කාලීන සංවාද

ආරෝග්‍ය ශාලා පරමා ලාභා

Off

උණක්, කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනම වෙනිවැල්ගැට,කොත්තමල්ලි, පැනඩෝල්, ලක් පේයාව , සමහන් බීල වැඩේ ගොඩින් බේරගන්න තමයි අපි හැමෝම උත්සාහකරන්නෙ. අපි හැමෝම වගේ බේත් බොන්න කම්මැලියි.

සමහරුන්ට නම් බේත් බොනවා කියන්නේ වහ බොනවා වගේ වැඩක්.සමහරුන්ට නම් බත් අහුරක් ගිලිනවා වගේ බෙහෙත් පෙති, කරල් අහුරම එකපාර කටේ දාගෙන වතුර ටිකකින් බඩටම තල්ලු කරලා දාන්න පුළුවන් උනාට බොහෝ දෙනෙක්ට එහෙම බෑ. ඒ උදවිය බෙහෙත් බොන්නේ වතුර උගුරක් කටට පුරවාගෙන ඒකට බෙහෙත් පෙත්ත දාල ගිලින ගමන් , ටක් ගාල තවත් වතුර උගුරක් ඒ පිටම බොන අමුතුම ක්‍රමේකට .එක පාරට එක පෙත්තයි හෝ කරලයි. හරියට නිකං පුරාණ සිංහල රජවරු රාජ භෝජන වළඳනවා වගේ.

(ලංකාවේ රාජාවලියේ රජවරු ව්‍යාංජන 32ක් එක්ක බත් වැළඳුවේ එක වරකට එක ව්‍යාංජනයක් සමග බත් හැන්ද බැගින් කියල අහල තියනවා. ඒ හැම වතාවකට වරක්ම අත දෝවනය කිරීම සහ පැන් උගුරක් පානය කිරීම සිදු උනාලු. රජ්ජුරුවන්ට අත සේදීමට සහ පානය කිරීමට සහ වෙනත් කටයුතු වලට ජලය සැපයීම සිදුකලේ දියවඩන නිළමේ වරයලු. මම අහල තියන විදියට නම් ඉංග්‍රීසින් කන්ද උඩරට අල්ලගත්තට පස්සෙ ශ්‍රී දළදා වහන්සේ ගේ භාරකාරත්වය හිමි උනේ මොහුට. අනිත් නිළමෙලා සහ වගකිවයුතු තානාන්තර දරපු උදවිය ඝාතනය වෙන්නැති. වර්තමානයේදීත් ඔය නිසාවට තමයි දළදා වහන්සේ ගේ භාරකාරීත්වය දියවඩන නිලමේ තුමාට පැවරෙන්නේ. ඒ කියන්නේ රජ කාලේ රජ්ජුරුවන්ගේ අත හෝදපු බුවාට. ඔන්න ඉතින් මාතෘකාවෙන් පිට පනිනවා..)

ඔන්න ඊළඟට තමයි “ගොඩ වෙද්දු” කරළියට එන්නෙ. අපි අතරේ අපේ පවුල් වලම තමයි ගොඩ වෙද්දු ඉන්නෙ. බලන් ගියාම මමත් ගොඩ වෙදෙක් තමා ඉතිං. උණ නං පැනඩෝල්, හෙම්බිරිස්සාව නං විටමින් සී, පිරිටන් සහ සිට්‍රසීන් . තුවාලයක් උනොත් ඉක්මනට වේලෙන්න අමොක්සිලින් කරල්, කොන්දේ කැක්කුමක් ආවොත් බ්රූෆන්, ඔය විදියට අපිටම අවේනික බෙහෙත් වට්ටෝරුවක් ගොඩ දෙනෙක්ට තියනවා. ඕවයිනුත් එකක් දෙකක් බීපුවම පොඩි ලෙඩක් නං ඒකෙන් කෙසේ වෙතත් ඇඟේම ප්‍රතිශක්තියෙන් හොඳ වෙනවා. කොහොමින් කොහොමින් හරි දාන සෙල්ලම් ඔක්කොම දැම්මත් බැරි උන තැන යමං පුතා දොස්තර කෙනෙක් ගාවට.

අර මහත්තය, මේ මහත්තය , වන්ෂොට් ( වන්ෂොට් දොස්තර කෙනෙක් ඕනැම පලාතක ,නගරයක, ගමක ඉන්නවා. එක පාරින් සනීපයි) අතුරෙන් එක්කෙනෙක් තෝරාගන්නවා ගෙදරදීම. මගෙ තියරියේ විදියට නං මොකා උනත් කමක් නෑ ටවුමට ගියාම පෝලිම අඩු දොස්තරගෙන් බේත් ගන්නවා. ගොඩ දෙනෙක්ට නම් සෙට් වෙන්නෙ “වන්ෂොට්” මහත්තය තමයි ඉතින්. ගානත් අඩුයි. එකපාරින් වැඩේ ගොඩ. මට නම් තේරෙන විදියට “වන්ෂොට්”ලා බේත් දෙන්නේ උණ ගැනිල ගියොත් උණ සන්නිපාතෙට , හෙම්බිරිස්සාව හැදිලා ගියොත් බේත් දෙන්නෙ නිව්මෝනියාවට . ඒ නිසා ලෙඩේ පටස් ගාල සනීප වෙනවා. හැබැයි ඉතිං උණ සන්නිපාතෙ හැදුනොත් දෙන්න බේත් නෑ.
තමුන්ගේ ආර්ථික මට්ටම අනුවත් තෝරාගන්න දොස්තර වෙනස් වෙනවා. අඩු ආදායම් ලබන මිනිස්සු යන්නේ 150ට 200ට බේත් දෙන දොස්තර මහත්තය ගාවට. සමහරුන්ට ගන්න ගාන අඩු උනාම ලෙඩේ හොඳ වෙන්නේ නෑ. එතනිනුත් බෙහෙත් දීල ෆාමසියෙනුත් ලොකු ගානකට ඊයම් කවර වලින් කවර් කරපු “ගණං” බේත් දුන්නේ නැත්තං හිතට හරි මදි.

දොස්තර මහත්තයගෙන් බේත් ගන්න ඇතුලට ගියාම මේසෙ උඩ තියන සුකුරුත්තම් බඩු දිහා මං කියනවට පොඩ්ඩක් බලන්ඩ. එක එක කොම්පැනි වල නම් ගහපු කඩදාසි බරු, නෝට් පෑඩ් , බැල් පියන්, ඩිජිටල් උණකටු, ප්‍රෙෂර් බලන පෙට්ටි වගේ තවත් අරුමෝසම් බඩු ඕසෙට. සාක්කුවේ ගහන පාකර් පෑනේ ඉඳන් “ලිත්මාන්” නලාව වෙනකල් ජාති “මෙඩිකල් රෙප්” මහත්තුරු දොළ පිදේනි විදියට දීල යනව නොමිලේම. සමහර වෙලාවට ටයි පොල්ලක් දාගෙන බ්‍රීෆ් කේස් පෙට්ටියකුත් එල්ලගෙන සෙනග අඩුවෙනකල් බෙහෙත් දෙන තැන වල හොරගල් අවුලන ඔය මහත්තුරු ඔයාලටත් හම්බවෙලා ඇති.

පොඩියට ඩිස්පැන්සරි දාගෙන ඉන්න දොස්තර මහත්තුරු දෙන බෙහෙත් අතරෙ, ඊයම් කවර වල දාපු ” සාම්පලයකි,විකිණීමට නොවේ” කියල ඉංගිරිසියෙන් ගහල තියන බෙහෙත් පෙති කාඩ් ඔයාලටත් හම්බවෙලා ඇති. රෙපාල දෙන නලාවෙන් පපුව බලල, උන්ගෙ පෑනෙන්ම උන්ගේම නෝට් පෑඩ් එකේ උන්ගේම බ්‍රෑන්ඩ් එකේ බේත බලි වැල් අකුරෙන් ලියල දුන්නම ඔන්න ඉතිං අපිට සිද්දවෙනවා ඒකත් උස්සන් ෆාමසියට යන්න.

ඔන්න ඒකත් අරන් ෆාමසියට ආවයි කියමුකෝ. තුන්ඩුවට අත දික්කරගෙන ඉන්න යන්තං අවුරුදු 18ක් විතර වයස කෙල්ලට තුණ්ඩුව දුන්නම ෆාමසියෙ රාක්ක දිහා බලාගෙන ඉඳල බේත් තෝරාගන්නවා, එක්කො ප්‍රහේලිකාවක් විසඳනවා වගේ කාගෙන් හරි මොනවහරි කුටු කුටු ගාල අහල ඔන්න මොනවහරි කවර වලට දාල දීල සල්ලි ගන්නව.ප්‍රශ්නේ තියෙන්නේ ඔතනයි.

දොස්තර මහත්තය ලියල දෙන එකේ මෙලෝ සංසාරයක් තේරෙන්නේ නෑ. මොන අන්ඩර දෙමලෙන් ලියනවද කියන්න මම නම් දන්නේ නෑ. දිගු කාලයක් අධ්‍යාපන කටයුතු වල නියැලිලා අතිශය වේගයෙන් දෙන නෝට්ස් ලියන්න පුරුදු වෙලා අකුරු කැත වීම මේකට හෙතුවෙලද කියන්න මම දන්නේ නෑ. එහෙමත් නැත්තන් ඒ ලියල දෙන එක අපි බලාගෙන මතක තියාගෙන ගොඩ වෙදකම් කරන්න හදයි කියන අවදානම නිසාවත්ද , එහෙමත් නැත්නම් වෘත්තීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියන ගරු ගාම්භීර කම අපි වගේ හිපාටුවන්ට පෙන්නන්න ඕනකම නිසාවත්ද මන්දා ඔය තුණ්ඩුව ලියන්නෙම අන්ඩරදෙමළෙන්. ආ එහෙමත් නැත්තං හිපොක්‍රටීස් මතක් වෙන්න ග්‍රීක ක්‍රමේට ලියනවද දන්නෙත් නෑ.

කොහොමෙන් කොහොමෙන් හරි දීපු තුන්ඩුවේ බේත්මද අපිට ෆාමසියෙන් දුන්නේ කියල හොයාගන්න ක්‍රමයක් ,විදියක් අපිට ලැබෙන්නේ නෑ. එහෙම සැක කරන්න වර්තමානයේ හේතු තියනවා. ඕලෙවල් කරලා එකත් ෆේල් වෙලා ගෙදර ඉන්න විදියේ කෙල්ලෝ තමයි ගොඩක් වෙලාවට ෆාමසි වල වැඩ කරන්නේ. ෆාමසියේ සහතිකේ තියෙන්නෙ ඒකේ අයිතිකාරයට විතරයි බොහෝ වෙලාවට. පොඩි කෙල්ලෝ පොඩි පඩියකට වැඩට ගන්න පුළුවන් නිසාවට ඔය විදියේ ෆාමසි වල ඉන්නෙම එහෙම උන්. හාර්ඩ්වෙයා එකක වගේ නම් කමක් නෑ , මේ ගනුදෙනු කරන්නේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක. ඔය විදියට ෆාමසියෙන් දෙන බේත වැරදිලා ජීවිතෙන් වන්දි ගෙවන්න උනු මිනිස්සු ගැන අපිට අහන්න ලැබෙනවා නිතරම. ඒ හැමතැනකම වෙලා තියෙන්න සුදුසුකම් නැති උදවිය වරද්දල බේත් නිකුත් කරලා. ඒ හැම පැත්තෙන්ම අසරණ වෙන්නෙ සාමාන්‍ය මිනිස්සු.

මම දකින විදියට ඔය කතන්දරේ සම්පූර්ණ වැරැද්ද තියෙන්නේ දොස්තර මහත්තුරු අතේ. කියවන්න පුළුවන් විදියට තුණ්ඩුව ලියල දුන්නනම් අඩුගානේ සංසන්දනය කරලා හරි බලන්න පුළුවන්. අනිත් එක තමන්ට දෙන තමුන් බොන බේත් ගැන දැනගන්න ඒ පුද්ගලයට සදාචාරාත්මක අයිතියක් තියනවා. වෙළඳ නමෙන් තොරව බෙහෙතේ නමින් අඩු මුදලට ඒ බෙහෙතම අරගන්න දුප්පත් මිනිහෙකුට ඉඩ සලස්සල තියෙන්න ඕන. ඔය හැම සෙල්ලමෙන්ම අන්තිමට තැලෙන්නේ සාමාන්‍ය මිනිස්සු. ඖෂධ මාෆියාව කියන්නේ ඕකටම වෙන්නැති.

ඔය ෆාමසි කතන්දරේදිත් මරු මරු කතා අහන්න හම්බවෙලා තියනවා. අපිට තුන්ඩු නැතුව බේත් නොදුන්නට කෙලින්ම ෆාමසියෙන් නම කියල බේත් ගන්න පුළුවන් ගොඩ වෙද මහත්තුරුත් ඕනෑතරම් ඉන්නවා. ඒ වගේම ලෙඩේ අහල බේත් දෙන ෆාමසි දොස්තර මහත්තුරුත් ඉන්නවා.

අපේ පොළොන්නරුවේ ආතත් ඒ වගේ ගොඩ වෙද මහත්තයෙක්. මේ ලඟකදි පොළොන්නරුවේ ආතා අපේ මහගෙදර ඇවිත් හිටියා මුත්‍රා අමාරුවකට කොළඹ සායනේකින් බෙහෙත් ගන්න. දවසක් මං මහගෙදර ගිය වෙලාවක ආතා දුවගෙන ඇවිත් ” පුතා මට ඔයා යන වෙලාවක ෆාමසියෙන් ‘වාත කරල්’ ටිකක් ගෙනත් දෙන්නකෝ” කියල කියපි. උඩ බිම බලපු මං ” මොනවද ආතේ වාත කරල් කියන්නේ” කියල ඇහුවා. “නෑ පුතා, මගේ ඇඟපත ටිකක් රිදෙනවා. ඔය ෆාමසියෙන් ගිය වෙලාවක ටිකක් අරන් එන්නකෝ, ‘වාත කරල්’ නැත්තං ‘වාත පෙති’ හරි කමක් නෑ” ආතා කියපි. ” එහෙම ඒවා මෙහෙ නං දෙන්නෙ නෑ ආතේ , තුන්ඩු නැතුව බේත් දෙන්නෙත් නෑ , හවසට අපි බේත් ගේමු” කියල කිව්වම ” අනේ පුතා , දොස්තරලා දෙන බේත් වැඩක් නෑ , අනික කී පාරක් කියල දොස්තරලා ගාවට යන්නද” කියල ආත මගෙන් අහනවා. පස්සේ ටිකක් හොයල බැලින්නං එහෙ ගෙදර ‘වාත කරල්’ ‘වාත පෙති’ බෝතල් ගණන් ෆාමසියෙන් ගෙනත් තියාගෙන බොනවලු ආතා. මම හිතන්නේ ආතගේ මුත්‍රා අමාරුවටත් ඔය “වාත පෙති, කරල්” බලපාන්න ඇති. ඒ ගැන ලොකු දේශනාවක් දුන්නට මම නම් හිතන්නේ නෑ සතපහකට ගණන් ගත්ත කියල. පොලොන්නරුව පැත්තෙ කව්රුහරි මේක කියෙව්වොත් ෆාමසියකින් පොඩ්ඩක් අහල මටත් කියන්න මොනවද මේ “වාත කරල්, වාත පෙති” කියන්නෙ කියල.

ඒ එක්කම මම තවත් කතාවක් කියන්නම්. මේක වෛද්‍ය සහෝදරියක් ඉන්න මගෙ යාලුවෙක් කියපු කතාවක්.මනුස්සයෙක් වයසට යනකොට ඇඟේ පතේ අමාරු, හන්දි වේදනා කැක්කුම්, වාත අමාරු එන එක සාමාන්‍ය දෙයක්. එහෙම උනාම වයසක කට්ටියට බේත් ගෙනල්ල ඉවරයක් නෑ. අපේ සීයටත් ඕක ඔහොම්මමයි. බේත් ගෙනාපු ගමන් ලෙඩේ සනීපයි. බේත් නැත්තන් ඉතිං අමාරු වල ඉවරයක්ම නෑ.අරූ කියපු විදියට ඒ වගේ උදවිය බේත් ගන්න ආවම ෆාමසියෙන් ගන්න දෙන තුන්ඩුවේ APR කියල “ග්‍රීක” භාෂාවෙන් ලියල දෙනවලු. ෆාමසි කාරය ඒක බලල වේදනා නාශක පෙති තොගයක් නිකුත් කරනවලු. කතාවේ ඇත්ත නැත්ත දොස්තර මහත්තයෙක් දන්නවා නම් කියාදෙන්න. මට හිතෙන විදියට නම් APR කියන්නේ “අතේ

පයේ රුදාව” කියන එක වෙන්න ඇති.

දොස්තර වරයෙක් වෙන්න අනේකවිධ කැපකිරීම් කරන්න ඕන. පුදුම දුකක් ඒ ළමයි විඳින්නේ. ඒලෙවල් කරන කාලේ ඉඳන්ම අවුරුදු ගණනාවක් එකදිගට දුෂ්කරක්‍රියා කරලා තමුන්ගේ උපන් හැකියාවලුත් ඒකට මුසු කරලා අනන්ත බාධක මැද තමයි වෛද්‍ය වරයෙක් බිහි වෙන්නෙ. ඒ ගැන කිසිම තර්කයක් නෑ. ඒ නමුත් නිදහස් අධ්‍යාපනය යටතේ වෛද්‍ය වරයෙක් බිහි කරන්න රටේ හිඟන්නා පවා යම් දායකත්වයක් සපයනවා. ලංකාවේ වෛද්‍ය වරුන්ට සමාජයේ අනිත් වෘත්තිකයන්ට ලැබෙන්නෙ නැති පිළිගැනීමක් සහ වරප්‍රසාද ගොඩක් හිමියි. ඒ සියල්ලත් එක්කම තමුන්ගේ පුරවැසියන්ට කරන සේවය හරි ආකාරව ඉටුකරන්න වෛද්‍ය වරුන්ට සදාචාරාත්මක යුතුකමක් තියනවා. පුද්ගලික සායනයේදී දෙවිවරු වගේ හැසිරෙන සමහර වෛද්‍යවරු ආණ්ඩුවේ ඉස්පිරිතාලෙදි රාක්ෂයෝ බවට පත්වෙන්නේ කොහොමද කියන එක අපි හැමෝටම ගැටළුවක්.මේ ක්‍රමය වෙනස්වෙන්න ඕන කාලේ ඇවිල්ල කියලයි මම නම් හිතන්නේ. ඒක අපි හැමෝටම ලොකු සහනයක් වේවි අනාගතේදී.

ප.ලි.
සමාජ විජ්ජා පොර ටෝක් දෙන අතරෙ ජීවත් වෙන අරගලේට මූණ දෙන්නත් එපැයි. දවල් දවසෙ ගල් වළේ වැඩ කරනගමන් ඉස්පාසුවක් ලැබුන වෙලාවට හිතට එන දේවල් කොටලා පස්සෙ රෑට නිවීසැනසිල්ලේ ඒ කොටපු දේවල් පෙළගස්සල බ්ලොගේට ඔබන එකයි මං සාමාන්යෙන් කොරන්නේ. ඒ අල්ලපනල්ලේ මෙන්න දත් දොස්තර මහත්තය මට අද උදේ හිතට ආපු එක ගැන රෑට ප්‍රවෘත්ති වල කියවනවා. දොස්තරලා ලියන එව්වා පැහැදිළිව ලියවන්න ඕනෙලු. අම්මප මට මේ වෙලාවට තමයි හිතෙන්නෙ ගල් රස්සාව පැත්තකින් තියල දේවාල පොජ්ජක් අටවාගෙන සාත්තර කියන්ඩ. දේවාලයි සාත්තරයි කිව්වම ඔන්න තවත් එකක් ඔලුවට ආව. හෙට අනිද්දම ඒ ගැනත් කොටලා දාන්නන්කෝ.

Related Posts

LankaViews

LankaViews

LankaViews

Video wall

‘නෙළුම් යාය’ බ්ලොග් සම්මාන උළෙල