අතීතකාමය

දෙසතිය මතක- සංක්‍රාන්ති සමයේ සතුට,වතුර සංග්‍රහය, වත්තේගෙදර හාමුදුරුවන්ගේ දානය සහ මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානය.

Off
අමතර අංගජාතයකට  තබා ස්ථිර අංගජාතයටවත් සුළුදිය පහ කරනවා වැනි සිල්ලර වැඩක් ඇරෙන්නට  වෙන කිසිම වැදගත් වැඩක් ඒ දවස්වල තිබුණේ නැති නිසා ඉලෙක්ට්‍රික් අංගජාතය මට සතපහක වත් ප්‍රයෝජනයක් නැති තෑග්ගක් වුයෙන් දෙතුන් වතාවක් එය ක්‍රියාත්මක කර වැඩ කරන හැටි බලා ලාච්චුවේ දමා වසා තැබුවෙමි.     ඔය කාලයේ අපේ දෙසතිය බෙදාහැරීමේ අංශය ක්‍රියාත්මක උනේ මැලේ වීදියේ ඉස්සර අධ්‍යාපන අමාත්‍යංශය තිබු ගොඩනැගිලිවලින් එකක සිටය.    දෙපාර්තමේන්තුවේ ඉතිරි හරිය කොම්පඤ්ඤ වීදියේ රක්ෂණ සංස්ථා ගොඩනැගිල්ලේ සිට ක්‍රියාත්මක විය.     දෙපාර්තමේන්තුව කෑලි කෑලි වලට කැඩුණු හැටිත් ලස්සන කතාවකි.
මම ගිය කාලයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පිහිටා තිබුණේ කොටුවේ ට්‍රාන්ස්වර්ක් මන්දිරයේය.    අප සියලු දෙනාම දන්න පරිදි එය ඉංග්‍රීසි පාලන සමයේදී සාදා ඇති අලංකාර ගොඩනැගිල්ලකි.   කොටුව දුම්රිය පොළේ සිට ඇවිදගෙන එන දුරය.     මේ අලංකාර ගොඩනැගිල්ලේ උඩ තට්ටුවලටත් පඩිපෙළටත් භාවිත කොට තිබුණේ ඉස්තරම් බුරුම තේක්ක ලීය.    ඒවා යකඩ කඳන් මෙන් සවි ශක්තිය ඇති ලී බව බැලු බැල්මටම පෙනුනේ ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ සිට එදා  දක්වාම පාවිච්චි වී ඇති ඒ ලීවල  කිසිම ඇද පලුද්දක් සොයා ගන්නට නොතිබුණු නිසාය.    ඉතින් මේ අලංකාර මන්දිරයේ පිහිටුවා තිබු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අපි වැඩකළේ අසීමිත නිදහසකිනි.
මා සේවය කළේ පාලන අංශයේ වුවද විවේකයක් ලැබුණු හැමවිටම මා දිවගියේ දෙසතිය කර්තෘ මණ්ඩලයටය. ඒ ලිපි ලේඛනවලට සහ සාහිත්‍යයට එදා සිටම මගේ තිබු ආශාව නිසා වන්නට ඇත.    තවත් කතාවක් කිවහොත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අපේ අංශයේ සිටි සියලුම දෙනා පාහේ වඩාත් ආර්ථික වාසි ලැබෙන ස්ථානවලට මාරු ලබා ගත්තද මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලා ගත්තේ දෙසතියත් රජයේ චිත්‍රපට අංශයත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අයත්ව තිබුණු නිසාය.    දෙසතියේ අයද අමුත්තෙකු වුවද මාව ආදරයෙන් පිළිගත්තා මට මතකය.    ඒ කාලයේ දෙසතිය සංස්කාරක වරයා වුයේ ගාමිණි විජේතුංග වූ අතර වින්සන්ට් පෙරියප්පෙරුම නියෝජ්‍ය සංස්කාරකවරයා විය.    ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා පිටු සැකසුම් ශිල්පියා වූ අතර ඔවුන්ගේ සහයට තවත් හතර පස් දෙනෙක් දෙපාර්තමේන්තුවෙන් අනුයුක්ත කොට තිබුණි. කියන්නට මඳක් මැලිවන කරුණක් වුවද නොකියා බැරි කාරණාවක් වන්නේ මා යද්දී පාලන අංශයත් දෙසතිය කර්තෘ මණ්ඩලයත් අතර තිබුණු අන්‍යොන්‍ය සම්බන්ධතාව ඉතාම දුර්වල අඩියකට පත්ව තිබු වගය.    කෙසේ වුවද එය වෙනම කතාකළ යුතු කාරණයකි.
ඔය ආකාරයට වසර දෙකක් පමණ ගතවෙද්දී හෙණය වැදුණේ එක්වරටමය.     බොහෝ නිදහසකින්ද සතුටින්ද අප සේවය කල ස්ථානය අපට එක්වරම අහිමිවී ගියේය.   ඒ කතාව ද කාගේත් දැනගැනීම සඳහා ලියා තැබුවහොත් හොඳයි කියා මට සිතේ කතාව මෙහෙමය.     දවසක්දා ජනාධිපති ප්‍රේමදාස ගමනක් යද්දී ට්‍රාන්ස්වර්ක් මන්දිරයේ අලංකාරය දැක විස්තර සොයා බලා ඇත.     ඊට පසුව ඔහු නියෝග කර තිබුණේ ඉන්න අයට වහාම එම ගොඩනැගිල්ලෙන් ඉවත් වන්නට කියාය.    හේතුව වුයේ එතැන මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානයක් සහ ප්‍රදර්ශනාගාරයක් ආරම්භ කිරීමට නියමිත වීමය.    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට හා ප්‍රවෘත්ති රාජ්‍ය අමාත්‍යාංශයට හැකි ඉක්මනින් ඉවත් වන්නට ජනාධිපති කාර්යාලයෙන් නියෝග ලැබී තිබුණි.     යන්නට කීවාට කොයි වල යන්නටද?  කොයි වල යන්නටද කියන විට මට පරණ කතාවක් මතක්වේ.
අසරණ සරණ හික්කඩුවේ ශ්‍රී සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේ  එක් පෝය දිනක පිංකමකට වඩින විට වෙල් නියරක ඇනබාගෙන බිලී පිත්තක් වලකට දමාගෙන ඉන්නා කොලුවෙක් දැක ” ඈ බොල කොලුවෝ අද  උතුම් පෝය දවසේ  මේ කරන පව්කාර වැඩේ නිසා තෝ කොයි වල යන්නටදැයි ඇසුසේක.”     උත්තර දෙන්නට මොහොතක් වත් ප්‍රමාද නොවූ කොලුවා ” අනේ හාමුදුරුවනේ මේ වලේ මාළු නැතිනම් එහා වලට යනවා” යි නොපැකිලව පිළිතුරු දුන්නේය.     කුඩා වුවද කොලුවාගේ මුඛරිකම ගැන ප්‍රසාදයට පත්වූ උන් වහන්සේ පසු කාලයක මේ කොලුවා පැවිදි කරවන ලදුව තොටගමුවේ ශ්‍රී රාහුල නමින් චිර ප්‍රසිද්ධ මහතෙර නමක් වූ වග මා කියවා ඇති කතාවක තිබුණා මතකය.     කතාව ලියන ලද්දේ මතකයෙන් බැවින් කතාවේ හෝ නම් ගම්වල අඩුපාඩුවක් ඇත්නම් නිවැරදි කරනු ලබත්වා.
යන්නට තැනක් සොයා ගන්නට බැරිව සතියක් පමණ ගතවිය.    දිනපතාම ජනාධිපති කාර්යාලයෙන් තර්ජානාත්මක විමසීම් ලැබෙන්නේ තාම ගියෙ නැද්දැයි අසමිනි.    දැන් කරන්නට දෙයක් නැත ඒ නිසාම අපට සිදුවුණේ ජනාධිපති ප්‍රේමදාසගේ සැට් එක ඇවිත් එලවා දමන්නට පෙර බඩුත් පොදිබැඳගෙන පොල්හේන්ගොඩ රජයේ චිත්‍රපට අංශයට අවතැන් වන්නටය.    අපි බඩු ටිකත් ලොරිවල පටවාගෙන ගිහිං රජයේ චිත්‍රපට අංශයේ ගස්යට වාඩිලා ගත්තෙමු.     දෙපාර්තමේන්තුව ස්ථාන මාරු කළ කාලය හෙවත් සංක්‍රාන්ති සමය අපට නම් එකම විනෝද සාගරයක් විය.     අපේ රාජකාරියට අයත් බඩු බාහිරාදිය එකලස් කර අලුත් තැනට ගෙනයන්නට දීමෙන් පසු බොහෝ විනෝදයෙන් කාලය ගතකළෙමු.     බඩු අදින එක දවසක අපි කළේ උඩ තට්ටුවේ හැංගී ඉඳිමින් පහළ දොරෙන් ඇතුල්වෙන අයට වතුර ගැහීමය.     හොයන්නට එනවිට දුවගොස් කොහේ  හෝ හැංගී ඉඳ නැවතත් ඇවිත් පහළ ඉන්න උන්ට වතුර සංග්‍රහය දුන්නෙමු.      අපි කීපදෙනෙක් වතුර ගහන විට වතුර ගෙනැවිත් දීමෙන් උදව් කළේ ජයරත්නත්, පුෂ්පිකාත් ය.
ජයරත්න මැදි වයසේ සිටි අයෙකු වුවද කොලුකම ඔහුගේ ඉහට ගසා තිබුණි.     පුෂ්පිකාත් ඒ වගේය විවාහක  එක්දරු මවක වුවද කෙල්ලෙක් මෙන් සැහැල්ලුවෙන් විනෝදයෙන් හැසිරුණු ඇය අපි කළ ඕනෑම  කුප්ප වැඩකට කොන්දේසියකින් තොරව මුළු හදවතින්ම සහයෝගය දුන්නාය.     උන් දෙන්නා වතුර ගත්තේ කඩා දමා තිබු ඡායාරුප අංශයේ අඳුරු කාමරයේ තිබු ටැප් එකෙනි.     මුලින් මුලින් සිලි සිලි කවර වලට වතුර ගෙනැත් දුන්නත් සිලි කවර හිඟවන විට කරදාසි කොළ ගොටු වලට වතුර පුරවාගෙන  දුවගෙන ඇවිත් අපට දුන්නේ වතුර ඉහිරෙන්නට පෙර ගහන්නටය.      දෙසතියේ සුරේෂ්ගේ සහයට සිටි ශ්‍රියානිට දොරෙන් ඇතුල්වන විටම වතුර පාරක් වැදුණු අතර  ඇය අඬාගෙන දිව ගියේ වතුර ගහපු උන්ට විරුද්ධව පැමිණිලි කරන්නටය අපි වහා දිවගොස් හොඳ ළමයින් වගේ වාඩිවී සිටියෙමු.   තවත් එකෙක් වතුර ගහන උන්ට තිත්ත කුණුහරුපයෙන් බණිමින් ඇතුළට ආවේ ඌට වතුර ගහන්නට ඉන්න එකාගේ මෑණියන්ට පිං දෙමිනි.    දොරෙන් ඇතුල්වන විටම සූස් ගාගෙන පියඹා ආ වතුර කවරයක් චකස් ගා උගේ මුණේ වැදී වතුරෙන් නෑවී ගියේය ඒ සමගම ඌ ආගිය අතක් නැතිවිය.
ඔය විදියට ෂිෆ්ටින් ආතල් ගත්ත අපිට චිත්‍රපට අංශයට ගියදා සිට වැඩක් කරන්නට තියා වාඩිවී ඉන්නටවත් තැනක් නැති සුපිරිම අනාථයන් රැළක් බවට පත්වූයෙමු.      දවස් දෙකතුනක් යද්දී හදිසියේ වැස්සොත් එහෙම ගෙනා සබ්බ සකලමනාවම තෙමී දියබත්වන හේතුවෙන්  චිත්‍රපට අංශයේ ඇති කුඩා සිනමා ශාලාවට මාරුවක් ලද්දෙමු.     සිනමා ශාලාවට ගියත් අපි එහි වාඩිවී නොසිටියේ ඉන්නට කම්මැලි නිසාය.     ඒ දිනවල අපේ දෛනික වැඩසටහන වුණේ උදේට කොටුව ස්ටේෂන් එකේ සිට පොල්හේන්ගොඩ රජයේ චිත්‍රපට අංශයට ඔෆිස් වාහනයෙන් ඇවිත් කට්ටියම කැන්ටිමට එකතුවී උදේ කෑම ගෙන ඉන්පසුව නොයෙකුත් බූත කියවමින් කාලය ගතකර බොහෝවිට දවල් වෙද්දී පොල්හේන්ගොඩ වලේ බාර් එකටද ගොස් ආපහු ඇවිත් දවල් කෑම කා හවස තුන වෙද්දී යන්නට පිටත් වීමය.     සති කීපයක් මෙලෙස ගතවෙද්දී දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අංශයත් දෙසතිය කර්තෘ මණ්ඩලයත්  කොම්පඤ්ඤ වීදියේ රක්ෂණ ගොඩනැගිල්ලටද පාලන අංශය,ගිණුම් අංශය,ඡායාරුප අංශය හා දෙසතිය බෙදාහැරීම මැලේ වීදියේ පරණ අධ්‍යාපන අමාත්‍යංශ ගොඩනැගිල්ලටද ගෙනයන ලදී.
මැලේ වීදිය අපට තිබුණාටත් වඩා හොඳ තැනක් විය.    කොම්පඤ්ඤ වීදියේ හෝටල්වල රතුළූණු අතවැඩියෙන් දමා මිරිස් සැරට  හදන කෝලි හොද්ද සමග ගෝදම්බ රොටීවලද බාබත් සමග මනි පිට්ටුවලද රස විඳිමින් ජෑම් ගහ යට හොරපොලෙන් බාර් වසා තියෙන දවස්වලටද  සප්පායම් වෙමින් අපි ඉතා සැහැල්ලුවෙන් කාලය ගතකළෙමු.     රාජකාරිය වූ දෙසතිය බෙදාහැරීමද ඉතා හොඳ තත්වයකින් පවත්වාගෙන යන්නට මගේ ගෝලයින් ඉතා කැපවීමෙන් කටයුතු කළෝය.    ඔය කාලයේ අලුතෙන් බඳවාගත් කණ්ඩායමකින් මුස්තාපා නම් තරුණ කොල්ලෙක්  දෙපාර්තමේන්තුවට පත්කර එවන ලදී.     උගේ උපන්ගම නැගෙනහිර පළාතේ සයින්දමරදු වූ අතර ප්‍රශ්නය වුයේ මේකාට දෙමළ හැරෙන්නට වෙන කිසිම භාෂාවක් ලියන්න කියවන්නට හෝ කතාකරන්නට බැරිවීමය.     ඒ නිසාවෙන් වෙනත්  කිසිම අංශයකට වැඩක් ගන්නට බැරි නිසා මුස්තාපාව මගෙ ලඟට එවන්නට යෙදුනු අතර මමද කිසි වෙනස්කමක් නොපා ඌව ආදරයෙන් මගේ බෙදාහැරීම් කණ්ඩායමට එකතු කර ගතිමි.
භාෂාව බැරිවුනද මුස්තාපා ඉතා හොඳ කණ්ඩායම් සගයෙකු වූ අතර අපේ රාජකාරි ගමන්වලට බොහෝ  උනන්දුවෙන් සහභාගී විය.       දෙසතිය රාජකාරිවලට පිට පළාත්වලට යද්දී ජීවිතේටම මත්පැනක් තොල නොගා සිටි අහිංසකයාට අරක්කු බොන්නට පුරුදු කරන්නට දෙසතියේ ගෝලයන් වූ සෝමපාල සහ කාලිංගට ටික දවසකින්ම හැකිවිය.    පසු කලෙක සයින්දමරදුවලට මාරුවක් ලබාගෙන යන තුරුම මුස්තාපා අප සමග ඉතා සතුටින් සේවය කළේය.     දෙසතිය බෙදාහැරීමේදී අප නොවරදවාම යන්නට පුරුදුවී සිටි පන්සලක් වත්තේගෙදර පැත්තේ විය.    ඒ පංසලේ හාමුදුරුවෝ ඉතාම හොඳ දෙසතිය පාඨකයෙක් වූ අතර පංසලට යන අපට ඉතා හොඳින් ආගන්තුක සත්කාර කරන්නට  අමතක නොකළහ.    දවාලක ගියොත් නොවැරදීම දවල් දානය අපටත් ලැබෙයි හවසක නම් රසකැවිලි කෙසෙල්ගෙඩි සමග තේය.     දානය අවසන්ව අප එන්නට පිටත්වන විට හාමුදුරුවන්ට පිරිකරට ලැබී ඇති කුඩ හෝ තුවා තෑගි වශයෙන් ලැබේ.  මේ සංග්‍රහ සත්කාර හේතුවෙන් අප ඒ හාමුදුරුවන්ගේ පංසලට යන්නට බොහෝ ප්‍රිය කළෙමු.
දැන් ඉතින් අදට කතාව හමාර කරන්නට වෙලාව පැමිණ ඇති නිසා දැන් ඇත්තේ පුර්වාපර සන්ධි ගැලපීමයි. ට්‍රාන්ස්වර්ක් මන්දිරයෙන් පිටත්වීමෙන් පසු තැන තැනට යන්නට සිදුවූ නිසා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ස්ථිර වාසස්ථානයක් අවශ්‍ය බව තේරුම් ගත් බැවින් දෙපාර්තමේන්තුවේ දේපොලක් වූ රජයේ චිත්‍රපට අංශය තිබෙන ඉඩමේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, අමාත්‍යාංශය සහ එයට අයත්  අනිකුත් සියලුම අංශ සඳහා ගොඩනැගිලි පසුකලෙක ඉදිවිය.    දැන් ඔය නෙළුම් අජිත්ලා බ්ලොග් සම්මාන දෙන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරය ඉදිවුණේ අන්න ඒ ආකාරයටය.     ජනාධිපති ප්‍රේමදාස ට්‍රාන්ස්වර්ක් මන්දිරයේ ඉදිකරන්නට සැලසුම් කළ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයට කුමක් වුනේදැයි කියන්නටද අවශ්‍යය.     ප්‍රේමදාස මහතා වැඩේ භාරදුන්නේ නවලෝක මුදලාලිටය.    මුදලාලි පළමුවෙන්ම කළේ ගොඩනැගිල්ලේ තිබු මසුරන් වටිනා බුරුම තේක්ක ලී සියල්ලම ගලවා  පෑලියගොඩ ලී මෝලට ඇදගැනීමය.     ඉන්පසුව ජනාධිපති ප්‍රේමදාසට විරුද්ධව ආ දෝෂාභියෝගය හේතුවෙන් බොහෝ අවිවේකී වූ ඔහුට ට්‍රාන්ස්වර්ක් මන්දිරය ගැන සොයා බලන්නට වෙලාවක් නැතිවූ බැවින් වැඩේ එහෙමම යටගොස් ට්‍රාන්ස්වර්ක් මන්දිරය පාලුවට ගොස් තිබියදී යන්නට තැනක් නැතිව සිටි කොටුව පොලිසිය එයට රිංගාගෙන සිටිනු මම පසු දවසක එතැනින් යද්දී දුටුවෙමි෴
ප.ලි. කාර්ය බහුලත්වය සහ කම්මැලිකම හේතුවෙන් ලිවීම කල්දදා සිටි මට හැමදාම වගේ කතා කර ලියන්නට කියා කරදර කළේ කොච්චියාය.   මේ පෝස්ටුව අද පළකලේ කොච්චියාගේ කරදරයෙන් බේරෙන්නට බවද වැඩිදුරටත් ලියා තබමි.
– සියලු හිමිකම් බ්ලොග්කරු සතුය.

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල