අතීතකාමය, ප්‍රහසන

මිදි ඇඹුල්!

Off

 

මිනිස්සු කියන්නේ හරිම පුදුම ජාතියක්. හැමෝම කැමති සුරංගනා කතාවලට. අවසානය හොඳින් නිමවෙන චිත්‍රපටිවලට. නවකතාවලට. ඒවායේ අවසානය කොහොම වුනත්, ඒවා ඇත්ත නෙමේ හින්දා හිත හදාගන්නත් අමාරු නෑනේ.

මම හිතුවා මගේ කතාව මැද්දෙන් නතර කරලා වෙන පැත්තකට යමු කියලා. අනික් අයට දුක හිතෙන දේවල් කියලා එයාලගේ හිත රිද්දන්නේ මොකටද කියලත් හිතුණා.

ටානියා මගේ ජීවිත කතාවේ ඔය කියන හරියෙදි ඇතුල් වෙලා තිබ්බේ නැහැ. එයා මට මුන ගැහුනට පස්සේ මගේ හොඳම යෙහෙළිය වුනේ එයා. කලින් වතාවක කීවා වගේ එයාගේ අම්මා බර්ගර් ජාතික කාන්තාවක්. ඒ හන්දා එයා හිතන විදියේ වෙනස්කමක් තිබුණා. මම කොළඹ ප්‍රසිද්ධ කාන්තා විදුහලක ඉගෙනීම ලබද්දි, එයා ගියේ අන්තර්ජාතික පාසැලකට.

අපි දෙන්නා පිස්සු නැටුවා කීවොත් හරි.

අපි රෑ තිස්සේ කෑගහමින් හොල්මන් ෆිල්ම්ස් බැලුවා. මේ හොල්මන් සමහර දවස්වලට හීනෙනුත් අපි දැක්කා. කලුවර, වැහි දවස්වල හැබැහින් වගෙත් පෙනුනා.

ප්‍රේම කතා බලමින් ටිෂූ පෙට්ටි ගනන් ඉවර කලා. තරුනයෝ ඔය විදියට අර අහිංසක ගෑනු ලමයි දාලා යන්නේ කොහොමද? අපේ ඇස්වලින් කඳුලු කඩා වැටුනා. අම්මලා තාත්තලා ඔය විදියට ජෝඩු වෙන් කරන්නේ කොහොමද? අපි හඬා වැලපුනා.

මූනුවල පාට ගාමින්, කොන්ඩා හදමින් වද දුන්නා. අනුගමනය කිරීමට තැත් කලේ ගොඩක් දුරට බටහිර නිලියන්ව. ටානියා වතාවක් කොන්ඩේ රතුපාට කලා. “ඔයාගේ යාලුවගේ හැටි” කියමින් අම්මා හිනාවුනා. ටානියාගේ තාත්තා කෑගැව්ව හන්දා පහුවෙනිදම එයාගේ කොන්ඩය කලුපාට වුනා. අපිට ඒ කාලේ අපේ පර්යේෂණවලට වැඩිහිටියන්ගෙන් සෑහෙන බාධා තිබ්බා.

කෙල්ලෝ ඉස්කෝලවල කියන කතා, විද්‍යාඥයෝ දෙන්නෙක් වගේ ආපහු, ආපහු සාකච්චා කලා. “ඇත්තටම එහෙම වෙන්නේ කොහොමද?” අපේ සාකච්ඡා වලට භාජනේ වුනේ බබාලා හම්බ වෙන හැටි වගේ බරපතල ඒවා තමා.

එක්තරා වයසකට ලංවුනාට පස්සේ, අපේ බලාපොරොත්තුව වුනේ කොහොමහරි කොල්ලෙක් එක්ක යාලුවෙන එක. වයස එකොලහ, දොලහ වගේ කාලෙදි, කෙල්ලෝ පේන්නේ පුංචියට කියලා අපි දැනගෙන හිටියේ නෑ.

එයාලා බැලුවේ, හොඳට ඇඟ පත හැදුණු, එක්, එක් මෝස්තරේ කොට ගවුම් අඳින, බීම කටේ තියන, නටන (මේක නම් ඉතින් ඕනම කෙනෙකුට කල හැකි දෙයක් නේ) වෙනත් දේවල් පාවිච්චි කරන අය කියලා අපි මොහොතකටවත් හිතුවේ නෑ.

අපි ඉතින් මෝඩයෝ වගේ කොල්ලෝ වර්ග කලා.

ලංකාවේ හැම තැනකම හොඳ ඉස්කෝලත්, කඩවසම් කොල්ලෝ හිටියත් අපි දැනගෙන හිටියේ කොළඹ අවට පාසැල් කීපයක අය ගැන විතරයි. ඒ හන්දා කියවන අනෙක් ඉස්කෝලවල අය අමනාප නොවෙයි කියලා හිතනවා.

අපි මුලින් හොඳයි කියන ඉස්කෝල ගැන බැලුවා. ටානියාගේ තාත්තාගේ හා අම්මාගේ පැත්තෙන් නෑයෝ වෙන පිරිමි ලමයි බර ගානක් හිටියා. අපේ පර්යේෂණවලට නොදැනුවත්වම උදව් කලේ මේ අය.

ශාන්ත තෝමස් විද්‍යාලය. ඉංග්‍රීසි බාවිතය අතින් දක්ෂ වුනත් ඒ කොල්ලෝ පෙනුනේ ඉගෙනීමට වඩා වෙනත් දේවල් කරපු අය හැටියට. එයාලා අපිට එක අයියා කෙනෙක් කියලා දුන්නු හැටියට ‘ග්ලින් ග්ලින්’ පාවිච්චි කලා. හානිදායක දෙයක් නෙමේ. බේතට වගේ ගන්න එකක්ලු. එයාලා ඉංග්‍රීසියෙන් කතා කරන කොට අපිට තේරෙන්නෙත් නැති තරම්. අපි ඉතින් කට ඇරගෙන බලා ඉන්නවා. යාලුවුනොත් ඒ ඉංග්‍රීසිවලට මොනවා ආපහු කියයිද දන්නේ නැති හන්දා එයාලව ලැයිස්තුවෙන් කපන්න සිද්ධවුනා.

ආනන්ද විද්‍යාලය හොඳයි. සිංහල හොඳයි. ඒත් එයාලගේ තිබුණා “අපි ආනන්ද” කියන එක තදින්ම. අනෙක එයාලා කොළඹ තිබ්බ සමහර බාලිකාවල ගෑනු ලමයි එයාලගේ වගේ තමා හිතන් හිටියේ. “ආ…ඒ ඉස්කෝලේ නංගිලා අපේ. ” එකපාරක් එක අයියා කෙනෙක් කීවා. “එහෙම වෙන්නේ කොහොමද? ඔයාලට එයාලව ලියලා දීලා නෑනේ?” කියලා අහන්න හිතුනත් ඉතින් ඒ කාලේ දැන් වාගේ කට නැති හන්දා සද්ද නැතුව හිටියා.

රෝයල් එකේ ලස්සන කොල්ලෝ හිටියා. ඉගෙනීම කමකට නෑ. අපිට හිතුනේ ඔහොමයි. කමකට නැතුවද? නැත්නම් අපි දන්න අය ඉගෙනීමට ආසා නැතුවද කියන එක හිතෙන්නේ දැනුයි. ඔය රෝයල් අයියලා තරහා වෙනවා එහෙම නෙමේ. වයස අවුරුදු එකොලහක ලමයින්ට එච්චර තේරුමක් නෑ.

නාලන්ද පණ මදි. පණ තියෙන කවුරුත් දැක්කේ නෑ. ඒකයි. මතක් කරලා බැලුවාම, කොටින්ම කීවොත් ඒ ඉස්කෝලේ කවුරුවත්ම දන්නේ නෑ වගේ.

ඩී.එස්. නම් පරිප්පුම පරිප්පු. “අර යන කෙල්ල පේනවා නේද? එයා අපේ ඉස්කෝලේ අහවලාගේ ගර්ල්” අයියා කෙනෙක් අපිට කීවා. “කවදද එයාලා යාලු වුනේ?” කෙල්ලගේ ලස්සන දැකලා පුදුම වුනු අපි ඇහුවා. “තාම එයා ඒ ගැන දන්නේ නෑ. ” ඒ අයියා, එයාගේ යාලුවා ගැන කීවා.

ඒක හරිගියේ නෑ. පස්සේ ස්පෝර්ට්ස් කරන අය ගැන කල්පනා කලා. ඒත් එයාලා සෙල්ලම් කරලා එනවෙලාවට පැත්තේ ඉන්න බැරි ගතියක් තමා දැනුනේ. සිංදු කියන හිතට ගත්තු කට්ටිය, ඔය වගේ අය තේරිලා තේරිලා අහකටම ගියා. එක, එක ආගමික අය ගැන නොයෙකුත් කතා අහන්න ලැබුණා. ඊට පස්සේ තමා හිතුණේ මොන ගොන් වැඩක්ද මේ කරන්නේ කියලා.

ඊට පස්සේ අපි තීරනය කලා හොඳට ඉගෙන ගත්තට පස්සේ හොඳ අය ඉබේම මුණ ගැහෙයි කියලා. ඒ නුවනක්කාර හිතුවිල්ලේ ප්‍රතිපලයක් විදියට අපි දෙන්නම හොඳින් ඉගෙන ගන්නවා. ටානියා මෙල්බන් නුවරත්, මම වෙනත් රටකත්.

මේ කතාව “මිදි ඇඹුල්” කතාව වගේ වුනත්, ඒ හා සමාන නොකරන හැටියට කරුනාවෙන් හැමෝගෙන්ම ඉල්ලාහිටින්න කැමතියි.

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්

https://devduwa.blogspot.com/2016/10/blog-post_20.html

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල