමය. තා ලේඛක සරුපයෙක් කොට මින් වැඩි මනතක් වාසි සැලසෙන්නේ තොපටමය. තා හැර අනෙකුත් සර්පයන් මිස අප තා සර්පයෙක් කොට නොසලකම්හ. අප සර්පයන්යැයි කියන්නේ පොත් ලියන්නන් හා කියවන්නන්ටය. උන්ගේ මනස් සර්ප විෂෙන් දූෂණය වී ඇත්තේමය . ඊට කොතෙක් ප‍්‍රතිවිෂ දුන්නේ වුවද පලක් නම් නැත්තේමය . එබැවින් අප උන් මෙසේ ගුල්වලින් එළියට ගෙන උන්ගේ දත් ගලවා දමමු . ඒ සර්ප හිමිකම් ගොබිලන්ගෙන් බේරෙන්නටය. ඒ සර්ප පුනරුත්ථාපන කටයුතු එළිමහනේ සිදු වෙද්දී අප සර්පයන් තලා පෙලා මරා දමන්නටද බාබකිව් දැමීමටද සැමන් කිරීමටද නේපථ්‍යාගාරයෙහි වග බලා ගන්නෙමු .

එසේ කිවූ ගොබිලා සුළං කපාගෙන අතුරුදහන් වූයේය . මූ මාර සර්පයෙක්නෙ. නෑ මූනෙ බොලේ සර්පයා. මං පැනපු ගමන් දෂ්ඨ කළා නං මං මෙලහකට සෙත්ත පොච්චි. සර්පයා සිතන්නට ගත්තේය. එක පොතක්. හුඹස් දෙකක්. පොත් දෙකක් එක හුඹහක්. එදා සිටන් පුරුදුවූ පද පෙරළියෙන් ගැලවෙන්නට අසමත් සර්ප සිතට නැගිණි. එක පොත අගනේය. මන්ද ඒ මාගේ පොත බැවිනි. හුඹස් දෙක නොමනාය . මන්ද දෙක අනෙකාගේ හුඹහ බැවිනි. අනෙකාගේ හුඹහ වේ නම් අනෙකාද වන්නේමය. මා හැර අනෙකකු සිටිය නොයුත්තේය. එබැවින් අනෙකාගේ හුඹස තිබිය නොයුත්තේය. තිබෙතත් ඒ හුඹහක් නොවන්නේමය. එබැවින් ඒ තිබිය නොයුත්තේය . ඒ කඩා බිඳ බිමට සමතලා කොට දැමිය යුත්තේය. එක හුඹහක් පොත් දෙකක්. පොත් දෙකක් තිබීමද නොමනාය. මන්ද දෙවන පොත අනෙකාගේ වන්නේය. අනෙකාගේ පොතක් වේ නම් අනෙකාද සිටින්නේය. මා හැර අනෙකෙක් සිටිය නොයුත්තේමය. ඒක ලේඛකං ගච්චාමී. ඒක පුස්තකං වන්දනං. ඒක හුඹහං නමාමී. ඒ ලේඛකයා මම වන්නෙම්. ඒ තුඹස මාගේ වන්නේය. ඒ පුස්තකය මාගේ පුස්තකයම වන්නේය . එබැවින් එක පොතකි . ඒ මාගේ පොතය. වෙනත් පොත් වේද ඒවා පොත් නොවන්නේමය. එබැවින් ඒවා පුලූස්සා දැමිය යුත්තේය. එවිට නමට වුව ඇත්තේ මාගේම පොත පමණි . මා එය පෙන පොතේ ෂෙයාර් කරන්නෙම් . එයට සම්මාන ලැබෙන්නේය. සම්මාන ලැබුමට ඒ පමණක්ම සුදුසු වන්නේමය. මන්ද ඇත්තේ ඒ පොතම පමණි. වෙනත් පොතකට සම්මාන ලැබුනේ වී නම් ඒ සම්මානයක්ද නොවන්නේමය.

සර්පයා ඔය විදිහට භාවනා කරගෙන කරගෙන කරගෙන ගියේය . එවිට පුරා හඳ කැලේ උඩින් මුදුන්වී සර්ප විමානයට සඳකැන් දිය ගලමින් තිබිණි . සර්පෝන්මාදය සර්ප සන්තානය අරක් ගනිමින් වූයේය. ලෝකය එක යායක් වී තිබිණි . එහි වූයේ සර්පයාගේ හුඹහ විතරමය . අනෙක් සියලූ හුඹස් පොළවට සමතලා වී තිබිණි. එහි වූයේ සර්පයාගේ පොත පමණි . එහි වූයේ සර්පයා පමණි . අනෙකුන් සියල්ලෝ සේතුං විසින් සර්පකිව් දමා තිබිණි . එහි වූයේ එක සැපින්නක් පමණි. ඒ සර්පයාගේ සැපිනියය. ඔන්න එතකොට නම් සර්පයාට භූමිතෙල් බිංදුවක් වැටුනා මෙන් විණි . ධ්‍යාන බලයෙන් සර්පයා අනෙක් සැපිනියන්ට පණ ඉපැද්දුවේය.

සැපින්නියෝ ටික සර්පයා වට කොට ගත්තෝ ( තේ) ය. සර්ප ශරීරය විකසිත විය. ස්ත‍්‍රීපුර ගිය නීල මහා යෝධයාට වූ හදිය සර්පයාටද වුයේය. සර්පයාගේ සර්පාංගය මුකුලිත විය. සර්ප සිරුරේ ප‍්‍රාණය නිරුද්ධ විය . නිල මැස්සෝ සර්ප ශරීරයේ ඉව වැටී සක්වල සිසාරා අවුදින් සර්ප ශරීරය වසා ගත්හ.
සර්පයා දැහැනින් මිදී බලා උන්නේය. පාලූ හෝම් පලක් මෙන් සර්පයාට පාලූවක් දැණිනි. එසැණින් සර්පයා තම තුඹස දෙස කල්ප කාලාන්තරයක් තරම් දිග නිමෙසක් බලා හුන්නේය්. බලා හිඳ එතුළට වැදිණි. එහි අනන්ත පත්ල සොයා බඩ ගාන ඌට ඒ අනන්තයේ දිදුලන එළිය බිංදුවක් පමණක් පෙණිනි.

උපුටා ගැනීම – http://www.lankadaily.lk/

කේ. කේ. සමන් කුමාර

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල