අතීතකාමය

අලුත් තාත්තා!

Off

 

කාලය හිමිහිට ගෙවිලා ගියා. ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබා තිබු අම්මට, සීයා තාත්තා සිය යහලුවෙකුගේ මාර්ගයෙන් රැකියාවක් සොයා දුන්නේ මේ අතර. අම්මා වැඩි කතාවක් නොකලත්, ඇගේ දුක තරමක් තුනීව ගිය බවක් පෙනුනා.

කවුරු හිටියත් උදෙනම් මාව පාසැලට බැස්සවූයේ ඇයයි. “හා හා අම්මට පරක්කු වෙනවා”උදේම ඇය මාව අවදි කරනවා.

මුන හොදගත්තු මගේ, කොන්ඩය ඇය තදින් පීරනවා.”ඌයි” ඊලඟට බටර් තවරපු පාන් පෙත්තකින් බාගයක් විතර මගේ මුව තුල ඔබනවා. “අම්මාග් මේග් ගාග්” කෑල්ල ලොකුයි කීමට මම අසීරු තැතක් ගන්නවා. “මල්ලිකා බේබිගේ සපත්තු හවසට හොදලා දාන්න. හරියට කිලුටු වෙලා” මේ හැම වෙලාවකම අම්මා මට එක එල්ලේ කතා කරන්නේ නැහැ.

පාට බෝඩරයකින් යුතු චාම් සාරියකින් සැරසුනු අම්මා කොන්ඩය කරලක් වෙන්න ගොතලා, පඩිපෙල බැහගෙන එනවා. එක අතකින් කලු පැහැ බෑගයක් එල්ලගෙන. අඩි උස් නොවූවත්, ඇගේ පාවහන් ‘ටක් ටක්” හඬක් නැගුවා. ඈ වෙතින් කුමක්දෝ මල් සුවඳක් හැමුවා. මගේ අම්මා හරිම සුන්දර කෙනෙක්.

ආපහු එනකොට සීයා තාත්තා හරි චමත් අයියා හරි මාව ගෙදර ගෙනාවා. ඒ දෙන්නම් මට මගදි කෑමට මොනවා හරිම අරන් දුන්නා. වැඩියම සල්ලි නැති චමත් අයියත් අඩුම ගානේ යෝගට් එකක් හරි අරගෙන දුන්නා.

මේ දවස්වලම තමා සීයා තාත්තත්, ආච්චි අම්මාත් කසු කුසු ගානවා ඇහුනේ. අම්මාගේ මුන තිබ්බේ නරක්වෙලා.

“මට බෑ ඕවා ගැන හිතන්න” අම්මා කියනවා ඇහුනා. “මම ලමයවත් බලාගෙන මෙහෙම ඉන්නම්” “ඔහොම හැමදාම ඉඳලා කොහොමද? අපි නැතිකාලෙක මොනවද කරන්නේ” ආච්චි අම්මාගේ කටහඬ වෙනදාට වඩා ඇහුනේ හය්යෙන්. “ඇයි මේ මම ඉන්නේ” කියලා මම ඇහුවේ නෑ. සීයා තාත්තා අම්මාගේ ඔලුව අත ගෑවා. අම්මා එයා දිහා බැලුවේ “ඇයි මාව ආය පාරක් අමාරුවේ දාන්න හදන්නේ” වගේ. සීයා තාත්තා නැමිලා අම්මාගේ ඔලුව ඉම්බා. අම්මාගේ ඇහැ කොනක කඳුලක් මම දැක්කා. ආච්චි අම්මා දවස් ගානක් තිස්සේ කරගන්න හදපු දේ සීයා තාත්තාගේ එක හාදුවකට හැකිවුනා.

ඊලඟ සති අන්තය වෙන්න කලින් අපේ ගෙදර පුංචි පහේ මගුල් ගෙදරකට ලෑස්ති වුනා වගේ. ආච්චි අම්මා කුස්සියෙමයි. මල්ලිකා කට්ලට් බදිනවා. අච්චාරු හදනවා. මාලු ඇඹුල් තියල් දානවා. අම්මාත් කේක් එකක් හැදුවා.

එදා ආච්චි අම්මා මගේ ආසම රෝස පාට ගවුම මට ඇන්දුවා. කොන්ඩේ ගොතලා, රෝස පාට පීත්ත පටියක් ගැට ගැහුවා. “කතා කරන කල් කාමරේ ඉන්න” එයා මට කීවා.

පහලින් සද්ද ගොඩක් ඇහුනා. කාර් එකක් එන සද්දේ, අමුත්තන්ගේ ඉංග්‍රීසියෙන් කෙරුනු කතා බහ, තේ කෝප්ප ගැටෙන හඬ. ඊලඟට අම්මා මාව ඇවිත් එක්ක ගියා.

ඒ දවස මට අද වගේ තාම මතකයි.

සාලේ කවුලුවක් දෙසින් එලිය බලාගෙන හිටියේ උස් පුද්ගලයෙක්. මගේ තාත්තා තරම්ම ඇති. ඒත් මෙයා ඒ වගේ සුදු නැහැ. කලුයි. “මේ අංකල් එක්ක කතා කරන්න” මගේ කනට කොඳුරපු අම්මා එතනින් ඉවත් වෙලා කුස්සිය පැත්තට ගියා. අමුත්තා ටික වෙලාවක් යනකල් මා දිහා බැලුවේ නෑ.

ඔහු මා දෙස හැරුනේ කලබලයක් නැතුව. ඔහු අදටත් නිශ්ශබ්ද කෙනෙක් වගේම කිසිම දේකට කලබල නොවෙන කෙනෙක්. ඔහු මා දිහා එක එල්ලේ බලාගෙන හිටියා. මගෙන් ඔහුට ලකුණක් වැටුනේ ඒ මොහොතේ. “ඉඳගන්න” ඔහු මට කියා, ලඟ වූ පුටුවක හිඳ ගත්තා. මම ඉඳගත්තේවත්, ඔහු බලකලේවත් නෑ. තවත් ලකුණක් ඔහුට එකතු වුනා. “මම…” ඔහු මට ඔහුගේ නම කීවා. හරියට වැඩිහිටියෙකුට කතා කරනවා වගේ.

ඔන්න තවත් ලකුණක්.

“ඔයාගේ නම මොකක්ද?” මම ඔහුට මගේ නම කීවා. “ෂා හරි ලස්සන නමක්” වගේ දේවල් ඔහු කියන්න ගියේ නෑ. ඒ වෙනුවට ඔහු ඇහුවේ “අර ඔයාගේ තාත්තද?” කියලා. තාත්තාගේ ෆොටෝ එකක් සාලයේ කබඩ් එකක් උඩ තියෙලා තිබුණා. එයා අපි දෙන්නා දිහා බලා හිටියා. “ඔව්” මම පිලිතුරු දුන්නේ ඔහු දිහා බලාගෙනම. “ඔයාට එයා මතකද?” “ඔව්” මම ආයෙම ඔලුව හෙල්ලුවා.

“ඔයාගේ අම්මා හොඳ කෙනෙක්. ඔයා කැමති නම් මම ලෑස්තියි එයාව කසාද බඳින්න” “මම කැමති නම්?” ඔහු ලකුණු ඔක්කොම ඒ කියමනෙන් එකතු කරගත්තා.

ඒත් ඒ වුනාට ඔහු එන හැම දවසකම මම ලෙඩ වුනා එක්කෝ උණ නැත්නම් බඩේ අමාරුව. ආච්චි අම්මා මාව බලාගන්න පොරොන්දුව පිට අම්මලා එලියට ගියා. සමහර වෙලාවට ඔවුන් මාවත් එක්කගෙන ගියා. ඔවුන් දෙදෙනාගේ අත් අල්ලන් ඉන්න වෙලාවට මට සතුටක් වගේම තාත්තා මතක්වෙලා පොඩි දුකකුත් දැනුනා.

අම්මා ටික ටික වෙනස් වුනා. ඒ දෙන්නා එනකොට අම්මාගේ කම්මුල් රතුවෙලා. එයා හොරැහින් ඔහු දිහා බැලුවා. ඔහුගේ මුව අග හීන් හිනාවක් පෙනුණා. අම්මා ලස්සනට අඳින්න පටන් ගත්තා. මේක්-අප් යාන්තමට දැම්මා. අම්මා ගොඩක් ලස්සනට පෙනුණා.

හොඳට ඉර එළිය වැටුනු, ලස්සනට මල් පිපිලා තිබුණු, කුරුල්ලෝ ගී කියපු එක් දවසක, ලඟම නෑයින් කීප දෙනෙකුට විතරක් කියලා ඒ දෙන්නාගේ මංගල්ලේ ඉතා චාමෙට අපේ ගෙදරදි සිද්ධ වුනා. අලුත් තාත්තාගේ කලින් බිරිඳ මිය ගිහින්. ඒ විවාහෙන් ඔහුට මගේ අවුරුද්දෙම ඉපදුණු, මට වඩා මාස ගනනාවකට බාල දියණියක් හිටියා. ඇය දකින්න කලින්ම මම තීරණය කරගෙන් හිටියේ එයාට වෛර කරන්න. අලුත් තාත්තාගේ පැත්තකින් ඇඟිල්ලක් කටේ දාගෙන හිටපු ඒ අහිංසක ගෑනු ලමයා මා දිහා බලපු මොහොතෙම මම එයාට ආදරේ කලා.

ඒ තමා ටානියා.

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින් http://devduwa.blogspot.com/2016/10/blog-post_31.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල