සාහිත්‍ය කළා විචාර

තීර්ථයට මුසු වූ සපු මල් සුවඳ !

Off

( 2016 නිකිණි මහේ 20 වන දින පැවැත්වූ ‘‘තීර්ථය‘‘ කුමාරදාස සපුතන්ත්‍රී ගීතාවලෝකන වැඩසටහනේදී තිළිණ කළ සමරු පොතට සපූ ගී ගැන ලියූ සටහන…)

‘මලක් වෙලා ඔබ පිපෙන්න’, ‘හදේ කොතැනක හෝ හිඳී ඔබ’, ‘සිනා පිපෙනා මේ වසන්තය’, ‘නිදුකාණනේ’, ‘පිලේ පහන නිව්වා මං’, ‘එපා හිරු පායන්න’, ‘දොඹ මලින් මලක’, ‘ඔබ මට තරුවකි’…. මේ සරල, සුභාවිත ගී රැස දශක තුන හතරක කාලයක් රසික සිත්සතන් තුළ නින්නාද නගමින් පවතින බව නොකිවමනා ය. 70, 80 දශකයන්හි ගුවන්විදුලියේ සරල ගී වැඩසටහන් හරහා තම සරල, සුගම, සිලිටි බසින් ලියැවුණු ගේය පද නිර්මාණ, එදවස තාරුණ්‍යයේ  සුගායනීය හඬින් ගැයෙන්නට ඉඩ හැර සහෘද හදවත්හි ලැගුම් ගන්නා අයුරු දකින්නට ඔහු භාග්‍යවත් විය. යොවුන් පේ‍්‍රමය පිළිබඳ මනා සංයමයකින් ලියා තැබූ, විරහව නම් මිහිරි විඳවුම සොඳුරු ලෙස පදවැල් අතර රැඳවූ,සමාජ යථාර්ථය මානව දයාවෙන් විනිවිද දුටු ඔහු ප‍්‍රවීණ ගේය පද රචක කුමාරදාස සපුතන්ත‍්‍රී ය.

‘‘භාවමය රළ නගනා වින්දනීය ගී ඉවුර – තීර්ථයෙ’’හි ඔබ මා සම්මුඛ වන පළමු ගීත රචකයා වන්නේ ද සපුතන්ත‍්‍රී ය. සිංහල ගී උයන පොබ කරන සපුමල් සුවඳ විඳින්නට, ඒ ගී උල්පතෙහි ඇරඹුම දැන පහදවා ගන්නට මේ සටහන ප‍්‍රවේශ දොරටුවක් වනු ඇතැයි සිතමි.

මාතර අත්තුඩාව ගම් පියසේ උපන් සපුතන්ත‍්‍රී ළමා වියේදී ම පිය පස උපන්බිම වන බේරුවල වලතරට සංක‍්‍රමණය වන්නේ ය. වලතර මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, උසස් අධ්‍යාපනය පිණිස කළුතර තිස්ස විද්‍යාලයට ඇතුළත් වන ඔහු පාසල් වියේ සිට ම භාෂාව හා සාහිත්‍යය කෙරෙහි වූ ඇල්ම වැඩි දියුණු කොට ගත්තේය. එසේම ගැමි පරිසරයක ගහකොළ, ඇල දොළ, වෙල්දෙණි, ළඳු  ඕවිටි සමඟ සොබාදහමට සමීප ජීවිතයක් ගෙවීමේ වරප‍්‍රසාදය ළමා වියේ සිටම සපුතන්ත‍්‍රීට හිමි විය.  මූලිකවම ඔහු හදට සමීප වූයේ කවිය යි. එවක ලියැවුණු කවි මෙන්ම කෙටි කතා ද වනිතා විත්ති, ගීතාංජලී, ජනතා වැනි පුවත්පත් සඟරාවල පළවිය.

විශ්වවිද්‍යාල ප‍්‍රවේශ විභාගය සඳහා ඉගෙනුම පිණිස කොළඹ ජේතවන පිරිවෙනට පිවිසි සමයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සමීප වන සපුතන්ත‍්‍රී එහි පන්ති අධ්‍යයනයන් සපුරා පූර්ණකාලීනව පක්ෂය වෙනුවෙන් කැප වූයේය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන දර්ශනයට මහත් ඇල්මෙන් කටයුතු කළ ද, සමාජ විප්ලවය වෙනුවෙන් මානව ජීවිත සමඟ වන මරණීය ගනුදෙනුව අනුමත නොකළ ඔහු 71 කැරැල්ලේ දී අවි දෑතට නොගෙන ඉන් බැහැර වූවේය. ඉක්බිති අධ්‍යාපනයෙන් ද, සමාජ ජීවිතයෙන් ද දුරස්ව කාලය ගත වන අතර තුර ගුවන් විදුලියට සම්බන්ධ වීමට ලැබීම සපූගේ ජීවිතයේ එක් වැදගත් සංධිස්ථානයක් විය. ගුවන් විදුලිය ජීවිතයට විවිධ නවමු ප‍්‍රවේශයන් අත්පත් කරදෙමින් සිටිය දී, නාට්‍ය පුහුණුවීම් නැරඹීමට සවස්කාලයේ සුදර්ශිය කරා ගිය සුන්දර රස්තියාදු ගමන්වාර සහ එහිදී හමුවූ කලාකාර මිත‍්‍ර සංධානයන් ඔහු කලා ක්ෂේත‍්‍රය තුළ මුල් අද්දවන්නට සමත් විය.

එතෙක් කවියට ළැදිව සිටි සපූගේ පන්හිඳ ගේය පද රචනය කරා කැඳවන පළමුවන හිතවතා ප‍්‍රවීණ සංගීතවේදී රෝහණ වීරසිංහයන් ය. පළමුව ඔහු සපූ ගුවන් විදුලියට කැඳවා සරල ගී පටිගත කිරීම්වලට අවශ්‍ය පූර්ව සටහන් ලියැවූයේ ය. එහිදී‘‘නැරේෂන්ස්” ලිවීමේ දක්ෂයෙකු ලෙස නමක් දිනූ සපූ,ලේඛකයකු ලෙස සිය අනන්‍යතාව ප‍්‍රකට කළේය. ඉක්බිති ඔහු තම ප‍්‍රථම ගේය පද රචනාව ලියන්නේ සුදර්ශියේ හමු වූ සොඳුරු හිතවතා රෝහණ වීරසිංහ වෙනුවෙනි. ඒ මව්ගුණ ගීයකි. තනු නිමැවුම ද රෝහණ වීරසිංහගෙනි. 

‘‘ඒ රෝහණගෙ මුල්ම සරල ගී වැඩසටහන. ඒ වෙද්දි හොඳ ගී පද රචකයො උන්නත් රෝහණ මට ආරාධනය කළා ගීතයක් ලියන්න. ‘මම කවියෙක්. කවදාවත් ගීත ලියල නැහැනෙ. ගීතයෙ හැඩරුව ගැන මට අවබෝධයක් නැහැ කියල.’ මම ඒ ඇරයුම ප‍්‍රතික්ෂේප කරන්න හැදුවත් රෝහණ ඉඩදුන්නෙ නැහැ. ‘කවි ලියන්න පුලූවන්නම්, ඔයාට ගීත ලියන්නත් පුලූවන්.’ කියල උනන්දු කළා. ලියන්නෙ මොනවද හිතාගන්න බැරිව ඉද්දි රෝහණ එයාගෙ අම්මගෙ අහිමිවීම ගැන අත්දැකීම මා එක්ක බෙදාගත්තා. මගෙ හිතට බොහොම තදින් දැනුණා ඒ හැඟීම. ඒ අනුවයි ‘අරාජිකයි මා හද රජ දහනම, අම්මේ ඔබ මා හැර ගිය දා සිට’ කියන මගේ මුල් ම ගීතය ලියවුණේ.”

සපූ ගීතාවලියේ 90% කටත් වඩා තනු නිමැවුම් රෝහණ වීරසිංහයන්ගේ ය. තම මුල්ම ගී පද රචනාව ලියවා ගනිමින්, එය ගයමින් ඉන් නොනැවතී ගී ගඟුලැල්ලකට තනු උල්පත් මවමින් රෝහණ වීරසිංහයන්ගේ මිත‍්‍රත්වයේ හදවත ලබා දුන් ධෛර්යය සපූ නිබඳවම සිහිපත් කරනුයේ මහත් කෘතවේදී, ළෙංගතු හදකිනි.

‘‘රෝහණ කියන්නෙ ගී තනු උල්පතක්. මගේ ගීත බහුතරයක සංගීතය නිර්මාණය කළේ රෝහණ. ඔහු ආවාට ගියාට ස්වර රචනා කරන්නෙක් නෙවෙයි. මුලින්ම ගීතයේ අරුත හොඳින් වටහාගන්නවා. ගයන කෙනාගෙ ස්වර පරාසය හඳුනාගන්නවා. ඉන් අනතුරුවයි තනුව නිර්මාණය කරන්න භාර ගන්නේ.  මගේම ගීත විශාල සංඛ්‍යාවක් වුණත් ඒ තනු නිර්මාණ එකිනෙකට වෙනස්. විවිධයි. රසිකයා ඇද බැඳ තබාගන්නා මිහිරි සංවේදී තනු නිර්මාණය කරන්න රෝහණ දක්වන දක්ෂතාවය හරිම විස්මයජනකයි. මගේ ගීත රචනාවලට විශාලම ආලෝකය රෝහණගේ සංගීතය. මගේ නිර්මාණවලට සාධාරණය ඉෂ්ටකරන්න ඔහුට හැකිවුණා.”

සපුතන්ත‍්‍රී ගේය පද රචනා බහුතරයකට තාරුණ්‍යයේ අපූර්ව හඬ එක්කළ එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ  ගායක දෙපළ ඔහු හඳුනාගන්නේද සුදර්ශී බිමේදීම ය. ‘දොඹ මලින් මලෙක රේණු සැලෙන’ ගීතයෙන් ඇරඹූණු සපූ – එඩ්වඩ් ගීතාවලිය ‘මාරම්බරී’, ‘එපා සඳේ ඔබේ සිනා’, ‘මල් මාලතී ලතා’, ‘මාලතී වසන්තේ’, ‘ළඳු  ඕවිටි කළල් මතින්’… ආදී වූ ගීත හරහා වඩාත් ප‍්‍රභාමත් වන්නේ ය.

මුලින්ම සුනිල් එදිරිසිංහ වෙනුවෙන් සපූ ගී පද බඳින්නේ කළින් නිර්මිත ස්වර රචනා දෙකකට ය. ‘චන්ද්‍ර මඬල බැද්ද වටින්’ සහ‘පාට දේදුණු සේදිලා’ එසේ නිර්මාණය වන සපු – සුනිල් ගීතාවලියේ ඇරඹුමයි. ගුවන් විදුලියේ සරල ගී හරහා ශ‍්‍රාවක සිත්සතන් සැනහූ එකී ගීත පුළුල් ජනප‍්‍රසාදයක් දිනාගත්තේ ගේය පද රචකයකු ලෙස සපුතන්ත‍්‍රී වඩ වඩාත් ස්ථාවර කරමිනි. ස්ථාපිත කරමිනි. ඉනික්බිතිව සපූ – සුනිල් – රෝහණ සුසංයෝගයෙන් බිහි වූ ගීත රැසක් අදටත් රසික සිත් සතන් සනහමින්, දල්වමින්, පුබුදුවමින් ගී ලොව නොමැකී පවතියි. 

හත්සියය ඉක්මවන ගීත ප‍්‍රමාණයක් සපුතන්ත‍්‍රීන් විසින් ලියා ඇති නමුදු ඔහු ගීතය මුදල් ඉපයීමේ මාධ්‍යයක් ලෙස භාවිත නොකළේ ය. ගායක ගායිකාවන් 50 කට ආසන්න පිරිසකගේ හඬින් ඒ ගීත ගැයී ඇති මුත් වඩාත් ජනප‍්‍රිය වූයේ සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, දීපිකා ප‍්‍රියදර්ශනී පීරිස්, ලක්ෂ්මන් විජේසේකර,බණ්ඩාර අතාවුද, වික්ටර් රත්නායක වැනි ප‍්‍රවීණ ගායක ගායිකාවන් වෙනුවෙන් ලියූ ගීත ය. නූතන මාධ්‍ය කෙළි පිටියේ පොර පිටියෙන් ඉවතට විසිවුණු සපුතන්ත‍්‍රී ලියූ අපූර්ව ගීත රැසක් එතරම්ම ජනප‍්‍රියත්වයක් අත්කර නොගෙන මුනිවත රකින බව ඒ ගී අහුර පාදා, ළිහා, විමසා බලන්නෙකුට පැහැදිලි වේ.

සපූ ගී සංකල්පනා අතර ජනප‍්‍රසාදය දිනූ බහුතර ගී ගොන්න අයත් වන්නේ පේ‍්‍රමය ආත්මය කොට ගත් ගේය කාව්‍ය රචනාවන්ට ය. මෙහිදී පේ‍්‍රමයේ සුඛ දුක්ඛ සංවේදනාවන්, එහි උත්කර්ශය, නව යොවුන් හදවත් එයින් ප‍්‍රමුදිත වන ආකාරය,වියෝ වේදනාව, එය දරා ගන්නා ආකාරය සරල, සිලිටි බසින් හෘද සංවේදීව රචනා වී ඇති අවස්ථා සුලබව හමු වේ. පේ‍්‍රමයේ උත්කර්ශය සම්මුඛ කරවන අපූර්ව රචනාවන් අතර ‘මලක් වෙලා ඔබ පිපෙන්න’, ‘ඔබ මට තරුවකි’, ‘එපා සඳේ ඔබේ සිනා මේ රැයේ’, ‘සිනා පිපෙනා මේ වසන්තය’, ‘මලට සුවඳ සේ යොවුන් ජීවිතේ’, ‘රුවන් තාරකා නුවන් පායලා’ වැනි ගීත පේ‍්‍රමයේ සෞන්දර්යයත්, සුපසන්භාවයත් මනාව ඉස්මතු කරලයි.

පේ‍්‍රම බන්ධන බිඳ වැටීම, පේ‍්‍රමය අහිමිවීම දරනු නොහැකිව අනෙකාව විනාශ කර දමන, නැත්නම් තමන්ව ම විනාශ කරගන්නා සමාජයකි අප හමුවේ ඇත්තේ. විරහ වේදනාව ඇඬියාවක් බවට පත් වූ, මහත් ජුගුප්සාවක් ඇති කරන ගීත අද බහුල ය. නමුත් විරහ වේදනාවත්, ආදරය අහිමිවීමෙන් මතුවන හිස්කමත්, තනිකමත් මිහිරි වේදනාවක් ලෙසින් විඳ දරාගැනීමේ සංයමය ලබා දෙන ගී නිර්මාණ සපූ ගීතාවලියෙහි විරල නොවේ.

‘‘හදේ කොතැනක හෝ හිඳී ඔබ

නිදා නොනිදා මෙන්

බලා අවසර සොයා කල් දැන

වෙලා හස රැහැනින්

පෙළයි මා, මුදා සුව දැහැණින්’’

මතකයෙන් මැකී යන්නයි ආයාචනයක් මිස වෛරය හෝ කලකිරීම අවුළුවන කිසිදු භාවයක් මේ ගී පද අතර හමුනොවේ. එය මිහිරි වේදනාවක් ලෙසින් විඳිය හැකි ය. ඉක්බිති ඉන් මිදී යා හැකි ය. 

‘‘පිලේ පහන නිව්වා මං ගොම්මං අඳුරේ

තනිකම වරෙන් ඉඳිකඩ පැන මං නිදි පැදුරේ’’

හුදකලාව පිළිගන්නා, එයට මුහුණ දෙන්නට හිත හදාගන්නා පෙම්වතකු සපූ ගේ ගී පද අතර හිඳ කඳුළින් තොර පේ‍්‍රමයක් ගැන ඔබ කෙදින හෝ අසා ඇත්දැයි සහෘද අපෙන් විමසයි. ඉදින් ඒ ගීත ඇසුරේ පේ‍්‍රමයේ උත්කර්ශය අත්විඳින සහෘදයා වියෝවේ සංවේදනාවන් ද දරාගත යුතු බව උගනියි. ජීවිතය එතැනින් නො නවතින බව පසක් කරගනිමින් ආනන්දයෙන් ඔබ ජීවිතය සහ ආදරය පිලිබඳව ප‍්‍රඥාව පුබුදුවා ගනියි.

‘‘ඇසුවේද කවුරුන් හෝ ඔබෙන්

හැඬුවේ ඇයිද පේ‍්‍රමේ නමින්

විමසා නැතිද කිසිදා ඔබත්

කඳුළින් තුරන් වූ පේ‍්‍රමයක්’’

ස්ත‍්‍රී පුරුෂ පේ‍්‍රමය මතු නොව මව්පිය, දූ දරු ස්නේහය ද මුදු ලෙස සිය ගීතයට නතු කරගන්නට සපුතන්ත‍්‍රී සමත් වී ඇත. ‘පිතු සෙනෙහේ පිදු’, ‘මිදුලේ වැළි මාළිගාව’, ‘පුංචි පුංචි මල් පිපිලා’නිදසුන් ය. තම දියණීය සුහර්ෂී වෙනුවෙන් ලියැවුණු මේ ගීතය පියෙකුගේ පේ‍්‍රමය කේවල කාරණාවකින් ඔබ්බට ගෙන ගොස් පොදු සමාජ යථාර්ථයට සමීප කරවන අයුරු අගේ ය.

‘‘පුංචි පුංචි මල් පිපිලා

බිංදු බිංදු පැණි පිරිලා

රංචු ගැහී කුරුළු පැටව් සින්දු කියනවා

ගේ වට සමනළ පිහාටු මිදුලේ වැලි කෝම්පිට්ටු

පුංචි දුවට ඇහැරෙන කල් බලා ඉන්නවා

රුව ලස්සන අඩුවුණාට

රන් කහවණු හිග උනාට

දූට මගේ හොඳ ලස්සන හිතක් තියෙනවා

ඒ ලස්සන හිත පිපිලා බිංදු බිංදු පැණි පිරිලා

උපන්බිමේ හතරකොණේ සුවඳ බෙදනවා

හිත නළවන ගී සීපද

හතර අතින් ඇහෙයි දිනක

එපා දුවේ ඇහිපියන්න නුඹ රැවටෙනවා

ඇහැකණ නොපියා හිටියොත් මුලූ ලෝකෙම අතට අරන්

අදට වඩා සතුටින් හිනැහෙන්න ලැබෙනවා’’

සපු විසින් රචිත ‘‘නිදුකාණනේ’’ ගීතය බුදු ගුණ ගීතාවලියේ මුදුන් මල්කඩක් බඳුව ඇගයෙන කිසිදින අප සිත් තුළින් වියැකී නොයන ගීතයකි. බුදුන් වහන්සේ කෙරෙහි වන අපරිමිත ගෞරවය සේම මනුෂ්‍යත්වයේ පිරිහීම හේතුවෙන් ව්‍යසනයට පත්වන සමාජය ගැන වන කම්පාව ද මේ ගීතය පුරා නින්නාද දේ.

නිදුකාණනේ! නිදුකාණනේ!

යොමා බුදුනෙත කුළුණිනේ

වඩිනු මැන නිදුකාණනේ

සිතෙන් සිතක රඳනා කෝප ගිනි – උනුන් දවාලන අයුරු දකින්නට

මුවින් මුවග ගලනා නාග විෂ – උනුන් නසාලන අසිරි බලන්නට

යොමා බුදුනෙත කුළුණිනේ – වඩිනු මැන නිදුකාණනේ

නෙතින් නෙතක ගැටෙනා රාග සිත – ලෙවන් වතින් පිසදා හරින්නට

බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි -දයා දියෙන් සනහා නිවන්නට

කාලයයි නිදුකාණනේ – දේශයයි නිදුකාණනේ

දීපයයි නිදුකාණනේ – වඩිනු මැන නිදුකාණනේ

‘‘සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හව්හරණක්’’ සපූ ලියූ තවත් අපුරු බුදු ගුණ ගීයකි.

සපූ – සුනිල් -රෝහණ ,  සපූ – එඩ්වඩ් -රෝහණ ත‍්‍රී පුද්ගල සුසංයෝගයන්ගෙන් නිමැවුණු මුල්කාලීන ගුවන් විදුලි සරල ගී බහුතරය පේ‍්‍රමය වස්තු විෂය කොට ගත්තේ ය.  නමුත් පේ‍්‍රම ගීතයට සීමා නොවී ඉන් ඉදිරියට යා යුතු බව කෙටි කලකින්ම ඔහු ප‍්‍රත්‍යක්ෂ කොට ගනියි. ඒ පිළිබඳව සපුතන්ත‍්‍රී අදහස් දක්වන්නේ මෙලෙසිනි.

‘‘මුල් යුගයේදී මට හුඟක් ආරාධනා ලැබුණෙ පේ‍්‍රම ගීත ලියන්න. ඒ අනුව මා අතින් වැඩිපුර ලියවුණේ පේ‍්‍රම ගීත. ඒ ගීත ජනප‍්‍රිය වෙලා ටික කාලයක් යද්දි මට ම වැටහුණා, කොටුවීම හොඳ නෑ ගීතයෙන් මීට වඩා යමක් කළ හැකි නම් හොඳයි කියල. ඉන්පසුව මම විරෝධාකල්ප ගීත, සමාජ යථාර්ථය අත්දකින විදියෙ ගීතවලට යොමුවුණා. ඒ ගීතත් ජනප‍්‍රිය වුණා. ජනතාව වැළඳගත්තා.’’

සමාජ යථාර්ථය විනිවිදින ගීත රැුසක් ඔහු අතින් ලියැවෙන්නේ ඒ අනුව ය. ‘‘ළඳු  ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා’’ ගීතය ඒ අතර ඉතා සුවිශේෂ යැයි හැගේ. පොදු සමාජ යහපත, සමාජ සංවර්ධනය වෙනුවෙන් ශ‍්‍රමය වගුරවන කම්කරු පන්තියේ ඉරණම පිළිබඳව මෙතරම් සංවේදී අයුරින් ලියැවුණු වෙනත් ගීතයක් ඇතැයි නොසිතමි. ඒ ගීතයේ අවසන් පද පේළිය මෙලෙසිනි.

අපේ ශ‍්‍රමය කළු ගල් වී බිම වැතිරෙනවා

රන් දහඩිය තාර වෙලා උඩින් ගලනවා

මැති උතුමන් නමින් පාරෙ කඩුළු ඇරෙනවා

පාර අයිනෙ අපි හැමදා බලා සිටිනවා    

‘දුක ම විඳින්නට දුක උහුළන්නට දුකින් උපන් දරුවෝ’ ගීතයත් මෙබඳු ම අර්ථයක් මුසු කරගත් පීඩිත ජනතාව පිළිබඳව ලියවුණු තවත් අපූරු ගීතයකි.

පාලක පන්තියේ මුග්ධභාවය සහ ජනතාවගේ නිද්‍රාශීලී ස්වභාවය පිළිබඳව සදය උපහාසයෙන් ලියැවුණු තවත් අපූරු ගීතයකි‘යටගිය දවසක බරණැස් පුරවර’. මුණුබුරා ඉල්ලා සිටින්නේ වැසියකු රජවුණු එකම කතාවක් වත් කියන ලෙස ය. අද මෙන් එදත් මිනිසුන් අසාධාරණය ඉවසූයේ අඳ ගොළු බිහිරන් ලෙසින් දැයි මුණුබුරා අසනුයේ සීයාගෙන් පමණක් ම නොවේ. සමස්ත සමාජයෙනි.

‘‘සකලවිධ අසාධාරණයන් හුදු

සත්ව කරුණාවෙන්ම ඉවසූ

කීකරු සමාජයක් එදත් තිබුණාද එසේ නම්

අද මෙන් එදවස ගොළු බිහිරන්ට ද

ඔය රජවරු රජකම් කෙරුවේ?’’

මනුෂ්‍යත්වය වියැකී යාම තුළින් සිදුවන සමාජ පරිහානිය පිළිබඳව උපන් කම්පාවෙන් ලියවුණු තවත් හෘදයාංගම ගීතයක් ලෙස‘මිනිසා සුවඳයි මල සේ’ හැඳින්විය හැකි ය.

මිනිසා සුවඳයි මල සේ

නුවණින් එළියයි හිරු සේ

පරවී වැටිලා

ඒ හිරු මල මේ දෙරණේ

මානව පේ‍්‍රමයෙන් උද්දීපනය වූ හදින් ලියවුණු ගී රැෙසක් ද සපුතන්ත‍්‍රී ගේය කාව්‍ය අතර හමුවේ. අතුරේ යමින් රා මදිමින් ජීවිතය ගැට ගසාගන්නා රා මදින්නන් ගැන ගැයෙන ‘මලින් මලට ඉගිලූණාට සමනලයින් නොවේ’ ගීතය එවකට සිංහල ගීතයට ආගන්තුක වූ සංවේදී ජීවන අරගලයක පැහැදිලි සිත්තමක් මතු කරන්නට ඇති බව නිසැක ය. අයියණ්ඩියට සවියක් වන්නට මෙහෙකාර සේවයට ගිය නැගණියක් ගැන කියැවෙන ‘බැරි බර උහුලා දහදුක් විඳිනා අයියණ්ඩිට උරදෙන්න ඔබේ’ ගීතය ද, ළමා ලොව ගැන සංවේදීව ලියැවුණු ‘උදා හිරු මඩල සේ උදාවන හෙට දිනේ, එපා වැඩිහිටියනේ අපෙන් උදුරා ගන්න’ වැනි ගීත ද දයාර්ද හදින් ලියැවුණු තවත් ගීතයන්ට නිදුසුන් ය.

මනුෂ්‍යත්වයට සංවේදී හදින් එලෙස ගී ලියන සපුතන්ත‍්‍රී තුළ සොබාදහම කෙරෙහිද ඇත්තේ එබඳුම ළැදියාවකි. සොබාදහම විඳීමේ අපූර්ව හැකියාවක් සේම, සොබාදහමේ චිරජීවනය අපේක්ෂා කළ පරිසර හිතකාමී හදවතක් ද ඔහු සතුය. සපූ ගේ ගී බහුතරයක සොබාදහමින් උකහා ගත් උපමා රූපක, සංසිද්ධි,පරිසරය ඇසුරේ ලද අත්දැකීම්වල සාරය දැකිය හැකි ය. ගේය කාව්‍ය රචකයකු සොබාදහම වින්දනය කිරීමෙන් ලබන අත්දැකීම් තම ගීතයට යොදා ගන්නා අපූර්ව ආකාරයට මේ ගීත නිදසුන් ය.

‘‘පාට දේදුණු සේදිලා – ඈත කඳු යායේ

සීත රෑ සඳ පීදිලා නීල කඳු යායේ ’’

………..

‘‘අරුණු වළා පෙළ නැගෙනු බලා

රණඹර අවදිවෙලා

කිරණ සලා මිහිමඬල දොවා

සූරිය මල පිපිලා’’

………..

‘‘කෝපි කැකුළු යාය පුරා රෑ සඳ දියවෙලා

සීතල තණ නිල්ල දිගේ බොල් පිනි මතුවෙලා

රෑහි හඬන රෑ මැදියම රෑ තරු නිදිවරා

බාල න‍ෙඟ් හිත නිදි නෑ නුඹ එන මඟ බලා’’

………

‘‘මගේ කරට මුතුමාල ගොතන්නට

මැයි ගහ මුදුනේ කැකුලූ පිපේ

කණට අරුංගල් තෝඩු හදන්නට

නිල් අහසේ තරු පොකුරු පිපේ’’

…..

‘‘කාටත් එකට උණුහුම දෙන ඉර පිපුණේ ඉරිමාවක

මගේ සතුට පෑල දොරෙන් යන්න ගියේ හැන්දෑවක

බොල් ඉපනැලි පුසුඹ ඉහෙයි පිපී සුසුම් මල් යායක

හිතේ දුකට දෑස හඬයි කඳුළු හළා ගංඟාවක’’

……..

‘‘පුංචි පුංචි බොල් පිනිකැට

පුංචි දෙපා සිපගන්නට

ලා තණගොබ උඩට වෙලා රණ්ඩු කරනවා

පුංචි මලේ උඹ වෙනුවෙන්

උඳුපියලිය පලස එළා

වෙලේ නියර නිල්ල ඉහං බලා ඉන්නවා’’පරිසර විනාශය නිසා කම්පා වූ හදින් දෙවියන් පවා මිහිතලය හැර ගිය බව සපුතන්ත‍්‍රී පවසන්නේ ‘ගගන සරනා සියොතුනේ’  ගීතයෙනි. මෙලෙසිනි.

‘‘නැගෙයි කුසගිනි පුරන් වූ කුඹුරින්

ගලයි ලෝදිය බිඳුණු වැව් බැම්මෙන්

හඞන්නටවත් තෙතක් නැති දෑසින්

මිනිසුනේ මේ බලන් මිහිතල හැරගියා දෙවියන්’’

දේශාභිමාන ගී රැසක් ද සපුතන්ත‍්‍රීන් අතින් රචනා වී ඇත. පසුකලෙක ජාතිවාදී හැඟීම් අවුළුවනු පිණිස දේශපාලනික උවමනා මත අවභාවිත වුව ද ‘රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ’’ ගීතය ඔහු අතින් ලියැවුණු වඩාත් ජනාදරයට පාත‍්‍ර වූ අපූර්ව පද රචනාවකි. මිනිසා සුවඳයි මල සේ ලියූ ඔහු තම ගීතයක් ජාතිවාදීන් අත අවියක් වන්නට ඉඩහැරීම අපරාධයකැයි සිතේ. ‘සූවිසි වරමින් දෙව් රැකවරණින්’, ‘සීහලේ පිනෙන් උපන් අපේ සීහලූන්’ ඇතුළු දේශාභිමානී ගී රැසක් සපූ ගීතාවලියට ඇතුළත් ය.

යහපත් සමාජයක් පිළිබඳව කුමාරදාස සපුතන්ත‍්‍රී ගේය කාව්‍ය රචකයාණන් තුළ නොනිවී දැල්වෙන අපේක්ෂාව මේ ගීතය තුළ විනිවිද දැකිය හැකි වේ. ධාර්මික හරයන් පවා යටපත්ව ගිය සමාජයට ‘නොතැවෙන්න නොහඬන්න සත්‍යයේ මළ ගමට’ගීයෙන් ඇරයුම් කරන්නේ මිනිස්කම මලක් ලෙස පුබුදුවා ගන්නා ලෙසයි. එවිට දෙවියන් පවා මිනිස් පා වැඳ පින් ලබා ගනු ඇතැයි කීම කොතරම් අපූර්ව අදහසක් ද?

මිනිස්කම ඔබේ සිත මලක් සේ පිපෙන දා

සත්‍ය යේ හිස නැගෙයි කුරුසියෙන්

සත්‍ය යේ හිරු නැගෙයි වන ගැබින්

මිනිස් පා වැඳ පුදා පින් ලබා ගනු රිසිව

දෙවියෝ ද බිමට එති පෙරහැරින්

පේ‍්‍රමසිරි කේමදාසයන් සංගීතවත් කළ ඉන්දිකා උපමාලි ගයන‘මේ රම්‍ය වූ දේශයේ’ ගීතයෙන් අප දූ දරුවන්ගේ අනාගතය බිලිගන්නා ව්‍යසන හමුවේ නිද්‍රාශීලව නොසිටින්නැයි ජනතාවට කරන ආයාචනයක් වෙයි. දේශය රැකවල් කරනා බවට පුරසාරම් දොඩවනා අයවලූන් සිටියදී ම, මහපොළවත් හොරු අරන් යන වග මේ ගීතයෙන් කියවෙයි.

විසුළු සැනකෙලි විරාමේ

හිනැහෙනා මිනිසුනේ

බිඳුණු හැරමිටි වාරුවෙන්

ඉඳුරු දිග පුර දොරටුවෙන්

පිටව යන්නේ අනාගතයයි

අපේ දූ දරු පරපුරේ….

පාලන තන්ත‍්‍රයේ ආටක නාටක මැද දේශයට, සමාජයට සිදුවන විනාශය පිළිබඳ ප‍්‍රබල විරෝධාකල්පයක් මේ ගීතය තුළ ගැබ් වේ. නමුත් සපුතන්ත‍්‍රීගේ පේ‍්‍රම ගීතයට ලැබුණු තරම් අවධානයක් මෙබඳු වෙනස් සමාජාර්ථ කැටි කොට ගත් ගීතවලට ලැබී නැතැයි සිතේ.

පෙර නිමහම් වූ ස්වර රචනාවන්ට අත්‍යන්තයෙන්ම ගැළපෙන සේ වචන යොදා අපූර්ව ගීත නිමවීම ද සපූතන්ත‍්‍රීන් සතු විශිෂ්ට කුසලතාවක් ලෙස දැක්විය හැකි ය. ‘මල් මාලතී ලතා අඳුරේ මිලාන වී’, ‘මාලතී වසන්තේ’, ‘දෑල දෙතෙර දේදුනු නිල පාවී ගලා’, ‘ඉරට සඳට තරුවැලට සොරා’, ‘මලට සුවඳ සේ යොවුන් ජීවිතේ’, ‘පාට දේදුණු සේදීලා’, ‘චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා’, ‘මේ තනි යහනේ’, ‘සීතල පිනි බින්දු බින්දු’, ‘මිනිසා සුවඳයි මල සේ’, ‘දොඹ මලින් මලක රේණු තලන’… ආදී වූ ගීත ඔහු එලෙස පෙර නිමවූ තනුවලට පද යොදා ගීත නිර්මාණය කළ අනගි අවස්ථා ලෙස දැක්විය හැකි ය. මෙතරම්ම විචිත‍්‍රවත් ව,වෙසෙස් ව, වෙනස් ව, අර්ථවත්ව ස්වර ගැළපුමකට අනුව භාෂාව හැසිරවීම පහසු කාර්යයක් නොවේ. ප‍්‍රතිභාපූර්ණ කවිත්වය, භාෂා ඥානය, සංයමය මෙන්ම සංගීතයට ඇති ළැදියාව ද ඒ සඳහා අත්වැලක් වන්නට ඇත.

ගේය කාව්‍ය රචනයෙහි ලා බස හැසිරවීමේ දී සපුතන්ත‍්‍රී පළ කරන ප‍්‍රතිභාව ප‍්‍රශස්ත ය. ගැමි වහර, කටවහර මෙන්ම සම්භාව්‍ය සාහිත්‍යය තුළ හමුවන විදග්ධ භාෂාව ද තම ගීතයට උචිත ලෙස යොදා ගැනීමට ඔහු සමත් වෙයි. සිංහල පද්‍ය සම්ප‍්‍රදායේ විවිධ විරිත් ඇසුරු කරමින් ඔහු ලියන ගී පද රචනා නිරායාස සුගායනීය ගුණයෙන් පූර්ණ ය. එසේ ම සපූ ගී බහුතරයකට සංගීතය නිර්මාණය කළ රෝහණ වීරසිංහයන් එම පද රචනාවන්හි සුලකල, සුමධුර බව, පදගත අරුත මනාව ග‍්‍රහණය කොට ගනිමින් තනු නිමවා ඇති බව පැහැදිලි ය. එබැවින්ම ඒ ගීත සදාතනික සෞන්දර්යයක් අත්පත් කරගැනීමට සමත් වී ඇත.  

සිලිටි සුගායනීය වදන් භාවිතය, භාෂාව හසුරුවන සංයමය,සොබාදහම තුළින් ආලෝලනය වූ සිතුවිලි තම ගීතයේ හැඩ රුව වැඞීමට අපූර්වාකාරයෙන් යොදා ගැනීම, මානව ජීවිතය හා බැඳෙන විවිධ ජීවන අත්දැකීම් තම ගීත සඳහා පසුබිම් කරගැනීම මේ ආදී වූ කරුණු රැසක් සපූ ගීතාවලියෙහි විශිෂ්ටත්වයට හේතු පාදක වී ඇති බව නිසැක ය. ගීතය යනු මානව හදවත් නිවා සනසන සෞන්දර්ය වස්තුවක් ය යන අදහසින් මිස ගීතය යනු හරිහම්බ කරගන්නා වෙළඳ භාණ්ඩයක් ය යන අදහසින් තොරව ගී පද රචනයෙහි නිරත වූ නිසා ම සිංහල ගීත සාහිත්‍යෙය් ‘‘සපු මල් සුවඳ’’ ලෙසින් සම්භාවනාවට පාත‍්‍ර වන සොඳුරු ගී සමුදායක් අප වෙත තිළිණ කිරීමට කුමාරදාස සපුතන්ත‍්‍රී ට හැකි වී ඇත. තම ගේය කාව්‍ය රචනාවන්හි ලා සාක්ෂාත් කරගන්නට අපේක්ෂා කළ, ගීතය පිළිබඳව ඔහු තුළ වන සුවහසක් ප‍්‍රාර්ථනාවන් රෝහණ වීරසිංහයන්ගේ සප්ත ස්වරයෙන් හැඩ වී පණ්ඩිත් අමරදේවයන් විසින් ගයන මේ ගී පද තුළ ඉතා සියුම්වත්,එලෙසින් ම තියුණුවත් මනාව කැටි වී ඇතැයි සිතමි.

මුවින් මුවග ගී සර ප‍්‍රතිරාව නැගේවා

සිතෙන් සිතක ගී රස මදිරාව පිරේවා

නෙතින් නෙතක ගී ලියවේවා

ගී හඬින් මිනිස් සුවඳ ගෙනේවා !

බිඳුණ පැතුම් සොයා තැවෙන

දෙසිතක දුක ගීය නිවාවා

උරඟ වෙසින කිපී නැගෙන

හැඟුම් නිවා ගී රැව් දේවා

රස මියුරු සරින් ලොව සැරසේවා !

බෙදෙන බිඳෙන ලොවේ විපත

ගී සිය දහසක ලියවේවා

විහඟ සරින් ලොවට ඇසෙන

ගීයෙන් මහ පොළව නිවේවා

ගී ස්වරය අරුණ කිරණ සදාවා!

සියලු හිමිකම් බ්ලොග් අයිතිකරු සතුය.

http://tharurasi.blogspot.co.uk/2016/10/blog-post_5.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල