දේශපාලන

ආදර ගන්ඟාදර – නුතන නාගරික විප්ලවවාදියෙක්ගේ මතකය

Off

ගන්ඟා කාටත් නොකියාම නික්ම ගොසින්ය. කවදත් ඔහුගේ හැටි එහෙමය. හැමදාමත් දේශපාලන වැඩවලට ඇවිත් එවා අවසාන වු පසු ඔහු හුදකාලාවම පිටත් වන්නේය. අපට අවසාන වතාවට ගන්ඟා මුන ගැසුනේ මීට වසර කීපයක පෙර පෙරටුවන්ගේ මැයි පෙලපාලියක් බලද්දීය. අවුරුදු 36 කට පසුවත් ඔහු වෙනදා මෙන්ම අම්බලන්ගොඩ කන්ඩායමක් සමග සටන් පාඨ කියමින් ඉදිරියට අදුනේය. අම්බලන්ගොඩ නගරයේ ප්‍රකට මැද පන්තික පවුලක් උපන් ගන්ඟාදර වීරසූරිය මුලු ජීවිත කාලය පුරාම යහපත් ලන්කාවක් උදාවේයයි දැස් දල්වාගෙන බලා සිටියේය. එයින් නොනැවති එය ඉටු කරතැයි සිතු දේශපාලනය සමග ක්‍රියත්මක වුනේය. ඔහු උරදුන් පක්ශ දෙකටම පුර්ණකාලීනව කැප වූවත් ඔහු කිසිම දිනක ආසන සන්විධානයකින් ඉහලට නොගියේය. ආචාර්ය ආරියදේවයන් කියා ඇති ආකාරයටම ඔහු දුශෙන්කො කෙනෙකි.

1977 අවුරුද්දෙන් පසු නැවත පක්ශය ගොඩනැඟීමට ගාල්ලට පැමිනි විජෙවීරයෝ මේසේ අප සැමට කියා සිටියහ.

‘ගාල්ල ලෑල්ලෙ තියෙන්නේ, ගොඩදාන එක ලේසිනැ’ ඔහු මේ කතාව කීවේ යටි අරුත් සහිතවය.’ගම ගාල්ලේ පුක ලෑල්ලේ’ යන ජන පිරුළ සිත්හි තබාගෙන විය යුතුය. පොදුවේ ගාල්ලෙන් එන කටකාරයෝ මොන ඉලවුවටත් ‘වැඩ බැරි වුනත් ගම ගාල්ලේ’ යයි කීම නොකියා සුපුරුදු උපහාසයෙන් ‘ඒ කාලෙ වැඩි දෙනෙක්ට බෙට්ට යන්න දෙක වදිනකොට බඩවැලේ ඉඳන් වමාරල කොමිසම ඉස්සරහ මුළු ව්‍යාපරයම පාවා දුන්න’ එකල රොහණ විජේවීර මේ කතාව කීවේ 1971 මහ නඩුවෙන් බාගෙකටත් වඩා සිටි අම්බලන්ගොඩින් පැමිනි තරුන නායකයන් වූ ස්වකීය ‘කුල’ නෑයන් සිතිහි තබාගෙන විය යුතුය. නමුත් මේ කතාබහට අම්බලන්ගොඩින් පැමින සිටියේ ‘අපේ ආදර’ ගන්ඟාදර වීරසුරිය පමණි.

නමුත් ඔහු දන්න හඳුනන සියල්ලන්ට’විජයාරාම’ පන්සලත් ගන්ඟාත් සැම්සනුත් [තඩි] පමණි. නමුත් පොස්ටරයක් ගැසීමටත් පත්තරයක් විකීනීමට සිටියේ ගන්ඟාම පමණි. පසු කලෙක මේ කන්ඩායමට අපද කවිකාර චන්ද්‍රකුමාර වික්‍රමරත්න [පොල්වත්තේ අරියචන්ද්‍ර හිමි]මෙන්ඩිස් [විලේගොඩ] ද එකතු වුනේය.

කිසිදු හරිහමන් ජීවන මාර්ගයක් නොතිබුන ඔහු උදැසන මහ ගෙදරින් පිටවී කෙලින්ම යන්නේ නාගරික පුස්තකාලයටය. එතැනින් දවසේ දේශපාලන තත්වය මෙන්ම ලන්කාවේ ක්‍රිකට් වාර්තා සියල්ල කියවන ඔහු සෙරෙප්පු පතුල් ගෙවන තෙක් දේශපාලන කටයුතු සඳහා ඇවිද්දේ ‘පාවා දුන්නන්ගේ නගරය වීරයන්ගේ නගරය’ බවට පත් කිරීමේ අධිෂ්ඨානය ඇතිවය. ගන්ඟාගේ මේ අරමුන ඔහුගේ ජීවිත කාලය පුරාවට ඉටු වුනා දැයි අප නොදනිමු.

ජවිපෙ දේශපාලන සදාචාරයෙන් එක නීතියක් පමනක් කඩමින් ඔහු ඉඳහිට දුම්වැටියක් රස බැලුවේය. සමාජවාදී සිහින මාවතේ අඛන්ඩව ගමන්ගත් බොහො සගයන්ට මෙනම ගන්ඟාටද ප්‍රේමයේ අනුරාගයේ රස දැනුනේ තාරුණ්‍ය ගෙවුනාට පසුවය. නමුත් ඔවුහු මෛථුන අනුරාගයට වඩා දේශපාලන අනුරාගය රසකර විඳින්නට ඇතැයි දැන් අපට සිතේ.

1989 ප්‍රෙමදාස භිෂණයේ මැදදී අපට බම්බලපිටියේ ගාලු බස් නැවතුම ලඟින් ගන්ඟාගේ රුව මතුවනු පෙනුනේය. දේශපාලන නිශ්ක්‍රිකයෙකු වූ අප දුටු සැනෙන් ඔහු ඉවත බාලාගෙන අසල දොරුවක් ලඟ සිටගත්තේය. පැරණි මිතුරා මඟහැර යාම නොරිසිවූ අප ඔහුට පෙනෙන්ට ගොස් සීනාසී  සැකයක් ඇති නොවන්නට එමින් තිබු මොරටු බසකය එල්ලි පලායන්නේය.

තවත් ටික කලකින් ගන්ඟා ඝාතන කල්ලියක් පැහැර ගත් බව ආරන්චි වුනේය. එකල ආන්ඩුවේ හමුදාවක ඉහල නිලයක් දැරු ඔහුගේ දෙටු සොහොයුරා තමාගෙන් කිසිම කලෙක සමාවක් නොලැබුන බාලයාට දෙමාපියන්ගෙන් වැඳුම් ලැබීමට බැරිතැන මරණයෙන් නිදහස්කර සිරගෙයක යැවු බව පසුව ආරන්චි වුනේය.

ඉතින් ආදර ගන්ඟාදර, නුඹ නික්මයන මොහොත අතීතයට වඩා කෙතරම් වෙනස්ද? දැන් කළුවඩුමුලේ විජයාරාමය ස්වකීය බැතිමතුන්ට සන්සාරය කෙටි කරන්නට කියා දෙන තැනකි. එහි වැඩසිට විමුක්ති බණ දෙසු ආචාර්ය ආර්යදේවයෝ අද එතැනට වඩින අහසින් වඩින දෙවිදෙවතාවුන් ගැන වදාරති. සිවුරු අස්සෙ හන්ඟගෙන කවි ලියු චන්ද්‍රකුමාර වික්‍රමරත්නයෝ එකලදීම වධකාගාරයක දී සමුගත්හ. උසමහත සැම්සන් දැන් මහළුව සමාජවාදය සිහිනෙන්වත් නොදකිමින් සිටින්නේය. අප සියළුදෙනා හමුවූ වෙසක් මසට තොරන් හතක් ගැසූ සින්හල බෞද්ධ ගොම්බලනඩ නගරය නූතන මරාගෙන මැරෙන්නන්ගේ නගරය බවට පත්වී තිබේ. මේවා දකිනවාට වඩා අවුරුදු 72 කින් ජීවිතයෙන් සමුගැනීම අපේ ආදර ගන්ඟාදර වීරසූරියට සතුටක් වූවාට අපට සැකයක් නැත.

 

-නන්දන වීරරත්න

 

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල