කෙටි කථා

ප්‍රීති චිකිත්සා

Off
සුපිරිසිදු සුදු ටයිල් පොළොව, මොහොතකට පෙර විශබීජ නාශක දියරයෙන් පොඟවන ලදුව, දීප්තියෙන් බැබලෙමින් තිබිණ. නැහැතුඩග හැපෙන සිඟිති විලවුන් බිඳිති ලැවැන්දර සුවඳකින් කර-පාන් පෙති සුවඳකටද, උණු කෝපි සුවඳකින් අළුත කැපූ තණ බිස්සක සුවඳකටද වේශාන්තරණය වෙමින් පැවතිණ. හොලොග්‍රැෆික සමනල්ලු සහ නන් පැහැ තුරු පත් එක්වනම පැනනැඟ, හිස් අවකාශය සිසාරා ඔබමොබ ගමන් කර, ඇසිල්ලකදී කොහේ හෝ තැනෙකින් අතුරුදන් වන්නට යෙදිණ.
සිහින් සරින් සායනය වසාගත් මනමෝහනීය සංගීත රාවය සැබෑවටම පවතින්නේද, නැතහොත් නොපවතින මනඃකල්පිතයක්දැයි තෝරාබේරාගන්නට පහසු නොවීය. කෙසේ වෙතත්, චිකිත්සකාගාරයේ හඬවරන වීදුරු බිත්ති විනිවිදින්නට සංගීත රාවය අපොහොසත් වූයෙන් එ’තුල වූයේ කෑලි කැපිය හැකි නිහඬතාවයකි.
“දොස්තර”
රෝගියා, (සමාවන්න, පාරිභෝගිකයා) සිය කටහඬ අවදි කලේය. නිදිවර්ජිත රාත්‍රීන් ගණනාවක අඳුරු පැල්ලම් ඔහුගේ රත් දෙඇස යට සටහන්ව තිබිණි.
“මට මේක තවත් දරාගන්න බෑ!” ඔහු සිය නොපීරූ කෙස්ස දෙඅත්ලෙන් හිස පිටුපසට තල්ලු කරමින් කීය. දෙකම්මුල් වසා ඝනකමට වැවීගත් රවුල් කොට අපිළිවෙලට කැපූ තණ පිටියක් වැන්න. ඔහු දෙ අත් අඹරවාගනිමින් විශේෂඥ වෛද්‍යවරයා වෙත වියවුල් බැල්මක් හෙලීය.
“මම අහගෙනයි ඉන්නෙ.”
වෛද්‍ය විශේෂඥයා, පළමු වරට සිය නිවුණු හඬ අවදි කලේය. උපැස් යුවල විනිවිදින ඔහුගේ තියුණු දෙඇස ලා නිල් පැහැතිය. සිවිකාච? නැතිනම් ඒ ජාන සැත්කමක ප්‍රතිඵලයක්ද?
“සේරම කනපිට ගැහෙන්න ගත්තේ හිටපු ප්‍රධාන විධායක නිලධාරියා මාරුවෙලා ගියාට පස්සේ.”
වෛද්‍යවරයාගේ නිවුනු ඇවතුම් පැවතුම් පාරිභෝගිකයා තුලටද විසරණය වූවාක් මෙනි. “අලුත් බොසාට තියෙන්නෙ ඒ මූණමයි. ඒ නහයමයි, නොපිට පෙරලිච්ච තොල්, ඒ විතරක්ද නළල හරහට තියෙන තුවාල කැළල!”
“ඔබට මේ කතාව වචනවලට පෙරැලීම අපහසුනම් අපි චිත්ත පණිවුඩ රිසීවරයක් සවි කරන්නම්?” වෛද්‍යවරයාගේ ස්වරය කාරුණිකය.
“එපා – එපා. මම මුල ඉඳලා කතාව කියන්නම්” ඔහු මේසය මත වූ වතුර ඩිකැන්ටරයෙන් හරි අඩක් උගුරට හලාගෙන නැවත සන්සුන් විය.
“උසස් විද්‍යාලයෙදි, මට ඔවුන් කීවේ පොත් ගුල්ලා කියලයි. කණ්නාඩි පොළඟා, ගුරු හුරතලා, කෙසඟයා, පාන්කඩයා වගේ තවත් නම් දාස් ගානක්!. ඉස්සරහ පේළියේ වාඩිවෙන එක, ගුරුවරයා ප්‍රශ්ණයක් ඇහුවාම මුලින්ම අත ඔසවන එක, වාර විභාගෙට ලකුණු සියේට එකසිය හැත්තෑ අටක් ගන්න එක වගේ ආශාවන් අසාධාරණ වෙන්නෙ කොහොමද? මම අදටත් හිතන්නේ ඒක ෆුට්බෝල් කැප්ටන් වීමත්, හොඳම පන්දු රකින්නා වීමත් තරමටම සාධාරණයි කියලයි.
ඒත් අවාසනාවට මගේ පංති සගයෝ එහෙම හිතුවෙ නැහැ.
ෆුට්බෝල් කැප්ටන්; ඌ තමයි එතැනින් දරුණුම එකා. ඝනකම ඇහිබැම, නොපිට පෙරළුණු තොල්! ෆුට්බෝල් කැප්ටන් විතරක් නෙමෙයි, හොකී කැප්ටනුත් ඌ. නළල හරහා වැටිච්ච කැත තුවාල කැළල හැදුනේ පළාත් තරඟෙකදි හොකී පිත්තක් වැදීමෙන් කියලයි හැමෝම කිව්වේ. අත් දෙක බුල්ඩෝසර් වගේ. හිතෙන ඕනෙම වෙලාවක මාව ඒ අත්දෙකෙන් අහසට උස්සාගෙන කරකව කරකවා පිට්ටනිය වටේ සංදර්ශණ පවත්වන එකයි උගේ විනෝදාංශේ. දවල් කෑම විවේකය ඉවරවෙනකම් උන්ගේ විහිළු තහළු මැද්දේ බඹර කැරකෙන මම, කෙලින් හිටගන්න පුළුවන් වෙන පළවෙනි තත්පරේදිම ගාට ගාටා මුල්ලකට ගිහින් වමනේ කරනවා ඔළුව නිදහස් වෙනකම්.
අන්තිමේදි තාක්ශණ ඇකැඩමියට තේරුණාම මම හිතුවේ ඒ දහජරා අතීතෙ සදහටම වැළලුනා කියලයි. ඒත් මෙන්න, ඒ වළස් මූණා ආපහු ඇවිත්. මට නින්ද යන්නෙ නැහැ දොස්තර! මට නින්ද යන්නෙ නෑ!”
වෛද්‍යවරයා සිය දිගැටි ඇඟිලි විහිදා ඔහුගේ අත තරයේ අල්ලාගෙන ඉදිරියට නැඹුරු විය. “අපි ඉන්නේ උදව් කරන්න” ඔහු තිර හඬින් කීය.
“මම කියල ඉවර නෑ දොස්තර.” ඔහු හිස සැලීය.
“මගේ අවාසනාව එතනින් ඉවර වුනේ නැහැ.”
“ඒ ග්‍රීෂ්ම නිවාඩුවට දවසකට කලින්. එතකොටත් හිරු රැස් මං වගේ පොත්ගුල්ලෙකුට උහුලන්න බැරි තරම් සැරයි. එදා හරියටම පැයක් පිට්ටනිය මැද්දෑවේ අඬන්තේට්ටම්වලට මූණ දීලා මම කඩදාසියක් වගේ සුදුමැලි වෙලයි උන්නේ.
“මෙන්න මම ඉස්සුවා කෙසඟයාගෙ ගණන් පොත.”
ඒකි යටි උගුරෙන් කෑගැහැව්වෙ එතකොට. ආන්නා; ඔල්වරසන් කෙල්ලන්ගේ නායිකාව, තමන්ගෙ රත්තරන් පාට කොණ්ඩා කැරලි පද්ද පද්දා මට ඔච්චම් කරන්න ගත්තා. ඊගාවට ඈ ඒක කීතු කීතුවලට ඉරන්න ගත්තේ බොහොම පරෙස්සමින්.
“අද බලාගමු ගුරු-හුරතලාට පස්ස රත්වෙන්න සබ්බුව ලැබෙන හැටි!” ඈ කෙකර සද්දෙන් හිනාවෙනකොට උන් හැමෝම ඔල්වරසන් දුන්නා. නොසණ්ඩාල පුංචි ඌරු පට්ටිය” ඔහු අත්මිටිකරගෙන දත්කූරු සපන්නට විය.
“දැන් මගේ භාර්යාව උච්ච ස්වරයෙන් කතා කරන වාරයක් ගානේ මගෙ ඇඟේ හීගඩු පිපෙනවා. ඈ හිනාවෙන හඬ ඇහෙන ගානේ මට අත් දෙකෙන් කන් තදකරගෙන මේසයක් අස්සෙ හැංගෙන්න හිතෙනවා. මේ මතක සේරම ඇවිස්සුනේ අලුත් පත්වීම ලැබුණ අර වළස් මූණා නිසයි.” ඔහු වමතේ පිටිඅල්ලට හිස බර කර දීර්ඝ සුසුමක් හෙලීය.
මේසය මත වූ කොළ කැබැල්ලේ “ෆුට්බෝල් කැප්ටන්’, ‘වීරයා’ සහ තවත් අපැහැදිලි සංකේත කිහිපයක් සටහන්ව තිබිණි. ඒ යටින් ‘ඔල්වරසන් කෙල්ලන්ගේ නායිකාව’ යනුවෙන් කුරුටු ගෑ වෛද්‍යවරයා හිස එසවීය.
“අපි මතක බද්ධයක් කරමු. විසවෙච්ච ලේවලට වඩා භයානකයි කුණුවෙච්ච අත්දැකීම්වල මතක! ජීවිතේ ගලායෑම තීරණය කරන්න මතකවලට ඇති බලය අසීමාන්තිකයි” වෛද්‍යවරයාගේ මුහුණේ වූයේ මන්දස්මිතයකි. ඊළඟට ඔහු සිය හිස පිටුපස අතගා ඇමතුම් චිපය පණ ගැන්වීය; “අර පුහුණුවට ආපු ගෑණුළමයට එන්න කියන්න”
දණහිස දක්වා දිගැති ඝනකම සුදු කබායකින් එතීගත් නූස් තරුණිය අත්පරිඝණකයක් සමඟ එහි පහල විය.”ෆුට්බෝල් කණ්ඩායමේ නායකයා ජය ඵලක ලබා ගන්නා මොහොත, ඔල්වරසන් කෙල්ලන්ගේ පාවෙන හාදු, මිතුරු කව, සිනහ සහ උණුසුම” වෛද්‍යවරයා ප්‍රතිකාර සටහන ඈ වෙතට තල්ලු කරමින් කීය.
“ඔක්කෝමත් හරි. රස්සාව එපාවෙන්නේ මේ දොස්තරලාගේ ගැටගැහිච්ච අකුරු ලෙහෙන්න සිද්ද වෙනකොටයි.” ඈ ටිකි ටිකි හඬින් චිකිත්සක මැසිමට මත්කයන් ඇතුලත් කරන අතර තොල් මතුරන්නට වූවාය. “අකුරුවල කැත! ඔල්වරසන් කෙල්ල කියන වචනෙ වෙන කෙනෙක්නම් ඔරංඔටන් කියලා කියවාවි. මං හින්දාම හොඳයි!”
*******************
පැය කිහිපයකට පසු, නළල වටා ප්ලාස්ටික් ආවරණයක් පැළැඳි රෝගියා (මට ආයෙමත් වැරදුනා. සමාවන්න! පාරිභෝගිකයා) විමසුම් මැදිරිය වෙත ඇවිද එනු දක්නට ලැබිණි. නිතඹ නළවමින්ද, දිගු පියවර තබමින්ද පැමිණෙන ඔහුගේ ගමන් විලාශය අසාමාන්‍ය ස්වරූපයක් ඉසිලීය.
“නළල් ආවරණය අද හවස් වෙද්දී ඉවත් කරන්නට පුළුවනි. හිසට අපහසුවක් නැහැනේ.” වෛද්‍යවරයා විමසීය.
ඔහු වමතින් මුව වසාගත්තේ, උරහිස් පද්දමින් හිකිහිකිගෑවිල්ලේ සිනහ වන්නට විය. “නෑ ඩොක්. මේ තරම් ප්‍රබෝධයක් මට කවරදාවත් දැනිලා නැහැ!” වෙනස් තානයකින්, සවන් හිරිවැටෙන උච්ච ස්වරයෙන් දොඩන ඔහුගේ දෙනෙතෙහි වූයේ නොගැලැපෙන දිලිසුමකි.
වෛද්‍යවරයා ඔහුගේ කේශාන්තයේ සිට පාදාන්තය තෙක් විනිවිදින බැල්මක් හෙලීය. කලබලයෙන් මඬනා ලද ඔහුගේ අතැඟිලිවලට ඇමතුම් චිපය හසු වීමට තරමක් වේලා ගතවිණි.
“මතක ප්‍රතිකාර සටහන ගේනවා ගෑණියේ! ඔය විධාන කේත ටික පරිවර්තනය කරනවා. ඉක්මනට!”
තරුණිය වෙව්ලන ඇඟිලි තුඩු වලින් යතුරු පුවරුවට පහර දුන්නාය. ඒ හා ම පැතැලි පරිඝනක තිරය මත ප්‍රතිකාර සටහන දිගහැරෙන්නට විය.
“කතා නායකයා ඔල්වරසන් කෙල්ලන්ගේ කණ්ඩායම හසුරුවන සුරූපී තරුණියයි. ෆුට්බෝල් කණ්ඩායමේ නායකයා ජය ඵලක ලබා ගන්නා මොහොත. ඈ ලලිත ගමනින් ක්‍රීඩකයා වෙත පියමනින්නීය. ඉනික්බිති දිගු දෙතොල් හාදුවකි. ඒ සා ප්‍රීතියක්…. ඒ සා උණුසුමක්…..”
 
වෛද්‍යවරයාගේ නළල පසෙකින් බේරී ආ දහදිය බිඳක් සායන සටහන් පත මතට පතිත විය.
දැන් එතැන තීන්ත බොඳ කල තෙත ලපයකි.

 

යශෝධා සම්මානි

http://bassigenawathana.blogspot.co.uk/2016/10/blog-post_16.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල