සාහිත්‍ය කළා විචාර

බෙදහෙදා ගැනීම හෙවත් Sharing

Off

“කනබොන දෙයක් තනියම වළඳන්න එපා”
කියා කවි පදයක් කීවේ ගිය සතියේ ඉරිදා පොලේදී පල්ලියට යන පාලම ගාව අයිනේ වාඩිවී සිටි යාචක මනුස්සයෙකි. තමුන් කනබොන දෙයක් අනුන්ටත් දී කෑම අපේ ගමේ සිරිතයි. මේ අතින් අපේ පුංචම්මාගේ පවුලේ අය ඉතා ඉස්තරම්ය. මාරි ඉස්කෝතු කාලක් ගෙදර හතර දෙනා විසින්ම බෙදාගෙන කෑමේ ‘ක්ෂුද්‍ර බෙදහදාගැනීමක්’ ඒ පවුලේ අයගේ ඇත. ඒ අය කලිං ආත්මේ කූඹි පවුලක සාමාජිකයින් වන්නට ඇතැයි සිතෙන්නේ සමහර කෑම වර්ග බෙදාගත් විට එක්කෙනෙකුට ලැබෙන පංගුවෙන් සාමාන්‍ය කඩියෙක්ටවත් වේල පිරිමහගන්න බැරි නිසාය. ඒ වගේ ලේවකෑම් වලට අපේ නැංදම්මා කියන්නේ ‘හිඟෝටු කෑම’ කියාය.මේ කියන්න හදන්නේ ඒවැනි ‘හිඟෝටු කෑමක්’ ගැන නොව අපේ ගෙවල් මණ්ඩියේ පවතින බෙදාහදාගැනීමේ චාරිත්‍රය පිළිබඳවය.
එක දවසක් අපේ ගෙදරට දවල් බත්වේල පහුවී ආ නෑයෙකුට කන්න දෙන්නට බත් ඩිංගක් ගෙදර ඉතුරුව නොතිබීමෙන් ඉතා දුකට පත් අපේ අම්මා එදා ඉඳන් සෑම වේලකටම වැඩිපුර එක් කෙනෙකුට බත්වේලක් ඉව්වාය. අපේ ගෙදරට පිටිං කෙනෙක් එන්නේ එහෙමත් දවසක නිසාත්, එහෙම එන කෙනෙක් උනත් එන්නේ කෑම වේල් මගඇරෙන විදිහට වීමත් නිසා හැමදාම වගේ තුං වේලට බත් වේල් තුනක් ඉතුරු වේ. හැමදාම එහෙම ඉතුරුවන බත් දිනපතා හෙලපල්ලට විසික් කිරීම නිසා ඉතා නුදුරේදීම රත්නෙ බාප්පාගේ කුඹුරද ගොඩවී අපේ ඉඩම පිට්ටනියක් මෙන් විසාල වනු ඇතැයි අපේ තාත්තා කිව්වේය. ඒ වුනත් සිය මතය අත් නොහැරි අපේ අම්මා තවමත් ඒ චාරිත්‍රය නොකඩවා ඉටු කරන්නේ තමුන් ආණ්ඩුවේ චක්‍රලේඛ ගැසීමේ කටයුත්ත බාර ගැනීමට ඉතා ගැළපෙන බව පෙන්වමිනි.
ගැටපොලොස්, කොස්, දෙල්, මසක් මාළුවක්, මයියොක්කා, කෑලෑදෙල් ආදී හැමෝම ප්‍රිය කරන කෑමක් හදනවිට ගොයං කයියකට තරම් ඉවීම අපෙ අම්මාගේ සිරිතය. ඒ විදිහට අපේ ගෙදර කොස් තම්බන්නේ වෙද පප්පාගේ අරිෂ්ඨ කල්දේරමට නොදෙවෙනි වළඳකය. ගැටපොලොස් උයන්නේ එගොඩ මෙගොඩ නොපෙනෙනා කොරහක් විතර ඇතිලියකය. දර හිඟයක් නැති නිසා උදළු මිටි තරං ලොකු දර කෑලි දමා ලිප අවුලන විට කුස්සියේ වහලෙ උඩ වුනත් තියෙන හොද්දක් නටන්නේය. චිමිනි බැඳ නොමැති බැවින් කුස්සියේ පිරෙන දුමින් පෙනහළු පිරී කැස්ස ඇතිවීම අනිවාර්යවේ. ලිපට ඉහලින් බිත්තියේ ඇති කවුලු දෙකක් හරහා කුස්සියෙන් දොට්ට පනින දුම් කඳ ‘අකනිට්ටක් බ්‍රහ්ම ලෝකෙට’ වෙනකං යන බවත් ඒ හංදා බ්‍රහ්ම ලෝකවල ඉන්නා අයටත් කැස්ස හැදෙන බවත් අපේ තාත්තා කියයි. නමුත් මේ සියල්ල මැද විරාජමානව නොසැලී ඉන්නා අපේ අම්මා පොල්කටු හැඳි දෙකට කැඩෙන තරං හයියෙන් මහා කොස්, දෙල් හැලි කූරුගාමින්ද, සැමවිටම කොනක් ලිපට වැටී ගිනිගන්නා දැලි පාංකඩවලින් ඇතිලිවල කනෙං අල්ලාගෙන ආම්බං කිරීමෙන්ද කුස්සිය පුරා ආදිපත්‍ය පතුරුවමින් හැලි වලං හරඹ කරන අතරේ අපි කුස්සියට යන්නේ වතුර ඩිංගක් නොබීම බැරිකමක් උනොත් පමණි. එහෙම යතත් මම නං  “අම්මෙ මං එනෝ” කීමෙන්ද, තාත්තා නං “ඔන්න තමිසෙ ඩිංගක් එහෙට්ට වෙලා ඉන්නොව මට වතුර ඩිංගක් නමාගන්න” යැයි කීමෙන්ද අනතුරු අඟවන්නේ කුස්සිය වසාගෙන ඇති දුම් වලාව අතරේ ‘පොග් ලයිට්’ නැති අපිව අම්මාගේ ඇඟේ සහ හැලිවලං වල හැපෙන්නටත් වැරදීමකින් කකුල ඉඳුල් වතුර කොරහක එබෙන්නට, පිහියක් උඩ තැබෙන්නත් ඇති අවදානම මගඅරවා ගැනීමටය.
මේ විදිහට හදාගන්නා හැලියක් බිමට බාගත් ගමං අපේ අම්මා කරන්නේ ගෙදර තියෙන තරමක් ඉටි දීසි, බෙලෙක් මැටිකෝප්ප, ආදියට ඒ හැලියේ අඩංගු ජාතිය බෙදීමය. ‘බොරලුගොඩගේ දවල් කෑම පාර්සලය’ බෙදීම සිහිකරමින් හැන්දේ නොපිටින් තද කරමින් අඟල නූලට තද කරමින් භාජනවලට අපේ අම්මා බෙදන බෙදිල්ල දකිනා විට ‘win zip’ වැනි මෘදුකාංග වලින් කෙරෙන්නේ මොන බම්බුවක්දැයි සිතෙන්නේය. මේ බෙදිල්ලේ කෙලවර ඇත්තේ මගේ නමය.
“ළමෙයෝ, මේ ටික ගිහිං දියං උඹලෑ නැංදලෑ දිහාට. පීසේන මල්ලියාසයි කොහ්කන්න. ගිහිං දියම්පුතේ මේටික විජහට”
මේ කියන්නේ අපේ ‘දැතිහුලහ නැංදා’ගේ නිවස ගැන බව දත යුතුය. දුං දමන කොස් බෙදූ බෙලෙක් මැටිකෝප්පයක් අතිං තියා අඬුවකිංවත් අල්ලන්නට අමාරු බව සයිවර් කඩ වලින් බෙලෙක් කෝප්පවල ප්ලේන්ටි බිවූ අය දනිති. එබැවින් මම වැඩේට අදිමදි කරමි.
“ඕක නිවුනහං ගිනියන්නං. තාම පිච්චෙනව. කිට්ටු කොරන්න බෑ.”
“ඕ හැටි පිච්චෙන්නෑ. මේ බලහං මං අල්ලන්නෙ. රහ්නෙ පිටිං ගිහිං දියං නැහ්නං නිමුනහං කන්න බෑනෙයැ.”
අන්තිමට අම්මා කොත නොපැළඳූ චෛත්‍යයක් වැනි කොස් කන්දක් පිරවූ, ඉස්තිරික්කයක් මෙන් රත්වුන, බෙලෙක් මැටිකෝප්පය විජය පත්තර පළුවකිං වසා මගෙ අතට දෙන්නේ “හිමීට පලෙයං” කියමිනි. තප්පර පහෙන් අත ගිනියං වන බැවින් මේ භාජනය ‘හෝ දහය විස්ස’ කියන වෙගෙං අතින් අතට මාරු කළ යුතුය. ඒ නිසා ටෝච්චෙක පත්තුකර උරෙස්සටත් බෙල්ලටත් හිරවන පරිදි තබා ගැනීමෙන් අත් දෙකෙං එකක් නිතරම නිදහස්ව තැබිය යුතුය. ඒත් මේ භාජනය අපේ ගෙදරිං පහල ඇති කරාබු ගහේ කරුවකත්, අපේ වත්ත මායිමේ ඇති අරලිය ගහේ දෙබලකත්, නැන්දලාගේ ගෙදර පහල ඇති නාරං ගහේ අත්තක් කැපූ තැනක බිලයක කටේත් තබා වරිං වර අත් දෙකම නිමාගත යුතුය. නැන්දලාගේ වත්ත පාමුලදීම
“චූටී දොර ඇරපාං…. මේසෙ උඩ අස්කොරල තියහාං.. බිංදුවව අල්ල ගනිං… නැහ්නං ඕක මගේ කරේ නගී”
කියා කෑ ගහගෙනම මාර්ගය ඉඩ ලබාගත යුතුය. නැතිනම් නැංදා දොර අරින තෙක් භාජනය දොරකොට බිම තැබීමට සිදුවන අතර බිංදුවාගේ හොස්ස ඒ අස්සේ රිංගන්නටද පුළුවන. අන්තිමට නාරං ගහේ බිලයේ කටින් මගේ අතට ගන්නා මැටිකෝප්පය නැන්දලාගේ ගෙදර මේසය උඩට දමා අත් දෙකට පිඹ ගනිමින්
“කොස්ඩිංගක් ගෙනාවා”
කියා කරේ තිබුණ ටෝච්චෙක අතට ගන්නට මට පුළුවන.
මගේ ගමන් මග
සමහර දවස්වලට චන්දරේ මාමලෑ ගෙදර, සුනිල් මාමලෑ ගෙදර, කරුණෙ මාමලෑ ගෙදර ආදී ගෙවල්වලටත් මේ ගමනම යන්නට මට සිදුවෙයි. යන ගමන් අත පිච්චෙන නිසා පිඹගෙන ගියත් ආපසු එන විට ලොකු ගස්, ආතගේ සොහොනට හැරෙන තැන, හුළඟට හෙලවෙන කෙහෙල් අතු ආදිය නිසා මම එන්නේ බිම බලාගෙනය. වරක් දෙවරක් වවුලන්ට, පඳුරු අස්සේ සිට පැන දුවන හාවුන්ට, බල්ලන්ට ආදීන්ට බයවීම නිසා ‘පීටර ආතා’ ගෙන්වාගෙන මට තෙල් මතුරවන්නටද අපේ අම්මාට සිදුවිය.
මස්, මාලු ආදී ‘පිලී’ ජාති උයා ලිපෙන් බාගත් ගමං හොද්දෙං ටිකක් අරගෙන කුස්සියෙන් දොට්ට විසිකරන්නේත්, එව්වා තවත් ගෙදරකට ගෙනියන අවස්ථා වලදී ඒ භාජනය සමග අඟුරු කෑල්ලක්, යකඩ ඇනයක්, පිහියක් වැනි දෙයක් අරගෙන යන්නේ යක්කු, පෙරේතයන්ගේ බැල්ම වලක්වා ගැනීමටය. මදි නොවෙන්න බෙදනා නිසා හොද්ද භාජනයේ කට ගාවටම පුරවා ඇත. එවිට හොද්ද කැලැත්තෙන්නේ නැතිවෙන්නත්, භාජනයේ කට හොදිවල මතුපිට පෘෂ්ඨයට සමාන්තරවත් තබාගන්නට වන්නේය. නැත්තං හොද්ද අල්ල උඩ හලාගෙන බෝනස් පිලිස්සීමක්ද ලබන්නට හැකිවේ. සමහර දවස්වලට එවැනි ‘පිලී ජාති’ ගෙනගිය විට ඒ ගෙදර කෙනක් මාව ආපහු මගක් දුරට ගෙනත් අල්ලන්නේත් තමුන්ට ‘හොද්ද කන්න’ නොදුන් කොල්ලාව බය කිරීමට බලා සිිටිනා එවැනි අමනුස්සයින්ගෙන් මාව බේරාගැනීමටය. කුණුහරප කීමෙන් සහ හෙලුමෙං සිටීමෙන්ද යක්කු බය කර එළවන්නට පුළුවන. සරම ඔසවා ‘එක පුලියේ’ ක්‍රමය අනුගමනය කරමින් මහසෝනාද බය කිරීමට ‘ගුනොවද්දන මාමාට’ හැකිවී තිබේ.
සමහර වටිනා කෑම ජාති එහෙම හැමෝටම ගෙනිහිං දෙන්නට තරම් මදිවන්නේය. එවිට ඒවා යැවෙන්නේ අපටත් තමුංගෙ ගෙදර හදන හැම දෙයක්ම දෙන ගෙදරකට දෙකකට විතරය. එදාට අනෙක් ගෙවල් මගහැර අදාල ගෙදරටම යන්නට වෙනත් අවශේෂ මාර්ග අනුගමනය කරන්නට වන්නේය. උදාහරණයක් ලෙස කියතොත් නැංදාගේ ගෙදරට නොදී සුනිල් මාමලෑ ගෙදරට යමක් ගෙනියන්නේ නම් වෙනදාට නැන්දලාගේ ගෙදර මිදුල උඩින් යන පාර අනුගමනය කළ නොහැක. හැතැක්මක් දුර තියා වුවත් බිංදුවා මාව අඳුරා ගන්නා බැවින් උගේ හිතවත්කමිං බේරී සද්ද නොකර යන්නට බැරිය. බිංදුවාගෙන් බේරුනත් නැංදලාගේ මිදුලේ සිට සුනිල් මාමලාගේ මිදුලට ගොඩවෙන්නට අඩි පාර ඇත්තේ තේ යායක් මැදින් නිසා තේ ගස් ඇඟේ වදින සද්දය මාගලක් බිමදිගේ ඇදගෙන යනවා වැනි සද්දයක් ඇසේ. එවිට නැංදා ‘හොරු එනවාදැයි’ බලන්නට බැටලියත් එලිය කරගෙන මිදුලට පනී. එවැනි දවස්වලට චන්දරේ මාමාගේ කුඹුරේ නියරක් දිගේ කරුවලේම ගොස් කුරුඳු ගාලක් මැදිං යන්නට මට සිදුවේ.
මේ ලෙසට මට කරදරයක් නැත්තේ අල්ලපු ගෙදර ඉන්නා *** අයියාගෙන් පමණි. අපේ කුස්සියෙන් විහිදෙන සුගන්ධයෙන් ලිප උඩ අවීචියේ පැහෙන්නාක් මෙන් පැහෙන්නේ මොකක්දැයි කීමේ *** අයියාගේ හැකියාව ෂර්ලොක් හෝම්ස්ගේ දුංකොළ පිළිබඳ දැනුම පරදවයි. හරියටම හොද්ද බාන වෙලාවට සරමත් දෙකට නවාගෙන අතකින් පිඟානකුත් අරගෙන මායිමේ ගල්වැටියෙන් පැන අපේ් කුස්සියට ගොඩවෙන *** අයියා
“නැංදෙ මටත් ඩිංගක් දෙන්නකො”
කියා ඉල්ලන්නේය.
“***පුතේ මං දැං මේ එහෙටත් ගෙනියන්න තමා හැදුවෙ. පුතා කන්න මේ බතුත් තියෙන්නෙ. මං ළමයින්ට ගිනියන්න බෙදා දෙන්නං”
කියා අපේ අම්මා *** අයියාගේ කුස පුරවන්නේය. *** අයියාට තමුන් දෙදරු පියෙක් බව මතක් වන්නේ බඩ පිරුණු පසුය.
මෙලෙස අනෙක් ගෙවල්වලට අපේ ගෙදරින් ගෙනයන දීසි, මැටිකෝප්ප ආදිය එවෙලේම හිස්කර හිස් භාජනය මගේ අතට දීම සිරිත නොවන්නේය. ඒ භාජනය ආපසු අපේ ගෙදරට එන්නේද එවැනිම කෑමක් පුරවාගෙනය. බොහෝවිට සිදුවන්නේ එවැනිම විශේෂ කෑමක් ඒ නිවසේ හැදූ පසුව අපේ ගෙදරටත් ගෙනැවිත් දී හිලව් කරගැනීමය. මේ ලෙසට බෙදහෙදාගෙන කෑම අපේ ගෙවල් මණ්ඩියේ චාරිත්‍රයක් නමුත් එක ගෙදරකට හොරෙන් අනෙක් ගෙදරට ගෙනගොස් දුන් දෙයක් පිළිබඳව පසුව ආරංචි වීමෙන් හොඳ හිත පළුදුවන අවස්ථාද විරල නොවේ.
මේ ආකාරයට තමුංගේ ගෙදරට අවට ගෙවල්වලින් ‘එක එක ජාති’ ගෙනා පිඟන් තමුන්ගේ කුස්සියේ මේසයක් උඩ හිඳ හූල්ලනු දකින අපේ ‘දැතිහුලහ නැංදාට’ “මාත් මොනව හරි හදන්න ඕනෑ” යයි සිතේ. නමුත් උප්පත්තියෙන්ම සෑම දෙයකම වලිගයෙන් අල්ලා ගැනීමේ සහජ හැකියාවක් ඇති නිසා උන්දෑ හිතන්නේ අසල්වැසියෝ තමුන්ට ගෙනැත් දෙන්නේ ගෙදර වැඩියෙන් උයාගන කාගත නොහැකිව ඉතුරුවන දෙයක් බවයි. එනිසා උන්දෑත් එවැනි දෙයක් උයා මේසෙ උඩට වී හූල්ලන පිඟන් හමුදාවගේ අප්පල්ල වැනි බඩවල් පුරවා ආපසු පලවා හැරීමට ඉටා ගත්තී ඒ අදහස ක්‍රියාත්මක කලාය. සෙනසුරාදා පොලේ ලාබෙටම තිබූ ජාතියෙන් කිලෝ එකක්ම ගෙනාවාය.
“පොඩි බඩුවක් ගෙනාවා ඉව්වහං එවන්නංකෝ”
කියා අපේ ගෙදර තිබූ ගැරුං වට්ටියක් තරම් විශාල ඇතිලියක්ද ඉල්ලා ගත්තාය.
“මැණිකා අද මොනවහරි හදනවා. අපිටක් ගේනව කිව්වා. එතකං ඉන්නවකො බත්කන්න”
කියා අම්මා අපේ බත් කෑමද පරක්කු කලාය. නමුත් බඩ පනුවන් බඩවැල් අවහිර කර, ටයර් පුච්චා, උද්ගෝෂණය කරන්නට වූ බැවින් පිඟානක් පුරවා බත් හමුදාවක් යවා එය සාමකාමීව විසුරුවා හරින්නට අපට සිදුවූ අතර, නැංදාගේ ‘පොඩි බඩුවක්’ නැමැති කෑම හෙට ලැබේයැයි හිතා නිංදට වැටුනෙමු. මට නිංද ගිය පසුව, අපේ අම්මා පළවෙනි හීනය දැක බයවුනාටත් පසුව, ඇසුන නැංදාගේ කටහඬින් අපි දොරපොලු අතට ගත්තෙමු. දෙගොඩ හරි ජාමෙට ගෙවල්වලට එන්නේ හොරු බව අපි දනිමු.
“මං මං මේ මං ලොකු අයියෙ… අපි මේ පොඩි බඩ්ඩක් ඉවුවා. මෙහෙටත් ගෙනාව ඩිංගක්”
 හීන තටාකෙට මූන ඔබාගෙන සිටි මම කුප්පියක් පත්තුකරන විට නැංදා අපේ ගෙදරින් නැංදලාගේ ගෙදරට ‘කෑම’ ගෙනගිය මැටිකෝප්පයක් තවත් එවැනිම සංචාරයක යෙදුනු ඉටි භාජනයකිං වසා ගෙනැවිත් අපේ මේසය උඩ තබා තිබුණාය.
“කන්න… කන්න දැංම හීතල වෙයි නැහ්නං. මංඥනව තව කරුනයියලෑ ගෙදෙට්ටයි, චන්දරෙ අයියෑ ගෙදෙට්ටයිත් ගෙනියන්න එපෑ. අැතිලිය හෙට ගෙනැත් දෙන්නං”
කියා නැංදා යන්නට ගියාය. අඩ නින්දේ සිටි අම්මාද, තාත්තාද, මමද ඒ දෙසවත් නොබලා නිදා ගත්තෙමු. නැංදා ගෙනා කෑම මොකක්දැයි බැලුවේ පහුවදාය.
අපේ ගෙදර වේලක් උයා අහවර වන විට ඉඳුල්වතුර කොරහේ ඉතුරුවන ද්‍රාවණය බඳු දෙයක් මැටිකෝප්පය පුරවා තිබුනේය. හැංදක් දමා කාල්ගෑමෙන් පසු එහි තිබී වැටකොලු කෑලිද අසුවූ බැවින් එය නැංදා විසින් සාදන ලද වැටකොළු හොද්දක් බව අපි දැනගත්තෙමු. නැංදා සෙනසුරාදා පොලෙන් වැටකොලු කිලෝ එකක්ම ගෙනා බව පසුව අපි දැනගත්තෙමු. නැංදාගේ වැටකොලු හොද්ද අපි එකහෙලාම වර්ජනය කළ නමුත්
“කවුරුවක් ගෙනත් දුන්නහං පොඩ්ඩක් හරි කන්න ඕනි. නැත්තං හරිනෑ. ගෙනා කෙනාගෙ හිත සවුත්තු වේනන පුලුවං”
කියා සිය උදෑසන ආහාරයට නැංදාගේ වැටකොලු හොද්ද එකතුකර ගැනීමට අපේ අම්මා ක්‍රියාකලාය. එදා හවසට අම්මාට කිරිමරාජ පැකැට්ටෙකක් ගෙනත් දීමට අවශ්‍ය විය හැකි බව තාත්තාගේ නිගමනය විය.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල