විශේෂ

අමර ගී රසෝඝය

Off

TUESDAY, 1 JULY 2014
අමර ගී රසෝඝය පින්තූරය ගත්තේ මම ලංකාවට ආවට පස්සේ ගෙවිච්ච, අමතක නොවන, සොඳුරු සැඳෑවක් උනා ගිය 29 වෙනිදා හැන්දෑව.. අමරදේව මාස්ටර්ගේ සසර වසන තුරු ප්‍රසංගය විඳින්න අගනා අවස්ථාවක් පහල උනා ගෙදරකෙනාගේ අනුග්‍රහයෙන්…

මයෙස්ට්‍රොගේ සොඳුරු මිනිසා නම් සීඩී තැටිය මිලදීගැනීමටත්, තුන්හෝරාවක් දැහැනක ගිලී තනිවෙන්නටත් මග සරසා දුන් ඒ ඇත්තිට බොහෝ පින්.. අවුරුදු 86ක් තරුණ මේ සොඳුරු මිනිසා මා නෙත් බොඳකලා ඔහුගේ සුරම්‍ය මියැසියෙන්…

1999 අවුරුද්දේ (මට දිනවකවානු නම් මතකයේ නොමැත )මා සහ මා සහෘද බන්ඩාරයන්ගේ මූලිකත්වයෙන් අමරදේව මාස්ටර් පලමු වරට (බලධරයා (අරූ මහතා ) විසින් කපා හරින ලදි) ඕමාන් රාජ්‍යයේ මස්කට් නගරයේ බාර් අල් ජිසා පැලස් රාජකීය රඟහලේ ඔහුගේ මියැසියෙන් දෙස් විදෙස් රසිකයන් පිනවූ අයුරුත්, දින දහයක් පුරා මා සහ මාගේ පවුලේ අයත්, යහලු යෙහෙලියනුත් සමග මාස්ටර් ගත කල ඒ සොඳුරු සැදෑවනුත් මා වෙත නැවත ගෙන ඒමට මේ සැඳෑව ආයෙත් සමත් උනා.

ඉතාම අහිංසක මිනිසෙක්වන, එහෙත් ජාතියේ අග කරඬුව වන් එතුමා මා හට අතුල සෙනෙවි යයි අමතන්නටත්, මීවිත, මියැසිය සහ මිත්‍ර සමාගම යනු ජීවිතය යයි කියා, හෝරා ගනන් අපව පිනවන්නටත්, කාලයගත කල අයුරු කිසිදා මතකයෙන් ගිලිහී නොයනු ඇත. ඕමානයට පැමිනි පළමු සැඳෑවේ, මා නිවහනේදී, තම වාදක මඩුල්ලත් සමගින්, රත්නශ්‍රී විසින් අකුරු කෙරූ….සුවඳ මුව රද …., එම ගීතය පලමු වරට ගායනා කිරීම මට මහත් ආඩම්බරය ගෙන දෙන තවත් කරුනකි.

අමරදේව මාස්ටර්ගේ අතිජාත පුත් (මාස්ටර්ගේම වචනයෙන්) රංජන, ඊගල්ස් ගයන හොටෙල් කැලිෆොර්නියා ගීතය ඇසුරුකරගෙන මාගේ තබ්ලා යුගලය ටියුන් කර, මෙම ගීය ගැයීමට තම පියානන්ට එකතුවූ අයුරු මන බඳින සුලුය..

~~~~ සුවඳ මුව රද ~~

සුවඳ මුවරද බරිනි ආකුල
යෞවනය දොරකඩ හිඳී
මලක් වී ඔබ පිප්පෙනු නිසැකයි
වසන්තය ළඟ ළඟම එයි

දරුවනේ වන මලක් යනු
එක රැයක අසිරිය නම් නොවේ
ගහත් පොළොවත් වින්ද දුක්ගිනි
මලක රුව ගුණ බිහි කර‍යි

රොන් සලා පිනි බරව හිනැහෙන
කුසුම සතු යුතුකම මෙයයි
උපන් බිම මහ පොළොව දූවිලි
නිබඳ සිහිපත් කළ යුතුයි

පද – රත්න ශ්‍රී විජේසිංහ තනුව – අමරදේව සංගීත සංයෝජනය – නාලක අංජන කුමාර මා ඉතාමත් ප්‍රියකරන..මේ මහ කන්ද…. ගීය ඒ වන විට කිසිම සීඩී තැටියකට නගා නොතිබුන හෙයින්, මා කල ඉල්ලීමකට කෘතගුන දැක්වීමක් ලෙසදෝ, ඔහුගේ ඊලඟ සීඩී තැටියට එම ගීය ඇතුලත් කිරීමත්,
මස්කට් නගරයේ ශ්‍රී ලංකා අන්තර්ජාතික පාසලේ දරුවන් වෙනුවෙන් අප ඉල්ලිම පිලිගෙන නොමිලයේම ප්‍රසංගයක් පවත්වා ඔවුන් වෙනුවෙන්ම රත්න ශ්‍රී ගේ ….සුවඳ මුව රද…. ගීයත් මා වෙනුවෙන් …..මේ මහ කන්ද…. ගීයත් ගායනා කිරීම මා ජීවිතයේ අමතක නොවන සිදුවීම් මාලාවට එකතු වූවා.. කෙසේ වෙතත්, රෙකෝඩින් මෝරුන්ගේ දැලට හසුවූ මේ ගාන්ධර්වයානන්හට තමන්ගේ අප්‍රමානවූ නිර්මානයන්ගේ, බිඳුවක හෝ අයිතියක් නොමැති බව දැනගැනීම හිරිකිතය. ඔහු මෙයින් ගලවා ගැනීමේ මහා බාරදූර කාර්‍ය්යට අමරදේව පදනම ( www.wdamaradeva.lk) (amaradevafoundation@gmail.com) අද කරගසා සිටී.

ගාන්ධර්වයානෙනි..ඔබට නිවන් සුව පතමි.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල