අතීතකාමය

How to go to temple හෙවත් පන්සල් යන හැටි

Off
ඔබත් පන්සල් යාමට කැමතිද? වයසට ගොස් හැරමිට්ටෙං ඇන ඇන පන්සල් යනවාට වඩා, ‘මාව පන්සල් ඇරං පලෙයාං‘ කියා ළමයින්ට කරදර කරනවාට වඩා පුළුවං කාලේ පන්සල් යාම හොඳය. එබැවින් තරුණ වයසේ ඉන්න පන්සල් යන්ට කැමති ඔබට පරිශීලක අත්පොතයි මේ.
පන්සල් යාමට හොඳ ඉරිදාය. සෙනසුරාදාට පන්සල පැත්ත පලාතේවත් යාම නොකළ යුතුය. එදාට පන්සලේ බෝධිපූජා බහුලය. එබැවින් මල් ගනං වැඩිය. රුපියල් සීයකට ලැබෙන්නේ මල් හයක් හෝ හතකි. එබැවින් පන්සල් යාමට ගැලපෙන දවස ඉරිදාය. ඉරිදාට පොලේ යාම නිසා ඉතුරුවන මාරු සල්ලි පන්සල් යාමට යොදාගත හැකිය. මල් කඩේ අය සෙනසුරාදාට මල්වලින් අධික ලාභ ලබා ඇති නිසා සේල් මිලට මල් ලබාගත හැකිය, අනෙක් හේතු පසුවට වැටහෙනවා ඇත.
ඉරිදා දවල් පොලේ ගොස් ආපසු කහට ඩිංගක් බී ඔබගේ ප්‍රියතම යකඩ කෑලී කැඩෑලීම, නව නිර්මාණ නිපදවීම, පොත් කියවීම, පත්තරේ බැලීම, ආදී ඕනෑ දෙයක් කළ හැකිය.
“බත් කන්නැද්ද? මටනං හොඳටෝම බඩගිනියි. ඔන්න මං නං කනවා. බත්තෙක බෙදලා මේසෙ උඩ. මේ සූකිරිය මේසෙ උට්ට පයින්න කලිං කන්න. මට බෑ මේක පරිස්සං කරන්න.“
කියා කැඳවීමක් ලැබෙනු ඇත. එවිට ඔබ ලියූ දේ පබ්ලිස් කර දමා ඇවිත් බත් ටික කෑ යුතුය. ඒ අතර ස්වප්නාගේ ගෙදර අය පසුගිය සඳුදා සිට සිකුරාදා වෙනතෙක් කළ කීදේ, පුස්කර් පොලීසියේ අයගේ විස්තර සහ හනුමන්තා පාරේ ඕපාදූපද බැලිය හැක. බත් කෑ විගසම ඔබේ බිරිඳ
“උදේ හිටං වැඩකල්ල හරිම්මහංසියි“
කියා ඇඳ උඩට වැටී මොහොතින් ග්‍රිස්ලි හිම වලසා මෙන් නිදන්නට වෙයි. එවිට ඔබද ඒ අසලට වී සිටිය යුතුය. ඔබේ ඇස පියවී තප්පර දහයක් යන්නට මත්තෙන් ඔබ උඩ විසික් වී ඇහැරී ටෙලිපෝනය ගෙන වෙලාව බැලූ විට හවස හතරට වී ඇත. අපට නින්ද යනතෙක් බලාසිට වේගයෙන් සිය කටු කරකැවීමට මෙලොව පවතින සියළු ඉරිසියාකාර ඔරලෝසු ක්‍රියාකරති. දැන්  පන්සල් යන්නට හොඳටෝම පරක්කු වී ඇත. ඉතින් ඔබ පෙම්වතෙක්ව සිටි අවදියට සිතින් සහ වචනයෙන් යා යුතුය.
“සුදූඌඌඌඌඋ… නැයිටින්න… පන්සල් යමු නේද?“
“ඤ්හ්ක්“
“මැණිකේ…. නැයිටින්න….. පන්සල් යන්න ඕනි නේද දැං“
“හල්වල් ලිංඤ්හ්“
“යං අනේ යං අදවත් නැත්තං හෙට යන්න වෙන්නෑ“
“ඥිඩාගල්ඩෙල්කොවනෙ. තාං හත්රුනෙහ් නැහ්ං“
“හතර පහුවෙලා දැං. හතරයි දහයයි.“
“බොර්නොක්යං“
“මේ.“
ඔබ දුරකථනයේ තිරය ඇගේ එක ඇහැක ඇහිපිහාට්ට අස්සෙං රිංගවා ඇයට වෙලාව පෙන්විය යුතුය. ඇය ලාම්පුතෙල් වැදුනු ශිවන්‍යා මෙන් උඩ විසිවී අවදි වනු ඇත.
“ඇයියනේ මට ඇහැරෙව්වෙ නැත්තෙ.“
“මං කොච්චෙල්ල කතා කෙරුවද? ඔයානෙ සංඥක දයන්න වගේ වකුටු ගැහිල නිදාගත්තෙ“
“අනෙප් කටවහං ඉන්න. මට ඇහෙන්නෙපෑ කතා කෙරුවනං. ඔන්න එහාට වෙන්න මට මගෙ කොණ්ඩ බූල හොයාගන්න“
දැං ඇය දුම්මල වරම අතට ගෙන හැසිරෙනු ඇත. ටැංකියට වතුර පිරෙන වෑල්එක ඇරීම, නාන්නට නාන කාමරයට යාම, ආපහු දිය රෙද්ද පිටිං ඇවිත් වලං හේදීම. පන්සල් ගෙනියන මල්ල හොයාගෙන පොල්තෙල් ගන්න බෝතලයක්, ගිනි පෙට්ටියක්, කඩදාසියක්, කුඩයක් ආදිය එයට දමාගැනීම, හොරෙං ගෙට පනින්න හදන චියනාට කෝටුවක් උරුක්කර එලවීම, ටිකිරිව ගෙදර ගෙන්වීමට
“ටිකි සේසේසේසේසේසේසේසේ..ඒඒඒඒඒඑ“
කියා කෑ ගැසීම. ඒ අතර නිංදෙං ඇහැරී කෑ ගසනා සූකිරියාට නිල්පාට හාල්මැස්සන් කැවීම ආදී දහසකුත් එකක් වැඩ කරන අතර ඔබට ඇත්තේ ඇය කියනා දේකට කීකරු වීම පමණි.
“මගෙ රෙදිටික වැලේ ඇති ඇරං එන්නකො”
“මේ මගෙ හැට්ටෙ මැද දෙන්නකො මං සූකිරිට කේපී එකක් තියන කං”
“මතකැතුව ලයිසන්නිංසුවරන්ස් ටික ගන්න”
අන්තිමට ඔබ දෙදෙනා ගෙදර තිබෙනා හද්දාම කබල් සෙරෙප්පු කුට්ටම දාගෙන බයිසිකලයට නැගී ගේට්ටුවෙන් පිටවනු ඇත. ඔබේ පළමු නැවතුම වන්නේ පහළ වීදියේ පොල්තෙල් කඩේය. එතැන
රන් රිදී ආලේ-
ප කරනු ලැබේ
කියා ලියා ඇති තැනින් බයිසිකලය නවතා ගත්විට ඔබට දඩ වදින්නේ නැත. එතැනදී ඔබ පාර අවහිර වන පරිදි නැවැත්තුවා කියතොත් එයිට වඩා උදය රජ්ජුරුවන්ගේ සිංහාසනය මහපාරට පැන තිබෙන බව පොලිසියට පෙන්වාදීමට ඔබට පුළුවන. එවිට ඔබට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දඩ ගැසිය යුතුය. ඔබ සියළු පූජා බඩු ගත යුත්තේ පොල්තෙල් කඩයෙනි. නැතිනම් පන්සලේ ගේට්ටුව ළඟ පොල්තෙල් විකුණන්නා පොල්තෙල් කාලකට වැඩිපුර රුපියල් පහලොවක් ඔබෙන් විදගන්නවා ඇත. පොල්තෙල් කඩේ රුපියල් විස්සක් වන හඳුන්කූරු පැකැට්ටුව වෙනුවට පන්සලේ ගේට්ටුව ගාව වෙලෙන්දා රුපියල් පනහට විකුණන්නේ කොලය ලිහද්දීම කුඩු හැලෙන අංගවිකල හඳුන්කූරු ජාතියකි. පොල්තෙල් කඩේ ඇති කඹයක් තරම් විසාල පහන්තිර වෙනුවට ඔහු ළඟ ඇත්තේ පැරණි යට සායවල්, ජංගි රෙදි, බැනියං, ආදිය ඉරා රෝල්කර සැකසූ නූල් ඇදෙන සුරුණ්ඩං විශේෂයකි.
එතැනින් නික්ම කෙලින්ම පන්සලේ ගේට්ටුව ගාවටය. එතැනදී ඔබ බිරිඳව බිමට බස්වා තව ටිකක් එහායින් ඉඩ ඇති තැනක් බයිසිකලය නැවැත්විය යුතුය. බොහෝවිට රටකජුකාරයාට පිටුපසින් බෝඩ් ලෑල්ල ගාව බයිසිකලය නැවැත්වීමෙන් පොලිසියෙන් දඩ කොලයක් ලැබීමේ අවදානම මගහැරේ. එතෙක් රුපියල් සීයක් දී ඔබේ බිරිඳව දකුණු පස පිහිටි මල් කඩේට යැවිය යුතුය. එවිට අප හිතවත් ‘මල් මල්ලී‘ බලෙන් පුප්පන ලද මල් විස්සකට වැඩි පොදියක් වතුර බේසමේ ඔබා ඇය අතට දෙනු ඇත. වැව් වතුරටත්, ඉර එළියටත් පැය ගානක් ගතවන මල් පුබුදන වැඩය මල් මල්ලීට තත්පර ගානක වැඩකි. බේසමක ඔබා තිබෙන මල් පොහොට්ටුවක් නටුවෙන් අල්ලා කරකවමින් තත්පර දෙකක් අතගෑමෙන් පෙති හයක් සහ මැදින් කෙහෙල්මුවක් වැනි එකක් ඇති දර්ශීය මලක් ලැබේ. මේ බලහත්කාරකමට නිල් මානෙල් මල අකමැති නිසා එහි හොම්බ ටිකක් තැලීමට මල් මල්ලීට සිදුවේ. ඔබේ බිරිඳට නිදහස පිණිස මල් මිටිය ඇගේ අතට දී හෙල්මට් දෙක සහ අඩුම කුඩුම මල්ල ඔබේ අතට ගන්න. දැන් පන්සල වෙත ඇදෙන සෙනගට එකතුවන්න. මුර කුටියට පෙර ඇති මල් පඳුරු යටින් ඔබේ සෙරෙප්පු දෙක දමා යන්න. ඒවා හොරකම් කරතොත් පිටසක්වලින් පැමිණෙන්නෝ පමණි.
ඔබ කිසිවිටකත් වන්දනා නඩ පිටුපස නොයා යුතුය. වන්දනා නඩවල සිටින අයට බොහෝ අවම පහසුකමක් නම් වැසිකිලිය. එබැවින් ඔවුන් සැමවිටම මෙවැනි නිදහස් ස්ථාන ආහාර මාර්ගික වායු නිදහස් කර ආන්ත්‍රික ඉඩ නිදහස් කරගැනීමට අවස්ථාවක් කර ගනී. එය ඔබේ නාසයට අහිතකරය. එමෙන්ම කිසිවිටකත් සුදු පැහැ සායවල් ඇඳි කාන්තාවන්ගේ ඇඳුම්වල පිටුපසින් ලාපැහැතිවට පෙනෙන දේදුනු වර්ණ බැලීම, හිර ඩෙනිම් ඇඳි ළඳුන්ගේ කලිසම්වල පිටුපස ලාංඡනය දෙස බැලීම, ඔවුන්ගේ කොණ්ඩාවල දිග පළල බැලීම, ආදිය නොකළ යුතුය.
ඔබේ බිරිඳ මල් දෝවකයෙන් නැවතත් මල්වලට පැන් ගසාගනු ඇත. එතෙක් ඔබට අවශ්‍ය නම් පන්සලේ උඩමලුවට යන තොරණ ගාව පඩිපෙළ උඩ පොටෝ ගසන සෙනග නැරඹිය හැකිය. එවැනි රංචුවක සිටිනා ගැටිස්සියන් දෙසත් ඔවුන්ගේ අඟර දඟර දෙසත් කිසිවිටකත් නොබැලිය යුතුය. එක දුරකථනයක කැමරාවකින් ගන්නා ඡායාරූපය ‘නිල් දත්’ හෝ වෙනයම් ආකාරයකින් බෙදාගැනීමට හැකියාව තිබියදීත් එක එකා වෙන වෙනම ගොස් තම තමන්ගේ දුරකථනයෙන් පොටෝ ගහගන්නා ආකාරය දැක ඔබට ‘සැනෙළි සංවේග’ උපදවා ගත හැකිය. එවිට ඔබගේ බිරිඳ ඔබේ ඉළඇට කූඩුවට ඇඟිල්ලෙන් ඇන
“තාම කෙල්ලො දිහා බැලිල්ලෙ අඩුවක් නෑ නේද? පුදුම පැණියෙක් ඔආනං”
කියනු ඇත. එවිට
“මොන කෙල්ලොද අනේ. අර පෙනේද අර රොත්ත පිටිං පඩිපෙළ වහගෙන මිනිහෙක්ට උට්ට යන්නවත් පල්ලෙහට යන්නවත් ඉඩක් නෑ”
කියා ජාමය බේරාගෙන
“යං අනේ අපි පරණ පඩිපෙලෙං.”
කියා ඇගේ අතින් අල්ලාගෙන සුජීව ප්‍රසන්න ආරච්චිගේ ආත්මීය නවකතාවේ ඉන්නා අයියයි නංගියි යනුවෙන් අමතා ගන්නා පෙම්යුවල මෙන් උඩ මළුවට ගොඩවන්න. දැන් ඔබ පිවිසෙන්නේ ජෛව විවිධත්වයෙන් ඉහළ, නිකාය බේදයෙන් ඉහළ කළාපයකටයි. එය කෙසේද යන්න ඉදිරියේදී අවබෝධ වනු ඇත. එලෙසම ඔබ මෙතැන් පටන් දුර දක්නා නුවනින් සීල් භටයකු මෙන් ක්‍රියාකල යුතුය. ඔබට යාර සියයක් පමණ දුර සිට ඔබ දෙසට මුහුණලා චීත්තයක් සහ හැට්ටයක් හෝ සිල් ඇඳුමකින් වෙස්වලාගෙන කුඩා පොතක් අත දරාගෙන එන්නේ ඔබගේ සාක්කුවට විදිනා ස්නයිපර්කාරිය විය හැකිය. එවැනි අවස්ථාවක ඔබගේ බිරිඳවද රැගෙන සෙනග අතරේ සැඟවීම සුදුසුය. නොඑසේනම් ස්නයිපර්කාරිය ඔබ ළඟට පැමිණ.
“පිංවත් දරුවෝ, කැමතිනම් මේ අසරණ වෙලා ඉන්න මට සුළු ආධාරයක් දෙන්න”
කියා ඔබට අර පොත් පිංච දිගුකරනු ඇත. එහි මුදුනේම
 
ආර්.ඇම්. කුසුමාවතී උපාසිකා මාතාවට දඹදිව වන්දනාව සඳහා ආධාර
 
කියා ලියා තිබෙන අතර එයට පහලින් ඇගේ ගොදුරු බවට පත්වූ අයගේ නම් ඉදිරියෙන් රුපියල් 500, 1000 වැනි ඉලක්කම් ලියවී තිබෙනු ඔබට දකින්නට ලැබෙනු ඇත.
පළමුව ඔබ ඇතුල්වන්නේ බුදුමැදුරටය. ඔබගේ් බිරිඳ දැනටමත් මල් පොකුරේ ඇති මල් ගණන ගණන් කර එයින් එක් ස්ථානයකට පූජා කළ හැකි මල් ගණන කීයක්දැයි තීරණය කර ඇත. එබැවින් ඇය විසින් බුදු මැදුරේ දොරකඩදීම බුදු මැදුර සඳහා නිර්දේශීත මල් ගණන ඒවායේ කර මුලින් අඹරා නැටි කඩා නැටි පෙට්ටියට විසිකර ඔබට හිමි මල් ගණන ඔබේ අතට දෙනු ඇත. ඒ අතරේ ඔබට අවශ්‍ය නම් “වීඩියෝ කිරීම සහ ඡායාරූප ගත කිරීම තහනම්” යැයි ලියා ඇති බෝඩ් එකට යටින් ඇති “අද ආලෝක පූජාවට දායකත්වය දක්වන පිංවතුන්” ගේ නම් කියවිය හැකිය. මේ නම් කිසිවිටකත් කටින් කියවීමට උත්සාහ නොකළ යුතුය. අහුබුදුවානෝ  මේ නම් දමා ඇත්තේ එනම් හිමි දරුවන්නේ මතු ආරක්ෂාව පතා පන්ති භාර ටීචර්ට අමතක වන ආකාරයෙන්ය. එවිට එම දරුවන්ට ඕනෑම අලුගුත්තේරු වැඩක් කර ගැලවීයාමට හැකිය. එම නම් කෙතරම් බලසම්පන්නදැයි කිවහොත් ඒවා කියවන ජනයාගේ දිව දත් කුට්ටම වටේ පටලැවී රදනක දතෙන් හිල්වන්නේය.
වම් අත් දණ්ඩේ එල්ලාගත් හෙල්මට් දෙක සහ බෑග් මල්ලද, දකුණතින් ගත් බලහත්කාරකමට ලක්වූ මලද සහිතව හොඳ සිහියෙන් යුතුව බුදු මැදුරට ඇතුල් වන්න. බුදු මැදුරේ බිම සිය කෙලිබිම කොටගත් බිළිඳු දරුවෝ තලගොයින් මෙන් බිම බඩගාති, කාන්තාවෝ දරුවන් බිම තබා නළලද බිම තබා කඩින්ගේ මෙන් වටකුරු සිය පශ්චාත් භාග උඩ තබා වඳිති. ඔබගේ අත්වැරදීමකින් කුඩා දරුවන්ට අනතුරක් විය හැකිය. නැතහොත් ඉහළ නැගුණු හට්ටියක් වැනි පශ්චාත්භාගයක වැදී ඔබ ඇද වැටිය හැකිය. ඔබ පින් කරගැනීමට ආ ගමනක් බැවින් දෙකට නැවී වඳින අයගේ පහත ගිය යටිකය ඇඳුම්ද, ඉහල ගිය උඩුකය ඇඳුම්ද අතර ඇත්තේ කුමක්දැයි නොබැලිය යුතුය. ඔබ ගෙනගිය මල දෝතින් අල්ලා මල් අසුන මත තබන්න. වම් අත දකුණතේ වැලමිටේ ස්පර්ශ වීම මෙහිදී ප්‍රමාණවත්ය. නැතිනම් හෙල්මට් දෙක සමග මල්ලද අත් දණ්ඩ දිගේ රූටාගෙන විත් මල් අසුන මතට කඩා පනිනු ඇත.
ඊළඟට ඔබ යායුත්තේ චෛත්‍ය මළුව වෙතය. ගල් ඇතිරූ චෛත්‍ය මළුවේ සමහර තැන්වල ගල් එක මට්ටමකට නොමැති බැවින් ප්‍රවේශම් වන්න. හැම විටම චෛත්‍යයට ආසන්නව ගමන් කර ඉඩ ඇති මලසුන්ගෙයක් තුළ ඔබ ගෙනගිය මල තබන්න. මුදුනෙහි පටන් අඩිය දක්වාම ගමන් කරන අකුණු සන්නායක පටියකින්ද, මුදුනෙහි පටන් පාදම දක්වා අඩි බාගයෙන් බාගය ලණු පැදුරක් මෙන් ඇදි එල් ඊ ඩී බල්බ් වැල් දැලකින් ද, අටකොන සවිකර ඇති ප්ලෑෂර් ද, පාදමේ සිට අඩියක් පමණ උසින් අන්දවා ඇති බෞද්ධ කොඩි සහිත රෙදි වලින්ද සමන්විත චෛත්‍ය රාජයා වන්දනා කරන ගාථාව කියා වඳින්න. දැන් චෛතය මලුවෙන් පිටවන්න. මෙහිදී ප්‍රවේශම් නොවුනහොත් චෛත්‍යයේ අගසිට මුල දක්වාම එක ඡායාරූපයකට ගැනීමේ අභිලාශයෙන් කැමරා මානාගෙන සිටින පිරිසගෙන් අයෙක්ගේ ඇඟේ වැදීමේ සම්භාවිතාව ඇත.
මීළඟට ඔබ ඇතුල්වන්නේ පිරිනිවන් මංචකය සහිත විහාරයටයි. මෙයට ප්‍රවේශම් සහගතව ඇතුල් නොවුනහොත් මල් ආසනය යට සිය පැටවුන් සමග සිටින සුනඛ ධේනුව “පොත පොත” යනුවෙන් කියමින් ඔබව බෝධි මලුව වෙතම එලවා දමනු ඇත. එබැවින් එම විහාරය වෙත යන්නේ නම් පළමුව යන්නන්ට ඉඩ හැර ඔවුන් පිටුපසින් ඇතුල්වීම නුවනට හුරුය.
එතැනින් පසුව බෝධීන් තුනටත් සස්සති විහාරයටත් මල් තැබිය යුතුය. සස්සති විහාරය තුළ පන්සල්වලට ආවේනික සතුන් විශේෂයක් වන කොබෙයියන් සිටින බැවින් හැකි ඉක්මනින් එයින් පිටට ආ යුතුය. මේ වනවිට ඔබගේ මල් සංචිතය අවසන් බැවින් අතේ ඉතිරිව ඇති මල් නැටි සියල්ල අසල ඇති කුණු බක්කියට දමන්න. බෝධීන් වහන්සේලා වටා ගමන් කිරීමේදී ප්‍රවේශම් විය යුතුය. බෝධි පූජා සඳහා පැමිණි අය මැටි කල, ඉටි කල, හට්ටි, මුට්ටි, වීදුරු බෝතල්, මෙගා බෝතල්, සොපිං කවර ආදියට පුරවා ගත් ජලය සහිතව බෝධීන් වහන්සේලා වටා වට හත සම්පූර්ණ කරන අතර ඔබේ ඇඟේ වැදීමට ඉඩ ඇත. එමෙන්ම විභාග ආදියට ආසන්න දවසක් නම් විශේෂ කණ්ඩායම් බෝධී පූජා ආදිය පැවැත්වෙන කලාපයන් හරහා යාමට ඔබට කිසිසේත් අවසර නැත. පොල් අත්තේ රටාවට වැලි මලුව අතුගානා අයගේ මෛත්‍රියට ඔබව ලක්විය හැකිය.
දැං ඔබ සතුව සෙල්පි රිටක් තිබේ නම් ඔබේ දුරකථනය එහි අමුනා ගන්න. පසුබිමට පන්සලේ කොටසක් පෙනෙන ලෙස සකසා ගන්න. වමතේ දබරැගිල්ලත් මැදගිල්ලත් කරුවක් ආකාරයට දිගහැර පින්තූරයට පෙනෙන පරිදි අල්ලාගෙන අනෙක් ඇඟිලි තුන නවාගෙන ඔබේ බිරිඳ සමග සෙල්පියක් ගන්න. එය එසැනින් ‘ෆේස්බුක්’ වෙත උඩුගත කර Feeling relaxed කියා දමා ඔබේ බිරිඳද Tag කරන්න.
පහන් දැල්වීම සඳහා අලුතින් තැනූ වීදුරුවලින් ආවරණය කළ පහන් කුටියට යන්න. නැතිනම් පහන් දැල්වීම යනු ඔබගේ ඉවසීම කෙළවර වන තැනකි. පහන් කුටියට ඇතුල්වන තැන පාපිස්ස මත බල්ලන් සිටින බැවින් ඔවුන් නොපෑගෙන පරිදි ඇතුල්වන්න. පොල්තෙල් කාලකින් එහි ඇති පහන් නවයක් පත්තු කළ හැකිය. පහන් තිර දැමීමේදී එහි අන්තිම සෙන්ටිමීටර් භාගයක පමණ කොටස තෙල් නොගෑවෙන පරිදි දැමීමෙන් එක් ගිනිකූරකින් පහන් පහකට වඩා දැල්වීමට හැකිය. මේ අතරේ
“ගිනිපෙට්ටිය චිට්ටකට දෙන්න පුලාන්ද?”
කියා අසන නංගිලාට ස්ව කැමැත්තෙන්ම ගිනිපෙට්ටිය පරිත්‍යාග කරන්න. පිං අතේ වැඩකට බැවින් ඔබට බැනුම් ඇසීමට නොලැබේ.
දැන් මල්ලේ ඇති කඩදාසිය ගෙන ඔබේ අතේ ගැවී ඇති තෙල් සහ දැලි පිසගෙන එය නැවතත් මල්ලට දමා ගන්න. හඳුන්කූරු පැකැට්ටුව ගෙන එහි ඇති හඳුන්කූරු දහය පත්තු කරගෙන එයින් අඩක් ඔබගේ බිරිඳට දෙන්න.
“පන්සිල් ගන්න කොතනටද එන්නේ”
යනුවෙන් විමසන්න.
“අර පොඩි බෝධිය ගාවට යං”
කියා ඇය කියනු ඇත. නැතිනම් චෛත්‍ය මළුවට එන ලෙස ඔබට කියනු ඇත.
“ඔයා යං එහෙනං මං මේ නංගිලාගෙං ගිනි පෙට්ටියත් අරං අනික් පැත්තෙන් එතන්ට එන්නං”
කියා ඇයව පිටත් කරන්න. මද වෙලාවකින් මද සිනහවක් සමග ඔබට ගිනි පෙට්ටිය ලැබෙනු ඇත.
“තෑංකූඌඌඋ”
පළමුවෙනි හඳුන්කූර බෝධිය ළඟද, දෙවැනි හඳුන් කූර එහි අනෙක් කොනේද, තවත් එකක් දේවාලය ඉදිරිපිටද, අනෙක් දෙක චෛත්‍යය ඉදිරිපිටද ඇති හඳුන් කූරු භාජනවල සවි කරන්න. ඔබ විසින් හඳුන්කූරු භාජනවල හඳුන්කූරු හිටවීමේදී ඇතිවන යම් හැලහැප්පීම් නිසා එයට පෙර හිටවා ඇති හඳුන්කූරු පෙරලී ඔබගේ අතපය පිලිස්සීමට ඉඩ ඇත. එබැවින් මෙය ඉත්තෑවාගේ පිටේ කූරු හිටවීම මෙන් ප්‍රවේශමෙන් සිදුකළ යුතුය.
දැන් ඔබ පෙර ගිවිසගත් ස්ථානයට ගොස් සුදුසු තැනක් බලා ඔබේ බිරිඳ සමග හිඳගන්න. පෙර සිහිපත් කළ පරිදි පන්සල ජෛව විවිධත්වය අතින් ඉහළ තැනක් බැවින් ඔබ අඩිය තබන ඕනෑම වැලි සහිත ස්ථානයක් මින් පෙර සුනඛයන් විසින් යමක් නිදන් කළ තැනක් විය හැකිය. ඔබ හිඳගන්නා තැනක් අසබඩ තෙල්කූඹින්ගේ තිප්පොලක් හෝ කඩිගුලක් වීමට ඉඩ ඇත. එසේත් නැතහොත් ගමනක් යාමට සුනඛයෙක් එනතුරු බලා සිටින මැක්කන් සහ කිනිතුල්ලන් රැඳී සිටින හෝල්ට් එකක් විය හැක. එවැනි තැනක හිඳගතහොත් ඔබට නමස්කාරය තෙවරක් කියා ගැනීමටවත් ඉසිඹුවක් නොලැබෙනු ඇත. එසේ නොවන යහපත් තැනක් ලදහොත් ඔබට නෙත් පියාගෙන සැනසිල්ලේ වන්දනා කළ හැකිය. නෙත් විවර කරගෙන වන්දනා කිරීම අසීරු වන්නේ ඔබට ඉදිරියෙන් ඇති විහාරගෙයි පාදම මත හිඳගෙන ඔබ සිටිනා දෙසට හැරී සිටිනා ලලනාවන් නිසාවෙනි.
චෛත්‍ය මලුවේ සිට වන්දනා කිරීම මෙයට වඩා ආරක්ෂිත නමුත් පිරිස වැඩි නිසා අසීරුතාවට පත්විය හැකිය. තැනක බිම හිඳගත් උවැසියක් ඇය ඉදිරිපිට පියන නවාගත්වනම සිටිමින් අලුත්ම කවි වර්ගයක් ගායනා කරනා ලැප්ටොප් පරිගණකයට අනුව  ගයමින් වන්දනා කරන්නීය. තවත් තරුණ වයසේ උවැසියක් සිය දුරකථනයට අමුනාගත් කන්බනු දෙකක් කනෙහි ගසාගෙන ඒ අනුව යමින් උස් හඬින් ගායනා කරන්නීය. තවත් උපාසකයෙක් චෛත්‍යරාජයානන් වහන්සේට දානය පිනිස බන්දේසියක තැබූ පෙති පාන් රාත්තලක් සහ මූඩිය විවෘත කර එතුළට හැන්දක්ද දැමූ ජෑම් බෝතලයක් පූජා කරන්නේය. තවත් අයෙක් කුඩා නමුත් කන පැලෙන්න නාදෙ දිය හැකි කැසට් යන්ත්‍රයක් ගෙනවුත් තමා අසල තබාගෙන ඒ අනුව නොනවත්වාම ‘නමෝ බුද්ධාය’ කියමින් වන්දනා කරයි. සෑම විනාඩි පහකටම වරක් චෛත්‍ය මලුවේ ඇද වැටීමෙන් පොඩි දරුවෙක් බෙරිහන් දෙයි. ඒ අතර ඔබට අනෙක් පසින් කුණු බක්කියට මුවාවී සිටින සරසවි පෙම්වතුන් යුවලක්
“උයා මං නෑ කියල පිස්ෂු කරන්නෙපා අනේ.”
“මං ගැන බලන්නෙපා… මට මොනව උණත් ඔයාට ප්‍රශ්ණයක් නෑනෙ. එයා එක්ක සතුටින් ඉන්න”
ආදී වශයෙන් සිය පෙම්මාලිගාවේ ගඩොල් එකින්නෙක ගලවයි. ඒ අතරේ තවත් අයෙක් ස්කයිප් මගින් එතෙර සිටින සිය නෑදෑ හිතවතුන්ට චෛත්‍යය වන්දවයි.
“මේ තියෙන්නෙ චයිත්තිය. වඳින්න පුතේ.”
“නෑ නෑ… තව ටිකයි.. බෝධිය වන්දනා කරවන්න පොඩ්ඩක් ඉන්නකො”
“හරි හරී.. ඔයාගෙ එක්සෑම් එකටනෙ මේවත් සේරම කරන්නෙ.”
අසපුවාසී හිමිගේ කණ්ඩායමේ අයගේ සිංහල ගාථාද, පාරම්පරික බෞද්ධයින්ගේ පාලි ගාථාද, නිසා ඔබ කිවයුතු ගාථාවද පටලැවෙයි. අන්තිමට මොකක් හෝ ටිකක් කියා අහවර කර භාවනාව පටන්ගත යුතුය. ඔබ ඉදිරියෙන් ගමන් කරනා නංගිලාගේ තොදොල් හඬින්ද, ඔවුන්ගේ පාද සළඹ නටන හඬන්ද, ඔබේ දෑස් විටින් විට අවදි වුවද ගැටළුවක් නැත. මක්නිසාද යත් ඔබේ බිරිඳ දෑස පියාගෙන භාවනාවේ යෙදෙන බැවිනි.
දැන් ඔබේ පන්සල් යාම අවසන්ය. ගෙනගිය අඩුම කුඩුම වලින් ඉතිරියද රැගෙන නැගිට සැහැල්ලු සිතින් චෛත්‍ය මලුවෙන් පහලට බසින්න. පොලිස් මුරපොල අසලින් එනවිට පන්සල් ඉඩම මායිමෙන් එහා පාරෙන් අනෙක් පස ලොතරැයි කූඩුව අසල වඩේ විකුණන්නා සිටීදැයි දුරදක්නා නුවණින් විමසා බලන්න. එසේනම් ඔබේ බිරිඳගේ අතෙහි රුපියල් පනහක් තබන්න. ඇගේ මුහුණේ සිනා මලක් පිපී ගොස් ඔබට මෙසේ කියනු ඇත.
“ඔයා එහෙනං වඩේ කඩේ ගාවට එන්න. මං එතන ඉන්නං. බේකරියෙං පාං ගෙඩියකුත් අරගෙනම එන්න අනේ. අද රෑට උයන්න බෑ”
සැ.යු: මෙහි නම්, ගම්, ස්ථාන ආදිය මන:කල්පිතයි.
සියළු හිමිකම් බ්ලොග්කරු සතුය.

Related Posts

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල