දේශපාලන

බර්නි සෑන්ඩර්ස් නොමැති තරගය සහ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජය

1

කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපතිධූරයට පත් වී තිබේ. සිය ප්‍රතිවාදිනිය වූ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන් පරාජය කරමින් ඔහු ජයග්‍රහණය ලැබුවේ රිපබ්ලිකන් පක්ෂයේ බලවතුන් ද ඇතුලු සංස්ථාපිතයේ සියලු පාර්ශව හිලරි ක්ලින්ටන්ගේ අපේක්ෂකත්වය ඔසවා තැබූ සන්දර්භයක් තුලය. උග්‍ර සුදු ස්වෝත්තමවාදියෙක්, ජාතිවාදියෙක් හා දක්ෂිණාංශිකයෙක් වන ට්‍රම්ප් මෙලෙස එක්සත් ජනපදයේ බලයට පැමිණීම ඇමරිකාවට පමණක් නොව ලෝකයටම දිගු දුර යන බලපෑම් ඇති කිරීමට නියමිත සංසිද්ධියකි.


ප්‍රධාන පෙලේ මාධ්‍ය හා දේශපාලන විචාරකයින් හිලරි ක්ලින්ටන් ජය ලබන බවට කැට තබා කියූ මොහොතක ට්‍රම්ප් වැන්නෙක් ජයගත්තේ කෙසේද? ඇමරිකාවේ ජීවත් වන හිස්පැනික සම්භවයක් සහිත ජනයා හෙලා දකින, මෙක්සිකානුවන්ට ඇමරිකාවට ඇතුලු වීමට ඉඩ නොදෙන ලෙස තාප්පයක් ගසන බව කියන, මුස්ලිම්වරුන්ට රටට ඇතුලු වීම තහනම් කරන බවට පාරම් බාන, ස්ත්‍රීන්ට අපහාස වන ලෙස ප්‍රසිද්ධියේ අශ්ලීල දෑ කියන ට්‍රම්ප් වැනි ‘උන්මන්තකයෙක්‘ ලොව පලමු ලිඛිත ප්‍රජාතාන්ත්‍රවාදී ව්‍යවස්ථාව සම්මත කරගත් රට වන එක්සත් ජනපදයේ ජනාධිපතිධූරයට පත් වූයේ කෙසේද? බොහෝ දෙනෙක්ට විසදා ගැනීමට අපහසු වී තිබෙන ප්‍රශ්නය මෙයයි. මෙය ඇමරිකානුවන්ගේ ස්වාභාවික ‘මෝඩකමේ’ ප්‍රතිඵලයක්ද? ඇමරිකානුවන් ප්‍රජාතාන්ත්‍රීය සාක්ෂරතාවය අතින් දුර්වල නිසාද මෙවැන්නක් සිදු වූයේ? මෙම ප්‍රශ්නයට පිලිතුරු සොයාගැනීමට නම් සිතුවිලි වල ක්ෂේත්‍රෙයන් පොලොවට බැසීමට සිදුවනු ඇත. ප්‍රශ්නයට උත්තරය සෙවිය යුත්තේ ඇමරිකානුවන්ගේ ඔලු ගෙඩිවල සිතුවිලි තුල නොව ඇමරිකානු සමාජය භෞතිකව පසුගිය කාලය තුල මුහුණ දුන් යථාර්තයන් තුල එම සමාජයේ ජන විඥානය චලනය වී තිබෙන ආකාරය වටහා ගැනීම තුලිනි.

 

මීට මාස කිහිපයකට පෙර එනම් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කල මුල් කාලයේ තත්වය කෙසේ වීද? එවකට පක්ෂවල අපේක්ෂකයින් නම් කොට නොතිබූ අතර ප්‍රධාන පක්ෂ දෙකේම අපේක්ෂකත්වය ලබන්නේ කවුදැයි තීන්දු කිරීම උදෙසා පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීම් පැවැත්වෙමින් තිබුණි. ට්‍රම්ප් යනු සාම්ප්‍රදායික දේශපාලනඥයෙක් නොවේ. හෙතෙම ව්‍යාපාරිකයෙකි. රියැලිටි ටෙලිවිෂන්කාරයෙකි. ගුණදාස අමරසේකරගේ වචනයෙන් කියන්නේ නම් වසල වෙලද කුලයට අයත් ධනවතෙකි. ඔහුට රිපබ්ලිකන් පක්ෂය තුල පවා ප්‍රබල පදනමක් නොවීය. මෙලෙස කොහේදේ සිට පැමිණි ට්‍රම්ප් සිය වර්ගවාදී වාචාල කථා හරහා එක්වරෙම රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක තරගයේ ඉදිරියට ආයේය. ඒ ‘වැදගත්’ දේශපාලනඥයන් ලෙස ප්‍රධාන පෙලේ මාධ්‍ය විසින් පින්තාරු කල ටෙඩ් කෘස් හා මාර්කෝ රූබියෝ ආදීන් පසෙකට තල්ලු කර දමිමිනි.

 

රිපබ්ලිකන් අන්තයේ තතු එසේ වනවිට අනෙක් අතට ඩිමොක්‍රටික් පක්ෂයේ ද මීට සමාන්තර දෙයක් සිදු වෙමින් පැවතිණ. එහෙත් ඒ සම්පූර්ණයෙන්ම අනිත් දිශාවටය. එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සටන පටන් ගන්නා විට බැලූ බැල්මට එය හිලරි ක්ලින්ටන් රජයන ‘තනි අශ්වයෙක්ගේ සටනක්’ ලෙසය දිස් වූයේ. එහෙත් ඒ වනවිට කිසිවෙක් එතරම් නොදැන සිටි වර්මන්ට් නම් කුඩා ප්‍රාන්තය නියෝජනය කල සෙනෙට් සභිකයෙක් වූ වයෝවෘද්ධ බර්නි සෑන්ඩර්ස් සියල්ල කන පිට හැරවීය. තමා සමාජවාදියෙක් බව ප්‍රසිද්ධියේ කියූ සෑන්ඩර්ස් අපේක්ෂකවරණ තරගය තුල හිලරි ක්ලින්ටන්ට කරට කර තරගයක් දුන්නේ ප්‍රධාන පෙලේ දේශපාලන විචාරකයින් හා අනාවැකි පල කරන්නන් අර්බුදයට යවමිනි. පක්ෂ දෙකේම සිදු වූයේ සමාන දෙයකි. එනම් සංස්ථාපිත ප්‍රධාන දහරාවට අයත් නොවූ ‘අමුත්තන්’ දෙදෙනෙක් විසින් තරගයේ රීති කනපිට හැරවීමයි. ට්‍රම්ප් මෙන්ම සෑන්ඩර්ස් ද සංස්ථාපිතයට ‘අයත් නොවූ’ අපේක්ෂකයෝ වූහ. එකෙක් ඇමරිකාවේ අර්බුදයට හේතුව සංක්‍රමණිකයින්, මුස්ලිම්වරුන් හා හිස්පැනිකයින් යැයි කියමින් ඔවුන් එලවා දැමීම සදහා අන්ත දක්ෂිණාංශික ක්‍රියාමාර්ගයක් ඇමරිකාවට යෝජනා කලේය. අනෙකා ඇමරිකානු අර්බුදයට හේතුව අපාලිත නිදහස් වෙලදපොල ප්‍රතිපත්ති යැයි කියමින් විකල්ප වාම සමාජ ප්‍රජාතාන්ත්‍රිය වැඩපිලිවෙලක් ඉදිරියට දැම්මේය. මේ දෙපොලටම සහය දැක්වූ බහුතරය සමාජයේ පහල පාන්තික ජනකොටස්වලින් සංයුක්ත විය. අන්ත දක්ෂිණාංශයට වාගේම වාමාංශයටත් ආකර්ෂණය වූයේ වැඩ කරන පහල පාන්තික ජනකොටස්වල ඡන්දය.

 

කෙසේ වූවද අවසානයේ රිපබ්ලිකන් ඡන්දයෙන් ට්‍රම්ප් ජය ලැබීය. ඩිමොක්‍රටික් අපේක්ෂකවරණයෙන් කරට කර තරගයකින් පසු සෑන්ඩර්ස් පරාජයට පත්වූයේය.

 

සංස්ථාපිතයේ අපේක්ෂකයින් හා කරට කර එන මට්ටමට මෙම පිටස්තරයින් දෙපොල ජනප්‍රිය වූයේ ඇමරිකානු සමාජය මේ වනවිට භෞතිකව මුහුණ දී සිටින අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙනි. 2008 ට පසු ලෝකය තවදුරටත් 2008 ට පෙර ලෝකය නොවේ. 2008 මතු වූ ගෝලීය මූල්‍ය අර්බුදය බටහිර සංවර්ධිත ධනවාදී රටවල් තුල දිගු දුර යන වෙනස්කම් සලකුණු කොට ඇත. මූල්‍ය ප්‍රාග්ධනයට අසීමාන්තික ලෙස නිදහස දීම හා ඒ ප්‍රමාණයට රාජ්‍යය හකුලා දැමීම සදහා ක්‍රියාත්මක වූ නව ලිබරල් ආර්ථික පිලිවෙත් විසින් 2008 දී සංවර්ධිත බටහිර තුල බරපතල ආර්ථික කඩා වැටීමක් නිර්මාණය කලේය. මෙම අර්බුදයත් සමග නව ලිබරල් නිදහස් වෙලදපොල ප්‍රතිපත්ති විසින් ඇතිකොට තිබෙන සමාජ අසමානතාවය පිලිබද සංවාදය බටහිර සංවර්ධිත රටවල ඉස්මත්තට පැමිණියේය. මූල්‍ය අර්බුදයේ මිල ගෙවීමට සිදු වූයේ සමාජයේ පහල පාන්තික ජනකොටස්වලටය. තමුන් මධ්‍යම පංතික යැයි සිතා සිටි සමාජ ස්ථරවලට අර්බුදය සමග ඒත්තු යන්නට වූයේ ස්වකීය පුද්ගලවාදී මධ්‍යම පංතික සිහිනය ඇස් ඉදිරිපිට කඩා හැලෙන ආකාරයයි. බංකොලොත් වන සමාගම් බේරා ගැනීම සදහා මහජන මුදල් යෙදැවිණ. නව ලිබරල් ගෝලීයකරණය සමග ඇමරිකානු කර්මාන්ත ලාභ ශ්‍රමය හා ව්‍යාපාරික වාතාවරණයන් සොයා තුන්වන ලෝකයට යොමු වූ අතර කාර්මිකහරණයේ ප්‍රතිඵලයක් ලෙස විශාල පිරිසක් සේවා මුක්ත වූහ. අලුත් ප්‍රසාරණය වූ සේවා අංශයේ රැකියාවල සේවා සුරක්ෂිතතාවය නොවීය. අවිනිශ්චිතභාවය පහල පාන්තික ජනයාට කරන්නට සිදුවන රැකියාවල නිත්‍ය ලක්ෂණය බවට පත්විය. සමාජ සේවා මත ආයෝජනය කරනු වෙනුවට ආණ්ඩු පිරටවල් මත බෝම්බ දැමීම සදහා විශාල වශයෙන් මුදල් වැය කලේය. නිදහස් අධ්‍යාපනය හෝ නිදහස් සෞඛ්‍ය පිලිවෙත් ඇමරිකාවේ ක්‍රියාත්මක කරන්නට නොහැකි යැයි කියූ ආණ්ඩු ඇෆ්ගනිස්ථානයේ දුර්ගවල ගම්මාන මත බෝම්බ අත් හැරීම සදහා ඩොලර් කෝටි ගණන් යට කලේය. මේ සියල්ල සිදුවූයේ ‘සියයට එකක්’ ලෙස ජනප්‍රියවාදී ලෙස නාමකරණය කරනු ලැබූ නිදහස් වෙලද පිලිවෙත්වල ප්‍රතිලාභ ලබන ධනවතුන් සුලුතරයක් අතිමහත් සමෘද්ධියක් තමා අත ඒකරාශී කරගන්නා සන්දර්භය තුලය.

 

ට්‍රම්ප් විසින් වර්ගවාදී ලෙස ආමන්ත්‍රණය කරනු ලැබුවේ ධ්‍රැවීකරණය වූ ඇමරිකානු සමාජය තුල මෝදු වෙමින් තිබූ සමාජ අතෘප්තියටය. ක්ලින්ටන් සෑම අතින්ම ඇමරිකාව වත්මන් ව්‍යසනයට ඇද දැමීමට දායක වූ සංස්ථාපිතයේ නියෝජිතවරියක වූවාය. සංවර්ධිත බටහිර මේ මොහොතේ මුහුණ දී සිටින අර්බුදයේ ප්‍රතිඵල ලෙස අන්ත දක්ෂිණාංශික ට්‍රම්ප්වරු යුරෝ-ඇමරිකානු කලාපය තුල පැටවු ගසමින් සිටිති. එක් අතෙකින් සංක්‍රමණ විරෝධී නව ෆැසිස්ට්වාදිනියක වන මරි ල පෙන් ලග එන ප්‍රංශ ජනාධිපතිවරණය ජය ගැනීමට ඉහල ඉඩක් තිබෙන බවට අනාවැකි පලවෙමින් තිබේ. නිදහස, සමානත්මතාවය හා සහෝදරත්වය වෙනුවෙන් විප්ලව ඇති වූ ප්‍රංශ සමාජය තුල මරී ල පෙන් වැනි හඩු වර්ගවාදිනියක ජනාධිපතිධූරයට පත්වීම ආර්ථික කඩා වැටීම විසින් ඇතිකල සමාජ අතෘප්තිය එම සමාජයන් මොන තරම් දුරට ප්‍රතිගාමී අන්තයකට ගෙන යමින් තිබේද යන්න පිලිබද කදිම රූපකයක් වන්නේය. ඇමරිකානු සමාජය තුල වර්ධනය වූ එබදුම වූ අතෘප්තියට කිසිදු විසදුමක් ක්ලින්ටන් සතුව නොවී. හැක් කරනු ලැබ ප්‍රසිද්ධියට පත් වූ ඇයගේ පුද්ගලික ඊමේල් වලින් ඇය නඩත්තු කිරීමට උත්සාහ කල ‘පිරිසිදු’ ප්‍රතිරූපයට හානි පැනවිණ. සංස්ථාපිතය නියෝජනය කරන කිසිදු වෙනස් ප්‍රතිපත්තියක් ඉදිරිපත් නොකරන නිෂ්ක්‍රීය ලිබරල් ක්ලින්ටන් වෙනුවට පෙරලිකාරී ස්වෝත්තමවාදියෙක් වූ ට්‍රම්ප් ‘විසදුමක්’ ලෙස ප්‍රධාන වශයෙන් ඇමරිකාවේ පහල හා මධ්‍යම පාංතික සුදු ජනයාට පෙනී යන්නේ එම සන්දර්භය තුලය. ක්ලින්ටන්ට පක්ෂව හා ට්‍රම්ප්ට විරුද්ධව ප්‍රධාන පෙලේ මාධ්‍ය අති විශාල ප්‍රචාරයක් දියත් කොට තිබූ පසුබිමක වුව ක්ලින්ටන් පරාජය කොට ට්‍රම්ප් බලය ගන්නේ සමාජ අතෘප්තිය හෙතෙම දක්ෂ ලෙස වර්ගවාදීව ආමන්ත්‍රණය කල බැවිනි.

 

යම් හෙයකින් ක්ලින්ටන් වෙනුවට සෑන්ඩර්ස් ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා ලෙස ඉදිරිපත් වී නම් තත්වය කුමක් වන්නට ඉඩ තිබුණිද? මෙය උපන්‍යාසාත්මක ප්‍රශ්නයකි. මෙම උපකල්පනයේ පලමුවන ගැටලුව නම් සංස්ථාපිතයට අයත් පක්ෂයක් වන ඩිමොක්‍රටික් පක්ෂය කවර තත්වයක් යටතේ හෝ සෑන්ඩර්ස් වැන්නෙක්ව සිය අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරනු ඇද්ද යන්නයි. එසේ ඉදිරිපත් කරන ලදී යැයි උපකල්පනය කලහොත් උත්තරය කුමක් වනු ඇද්ද? තරගය ට්‍රම්ප් හා සෑන්ඩර්ස් අතර වී නම් කවුරු ජය ගනීද යන්න ගැන අනාවැකි කීම අපහසු වුව ජනාධිපතිවරණ සටනේ ස්වභාවය නම් එබදු තත්වයක් තුල සහමුලින්ම වෙනස් ආකාරයක් ගන්නට ඉඩ තිබුණි යන්න නම් පැහැදිලිව කිව හැක. නව ලිබරල් ප්‍රතිපත්තිවල අසාර්ථකත්වය මුස්ලිම්වරුන් හා හිස්පැනිකයින් මතින් යැවීමට උත්සාහ කරන ට්‍රම්ප් හා නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවාව, ශක්තිමත් කම්කරු නීති හා නවීන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සුබසාධන රාජ්‍යයක් ඇමරිකාව තුල ඇති කිරීම යන ප්‍රතිපත්ති උඩ තරග කරන සෑන්ඩර්ස් අතර තරගය අසහනයට පත්ව සිටින ජනයාට ඉදිරිපත් වන විකල්ප ඉදිරි දර්ශන දෙකක් අතර තරගයක් වීමට ඉඩ තිබිණ. එවැනි ඉදිරි දර්ශන දෙකක් අතර සටනක් වෙනුවට ක්ලින්ටන් හා ට්‍රම්ප් අතර අපට දැකගන්නට ලැබුණේ එකිනෙකාට කරන මඩ ගසා ගැනීම් හා පුද්ගලික ප්‍රහාරයන්ගෙන් යුක්ත අවර ගණයේ සැණකෙලියකි. එම මඩ ජංජාලය ක්ලින්ටන් හා සෑන්ඩර්ස් අතර තිබූ ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකරවණ සටන සමග සසදා බලන විට මෙම වෙනස පැහැදිලිව පෙනේ. එම සටන තුල සෑන්ඩර්ස්ගේ මැදිහත්වීම නිසා විවාදය ප්‍රතිපත්තිමය කරුණු වටා භ්‍රමණය වූයේය. සමාජ සුබසාධන සේවා පිලිබද තේමාව එම විවාදවල ප්‍රමුඛ සටන් පාඨයක් ලෙස ඉස්මතු වූයේය. තරගයෙන් වාමාංශය ඉවත්ව ක්ලින්ටන් හා ට්‍රම්ප් ඉතිරි වූ විට සිදුවූ දෙය නම් ට්‍රම්ප්ගේ භාර්යාවගේ නිර්වස්ත්‍ර පින්තූර හා ක්ලින්ටන් නිවුමෝනියාව නිසා ආබාධයට ලක්වීම ආදී අවර ගණයේ කරුණු උලුප්පනු ලැබූ විගඩමක් බවට ජනාධිපතිවරණය පත්වීමය. මේ වූ කලී වර්ෂ දෙසිය පනහකට පෙර තෝමස් ජෙෆර්සන් ලියූ ‘නිදහස් ප්‍රකාශනය’ තුලින් උපත ලද, විශිෂ්ට ප්‍රජාතාන්ත්‍රීය සම්ප්‍රදායන් සමුදායකින් වර්ණවත් ඉතිහාසයක් සහිත එක්සත් ජනපදයේ වත්මන් දේශපාලනයේ ස්වභාවයයි!

 

මෙම වෙබ් අඩවිය ආරම්භ කල අවධියේ සිට අප විසින් අවධාරණය කල තිසීසය නැවත ලියමින් මෙම සටහන අප අවසන් කරමු. පශ්චාත් 2008 ලෝකය යනු නව ලිබරල්වාදය අර්බුදයට ලක්වූ ලෝකයයි. බරපතල ආර්ථික අර්බුද විසින් සමාජයේ පවත්නා සමතුලිතය බිද දමනු ලබයි. සමතුලිත තත්වය තුල ‘සාමාන්‍ය’ දේවල් වූ දෑ සමතුලිතය බිද වැටුණු කල්හි යල් පිනූ දේ බවට පත් වේ. නව තත්වයන් විසින් නව දේවල් විසදුම් ලෙස ඉල්ලා සිටී. සමාජයේ පහල පාන්තික ජනකොටස් තුල බුර බුරා නගින අතෘප්තිය ප්‍රගතිශීලී වාම අක්ෂයක් තුල සංවිධානය නොවන්නේ නම් එය වර්ගවාදය, උග්‍ර ස්වෝත්තමවාදය හා පෙරලිකාරී ජාතිවාදය තුල ස්වකීය ප්‍රකාශනය ලබා ගනු ඇත. සෑන්ඩර්ස් සමීකරණයෙන් ඉවත් වූ විට හා සමීකරණයේ එකම විචල්‍යයන් දෙක ක්ලින්ටන් හා ට්‍රම්ප් බවට පත් වූ විට සිදුවූ දෙය එයයි. ප්‍රංශයේ මේ මොහොතේ සිදුවෙමින් තිබෙන්නේ එයයි. බ්‍රිතාන්‍යෙය් දක්ෂිනාංශික ‘එක්සත් රාජධානියේ ස්වාධීන පක්ෂය’ හා වාම හැරවුමක් ගෙන තිබෙන ලේබර් පක්ෂය අතර පහල පාන්තික ඡන්ද සදහා ඇති වී තිබෙන බල පොරය තුලින් මූර්තිමත් වන්නේද එයයි. ලංකාව ද මේ මොහොතේ අර්බුදයක් තුලට ඇතුලු වී තිබේ. පශ්චාත් යුදකාලීන තාවකාලික ආර්ථික බුබුල පුපුරා ගොස් ඇත. ඉතිහාසයේ බරපතලම කප්පාදු යෝජනාවලින් යුක්ත, සමාජයේ පහල පාන්තික ජනයාට පටි තද කරගැනීමට බල කෙරෙන අය වැයක් තව නොබෝ දිනකින් සභාගත වීමට නියමිතය.

 

‘දෙමලාට රට පාවා දීමට එරෙහි සටන’ සමග ‘වැට් බදු විරෝධී සටන’ මුහු කිරීමට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් අදිමින් සිටින්නේ මහජන ප්‍රතික්‍රියාව නොතකා නව ලිබරල් පිලිවෙත් මූලධර්මවාදී ලෙස ක්‍රියාවට දමන්නට රනිල් වික්‍රමසිංහගේ ලිබරල්වාදී ආණ්ඩුව කැස කවන පසුබිමක් තුලය . ප්‍රශ්නය නම් ලංකාවේ සමකාලීන දේශපාලන බල සමීකරණය තුල සෑන්ඩර්ස් විසින් නියෝජිත විචල්‍යය බලපෑම් කිරීමේ හැකියාව අතින් අතිශය දුර්වල විචල්‍යයකි. අප අද මුහුණ දෙන අර්බුදයේ දැවෙන තතු එබදුය.

රමිදු පෙරේරා විසිනි

සියලු අදහස් හා හිමිකම් බ්ලොග්කරු සතුය.

http://akshaya.lk/index.php/component/k2/item/260-2016-11-09-12-44-52.html

Related Posts

1 Comment

  1. NAK November 16, 2016 at 3:27 am - 

    Europe\’s economy was ruined by the ugly US policy towards Russia. France would never have had to look up to people like Marie La pen if not for the short sighted US policy that was forced down the throat of Europe.

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල