අතීතකාමය

දෙමළා සමග ලයිව් ෂෝ

Off

 

ඉරිදා පොල පැත්තේ සිට අටේ කනුවට යන පාරේ වම් පැත්තේ ‘8’ ලකුණු කල ලොකු සිමෙන්ති කණුවක් තිබේ. මේ කණුව ඉන්ග්‍රීසි වී හැඩයේ නිසා කනුව පිටුපස්සේ විවරයක් තිබේ. ඒ විවරයේ සත පහේ දහයේ කාසි හංගන පිස්සු හැදුණු මනුස්සයෙක් සිටියේය. ඒ සල්ලි හැංගීම දැනන් සිටි තව පොඩි කොල්ලෙක්ද සිටියේය. පිස්සා කාසි දහයක් හංගන විට කොල්ලා කාසි දෙක තුනක් සොරකම් කලේය. අදද ඒ හැන්ගිල්ලත් හොරකමත් දන්නේ ඒ පිස්සා හැරුණු කොට ඒ කොල්ලා පමණි. ඒ කොල්ලා රස්තියාදුවේ යන්නේ ඔය කනුව පසු කරමිනි.

මා දැන් යන්නේ විජෙරාමේ ‘බටර් කෑ ගෙදර’ පිටුපස්සේ අපේ අම්මාගේ ඥාතියාගේ ගෙදරය. ඒ ගෙදරට යන මග, උඩ බිම බලන, ගස් වැල්වල මොනවාහරි දෙයක් හොයන මට සෙරෙප්පු දෙකක් නැත. ඒ නිසා මහපොලොව හොදට දැනෙයි. මේ ගෙදර අපේ ඥාතියා වූ මහා ආඩම්බරකාර අධ්‍යාපන දෙපාර්තමේතුවේ ලොකු පුටුවක් දැරූ නැන්දා කෙනෙක්ද, ඒ නැන්දා ලගින්වත් තියන්නට බැරි ඉතා හොද ගති තිබූ අහින්සක මාමා කෙනෙක්ද මට මතකය. අප ඒ නැන්දාට බය බවක් ‘පෙන්වූයෙමු’. නැති තැන ඇගේ පලු- දෙපලු කලේ අප පමණක්ම නොවේ. ඇය අපේ නෑදෑයා නොව මාමා අපේ නෑදෑයා විය. මේ නැන්දා මාමා දෙදෙනාම රාජකාරි නිසා වෙන පලාත්වල රාජකාරී කල කාලයේ මගේ රස්තියාදුවේ එක නවාතැනක් වූයේ එහිය. මේ ගෙදර එකල වැඩට ගත් පොඩි කොල්ලෙකු සිටියේය. ඒ කොල්ලා ඇත්තටම පොඩිය. ඔහුව ‘ගෙනාවේ’ බදුල්ල බණ්ඩාරවෙල පැත්තෙන් වගේය කියා මට මතකය. කෙසේ හෝ ගෙදර පොඩි පොඩි වැඩ කල මේ කොල්ලා මගේ ගජයෙක් බවට ලෙහෙසියෙන් පත්වූයේය. අප දෙන්නා ඒ වත්තේ හා අවට ගස්ගල් වල නැග සෙල්ලම් කලෙමු. ඔහු වචන උච්චාරණය කල දෙමල හුරුව මට ආස්වාදජනක විය. කෙන්ති ගිය විට හෝ මම අමන වැඩක් කල විට ‘ උම්ම්බ උකාපිය උත්තා’ හෝ ‘තෙමුසෙ කෙත්ත කෙරි වෙඩ’ කරන්නේ යැයි මට කෑ ගසා කීම මා තවත් එවැනිම ”කෙත්ත’ වැඩකට උනන්දු කරලිය. ඔහුගේ මිත්‍රකම මට ප්‍රියජනක වීමට මේ දෙමලාගේ මනුස්ස ගතිද බලපෑවේය. ඔහු හැමදාම මා එනවෙලාවට ඔහුට ලැබුනු කුමක් හෝ රස කෑමක් මා හට ඉතුරු කරගෙන තබාගත්තේය. මා ආ විටම ‘යෙං යෙං’ කියා මාත් එක්කාගෙන ඒ ගෙදර කුස්සිය පැත්තේ උසට හදා තිබූ වතුර ටැංකිය උඩට නැංගේය. ටැංකිය උඩ සිට කකුල් පහලට දා පද්ද පද්දා අප දෙන්නා මේ ඔහුගේ කොටස බෙදාගෙන කෑවෙමු. එතැන සිට අනුන්ගේ ඕපාදූප සෙවූවෙමු.

මේ ඉඩමට අල්ලපු වත්තේ මසුරුසිටානාගේ රන්තැඹිළි ගහේ ගෙඩි කැඩුවෙමු. නැන්දාත් මාමාත් ඒ පවුලේ අක්කාත් මල්ලීත් බන්ඩාරවෙල පැත්තේම සිටි නිසා මේ ගෙදර අයිතිකාරයා වූ නැන්දාගේ පුතෙක් අපට වඩා වැඩිමහල් අය්යලා ‘සෙට්’ එකක්ම මෙහි නවත්තාගෙන සිටියා මට මතකය. ඒ නිසා මේ ගෙදර නැන්දා මාමා නැතිවන වෙලාවට කොල්ලන්ගේ රජදහනක් විය. අපේ ලොකු අය්යා එහි නිත්‍ය සාමාජිකයෙකු විය. කුමන කාරණයක් නිසාදැයි මා නොදන්නා මුත් ගෙදරට වඩා වැඩි කාලයක් එහෙමත් නැත්නම් තනිකරම වාගේ අය්යාගේ නවාතැන වූයේ මෙහිය.මේ ගෙදර නිදහස මටත් ලොකු ධෛර්යයක් විය. බයිසිකල් රිම් පැදීම, ටයර් පැදීම මාගේ උපන් ගෙයි දක්ෂකමක් විය. ලොකු කාර් ටයරය අස්සට දෙපැත්තෙන් දැමූ ඇල්බීසීයා පොලු දෙකෙන් ගල් බොර්ළු අඩිපාරවල් වතුර පාරවල් අස්සෙන් මා පැදයනවිට ‘මගේ දෙමලාද’ මා පස්සෙන් දිව ආවේ උඩ පනිමින් සන්තෝසයෙනි. ඒ කොල්ලා අපේ අය්යලාගේ නිරන්තර වද බන්ධනයට ලක්විය. එහෙත් ඒ වධබන්දන ඔහු ප්‍රීතියෙන් බුක්ති වින්දේය. මට මතක ඇති ඡායාරූපයක මේ කොල්ලා කකුල් දෙකෙන් අල්ලා ඔලුවෙන් හිටවා ගත් කෙනෙකු වෙයි. ඒ ජායාරූපය කොහේදැයි හොයන්නට ඕනෑය.

එක කලෙක මේ කොල්ලා අතුරුදහන් විය. එදා දෙමලා නොව අපේ එකා යැයි අඩමින් අය්යලා හැමෝම වාගේ මේ කොල්ලාව රට පුරා සෙවූ බව මට මතකය. පසුව කොහේදෝ සිට ඔහු හම්බ වී යලි මෙහි ගෙනායේය. දැන් කොහේ ඉන්නවාදැයි මම නොදනිමි. එහෙත් මේ දෙමලා මගේ හිතේ කොනක තවමත් ජීවත් වෙයි. ඔහුට මාමා විසින් බැංකු ගිණුමක ආරම්බ කොට මුදල් දැම්මාද මට මතකය. කවදාහරි ලොකු වී ගෙයක් හදා ගත් විට මාද රැගෙන ගොස් සතුටෙන් ඉන්නා බව ඔහු මට පොරොන්දු වී තිබුනේය. ගෙයක් හදාගැනීම ඔහුගේ එකම පැතුම විය. ඔහු පරෙස්සම් කල කුඩා දේපල අතර මේ බැංකු පොතද විය. එය දැනුදු මට චිත්‍රයක් මෙන් මැවී පෙනෙයි. තැපැල් කාරයාලයේ එකතු කරන ලද මුදල් සටහන් කල පොතක්ද තිබුනා මට මතකය. එහි පිටු ඔහුගේ ඇගිලි වලට දියවී ගොස් තිබුනේ උදේ හවස ඒ පොතේ පිටු අතගෑමෙන් වෙන්නට ඇත. ඔහු දැන් ලොකු ගෙයක් හදා ආදරණීය බිරිදකදු ලැබ ලමයින් දෙතුන්දෙනෙකුගේ පියෙක් වී ඇති බවට මට ස්තිරය. එහෙම වෙන්නට ඕනෑය. නැත්නම් දෙවියන් හැටහුටාමාරක් ඉන්නා එකෙන් වැඩක් නැත.
මේ ගෙදර තවත් මතක තිබේ ඒ මතක ඒ කාලේ ගුටි කන ජාතියේ ඒවා වුනද අද මතක් වන විට හිනා යයි. එවන් මතකයක් නිසා දෙමලාද මාද කන් රතුවෙන්නට කනේ පාර කෑවෙමු. ඊට හේතු වූයේ මේ ගෙදර අය්යා උදේ එක්කාගෙන එන අක්කා කෙනෙකි. මේ අක්කා කලුය. එකල අවුරුදු විස්සක් විතර වෙන්නට ඇත. අය්යා උදෙන්ම ජැණ්ඩියට ඇදගෙන එලියට ගොස් ගොස් ආවේ තනිවමය. ඉන්පස්සේ කලබලයෙන් ඔහුගේ කාමරයේ දොර ජනෙල් වැසුවේය. ඒ එන ගමන් බනිස් කෙහෙල්ගෙඩි පාරසලයක්ද ගෙනවිත් ඒකත් අර කාමරේ තිබ්බේය. ලොකු වතුර ජෝග්ගුවක් මගේ මිත්‍රයාට කියා ගෙන්නා ගත්තේය. ඊට ටික වෙලවකට පසු අර අක්කා එන්නේය. අක්කා එන්නේ කෙලින්ම මේ කාමරේ දොර කලින් දන්නා වගේය. ඉන්පස්සේ දොර වැහෙයි. කලු වුනත් මේ අක්කා ලස්සනය. ඉතින් දොර වැහුනාට පසු දෙමලා මහත්තයා දුන්නා කියා කීයක් හෝ අරන් එන්නේය. එය ඉතා කුඩා මුදලකි. ඒ ගානට බුල්ටොවක් වැනි යමක් මිස වෙන දෙයක් ගන්නට බැරිය. කෙසේ හෝ මට නං මේ දොර වැහිල්ල ඇල්ලුවේ නැත.

මගේ උත්සාහය අර වසාගත් කාමරේ වෙන්නේ මොනවාදැයි බලන්නටය.. මගේ අදහස කොල්ලාට කීමී. ඔහු ඔලුවේ අත ගසා ගත්තේය. ‘ මාත්තියා මා මරයි’ කීවේය. එහෙත් මට ඉවසිල්ලක් නැත. අන්තිමේ ‘ යෙං ඒනං’ කියා කොල්ලා ඉස්සර විය. වතුර ටැංකියෙන් වහලෙටද, වහල දිගේ ඒ කාමරේ අන්තිම අයිනටද ගිය කොල්ලා බිම දිගා වී මටද ඒසේ කරන ලෙස කීයේය. මමද වහලයේ මුනින් දිගා වී එකල ගෙවල් වල තිබූ වා කවුලු පෙලෙන් අය්යා අක්කාට කෙසෙල් කවන හැටි නැරඹුවෙමි. ටික වෙලාවකින් මේ ‘ෂෝ’ එක ටිකක් දරුණු වේගෙන එන විට මට බයක් ඇතිවිය. මම කොල්ලාට යං යං කීමී. කොල්ලාට කිසි ගානක් නැත. මේ යකා මීට කලිනුත් මේ ෂෝ එක බලා ඇති බව ෂුවර්ය. අපි පල්ලං බැස්සෙමු. වලෙන් බැස ටැංකියෙන් බහින්න ඉස්පාසුවක් ලැබුනේ නැත. ‘පටාස්’ ගා කන හරහා ලොකු අතක් ඇදී ගියේය. අපි බලන එක ඒ ගෙදර නවාතැන් ගෙන සිටි තව අය්යා කෙනෙකුද බලන් ඉදලාය. මම පසු නොබලා ගෙදර දීවෙමි. කොල්ලාද හොදට ගුටි කෑ බව මට පසුව දැනගන්නට ලැබිණි.

මේ සිද්ධිය මට කෙමෙන් අමතක විය. එහෙත් ඉන් අවුරුදු දෙකකට විතර පසු ඒ අක්කා අපේ ගෙදර ආවාය. ඒ එක්ක අවුරුද්දක් විතර පොඩි ලස්සන කොලු පැටියෙක්ද එක්කාගෙන ආවාය. මේ කොලු පැටියාගේ තාත්තා ඔවුන් නොසලකා හැර ඇති බවත් හැකිනම් ඒ සදහා සාධාරනය ඉටුකරදෙන ලෙසත් ඈ අපේ අම්මාගෙන් ඉල්ලා සිටියාය.. අපේ අම්මා මේ අයියාගේ අම්මාට වඩා ඔහුට ලෙන්ගතු බව ඈ දැන සිටින්නට ඇත. කෙසේ හෝ බොහෝ වෙලාවක් අපේ ගෙදර කාලය ගත කල ඒ අක්කා යන්නට ගියාය. ඒ යනගමන් ඒ අය්යාගේම මුහුණ ඇති අවුරුද්දක් විතර වයස නොදරුවා සිය මවගේ උරහිසේ නිදා සිටි අපූරුව අදද මට මතකය.

අයිතිය සහ අන්තර්ගතයේ වගකීම බ්ලොග් අඩවිය සතුය , උපුටාගත්තේ මෙතැනින්

https://matahithenahatiblogger.blogspot.com/2016/11/blog-post_10.html

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල