දේශපාලන

කර්නල් මීඩින්, කැරැලි, ඝාතනයට ලක් වන්නෝ හා ඝාතකයෝ

Off

1989 කැරැල්ලේ ජවිපෙ භූමිකාව විප්ලවීය එකක් හෝ අහිංසක එකක් හෝ නො වේ. මුග්ධ එකකි.

යුදමය වශයෙන් පරිණත වීමේ කිසිදු උත්සාහයක් නැතිව, අසාර්ථක මිලිටරි ප්‍රහාර කීපයක් හරහා ලබා ගත් ප්‍රචාරක වාසිය භාවිතා කර, පුද්ගල ඝාතන ඔස්සේ ඉදිරියට යමින්, නිසි මොහොතේ සම්මුතියකට පිවිසෙන්නට උත්සාහ නො කර, නායකත්වය ද සමග දස දහස් ගණනක් ජවිපෙ සාමාජිකයන්, හිතවතුන්,තරුණයන් හා සාමාන්‍ය මිනිසුන් විනාශය කරා යොමු කළ ජවිපෙ දෙවෙනි කැරැල්ල වනාහි ඓතිහාසික අපකීර්තියකි.

මේ කාරණයේදී ජවිපෙ නායකත්වය කටයුතු කළේ උපායික වශයෙන් ඉතාම දුර්වල ලෙස ය. ඔවුහු ප්‍රේමදාස ආණ්ඩුව බිත්තියට හේත්තු කර, ඉන් පසු දෙගිඩියාවෙන් සිටි හමුදාව ඔහුට පක්ෂපාතී වන තත්වයට පත් කර, එයිනුත් නො නැවතී නායකයන් බුරුතු පිටින් එක පාරට අසු වී මිය යන තරම් අපරීක්ෂාකාරිත්වයකින් ද කටයුතු කළ හ. අවසාන වශයෙන් විශාල වන්දියක් ගෙවන්නට සිදු වුණ අතර එ් මිනිස් ඝාතන අත්‍යවශ්‍ය එ්වා නො වී ය.

රන්ජන් විජේරත්න හා දැන් මහණ දම් පුරන අනුරාධපුර පැත්ත භාරව සිටි අණ දෙන නිලධාරියා ඇතුළු ඇතැම් හමුදා නායකයන් මෙන් ම තවත් ඇතැම් දේශපාලකයන් ද කටයුතු කළේ ලේ පිපාසයෙනි.

එම කැරැල්ල මර්දනය කළ ආකාරය ද ඒ හා සමානව ම හමුදාවට හා එජාප රජයට අපකීර්තියකි.

එම කැරැල්ලෙහි මධ්‍යම මට්ටමේ සාමාජිකයකු ලෙස ජවිපෙ කැරැල්ල සම්බන්ධයෙන් මගේ ස්වයං විවේචනය මා පළ කර ඇත්තේ කිසිදු කලෙක ජවිපෙ දේශපාලනයට නැවත සම්බන්ධ නො වීමෙන් හා අගතියෙන් තොරව සමාජය වෙනස් කිරීමේ උවමනාවෙන් කටයුතු කරන රැඩිකල් ව්‍යාපාර ගොඩනැගීමට උර දීමෙනි. වර්තමානයේදී ද මා කරමින් සිටින්නේ එයයි. තවත් තරුණ පරම්පරාවක් එවැනි ස්වයං විනාශයකට ගොදුරු වීම වැළැක්වීම කැරැලි සම්බන්ධ අත්දැකීම් ඇති අපගේ වගකීමක් ලෙස මම සලකමි.

පසුගිය දිනෙක වෛද්‍ය රුවන් එම්. ජයතුංග විසින් තබන ලද සටහනක් හේතුවෙන් මට මා අවුරුද්දකුත්, මාසයකුත්, දවසක් සිරගතව සිටි නැවත එළියකන්ද වධකාගාරය සිහිපත් විය. ඔහු ලියා තිබුණේ කොටි සංවිධානය විසින් මරා දමන ලදැයි සැලකෙන ලුතිනන් තුවාන් මීඩින් ගැන ය. ඔහු ලියූ සටහන මෙසේ ය:

ලුතිනන් කර්නල් තුවාන් මීඩීන්
ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් මට හමු වන්නේ 2003 වසරේදී ය​. එම වසරේදී යුද ආතතිය සහ සංග්‍රාම විඩාව පිලිබඳ දේශනයක් කිරීමට උතුරට ගිය අවස්ථාවකදී මට ඔහුව හමු විය​. එවකට ඔහු මේජර්වරයෙකු වූයේය​. තුවාන් මීඩීන් සේවය කලේ යුද හමුදා බුද්ධි අංශයේය​. ඔහු තුල ඉතා හොඳ දැණුමක් තිබුනේය​. එම නිසා අප සුභාශ් හෝටලයේදී සංවාදයේ යෙදුනෙමු.
මේ කාලයේ මම ප්‍රභාකරන් ගේ මානසික තත්වයන් පිලිබඳව පොතක් ලියමින් සිටියෙමි. ඒ නිසා මේජර් මීඩීන් ප්‍රභාකරන් සහ ඔහුගේ අභ්‍යන්තර කවය පිලිබඳ දැන සිටි කරුණු මෙම පොත ලිවීමේදී මට ඉතා ප්‍රයෝජනවත් විය​. ප්‍රභාකරන් ගේ කායාරක්‍ෂකයන් අතර උන්ඩ ප්‍රතිග්‍රාහකයන් තිදෙනෙකු සිටින බව ඔහු හෙලි කලේය​. මෙම තොරතුර උසස් හමුදා නිලධාරීන් පවා දැන සිටියේ නැත​.
2005 වසරේදී වරක් ඔහු මා සොයා කොලඹ හමුදා රෝහලට ආවේය​. මා විසින් මෝහන ප්‍රතිකාර මගින් සුව කරන ලද සංවර්තන ආබාධ ( Conversion Disorders ) තිබූ රෝගීන් කීප දෙනෙකු සමග ඔහු කතා කලේය​. එසේම මගේ මෝහන ප්‍රතිකාර සැසියක් ද ඔහු නිරීක්‍ෂණය කලේය​. තවද අත් අඩංගුවට ගත් කොටි සාමාජිකයන්ට පහර දී තොරතුරු ගන්නවා වෙනුවට මෝහනය කිරීමෙන් තොරතුරු ලබා ගත හැකිදැයි බැලීම ඔහුගේ අභිප්‍රාය විය​.

අවසන් වරට ඔහු මා හමුවූ දිනයේ ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් මට මෙසේ කීවේය ” තව ස්වල්ප දිනකින් ඔබට මාව ඝාතනය කලා කියා ආරංචි වෙයි. මගේ අවමංගල උත්සවයට පැමිණ වැතිර සිටින මා දෙස බලන්න​. මෘත ශරීරයක් ව වැතිර සිටින මේ මිනිසා බොහෝ රහස් දන්නේය​. ඒවා හෙලි කලහොත් බොහෝ දේශපාලකයන් හමුදා නිලධාරීන් බලවත් අපහසුතාවට පත් වනු ඇත​. එම නිසා මම ඒ රහස් රැගෙන මගේ මිනී ව​ළට යමි.”


ඔහු මට මෙය කීවේ කොලඹ යුද හමුදා රෝහලේ මානසික රෝග වාට්ටුවේ මගේ ප්‍රතිකාර කාමරයේදීය​. මම ඔහුගේ මරණය පිලිබඳ කතාව බැරෑරුම්ව නොගත්තෙමි. නමුත් ඉන් සති කීපයකට පසුව ලුතිනන් කර්නල් තුවාන් මීඩීන් කොටින් ගේ බුද්ධි අංශය විසින් ඝාතනය කල බව මට ආරංචි විය​.

ෆේස්බුක්හි මේ සම්බන්ධයෙන් සිදු වූ සංවාදය තුළ තවත් වැදගත් කරුණු තිබේ.

1966 ජුලි 27දා හම්බන්තොටදී උපන්, ගාල්ල ඇලෝසියස් විද්‍යාලයෙන් උගෙන සිය සොයුරා ගත් මග ඔස්සේ යමින් 1986දී හමුදාවට බැඳුණු තුවාන් රිස්ලි මීඩින් මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක් වන්නේ කිරිබත්ගොඩ ඔහුගේ නිවස ආසන්න තැනකදී 2005 ඔක්තෝබර් 29දා ය. ඒ වන විටත් රජය හා කොටි සංවිධානය අතර සටන් විරාමය ක්‍රියාත්මක වෙමින් තිබුණු මුත් දෙපාර්ශ්වය විසින් ම සටන් විරාමය උල්ලංඝනය කරමින් තිබිණි. කොටි සංවිධානය ඉහළ පෙළේ ඉලක්ක රැසක් ගත් අතර පළමු බුද්ධිබලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් මීඩින් ඒ අතර ඉහළ ම පෙළේ එකකි.

ලුතිනන් මීඩින් කෙනෙකු ගැන මට ද මතකයක් තිබේ. සොල්දාදුවකු ලෙස ඒ මීඩින් පිළිබඳ දැන් මට ඇත්තේ උපේක්ෂා සහගත අදහසකි. මට මතක හැටියට ඔහු විසින් අත්අඩංගුවට ගන්නා ලද දෙවුන්දර කොට්ටාසයේ ජවිපෙ ලේකම්වරයා ඔහුගේ තුවක්කුව රැගෙන යන තරම් හීලෑ කර ගන්නට ඔහු සමත් වී සිටි බව මට සිහිපත් වේ. මෙම කොට්ඨාස ලේකම්වරයාගේ අලුත පත් වී ආ දේශපාලන අංශ ප්‍රධානියා ලෙස මා ඔහු හමු වන විට මා ඇඳ සිටියේ දිය වී ගොස් තිබුණු පරණ කමිසයක් හා කලිසමකි. මට මතක හැටියට එය එකල මට තිබුණු එක ම ඇඳුම හෝ ඇඳුම් දෙක තුනෙන් එකක් විය. ඒ වෙලාවේ මා දෙස බැලූ ඔහු මට ඇඳුම් ටිකක් ලබා දීමට පොරොන්දු විය. එහෙත්, ඊට පෙර මා අත්අඩංගුවට පත් විය. ඔහු ද අසු වී හමුදාවට සහයෝගය දෙන පුද්ගලයකු බවට පත් විය. මට මතක හැටියට ඔහුගේ නම කපිල ය. මා ඔහු පිළිබඳ තොරතුරු දැන ගැනීමට මීට මොහොතකට පෙර එවක එළියකන්දේ සිටි මිතුරකුට දුරකථන ඇමතුමක් දුන් විට ඔහු කීවේ ඔහුව අල්ලා දුන්නේ ද එම පුද්ගලයා බව ය.

මෙම කොට්ඨාස ලේකම්වරයා හමුදා නිලධාරීන්ගේ මිතුරකු සේ හැසිරුණේ ය. වරක් ඔහු මීඩින් සමග එළියකන්දට පැමිණ හමුදා නිලධාරීන් සමග කැරම් ගසමින් සිටියදී, සිරකරුවන් අතර සිටි මා දැක, මා ඔහුට හමු වූ අවස්ථාව හා ඔහු මට ඇඳුම් වගයක් දෙන්නට පොරොන්දු වූ බව මතකදැයි ඇසී ය.

මෙම ලෙෆ්ටිනන්ට් මීඩින්ගෙන් මට පෞද්ගලිකව කිසිදු වරදක් සිදු වී නැත. වරක් ඔහු සිටි හෙට්ටියාවල කඳවුරට ප්‍රශ්න කිරීමක් සඳහා මා ගෙන ගිය එළියකන්ද හමුදා කඳවුර භාර නිලධාරියා මීඩින් සමග මත්පැන් බීමෙන් පසු මා එහි අමතකව හෝ හිතාමතා හෝ දමා ගියේ ය. එදින එම කඳවුරේ සෙබළු මට දරුණු ලෙස පහර දුන් අතර මට සිිහිය ආවේ ද පැය කීපයකට පසුවයි. පැය හතරක පමණ කාලය තුළ සිදු වූ දෙය මට කිසි සේත් ම නැවත සිහි එළවා ගත නො හැකි ය. මර බියෙන් මා ඔවුන්ට බැණ වැදුණු බව ද, එබැවින් මට බිම දමාගෙන අතින් පයින් පහර දුන් බව ද පසුව වෙනත් සිරකරුවෙක් මට කීවේ ය. මට ඒ කිසිවක් මතක නැත.

ඉන්පසු දින ගණනක් මගේ දෑත්, දෙපය හා ඇස් බැඳ එම කඳවුරේ සිරකරුවන් දමා සිටි පොල්ලතු මඩුවේ දමා තිබිණි. දින ගණනකට පසු මීඩින් මඩුව අසලට පැමිණ, සිරකරුවන් බලා, මා එහි සිටිනු දැක, එදින ම සවස මා ආපසු එළියකන්දට පිටත් කළේ ය. ඔහු නිතර එළියකන්දට පැමිණියේ ය. ඒ එම කඳවුර භාරව සිටි ලුතිනන්වරයා සමග මත්පැන් බීමටයි.

මෙම සිරකරුවන් අතර ජවිපෙට උපකාර කළ චෝදනාවට රැගෙන විත් තිබුණු ප්‍රදේශයේ වැඩිහිටි භික්ෂුවක් ද සිටියේ ය. එම භික්ෂුවගේ සිරුර මෝටර් බයිසිකලයක සයිලන්සරයෙන් පුළුස්සා සුව වූ තුවාල කැළැල් තිබුණු අතර, කඳවුරේදී ඔහුට සලකනු ලැබුවේ තිරිසන් සතෙකුට සේ ඉතා නින්දිත ආකාරයටයි. මෙම භික්ෂුව තුළින් මට නම් සෙසු තරුණ කැරැළිකරුවනට වඩා පරිණත, උපේක්ෂා සහගතබවක් දක්නට ලැබිණි.

හෙට්ටියාවල කඳවුරේ තිබුණු සුවිශේෂ වධක ක්‍රමයක් වන්නේ කුරුසයේ ගැසීමයි. සිරකරුවා දෑත්වලින් පුවක් කොටයක බැඳ දින ගණනක් එල්ලා තබන බව මා අසා ඇත. දැක නැත. එහෙත්, එය අවසන් වූ පසු මඩුවට ගෙනැවිත් දමන ලද සිරකරුවන්ගේ දෑත් අක්‍රිය වී තිබිණි. බත් කටක් අනා කටට ගන්නට බැරිව ඔවුහු මාස ගණනක් දුක් වින්ද හ.

මීඩින් යටතේ තිබුණු තලල්ල, හෙට්ටියාවල කඳවුරු සිරකරුවන්ට ඉතා නින්දිත ලෙස සැලකූ සහ වධ දී මරා දැමූ ඒවා ය. එහි යම් ජාතිවාදී ස්වරූපයක් තිබුණු බව මගේ හැඟීමයි. එහෙත්, සිංහල හමුදා නිලධාරීන් අණ දුන් කඳවුරුවල ක්‍රියාකාරිත්වයේ ද වෙනසක් තිබුණේ නැති නිසා මට එය සහතික කර කීමට බැරි ය. එම වකවානුවේ තුවාන් මීඩිං දක්ෂ නිලධාරියකු වූ බවක් මට නම් නිරීක්ෂණය වූයේ නැත.

මා සමග අත්අඩංගුවට ගෙන, එළියකන්දේ රඳවා සිටි, නාලන්දා විද්‍යාලයේ සිසුවකු ලෙස සිටියදී ජවිපෙ දේශපාලනයට එක් වූ දක්ෂ තරුණයකු වූ චම්ලි හෙවත් රත්නායක  අතුරුදහන් වුණේ මා මීඩින්ගේ හෙට්ටියාවල කඳවුරට ගෙන ගොස් සිටියදී ය. චම්ලි මාතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ අංශයේ නායකයා විය. ජවිපෙ විසින් පත්තු කරන ලද මුල් ම බිම් බෝම්බය වූ ගන්දර බිම් බෝම්බය ඇතුළු සිද්ධි කීපයක වගකීම ඔහු භාර ගත්තේ ය. එසේම, ඔහු ආරක්ෂක අංශ සමග කිසියම් ආකාරයක සම්මුතියක් ඇති කර ගැනීමට ද දක්ෂ වූයේ ය. මගේ ජීවිතය බේරෙන්නට ද එය ඉවහල් වන්නට ඇත. එහෙත්, ඔහු තමන් ගැන හෙළිදරව් කර තිබුණේ මා දන්නා තොරතුරු පමණි. ඔහු කිසිවකු පාවා දුන්නේ ද නැත. අප මාස ගණනක් එළියකන්දේ සිටි මුත්, මට කිසි දිනෙක ඔහු සමග කතා කරන්නට ලැබුණේ නැත. ඔහුව සෙසු අයගෙන් වෙන් කර තබන ලදී. ගෙදර අයට ද පෙන්වන ලදී. ඔහු හා මා වෙනුවෙන් රැඳවුම් නියෝග ද ගෙන තිබිණි.

බිත්තියෙන් එහා පැත්තේ සිට මේ තරුණයා විමුක්ති ගී උරුවම් බෑ අයුරු අද ද මට සිහිපත් වේ.

එහෙත්, 1990 දෙසැම්බරයේදී පමණ අත්අඩංගුවට පත් වූ ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ ගාමිනී විජේගුණසේකර හෙවත් රිචඩ් හෙවත් අතුරලිය චම්ලි විසින් හෙළිදරව් කර නො තිබුණු වගකීමක් ආරක්ෂක අංශවලට හෙළිදරව් කළේ ය. එම වකවානුවේ පුවත්පත් කැබැල්ලක තිබී කියවා දැන ගත් ආකාරයට, එම වගකීම අනුව චම්ලි ආරක්ෂක අංශයේ සම්බන්ධකම් සම්බන්ධීකරණය කිරීමක් කර තිබිණි. මා අසා ඇති පරිදි චම්ලිව තලල්ල කඳවුරට යවා ඝාතනය කර තිබෙන්නේ මෙම පාවාදීම නිසා ය.

චම්ලිගේ වාසගම මට මතක අන්දමින් දිසානායක ය. මීඩින් ඝාතනය කළේ යයි සැලකෙන අන්ද්‍රාහැන්නදිගේ චමින්ද දර්ශන හෙවත් අයිස් මංජු මීඩින්ට මුණගස්වන්නේ පිටකොටුවේ ශාන්ත ජෝන් මාළු වෙළඳපොළේ ව්‍යාපාරිකයකු වූ චම්ලි දිසානායක නම් අයෙකු බව ද සඳහන් වේ. ඒ චම්ලි හා මේ චම්ලි එක ම අයෙකුදැයි මම නො දනිමි. අයිස් මංජු ගන්දර පැත්තට සම්බන්ධ ව්‍යාපාරිකයකු වීම ද සුවිශේෂ ය. ගන්දර යනු 1989දී ලුතිනන් මීඩින් සේවය කළ තලල්ල කඳවුර ආසන්න ප්‍රදේශයකි. ඝාතනයෙන් පසු අයිස් මංජු කොටි පාලන ප්‍රදේශ වෙත පළා ගිය බව වාර්තා විය. යුද පරාජයෙන් පසු ඔහු සිවිල් වැසියන් සමග අවතැන් කඳවුරක වෙසෙන බවට දිනමිණ වාර්තාවක් පළ විය. තවත් වාර්තාවක අයිස් මංජු අත්අඩංගුවට ගත් බව පළ වූ මුත් ඉන් පසු කුමක් වීදැයි නො දනිමු.

මීඩින්ට තිබී ඇත්තේ අමුතු සම්බන්ධකම් ය. ඔහු ඝාතනයට ලක් වන රාත්‍රියේ ඔහුගේ ආරාධනාව පිට නිවසට රාත්‍රී භෝජන සංග්‍රහයකට පැමිණෙන්නේ ප්ලොට් සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගේ පවුලයි. ඔහු හමුදා ප්‍රොටොකෝල්වලට පටහැණි අයුරින් ඔහුගේ පෞද්ගලික කටයුතු හා රාජකාරි කටයුතු මිශ්‍ර කරගෙන වැඩ කර ඇති බව පෙනේ. ඔහු දක්ෂ නිලධාරියකු ද යන්න මම නො දනිමි. ජවිපෙ කැරැල්ල මර්දනය කරන සමයේ නම් ඔහු තුළින් කිසිදු සුවිශේෂ දක්ෂකමක් පෙනුණේ නැත.

ජවිපෙ යනු මිලිටරි වශයෙන් ඉතා දුර්වල ව්‍යාපාරයකි. යුද නීති නො තකා මර්දනය කරන්නට අවසර ලැබුණු පසු එය මර්දනය කරන්නට විශේෂ දක්ෂතාවක් අවශ්‍ය වූයේ නැත. එහිදී සිදු වුණේ තිරශ්චීන ලෙස අහිංසකයන් හා සාමාන්‍ය ජවිපෙ සාමාජිකයන් බුරුතු පිටින් වධ දී මරා දැමීමයි. එයට විශේෂ දක්ෂතාවක් අවශ්‍ය නැත.

මෙම සටහන තබන්නේ ජවිපෙ කැරැලිකරුවන් සම්බන්ධයෙන් මෙන් ම හමුදා සෙබළ තරුණයන් සම්බන්ධයෙන් ද අගතියකින් තොරව ය. ඝාතනයට ලක් වන්නා සේ ම, ඝාතනය කරන්නා ද එක ම කාසියේ දෙපැත්ත වන් ගොදුරු වෙති. මගේ අරමුණ සත්‍යය සාකච්ඡා කිරීමෙන් එවන් සිදුවීම් නැවත සිදු නො වන තත්වයක් නිර්මානය කිරීම පමණි.

ලංකාවේ තරුණයන්ට ඝාතනය වීම හා ඝාතනය කිරීම හැර වෙන දෙයක් උරුම කර දුන්නා නම්, මීඩින්, රත්නායක හෙවත් චම්ලි හා තවත් බොහෝ සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ ආදී තරුණයන්ගේ නිර්මානශීලිත්වයෙන් හා ශ්‍රමයෙන් ලක්බිම සමෘද්ධිමත් වන්නට තිබිණි.

තුවාන් රිස්ලි මීඩින් ගැන තවත් වැදගත් ලිපි කීපයක්

සන්ඩේ ඔබ්සර්වර්
සන්ඩේ ටයිම්ස්
ලංකා ලයිබ්‍රරි

 

 

– අජිත් පැරකුම් ජයසිංහ

-සියලු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය

http://www.w3lanka.com/2016/10/blog-post_55.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල