කෙටි කථා

මැජික් අන්දර

Off

‘‘මට එෆ්බී එකෙන්සෙට්ටුණා කොල්ලෙක්. ඌ මරු! චැටක් දාගෙන ඉන්න. මොරටුවෙලු. නැවකලු වැඩ කරන්නෙ. කෙල්ල දාලා ගියාලු රස්සාවක් නැති කාලෙ. සල්ලි ගැන නොහිතන අවංක කෙල්ලෙක් මීට් වෙනකල් බලන් ඉන්නවලු. බලන්ඩෝන හාර්ට් එක අතට අරන් දෙන සයිස් එකෙන් කතාව. ෆෝන් නම්බරෙකත් දුන්නා. ඊයෙ රෑ එකොළහට විතර ගත්තු පාර එකයි  ෆෝන් එක තියද්දි… ඌ මරු… නන්ස්ටොප් කියවනවා…‘‘

මා සිටියේ සන්තාන සංතාප සංග්‍රාමයක වෙලී පැටලීගෙනය. බස් රියේ කවුළුවෙන් එපිට වේගයෙන් ඇදී බොඳ වී යන කඩපිල්, ගේ දොර, යාන වාහන අතර මගේ දෑස ගැටි ගැටී, නොගැටී පාවෙවී තිබිණි.  පසුපස අසුනෙන් එක්වනම ඒ කාන්තා කටහඬ පැන නැගුණේ එවිටය. අනුන්ගේ කතාවලට කන් දීම නොමනා බව සැබවි. නමුත් විලිසංගයක් නැතිව පැද්දි, පැද්දී, ඇද්දී විත් කන් බෙරවල හැපෙන කතන්දරවලට කුමක් නම් කරන්නද? 

‘‘ඔන්න කැමති උන් මගෙ චරිත සහතිකය ලියාපල්ලා‘‘ කියන්නාක් වැනි වගේ වගක් නැති  උස් හඬකි ඒ. දුරකථන ඇමතුමක් බව දැනුණේ විටෙක නිහඬව යන හඬ නැවත ඇවිලෙන්නට පටන් ගන්නා බැවිනි. අනෙක් පස වූයේ කවුරුන්දැයි සිතාගන්නට තරමක් වේලා ගත විය. ‘අයියෝ මෝඩ කෙල්ලෙක්. විහින් අමාරුවෙ වැටෙන්න හදනවා.‘‘ මම සිතින් සිතුවෙමි.  

…………….

‘‘නෑ මචං. උඹ දන්නවනෙ. ඔය බොරු කයිවාරුවලට රැවටෙන්නෑ මං. මොකෙක් හරි කමක් නෑ බං.. මට දැන් ඕන කතා කර කර ඉන්න… නැත්තං අරූ කෝල් කරයිම කියල බලන් ඉන්නවනෙ. මට මැරෙන්න තරං දුක හිතෙනවා. මං මොනවට ඌට ලව් කළාද මන්දා බං. මොනාද තියෙන්නෙ, ඇඟ විතරයිනෙ… කා එක්ක හරි සෙට් වෙලා කතා කර කර උන්නම ඌ කෝල් කරයි කියල මං බලන් ඉන්නෙ නෑනෙ…නැත්නං මං දවසම බලං ඉන්නෙ උගෙන් කෝල්ලෙකක් එනකල්නෙ බං…

“………………..

හඬ මැකී යයි. බස්රියට ගොඩ වූ මැජික්කරුවකු රියදුරු අසුනට පිටුපා මගීන් වෙත හැරෙයි. ඇස්බැන්දුම් පාන්නාගේ හඬින් බස්රිය පිරී යයි. කිලිටි සුදු පෑ කමිසයකින් හැංගුණු කෙසඟ සරීර කූඩුවේ පැතලි මුහුණෙහි තිබුණේ විජ්ජාකාර අහිංසක හිනාවකි. ඔහු තරමක හතරැස් රතු සව්කොල කැබැල්ලක් ගෙන මගීන් වෙත පෙන්වයි.

‘‘ඔන්න දැන් මම මේ සව්කොලේ ඉරනවා. හරි මැදින් දෙකට. ආයෙම හතරට. අටට… දාසයට….

ඉතාම කුඩා කැබලිවලට ඉරී යන සව්කොලය ඔහු අතෙහි තබා ගුලි කරයි. අත් දෙකම කරකවමින් මඳ වේලාවක් ගුලි කර නැවතත් දිග හැර පෙන්වයි. ඉරුණු ලකුණක්වත් නැති හතරැස් කොලයකි. එය ද රතු පාටය. පෙර සේමය. ඔහු එය නැවත අතින් කරකවයි. රවුම් තොප්පියක හැඩයක් මැවේ. එය හිසේ පළඳා ‘‘කොහොමද මගේ වැඩ‘‘ වැනි මායම්කාර සාඩම්බර සිනාවකින් අවට බලයි.

‘කැඩුණු බිඳුණු හිත් පාස්සන්ටත් මැජික් එකක් නැද්ද? පසුපස අසුනේ යුවතියටත් එක්කම‘ මට අසන්නට සිතිණි.

‘‘……. නෑ නිරංජලා, මං ආයෙම මෝඩ වෙන්නෙ නෑ. අරූ හොඳ එකෙක් නෙමෙයි කියල කොච්චර නම් අය මට කිව්වද? ඒත් මම ගණන් ගත්තෙ නෑනෙ. කී සැරයක් නං මාව දාල ගියාද? ආයෙ එන හැම සැරේම භාර ගත්ත එක මගෙ වරද. මගෙ තාත්තගෙ මරණෙටවත් ආවෙ නැති එකාව මං ආයෙම බාරගත්තනෙ… මං හරි මෝඩයි බං…මං කොච්චර ඌට ආදරේ වුණාද?

…………………..

‘‘ඌ මට කියනවනෙ බං, ඌ ඇර මට වෙන කාවවත් හොයාගන්න බෑ කියල. ඌ හිතන්නෙ ඌ නැතිවුණාම මං නොබැඳ ඉඳියි කියල. වයසක මිනිහෙක් හරි කමක් නෑ සල්ලිකාරයෙක් හොයගෙන මං බඳිනව නිරංජලා. ඌට පේන්නත් එක්ක මං බඳිනවා. දැන් ඉතින් මට ආදරෙන් වැඩක් නෑ. මට ඕන ඌට පේන්න හොඳට ඉන්න…

……………………

මහළු ඇස්බැන්දුම්කාරයා කමිස සාක්කුවෙන් කාඩ් කුට්ටමක් ඇද ගනියි. මගේ ඇස් ඇලී තිබුණේ ඔහු වෙතම බැවින් ඒ කාඩ් කුට්ටමේ අතරමැද කෝච්චි ටිකට් දෙකක් ඇලෙව්වාක් වැනි කාඩ් පතක් මගේ ඇස ගැටෙයි. ‘ඒ ගමන මොකද්ද ගහන දහං ගැටේ‘ මම සිතින් සිතමි.

‘‘අනේ මචං මං රෑ තිස්සෙ තනියම අඬනවා. මට පිස්සු වගේ. මේ ටිකේ මං බයික් එකේ වැඩටවත් යන්නෑ. කල්පනාව නැතුව ගිහින් අඩ තියන්ඩ වෙයි කියන බයට.  මේ ළඟදි දවසක අක්කගෙ දුවව රාගම ක්ලාස් දාන්න එක්කරන් ගියා දන්නෙම නැතුව මං කඩවත පාරෙත් සෑහෙන දුරක් ගිහිං…

……………………

විජ්ජාකරු කාඩ් කුට්ටම අනමින් කුට්ටමේ කොල වරින් වර පෙන්නමින් කතන්දරයක් කියන්නට ගනියි. “ඔන්න මම දවසක් මේ වගේ මැජික් පෙන්නන්න කෝච්චියකට නැග්ගා. මෙන්න ටික වෙලාවකින් බාප්පල පැනපි. බාප්පල කියන්නෙ ටිකැට් පරීක්සක මහත්තුරු. ඉතින් කෝ කොයි මට පෙන්නන්න ටිකැට්. මම මෙන්න මෙහෙම කාඩ් කුට්ටම ගත්තා. සිස් සිස් ගාලා ඇනුවා. ඇදල ගත්තා මෙහෙම දුන්න ටිකට් එක. මෙන්න මේ වගේ..

ඇත්තටම ඔහු කාඩ් කුට්ටම අතරින් කෝච්චි ටිකැට්ටුවක් ගෙන නරඹන්නන්ගේ ඇස් දෙසට දිගුකරයි. මගේ කට කොනක හිනාවක් නැගිණි. කෝච්චි ටිකට් අලවාගත් බූරු කොලය මේ තරම් සීරු මාරුවට හංගාගෙන සිටීමත්, අවැසි මොහොතේම එය ඇද ගැනීමට හැකිවීමත් මාරම මැජික් එකකි.

ඒ අතර පසුපස අසුනේ දුරකතන ඇමතුම දිගින් දිගටම විකාශනය වෙමින් තිබිණි. දැන් ප්‍රේම කතාව මෙහා ඉමෙන් එහා ඉමට මාරු වී ඇත.

‘‘නෑ… නෑ.. කියපං. මං අහන් ඉන්නං. දැන් මට ඕනතරං වෙලා තියෙනවා කතා කරන්න..

……………………

‘‘එක එකාගෙ කීම අහලා උඹ අමාගෙන් ඈත්තුණ එක නං මහ මෝඩකමක්. ඌ වගේ හොඳ කොල්ලෙක් උඹට ආයෙ හම්බෙන්නෑ. ඔය කුලමල මොනාද බං… පැනල ගිහින් බැඳපල්ලා. ළමයෙක් හම්බුන කාලෙක අම්මල සමාව දෙයි… 

………………………”

ඊළඟ මැජික්කාරකම සිගරැට්ටුවක් සමඟිනි. සාක්කුවෙන් සිගරට්ටුවක් ගත් ඇස්බැන්දුම්කාරයා එය අතින් අත මාරු කරයි. හැම අතින්ම සිගරට්ටුවක් මැවෙන්නාක් මෙනි. ඔහු ඒ සෑම සිගරට්ටුවක්ම සාක්කුවට ඔබා ගනියි. සිගරට් ඇස්බැන්දුම අවසානයේ ඇස්බැන්දුම් පාඩම ගුරු මුෂ්ටියක් නොතබාම නරඹන්නන්ට පහදවාලයි.

‘‘මේ එකම සිකැරට්ටෙක. මං අතින් අතට මාරු කරේ. වෙන මං ළඟ සිකැරට් නෑ. මේ නෝනා මහත්තුරුන්ගෙ ඇස් රැවැට්ටුව විතරයි මොහොතකට. හොරයක් බොරුවක් වංචාවක් නෑ. බඩවියත ගැටගාගන්න කීයක් හරි හොයාගන්න මැජික් පෙන්නනවා. ජීවත් වෙනේක මැජික් පෙන්නනා වගේ ලේසි නෑ නෝන මහත්තයෝ, බඩට බොරු කරන්ඩ බෑ…”

“………….”
‘‘කොයි පිරිමියත් එකයි නිරංජලා, උඹ අමාව බැඳපන්. ඌ හොඳේකා… ඕනම වෙලාවක මට කතා කරපං මං එන්නං සාක්කියට අස්සං කරන්ඩ…”

 

සියළු හිමිකම් බ්ලොග්කරන්නිය සතුය.

http://tharurasi.blogspot.co.uk/2016/11/blog-post_11.html

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල