අතීතකාමය

බද්රියා මාර්ග සංඥා අසලදී මුණ ගැසුනු ඒ අපූර්ව මිනිසා…….

Off
දැං අවුරුද්දක තරම ඉඳල සතියෙ දවස් දෙකක් මම වැඩ කරන්නෙ කිලෝමීටර් හතළිහක් වගෙ ඈත තියන වැඩබිමක. යුද හමුදා කඳවුරක ගොඩනැගිලි ඉදිකිරීමක්. ඒ දක්වා තියන පාර එක පැත්තකට මංතීරු හතරේ අධිවේගී මාර්ගයක් නිසා ගමනට ගතවෙන කාලය නම් බොහොම ටිකයි. වාහන තදබදය උපරිම තිබ්බත් විනාඩි තිස්පහක් නැත්නම් හතළිහක්.
අපෙ ඔෆිස් එක තියෙන්නෙ මම ඉන්න එපාර්ට්මන්ට් එකේ ඉඳල කිලෝ මීටර් පහක් වගෙ එහා. එතෙන්ට උදේ ගිහාම  එතනිං හයි ඒස් වෑන් එකක් පිටත් වෙනව හරියට හතට අර මම කලින් කියපු ප්‍රොජෙක්ට් සයිට් එකට. මම ඉන්න එපාර්ට්මන්ට් එකේ ඉඳල ඔෆිස් එක ගාවට යන්ට මම ටැක්සියක් කතාකරගෙන තිබ්බ. ලංකාවෙ මුස්ලිම් මනුස්සයෙක්. ගෙවල් මේ ගල්නෑව පැත්තෙ.
ඉතිං මම කිව්වනෙ ඔය ආමි කෑම්ප් එකේ මම වැඩ කරන්නෙ සතියට දවස් දෙකයි කියල. ඒ ඇවිදිල්ල හිට සඳුදා සහ බදාදා.
මේ දවස්වල පුදුම විදිහට පාරෙ ට්‍රැෆික්. මේ ඔෆිස් එකට තියන  කිලෝ මීටර් පහක් හයක් යන්ට අඩුම ගානෙ විනාඩි හතළිස් පහක් වගෙවත් යන එක යනවමයි. ඔය කේස් එක හින්ද මම කොහොමත් ආමි කෑම්ප් යන දවසට උදේ හයයි දහය වගෙ වෙනකොට එන්ට කියල අර මගෙ සුපුරුදු රියදුරු තෙමේට කියල තියෙන්නෙ.
මේ පහුගිය සඳුදා තිස් එක්වෙනිද ඔන්න උදේ හයයි දහය වෙනකනුත් ටැක්සිය නෑ. මළ කෙළියයි. හොඳටම පරක්කුයි. අනික හත වෙනකොට ඔෆිස් එක ළඟට ගිහිල්ල ඉන්න වෙනව. මම එනකල් වෑන් එකනම් ඉඳී. ඒත් මම හින්ද අනික් කට්ටිය ඔක්කොමල බලං ඉන්ට වෙන එකට මම කැමති නෑ.
මම ගත්ත කෝල් එකක්..”මේ මුසම්මිල් කොහෙද බං ඉන්නෙ? අද එන්නෙ නැද්ද?” 
“හරි වැඩේනෙ සර් මෙතන මේ රමඩා සිග්නල් එකේ දැන් විනාඩි පහළවකට වැඩියි”
 
“ඒ කියන්නෙ තව විනාඩි පහළවක්වත් යයිද මෙතනට එන්ට එහෙමද?” 
 
“ඔව් ඒ වගේ වෙයි”
 
“මේ මම කියන්ටද? මම කොහොම හරි යන්නං ….උඹ එන්න ඕන නෑ එහෙනං අද…හරි? “
 
“හරි සර්, අනේ සොරි..”
 
“හරි හරි ඒක ප්‍රශ්ණයක් නෑ…එහෙනං මම තිබ්බ”
එතනට රමාඩා සිග්නල්ස් කියන්නෙ ඒ සිව්මංසල නොහොත් හතරමං හන්දිය නොහොත් ජන්ක්ෂන් එක නොහොත් ජන්ක් එක අසල කලින් රමාඩා හොටේල් එක තිබ්බ නිසා. තිබ්බයි කිව්වට තාමත් හොටේල් එක නම් තියනව. ඒත් දැන් ඒකෙ නම රැඩිෂන් බ්ලූ. හෝටලේක අයිතිය වෙනස් වුනාම නමත් ඒ එක්කම වෙනස් වෙනව. ලංකාවෙත් කොම්පඤ්ඤ වීදියෙ රමාඩා රෙනේසන්ස් හොටේල් එක පස්සෙ ට්‍රාන්ස් ඒෂියා වුනේ ඒ විදිහට.
 
“ෂික්, මේ යකා කරපු වැඩේ..දැං පලයංකො ටැක්සියක් හොයාගෙන …..” දවල් කෑම පෙට්ටියයි, වෑන් එකේ යන ගමන් කියවන්ට පොතකුයි දාගත්තු පොඩි කැන්වස් මල්ලත් කරේ එල්ලගෙන මම ගෙදරින් එළියට බස්සෙ මුසම්මිලාට සුටු පුටු ගෑවිල්ලෙ එහෙම දෙස් දෙවොල් තියාගෙන.
මම ඉන්න එපාට්මන්ට් එක කිට්ටුවම තියනව බොහොම ජනාකීර්ණ හතරමං හන්දියක්. එතනට කියන්නෙ බද්රියා සිග්නල්ස්. ඒ කිට්ටුව බොහෝ වෙලාවට ටැක්සි එහෙම තියනව. කිව්වත් වාගෙ බද්රියා සිග්නල්ස් ලඟම තියෙන ඉන්දියන් තෝස කඩේ (ඒකෙ නම ඇවිල්ල හිට ටොප් ස්ටාර් රෙස්ටුරන්ට්. තෝස, ඉඩ්ලි, පූරි,පරාටා, නාන්,පොංගල් ඕන එකක් තියනව. මාර රසයි. රෙස්ටුරන්ට් සහ හෝටල් ගැන වෙනම ලියන්නං වෙලාවක. හොඳද? ) ලඟට යන්ට වුනේ නෑ බැලූ බැල්මටම අවුරුදු අඩුම ගානෙ පහළවක්වත් පරණ ටොයෝටා කරීනා එකක් දුර ඉඳලම හෙඩ් ලයිට්ස් දෙපාරක් වගෙ ෆ්ලෑෂ් කරමින් එනව දැක්ක.
Masala Dosai with Curd Vadai
@ Top Star Restaurant –
ටොප් ස්ටාර් අවන්හලෙහි ඉතා රසවත්
මසාල තෝස සහ වඩේ
ඒ තමයි හොර ටැක්සි රියදුරන්ගෙ පිළිගත් සහ සාම්ප්‍රදායික සංඥාව නොහොත් සිගනෑල් එක. මෙහෙ නිල වශයෙන් රජයේ ලියාපදිංචි ටැක්සි සහ ලිමුසීන් වලට විතරයි මගීන් ප්‍රවාහනය කරන්ට අවසර තියෙන්නෙ. ඒත් දස දහස් ගණනක් විදේශික සංක්‍රමණිකයො නීති විරෝධී ලෙස මගී ප්‍රවාහනයෙ යෙදිල කීයක් හරි හොයාගෙන ජීවිතේ ගැටගහගන්නව. ස්වකීය සුතනඹුවන් ජීවත් කරවනව. පොලිසිය වුනත් එළිපිටම එහෙම දෙයක් කෙරෙන අවස්ථාවක, බැරිම තැනක මිසක්කා ඒ ගැන ඒ හැටි තැකීමක් කරන්නෙ නෑ.
ඈතදිම මම දැක්ක රියදුරා සුදුවන් තරමක් දිගු රැවුලක් වැවූ දණිහෙන් පල්ලෙහාට වැටෙන ලෝගුවක් වගෙ ඇඳුමක් ඇඳගත්තු වයස්ගත පුද්ගලයෙක් බව. ඔය විදිහට අඳින්නෙ පකිස්තානුවන්. විශේෂයෙන්ම පෂ්ටූන්ස් නමින් හැඳින්වෙන වයඹ දිග පකිස්තානෙ ඇෆ්ඝනිස්ථාන දේශ සීමාව අසල වෙසෙන කට්ටිය.
මම පාරට අඩියක් තියල අත දැම්ම. කාර් එක මා ගාවම නැවැත්තුව. මම ඉස්සරහ දොර ඇරල නැඟල ඉඳ ගත්ත. රියදුරා මා දිහා බලල ඇහිබැම ඉහළට උස්සල යම්තමට හිනාවුනා.
“කොහාටද ඔහෙට යන්ට ඕන?” ගොලු බාසාවෙන් ඒ ඇහුවෙ එහෙමයි.
 
“අයි නීඩ් ටු ගෝ ටු මිඩ්මැක්”
 
“ඔකේ…”
“බට් ඩෝන්ට් ගෝ ටු රමාඩා සිග්නල්ස්, ටූ මච් ට්‍රැෆික් දෙයා. ගෝ ටු අල් සාද් ඇන්ඩ් ටර්න් ලෙෆ්ට්”
 
“ඔකේ” රියදුරා රථය පාරට ගත්ත. “නෝ ප්‍රොබ්ලම්…. යූ නෝ ද වේ?”
 
“යස් අයි විල් ෂෝ යූ.”
 
“ලෙෆ්ට්…. රයිට්…. ස්ට්‍රේට්…” මම මාර්ගෝපදේශක වැඩේ කලා.
ඊලඟ සිග්නල් එක ගාව දිග පෝලිමක්. මම රියදුරා දිහාට හැරුන. ටැක්සියක යද්දි කසාය බීපු ගොලුවො වගෙ නහයට කෙලින් ඉස්සරහ බලාගෙන යන එක මට මරන්න වගෙ වැඩක්. රියදුරා කතා කරන්න කැමතිනම් භාෂාව තේරෙන්නෙ නැත්නම් ගොළු භාෂාවෙන් හරි කතා කරන එක මගෙ සිරිත.
සමහර වෙලාවට අපූරු වැඩත් වෙනව. රියදුරා කලින්ම හිතනව මමත් ඒ මනුස්සයගෙ භාෂාව දන්නවය කියල. එහෙම පූර්ව නිගමනයකට එළඹිලා මම වාහනේට නැග්ග වෙලාවෙ ඉඳල බහින වෙලාව වෙනකල් එක දිගටම මොන මොනව හරි කියවනව වක්කඩේ කැඩුව වගෙ.
මටත් ඉතින් වෙන්නෙ “මේ මට උඹගෙ භාෂාව කෙහෙම්මල භාෂාව තේරෙන්නෙ නෑ බොලේ” කියල කෙලින්ම මූණටම කියන්ට නිකම් මොකක්ද මේ දුකක් සංතාපයක් වගෙ මොකක්ද එකක් හිතෙනව. ඒ හින්ද මම කරන්නෙ මුනිවත රකිමින් ඒ ඒ අදාල තැන්වලට සුදුසු පරිදි සාත්වික අභිනයන් ඉදිරිපත් කරනව.
සාත්වික අභිනය දන්නවනෙ නේද? නාට්‍ය සහ රංග කලාවෙදි උගන්වන සතර අභිනයන්ගෙන් එකක්. සතර අභිනයන් කියන්නෙ මහල්ලෙක්, ලෙඩෙක්, මලසිරුරක් සහ හාමුදුරු නමක්…හෙහ්,හෙහ්,…වාචික අභිනය, සාත්වික අභිනය, ආංගික අභිනය සහ ආහාර්ය අභිනය.
වාචික අභිනය – කථා ස්වරයෙන් හැඟීම් පළකිරීම
සාත්වික අභිනය – මුහුණේ ඉරියව් මඟින් හැඟීම් පළකිරීම
ආංගික අභිනය – ශාරීරික අවයව චලනයෙන් හැඟීම් ප්‍රකාශ කිරීම
ආහාර්ය අභිනය – ඇඳුම් පැළදුම් මඟින් හැඟීම් ප්‍රකාශ කිරීම
කතා කරන ස්වරය අනුව මේ කියන්නෙ මොන වගේ දෙයක්ද කියල උපකල්පනය කරල ඒ අනුසාරයෙන් මූණ හදාගන්න එක හැමෝටම කරන්ට පුලුවන් දෙයක් නෙවෙයි. ඒකට නිතර පැට්ටිස් වෙන්ට ඕමනයි. සතතාභ්‍යාසය කියල අර විදග්ධයො කියන්නෙ ඔය ඕකටනෙ. කන්ටිනුවස්ලි ප්‍රැක්ටිසිං. කතාව දුක්බර වෙනකොට ඔන්න අඬන්ට මෙන්න අඬන්ට වගෙ මූණ හදාගන්ට ඕමනයි. විහිලුවක් වගෙ කලාම බක බක යන අනුකරණයෙන් හිනාවෙන්ටත් ඕමනයි.
ඔතන මූණ හදාගන්න එක එච්චර අමාරුවක් නෙවෙයි. වැදගත් කාරණේ අදාල අවස්ථාවට අදාල  මූණ හරියට තීරණය කරගන්න එක. එහෙම නැතිවුනොත් වැඩේ ජෝන් බාස්ට යනව. ඒ ජෝන් බාස්ගෙ කතාව ගැන මම කලින් දවසක කිව්ව වගෙ මතකයි.
“Dear God, grant me the courage to change the things I can, the serenity to accept the things I cannot change, and the wisdom to know the difference” – Reinhold Niebuhr
“යු ෆ්‍රොම් පකිස්තාන්?” මම ඇහුව දිගු ලෝගු ධාරී රියදුරු තෙමේගෙන්.
 
“යස්, හව් යූ නෝ?” ලෝගු ධාරියා මා දිහා බලල හිනාවෙල ඇහුව.
 
“බයි වට් යූ ආ වෙයාරිං. ජෙනරලි මෝස්ට් ඔෆ් ද පකිස්ටානිස් වෙයාර් ලයික් දිස්.”
 
“යස් මෝස්ට්ලි”
මේ පකිස්තානුවගෙ ඉංග්‍රීසි හොඳටම හොඳයි. බහුතරයකට ඉංග්‍රීසි යම්තමට වචනයක් දෙකකට වගෙ ඇරෙන්න කතාකරන්න බෑ. අනික ඉතිං කුලීරථ රියදුරු රස්සාවකට ඉංග්‍රීසි මහ ලොකු දැනුමක් ඕනත් නැහැනෙ. ලෙෆ්ට්, රයිට්, ස්ට්‍රේට්, නෙක්ස්ට් සිග්නල්, නෙක්ස්ට් රවුන්ඩ් අබවුට්, ස්ටොප් හව් මච්?, ටෙන්, ෆිෆ්ටීන්, නෝ නෝ ටූ මච්, ඔන්න ඔය ටික තේරුම් ගන්ට පුලුවන්නම් ඉතිං ඉහටත් උඩිං.
පොඩ්ඩක් අපහසුතාවයකට පත්වෙන්නෙ ඔය මම වගෙ ඉබ්බ තිබ්බ වගෙ ඉස්සරහ බලාගෙන පාඩුවෙ යන්ට බැරි හෝතඹුවෙක් නැග්ගහම තමයි. එහෙම උනත් ඔය අහන එව්ව නෑහුනු ගානට ගල් බිල්ල වගෙ පාර දිහා බලාගෙන  වාහනේ එලවන්ට ගත්තම ප්‍රස්න අහන මනුස්සයටම එපා වෙලා කට වහගෙන ඉස්සරහ බලා ගන්නව. මටම එහෙම වෙලා තියනව ඕන හැටිය.
මාර්ග සංඥා පුවරුවෙහි හරිත වර්ණය දැල්විනි. නවතා තිබූ රථපෙල සෙමෙන් ඉදිරියට ඇදෙන්නට විය. රියදුරා අපේ රථයද සෙමෙන් ඉදිරියට ගෙන රථපෙලට එකතුවිය.
මම යලි රියදුරු දෙසට හැරුණෙමි. මෙතැන් සිට අපගේ සංවාදය මම සිංහලෙන් ලියන්නෙමි.
 
“කවද්ද ඔබ දෝහා වලට ආවෙ?”
 
“හැට හත………..”
මා ඇසූ පැණය වරදවා වටහාගෙන ඔහු තම වයස පැවසුවේ යැයි මම සිතුවෙමි. “නෑ.නෑ..මම ඇහුවෙ ඔබ දෝහා වලට ආවෙ කවද්ද කියල.” 
 
“ඒක තමයි මම කිව්වෙ හැට හතේ “
 
“මොකක්? ඒ කියන්නෙ ඔබ දැනට අවුරුදු හතළිස් නමයක් දෝහාවල?” මම විශ්මයට පත්ව විමසූයෙමි.
 
ඔව්..දෙදාස් දාසයෙං එක්දස් නමසිය හැටහතක් අඩු කලාම හතළිස් නමයයි තමයි” පකිස්තානුවා මහ හඬින් සිනාසුණේය.
ඔහුගේ අව්‍යාජ සිනහවට මටද එකතුනොවී සිටිනු නොහැකිවිය. මාර්ග තදබදය අද වෙනදාටද වඩා උග්‍රවූ අන්දමකි. අල් සාද් මංසන්ධිය වෙත ඉබිගමනෙන් ඇදෙන කුලීරථයේ සිට පකිස්තානුවා මට ඔහුගේ කථාව පැවසීය. විචිත්‍ර අන්දමට සිද්ධීන් විස්තර කිරීමට ඔහුගේ වූ හැකියාව විශ්මයජනකය. වයඹ දිග පකිස්ථානයේ ඇෆ්ඝනිස්ථානු දේශ සීමාව අසලවූ පෙෂාවර් නගරයෙන් කිලෝ මීටර් පණහක් පමණ වූ දුරකින් පිහිටි කඳුකර දුෂකර ගම්මානයක ඔහු උපත ලබා ඇත.
බොහෝසේ නිසරු පසකින් යුතුවූ බැවින් ගොවිතැනෙහි යෙදීමෙන් ජීවිකාව කර ගැනීම අසීරු වූ හෙයින් එගම් වැස්සෝ තම ප්‍රධාන ජීවනෝපාය ලෙස එළුවන් ඇති කිරීමෙහි යෙදුණාහ. කිසිදිනක පාසලක පය නොතැබූ අප කථා නායකයා යම්තමට බහ තෝරන වියේ සිටම අජ පාලක තනතුරෙහි රාජකාරි භාර ගත්තේය.
“අපේ පවුලෙ ඔක්කොම අට දෙනයි. කොල්ලො හයයි. මම තුන්වෙනියා. අපි ඔක්කොමල කලේ එලුවන් බලන එක. ඒ අපි බලාගත්ත එලුවො අපේ නෙවෙයි. ගමේ වංසක්කාරයන්ගෙ. අපිට කෑම දීල බොහොම පොඩි ගානක් අතට දුන්න. දෙන කෑම එකත් බඩගින්න නිවෙන්ටවත් මදි. ඒ හින්ද වැඩිහරියක් අපි හිටියෙ බඩ ගින්නෙ. දවසක් බඩගින්න ඉවසන්ටම බැරිතැන මමයි මගෙ මල්ලියි එකතුවෙලා එලුවෙක් මරාගෙන පුච්චල කෑව”
“නෑහ්?” මම ඔහු දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමි. අල් සාද් මාර්ග සංඥා පුවරුවෙහි හරිත වර්ණය යලි රක්ත වර්ණයට හැරුණි.
තම කථාව පැවසීමට ලැබුණු මේ අනගි අවස්ථාව මොහොතක් හෝ පැහැර නොහැරියයුතුය යනුවෙන් බොහෝවිට ඔහු අදහස් කලා විය හැක. වහා අත් රෝධකය ක්‍රියාත්මක කල හෙතෙම මා දෙසට හැරුනේය. මම යම්තමට හිස හරවා වමතෙහි බැඳි අත් ඔරලෝසුව දෙසට නෙත් යොමුකලෙමි. “හ්ම්ම්ම්. හයයි තිස්පහයි…වෙලාව ඇතිවෙයි…දෙයියන්ගෙ පිහිටෙන්…”
“එලුවො අයිති කාරයට මේක ආරංචි වෙලා දුවගෙන ඇවිල්ල මාව ගහක බැඳල හොඳටම ගැහුව. ඊට පස්සෙ උඹ ඔහොම ඉඳපන් මම එළුවො ටික කොටුවට දාල එන්නංකො උඹට මොනවද කරන්න ඕන කියල තීරණය කරන්න. ඒ කොහොම උනත් මම අද උඹව නොමරා මරණව. එහෙම මට තර්ජනය කරල ඒ මනුස්සය එළුවොත් දක්කගෙන යන්ට ගියා. මම පරාණ බයේම ටිකක් එහෙ මෙහෙ දඟලනකොට බැමි බුරුල් වුනා. මම ඒ බැමි ඔක්කොම ලිහාගෙන හතර වටින් අඳුර වැටීගෙන එද්දි ගමෙන් පිටවෙන්ට කඳු බෑවුම් අතරින් තිබ්බ එකම පාර දිගේ එන්ට ආව. ඇස්වල කඳුලු පිරිල තිබ්බ හින්ද පාර දෙපැත්තෙ මොකවත්ම මට පෙනුනෙ නෑ.
සුක්කානම තදින් ග්‍රහණය කොටගෙන ඉතා සෙමෙන් රිය පදවන ඔහුගේ දෑසෙහි මේ අවස්ථාවේදීද කඳුළු පිරී තිබුණු බවට මම සපථ කරන්නෙමි මා දයාබර හිතවත/හිතවතිය.
 
“ඊට පස්සෙ මම පෙෂාවර් වලට ඇවිල්ල එහෙ මාකට් එකේ එලවලු ගෝනි ඉස්සුව මාස ගාණක්. කුකුල් පට්ටියක වැඩ කලා තව කාලයක්. අන්තිමට අවුරුද්දක් විතර ඔහොම ඇවිදල කරච්චියට ආව. කරච්චිය දන්නව නේද? “
“ඔව් පකිස්තානෙ ලොකුම නගරෙනෙ. මූද අයිනෙ තියෙන්නෙ.” 
 
“අන්න හරි, පස්සෙ කරච්චියෙ හම්බවෙච්චි මගෙ වයසෙම යාලුවො හතර දෙනෙක් එක්ක බෝට්ටුවක නැඟල මෙහෙ ආව.” 
මේ වනවිට වේලාව හතේ කණිසමට ආසන්නව තිබිණි. වෑන් රථයේ රියදුරාට මම දුරකථන ඇමතුමක් ගෙන මා එනතුරු මද වේලාවක් පොරොත්තු වන ලෙස දැන්වීමි.
මේ අතර අප මිඩ් මැක් මංසන්ධිය වෙතට ආසන්න වෙමින් සිටියෙමු. එතැන සිට මම යායුතු ස්ථානයට වූයේ කිලෝ මීටරයකටත් අඩු දුරප්‍රමාණයකි.
 
“ඉතිං මම බහින්ටත් ලඟයි. ඉක්මනට කතාව කියන්ටකො.”
 
“අපි කරච්චියෙං පිටත් වුනේ මෙහෙට එන්ට කියල හිතාගෙන නං නෙවෙයි.”
“එහෙනං? “
 
“ඩුබායි යන්ට. ඒ කාලෙ දෝහා කියල කිව්වහම වැඩි දෙනෙක් දන්නෙත් නෑ. ඩුබායි තමයි ප්‍රසිද්ද”
 
“එතකොට මෙහෙ ආවෙ? “
 
“අපි ආපු බෝට්ටුවෙ එන්ජිම මූද මැදදි නැවතුනා. හදාගන්ට බැලුව බැලුව හරිගියෙ නෑ ඊට පස්සෙ රුවලක් දා ගත්ත. හුළං හමන විදිහට අපි පාවෙලා ආවෙ මෙහාට”
 
“ඊට පස්සෙ?…” මම නොඉවසිල්ලෙන් ඇසීමි. මගේ ගමනාන්තය පෙනෙන මානයට අප පැමිණ ඇත.
“මා එක්ක ආපු අනික් ඔක්කොම සතියක් දෙකක් වගෙ ඇතුලත ආපහු ඩුබායි ගියා. ඒත් මොන දෙයක්ද මන්ද මට මෙහෙ අල්ලල ගියා. ඒ පාර උඹල පලයල්ල කියල මම මෙහෙ නතර වුනා. ඒ කාලෙ දෝහා ටවුම බොහොම කුඩයි. මේ හරිය ඔක්කොම තනිකරම කාන්තාරෙ”
එදවස ඒ පැරණි දෝහා නගරය පිහිටි ප්‍රදේශය වර්තමානයෙහිද හැඳින් වෙනුයේ දෝහා යන නමිනි. මෙහි පැමිණි මුල්කාලයෙහි ඒ මට මහත් පුදුමයක් විය. “මචං මම දෝහා ගිහිල්ල එන්ට යනව” පවසමින් මගේ සගයෝ සවස් කාලයෙහි නේවාසිකාගාරයෙන් පිටත් වෙති.
දෝහාවලම වාසය කරමින් යලි දෝහා යනවා යයි පැවසීම එකල මට වටහා ගත නොහැකිවිය. “ඉතිං අපි මේ දෝහා වල නෙවෙයිද ඉන්නෙ?” මම කීප වරක් ඔවුන්ගෙන් විමසූවා මතකයෙහි ඇත.
 
“ඉතිං ආයෙ කවද්ද ගෙදර ගියේ?”
 
“ඒ ආපු ගමන මම ආපහු ගෙදර ගියේ අවුරුදු දොළහකට පස්සෙ”
 
“එතකොට කසාදයක් එහෙම කරගත්තෙ? “
 
“ඒ ගමට ගිහිල්ල අපේම අම්මගෙ නෑදෑ පවුලකින් තමයි. ඒ කරල ඒ ගෑණු ළමය මෙහෙ එක්ක ආව”
 
“එතකොට තාමත් පවුලෙ ඔක්කොමල මෙහෙද ඉන්නෙ?”
 
“නෑ දැං අවුරුදු දහයකට කලින් වගෙ වෙනකල් ඔක්කොම කට්ටිය මෙහෙ තමයි හිටියෙ. මට ඉන්නව පුතාල තුන්දෙනයි දුවල දෙන්නයි. ඔක්කොමල මෙහෙ තමයි ඉපදුනෙ ඉගෙන ගත්තෙ. ඒත් දැන් මෙහෙ ඉන්නෙ මායි මගෙ බාලම පුතයි විතරයි”
 
“ආ..ඒ මොකද? “
 
“මම පෙෂාවර් කිට්ටුව ඉඩමක් අරගෙන පොඩි බිස්නස් එකක් පටන් ගත්ත. ඔය එලවලු හාල් වගෙ එව්ව. වැඩිමල් පුත්තු දෙන්න තමයි ඒක කරන්නෙ. දුවල දෙන්නත් ඒ කිට්ටුවෙන්ම කසාද බැන්ද. මගෙ බිරිඳත් ඒ එක දුවෙක් එක්ක ඉන්නෙ”
මේ වනවිට අප වෑන් රථය අසලට ළඟාවී සිටියෙමු. මෙම දුරට නියමිත මුදල රියාල් දහයක් වුවද මම ඔහුට රියාල් විස්සක්ම දුන්නෙමි.
“මේක තියාගන්ට. මේ..මම මෙතනට ආපහු එනව හවස හතරහමාරට. ඔහෙට එන්ට බැරිද ඒ වෙලාවට මාව ගෙදරට ගිහිල්ල බස්සන්ට? මට ඔහෙගෙ කතන්දරේ තව සවිස්තරව අහගන්ටත් උවමනාව තියනව”
 
“ම්හු ඒක නම් කරන්ට බෑ”
 
“ඇයි ඒ?”
“මම වැඩ කරන්නෙ එකොළහ වෙනකල් විතරයි.”
 
“ඒ මොකෝ ඒ?”
 
“නෑ ඉතිං ඔච්චර මැරීගෙන හම්බ කරන්නෙ අහවල් දේකටද? මම මගෙ යුතුකම් මට පුලුවන් විදිහට කරල තියනව. මා එක්ක ඉන්න බාල පුතත් වරායෙ රස්සාවක් කරනව. ඉතිං උදේ පහට පටන් ගත්තම දවල් එකොලහ වෙනකල් විතරයි මම හයර් යන්නෙ. සිකුරාද සෙනසුරාද වැඩ කරන්නෙම නෑ”
“එහෙම හිතන එක බොහොම හොඳයි” මම සිනාසුනෙමි.
 
“මට දැන් වයස හැටහයයි. ඉතිං දැන් ඇති මහන්සි වුනා. මේ දවසට පැය හයේ රස්සාව වුනත් මම කරන්නෙ කම්මැලි කමට. පුතා කොයිවෙලෙත් මගෙං අහනව තාත්තට ගෙදරට වෙලා ඉන්ට බැරි මොකද කියල ..හෙහ්,හෙහ්” ඔහු තම සුදුවන් රැවුළ සොළවමින් සිනාසුනේය.
 
“ඒකත් එහෙමද? නරකම නෑ ඒකත්. එහනං අපි ආය හම්බවෙමු. බොහොම සන්තෝසයි හම්බ වෙච්චි එක” මම ඔහුට සමුදෙමින් රථයෙන් බැස්සෙමි.
වෑන් රථයෙහි ව්‍යාපෘති වැඩබිම වෙත ගමන් කරනා අතරතුරද මම කල්පනා කරන්නට වූයේ ඒ අපූර්ව පකිස්තානුවා පිළිබඳය. “ෂෙහ්. මනුස්සයගෙ ජීවිත විස්තර තව ටිකක් අහගන්ට තිබ්බ නම් කියල වැඩක් නෑ. කමක් නෑ ආය හම්බ වෙයිනෙ” මම එසේ සිතා සිත සනසා ගතිමි. එහෙත් ඔහුගේ දුරකථන අංකය හෝ අවම වශයෙන් නම හෝ නොදන්නා බව මට සිහිවූයේ එදින දිවා ආහාරය ගන්නා අතරදීය.
ඒ සඳු දින සිට මම හමුවන සියළු ටොයෝටා කරීනා රථ දෙස දැඩි පරීක්ෂාවෙන් බලන්නෙමි.
පලි – “මේ මම ඔහේගෙ ෆොටෝ එකක් ගන්නද?” රථයෙන් බැසීමට පෙර එදින මම ඔහුගෙන් විමසුවෙමි.
“මොකක් වෙනවද? ගන්න ගන්න”
 
“මම ඔහේ ගැන ලිපියක් ලියනව. ඒකට මේ ෆොටෝ එකත් දානව” 
ඒ ජීවිතය ගැන ඉතාමත් තෘප්තිමත් දිරිය මිනිසා මාදෙස බලා හිස සොළවමින් පියකරු ලෙස සිනාසුනේය.
සියලු හිමිකම් බ්ලොග්කරු සතුය .

Related Posts

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල