දේශපාලන

හැත්තෑවේ දශකයේ නූගතුන් බ්ලොග් ලියනවාද

Off

අය වැය ගැන සමාජයේ විවිධ මත පලවෙමින් තිබේ. එවායින් ඒ මත පල කරන අයගේ සමාජීය සහ දේශපාලන දැනුම ප්‍රදර්ශණය කරමින් පවතී. පසුගිය අවුරුදු දෙකේ මා සිතූ දෙයක්නම් සාමාන්‍ය මහජනතාවගේ දැනීමට එහා දැනීමක් එමෙන්ම වැටහීමක් ඇති අය බ්ලොග් ලෝකයේ සැරිසරන බවකි.

අය වැයක් යනු රටේ මීලඟ වසරේ අදායම් සහ වියදම් ඇස්තමේන්තු පාර්ලිමේන්තුව මඟින් අනුමත කරවා ගැනීමේ කාර්යාවලියයි. එය සමාගමක ඊලඟ වසරේ බජට් එක අධ්‍යක්ෂක මණ්ඩලයකින්  අනුමත කරවා ගැනීමට බොහෝ සෙයින් සමානවේ. 1956 බලයට පත්ව 1960 මාස කිහිපයක් හැර 1965 දක්වාම මයේ සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෞද්ගලික සමාගම් පවරා ගන්නා ප්‍රතිපත්තියක් අනුගමනය කලද බස් ජනසතුව හැරුණු කොට එසේ පවරා ගැනුනේ විදේශීය සමාගම් සතු දේපලය. ඒවා කාර්යක්ෂමව කලමනාකරණය කරමින් තිබූ ආයතන නිසා ඒවායින් විශාල මුල්‍ය පාඩුවක් රට සිදු නොවිනි. 1965 බලයට පත්වූ එජාප රජය 1967 දී රටේ මුදල් අතිරික්තයක් තිබූ මොහොතක එම මුදල් යොදවා කොලඹ උතුර යා කෙරෙන අධ්වේගී මාර්ගයක් තැනීමට සිතීය. රාජ්‍ය නායකයෙකු වීමට වඩා මහණ දම් පිරීමට සුදුස්සෙකු වූ එවකට අගමැති ඩඩ්ලි සේනානායක මහතා එම මුදල් ප්‍රයෝජනයට ගණිමින්  මහජනයාට නොමිලේ සහල් සේරු දෙකක් දීමට ක්‍රියා කලේය.

මෙහි මානුෂික පැත්ත කෙසේ වෙතත් එදිනෙදා ජීවිතයට රජයේ අය වැය සම්බන්ධ කල ප්‍රධාන අවස්ථාව මෙය බව මගේ දැනීමයි. පසුව මෙම වියදම් දරා ගැනීමට රජය අපොහොසත් වන විට එය හාල් සේරුව දක්වා අඩුකිරීමට රජයට සිදුවිය. 1970 බලය ලබා ගැනීමය හඳෙන් හාල් ගෙනවිත් දීමට සිරිමා බණ්ඩාරණායක ප්‍රමුඛ සමඟි පෙරමුණ පොරොන්දුවිය. බලය ලබා ගත් පසු මාක්ස්වාදී ප්‍රතිපත්ති අනුව යමින් මධ්‍යම රජයෙන් පාලනය වන ආර්ථිකයක් එන් එම් පෙරේරා මුදල් ඇමති අතින් බිහිවිණි. තවද ඒ අනුව සිංහල ධනපතීන් නැතිකල වතු පවරා ගැනීම් සහ එතෙක් පෞද්ගලික ලාංකික ව්‍යවසායකයින් සතුව රජයට බදු ගෙවමින් තිබූ තිබූ මිනිරන්, රෙදි නිෂ්පාදනය ආදී කර්මාන්තවල සිට ගෝණි නිපදවීම දක්වා රජයට පවරා ගෙන පාඩු ලබමින් රජයෙන් යැපෙන අකාර්යක්ෂම රාජ්‍ය ආයතන බවට පත්කරන ලදී. එතැන් පටන් මුළු ආර්ථිකයයම රජයේ පාලනය යටතට ගැණුනි. නොමිලේ සහල් පසෙක තිබියදී සිනී, රෙදිපිලි, ආදිය සමූපකාරය හරහා කූපන් මත බෙදා හරින භාණ්ඩ බවට පත්විය. එතැන් පටන් වෙනස්කම් සියල්ල නිවේදනය කෙරෙන මාධ්‍යක් බවට අයවැය වීම වැලැක්විය නොහැකි විය.  මින් පසු රටේ මුදලින්  මහජනයාට දෙන කැරට් මහජනයාට ඉදිරිපත්කරන අවස්ථාවක් බවට අය වැය පත්වීම නොවැලක්විය හැකි දෙයක් විය. ධනවතුන්ට ගසා දුප්පතුන් සනසන  අවස්ථාවක් ලෙස අය වැය දකින මානසිකත්වය අවුරුදු තිහක් ගතවීත් වෙනසක් වී නොමැති බව නම් පැහැදිලිය.

1977 න් පසු අයෝජනය හරහා රැකියා ඇතිකිරීම රජයේ ප්‍රතිපත්තියක් වූ බැවින් අයෝජන බදු සහන වෙනස් කිරීම් අය වැයේ අංගයක් බවට පත්විය. 1977 න් පසු දක්ෂතා ඇති වුන් තමන්ගේම ව්‍යාපාර ආරම්භ කරමින් සහ පෞද්ගලික අංශය නැවතත් ශක්තිමත් කිරීම ඇරඹු නමුත් අඩුම වෙහෙසකින් වැටුපක් ලබා ගෙන පසුව මැරෙන තෙක් විශ්‍රාම වැටුපකුත් ලබා ගත හැකි රජයේ සේවය ජීවන අරමුණ කර ගත් අයට  අය වැය යනු මීලඟ වැටුප් වැඩි කිරීම ලැබෙන අවස්ථාව බවට  පත්විය. එම නිසාම ආහාර මිල ගණන් සහ රජයේ වැටුප් නිවේදනය කරන දෙයක් ලෙස අයවැය දකින් පිරිසක් බිහිවීම  වෙනස් නොවිණි.

2005 දී ලක්ෂ 7 ක් වූ රජයේ සේවකයින් ගේ ප්‍රමාණය එය ඊට වඩා අඩුවිය යුතුවූ විශාල තාක්ෂණික විලවයක් සිදුවූ වකවානුවක ( ජී.එස්පී නැතිකරගෙන පෞද්ගලික රැකියා අඩුකරන ගමන්) තවත් ලක්ෂ 7 කින් එනම් දෙගුණයක් කිරීම පසුගිය රජයේ විශාල ‘ජයග්‍රහණයක්’ විය. පවුලේ කප්පම් ක්‍රමය සහ ප්‍රාදේශීය දේශපාලකයින්ගේ කප්පම් ක්‍රමයන් නිසා නොපැමිණි ආයෝජකයින් නිසා රජය රැකියා ප්‍රශ්ණය විසඳූයේ මහජන මුදලින් යැපෙන්නන් දෙගුණ කිරීමෙනි.. මෙම මානසිකත්වය ඇති අය විසේශ ප්‍රතිපත්තිමය වෙනස් කම් කිහිපයක් යෝජනා වූ මෙම අයවැය මුං ඇට මිල අඩුවූ අය වැයක් ලෙස අර්ථ දැක්වීම රටේ ඉදිරිය ගැන ඔවුන්ගේ ඇති හැඟීම දැනීම සහ උනන්දුව පැහැදිලි කරන්නක් බව නම් පැහැදිලිය.

උදාහරණයකට මෙතෙක් නොමිලේ අධ්‍යාපනය ලෙස අර්ථ දක්වමින් තිබූ නිදහස් අධ්‍යාපනය දශක කිහිපයකින් නොවූ පරිදි ඉදිරි පියවරක් තබන ලදී. විධිමත් ලෙස අනාගතයේදී ඉදිරිපත් කිරීමට නියමිත සිසුණය ක්‍රමය සහ පෞද්ගලික සරසවි ක්‍රමය මෙම පියවරයි. රජයේ සරසවි වරම් අහිමිවූ පසු උසස් අධ්‍යාපනය ලැබීම  මුදල් ඇති අයට සීමා වුණු ‘නිදහස් අධ්‍යාපන ක්‍රමය’ මුදල් ඇති නැති දෙපිරිසටම 15,000 කට හෝ විවෘත වීම හොඳ ආරම්භයකි. දැනට සරසවි අධ්‍යාපනයට සුදුසුකම් ලබන 25,000 හා සැලකූ කල එය 60% වැඩි වීමකි. රැකියා ලබා ගත නොහැකි කලා උපාධි අයින් කලොත් එය රැකියා ලබා ගත හැකි උපාදි වල 100% ක වැඩි වීමක් වීමටද ඉඩ ඇත.

රජයේ සරසවි වල ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට යන මුදලෙන් සොච්චමක් පමණක් වියදම් වන නැවත ගෙවිය යුතු පොලී රහිත ණය ක්‍රමය ටිකෙන් ටික 50,000-100,000 දක්වා වැඩි වෙමින් ගියහොත් මෙම රටේ පවතින  ඇති-නැති ප්‍රශ්ණ, මැද පෙරදිග වහළුන් ප්‍රශ්ණය, දුප්පත්කම, විරැකියාව, කම්කරු රැකියා සඳහා ඉතාලි, කොරියා, ජපානයට යාම, ත්‍රිරොද සංස්කෘතිය, තාක්ෂණික අයෝජන නොපැමිණීම,  ආදියට විසඳුම් ලැබීමේ පළමු පියවර මෙය වනු ඇත. රජයේ විශ්ව විද්‍යාල ක්‍රියාත්මක වන කාලය සවස 8 දක්වා දීර්ඝ කර එමඟින් ඒවාට ඇතුලත් කරගන්නා සිසුන් ප්‍රමාණය වැඩි කිරීමද සලකා බැලෙන තවත් යෝජනාවකි. තවද යුද්ධය අවසන් වූ පසුව  නැවත නැගිටීමක් සිදුනොවීමට සිදුකල යුතු උතුරේ රැකියා ඇතිකිරීම ගැන හොඳ යෝජනාවක්ද ඇතුලත් වීම වැදගත් දෙයකි. ප්‍රමිතිකරණය නිසා උසස් අධ්‍යාපන අවස්ථා අඩුවීම සහරැකියා යන ප්‍රශ්ණ උතුරේ බෙදුම්වාදී යුද්ධයට භටයන් සැපයූ හේතුබව තේරුම් ගෙන ඒවාට විසඳුම් සෙවීම ආරම්භ වීම හොඳ වෙනසකි.

වගා කරන්නන්ට සොච්චමක් ලැබී පාරිභෝගිකයාට ඉහල මිලක් ගෙවීමට සිදුවන තත්ත්වය මඟ හැරෙන නම් කෘශිකාර්මික භෝග නාස්තිය අවම කෙරෙන වාරයෙන් අවාරයට කල් තබා ගැනීම පහසු කෙරෙන cold chain/warehousing ක්‍රමවේදය මෙම අයවැයෙන් හඳුන්වා දී ඇත. මේ සියල්ල රජයේ වියදමින්ම නොකොට පෞද්ගලික සහ රජය අනුබද්ධ ව්‍යාපෘති ලෙස ආරම්භ කිරීමට කර ඇති යෝජනා රජයේ මුදල් ඉතිරිවීම සහ පෞද්ගලික අංශය විසින් තම ලාභ අරමුණු පමණක්ම තකා ක්‍රියා කිරීම යන අවාසි දෙකෙන්ම තරමක් හේ ගැලවීමට හැකිවේ.

දැනට ආරම්භ වී ඇති මහනුවර අධ්වේගී මාර්ගයට අමතරව රත්නපුර අධිවේගී මාර්ගය, දකුණු අධිවෙගී මාර්ගයට බදුල්ල සම්බන්ධ කිරීම, කැලණිවැළි දුම් රිය මාර්ගය නැවත රත්නපුර දක්වා දීර්ඝ කිරීම, අය වැයට ඇතුලත්විය. ගමේ කොන් වල මිනිසුන් නොඇවිද්දවා සියළුම ගම් මට්ටමේ රජයේ සේවා සපයන්නන් එක ස්ථානයකට ගෙන ඒම අඩු මම දකින්නේ මහජනයාගේ ගැටළු එකින් එක හෝ වටහා ගන්නා දේශපාලනයක් රටේ ඇති බවය.

2009 යුද්ධය අවසන් වූ කාලයේ සිට ගෙවුණු අවුරුදු 5 දී දෙගුණයක් වූ ණයබර එම ණය ගත්තවුන් ගෙවා ගියේ නැත. එම ණය සහ පොලී ගෙවන ගමන් මෙම ප්‍රගතිගාමී යෝජනා ක්‍රියාත්මක කරවා ගැනීමට මුදල් අවශ්‍යය. එම නිසා ඇබ්බැහි වීම් වලට බදු වැඩි කිරීමේ ක්‍රමය මෙවරත් ක්‍රියාත්මක වී ඇත. එසේ කරන්නේ  ඇබ්බැහි වීම් මඟින් ලැබෙන ආදායම ගැන විශ්වාසයක් තැබිය හැකි බැවිණි. මෙතෙක් මත්පැන් සහ සිගරට් පමණක් ඇබ්බැහි වීම් ලෙස සැලකුණත් දැන් දැන් අන්තර්ජාලයත් එක් වී තිබීම දැකිය හැකිය.

අයවැයකින් ප්‍රගතිගාමී යෝජනා ඉදිරිපත්වීම නුපුරුදු අයටත් බලු කෑම සහ රේස් කාර් තීරු බදු අඩු කිරීමෙන් සතුටුවූ අයටත් මෙම අය වැය මුං ඇට අයවැයකි. කප්පම්, පගා, දේශපාලන පත්වීම් නොතකන රටේ දියුණුවට කල යුතු දේ තේරුම් ගෙන සිටින අයට මේ අයවැය කලකින් ඉදිරිපත් වූ හොඳ අයවැයකි. රටේ විසඳිය යුතු ප්‍රශ්ණ කිහිපයක් තවත් ඉතිරිවී තිබෙන නිසා ඒවාද මීලඟ ප්‍රතිපත්ති තීරණ සමඟ ඉදිරියට එනු ඇතැයි යන්න මගේ බලාපොරොත්තුවයි.

සියලු අදහස් හා හිමිකම්  බ්ලොග් කරු සතුය.

http://lankanian.blogspot.co.uk/2016/11/blog-post_14.html

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල