ප්‍රහසන

හොයන්න බැරි වෙන්න දූරියන් හංඟනවා නම් මෙන්න ක්‍රම

Off

 

දූරියන් යනු ඉතා ගුණ කෑමකි. හොඳ ශක්තිජනක පළතුරකි. සමහරුන්ට රසයෙන් අනූන වුවත් තවත් සමහරුන්ට නහය ලඟට ගැනීමට තබා දූරියන් ඇති අහලකින් යා නොහැකිය. ඒ එහි ඇති විශේෂිත සුවඳ නිසාමය. දූරියන් ඇට කුඩා පෙති වලට කපා, වතුර වීදුරුවක දමා රැයක් පහන් වන තෙක් තබා උදෑසනම හිස් බඩට පානය ඉතා ගුණදායක බව කියනා බැවින් අපේ සමහරුන් දූරියන් කෑමටත් වඩා මනාප වන්නේ දූරියන් ඇට පෙර කී ආකාරයට සකසා පානය කිරීමටය. අපි දැකලා ඇත්තේ කටු සහිත දූරියන් පමණක් වුවද පිලිපීනයේ කැලෑ වල කටු රහිත දූරියන් විශේෂයක් ඇත. මෙය හඳුන්වන්නේ තට්ට දූරියන් වශයෙනි. එසේම අප දන්නා කහ පැහැ මදය සහිත දූරියන් වලට අමතරව රතු සහ තැඹිලි වර්ණයෙන් යුත් මද සහිත දූරියන්ද ඇත.
දූරියන් වල ඇති ආවේණික සුවද ඇතැම් අයට ඉතාම අප්‍රිය නිසා සමහර රටවල හෝටල්, පොදු ප්‍රවාහන සේවා උමං මාර්ග වලට මෙම පළතුර රැගෙන ඒම පවා තහනම් කර ඇත. අපේ රටේ දූරියන් ගහක් යටින් අලියෙක්වත් යන්නේ නෑ කියලා කියමනක්ද ඇත. කොහොම උණත් දූරියන් හඳුන්වන්නේ ‘‘පළතුරු ලොවේ රජු“ වශයෙනි.

මා කලින් සේවය කළ ආයතනයේ ප්‍රධානියා දූරියන් කෑමට ඉතා කැමතිය. මේ බව දන්නා හිතවතුන් තමන්ගේ ඉඩමක ඇති දූරියන් ගසක ගෙඩි හැදුනුවිට අනිවාර්යයෙන්ම ගෙඩි කිහිපයක් එතුමාට ගෙනැවිත් දෙනු ලබයි. දිනක් මේ ආකාරයට හිතවතෙකු විසින් දූරියන් ගෙඩි කිහිපයක් එතුමාට ගෙනැවිත් තිබුණි. මේ වෙලාවේ මා වෙනත් වැඩකට පිටතට ගොස්ය. කාර්යාලයේ සහායක පෙරේරාට කථාකර “පෙරේරා මේ දූරියන් ටික කවුරැත් දකින්නේ නැති තැනකින් තියනවා“ කියා රැස්වීමකට ගොස් ඇත.

පෙරේරාද කල්පනා කරන්නට විය. මේක සර්ගේ බව කවුරුවත් දැනගැනීම එතුමාටත් හොඳ නැත. කොහේ හැංගුවත් අපේ උන්ට දූරියන් තිබෙන බව ආරංචි වූවත් ඇතිය. මේක දැක්කොත් උස්සන එක මහ ලොකු කජ්ජක් ද නොවේය. ඒ නිසා කවුරුවත් වැඩියේ යන්නේ එන්නේ නැති තැනක මෙය සැඟවිය යුතුය. කාර්යාලයේ බාත්රෑම් එකට යන්නේ සර් පමණි. දූරියන් සැඟවීමට හොඳම තැන එතනය. පෙරේරා ජයග්‍රාහී ලීලාවෙන් දූරියන් ටික බාත් රූම් එකේ සඟවයි. නමුත් කරුමෙට බාත්රෑම් එකේ දොර වසන්නට අමතක වෙයි. ගතවූයේ ටික වේලාවකි. කාර්යාලය පුරා දූරියන් ගඳ පැතිර යන්නට විය. කාර්යාලය වායු සමනය කර ඇති නිසා ප්‍රශ්නය තවත් බැරැරුම්ය. කාර්යාලයට යන එන අය “මොකක්ද මේ ගඳ. දූරියන් ගෙනාවේ කවුද“. ප්‍රශ්න වැලකි. ඒ මදිවාට නෝන්ඩි කෝටියකි. “මොකද දූරියන් කන්නේ. මොකක් හරි ලෙඩක්ද. කවුද ගෙනත් දුන්නේ. කෝ අපිටත් ඕන“.

පෙරේරා කාමරයට පැමිණි විට “පෙරේරා කොහෙන්ද මේ ගඳ එන්නේ“. “සර් මම දූරියන් ගෙඩි ටික බාත් රෑම් එකේ තිබ්බා“. පෙරේරා කට්ටිය ඉදිරියේම පවසයි. දැන් සර්ට මල පැන ඇත. පෙරේරාට හොඳම එකෙන් අමතා “මෙන්න මේක කොහෙන් හරි ගිහින් දානවා. වැඩක් කරන්න කිව්වාම නාගන්නවා“. පෙරේරාද ඔලුව කසමින් දූරියන් ගෙඩි ටික කොහේදෝ ගෙන ගියේය. දැන් කාර්යාලයේ ඉන්නට බැරිය. දූරියන් ගඳ නිසා ඒ.සී. එකද ඕෆ් කර ජනේල් ටිකද විවෘත කර දාඩිය පෙරාගෙන සර්ට ඉන්නට සිදුවී ඇත.

පෙරේරාද දූරියන් ගෙඩි ටික කොහේදෝ සඟවා පැමිණියේය. “දැන් හරි සර්. යකෙකුටවත් හොයන්නත් බෑ. ගන්නත් බෑ“. ගත වූයේ ටික වේලාවකි. “උඩ තට්ටුවේ වැඩ කරන්න බෑ. ලොකු ගඳක් එනවා“.කාර්යාලයට පැමිණිලි ගොඩකි. දැන් පරිපාලනය භාර ලොක්කා තවත් ටෙක්නිකල් ඔෆිසර් කෙනෙක් හා පියන් කෙනෙක් සමග උඩට යන්නේ මේ ගඳ මොකක්දැයි බැලීමටය. ගඳ එන කාමරයේ දොර ඇර බැලූ විට එහි ඇත්තේ දූරියන් බෑගයකි. දැන් පරිපාලන ලොක්කාට මල පැන ඇත. “මොන බූරුවද දූරියන් මෙහෙන් ගෙනත් තිබ්බේ. මුන්ට මොලේ නැද්ද. මොකාද මේවා ගෙනාවේ. කන එකෙක් ගෙදර ගිහින් කන්න එපායැ. මෙහාට ගේන්නේ“. පරිපාලන ලොක්කා කේන්තියෙන් කෑ ගහයි. මේ සද්දය කුමක්දැයි බැලීමට පෙරේරා ද දුවගෙන එයි. දැන් වැඩේ පත්තුවී ඇති බව පෙරේරාට තේරෙයි. “සර් සර් මම දූරියන් ගෙඩි වගයක් කාමරේ තිබ්බා“ යැයි පවසයි. “මොන බූරුවෙක්ද. මොලේ නැද්ද. මේ මල ජරාව කාමර අස්සේ තියන්න. බලනවා අර මිනිස්සුන්ට වැඩ කරන්නත් බෑ. දැන්මම අයින් කරනවා. තමුසෙලාගේ ගොන්වැඩ නිසා මම බැණුම් අහන්න ඕන“. පරිපාලන ලොක්කාට අසුහාරදාහට නැග ඇත.

පෙරේරා කාමරයට ගොස් දූරියන් මල්ල රැගෙන එනවිට “තමුසේ ඕක බස් එකේ එහෙම ගෙදර ගෙනියන්න එපා. බස් එකේ උන් තමුසෙට අල්ලගෙන ගහයි“. “සර් මේක මගේ නෙමෙයි. අපේ ලොකු සර්ගේ“. ඔන්න එතකොට නම් පරිපාලන ලොක්කාගේ මූණ ටිකක් රතු වේ. “කලින් කියන්න එපැයි මිනිහෝ. මම දන්නවද. හා හා ඕව කොහෙවත් දාන්න එපා. දූරියන් කියන්නේ හොඳ ගුණ කෑමක්. වෙන කාටවත් අහුවෙන්න තියන්න එපා. වෙන කවුරැ හරි දැක්කොත් ගෙනියයි“. මෙච්චර වෙලා දූරියන්වලට බැණ බැණ සිටි පරිපාලන ලොක්කාට දූරියන් හොඳ සුවඳ කෑමක් වී ඇත. “තමුසේ මේක පරිස්සන් ඇති තැනක තියෙනවා. මම ලොකු සර්ව හම්බ වෙන්න යනවා. අයිෂෙ වැඩක් කරනකොට කල්පනා කරලා කරනවකෝ. අපිත් අමාරුවේ“.

දැන් පෙරේරාට කරකියා ගන්නට දෙයක් නැත. මේක කොටි වලිගේ අල්ලා ගත්තා වගේ වැඩකි. දැන් කොහේ තියන්නද. කාමරයක තිබ්බොත් තවත් සම්බුවකි. එලියපහලියේ තිබ්බොත් මොකෙක් හරි උස්සන් යයි. සර්ගේ කාර් එකට කවුරුත් එන්නේ නෑ. කාර් එකේ ඩිකියෙන් දානවා. පෙරේරා පටස් ගා ගොස් කාරෙකේ ඩිකිය විවෘතකර දූරියන් ගෙඩි ටික ඩිකියට දමා ජයග්‍රාහී ලීලාවෙන් පැමිණේ. ටික වේලාවකින් කාර් එක අසලින් යන එන සියලු දෙනා යන්නේ නහය වහගෙනය. අහල පහලක ඉන්නත් බැරිය. “හපෝ කවුද දූරියන් ගෙනත් තියෙන්නේ. හරි ගඳයි. සර්ගේ කාර් එකෙන් ගඳ එන්නේ“. මේ කිසිවක් නොදන්නා උපාලි සර් කාර් එක ලඟින් යනවිට දූරියන් ගඳ දැනී අන්න කාරකේ දූරියන් ගඳක් එනවා යැයි සර්ට පවසයි.

දැන් නම් පෙරේරා ගුටිකන මට්ටමට පැමිණ ඇත. “මොන මගුලක් කරනවද දන්නේ නෑ. දැන් මම දූරියන් කනවා කියලා මේකේ නොදන්න එකෙක් නෑ. මෙන්න මේක ගිහිල්ලා ගෙදරින් දාල එනවා“.සර්ගේ ඉවසීමේ සීමාව පැන ඇත. දැන් ඉතින් රියදුරෙකු අඬගහගෙන පෙරේරා දූරියන් ගෙඩි ටික සර්ගේ ගෙදරට ගෙනියයි. ටික වේලාවකින් පෙරේරා පැමිණ “දැන් හරි සර්. කිසි අවුලක් නෑ. දැන් බඩු ටික ගෙදර“.

ටික වේලාවකින් සර්ට ගෙදරින් කෝල් එකකි.

“මොනවද අනේ මේ පෙරේරා ගෙදර ගෙනත් දාලා ගියේ. ගේ පැත්ත පලාතේ ඉන්න බෑ. අන්න මම ඒ ටික වත්ත පහලට ගිහින් දැම්මා. ඒ ගමන දැන් අන්න එහා ගෙදර අයත් අහනවා මොකක්ද මේ ගඳ කියලා. ආයේ නම් ඕවා මේ පැත්ත පලාතට ගේන්න එපා. වමනේ යන්නත් එනවා“

 

http://kurahanhena.blogspot.com/2016/10/blog-post.html

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල