සංගීතය

මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව…හෙළයේ මහා ගාන්ධර්වයාගේ නික්මයාම

Off
“අර මගේ සිත්ගත් යුවතියගෙ කතාව මතකයි නේද?
 
“මොන යුවතියද හලෝ? තමුසෙගෙ සිත්ගත් යුවතියන් කීදෙනෙක්ය කියල ඉන්නවද? අහවල් යුවතිය ගැනද ඔය කියන්නෙ?” 
 
“හරි හරි ඉතිං කලබල නැතුව ඉන්නවාකො කියන්ට. අර කොටුවෙ ඉඳල නුවර යන කෝච්චියෙදි මට මුණ ගැහුනු යුවතිය? අර එයාගෙ අම්ම ටොයිලට් එකට ගිහිල්ල වතුර නැතුව…?”
“ආ..හරි..හරි..ඒ යුවතිය ගැනද මේ කියන්නෙ? ඉතිං එයා ගැන මොකද?”
 
“නෑ මම මේ කියන්ට ආවෙ ඒ කතාව ඉවරයක් කලෙත් නෑනෙ මම”
“ආ..ඒක නං ගණං ගන්ට එපා..ඔහේ ඉතිං කවද්ද කතන්දරයක් එක දිගට ලියල ඉවර කලේ? ව්‍යාතිරේකයක් වෙන්නෙ එහෙම ඉවර කලොත් තමයි”
 
“හරි හරි මම වරද පිළිගන්නව.ඒත් එහෙම වෙන්ට හේතු කියන්ටත් එපාය”
“ඔහේ ඉතිං හේතු නං කියයි දාහක්. අර කිතුල් ගහට ගිය මනුස්සයටත්…නෑ මේ බැඳුංකර වංචාවට අතේ කෝට් වෙච්චි මහේන්ද්‍රනුත් අර කියල තියෙන්නෙ රට ආර්ථික අවපාතෙන් ගොඩගන්ට සද් බාවයෙනුයි ඒ මගඩිය කලේ කියල”
 
“මේ ඕන එකකට ඒ මනුස්සය ඇදල ගන්ට එපා හරිද?..මහේන්ද්‍රන්…..මහේන්ද්‍රන්….මහේන්ද්‍රන්..බැඳුංකර….බැඳුංකර….බැඳුංකර…. මට කියන්ට දෙනවකො විස්තරේ”
“හරි කියනව කියනව”
 
“මෙහෙමයි ඇත්තම කිව්වොත් සිද්ද වෙන්නෙ. ඔන්න මං එක කතාවක් එක දිගටම ලියල ඉවර කරන්ට කියල එක හිත් හිතාගෙන අදිස්ටාන පූර්වකව දෙයියම්පල්ල බුදුම්පල්ල කිව්වොත් කිව්ව ඔන්න කියල ඉන්නකොට අනපේක්සිත නොහොත් නොසිතූ වීරූ මොකක් හරි දෙයක් සිද්ද වෙලා ඒ මම හිතාගෙන හිටපු ක්‍රියා පටිපාටිය එහෙම්මම බිඳ වැටෙනව”
 
“අනේ මේ….. නිකං විකාර කියවන්නෙ නැතුව ඉන්නවද? මොනවද ඔය අනපේක්සිත සිද්දි? එකක් කියනව බලන්ට අපිටත් දැනගන්ට”
 
“හරි ඉන්නවකො කියන්ට. වෙන මොකවත් ඕන නෑ. මේ අද වෙච්චි දේ බලනව”
 
“අද? අද මොකද්ද වුනේ?”
 
“මම ඔන්න ඊයේ රෑ දෙගොඩහරිය වෙනකල් ලිව්ව අර දුම්රියේ හමුවූ ඒ සොඳුරු යුවතියගෙ කතන්දරේ. ලියල ඉවරයක් කරල එක දිගටම දාන්ටයි හිතාගෙන හිටියෙ. ඉවරයක් වෙලා යන්ට. ඔය විනිස්චය කාරවරු එක දිගටම නඩු අහල ඉවරයක්ම කරල දාන්ට තීරණය කරන්නෙ අන්න ඒ විදිහට. බැඳුම්කර වංචාව පිළිබඳව විගණකාධිපතිට විරුද්ධව පවරා ඇති නඩුව ලබන දෙසැම්බර් 16 වන දින සිට නොකඩවා විභාගයට ගැනීමට මූල්‍ය වංචා පිළිබඳ මහාධිකරණ විනිසුරු අර්ජුන් මහේන්ද්‍රන් මහතා අද තීරණය කළේය. ඒ සඳහා අපක්ෂපාතී අති විශේෂ ජූරි සභාව වශයෙන් අතිගරු අධිනීතීඥ රනිල් වික්‍රමසිංහ (පා.ම.) අතිගරු අධිනීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල (පා.ම.) අතිගරු ආචාර්ය හර්ෂ ද සිල්වා (පා.ම.) සහ අතිගරු සුජීව සේනසිංහ (පා.ම.) යන මහත්වරුන් කටයුතු කරනු ඇත.”
 
“ඔය ඉතිං ඕකනෙ කියන්නෙ. දැං කවුද අර ඇම්ඩගෙ මැක්ක වගෙ ආයම මහේන්ද්‍රන්ව ඇදල ගත්තෙ.”
“හරි හරි සොරි සොරි…ඉතිං වෙච්චි වැඩේ මේකයි. අර දුම්රියේ හමුවූ ඇය ගැන ලිය ලිය ඉන්නකොට මගෙ යාලුවෙක් කතා කලා. මචං දන්නවද වැඩක්? ….කියන්නෙ නැතුව දන්නෙ කොහොමද බං?…. හරි, හරි අමරදේව මාස්ටර් අභාවප්‍රාප්ත වෙලා…..නෑහ්? උදේ මම දැක්ක ජයවර්ධන පුර හොස්පිට්ල් එකට ඇඩ්මිට් කලාය කියල…….ඔව්..දැන් ටිකකට කලින් නැතිවෙලා තියෙන්නෙ.”
 
“හප්පා. එහෙමද? “
 
“ඔව්නෙ. ඉතිං මම මේ කියන්ට ආවෙ මේකයි. ඉතිං අද අර යුවතිය ගැන පෝස්ට් එක පබ්ලිෂ් කිරිල්ල පැත්තක තියලමාස්ටර් ගැන සමරු සටහනක් ලියන්ටම වෙනව. හ්ම්ම්ම්…..”
 
“ඔව්..ඔව්…එහෙම වෙන්ටම එපාය..හරි එහෙනං අද මාස්ටර් ගැන ලියමුකො.”
ඉතිං ඔය ඉහත සංවාදය පැවැත්වුනෙ මගෙම උඩුහිතයි යටිහිතයි අතර. අමරදේව මාස්ටර්ගෙත් එහෙම උඩුහිත සහ යටිහිත අතර පැවැත්වෙන කතාබහක් ගැන කියවෙන ගීතයක් තියනව. ඒ ගීතයෙ උඩුහිත වික්ටර්… යටිහිත අමරදේව.
තද කළු පාටින් නොහොත් බෝල්ඩ් තියෙන්නෙ යටිහිත නොහොත් අමරදේව….
ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා
සැනැහුනු මොහොතක

ඔබේම දෙනෙතින් මා ඔබ දු‍ටුවා
ඇයට නොවේ
ඔබට පමණි ඔබ ආදරේ
වසන්ත දෙකොපුල නිදි වැරු තොල් මල
දසැඟිලි තුඩු අග පිබිදුණු රනහස
ඇයට ආදරේ ආදරේ මම
ඇයට ආදරේ ආදරේ
ඇගේ සුරත ගෙන පිණි විල්ලුද මත
ඇයට ඇලුම් බව ඔබ පැවසූ පසු
පෙරළා ඔබ හට පෙම් කරණා බව
ඇය මුමුණන සඳ
ඔබ සිත සුවපත් වේ
ඔබ සිත සුවපත් වේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
ඇයට පමණි මම ආදරේ
ඔබට පමණි ඔබ ආදරේ
පද රචනය – බණ්ඩාර කේ. විජේතුංග,
ගායනය – අමරදේව සහ වික්ටර්

මින්දද හීසර ගැන මම ලියල ඇති ඉසේ කෙස් ගානට. හෙහ්,හෙහ්, ඔලුවෙත් දැන් තියෙන්නෙ කෙස් ගස් හතර පහයි හින්ද බොරුමත් නෙවෙයි ඒ කතාව. ඒත් මේ වෙලාවෙ ආයම නොලියම බෑ.
සිංදුවක් කියන්නෙ මොන වගේ දෙයක්ද කියල යම්තමට අවබෝධයක් ලැබෙන වයසට එනකොට ඒ කියන්නෙ වයස අවුරුදු එකොළහක් දොළහක් වගෙ වෙනකොට සිංදුවක් අහන්ට අපිට තිබ්බ එකම ක්‍රමය ලක්ෂපාන බැටරි කෑලි හයක් දාපු ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක විතරයි.
මම මේ කියන්නෙ අපි කෑගල්ලෙ ජීවත් වුනු කාලෙ ගැන. දවල් දවසෙ මම කොයිම වෙලාවකවත් ගෙදර නෑ. එක්කො අහල පහල ගෙදරක යාලුවො එක්ක ක්‍රිකට් ගහන්ට ගිහිල්ල නැත්නම් අපෙ ගෙදර පල්ලෙහ තිබ්බ ලඳු කැලෑවෙ ඔය මොනවහරි සෙල්ලමක් කරනව. ඒ හින්ද සිංදුවක් කණට ඇහෙන්නෙ හවස හයෙං පස්සෙ වගෙ තමයි.
හවස හයට ප්‍රවෘත්ති අහන්ට ක්‍රියාත්මක කරන රේඩියෝ එක ඊට පස්සෙ රෑ එකොළහට සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං කියල නිදාගන්ට යනකනුත් සමාන්‍යයෙන් එක දිගටම කතා කලා, සිංදු කිව්ව, කතන්දර කිව්ව.
ඔය සබ්බ පාපස්ස අකරණං ගාථාව ගැනත් පොඩි අතුරු කතාවක් තියනව. ඒ ඕක කියන්නෙ කවුද කියල අපි යාලුවො අතර ලොකු විවාදයක් තිබ්බ. මට හිතුනෙම අමරදේව මාස්ටර් කියල. ඒත් මගෙ යාලුවො බහුතරයක් කිව්වෙ සබ්බ පාපස්ස ගාතාව කියන්නෙ ගුවන් විදුලි සංස්ථාවෙ ප්‍රවෘත්ති එහෙම කිව්ව සිරිල් රාජපක්ෂ කියල. ටං ටංට ටං, ටංට ටං ටං ටානා, බඩ පැත්ත සුදුවෙන්ට කිරිමැට්ට ගෑවා, මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. මෙන්න මධ්‍යාහ්න ප්‍රවෘත්ති..ප්‍රකාශය සිරිල් රාජපක්ෂ විසින්….
ඉතිං මට කියන්ට ඕන කලේ ඔය කාලෙ අපිට සිංදු ඇහුනෙ ඔය රෑ රේඩියෝ එක දාල තිබ්බ කාල වකවානුවෙ විතරයි. එව්වයිනුත් හිතේ ඇඳුනෙ සිංදු බොහොම ස්වල්පයයි. අමරදේව මාස්ටර්ගෙ සන්නාලියනේ, වික්ටර්ගෙ පොඩි කුමාරිහාමියේ, ටී.එම්ගෙ රත්තරන් නෙත් දෙකින් සහ ජීවිතේ අමධාරා ..ඔන්න ඔය වගෙ එව්ව.
ඒ කාලෙත් තාලෙකට සිංදුවක් කියන්ට පුලුවන් එකාට හොඳ පිළිගැනීමක් තිබ්බ එක පලෝලෙ කොල්ලො කෙල්ලො අතර. ඒත් වැඩේ තිබ්බෙ ඔය සිංදුවල වචන හරියටම දැනගන්න එක. යූ ටියුබ්, අයි ටියුබ්, රෙඩ් ටියුබ් තියා කැසට් එකක්වත් නොතිබිච්චි අපිට සිංදුවක වචන ලියාගන්ට තිබ්බ එකම ක්‍රමේ ඇවිල්ල රේඩියෝ එකේ සිංදුව ප්‍රචාරය වෙන වෙලාවට දනිපනිගාල කඩදාසියකුයි පැන්සලකුයි අරගෙන ලියාගන්න එක. ඒත් ඒක කොහොමටවත්ම ප්‍රායෝගිකව කරන්ට පුලුවන් වැඩක් නෙවෙයිනෙ.
කොහොමහරි ඔය කාලෙ මගෙ ප්‍රියතම ගීතයක් වෙලා තිබුනෙ අමරදේව මාස්ටර්ගෙ මින්දද හී සර වැදී සැලෙන හද….ඒකෙ මින්දද හීසර වැදී සැලෙන හද, නංවන දුක්ගී ඔබට ඇසෙනවද? කියන මුල් පද විතරයි මම කොලේක ලියාගෙන පාඩම් කරගෙන තිබුනෙ.
ඉතිං කොයි වෙලෙත් ඕක කිය කිය මම එහෙ මෙහෙ ගියා. දවසක් අප්පච්චි ඇහුව “කොයි වෙලෙත් ඕක කිව්වට දන්නවද මින්දද කියන්නෙ කවුද?” කියල. මම ඉතිං “දන්නෙ නැතය”කියල කිව්ව. ඒ පාර අප්පච්චි මට මින්දද කියන්නෙ කවුද? මින්දදට එහෙම කියන්නෙ ඇයි එතකොට අපේ සාහිත්‍යයෙ මින්දදගෙ කාර්ය භාරය ග්‍රීක සාහිත්‍යයෙ කරන්නෙ ඊරෝස්ය, රෝම කාලෙ වෙනකොට ඒ වැඩේ බාරගත්තෙ කියුපිඩ්ය යනාදී වශයෙන් සියලු විස්තර කියල දුන්න.
කුමාර කරුණාරත්න ලියපු තුන් ඈඳුතු ආදර කතාවක් ඒ කාලෙ බොහොම ජනප්‍රිය වුනා. ඇතුගල්පුර පසුබිම් කොටගෙන ලියැවුනු පාසල් ප්‍රේමයක් තේමා කරගත් සිතට සිතක්, අතුරු මිතුරු සහ ඔබයි මමයි ඒ පොත් තුන.
එයින් එක පොතක තියනව පාසලේ වාරාවසාන ප්‍රසංගයේදි කථා නායකයා මින්දද හී සර ගීතය ගායනා කරන අවස්ථාවක්. ඒ ගීතය සම්පූර්ණයෙන්ම ඒ පොතේ පළකරලත් තිබ්බ. ඉතිං මගේ ප්‍රියතම ගීතය සම්පූර්ණයෙන්ම වචනත් සහිතව පලකරල තියනව දැක්කම මට පුදුම සන්තෝසයක්. වහාම සම්පූර්ණ ගීතයම පිටපත් කරගෙන මම විවේකීව ඉන්න වෙලාවට ගායනා කලා. ඉතිං කොහොම හරි මට ඔය ගීතය බොහොම ඉක්මනට කටපාඩම් වුනා. මම කලින් ලියපු මගෙ අතීත මතක කීප තැනකත් මම මේ ගීතය ගැන කියල ඇති. අදටත් මගෙ ප්‍රියතම ගීතයක් මින්දද හීසර….
මින්දද හීසර වැදී සැළෙන හද
නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද
චන්දන මල් අතුරා ඇති යහනට
කන්ද කපා පායන් රන් පුන් සඳ
තුරඟෙකු පිට නැගි නීල වලාකුළු
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම
සතුටු සිනා කැන් හද පුරවා
මෙතුවක්‌ කල් මුව මඬල වසා සිටි
අන්ධකාර සළු පටින් මුදා
නෙත් මිණි පහනින් පහන් කරනු මැන
අනාගතේ මං පෙත පාදා
ගී පද – මඩවල එස්. රත්නායක
ගායනය – ඩබ්.ඩී. අමරදේව

දෙපාරක් ඒ ලෙවල් කරල අසාර්ථක උනහම මම කාර්මික විද්‍යාලයට බැඳුන. ඒ 1982/83 අධ්‍යයන වර්ෂයට. මම කලේ ආධුනික සැලසුම් ශිල්පය. එක් අවුරුදු/දිවා/ පූර්ණ කාලීන එහෙමයි ඒ පාඨමාලාවෙ වර්ගීකරණය.
ගමක කියල එක තැනක ජීවත් නොවුනු හින්ද ඒ වගේම අප්පච්චිගෙ රැකියා ස්ථාන මාරුවීම් අනුව තැන්තැන්වලට යන්ට වුන හින්ද සහ එහෙම ගියත් අපේ අසල්වැසියො වුනේ තවත් අපි වගේම රජයේ සේවකයො හින්ද කුඩා අවධියේ ඉඳල අවිච්ඡින්නව පැවත එන මිතුරො මට හිටියෙ නෑ.
ඊට පස්සෙ ඉස්කෝලෙදි ආශ්‍රය කරපු යාලුවො උනත් ඉස්කෝලෙං අයිං උනහම සම්බන්ධතා බිඳිල ගියා. පාසල් අවධියෙන් පස්සෙ මම කොළඹ අත හැරල අනුරාධපුරේට ආවයින් ඒ සම්බන්ධතා බිඳ වැටීම පරිපූර්ණ වුනා.
ඒ හින්ද අදටත් මගෙ ඉන්න පරණම හිත මිතුරො කාර්මික විද්‍යාලයෙදි මුණගැහුණු අය. අර මම කලින් කීප පාරක් කිව්වෙ වසන්ත ජයනන්ද ගැන එහෙම. ඒ ටෙක් එකේ මගෙ යාලුවො තමයි.
ඉතිං කාර්මික විද්‍යාලෙ දවල් කෑමට ඒ කාලෙ පැය එකහමාරක් දුන්න. බහුතරයක් මගෙ යාලුවො යාලුවො කෑම අරං එනව. මගෙ ගෙදර තිබ්බෙ කාර්මික විද්‍යාලෙ ඉඳල පයිං ගියත් විනාඩි දහයක වගෙ දුර.
ඒ කාලෙ මට තිබ්බ ආර්.එම්.අයි. පුෂ් බයිසිකලයක්. ඕකෙ නැග්ගම ආය මොනවද විනාඩි හතරෙන් පහෙන් මම ගෙදර. ඒ විනාඩි හතර පහෙනුත් විනාඩි දෙකක් විතරම ගියෙ රේල් පාර උඩිං බයිසිකලේ උස්සං එන්ට වෙන හින්ද.
” කෝ අත්තම්මෙ මට බත් බෙදුවද?”
එහෙම අහගෙනයි කුස්සිය පැත්තෙ බිලිං ගහට බයිසිකලේ හේත්තු කරල මම බිමට පනින්නෙ. දවල්ට ඒ දවස්වල ගෙදර ඉන්නෙ අපෙ අත්තම්ම විතරයි.
දණි පණි ගාල කෑවයිං නොකෑවයිං මම ආපහු බයිසිකලේට නඟිනව. ඒ අපෙ කුස්සිය පිටිපස්සෙ තිබ්බ පේර ගස් හතර පහෙං කඩාගත්තු පේර මල්ලකුත් බයිසිකල් හැඬල් එකේ එල්ලගෙන. ඒ ෂොපිං මලු ආපු අලුත. එව්වට ඒ කාලෙ කිව්වෙ සිරි සිරි මලු කියල.
“කොහෙද සුට්ටි පුතේ මේ ආපු පයිම්ම ආපහු යන්ට තනන්නෙ? කාපු බත්තැට හරහ වැටෙනකල් වත් ඉන්නෙ නැද්ද?”
කුස්සියෙ දොර ගාව තිබ්බ රම්ප ගහ යටට ඇවිල්ල අත්තම්ම ඉණට අත් දෙකත් තියාගෙන බෙරිහං දෙනව.
“මට වැඩක් තියනව අත්තම්මෙ” මම ගිණිකසය වගෙ බයිසිකලේ පදින ගමම්ම ආපහු හැරිල උරෙස්ස උඩිං කෑගහනව. ඒ වෙනකොටත් මම මිදුල මැද්දෑවෙ තිබ්බ ජෑම් ගහත් පහුකරල ගේට්ටුව කිට්ටුවටත් ඇවිල්ල.
ආ… සිරි සිරි මලු, එතනිං ගිහාම ස්ප්‍රයිට්, ෆැන්ටා වගේම හූරන ලොතරැයිය නොහොත් සංවර්ධන ලොතරැයි ආවෙත් ඒ කාලෙ. මට මතකයි අනුරාදපුරේ තැපැල් කන්තෝරුව ඉස්සරහ තිබ්බ හයි ලයිට් ස්ටුඩියෝ එක අයිනෙ පාර අද්දර තමයි මුලින්ම ඔය හූරන ලොතරැයි වෙළඳ කුටියක් පටන් ගත්තෙ. අප්පේ මුල්ම දවස්වල එතනට පිරිච්ච සෙනඟ කන්දරාව. එතනම ඉස්සරහ තිබ්බ බස් හෝල්ට් එකක්. බස් වල යන්ට බලාගෙන ඉන්න මිනිස්සුන්ට ඒකෙ ඉන්ට ඉඩක් නෑ ඔන්න කොටින්ම. අපිත් ඔතන පොර කාල සංවර්ධන අරං හූරනව.
ඉතිං පේර මල්ලත් හැඬල් එකේ එල්ලගෙන මම පදිනව පැදිල්ලක් ආපහු ටෙක් එකට. ආය මොනවද අර ජපානෙ ඒෂියන් ගේම්ස් වලට ගිහිල්ල පාසානිබූත වෙච්චි බොනිෆස් පෙරේරා ඒ කාලෙ ලංකා සවාරිය පදිනව වගෙ.
ඒ දණි පණිගාල ඩබල් එකේ ආපහු එන්නෙ අපේ කට්ටිය එක්ක එකතුවෙලා සිංදු කියන්ට. ක්ලාස් එකේ පිටිපස්සෙම පේලි දෙක තමයි අපේ ජල් සඝාර්..”ජල් සඝාර්” කියන්නෙ සත්‍යජිත් රායිගෙ සුප්‍රසිද්ධ චිත්‍රපටයක්. ඒ වචන දෙකේ තේරුම සංගීත කාමරය කියන එක.
ජයනන්දට හොඳට සිංදු කියන්ට පුලුවන්. ඒ කාලෙම අපෙ පංතියෙ ඉගෙන ගත්තු කාලවර්ණ එහෙත් ප්‍රියමනාප යුවතියකට ජයනන්දගෙ උනන්දුවක් තිබ්බ. ඔය මම කියන කාලෙ වෙනකොට මනුස්සය තම ප්‍රේමය කෙලින්ම ප්‍රකාශ කරල තිබ්බෙ නෑ. ඒත් අපි හැමෝම වගෙ ඒ ගැන සහසුද්දෙම්ම දැනගෙන හිටියෙ. අදාල යුවතියටත් ජයේගෙ සෙනෙහස රහසක් වුනේ නෑ.
ඔය අප්‍රකාශිත එහෙත් කිසිවකුට රහසක් නොවන අපූර්ව ප්‍රේමය හින්ද ජයේගෙ වාරය ආවම මිනිහ අනිවාර්යයෙන් කියන ගීතයක් තිබ්බ.
“මේ ජයේ උඹ දැං කියපං සිංදුවක්. හැබැයි එකක් කියන්නං අර උඹෙ සුපුරුදු සිංදුව නම් ඔන්න බෑ” මම පාන්දරම ජයේට තර්ජනාංගුලිය ඔසවනව.
 
“අනේ බං…” ජයේ බැගෑපත් වෙනව.
 
“හ්ම්ම්ම්..හරි හරි අදට විතරක් එහෙනං කියපං….” වසන්ත අවසර දෙනව..
ජයේගෙ මූණෙ හිනා මලක් පිපෙනව…
වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා…….
ගල මතුපිට මල පිපෙන්න
මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න….
ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනාවෙයන් කලු හිනාවෙයන්
වෙලා මගේ හිත ඉනාවකින් තව
හිනාවෙයන් කලු හිනාවෙයන්…..
ගේය පද: මහගම සේකර
ගායනය: පණ්ඩිත් අමරදේව

මේ ඒ දිවා ආහාර විවේකයේදි නිතරම ගැයුණු තවත් ගීතයක්… බොල් වී අහුරු වෙල් සුළඟේ
ඔය බොල් වී අහුරු ගීතය ගැනත් තියනව අපූරු කතාවක්. මම ඔය ගීතය කියන්ට පටන්ගෙන දැනට අවුරුදු අවම වශයෙන් තිහක් තිස්පහක් වගෙ වත් වෙනව. ඒ කාල සීමාව ඇතුලත මධු පානෝත්සව, මිතුරු සුහද හමු ඔව්වයෙ ඔය කියන ගීතය කියන්ට ඇති නොගිණිය හැකි වාර ගානක්. ඒ හැම වෙලාවෙම මම කිව්වෙ “බොල්වී අහුරු මද සුළඟේ ගිය සේම දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම” කියල හෙහ්,හෙහ්,
ඒ අහගෙන හිටපු එක උඩුම්බූරුවෙක්වත් මට නිකමටවත් කිව්වෙ නෑනෙ “යකෝ උඹ ඔය කියන විදිහ වැරදියි. ඔතන කියන්නෙ බොල් වී අහුරු මද සුළඟේ නෙවෙයි බොල් වී අහුරු වෙල්සුළඟේ කියලනෙ” කියල. බොහෝවිට ඕක අහගෙන හිටපු එව්වොත් ඕක දන්නෙ නැතුව ඇති. ඉතිං මට ඔය වැරැද්ද දවසක් පෙන්නල දුන්නෙ මගෙ අතීසාර මිත්‍ර මානවිකාවක් වන අපේ ජානුස් ගොයිය. “මොකක්ද බං උඹ මේ මද සුලඟක් ගැන කියන්නෙ? එතන කියවෙන්නෙ කෙහෙම්මල් මද සුළඟේ කියල නෙවෙයි වෙල් සුළඟේ කියලනෙ” අන්න එහෙමයි ඒ අම්මණ්ඩි කිව්වෙ.
බොල්වී අහුරු වෙල් සුළඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම.
දම් පැහැ කහට කජු පුහුලන් පිපි කාලේ..
රංචුව ගැහුනු හැටි මතකද අපි බාලේ..
මල්වර වී නුඹ ඉද හිට දුටු වේලේ.
බැරිවුනි කියාගන්නට හිත බැදි ආලේ.
බොල්වී අහුරු වෙල් හුලඟේ ගිය සේම..
දීගෙක ගිහින් නුඹ මටවත් නොකියාම..
නෑ තුන් හිතකවත් අමනාපයක් නගේ..
මේ අපි පෙරත් ජාතියෙ පැතු ලෙසයි නගේ..
පිටගම් ගොහින් මා අමතක වුනත් නගේ..
අතමිට සරුව නුඹ යහතින් ඉදින් නගේ..
ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
සංගීතය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : අජන්තා රණසිංහ

ජානුසා ගැන කතාව ඇදිල ආපු හින්ද ඒ යෝදිත් කොණකට ගෑවිලා ඉන්න මාස්ටර්ගෙ තවත් අපූරු ගීතයක් ගැන කතා කරමු. මේ ගීතය ගැන ජානුස් එක පාරක් පෝස්ට් එකකුත් ලිව්ව. ඒක කියවල මම කමෙන්ට් එකක් දැම්ම මෙහෙම කියල
“මම අහලත් නෑ නෙව මීට කලින්…..හතර විළි ලැජ්ජාවට එකතු උනු පස්වෙනි එක ඕං, අමරදේවගෙ මෙච්චර ලස්සන සිංදුවක් අහල නෑ කිව්වම……මොකදෑ කොරන්නෙ ඉතිං……ඔටුවෙක්ගෙ වල්ගෙ වත් හපන්ඩයි තියෙන්නෙ……හෙහ්, හෙහ්,”
උන්දැ මගෙ ඒ කමෙන්ට් එකට කොචොක් එකකුත් දැම්ම “යකෝ උඹෙ ඉහ නිකට පැහුණෙ නියඟෙටද?” ඔන්න ඔහොම මොකක්ද කියල හෙහ්,හෙහ්,
පෙම් රළ පතරින් නිබඳව නැහැවෙන
මිනිස් හඬින් තොර පාලු දිවයිනේ
මා තනි කර දා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිඳේවා
ජීවන නෞකා නොබිඳේවා
කණ කොක් සුද පමණයි බොල් අහසේ
ක්‍ෂිතිජය රේඛාවේ
මුව වීණාවේ මන්ද ස්වරයෙන්
මුහුද හඬන හඬ සවනට නොනැඟේ
මා තනි කරදා පාවෙන ඔබගේ
ජීවන නෞකා නොබිඳේවා
ජීවන නෞකා නොබිඳේවා…..!
සිත් සැණකෙළියේ සිතුවිලි සලෙලුන්
නිහඬව නිදා සිටී
වියරු සිනා හඬ රස ගී ගංගා
සිඳී බිඳි සැඟවේ සැඟවේ

1980 අවුරුද්දෙ සරසවිය චිත්‍රපට සම්මාන උළෙලට සමගාමීව කොටුවෙ රීගල් හෝල් එකේ එතෙක් මෙතෙක් සිංහල සිනමාවෙ හොඳම චිත්‍රපට දහය තෝරලා තිරගත කලා. ආරාධිත අමුත්තන්ට විතරයි නැරඹීමේ අවස්ථාව තිබ්බෙ. ඒත් පත්තරවල තිබ්බ දර්ශනය ආරම්භ කරන්නට විනාඩි පහළවකට ඉස්සෙල්ල හිස් අසුන් තිබ්බොත් සහන මිලකට ඒ චිත්‍රපට නැරඹීමේ අවස්ථාව මහජනයාටත් ලබා දෙන්ට කටයුතු සූදානම් කරල තියනවයි කියල.මමයි මගෙ යාලුවො දෙන්නෙකුයි ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන නැරඹුවා පරසතුමල්, සත් සමුදුර සහ නිධානය.
ඒ අතරින් සත්සමුදුරේ මේ ගීතය අදටත් මගේ ප්‍රියතම ගීතයක්. සත් සමුදුරේ සිරිල් වික්‍රමගේ ධීවරයෙක්. නම ගුණදාස. ඔහුගේ මව දෙනවක හාමිනේ. තම එකම පුත්‍රයා මුහුදු ගිය එක රැයක මුහුද ප්‍රචණ්ඩව මාරාවේශ වෙනව. ඒ මහළු මව නිවස අසල වෙරලේ ගල් පරයකට බැරි මරගාතෙ ගොඩවෙලා ලන්තෑරුමක් හිසට ඉහළින් ඔසවාගෙන මරු විකල්ලෙන් දඟලන මහ මුහුද දිහා බලා ඉන්නව පුතා ආපහු එනකල්. ඒ වෙලාවෙ පසුබිමින් ඇහෙනව මාස්ටර්ගෙ ගැඹුරු එහෙත් ළයාන්විත හඬ…
මිනිත්තු හතකට ආසන්න කාලයක් ගැයෙන වැයෙන මෙම ගීතය දීර්ඝතම සිංහල ගීතය කියල මම කොහෙ හරි කියෙව්ව මතකයි.
සිනිඳු සුදු මුතු තලාවේ
සිනිඳු සුදු මුතු තලාවේ
සිනිඳු සුදු මුතු තලාවේ
සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
සිනිඳු සුදු මුතු තලාවේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
පිපෙන පෙණ පිඬු සිනාසේ
සිනිඳු සුදු මුතු තලාවේ
සැලෙන රළ මත ගිලී ඉපිලී
සැලෙන රළ මත ගිලී ඉපිලී
ගලන සිතුවිලි මුළාවේ
ගලන සිතුවිලි
මුළාවේ
ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ
(ගැඹුරු සත් සමුදුරු පතුල බිඳ)
ඇඹරි ඇඹරී වියරු දළ රළ
තුමුල මහමෙර දෙදරවයි
බුර පුරා නැගි කුරිරු ජල කඳ
බුර පුරා නැගි කුරිරු ජල කඳ
දෙරණ සම්පත ගිල ගනියි
දෙරණ සම්පත ගිල ගනියි
ගිල ගනියි
(ගිල ගනියි)
ගායනය – පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සහ පිරිස
පද – මහගම සේකර
තනු – සෝමදාස ඇල්විටිගල
සත් සමුදුර චිත්‍රපටියෙන්

මට බාල තියා වැඩිමහල්වත් සහෝදරයෙක් නෑ. ඒ හින්ද මල්ලිල ඉන්න අයියල මල්ලිලව අතින් අල්ලගෙන පාරෙ එක්ක යනකොට හිච්චි එකා සන්දියෙ මගෙ හිතට දැනුනෙ කියාගන්ට බැරි දුකක්.පස්සෙ කාලයත් එක්ක වියයුතු ලෙසම ඒ දුක ක්‍රමයෙන් තුනීවෙලා ගියාට අමරදේව මාස්ටර්ගෙ මේ ගීතයට මගේ ඇති දැඩි කැමැත්තට ඒ බාල සහෝදරයෙක් නැති අඩුවත් හේතු වෙන්න ඇති.
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින්
ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා
දරට ගිහින් කුරුඳු කැලේ මඟ වැරදීලා
මං එනතුරු හඬා වැටෙද්දී
නුඹට දැනුණු පාළුව දුක මෙදා මටයි මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා
මී ගස් යට මී වැහි වැහැලා
බාලේ මෙන් පාන්දරින්
ඇහිඳින්නට යන්නට බෑ
මට තනියක් දැනෙනවා
පැදුරු කොටේ තුරුළු වෙලා ගොම්මන් යාමේ
හොල්මන් ගැන කතා කියද්දී
මගේ ඇඟේ දැවටීගෙන අසා උන්නු මලේ
නුඹ නැතිදා මට තනිකම දැනෙනවා
මා වවුලන් රෑ පුරාම රංචු ගැසීලා…
ගායනය – ඩබ්.ඩී. අමරදේව
පද රචනය – කුලරත්න ආරියවංශ
තනුව – රෝහණ වීරසිංහ

බලා වැළපෙමි සොයාගනු බැරි හන්තාන සිහිනේ……..අමරදේව සමඟ උමාරියා සිංහවංශ
“පසුබිම පේරාදෙණිය සරසවිය. යුගය සිංහල නාට්‍ය කලාව, සාහිත්‍ය කලාව, පේරාදෙණිය සරසවි බිම ඇසුරෙහි උත්කර්ෂයට නැංවෙන හැටේ දශකයෙ අග භාගය. එය හන්තානය මෙන්ම පේරාදෙණිය සරසවියෙ වලත් ප්‍රේමාන්විත යෞවන යෞවනියන්ගෙ හැගීම් හා සංවාදයේ යෙදුනු කාලයක්‌. මේ කාලයේදී සරසවියට එන සාහිත කලාවන් පරිශීලනය කළ තරුණ සිසුවියක්‌ ඒ වනවිට මැදිවියත් ඉක්‌මවමින් සිටිනා යුගයේ ප්‍රභාෂ්වර සාහිත්‍යක්‌කාර සරසවි ඇදුරුවරයා පිළිබද ප්‍රේමයෙන් වෙළෙනවා. ඒ මොහොත වනවිට සිය විවාහ දිවියෙන් පැරද සිටිනා මේ ඇදුරිඳු හා තරුණ සිසුවිය අතර උපදින සංවාදය තමයි මේ පදපෙළට නිමිත්ත වන්නෙ” මෙහෙම කියන්නෙ මේ ගීතයේ පද රචකයා ජානක සිරිවර්ධන.
පද පෙළෙහි වන විචිත්‍රත්වය සියක්‌ වරක්‌ තීව්‍ර වන්නේ මේ කතා නිමිත්ත හෙළිවන විටය. නව යෞවනියගේ ප්‍රේමාන්විත ආයාචනය ඇසේ. ඇය සිය හදවතේ ඇදගත් මහා පුරුෂයා දකින්නේ නෙළාගනු නොහැකි සිහිනය ලෙසය. හන්තානයේ පිපුණ සිහිනය ලෙසය. ජීවිතාවබෝධය රහිත මේ ප්‍රේමාන්විත යුවතියගේ ආයාචනය ඇදුරිඳු ඉවසන්නේ උපේක්‌ෂාවෙනි. හෙතෙම ඇයට ප්‍රේමයේ වේදනාවෙන් උපන් කඳුළින් යථාවබෝධය උපදවාගෙන ජීවිතය ගෙත්තම් කරගන්නා ආකාරය පහදයි.
එහෙත් ඒ ගැඹුර වටහා ගන්නට මේ ප්‍රේමනීය යුවතිය නොපෙළඹෙන්නීය. ඇය ජීවත්වන්නේ මිණි මිණි පොදෙහි තෙමෙමින් දුහුල් මලින් ගැවසි පේරාදෙණිය සරසවියේ එළිමහන් රගමඩල මත ඔහුගේ දෑතේ උණුහුමට තුරුලු වීමේ සිහිනය තුළය. ඒ සිහිනයේ මිහිර වියපත් ඇදුරිඳුගේ චිත්තයෙහි ආලෝක පුංජයක්‌ දල්වයි. මේ මොහොත වනවිට ඔහු සිය පියඹගෙන් වෙන්වීමේ කම්පනයෙන් මිදී නැත. බිසෝතෙම වැදි රජ හා පලාගිය මොහොතේ සිට අඳුරු වූ රගහල වැනි සිය අඳුරු හදගැබ තුළට නොවඩින්නට ඔහු ඇය පොළඹවයි.
එහෙත් ඇය තරුවක්‌ වූ ඔහුගෙන් පෙම් ගී අසමින් අමාවක ඝනඳුරේ ගිලී ඔහු හදවතට සද වඩිනතුරු ඉන්නට ප්‍රාර්ථනා කරයි. මේ ප්‍රේමාන්විත සංවාදය කෙළවර ඇදුරුතෙම සද දිය සදිසි ඒ ප්‍රේමයේ ගිලී කිමිදී යයි. හේ ඇයට ඒ මොහොතේ මුල්ම වරට සොඳුරිය ලෙස අමතනු ඇසේ.
(උපුටා ගැනීම දිවයින මීවිත…….)
බලා වැළපෙමි…
නෙළාගනු බැඳි හන්තාන සිහිනේ
දරා නෙත් අග දොවා සිත් මල්
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ…
වැහි පබළු යට රගමඬල මැද
ඔබේ දෑතේ තුරුලු වන්නට
බිසෝ හැර ගිය ළසෝ රගහල
අමාවක අඳුරේ
නොයනු මැන ළඳුනේ…
වඩින තුරු සද දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු ඒ සද දියේ එන්නම්
ඉඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ…
හඬ මාධූර්යය – විශාරද අමරදේවයන් සමගින් උමාරියා
සත්සර – අරුණ ගුණවර්ධන
ගේය පද – ජනක සිරිවර්ධන

මහවන මැද කල්ප ගණනක් බවුන් වැඩීමෙහි නිරතව හුන් සෘෂිවරුන්ගේ පවා සිල් බිඳීමට යුවතියකගේ පා සළඹක් හඬනා රාවය සමත්වේ. මේ කුමරියක පා සළඹ සැළුනා….
කුමරියක පා සළඹ සැලුනා..
වසා සිටි නෙතු පියන් ඇරුනා..
කුමර බඹසර අසපුවේ මා..
සම වැදී උන් දැහැන් බිඳුනා..
කුමරියක පා සළඹ සැලුනා..
උකුල ළැම හස මලවි කරලිය
මුවා කල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සලෙළුන්
උමතු වු දෙනුවන් රැහැන් ඇද
මා අබියස මැවුනු තුසිතය
සුරන් නැළවූ සුයාමය..
කුමරියක පා සළඹ සැලුනා..
නිසල ජීවන තපෝ වන මැද
හැඟුම් ගජසෙන් යදම් බිඳ ‍වැද
තලා සිත කම්පනය කරවයි
ලපලු තුරුවැල් කැකුළු මල් පෙති
මා හඬවයි බිඳුනු තුසිතය
සුරන් නැලවූ සුයාමය..
කුමරියක පා සළඹ සැලුනා..
ගායනය : ඩබ්ලිව් ඩී අමරදේව
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය : වික්ටර් රත්නායක

එරන්දතිය කියන්නෙ මිනිස් කතක් නෙවෙයි ඇය වනාහී නාලොව නාරජුගේ දියණිය. එරන්දතිය අපිට හමුවන්නේ විධුර ජාතකයෙ. මේ එරන්දතියගෙ රූ සිරි ගැන කියන්නේ අමරදේව සහ අමිතා වැදිසිංහ.
අනෝතත්ත විල නෙළුම නෙළාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවින් බැස නා ලිය ගමනින්
වරගන පිරිවරිනා….
එරන්දතිය එනවා……
සිතක උපන් දොළ සංසිදුවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
සිතට තුරුළු වෙනවා….
එරන්දතිය එනවා…….
කෝමල ගමනින් කෝල හැඟුම් හළ
කාල ගිරෙන් සිතුවිලි සේනා ගෙන
වරගන පිරිවරිනා..
එරන්දතිය එනවා…..
නළලත කුංකුම තිලක තියාලා
නීල වර්ණයෙන් කැලූම් නෙළාලා
පාද කිකිණි සොලවා…
එරන්දතිය එනවා…….
පණ්ඩිත් අමරදේව – අමිතා වැදිසිංහ
සුනිල් සරත් පෙරේරා / වික්ටර් දළුගම

වසන්ත ඔබේසේකරගේ වල්මත්වූවෝ චිත්‍රපටයෙන්…
මලින් මලේ රොන් පොපියන රඟන බඹර ජීවිතේ
කප් තුරු හිස දලු ලියලන නව යෞවන ජීවිතේ
අපට උරුම නැත නාඩන් හදවත
අපට උරුම නැත නාඩන් හදවත
තුරුණු පැතුම් හිසින් දරා මතු දවසට පෙරුම් පුරා
තුරුණු පැතුම් හිසින් දරා මතු දවසට පෙරුම් පුරා
ඉපනැලි කටු කොහොල් තුලින් මග සොයනා ගමනේ
මග සොයනා ගමනේ
කිඳා බසින ජීවිතයට නැත කිසි පිළිසරණේ
කිඳා බසින ජීවිතයට නැත කිසි පිළිසරණේ
අරමුණු විසඳුමක් නැතේ අද පමනයි හෙටක් නැතේ
අරමුණු විසඳුමක් නැතේ අද පමනයි හෙටක් නැතේ
හිස් අහසට අත් ඔසවා අපිත් ඉරට හැඬුවා
අපිත් ඉරට හැඬුවා
සා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා
සා පවසට අනේ අපට කිරි එරුනේ නැතුවා
ගායනය : පන්ඩිත් අමරදේවයන්

මහළු වියට කෙමෙන් එළඹෙන පෙම්වතුන් යුවලකගේ අන්දරය. එක් නරකෙසක් දැක රජකම අත්හැර තපසට ගිය මඛාදේව රජුලෙස ඔහුට ඇය අත්හැරිය හැකිද?
කොළොම් තොට නැත මහළු වී
අවන් හල නැත පැරණි වී
එදා හඳමයි අදත් යෞවනයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ
කුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා

පෙරුම්පුරමින් හමුවෙලා
උනුන් රහසින් බැන්ද ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නර කෙසක් නැගිලා
ගී පද : ලුෂන් බුලත්සිංහල
තනුව : ගුණදාස කපුගේ
ගායනය : ඩබ්.ඩී. අමරදේව

මේ නෙතු දෑලවරින් කතා කරන බමර පැටික්කිගේ කතාවයි…
බමර පැටික්‌කී
තුනු සිරි විලේ නටන බමර පැටික්‌කී
ඉඳු දුනු දැලේ කෙලන මොණර පැටික්‌කී
කව් කෝකිලයින් ගයන වෙලාවේ
මල් යාය කිකිණි හඬට සිනාසේ
කව් කෝකිලයින් ගයන වෙලාවේ
මල් යාය කිකිණි හඬට සිනාසේ
නෙතු දෑලවරින් කියන කතාවේ
මත් සලෙළ සමේ මහිම උදාවේ
රඹ තුරින් තුරට පීත වලාවයි
රන් දොරින් දොරට නීල නිලාවයි
රඹ තුරින් තුරට පීත වලාවයි
රන් දොරින් දොරට නීල නිලාවයි
මුව සරින් සරට ගීත කලාවයි
පිපි මලින් මලට ආල ගුලාවයි
තනුව : වික්ටර් රත්නායක
ගායනය : අමරදේව

ජීවිතං අනියතං මරණං නියතං. මෙලොව උපත ලද අප සියල්ලෝම උපන් මොහොතේ පටන් මරණය හිස මත තබාගෙන සිටින්නෝය. මරණය වනාහී කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණි. 
 
එසේ හෙයින් හෙළයේ මහා ගාන්ධර්වයාණනි, ඔබ ඒ සනාතන ධර්මය හොඳින් වටහාගෙන සිටි බවට මට සැකයක් නැත. ඔබ අප වෙනුවෙන් කල සදාතනික අනේකවූ රමණීය කලානිර්මාණ රැස වෙනුවෙන් අපගේ බැතිබර ගෞරව පූර්වක ස්තූතිය පිළිගනු මැනව!
 
සුබ ගමන් මහතාණනි!

මමද ඇතුළු සුවහසක් ශ්‍රී ලාංකික ජනතාව ඔබට මහත් සේ පෙම්කල බවද ඒ සමඟම පැවසීමටද ගරු මහතාණනි මට අවසර!!!
මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කළ බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවි
මා මළපසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනවි
නන්නාඳුනා ඔබ ගේ
අත් අකුරින් ලියනු මැනවි
දුක් ගීයක් ලියනු මැනවි
අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඬ සඳ බැසගෙන යන සඳ
රෑහි නඟන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී
පද රචනය – මහගම සේකර
සංගීතය හා ගායනය – ඩබ්.ඞී. අමරදේව

හෙළයේ මහා ගාන්ධර්වයාණෝ – අමරදේව –
චිත්‍රය ජගත් කොස්මෝදර

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල